සුල්තාන්ගන්ජ් බුද්ධ ප්‍රතිමාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සුල්තාන්ගන්ජ් බුද්ධ ප්‍රතිමාව
The Sultanganj Buddha.jpg
වර්ෂයක්‍රි.ව. 500-700
මාධ්‍යයතඹ
ව්‍යාපාරයගුප්ත-පාල සංක්‍රාන්ති යුගය
මාන2.3 m × 1 m (91 in × 39 in)
පිහිටීමබර්මිංහැම් කෞතුකාගාරය සහ කලාගාරය, බර්මිංහැම්

සුල්තාන්ගන්ජ් බුද්ධ ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන්නේ ගුප්ත-පාල සංක්‍රාන්ති යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම, සම්පූර්ණ ඝන තඹ බුද්ධ ප්‍රතිමාව වේ. පුරාවිද්‍යාඥයින් විසින් මෙම බුද්ධ ප්‍රතිමාව ක්‍රි.ව. 500 සහ 700 අතර කාලයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. මීටර 2.3ක් උසැති මෙම බුද්ධ ප්‍රතිමාවේ පළල මීටර 1කි. ප්‍රතිමාවේ බර කිලෝග්‍රෑම් 500කට අධික ය. මෙම ප්‍රතිමාව සොයාගැනුණේ 1861දී උතුරු ඉන්දියාවේ බිහාරයේ භගල්පූර් දිස්ත්‍රික්කයේ සුල්තාන්ගන්ජ් නගරයෙනි.[1] මෙය හමුවූයේ නැගෙනිහර ඉන්දියානු දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු අතරතුර ය.[2] වර්තමානය වන විට, මෙම ප්‍රතිමාව එංගලන්තයේ බර්මිංහැම්හි බර්මිංහැම් කෞතුකාගාරය සහ කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

විස්තරය[සංස්කරණය]

සුල්තාන්ගන්ජ් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ පිරිපහදු නොකළ අමිශ්‍ර තඹ ලෝහයෙන් සීර් පර්ඩියු හෙවත් ඉටි මැකුම් තාක්ෂණය යොදා ගනිමිනි. සිටි බුද්ධ ප්‍රතිමාවක් වන මෙහි ඉහළට ඔසවාගෙන සිටින දකුණු හස්තය මගින් අභය මුද්‍රාව (ආරක්ෂාව සංකේතවත් කෙරෙන) නිරූපණය වන අතර, අත්ල ඉදිරියට දිස්වන සේ වම් හස්තය යටිකුරුව තබාගෙන ඇත්තේ වර දානය සංකේතවත් කරමිනි. ප්‍රතිමාවේ චීවරයේ පොට මෙම වම් හස්තයේ මහපටැඟිල්ල සහ දබරැඟිල්ල අතර රඳවා ඇත. මෙම ලක්ෂණය වර්තමානයේ පවා ථෙරවාදී භික්ෂූන් විසින් අනුගමනය කරන පිළිවෙතකි.

අනාවරණය සහ පසුකාලීන ඉතිහාසය[සංස්කරණය]

ඊ. බී. හැරිස් සුල්තාන්ගන්ජ් බුද්ධ ප්‍රතිමාව සමග. 1861/1862
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති සුල්තාන්ගන්ජ්හි ශෛලමය බුද්ධ ප්‍රතිමාව; මෙහි ආසනයේ නෙළුම් පෙති මත "යේ ධර්මා හේතු" මන්ත්‍රය කැටයම් කොට ඇත.

දුම්රිය මාර්ග ඉංජිනේරුවරයකු වූ ඊ. බී. හැරිස් විසින් මෙම බුද්ධ ප්‍රතිමාව සොයාග්නනා ල්දදේ සුල්තාන්ගන්ජ් දුම්රිය ස්ථානය අසල පුරාතන නටබුන් ස්ථානයක කැනීම් කටයුතු වලිනි. ඔහු සිය අනාවරණය පිළිබඳ භූමි සිතියමක් සහ ඡායාරූප සහිත සවිස්තර සම්පූර්ණ වාර්තාවක් සපයා ඇත. ඔහු විස්තර කරන්නේ බුද්ධ ප්‍රතිමාවේ දකුණු පාදය හමුවූයේ පොළොව මට්ටමේ සිට අඩි දහයක් පමණ ගැඹු‍රින් වූ බිම් තට්ටුවකට පහළින් තිබී ය. ඔහු විශ්වාස කරන්නේ මෙම බිම් තට්ටුව බුද්ධ ප්‍රතිමාව තැන්පත් කර තිබූ ගෘහය ආවරණය කරමින් පවතින්නට ඇති බවත්, පසුව එය ඇදවැටෙන්නට ඇති බවත් ය.[3] හැරිස් විසින් මෙම ප්‍රතිමාව බර්මිංහැම් වෙත යවන ලදී. එංගලන්තය වෙත එය ප්‍රවාහනය කිරීම සඳහා වූ වියදම් දරන ලද්දේ බර්මිංහැම්හි යකඩ භාණ්ඩ නිෂ්පාදකයකු වූ සැමුවෙල් තොර්ට්න් විසිනි. බර්මිංහැම්හි හිටපු නගරාධිපතිවරයකු ද වූ තෝර්ට්න් 1864දී මෙම බුද්ධ ප්‍රතිමාව කොට්ඨාස මණ්ඩලය වෙත ප්‍රදානය කරන ලද්දේ ඔවුන්ගේ යෝජිත කලා කෞතුකාගාරය වෙනුවෙනි. කර්මාන්ත දහසක් ඇතැයි වර්ණනාවන් ලද බර්මිංහැම් නගරය කලා කෞතුකාගාරයක් ස්ථාපනයට තීරණය කරන ලද්දේ දේශීය ලෝහ කර්මාන්තකරුවන් ඇතුළු කලා ශිල්පීන්හට ආදර්ශ ලබා දීමට සහ නිර්මාණකරණයට පෙළඹවීම සඳහායි.

වසර ගණනාවක් පුරා මෙම බුද්ධ ප්‍රතිමාව බර්මිංහැම් කෞතුකාගාරය සහ කලාගාරය (BMAG) තුළ ප්‍රමුඛ ස්ථාන කිහිපයකම ප්‍රදර්ශනයට තබා තිබිණි. වර්තමානය වන විට මෙම ප්‍රතිමාව කෞතුකාගාරයේ අත්‍යාවශ්‍ය ප්‍රදර්ශනාංගයක් බවට පත්ව ඇත. කෞතුකාගාරයේ එකතූන් වෙත ආධාර ලබාදීමට පදනම වූ මෙම ප්‍රතිමාව බර්මිංහැම් කෞතුකාගාරයේ ඇති වඩාත්ම වටිනා පුරාවස්තුව ලෙස සැලකේ.[4] හැරිස්ගේ වාර්තාවෙහි වූ ඡායාරූපවල ඔහු මෙම බුද්ධ ප්‍රතිමාව සහ තවත් කුඩා පුරාවස්තු කිහිපයක් සමග සිටිනු නිරූපණය වේ. මේ අතරට කුඩා ශෛලමය සිටි බුද්ධ ප්‍රතිමා ද්විත්වයක් ද වේ. මේ අතරින් එක් ප්‍රතිමාවක් වර්තමානයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේත්, අනෙක සැන් ෆ්‍රැන්සිස්කෝවේ ආසියානු කලා කෞතුකාගාරයේත් ප්‍රදර්ශනයට තබා ඇත. සුල්තාන්ගන්ජ්වලින් හමුවූ තවත් ශෛලමය බුද්ධ ප්‍රතිමා ශීර්ෂයක් වර්තමානයේ ලන්ඩනයේ වික්ටෝරියා සහ ඇල්බර්ට් කෞතුකාගාරයේ තබා ඇත.[5][6][7]

වර්තමාන පිහිටුම[සංස්කරණය]

1998 සිට 2015 තෙක් මෙම බුද්ධ ප්‍රතිමාව බර්මිංහැම් කෞතුකාගාරය සහ කලාගාරයේ බුද්ධ ප්‍රතිමා සහ ඒ හා සම්බන්ධ කෞතුක භාණ්ඩ ගණනාවක් ප්‍රදර්ශනයට තබා තිබූ ගැලරියේ ප්‍රධාන ප්‍රදර්ශනාංගය විය. බර්මිංහැම් කෞතුකාගාරය විසින් වාර්ෂික 'බුද්ධ දිනය' නම් දිනයක් ද පැවැත්වූ අතර, බටහිර මිඩ්ලන්ඩ් පාදක කරගත් බෞද්ධ ජනයා එහි පැමිණ ප්‍රතිමාවට පූජා පවත්වා ආශිර්වාදය හිමි කරගත්හ.

2015දී බර්මිංහැම් කෞතුකාගාරය සහ කලාගාරය නගරයේ වූ විවිධ භක්තිකයින් ගණනාවක් සමග සාකච්ඡා කොට නව 'ඇදහීම් ගැලරිය' ස්ථාපනය කරන ලදී. අනතුරුව සුල්තාන්ගන්ජ් බුද්ධ ප්‍රතිමාව එය පෙර පිහිටුවා තිබූ ස්ථානයෙන් රැගෙන යන ලදී. වර්තමානය වන විට බුද්ධ ප්‍රතිමාව බර්මිංහැම්හි ජනයාගේ ඇදහීම්වලට පාත්‍ර වූ විශ්වාසයන් පිළිබඳ වන ගැලරියෙහි වැඩ හිඳියි.

මේවාත් බලන්න[සංස්කරණය]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. http://www.bbc.co.uk/birmingham/content/articles/2006/05/10/sultanganj_buddha_feature.shtml
  2. Wingfield, Christopher (2010) Touching the Buddha: Encounters with a charismatic object. In Museum Materialities: Objects, Engagements, Interpretations, ed. Sandra H. Dudley, Routledge: London & New York, pp.53-70. http://www.routledge.com/books/details/9780415492188/
  3. Harris, E. B. (1864) Description of Buddhist Remains Discovered at Sooltangunge, London: privately published.
  4. http://www.bmagic.org.uk/objects/1885A1116
  5. British Museum Collection
  6. Asian Art Museum Collection
  7. Victoria and Albert Museum Collection