සොළිය විසින් සිංහලය ඇක්මුම
සොළිය විසින් සිංහලය ඇක්මුම යනු සොළී අදිරජය විසින් සිංහලයට කෙරුණු හමුදා ඇක්මුමකි. මුළු සිංහලයෙහි මැ සොළී බලපෑම, දළ විසින් කිතු වසින් 993 (රාජරාජගේ පළමු ඇක්මුම) සිටැ කිතු වසින් 1070 දක්වා වූ, සියවසෙකින් තුනෙන් දෙකක පමණ කලක් පැවැතිණි. මහ විජේබා රජ දිවයිනේ උතුරු, නැඟෙනහිරි හා මැදි පෙදෙස් නැවැත අල්ලා-ගෙනැ සොළී බලය නෙරපා-හැරැ සිංහලයන්ගේ ස්වෛරීභාවය යළි පිහිටැවී.
පළවෙනි පරන්තක සොළී රජු විසින් පඬි රට යටත් කැරැ ගැනීමේ දී සොළීන් හා පඬි-සිංහල සන්ධානය හා අතර ඇති වූ මුල් ගැටුමකින් පසුව සොළී ඇක්මුම සිදු විය. පැරැදුණු රාජසිංහ පඬි රජ තම ඔටුන්නත් අනෙකුදු රජ අබරණත් රැගෙනැ සිංහල සරණ පැතී. සිව්වෙනි උදය (කිතු වසින් 946-954) රජ දවස වූ ඇක්මුම ද ඇතුළු වැ, රජ අබරණ නැවැත ලබා-ගනුව කිතු වසින් 947 සිටැ 949 දක්වා වූ කල තුළැ පරන්තක රජ නිපල උසහ කිහිපයක් මැ ගති. සොළිය විසින් සිංහලය ඇක්මුම පිටුපස ඇති එක් බලවත් කරුණක් වූයේ මේ රාජකීය වස්තු තමා සතු වැ තබා ගැනීමේ රිසියයි.
ඇක්මුම ඇරැඹුණේ යටත් කැරැ ගෙනැ සොළී අදිරජයට සවුරා-ගනුව (අවශෝෂණය කර ගැනීම සඳහා) විසල් සොළී හමුදාවක් යවමින් 993 දී I වෙනි රාජරාජ අනුරාපුරය ඇක්මීමත් සමඟයි. කිතු වසින් 1017 වන විට දිවයිනෙන් වැඩි පෙදෙසෙක් යටත්-කැරැ-ගැනුණුව ඔහු පුත් I වෙනි රාජේන්ද්‍ර-චෝල රජ දවස විසල් සොළී අදිරජයේ පළාතක් ලෙස ඈඳා-ගැනිණි. කිතු වසින් 1070 දී සිංහල රාජකීයයෙකු වූ කිත්ති කුමරු විසින් මෙහෙයැවුණු සිංහල රොදුවකින් (ප්‍රතිරෝධයකින්) සොළීන් පලවා-හැරිණි. සොළීහු පසු-කැලි වැ බොහෝ යුද කැරැ තම පරම සතුරු පාණ්ඩ්‍යයන්ගේ මිතුරන් වූ සිංහලයන්, නැවැත යටත්-කැරැ-ගැන්මට උසහ දරූ.
සටහන
[සංස්කරණය]- මේ ලිපියෙහි සිංහල / සිංහලය යන්න යොදා ඇත්තේ වත්මන් ජනවාර්ගික අරුතින් නොව අතීතයේ පැවැති සිංහල රාජාණ්ඩුවත් වත්මන් ශ්‍රී ලංකාවේ අතීත නාමයනුත් එකල කලාපයේ තිබූ සොළී, පාණ්ඩ්‍ය වැනි අනෙකුදු දේශපාලන ඒකකත් සලකා ය.