සුමන දිසානායක

විකිපීඩියා වෙතින්

සුමන දිසනායක 1950, 1960 සහ 1970 දශක වල ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව බැබැල වූ සිත්තරුන් අතර එක් අයෙකි. ස්ටැන්ලි අබේසිංහ, තිලක් අබේසිංහ හා මහින්ද අබේසේකර යනාදීන්ගෙ කලාවේ ගති ලක්ෂණ සමග සුසංගමයක් තිබුණ සිත්තරකු හැටියට ද සුමන දිසානායක හැදින්විය හැකිය.පැබ්ලෝ පිකාසෝ ගුරු කොට ගනිමින් ජෝර්ජ් කීට් මගින් ශ්‍රී ලංකාව තුළ භාවිතා කළ චිත්‍ර ශෛලියේ ම දිගුවක පසුප්‍රාප්තික පරිවර්තනීය කලා ලක්ෂණ සුමන දිසානායකගේ කෘති තුළින් ද විද්‍යමාන කරයි. ඹහු ශ්‍රී ලාංකේය දෘෂ්‍ය කලා ඉතිහාසය තුළ වැදගත් වන්නේ විශේෂයෙන් ළමා පොත් සදහා මොඩර්න් නිදර්ශන චිත්‍ර කලා ආරක් ශ්‍රී ලංකාවට අභිනවයෙන් හදුන්වා දුන් පුරෝගාමියකු වන නිසා ය. සුමන දිසානායක විසින් නිදර්ශන චිත්‍ර නිර්මාණය කරන ලද කෘති අතර “සාමා සහ අමර” නම් පාසල් පළමු පොත 1965 දී සිංහල භාෂාව ඉගෙනීම සඳහා පළමු ශ්‍රේණියේ ළමුන් සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරුවරයකු හැටියට අත්දැකීම් ලත් ඔහු අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ කලා පරීක්ෂකවරයෙකු හැටියට ද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කලා ලේකම් ධුරයට ද පත් වී ඇත. ඔහු ජනප්‍රිය සිත්තරකු වන ශාන්ත කේ. හේරත්ගේ කලා ආරට බලපාන ලද පූර්වප්‍රාප්තික සිත්තරෙක් ද වෙයි. ඔහුගේ කලා කෘති ජර්මනිය,ඉන්දියාව, ජපානය, කැනඩාව, සෝවියට් සංගමය, සහ ඉතාලියේ පැවති ජාත්‍යන්තර ප්‍රදර්ශන වලදී විචාරකයින්ගේ පැසසුමට ලක් ව ඇතැයි සැළකේ. 1995 දී ඔහු අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ දේහය ජාතික කලාභවනේ නිත්‍ය කලා කෘති එකතුව ප්‍රදර්ශනය කරන ප්‍රධාන කලාගාරයේ මහජන ගෞරවය පිණිස තැන්පත් කොට තිබිණ. සුමන දිසානායක ගැන අප්‍රමාණව උනන්දු වූ අයකු හැටියට චන්දන රණවීර ඉස්මතු වීම ඔහු ගැන ගවේෂණයේදී පෙනේ. සුමන දිසානායක ගැන වැඩි වශයෙන් පුවත්පත් සදහා තොරුතුරු ලබා දී ඇත්තේ ද ඒ ගැන ලියා ඇත්තේ ද චන්දන රණවීර ය. චන්දන රණවීර සිත්තරෙක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සුමන_දිසානායක&oldid=470379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි