කුළු බඩු - ශ‍්‍රී ලංකාවේ නිපදවන

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ශ‍්‍රී ලංකාවේ කුළු බඩු

ශ‍්‍රී ලංකාවේ කුළු බඩු[සංස්කරණය]

ශතවර්ෂ ගණනක් පුරා, පෙර අපරදිග ජනයා ආහාර රසවත් කිරීමට කුළු බඩු වර්ග භාවිතා කිරීමට පුරුදුව ඇත. වර්තමානයේදී ආහාර පිසීමේ කාර්යය සඳහා කුළු බඩුවලින් ලැබෙනුයේ මනා දායකත්වයකි. මීට ශතවර්ෂ ගණනකට පෙර යුරෝපීයයන් විසින් පවත්වාගෙන යනු ලැබූ යටත් විජිත ක‍්‍රමයෙහිදී මුතු, මැණික්, දියමන්ති, ඇත් දළ මෙන්ම කුළු බඩු වෙළඳාම ද ප‍්‍රධාන ස්ථානයක් හිමිකරගත්තේය. යටත් විජිත ක‍්‍රමය පැවති අවධියේදී ශ‍්‍රී ලංකාවට කුළු බඩු සම්බන්ධයෙන් කීර්ති නාමයක් ගොඩ නැගී තිබුණු අතර එය 'කුළු බඩු දිවයින' ලෙස ද හඳුන්වනු ලැබිණි.

Sri lanka spice island.jpg


කුළු බඩු පිළිබඳ ඉතිහාසය[සංස්කරණය]

අතීතයේ කුළු බඩු වෙළඳාම සඳහා භාවිතා කළ මාර්ග

‍ ශීතකරණ හෝ අධිශීතකරණ නොතිබුණ යුගයන්හි දී ලෝකයේ විවිධ කලාපවල ජීවත් වූ ජනයා තමන්ට ආවේණික වූ ස්වභාවික ක‍්‍රමයක් මඟින් ආහාර සංරක්ෂණයට පෙළඹී සිටියහ. විශේෂයෙන් යුරෝපීයයන්ට ශීතකාලයේදී තම ආහාර සංරක්ෂණය කරගැනීම ගැටළුවක් වූ අතර කුළු බඩු වර්ග භාවිතා කිරීමෙන් එම ගැටළුව විසඳා ගැනීමට ඔවුන් සමත්විය. මෙහිදී කුළු බඩු සඳහා බටහිර රටවල ඉතා ඉහළ ඉල්ලුමක් පැවතුණි. 15 වන ශතවර්ෂයට පෙර කුළු බඩු වෙළඳාම, අරාබි වෙළඳුන් විසින් පවත්වාගෙන යනු ලැබිණි. ලෝකයේ පෙරදිග කලාපයට අයත් රටවල්වල තිබුණු කුළු බඩු වර්ග ඒකරාශී කරමින් කොන්ස්තන්තිනෝපලය හරහා මධ්‍යධරණී වරායන් වෙත ගෙනඑමින් එම කුළු බඩු බටහිර රටවල් වෙත අළෙවි කිරීමේ කාර්යය දීර්ඝ කාලයක් පුරා අරාබි වෙළඳුන් විසින් පවත්වාගෙන යනු ලැබිණි. එ‍හෙත් නාවික කටයුතු ආරම්භ කිරීමත් සමඟ යුරෝපීයයන් නැගෙනහිර ප‍්‍රදේශවලට යාත‍්‍රා කල අතර පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම වැනි වෙළඳ සමාගම් මගින් අරාබීන් සතුව පැවති කුළු බඩු ඒකාධිකාරය බිඳ දමන ලදි. යුරෝපා ජාතිකයන් ලෝකයේ අප‍්‍රිකා සහ ආසියා මහද්වීප තුළ තම බලය පතුරුවන ලද අතර යුරෝපා වෙළඳපල තුළ කුළු බඩු සඳහා තිබුණු ඉහළ ඉල්ලුමට සරිලන දායකත්වයක් සැපයීම වෙනුවෙන් කැපවිය.

කුළු බඩු සහ ශ‍්‍රී ලංකාව[සංස්කරණය]

කුළු බඩු පිළිබඳ සාකච්ඡා කිරීමේදී ශ‍්‍රී ලංකාවට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ශ‍්‍රී ලංකාව කලින් කලට විවිධ යුරෝපා ජාතීන්ගේ යටත් විජිතයක් බවට පත්විය. ස්වාභාවික වරායන් සහිත වූ දිවයිනක් වශයෙන් යටත් විජිත වාදීන්ගේ ආකර්ෂණය ශ‍්‍රී ලංකාව වෙත යොමු විය. යුරෝපීයයන්ගේ යටත් විජිතයක්වීමට පෙරද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු ලෝක ප‍්‍රසිද්ධ වී තිබුණි. එනම් උදාහරණයක් වශයෙන්ඈත අතීතයේ සිටි සුප‍්‍රසිද්ධ දේශාටකයෙකු වූ ඉබන් බතුතා විසින්ද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු සම්බන්ධව තම අදහස් ඉදිරිපත් කර ඇත. ඔහු දක්වන පරිදි, ‘‘එම දිවයිනේ වෙරළාසන්න ප‍්‍රදේශයේදී කුරුඳු ශාකයන්හී අතුපතර විහිදී ගිය ආවරණයක් නිර්මාණය කර තිබිණ. වෙළඳුන් එම කුරුඳු විශාල වශයෙන් තම රටවලට ගෙන ගියේ ස්වදේශික ජනයාට කිසිඳු ගෙවීමක් නොකරය. එහෙත් ඇතැම් විට ඔවුන් තමන් සතු වියන ලද රෙදි පිළි සහ වෙනත් සුවඳ විලවුන් ද්‍රව්‍ය ස්වදේශිකයන්ට තිළිණ වශයෙන් හිමිකර දි තිබුණි.’’ යනුවෙන් ප‍්‍රකාශ කර ඇත.

පෘතුගීසි යුගය[සංස්කරණය]

1505 දී ශ‍්‍රී ලංකාව පෘතුගීසීන්ගේ යටත් විජිතයක් බවට පත්විය. එම අවධිය වනවිට ද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු වෙළඳාම් කිරීම අරාබීන් විසින් සිදුකරගෙන යනු ලැබිණ. එහෙත් පෘතුගීසීන්ගේ යටත් විජිතයක් වීම නිසා ලංකාවේ කුළු බඩු වෙළඳාම අරාබීන්ට අහිමි විය.

ලන්දේසි යුගය[සංස්කරණය]

ශ‍්‍රී ලංකාව ලන්දේසි පාලනයට යටත් වීම සමඟ කුළු බඩු වෙළඳාම තවදුරටත් පුළුල් විය. පෘතුගීසීන් මෙන් නොව ලන්දේසීන් ශ‍්‍රී ලංකාවේ කුළු බඩු වගාකිරීමේ කටයුතු ආරම්භ කරන ලදි. එනම් උදාහරණයක් වශයෙන් වර්තමානයේ කොළඹ 07 නමින් හඳුන්වන කුරුඳුවත්ත ප්‍රදේශය, ලන්දේසි යුගයේදී කුරුඳු වගාකිරීමට යොදාගත් භූමි ප‍්‍රදේශයක් විය. එමෙන්ම වගාකරන ලද කුරුඳු අපනයනය කිරීම සඳහා නියමිත පරිදි සකස් කිරීමට පුහුණු කරන ලද පුද්ගල කණ්ඩායමක් යොදා ගනු ලැබූ අතර ඔවුන් ‘චාලියා' නමින් හඳුන්වන ලදී.

බි‍්‍රතාන්‍ය යුගය[සංස්කරණය]

ශ‍්‍රී ලංකාවේ කුළු බඩු වෙළඳාම තුළින් ලන්දේසීන් උපරිම ලාභයක් හිමිකර ගන්නා බව හඳුනාගත් ඉංග‍්‍රීසීන් ශ‍්‍රී ලංකාව යටත් කර ගනිමින් තම බලය ස්ථාපිත කිරීම 1796 දි සිදුකරන ලදි. 1720 ගණන් වල ප‍්‍රංශ සහ ස්පාඤ්ඤ ජාතිකයන් තමන් විසින් යටත් කරගත් අප‍්‍රිකානු ප්‍රදේශවල කරාබු නැටි සහ සාදික්කා වැනි ශාක වගා කිරීම ආරම්භ කර තිබුණි. ඒ අනුව 1790 දී පමණ බි‍්‍රතාන්‍යයන් අප‍්‍රිකාවේ බණ්ඩා නම් ප‍්‍රදේශයෙන් ගෙනෙන ලද කුළු බඩු ශාක ශ‍්‍රී ලංකාවේ වගා කිරීම ආරම්භ කරන ලදි. 16,17,18 යන ශතවර්ෂ වල සිට වර්තමානය දක්වාම කුළු බඩු වෙළඳාම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ආදායම් උපනය මාර්ගයක් බවට පත්ව තිබුණි. බි‍්‍රතාන්‍ය යුගයේදී තේ වගාව ප‍්‍රචලිත කිරීමට උනන්දුව ඉහළ ගිය නමුත් ඊට පෙර සිට ශ‍්‍රී ලංකාව ප‍්‍රසිද්ධ වූයේ කුරුඳුවලටය. එනම් කුරුඳුවල විද්‍යාත්මක නාමය වන Cinnamomum Zeylanicum යන්නෙන් ශ‍්‍රී ලංකාව පෙරදී හඳුන්වනු ලැබු සිලෝන් (ceylon) යන්න නිර්මාණය වූ බවටද මතයක් ඇත.

කුළු බඩු යනු මොනවාද?[සංස්කරණය]

ආහාර රසවත් කිරීමට හා ආහාර මත වර්ධනය වන අහිතකර බැක්ටීරියා වර්ග විනාශ කිරීමෙන් ආහාර සංරක්ෂණය කිරීමට උපකාරී වන වියළි බීජ වර්ග,පළතුරක් හෝ මුල් වර්ගයක් වශයෙන් කුළු බඩු, සරලව හඳුනාගත හැකිය.මෙම කුළු බඩු වර්ගවලින් බොහොමයක් ආහාර පිසීමට භාවිතා කිරීමට අමතරව ඖෂධ වර්ග, සුවඳ විලවුන්, ආලේපන වර්ග හෝ ආගමික කටයුතු සඳහා භාවිතා කිරීම දැකගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ ප්‍රචලිත කුළු බඩු[සංස්කරණය]

ශ‍්‍රී ලංකාවේ වගා කරනු ලබන කුළු බඩු අතර කරාබු නැටි,කුරුඳු,කරඳමුංගු,සාදික්කා,වසාවාසි,ගම්මිරිස් යන වර්ග සුළු අපනයන බෝග වශයෙන්ප්‍රචලිතව ඇත.මීට අමතරව වැනිලා,කරපිංචා,කොත්තමල්ලි, සූදුරු,මහදුරු,කහ,උළුහාල්,අබ,ඉඟුරු,සේර,ගොරකා වැනි කුළු බඩු ද දේශිය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද පිළිගත් ස්වභාවික ආහාර රසකාරකයන් වේ.

කුරුඳු[සංස්කරණය]

කුරුඳු

ශ‍්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳ ඉතිහාසය යටත්විජිත යුගය දක්වා ඈතට විහිද යයි.Lauraceae කුලයට අයත් කුරුඳුවල ජෛව විද්‍යාත්මක නාමය Cinnamomum Verum නම් වේ.කුරුඳු ශාකයේ වියළාගත් කඳ කොටස කුළු බඩු වශයෙන් භාවිතයට ගනු ලබයි.කුරුඳු ශ‍්‍රී ලංකාවට ආවේණික කුළු බඩු වර්ගයක් ද වේ.ශ‍්‍රී ලංකාවේ කුරුඳු ගුණාත්මක බවින් ඉතා ඉහළ බව පිළිගෙන ඇත.ඈත අතීත‍යේ දී ඊජිප්තුවේ පාරාවෝ රජවරුන්ගේ රාජකීය අවමඟුල් උත්සවවලදී ,මෘත දේහයට කුරුඳු කුඩු ඉසීමේ චාරිත්‍රයක් තිබුණු බවටද වාර්තා ‍වේ.

කරඳමුංගු[සංස්කරණය]

කරඳමුංගු

Zingiberaccae කුලයට අයත් ,Elettaria Cardamomum යන ජෛව විද්‍යාත්මක නාමය දරන කරඳමුංගු ශාකය, ස්වරූපයෙන්ඉඟුරු ශාකයට බෙහෙවින් සමාන වේ. කරඳමුංගු ,මැදපෙරදිග ගුණාත්මක බවින් ඉහළ වර්ධනයක් සඳහා ඉතා ඉහළට වැඩුණු ශාකවලින් යුක්ත වියනක් මඟින් නිරන්තරයෙන් සෙවණ සහිත පරිසරයක් පැවතීම හා තෙතමනය රඳා පැවතීම,අත්‍යවශ්‍යය සාධකයක් වේ.නිසිලෙස පැසුණු කරඳමුංගු, එකින් එක අතින් නෙළාගත යුතුවන අතර කර්මාන්තශාලා තුළ වියළා අපනයනයට සකසනු ලබයි.ශ‍්‍රී ලංකාවේ පුඩිං වර්ග සහ වටලප්පන් රසවත් කිරීමට කරඳමුංගු විශේෂයෙන් යොදා ගනු ලබයි.

කරාබු නැටි[සංස්කරණය]

කරාබු නැටි

කරාබු නැටි ශාකය,ඔලිව් ශාකයට බෙහෙවින් සමාන බවක් දක්වයි.එහෙත් යම් වෙනසකට ඇත්තේ කරාබු නැටි ශාකයේ ශාකපත්‍ර ප්‍රමාණය බහුලවීමයි.Myrtaccae කුලයට අයත් Syzigium Aromaticium යන ජෛව විද්‍යාත්මක නාමය දරන කරාබු නැටිවල ,අස්වැන්න ලෙස නෙළාගනු ලබන්නේ එහි පොහොට්ටුය.තද දුඹුරු පැහැයක් වන තෙක් වියළාගත් මෙම කරාබු නැටි කුඩු වශයෙන් ද භාවිතා කරනු ලබයි.ආහාර පිසීමේදී කරාබු නැටිවලින් සුවඳවත් බව මෙන්ම ආහාර ජීර්ණය පහසු කරවීම ද බලාපොරොත්තු වේ.එමෙන්ම මුඛය අශ්‍රිත රෝග විශේෂයෙන් දත් කැක්කුම සඳහා විශිෂ්ට ඖෂධයක් වශයෙන්ද කරාබු නැටි භාවිතා කරනු ලබයි.

සාදික්කා[සංස්කරණය]

සාදික්කා

ස්වරූපයෙන් සාදික්කා, වැල් දොඩම්වලට සමානවේ.වියළාගත් එහි බීජය සහ බීජ ආවරණය වීදුරු බෝලයකට සමාන වේ.Myristica Fragrans යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වන සාදික්කා, Myristicaceae කුලයට අයත් ශාකයකි.වියළාගත් සාදික්කා බීජය මෙන්ම බීජ ආවරණය ද කුඩු වශයෙන්,කුළු බඩු වර්ගයක් ලෙස භාවිතා වේ.

ගම්මිරිස්[සංස්කරණය]

ගම්මිරිස්

Piperraceae කුලයට අයත් Piper nigrum යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වන ගම්මිරිස් ශාක, ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේ ද හොඳින් වගා කළ හැකි බෝගයකි.මනාව පැසුණු ගම්මිරිස් කරල් මඳ පවනේ වියළා ගැනීමෙන් කළු පැහැයකට පත්වන අතර කුඩු,කැබලි මෙන්ම ‍බීජ වශයෙන් ද ආහාරයට ගනු ලබයි.දේශීය මෙන්මවිදේශීය ආහාර වට්ටෝරු රසවත් කිරීමට ගම්මිරිස් අත්‍යවශ්‍ය කුළු බඩු වර්ගයක් බවට පත්ව ඇත.

කුළු බඩු අපනයනය[සංස්කරණය]

ගුණාත්මක බවින් යුක්ත කුළු බඩු අපනයනය උදෙසා ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයද කටයුතු කරනු ලබයි.විදේශීය වෙළඳපල තුළ තරඟකාරීත්වයට මුහුණදීම එහි අරමුණයි.


කුළු බඩු අපනයනය කිරීමේ විධි[සංස්කරණය]

වර්තමාන ශ‍්‍රී ලංකාවේ කුළු බඩු අපනයනය කිරීමේ ප්‍රධාන ආකාරයන් දෙකක් ඇත.එනම්,

  1. ප්‍රාථමික ආකාරය
  2. වටිනාකම එකතු කළ ආකාරය වශයෙනි.

ප්‍රාථමික අපනයන ආකාරයේදී කුළු බඩු වර්ග මුල් ස්වරූපයෙන්ම අපනයනයට යොමු කරනු ලබයි.එහෙත් වටිනාකමඑකතු කළ ආකාරයෙන් අපනයනය කිරීමේදී කුඩු,තෙල්,කුළු බඩු මිශ්‍රණ හෝ විවිධ වට්ටෝරු වශයෙන් සකස්කර අපනයනයට යොමු කරනු ලබයි.


ඇසුරුම්කරණය[සංස්කරණය]

කුළු බඩු අපනයනය කිරීමේදී එහි ගුණාත්මක බව ඉතාඉහළින්තිබියයුතුවේ.මෙහිදී විශේෂයෙන්කුළු බඩුවල ස්වරූපය,රසය,සුවඳ ආදිය නිසිලෙස රැඳීතිබීම රැඳී තිබීම අත්‍යවශ්‍යවේ.පිරිසිදු,සෞඛ්‍යරක්ෂිත ක්‍රම මගින් ඇසුරුම්කරණය සිදුකරනු ලබයි.මෙහිදී හණ රෙදි වලින් නිෂ්පාදිත ජලය කාන්දු නොවන බහාලනවල කුළු බඩු ඇසුරුම් කිරීම ප්‍රචලිත ක්‍රමයකි.සාමාන්‍යයෙන් කුරුඳු මිටි වශයෙන් බැඳීම සිදුකරන අතර කරඳමුංගුවල වර්ණය සුරක්ෂිතකරගැනීම වෙනුවෙන් එය කළු පොලිතීන් ඇසුරුම් තුළ බහාලනු ලබයි.

අපනයනය සඳහා ඇසුරුම්කළ කුළු බඩු

විදේශ වෙළඳපල[සංස්කරණය]

වර්තමානයේ ‍ජෛව ආහාර නිෂ්පාදන (Organic Products)එනම් තේ,කුළු බඩු වර්ග,කජු,වියළන ලද පොල්,ඖෂධ වර්ග, එළවළු සහ පළතුරුවලට විදේශීය වෙළඳපලෙහි ඉතා ඉහළ ඉල්ලුමක් ඇත. ශ‍්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය මගින් මෙම ඉල්ලුම හඳුනාගෙන කුළු බඩු වර්ග අපනයනය දිරිමත් කිරීමට කටයුතු කරඇත.විශේෂයෙන්ඇමරිකාඑක්සත් ජනපදය,එක්සත් රාජධානිය,ජර්මනිය,ඉන්දියාව,මෙක්සිකෝ,කොලොම්බියා,ඕස්ට්‍රේලියා,ජපානය,ඉතාලිය වැනි රටවලට කුළු බඩු අපනයනය කිරීම බහුලව සිදුකරනු ලබයි.

සංචාරක කර්මාන්තය සහ ග්‍රාමීය ආර්ථිකය[සංස්කරණය]

ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා කුළු බඩුවලින් මනා දායකත්වයක් ලැබේ.විශේෂයෙන්සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල කුළු බඩු වගා කිරීමේ උද්‍යාන නිර්මාණය කර තිබේ.එය කෘෂි- සංචාරක කර්මාන්තය(Agro - Tourism)යනුවෙන් හඳුන්වනු ලැබේ.එමෙන්ම කුළු බඩු වර්ග වගා කිරීම ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ආර්ථික තත්වය ඉහළ නැංවීමටද දායකවී තිබේ.එනම් වාර්ෂිකව රුපියල් මිලියන 5700 ක කුළු බඩු නිෂ්පාදනයක් ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වේ.එමගින් ග්‍රාමීය ජනතාවගේ සමාජ- ආර්ථික ප්‍රතිලාභයන්ද ඉහළ නැංවීම සිදුවේ.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

Sri Lankan Products

Spices of Life

Spice Island


පිංතූර ගැලරිය[සංස්කරණය]