ගඩලාදෙණිය විහාරය

විකිපීඩියා වෙතින්
ගඩලාදෙණිය විහාරය
විස්තර
පිහිටුවීම
නිර්මාතෘහතරවන බුවනෙකභාහු රජ
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°15′27.02″N 80°33′22.23″E / 7.2575056°N 80.5561750°E / 7.2575056; 80.5561750ඛණ්ඩාංක: 7°15′27.02″N 80°33′22.23″E / 7.2575056°N 80.5561750°E / 7.2575056; 80.5561750
පිහිටීමගම්පොල
ද්වාරය:බුද්ධාගම

ගඩලාදෙණිය විහාරය (ධර්මකීර්ති විහාරය) යනු ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටයි.[1] මෙම විහාරය වත්මන් ශ්‍රී ලංකාවේ පවතින අංගසම්පූර්ණ ගල් විහාරය ලෙස සැලකේ.[2]

ඉතිහාසය[සංස්කරණය]

ගඩලාදෙණිය විහාරයේ ඉතිහාසය ක්‍රි.ව. 14වන සියවස පමණ දක්වා දිවයයි. පැරණි මූලාශ්‍රයන්ට අනූව මෙම විහාරය පළමුවන ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි හතරවන බුවනෙකභාහු රජ (ක්‍රි.ව. 1341-1351) විසින් ඉදිකරන ලද්දක් වේ.[3] රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූ බවත්, ඔහු දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාරීගේ සැළසුමකට අනූව විහාරය ගොඩනැංවූ බවත් සඳහන් වේ.[1]මෙය ගම්පොල යුගයේ ඉදිකල ඉතා වැදගත් සිද්ධස්ථාන යකි

විහාරය[සංස්කරණය]

විහාරයේ වූ බුද්ධ ප්‍රථිමාවක්

ගඩලාදෙණිය විහාරයේ මූලික ඉදිකිරීම් ලක්ෂණ හා වාස්තුකලා ලක්ෂණ දකුණු ඉන්දිය විජයනගර් සම්ප්‍රදායට සමානතා දක්වයි. ස්වභාවික පිහිටි ගල් පර්වතයක් මත විහාර ගොඩනැගිලි ඉදිකොට තිබේ. විහාරය ප්‍රථිමාගෘහයකින්, පිවිසුම් තොරණකින්, චෛත්‍යයකින්, බෝධි වෘක්ෂයකින්, සංඝාවාසයකින් හා දේවාල දෙකකින් සමන්විත වේ. විහාර භූමියෙහි මීට අමතරව පැරණි ශිලා ලිපි කිහිපයක්ද දැකගත හැකිවේ.[3]

කළු ගලින් නිර්මිත විහාරය එකක් පිටුපස එකක් යෙදෙන පරිද්දෙන් කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින් යුක්ත වේ. එහි ඇතුල් කාමරය තුල රියන් 12 ක් පමණ උස් වූ ඔත් පිළිමයක් හා හිටි පිළිම හතරක් දැකගත හැකි වෙයි.[4] පිටමණ්ඩපය ඉදිරිපිට ස්ථාපිත ගල් කුලුණු ද්විත්වය විහාරයේ වූ සුවිශේෂී නිර්මාණයක් සේ සැළකේ. එහි වම් ගල් කුළුණ ගණේශ්වරාචාරී විසිනුත් දකුණු කුළුණ ලාංකීය ගල් වඩුවෙකු විසිනුත් කැටයම් කර ඇතැයි පැවසේ. ඒ අනූව වම් කුළුණ හින්දු ආභාසයට අනුවත්, දකුණු කුළුණ බෞද්ධ ආභාසයට අනුවත් සකස් කොට තිබේ.[2]

ශෛලමය බෝධිඝරයකින් වටවූ ගඩලාදෙණිය විහාරයේ වූ බෝධි වෘක්ෂය, දඹදිව දෙව්රම් වෙහෙර ආනන්ද බෝධියෙන් රැගෙන ආ බෝධි අංකුරයක් යැයි විශ්වාස කෙරේ. එය පළමුවන ධර්මකීර්ති හිමි විසින් රෝපණය කොට තිබේ. සිද්ධස්ථානයේ වූ අඩි 40ක් පමණ උසට ගොඩ නංවා ඇති චෛත්‍යය විජයොත්පහය චෛත්‍යය ලෙස වහරනු ලැබේ. උස්වූ කුළුණු 4 ක් මත පියස්සක් යෙදීම මගින් ඊට ආරක්ෂාව සළසා ඇත.

එමෙන්ම මෙම විහාරභූමියේ සෙල්ලිපි 6ක් ද පිහිටා තිබේ. ඉන් තුනක් විහාරගෙයට බටහිරින් විහාර සීමාවෙන් පිටත පිහිටියා වූ බෑවුමේ ගලේ කොටා ඇත. ඉන් එක් ලිපියක් හඳුනාගත නොහැකි ලෙසින් විනාශ වී තිබීම කනගාටුවට කරුණකි.තවත් ලිපියක් බෝධියට පැත්තෙන් වූ ගල්තලාවෙහි පිහිටා ඇත.තවත් සෙල් ලිපි(ටැම් ලිපි) 2ක් විහාරගෙය අසල ටැමේ පිහිටා ඇත.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "ගඩලාදෙණිය විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2015.
  2. 2.0 2.1 "ගඩලාදෙණිය". මවුබිම. 22 මැයි 2013. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2015.
  3. 3.0 3.1 "ගඩලාදෙණිය විහාරය (සද්ධර්මතිලක විහාරය)". e-thaksalawa.moe.gov.lk. 14 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2015.
  4. "සෙල් තලාව මත ශෙෙලමය උරුමය, රජ මහා වෙහෙර ගඩලාදෙණිය". බුදුසරණ. 12 සැප්තැම්බර් 2013. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ගඩලාදෙණිය_විහාරය&oldid=568562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි