මණි රත්නම්

විකිපීඩියා වෙතින්
(මනි රත්නම් වෙතින් යළි-යොමු කරන ලදි)
මනි රත්නම්
උපත
ගෝපාලරත්නම් සුබ්‍රමනියම් අයියාර්
රැකියාවචිත්‍රපටි අධ්‍යක්ෂක
චිත්‍රපටි නිෂ්පාදක
තිර රචක
කලත්‍රයා(යන්)සුහාසිනී
(1988–වර්ථමානය)

1956 වර්ෂයේදී තමිල්නාඩුවේ මදුරයිහි උපත ලැබූ මනි රත්නම් කීර්තිමත් සිනමා නිර්මාණකරුවෙකු, තිරරචකයෙකු හා නිෂ්පාදකවරයෙකු වෙයි. ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය 1983 වසරේදී අනිල් කපූර් රඟපෑ පල්ලවි අනු පල්ලවි (Pallavi Anu Pallavi) වෙයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අනෙකුත් චිත්‍රපට අතර මෞන රාගම් (1986), නායගන් (1987), අන්ජලී (1990), තලපති (1991), ඉරුවාර් (1997), කන්නතිල් මුතමිට්ටල් (2002), යුවා (2004), ගුරු (2007) සහ ඔහුගේ ත්‍රස්තවාදී ත්‍රිත්වය නමින් හඳුන්වන රෝජා (1992), බොම්බේ (1995) සහ දිල් සේ (1998) යනාදී නිර්මාණ වැදගත් ස්ථානයක් ගනී. මනි රත්නම් විසින් චෙන්නායි හි සිනමා කර්මාන්තයේ පුනර්ජීවනයක් ඇති කරවමින් ඉන්දියානු සිනමාවට නව මුහුණුවරක් එක් කළේය. මොහු දකුණු ඉන්දියානු නිර්මාණ වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක්ද, හින්දි සිනමා නිර්මාණ වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන හතරක්ද දිනා ගත්තේය. සුප්‍රකට ටයිම් සඟරාව විසින් නම්කල මෙතෙක් බිහිවූ හොඳම සිනමා නිර්මාණ 100 අතරට සත්‍යජිත් රායිගේ අපුරු ත්‍රිත්වය, ගුරු දත්තගේ ප්‍යාසා මෙන්ම මනි රත්නම්ගේ දමිල චිත්‍රපටයක් වූ නායගන් ද ඇතුලත් විය. මොහුගේ රෝජා නම් චිත්‍රපටය, මෙතෙක් බිහිවූ "හොඳම හඬපට දහය" අතරට එක්වූ එකම ඉන්දියානු සිනමා කෘතිය වේ.

පෞද්ගලික ජීවිතය හා අධ්‍යාපනය[සංස්කරණය]

දමිල බ්‍රාහ්මණ දෙමාපියන්ට දාව ඉන්දියාවේ තමිල්නාඩුවේ මදුරයිහි උපත ලැබූ මොහුගේ සත්‍ය නාමය ගෝපාල් රත්නම් සුබ්‍රමනියම් වෙයි. විද්‍යාමන්ධීර් ජ්‍යෙෂ්ඨ ද්විත්ව පාසලින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව මදුරාසි විශ්වවිද්‍යාලයට අයත් විවේකානන්ද විද්‍යාලයෙන් වාණිජ උපාධියක් ලබා ගත්තේය.ඉන්පසු ඔහු කළමනාකරණ අධ්‍යයනය සඳහා වූ ජම්න්ලාල් බජාජ් ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී උපාධියක් ලබා ගත්තේය. ඔහු සිනමා නිර්මාණකරනයට පෙර කළමනාකරණ උපදේශකයෙකු වශයෙන් තම ජීවන වෘත්තීය ආරම්භ කළේය.

මනිරත්නම් සිනමාවට හඳුන්වාදෙනු ලැබුවේ ඔහුගේ නැසීගිය සොහොයුරු හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ වෙන්කෙටශ්‍රාවන් විසිනි. සුහාසිනී නම් නිළිය සමඟ විවාහ වූ මනිරත්නම් හට නන්දන් මනිරත්නම් නමින් පුතෙකු සිටී. මොවුන් දැනට චෙන්නායි හි අල්වාපට් හි වාසය කරන අතර මොහුගේ නිෂ්පාදන සමාගම වන මැඩ්‍රාස් ටෝකීස් මෙම ප්‍රදේශයේම පිහිටා ඇත.


තවද බලන්න[සංස්කරණය]

සැකිල්ල:Madras Talkies

  1. "Mani matters!". Sify. Sify Technologies Ltd. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2011.
"https://si.wikipedia.org/w/index.php?title=මණි_රත්නම්&oldid=432880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි