බොන්සායි කලාව
පටුන |
බොන්සායි යනු [සංස්කරණය]
බොන්සායි වනාහී කලාත්මක රුක්රෝපණ ක්‍රමවේදයකි.කුඩා බන්දේසි ආකාරයේ හෝ ගැඹුරු බඳුන් තුළ අලංකාරය සඳහා රෝපණය කරනු ලබන කුරු පැල හෝ පඳුරු බොන්සයි නිර්මාණයන් වේ. එහි විශේෂත්වය වනුයේ ඒ සඳහා යොදාගනු ලබන විශේෂ බඳුනක සිටුවනු ලබන පැළයක අතු රිකිළි, කඳ, සහ මුල් කිසියම් කාලයක් මුලුල්ලේ කප්පාදු කිරීම, නැවීම හෝ බැඳීම වැනි බාහිර වෙනස්කම් ඉතා සූක්‍ෂම ලෙස සිදුකිරීම තුළින් අවශ්‍ය ස්වරූපයට කෘතිම ලෙස ගසක් සකස් කිරීමයි .සකසා අවසන් වූ බොන්සයි පැලයක් ඉතා විශාල සහ වයස්ගත ගසක කුඩා අනුරුවක ස්වරූපයක් ගනී. ගසෙහි හැඩය හා ප්‍රමාණය මනාව සුසංයෝගීවූ පෙනුමක් ලබා දීම මෙම නිර්මාණයෙහි වැදගත් අංගයකි. ආසන්න වශයෙන් 12, 13 සියවස් තුළ චීනයෙහි ඇරඹි මෙම රුක් රෝපණ කලාව ජපානය තුළ ප්‍රප‍්චලිත වූ අතර එහිදී වඩාත් වර්ධනය විය. ජපන් බසින් මෙම බොන්සායි යන්න සරලව ‘‘බඳුන් තුළ සිදුකරන වගාව’’ ලෙස පරිවර්තනය කළ හැක.
බොන්සායි කලාවේ ව්‍යාප්තිය. [සංස්කරණය]
චීනය තුළ බොන්සායි ව්‍යාප්ත වීම [සංස්කරණය]
බොන්සායි කලාවේ ඉතිහාසය වසර දහස් ගණනකට ඈත අතීතයට දිවයයි. අතීතයේදී එය පුන්-සායි යන නමින් හැඳින්වූ අතර එවක මෙම රෝපණ කලාව උදෙසා යොදාගත් ක්‍රමවේදය වඩාත් සරල වූ බව සඳහන් වේ. පුන්-සායි යන්නෙන් අරුත් ගැන්වූයේ ‘‘සැකසීමකින් තොරව බඳුනක සිටවූ පැළය’’ යන්නයි.
- ක‍්‍රිපූ. 221 සිට 206 දක්වා කාලය
මෙම රෝපණ කලාව පිළිබඳ ඓතිහාසික වශයෙන් ප‍්‍රථම මූලාශ‍්‍රය මෙම කාලය තුළදී චීනයෙන් හමුවේ එවක මෙම පුන්-සායි කලාව තුළ උල් සහිත බියකිරු පෙනුමෙන් යුත් මුල් සහ කඳන් ද, විහිදුනු අතුපතර සහිත වූද කුඩා බඳුන්වල සිටුවන ලද කුරු ගස් වඩාත් ජනප‍්‍රියව පැවතිණ. එසේම චීනයේ පූජනීය සංකේතය ලෙස සැළකෙන මකරුන් හා කුරුල්ලන් හා සමාන ස්වරූපයෙන් යුක්ත වූ පුන්-සායි ගස් සඳහා විශේෂ අවධානයක් වූ අතර එවන් නිර්මාණ සඳහා තෑගි බෝග පවා පිරිනමා ඇති බව වාර්තා වේ.
- ක‍්‍රි.පූ. 206 සිට ක‍්‍රි.ව. 220 දක්වා කාලය
මෙම කාලය තුළ පුන්-චිං නම් තවත් බොන්සායි කලා ක‍්‍රමවේදයක් පිළිබඳව වාර්තා වේ. ඒ මගින් ‘‘බඳුනක පැළ කරන ලද සකසන ලද පැළයක් වගා කිරීමේ ක්‍රමය’’ යන්න අදහස් වන අතර මෙම පුන්-චිං කලාවේ ඉතිහාසය හන් රාජ්‍ය සමය තෙක් විහිදෙයි.
- ටැං අධිරාජ්‍යය සමය
වසර 200 කට පමණ පසු චීනයේ ටැං අධිරාජ්‍යය සමය තුළ කුඩා දීසි වැනි බඳුන් තුළ වගා කරන ලද පයින්, සයිප‍්‍රස්, ප්ලම් සහ උණ වගාවන් තිබුණු බවට වාර්තාවන් හමුවේ. ක‍්‍රි.ව. 1000 ට පෙර සුං අධිරාජ්‍යය සමයේ මෙම පුන්සායි කලාව වර්ණනා කරමින් සහ එහි ක‍්‍රමවේදයන් විස්තර කරමින් ලියැවුණු සාහිත්‍යය විශාල ප‍්‍රමාණයක් තිබූ බවට වාර්තා වේ.
- චී-ඉං අධිරාජ්‍යය සමය
කුරු ගස් රෝපණ කලාව පිළිබඳ ඉගැන්වීම සැබැවින්ම ආරම්භ වූයේ මේ කාලය තුළදීය. ක‍්‍රි.ව. 1644 සිට 1911 දක්වා චී-ඉං අධිරාජ්‍යය සමය තුළ මෙම පුන්-චිං සහ පුන්-සායි කලාවන් රදළයන් අතර පමණක් නොව සමාජයේ විවිධ ස්තරයන් අතර ජනප‍්‍රිය විනෝදාංශයක් බවට පත්වුණි.
ජපානය තුළ බොන්සායි ව්‍යාප්ත වීම [සංස්කරණය]
බොන්සායි කලාවේ නිර්මාතෘ ලෙස චීනය හැඳින්වුව ද එය වඩාත් වර්ධනය කිරීම සහ වාණිජමය වටිනාකමක් ලබාදීමේ ගෞරවය ජපානයට හිමිවේ. 12 වන සියවස අතරතුර මෙම කුරු රුක්රෝපණ කලාව ජපානයට ව්‍යාප්ත වූ අතර එය උසස් නිපුණතාවයක් අවශ්‍ය වන කලාවක් ලෙස වර්ධනය විය.
*12 වන සියවස
ජපානය තුළ කමකුරා අධිරාජ්‍යය සමයේ සෙන් බුදුදහමේ ව්‍යාප්තිය හා සමගාමීව මෙම බොන්සායි කලාවද ව්‍යාප්ත වුනු අතර, එතැන් සිට එය සීඝ‍්‍රයෙන් ආසියානු කලාපය තුළ පැතිරිණි. ආරම්භයේදී එය මෙම කලාවට අවශ්‍යවන සංයමය සහ සියුම් කෞශල්‍යය හොඳින් පවතින ආරණ්‍යයන් හී වැඩ සිටින භික්ෂුන් අතර හා විද්වතුන් අතර වඩාත් ජනප‍්‍රියව පවැතුණි. ඔවුන් විසින් බොන්සායි පූජනීය වස්තුවක් ලෙස ගෞරවයට පාත‍්‍ර කරන ලදි. එය දෙවියන් හා මිනිසුන් අතර බැඳීමක් ඇති කරන්නා වූ ශුද්ධ වස්තුවක් ලෙස හඳුන්වන ලදි. කාලයාගේ අවෑමෙන් භික්ෂූන්ට හා ආරණ්‍යයන්ට සීමාව පැවති මෙම කලාව ජපානය තුළ රදලයන් අතරද ජනප‍්‍රිය වුනි. ඔවුනට එය ගෞරවය සහ සමාජ තත්වය පිළිබිඹු කිරීමේ සංකේතයක් බඳු විය.13වන සියවසේදී පමණ ස්වාභාවිකව වැඩුණු කුරුගස් බඳුන්තුල සිටුවා විකිණීම ජපානයේ සිදුව ඇත. මෙම කුරු පැළ සඳහා වූ ඉල්ලුම වැඩිවීමත් සමගම කෘතිමව එම පැළ නිර්මාණයට ජපන් ජාතිකයන් පෙළඹී ඇත.
- 14 වන සියවස
14 වන සියවස වන විට බොන්සායි කලාව වනාහී ඉතා උසස් කලාවක් ලෙස පිළිගැනීමට ලක්වූ අතර එය සමාජයේ උසස් තරයන්ගේ සිට සමාන්‍ය ජනතාව අතරද , ජපාන සංස්කෘතිය සහ සම්ප‍්‍රදායන් අතරද මුල් බැස ගන්නා ලදි. ඇතැම් මූලාශ‍්‍රයන්ට අනුව මුලදී ජපානයේ ආරණ්‍යයන්ට පමණක් මෙම කලාව සීමාවී තිබීම ජපානය තුළ මෙම කලාව ව්‍යාප්ත වීමට බාධාවක් වූ අතර , එය වර්ධනය වීම හා සාමාන්‍ය ජනතාව අතර පැතිරීම චීන ආක‍්‍රමණයන්ගෙන් පසුව සිදුව ඇත.
- 17, 18 සියවස්
මෙම කාලය තුළ බොන්සායි කලාවේ විශේෂ වර්ධනයක් හා ව්‍යාප්තියක් සිදුවූ බව අවබෝධ කරගත හැකිවේ. එයට හේතුව ලෙස චීනයේ සිට පලා ආ චූ - සුන් - ෂුයි නම් පුද්ගලයෙකු විසින් රැගෙන ආ බොන්සායි කලාව පිළිබඳ වූ විශාල සාහිත්‍ය එකතුවෙන් ජපාන බොන්සායි කලාව ලද ආභාසය දැක්විය හැක.
- 19 වන සියවස
බොන්සායි කලාව පෙරදිග සිට අපරදිග ලොව පුරා ව්‍යාප්ත වීම මෙම සියවස තුළ සිදුවේ. විශේෂයෙන් ජපානයට පැමිණි සංචාරකයින්ගේ මාර්ගයෙන් ජපානයයේ පැවති මෙම බොන්සායි කලාව වෙත ලෝකයේ අවධානය යොමු වීය. බටහිර ලෝකය තුලට බොන්සයි කලාව ව්‍යාප්තවීම මේ ඔස්සේ සිදුවේ.
බටහිර ලෝකය තුල බොන්සායි ව්‍යාප්තවීම [සංස්කරණය]
ජපානයේ නිර්මාණය වූ බොන්සායි ආකෘතීන් විවිධ ප‍්‍රදර්ශනයන්හිදී විදේශික අවධානයට ලක්විනි. පැරිස් සහ වියානා නුවර පැවැත්වූ ලෝක මට්ටමේ ප‍්‍රදර්ශන තුලදී එලි දැක්වූ බොන්සායි නිර්මාණ විශාල වශයෙන් බටහිර ලෝකයේ අවධානය දිනගත් අතර එය ලොව පුරා මෙම කලාව ව්‍යාප්ත කිරීමට හේතු විය. බොන්සයි සඳහා වූ ඉල්ලුම වර්ධනය වීමත් සමග වාණිජ මට්ටමින් බොන්සයි නිර්මාණය කිරීමට ජපන් ජාතිකයින් යොමුව ඇත. ජපාන අභාසය සහිතව අපරදිග තුල මෙම කළාව ප‍්‍රචලිත වූ නමුදු මුල් අවධියේදී බටහිර ලෝකය තුල මෙම කළාවට එරෙහිවද කථිකාවත් ගොඩනැගුණි. බොන්සයි නිර්මාණයෙදී ස්වාභාවික පැලයක වර්ධනය සීමා කරවීමට සිදුකරනු ලබන වෙනස්කම් කෲර අන්දමේ කි‍්‍රයාවන් ලෙස හැඳින්වීමට බටහිර ජාතීන් යොමු වීම ඊට හේතු විය. එසේවූවද 1935 න් පසු මෙම මතය වෙනස් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ සිට පෙරලා පැමිණි සොල්දාදුවන් බොන්සයි නිර්මාණ තමන් සමග රැගෙන ආ බවද එම ශාක ඉක්මණින් විනාශ වී ගියද බටහිර ලෝකය තුල බොන්සයි කළාව සඳහා වූ උනන්දුව වර්ධනය කිරීමට එසේ රැගෙන ආ බොන්සයි නිර්මාණ හේතුවූ බවද වාර්තා වෙයි.
බොන්සායි කලාවේ වර්තමානය [සංස්කරණය]
වත්මන පෙරදිග සහ අපරදිග තුල පැතිර පවතින බොන්සායි කළාවේ වෙනස්කම් පවති. පෙරදිග රාජ්‍යයන් අතර එය වඩාත් සම්ප‍්‍රදායානුකූලව නිර්මාණ කරනයෙහි යොදවනු ලැබේ. වාණිජ මට්ටමින් බොනසයි නිර්මාණය කළද එය ගෞරවනීය වස්තුවක් ලෙස සළකනු ලැබේ. එසේම සම්ප‍්‍රදියක හැඩයන් සහ ස්වරූපයන් සහිත බොන්සයි නිර්මාණයට වැඩි නැඹුරුවක් දක්වයි. බටහිර රටවල්තුල මෙම කුරු පැළ රෝපණය බොහෝ සෙයින් උද්‍යාන අලංකරණයල ගෘහ අභ්‍යන්තර අලංකරණය උදෙසා යොදා ගැනේ. ඔවුන් ගසෙහි අලංකාරයට වැඩි අවධානයක් යොමු කරන අතරල මෙම බොන්සයි මූලධර්ම සාමාන්‍ය ගෙවතු වගා සඳහා ද යොදා ගැනීමට පෙළඹී ඇත.
බොන්සායි වගාව [සංස්කරණය]
කිසියම් සෘතුවකට හෝ කාලයකට සීමා නොවී වසර මුළුල්ලේම පවතින ඕනෑම පඳුරු හෝ ශාක වීශේෂයන් බොන්සයි නිර්මාණය සඳහා යොදගත හැකිවේ. එසේම කිසියම් බඳුනකට සීමකර වැවීමේ හැකියාවද මුල් සහ කඳන් කප්පාදු කිරීමෙන් පසුවද බාධාවකින් තොරව වැඞීමේ හැකියාව සහිත ශාකයන් මේ සඳහා යෝග්‍යවේ. එසේවූවද සිහින් තුඩු වැනි පත‍්‍ර සහිත පයින් වර්ගයේ ශාක හා කුඩා පත‍්‍ර සහිත ශාක වර්ග මෙම නිර්මාණයන් සඳහා බහුලව භාවිතා වනුයේ මෙම කළාවට අවේනික කුඩා බවෙහි ලක්‍ෂණ එවන් ශාක පත‍්‍ර තුල පවතින බැවිනි. බොනසයි නිර්මාණයක කුරු ස්වරූපය සකසා ගනුයේ එය වැඞීමට අවශ්‍ය සාධක ක‍්‍රමානුකූලව පාලනය කිරීම තුළිනි. එසේම ශාකය අවශ්‍ය ස්වරූපයට සකස් කරීම සඳහා එම හැඩය පවත්වා ගැනීමට අවශ්‍ය අතු හැර අනෙකුත් අතු ක‍්‍රමානුකූලව කප්පාදු කරනු ලබයි. ගසේ මුල්ද හැකිතාක් කුඩා බදුනක ප‍්‍රමාණයට සීමා කරනු ලබන අතරල ඒ සඳහා ගසේ මුල් පද්ධතිය සියුම් ලෙස මට්ටම් කිරීම හෝ එහි වර්ධනයේ ප‍්‍රමාණයට උචිත බඳුන් තුල සිටුවීම තුලින් පාලනය කරනු ලබයි. බොන්සායි වගාව සඳහා විශේෂ නඩත්තු කිරීම අවශ්‍යවන අතරල එය සියුම් කළ යුතුවේ. කල්ගත වීමත් සමග එහි හැඩය වෙනස් නොවීමට එය කප්පාදු කිරීම හා මට්ටම් කිරීම කළ යුතුවේ.
බොන්සයි කළාවේදී කරනුයේ තරුණ ශාකයක සිදුකරනු ලබන වෙනස්කම් තුලින් එයට විශාල හා වයස්ගත ගසක ස්වරූපයක් ආරෝපණය කිරීමයි. මෙහි අරමුණු ලෙස එය වවන්නාට ලබා දෙන්නාවූ පුහුණුව, සංයමය හා එම කළාව ප‍්‍රගුණ කිරීමෙන් පසු උසස් කළා නිර්මාණයක් බිහි කිරීමෙන් යම් ආකාරයක ආත්ම තෘප්තියක් හිමිකර දීමද එය නරඹන්නාට ඒ තුළින් උසස් වින්දනයක් සහ ආස්වාදයක් ලබා දීමද තවදුරටත් ස්වභාවික සෞන්දර්යයට සමීපවීමට අවස්ථාවක්ද හිමිකර දෙයි.
බොන්සායි හි පවතින තවත් වැදගත් ලක්‍ෂණයක් නම් එය බෝග හෝ ඖෂධ නිෂ්පාදනය අරමුණ කර සිදු නොවීමයි. එසේම එය විශාල ප‍්‍රමාණයේ උද්‍යාන අලංකරණය සඳහාද සිදු නොවන්නෙකි. බොන්සයි ගසක් යනු කලාත්මක නිර්මාණයකි. එය පටු අරමුණක් සහිත නිර්මාණයකි. එනම් කුඩා බදුනක යම් හැඩයකට කුඩාවට සකස් කරගත් ශාකයක් එම ස්වරූපයෙන්ම අලංකාර ලෙස දිගුකල් පවත්වා ගැනීමයි.
බොන්සායි වගාවේ වැදගත් අංග [සංස්කරණය]
බොන්සායි නිර්මාණයේදී නිශ්චිත නීති මාලාවක් දැක්වීම අසීරු වූවද එහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු අංශ කිහිපයකි.
ජල සම්පාදනය [සංස්කරණය]
නියමිත අන්දමින් පාලනය කළ ජල පරිමාවක් දවසේ නිශ්චිත වේලාවකදී ලබා දීම කළ යුතුය. දිනකට හෝ දෙකකට වරක් පසෙහි හා වාතාශ‍්‍රයෙහි තෙතමනය සළකා බලමින් ජල සැපයීම කළයුතු අතර ගසකට සපයන ජල ප‍්‍රමාණය එක් ගසකින් තවත් ගසකට වෙනස් විය හැකිය.
පොහොර යෙදීම [සංස්කරණය]
පොහොර යෙදීමද ගසින් ගසට වෙනස් වේ. මල් හටගන්නා ශාකයකට වඩා පත‍්‍ර සහිත ශාකයක පොහොර අවශ්‍යතාවය වෙනස් වේ. එය නිසි පාලනයකින් යුතුව සැපයිය යුතුවේ.
බඳුන් ගත කිරීම [සංස්කරණය]
බොන්සයි පැල එහි මුල් පද්ධතිය නිසි ලෙස සැකසෙන තෙක් වරින් වර එක් බඳුනකින් තවත් බඳුනකට මාරු කිරීම කළ යුතු වේ. කුඩා බඳනකට සීමා වූ මූල පද්ධතියක් තිබීම වැදගත් වූවද එය ගසෙහි වර්ධනයට හා ගසෙහි ප‍්‍රමාණයට අනුකූල විය යුතුය. එසේම බඳන එම මූල පද්ධතියට ප‍්‍රමාණවත් විය යුතුය.
කප්පාදු කිරීම, මට්ටම් කිරීම හා ගස හැඩ කිරීම [සංස්කරණය]
බොන්සායි ගසක් කුඩා ස්වරූපයෙන් පවත්වා ගැනීමට කප්පාදු කිරීම හා මට්ටම් කිරීම වැදගත් වෙයි. ඒ සඳහා ගස සැකසීමට අවශ්‍ය හැඩයට අනුකූල නොවන කොටස් ක‍්‍රමානුකූලව කපා ඉවත් කිරීම සිදු කෙරේ. ගසේ ආරක්‍ෂාව පිණිස සියළුම කොටස් එකවර ඉවත් නොකරනු ලබයි. එසේම අවශ්‍ය හැඩයට අතු සකස් කිරීම සඳහා කම්බි මගින් අතු නවා බැඳීම කරනු ලබයි.
බොන්සායි වගා කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය [සංස්කරණය]
උපකරණ [සංස්කරණය]
බොන්සායි වගා කිරිම හා ගස සකස් කිරිම සඳහා විවිධ උපකරණ භාවිත කරනු ලබයි. ගස් අතු, මුල් හා කඳන් කප්පාදු කිරීම සඳහා විවිධ පුමාණයේ කතුරු හා කියත් වර්ග ද, කොළ කප්පාදු කිරීමේ උපකරණ ද, මුල් හැඩ නිරීමේ උපකරණ ද, අතු සහ මුල් හැඩ ගැන්වීමේදී ඒවා නවා තැබීහ හා බැඳීම සඳහා නටු වර්ග හා කම්බි ද උපයෝගී කර ගනු ලබයි. තවද නම්බි කැපිමේ උපකරණ, කුඩා මුල්ලු හා රේක්ක ආදී උපකරණ ද හාවිතා කරනු ලබයි.
පස් සහ පොහොර [සංස්කරණය]
බොන්සායි සඳහා යොදා ගන්නා පස, විවිධ පාංශු කොටස් කිහිපයක එකතුවකි.රළු වැලි,බොරළු,පිළිස්සුණු මැටි කැබලි දිරාපත් වූ ශාක කොටස් ආදී ඓන්ද්‍රීය කොටස්හි සංයෝජනයක් වු මෙම මිශ්‍රණය තුළින් මුල් පද්ධතිය දරා සිටීමට හැකි ශක්තිමත් පදනමමක් සකසනු ලබයි.
බඳුන් [සංස්කරණය]
බොන්සායි නිර්මාණයක් සකස් කිරීම සඳහා විශේෂිත බඳුන් යොදා ගනු ලබයි.පැළයෙහි වර්ධනයෙහි විවිධ අවස්ථාවන් හිදී උචිත ආකාරයේ බඳුනක සිටුවිය යුතුවේ.පැළයක මුල් අවස්ථාවේදී එය පුහුණු කිරීම සඳහා කුඩා බඳුන් යොදා ගන්නා අතර ක්‍රම ක්‍රමයෙන් එහි ප්‍රමාණයන් වෙනස් කෙරේ.සම්ප්‍රදායික බොන්සායි බඳුන් වීදුරු වලින් නිර්මාණය වූ ඒවා වුවද වත්මන විවිධ අමුද්‍රව්‍යගෙන් සාදන ලද බඳුන් උපයෝගී කර ගනී.සම්පූර්ණ බොන්සායි නිර්මාණයක් එහි හැඩය, ප්‍රමාණය,ස්වරූපය,වර්ණයට උචිත වන බඳුනක තැන්පත් කිරීම එහි අලංකාරය වැඩිකිරීමට හේතු වේ.
බොන්සායි ආකෘතීන් සහ ප්‍රමාණයන් [සංස්කරණය]
ජනප්‍රිය බොන්සායි ආකෘතීන් [සංස්කරණය]
බොන්සායි නිර්මාණයක් සකස් කළ හැකි ආකෘතීන් කිහිපයක් වේ. ආරම්භයේදී එය ආකෘති 5ක් පමණක් වු අතර වත්මන එම සංඛ්‍යාව වර්ධනය වී තිබේ. මේ අතර වඩාත් ජනප්‍රිය බොන්සායි ආකෘතීන් කිහිපයක් පහත දැක්වේ :
- විධිමත් සෘජු ශෛලිය
- අවිධිමත් සෘජු ශෛලිය
- කඩාහැලෙන ශෛලිය
- අර්ධ වශයෙන් කඩාහැලෙන ශෛලිය
- ආරණ්‍යයක ශෛලිය
- රුක් සමූහ ශෛලිය
- පහුරු ශෛලිය
- සුළඟින් නැමුණු ශෛලිය
ප්‍රමාණයන් [සංස්කරණය]
| බොන්සායි ප්‍රමාණය | උස දළ වශයෙන් |
|---|---|
| ඉතා කුඩා | අඟල් 1ත් 3ත් අතර |
| කුඩා | අඟල් 5ත් 7ත් අතර |
| මධ්‍යම | අඟල් 16ක් පමණ |
| මධ්‍යම සිට විශාල | අඟල් 16ත් 24ත් අතර |
| විශාල | අඟල් 47ක් පමණ |
අඩවියෙන් බැහැර පිටු [සංස්කරණය]
- Bonsai
- An Informal History of Bonsai
- What is Bonsai
- History of Bonsai
- The Bonsai Site
- The History of the Art of Bonsai
- Forms of Bonsai
පිංතූර ගැලරිය [සංස්කරණය]
බොන්සායි එකතූන් කිහිපයක්
විවිධ ආකෘතීන්ගේ බොන්සායි නිර්මාණ
බොන්සායි පැළ සකස් කිරීම සඳහා අවශ්‍ය උපකරණ