සිංහල භාෂාව

විකිපීඩියා වෙතින්
(Sinhala වෙතින් යළි-යොමු කරන ලදි)
සිංහල
සිංහල siṁhala
කලාපය ශ්‍රී ලංකාව
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 20 (date missing)
සිංහල අබුගිඩා (බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ශ්‍රී ලංකාව
භාෂා කේත
ISO 639-1si
ISO 639-2sin
ISO 639-3sin

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහල බසට බොහෝ දුරට සමාන භාෂාවකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.සින්හල භාෂාවේ ස්වර 18 කි.

නිරුක්තිය

සිංහල යනු මධ්‍යම ඉන්දු-ආර්ය (එළු ) "සිහල" යන වචනයට අනුරූප සංස්කෘත පදය වේ. මෙය "සිංහ" යන සංස්කෘත වචනයේ ව්‍යුත්පන්නයක් වේ[1]. "භගවත පුරාණයෙ"හි සිංහලය, දිවයිනේ සංස්කෘත නාමය ලෙස සඳහන් කර ඇත. මෙම නම සමහර අවස්ථාවලදී "සිංහයන්ගේ වාසස්ථානය" ලෙසද හුවා දක්වා ඇත. මෙය අතීතයේ සිංහයන් බහුල වශයෙන් සිටින්නට ඇතැයි යන විශ්වාසය මත යෙදුනක් යැයි කිව හැක[2].

උපභාෂා

සිංහල බසෙහි උප භාෂා ලෙස තදින් බෙදීමක් දක්නට නොහැක. නමුත් ප්‍රදේශික වශයෙන් කතා කරන විලාශය හා ආවේනික වූ වචන හා යෙදුම් භාවිතයේ වෙනස්කම් දැකිය හැක. රජරට (උතුරු මැද පළාත), රුහුණ (දකුණු පළාත), ඌව (උව පළාත) මෙසේ වෙනස්කම් දැකිය හැකි පළාත් කිහිපයකි. නමුත් මෙම විශේෂිත යෙදුම් හා කතා විලාශ අනෙකුත් සිංහලයන්ට බොහෝ විට පහසුවෙන් තේරුම්ගත හැක.[3]

කථාකරන සහ ලියන සිංහල

දකුණු ආසියාවේ බොහෝ භාෂාවල දක්නට ලැබෙන දෙදිව් වහර (කතාකරන බස (කථික බස) සහ ලියන බස (ලිඛිත බස) අතර ඇති පැහැදිලි වෙනස) සිංහල භාෂාවෙහිද විශේෂයෙන් දැකිය හැක.

කථික බස (කතා කරන බස) ලිඛිත බස (ලියන බස)
මං ගෙදර යනවා. මම ගෙදර යමි.
අපි පන්සල් යනවා. අපි පන්සල් යමු.
එයා ඊයෙ හිටියා. ඔහු ඊයේ සිටියේය.

ස්වරශාස්ත්‍රය

සිංහල ස්වර ශබ්ද නැගීමේ රටාව බොහෝ දුරට අනෙකුත් ඉන්දියානු භාෂා වලට සමගාමී වේ . නමුත් එම භාෂා හා සසඳන විට සිංහලයටම ආවේනික වූ ලක්ෂණ කීපයක් දැක ගත හැක. ඒවායින් සමහරක් නම් සඤ්ඤක අකුරු පෙළ එක් වීම, ඇ, ඈ ස්වර එක් වීම, මහා ප්‍රාණ අකුරු (සංස්කෘතයෙන් ආ වචන සඳහා) ඇති මුත් නොමුසු සිංහල බස සඳහා ඒවා ඇවැසි නොවීම ආදියයි.


සිංහල ස්වර ශබ්ද නැගීම

ස්වර පූර්ව කේන්ද්‍ර පශ්ව
හ්‍රස්ව දීර්ඝ හ්‍රස්ව දීර්ඝ හ්‍රස්ව දීර්ඝ
සංවෘත ඉ (i) ඊ () උ (u) ඌ ()
මධ්‍ය එ () ඒ (e̞ː) අ (ə) අ(ර්) (əː) ඔ () ඕ (o̞ː)
අර්ධ-විවෘත ඇ (æ) ඈ (æː)
විවෘත අ (a) ආ ()


සිංහල ව්‍යංජන ශබ්ද නැගීම

ඕෂ්ඨ‍්‍ය
දන්ත්‍ය/
වර්ත්ස්‍ය
මූර්ධන්‍ය
තාලව්‍ය/
පශ්වර්ත්ස්‍ය
කන්ඨ‍්‍ය
ග්ලොටල්
නාසික්‍ය ම (m) න () ණ (ɳ) ඤ (ɲ) ඞ (ŋ)
ස්පර්ශ/
ස්පර්ශ-සංඝර්ෂ
අඝෝෂ අල්පප්‍රාණ ප (p) ත () ට (ʈ) ච (t͡ʃ) ක (k)
අඝෝෂ මහාප්‍රාණ ඵ () ථ (t̪ʰ) ඨ (ʈʰ) ඡ (t͡ʃʰ) ඛ (kʰ)
ඝෝෂ අල්පප්‍රාණ බ (b) ද () ඩ (ɖ) ජ (d͡ʒ) ග (ɡ)
ඝෝෂ මහාප්‍රාණ භ () ධ (d̪ʱ) ඪ (ɖʱ) ඣ (d͡ʒʱ) ඝ (ɡʱ)
අර්ධානුනාසික්‍ය ඹ (ᵐb) ඳ (ⁿd̪) ඬ (ᶯɖ) ඦ (ᶮd͡ʒ) ඟ (ᵑɡ)
සංඝර්ෂ අඝෝෂ (f) ස () ෂ (ʂ) ශ (ʃ)
ඝෝෂ ව (ʋ) හ (ɦ)
අන්තස්ථ ය (j)
උත්ක්ෂිප්ත ර (ɾ)
පාර්ශ්වික අන්තස්ථ ල (l) ළ (ɭ)

ලේඛන ක්‍රමය

බොහෝ ඉන්දියානු අකුරු මාලා මෙන් සිංහල හෝඩිය ද පැරණි බ්‍රාහ්මී අක්ෂර මාලාව මත පදනම්වී ඇත. ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට මෙම පැරණි බ්‍රාහ්මීය අකුරු හැඳින්වී ඇති බව පුරාවිද්‍යාඥයන් පවසන නමුත් හෙළ හවුල ප්‍රධාන පිරිසක් එම මතය බැහැකරයි. සිංහල අකුරු පෙළ, දකුණු ඉන්දියානු ග්‍රන්ථ අක්ෂර මාලාවට සමීප සම්බන්ධයක් ඇති අතර, කාදම්බ අක්ෂර මාලාවෙන්ද ආභාෂය ලබා ඇති බව පෙනේ. [4][5]

සිංහල හෝඩියේ අකුරු 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.

සිංහල හෝඩි

සිංහල හෝඩි කීපයක් ඇත.

1. අමිශ්‍ර සිංහල හෝඩිය (අක්ෂර 30 කි). වෙනත් භාෂාවක අක්ෂර හා මිශ්‍ර නොවී පවතින ශුද්ධ සිංහල අක්ෂර මෙයට අයත් වේ.

2. මිශ්‍ර සිංහල හෝඩිය (අක්ෂර 54 කි). මිශ්‍ර සිංහල හෝඩිය වෙනත් භාෂාවල අක්ෂර සමග එක් වීමෙන් පැවත එයි.(පාලි හා සංස්කෘත භාෂා වලින් ඈඳුනු අක්ෂර).

3. නූතන සිංහල හෝඩිය (සිංහල වර්ණ මාලාව) (අක්ෂර 60 කි). ඉහත සඳහන් හෝඩි දෙකටම අයත් නොවූ මෑතකදී සිංහල භාෂාවට එක් වූ අකුරු අලලා ජාතික අධ්‍යාපන ආයතනය මැදිහත්ව 1989දී මෙම හෝඩිය සකස් කර ඇත. මෙය හෝඩියකට වඩා වර්ණ මාලාවක් ලෙස වටහාගැනීම යෝග්‍ය වේ.

නූතන සිංහල හෝඩිය (සිංහල වර්ණ මාලාව) පහත දැක්වේ.

ස්වර (18)
මිශ්‍ර ස්වර (2)
අං අඃ

ව්‍යංජන (40)

සිංහල අක්ෂර වින්‍යාසය

සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය ඉන්දියානු භාෂාවල ඇති අබුගිඩා අක්ෂර විලාසය අනුගමනය කෙරේ. එනම් ශුද්ධ ස්වර සඳහා වෙනම අකුරු පෙලක්ද, ව්‍යංජන සඳහා වෙනම අකුරු පෙලක්ද , ව්‍යංජන ස්වර ආකාරයෙන් වෙනස් කර ගැනීම සඳහා ව්‍යංජන වලට පිලි යොදා ගැනීම ආදී වශයෙන් වේ.

සිංහල ඉලක්කම්

නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇත.

සිංහල යුනිකේත

යුනිකේත (Unicode) සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල බස (සිංහල යුනිකේත) ද ඇතුළත්ව ඇත [6]. එහි ප්‍රතිඵලයක් ලෙස, ඕනෑ ම අයෙකුට කියවිය හැකි පරිදි සිංහලයෙන් වෙබ් පිටුවක් පවත්වා ගැනීම හෝ යමක් පළ කිරීම තවදුරටත් සිහිනයක් නොවේ. මෘදුකාංග සිංහල නිසි ලෙස හැසිරවීමට සමත් වීමට කලක් ගතවනු ඇත. උදාහරණයක් ලෙස යංශය, රේඵය, රකාරංශය යනාදී අර්ධ ස්වර රූප නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම් මෘදුකාංග මඟින් නොතකා හැරීම දැක්විය හැක.මෙම zwj කේතය මෘදුකාංග තුළට ඇතුළත් කළ යුතු කාලය එළඹ ඇත.

ව්‍යාකරණ

සිංහල භාෂාවේ උක්තාඛ්‍යාත පද සම්බන්ධය පහත සඳහන් අයුරු බෙදේ.

  1. වචන භේදය (ඒක වචන, බහු වචන)
  2. පුරුෂ භේදය (උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ)
  3. කාල භේදය (අතීත, අනතීත)
  4. ලිංග භේදය (ස්ත්‍රී, පුරුෂ, නපුංසක)
  5. කාරක භේදය (කර්තෘකාරක, කර්‍මකාරක වැකි)
  6. විභක්ති
    1. ප්‍රථමා විභක්තිය
    2. කර්ම විභක්තිය
    3. කර්තෘ විභක්තිය
    4. කරණ විභක්තිය
    5. සම්ප්‍රදාන විභක්තිය
    6. අවධි විභක්තිය
    7. සම්බන්ධ විභක්තිය
    8. ආධාර විභක්තිය
    9. ආලපන විභක්තිය
වාක්‍ය සැදීමේදී ඉහත සඳහන් විභක්ති රීති යොදා ගනු ලැබේ. අනෙකුත් ඉන්දියානු භාෂා (උදා . සංස්කෘත, දෙමළ, තෙලිඟු ආදී) සමඟ සසඳන විට කර්තෘ විභක්තිය සිංහල බසට පමණක් සිමා වූවක් ලෙස දැක්විය හැක.

වාග්මාලාව

සිංහල පද

සිංහල පද වර්ග පහත පෙන්වා ඇති අයුරු බෙදේ.

අතීතයේ උපසර්ග පද මුලික පද වර්ගයක් ලෙස සැලකුවද වර්තමානයේ එසේ නොසැලකේ. විස්තාර පද මුලික පද වර්ගයක් ලෙස සැලකිය යුතු බව ආචාර්ය ජේ. බී. දිසානායකගේ වර්තමාන යෝජනාවකි.

පහත සඳහන් වන්නේ සිංහලයේ නව පද නිර්මාණය හෝ අරුත වෙනස් කිරීම සඳහා යෙදෙන විධි ය.

උපසර්ග

නාම පද මුලින් පමණක දී එහි අරුත වෙනස් (අඩු, වැඩි, විරුද්ධ ) කිරීමක් උපසර්ග පද වලින් කෙරේ. උපසර්ග පද තද අකුරින් දක්වා ඇත

  • ප - බල, සිඳු
  • උප - පගුරු, පවාර
  • නි - නිදුක් , නිහඬ

සමාස යෙදුම

පද කීපයක් විවිධාකාරයට එක වී දෙන අරුත දියහැකි ලෙස තනි වචනයක් ගැලපීම හෙවත් සාධනය සමාස නම් වේ. සමාස වර්ග 5කි. සමාස වූ පද තද අකුරින් දක්වා ඇත.

  1. දකාරාර්ථ සමාසය (උදා. පොත් ද පත් ද - පොත්පත්)
  2. විශේෂණ සමාසය (උදා. සුදු පාට මල් - සුදුමල් )
  3. විභක්ති සමාසය (උදා. ගත් කරනුයේ - ගත්කරු)
  4. අන්‍යාර්ථ සමාසය (උදා. නෙත් තුනක් ඇත්තේ - තිනෙත් (ඊශ්වර දෙවි ))
  5. අව්‍යය සමාසය (උදා. ඉතා මිහිරි වන්නේ - ඉමිහිරි)

පද සන්ධි වීම

වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්ධි වීම මගින්, උච්චාරණයේ පහසුව පිණිස මෙලෙස අලුත් පද සැදීම සන්ධි කිරීම නම් වේ. සිංහල බසේ පද සන්ධිය බෙහෙවින් භාවිතා වේ. සිංහලයේ පද අතර සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි.

පද සන්ධි උදාහරණ;

  • වම් + අතින් = වමතින්
  • ගුරු + උතුමා = ගුරුතුමා
  • ග්‍රාම + උදය = ග්‍රාමෝදය

සිංහල යෙදුම්

ප්‍රස්ථාව පිරුළු

සිංහල භාෂාවේ විශේෂ ප්‍රයෝගයක් වශයෙන් ප්‍රස්ථා පිරුළු සැලකිය හැකියි. ප්‍රස්ථාව පිරුළ වශයෙන් ද මෙය ව්‍යවහාර වන අතර සමාජයේ යම් කරුණක් වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීමට හැකි භාෂා ක්‍රමයක් වශයෙන් ද ප්‍රස්ථා පිරුළු සැලකිය හැකිය. සිංහල භාෂාවේ ප්‍රස්ථා පිරුළු රැසක් ව්‍යවහාර වන අතර ඇතම් පිරුළු හා බැදුණු ජනප්‍රිය, රසවත් ජන ප්‍රවාද ද පවතී.

නමුත්, වර්තමානයේ ප්‍රස්තාව පිරුළු වැනි යෙදුම් භාවිතය බොහෝ දුරට පහත වැටී ඇත. ඉංග්‍රීසි භාෂාව මෙන් යෙදුම් භාවිතය පුළුල්ව පැතිර නැත.

උදාහරණ;

  • බළලා ලව්වා කොස් ඇට බානවා - අනිත් අය ලවා තමාගෙ වැඩ කරවා ගනීම.
  • මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහනවා වගේ - යම් වැඩකදී අනවශ්‍ය ලෙස පූර්ව සූදානම
  • වක්කඩේ හකුරු හැංගුවා වාගේ - නිෂ්ඵල දෙයක් කිරීම (අවසානයේ දී ප්‍රථිපලයක් නොලැබෙන)

ඉඟි වැකි හෙවත් රූඨි

  • අනූ නමයෙන් බේරුනා - යන්තමින් බේරුනා
  • පොතේ ගුරා - මූලිකයා, "පණ්ඩිතයා"
  • සායම ගියා - ගෞරවය නැතිවීම

උපමා

මේ යෙදුම් වල "මුතු, හා පැටවෙකු, නරියෙකු" යන පද "උපමා" වේ .

  • ඇගේ දත් මුතු වැනිය
  • ඔහු නරියෙකු මෙන් කපටිය
  • කුඩා දරුවා හා පැටවෙකු මෙන් අහිංසකය.

රූපක

මේ යෙදුම් වල "සඳකි, කිතුල් රෑන" යන පද "රූපක" වේ.

* ඇගේ මුහුන සඳකි.

* ඇගේ කෙස් කළඹ කිතුල් රෑනකි.

        

සාහිත්‍යය

සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයයෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත. සිංහල භාෂාව ලිවීමට සිංහල අකුරු යොදාගනී.

සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.

ක්‍රි.ව. 20 වන ‍ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඬිඳු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ දිනමිණ පුවත් පතෙහි සිටි ප්‍රසිද්ධ කතුවරයෙකි)

ආශ්‍රිත ලිපි

යොමුව

  1. Caldwell, Robert (1875). "A comparative grammar of the Dravidian or South-Indian Family of Languages". London: Trübner & Co.: p.86.
  2. "Chinese Account of Ceylon". The Asiatic Journal and Monthly Register for British and Foreign India, China, and Australia. 20: 30. 1836.
  3. "Sinhalese language" Accents and dialects. Retrieved on 13 July 20417.
  4. "Ancient Scripts: Sinhala". www.ancientscripts.com. සම්ප්‍රවේශය 2016-04-07.
  5. Jayarajan, Paul M. (1976-01-01). History of the Evolution of the Sinhala Alphabet (ඉංග්‍රීසි බසින්). Colombo Apothecaries' Company, Limited.
  6. Sinhala
  7. කොඩිකාර, රත්න (2016). සිංහල භාෂාව හා ව්‍යාකරණ පි. 49
  8. කොඩිකාර, රත්න (2016). සිංහල භාෂාව හා ව්‍යාකරණ පි.589
  9. දිසානායක, ජේ. බී. (2010). සිංහල භාෂාවේ නව මුහුනුවර පි. 55
  10. දිසානායක, ජේ. බී. (2010). සිංහල භාෂාවේ නව මුහුනුවර පි. 55
  11. දිසානායක, ජේ. බී. (2010). සිංහල භාෂාවේ නව මුහුනුවර පි. 57

සටහන්

තව දුර කියවීමට

බැහැර පිටු

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_භාෂාව&oldid=529275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි