ශ්‍රී ලංකාවේ 14 වන මහ බැංකු අධිපතිවරයා පත්කිරීමේ අර්බුදය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල

14 වන ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ සිදුවීම ඉතිහාසයේ අන් කවරදාටත් වඩා රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් බවට පත්විය. ඒ එම ධූරයේ කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ ඔහුගේ ධූර කාලය දිගු කිරීම පිළිබඳව ඇතිවූ අර්බුද හේතුවෙනි. ඇතැමුන් මෙම තත්වය යහපාලන ආණ්ඩුව තුළ දේශපාලන අර්බුදයක් උද්ගත වීමේ තත්වයක් ලෙස පෙන්වා දීමට උත්සාහ කළ අතර තවත් පිරිසක් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින අර්බුදයක් ලෙස හුවා දැක්වීමට ද කටයුතු කළ බව පෙනේ. මෙම මතභේදාත්මක තත්වය මත අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය දිගු නොකරමින් ඒ සඳහා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජූලි මස 2 වන දා ජනාධිපතිවරයා විසින් පත්කළ නමුත් එම පත්වීම පිළිබඳව ද විවිධ පාර්ශව සිය අප‍්‍රසාදය පළකරන ලදි. කෙසේ වුවත් දින ගණනාවක් පුරා සමාජයේ ප‍්‍රමුඛ අවධානය දිනාගත් මෙම මහ බැංකු අධිපතිවරයා පත්කිරීමේ ක‍්‍රියාදාමය පිළිබඳව විශ්ලේෂණාත්මක විග‍්‍රහයක නියැලීම වැදගත් වන අතර මේ ඒ සඳහා තබන සටහනකි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව[සංස්කරණය]

මෙරට ප‍්‍රධානතම මූල්‍ය ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුව 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව නමින් පිහිටවූ අතර 1950 අගෝස්තු 28 දින එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි. එය ශ‍්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලද්දේ 1985 වසරේදීය.[1] එහි ප‍්‍රධානියා මහ බැංකු අධිපතිවරයා වන අතර මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සිදුවේ. ඒ වසර 6 ක ධූර කාලයක් සඳහාය. ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රධාන අරමුණු ද්විත්වයක් ඔස්සේ ක‍්‍රියාත්මක වන අතර එම අරමුණු වන්නේ ආර්ථික සහ මිල ස්ථායිතාව පවත්වාගැනීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම වේ.[2]

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පත්වීම[සංස්කරණය]

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරට 13 වන මහ බැංකු අධිපතිවරයා වශයෙන් එම ධූරයට පත් වන්නේ 2015 වර්ෂයේ ජනවාරි මස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟිනි.[3] ඒ එම ධූරයේ වසර 9 ක් කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අනුප‍්‍රාප්තිකයා වශයෙනි.[4] කෙසේ වුවත් මහ බැංකු අධිපතිවරයෙකුගේ වසර 9 ක දීර්ඝ ධූර කාලයකින් පසුව සිදුවන අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පත්වීම මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනපති ධූර ප‍්‍රාප්තියත් සමඟ මෙරට දේශපාලන ප‍්‍රවාහය තුළ ”යහපාලනය” සලකුණු කිරීමට ආරම්භ කළ ක‍්‍රියාවලියේ අතිශය වැදගත් පත් කිරීමක් ලෙස සැලකිය හැකි අතර එනිසාම එම ධූර කාලය පිළිබඳ එල්ල වූ චෝදනා යහපාලන ආණ්ඩුවට එරෙහිව එල්ලවන චෝදනා බවට පත්වීම අපේක්ෂා කළ යුතු තත්වයකි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ආර්ථික විද්‍යාව පිළිබඳ සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරනු ලබන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය තුළිනි.[5] එතුමා මෙරට මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ආර්ථික ක්ෂේත‍්‍රය තුළ ඔහු සතුවූ අත්දැකීම් හේතු වූ බව පැවසිය හැකිය. එනම් විදේශීය මූල්‍ය ආයතනවල සේවය කිරීමෙන් ලද අත්දැකීම් පිළිබඳ විශ්වාසය තබමින් වසර ගණනාවක සිට මෙතුමා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර පැවති සම්බන්ධතාව මත මෙරට ආර්ථික ක්ෂේත‍්‍රය ගොඩනැඟීම සඳහා මෙම පත්කිරීම සිදුවූ බව පැවසිය හැකිය. එසේම 2001 වසරේ සිට 2004 වසර දක්වා රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.[6]

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය තුළ දී එල්ල වූ චෝදනා[සංස්කරණය]

මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම ධූරයේ කටයුතු කළ කාල සීමාව තුළ සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලට අදාළව අක‍්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් සමාජයේ විවිධ පාර්ශව වෙතින් ඊට එරෙහිව විරෝධය පැනනැඟීම ”යහපාලන” රජයේ ප‍්‍රතිපත්තීන්ට එල්ල වූ ප‍්‍රබල පහරක් විය. ඒ බැඳුම්කර ගනුදෙනුවල දී ඔහුගේ බෑනාට සම්බන්ධ සමාගමකට වාසි සහගත වන අයුරින් කටයුතු කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ බැවිනි.[7] එනිසා යහපාලන ප‍්‍රතිපත්තීන්ට අනුකූල වෙමින් මෙම චෝදනා පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදි.[8] තව ද මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනු වූ අතර[9] විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මඟින් ද මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන ලදි.[10] එසේම විගණකාධිපතිවරයාගෙන් ද ඒ පිළිබඳව වාර්තාවක් කැඳවීමට ද කටයුතු කරන ලදි.[11]

14 වන අධිපතිවරයා පත්කිරීමේ අර්බුදය[සංස්කරණය]

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය අවසන් වීමත් සමඟ ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමට කටයුතු කරන බවට රාවයක් පැතිර යාම තුළ ඔහුගේ සමයේ දී සිදුවූ බවට පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ කරණු ඉස්මතු වීම නිසා විවිධ පාර්ශව වෙතින් පැනනැඟුණු ප‍්‍රබල විරෝධය හමුවේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත මහ බැංකු අධිපති ධූරයට පත් නොකරන බවට තීරණය වීමත් සමඟ එම ධූරය සඳහා නම් කිහිපයක්ම යෝජනා විය. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා එම ධූරයට පත් කර ඔහුගෙන් හිස්වන මන්ත‍්‍රී ධූරය රෝසි සේනානායක මහත්මිය මඟින් පුරවන බවට කතාබහක් ඇති වුවත් ඔහු ඒ සඳහා ඉදිරිපත් නොවන බවට ප‍්‍රකාශ වීමත් සමඟ මහ බැංකු අධිපති ධූරයට පත් කිරීම සඳහා යෝජනා වූයේ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නාමයයි.[12][13][14] එතුමා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ අතර නිල නොවන ආරංචි මාර්ග මඟින් ප‍්‍රකාශ වූයේ එම පත්කිරීම සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් වූ නමුත් එයට අග‍්‍රාමාත්‍යවරයා අකමැති වූ බවයි.[14]

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පත්වීම[සංස්කරණය]

කෙසේ වුවත් සියලු පාර්ශවයන්ගේ එකඟත්වය මත ජූලි මස 2 වන දා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ බව ප්‍රකාශ විය. ඒ අනුව මෙරට 14 වන මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වූ ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා රාජකීය විද්‍යාලයේ සහ එංගලන්තයේ හැරෝ විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයෙන් තම මූලික උපාධිය ලබා සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ. 1973 වසරේ දී ශ‍්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වන මෙතුමා එහි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ද බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සේවය කළ අතර 1981 වසරේ දී මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශයේ සේවයට එක්වී ඉන්පසුව 1990 වසරේ සිට 2008 වසර දක්වා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක සහ ආර්ථික කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යන තනතුරු හොබවා තිබේ.[15] එසේම වර්තමානයේ දී වඩාත් කතාබහට ලක්වන ETCA ගිවිසුමේ උපදේශකවරයෙක් ලෙස ද මෙතුමා කටයුතු කළ බව පැවසේ.[16]

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට එල්ල වූ චෝදනා[සංස්කරණය]

ආර්ථික ක්ෂේත‍්‍රය සම්බන්ධව මෙතුමා සතු මෙම සියලූ සුදුසුකම් සහ විශේෂඥභාවය අභිබවා මෙතුමාගේ පත්වීමත් සමඟ මෙතුමා සේවය කළ බව කියැවෙන ආයතනයක් සම්බන්ධව මතභේදාත්මක කරුණක් ඇතැම් පාර්ශව විසින් හුවා දක්වමින් මෙතුමාගේ පත්වීම පිළිබඳව ද විරෝධය ප‍්‍රකාශ කරන්නට විය. එනම් රාජ් රාජරත්නම් නැමැති ව්‍යාපාරිකයාගේ ගැලියන්නම් සමාගමේ උපදේශකවරයෙකු ලෙස මෙතුමා කටයුතු කර ඇති බව සහ එම ව්‍යාපාරිකයා ඇමරිකාවේ දී වසර 11 ක සිර දඬුවමකට ලක්ව සිටින බවයි.[17] ඒ අනුව කුමාරස්වාමි මහතාට විරුද්ධව එල්ල වන කරුණු මත පදනම්ව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළුව ඇතැම් පාර්ශව මෙම පත්වීම සම්බන්ධව දැඩි විරෝධයක් දක්වා සිටි අතර සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශව මෙම පත්වීම ඔවුන් විසින් පිළිගන්නා බව ප‍්‍රකාශ කර තිබේ.

සමාලෝචනය[සංස්කරණය]

කෙසේ වුවත් කුමාරස්වාමි මහතා එම තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේ දී රාජ් රාජරත්නම් තමාගේ මිතුරෙක් බව එතුමා විසින් ප‍්‍රකාශ කර තිබේ.[18] එහෙත් මෙම පත්වීම පිළිබඳ යම් යම් ජාතිවාදී අදහස් ප‍්‍රකාශ වුවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මෙම පත්කිරීම ඔස්සේ සුදුසු පුද්ගලයන් සුදුසු තනතුරුවලට පත්කිරීම ජාති හෝ ආගම් ආදී වූ පටු සාධක මත පදනම් වෙමින් වැළකී සිටීම සිදු නොකළ යුතු බවට කදිම ආදර්ශයක් සපයා දී තිබේ.

ආශ්‍රිත මූලාශ්‍ර[සංස්කරණය]

  1. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය ලුහුඬින්, http://www.cbsl.gov.lk/htm/sinhala/03_about/a_2.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-06 
  2. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු, http://www.cbsl.gov.lk/htm/sinhala/03_about/a_4.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-06 
  3. සංරක්ෂිත පිටපත, http://www.mawbima.lk/34-77711-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-07 
  4. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන්, http://www.cbsl.gov.lk/htm/sinhala/03_about/a_2_2.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-06 
  5. http://www.dinamina.lk/?q=2015/06/12/විශේෂාංග/බැඳුම්කර-නිකුතුව-පූර්ණ-විනිවිදභාවයෙන්-සිදු-වූවක්-මහ-බැංකු-අධිපති-අර්ජුන්-මහේන්ද්
  6. http://www.dinamina.lk/?q=2015/06/09/විශේෂාංග/සැරිසර-මහ-බැංකු-අධිපති
  7. http://www.dinamina.lk/?q=2016/07/06/18791
  8. http://newsfirst.lk/sinhala/2015/04/බැඳුම්කර-නිකුතුව, http://newsfirst.lk/sinhala/2015/04/%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80/, ප්‍රතිෂ්ඨාපනය 2016-08-07 
  9. http://lawpage.lk/law_news/මහ-බැංකු-බැඳුම්කර-ගනුදෙන, http://lawpage.lk/law_news/%E0%B6%B8%E0%B7%84-%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94-%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1, ප්‍රතිෂ්ඨාපනය 2016-08-07 
  10. http://www.dinamina.lk/?q=2015/07/17/අධිකරණ-හා-පොලිස්/බැඳුම්කරය-හා-බැඳි-කෝප්-වාර්තාවට-වාරණයක්
  11. සංරක්ෂිත පිටපත, http://www.lankadeepa.lk/index.php/articles/389607, ප්‍රතිෂ්ඨාපනය 2016-08-07 
  12. සංරක්ෂිත පිටපත, http://www.infosrilankanews.com/2016/06/rs_28.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-05 
  13. සංරක්ෂිත පිටපත, http://www.sinhala.srilankamirror.com/news/item/14877-politicians-should-not-be-the-dominant-central-banks-iran, ප්‍රතිෂ්ඨාපනය 2016-08-05 
  14. 14.0 14.1 http://www.lankatimes.lk/මහ-බැංකු-අධිපති-පත්කිරීම, http://www.lankatimes.lk/%E0%B6%B8%E0%B7%84-%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8/, ප්‍රතිෂ්ඨාපනය 2016-08-05 
  15. http://www.president.gov.lk/ප්‍රවෘත්ති[permanent dead link]
  16. මහ බැංකුවේ නව අධිපති ETCA උපදේශක ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
  17. http://www.rivira.lk/online/2016/07/04/මහ-බැංකු-අධිපති
  18. කුමාරස්වාමි – රාජ් රත්නම් තවමත් ඔබේ මිත්‍රයෙක් දැයි කියන්න, http://lakjana.com/%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%92-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A/, ප්‍රතිෂ්ඨාපනය 2016-08-05 

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]