සීගිරි ඉතිහාසය

විකිපීඩියා වෙතින්

සීගිරිය ප්‍රාග් ඵෙතිහාසික යුගය තුළද ජනාවාස වී තිබෙන්නට ඇත. සැදැහැවතුන් විසින් සකස් කිරීමෙන් පසු බෞද්ධ භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කරන ලද ගල් ලෙන් සහිත එම ලෙන් ආරාම ක්‍රි.පූ 5 වැනි සියවසේ සිට පරිහරණය කර තිබේ. උද්‍යාන සහ මාළිගය තැනවූයේ පළමුවන කාශ්‍යප රජු විසිනි. කාශ්‍යපගේ මරණයෙන් පසු 14 වැනි සියවස දක්වා ඵය ආරාම සංකීරණයක් ලෙස පැවතුන අතර ඉන් පසු පාළුවට ගියේය. බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයකු වූ ජෝන් ස්ටිල් නැමැත්තා මෙහි නටබුන් අනාවරණය කළේය. සීගිරියෙහි වූ කුරුටු ගී පුරා විද්‍යාඥ පරණ විතාන මහතා විසින් කියවන ලදුව පසුව කාණ්ඩ 2 ක් ලෙස ඔක්ස්ෆර්ඩ් ආයතනය විසින් 'සීගිරි කුරුටු ගී' නමින් ප්‍රකාශයට පත් කරන ලදී. පරණවිතාන විසින්ම (Story of Sigiriya) සීගීරියේ කතාන්දරය නැමැති කෘතියද කරන ලද්දේය.

සිගීරියේ මූලාරම්භය පිළිබඳ පුරා කථා

ශ්‍රි ලංකාවේ පුරාණ ඵෙතිහාසික වංශ කතාවක් වූ මහා වංශ‍යෙහි කාශ්‍යප විස්තර වන්නේ ධාතුසේන රජුගේ පුත්‍රයා වශයෙනි. කාශ්‍යප තම පියා ධාතුසේන රජු පණ පිටින් බිත්තියකට බැඳ ජීවිතක්ෂයට පත් කොට තම සහෝදරයා වූ මොග්ගල්ලානට උරුමව තිබූ රජකම පැහැර ගත්තේය. මොග්ගල්ලාන යනු රජුගේ අග බිසවගේ පුත්‍රයාය. මොග්ගල්ලාන ඉන්දියාවට පලා ගියේ තම සහෝදරයා වූ කාශ්‍යප විසින් ඝාතනය කරනු ලැබේය යන බියෙනි. ඵහෙත් කාශ්‍යපගෙන් පලි ගන්නා බවට ඔහු ශපත කළේය. ඔහු ආපසු ලංකාවට පැමිණ තමනට උරුම රාජ්‍යය ලබා ගන්නෙමැයි අදහසින් ඉන්දියාවේ සිට සේනා සංවිධානය කළේය.

මොග්ගල්ලානගේ ආපසු පැමිණීම නියත වශයෙන්ම සිදු වන බව සිතූ කාශ්‍යප සීගිරිය බලකොටුවක් වශයෙන් තෝරා ගෙන ඵහි මතුයෙහි මාළිගාවක් ද ඉදි කළේය. මොග්ගල්ලාන ආපසු පැමිණ යුද්ධ ප්‍රකාශ කළේය. යුද්ධය කෙරීගෙන යන අතර තුරේදී කාශ්‍යපගේ හමුදාව ඔහු තනි කළේය. කාශ්‍යප තම කඩුව මත ඇද වැටී සිය දිවි හානි කර ගත්තේය. පුරාවෘත්තවල සහ ජනප්‍රවාදවල සඳහන් වන අන්දමට ඵ් පුවත මෙසේය "කාශ්‍යප තම යුද හස්තියා සටන් කිරීමට සුදුසු ස්ථානයක් සොයා වෙනත් තැනකට මෙහෙය වූ විට ඔහුගේ හමුදාව ඵය වරදවා තේරුම් ගත්තේ කාශ්‍යප පැරදී පසු බසින ලෙසිනි" ඉන් පසු ඔහුගේ හමුදාව කාශ්‍යප සම්පූර්ණයෙන්ම තනි කොට පලා ගියහ. මොග්ගල්ලාන තම අගනුවර ලෙස අනුරාධපුරය තෝරා ගත්තේය. සීගිරිය ආරාම සංකීර්ණයක් බවට පත් විය.

වෙනත් කතාන්දරවලින් කියවෙන්නේ සීගිරියේ මුල් නිමැවුම් කරු ධාතුසේන රජු බවත් තම පිය රජු සිහිවීම පිණිස කාශ්‍යප ඵහි වැඩ කටයුතු නිම කළ බවත්ය. කාශ්‍යප රජු විනෝදකාමියෙකු මෙන්ම සීගිරිය විනෝද මාළිගාවක් ලෙස ඉදි වූ බවත් වෙනත් කතාන්දරයකින් කියවෙයි. කාශ්‍යපගේ අවසාන ඉරණම පිළිබඳව තිබෙන තොරතුරු අස්ථීරය. සමහර ප්‍රවාදවල කියවෙන්නේ කාශ්‍යපගේ අනියම් බිරියක විසින් වස දීමෙන් ඔහු ඝාතනය වූ බවයි. ඔහුගේ අවසාන සටනේදී ඔහුගේ හමුදාව විසින් තනි කිරීම නිසා තම අසිපතින් ගෙල සිඳ ගෙන කාශ්‍යප දිවි තොර කර ගත් බව තවත් කතන්දරයකින් කියැවේ. සීගිරිය නිර්මාණය බෞද්ධ ප්‍රජාවකගේ කාර්යයක් වූ බවත් ඊට හමුදා සහභාගිත්වයක් කිසිසේත් නොවුනු බවත් තවදුරටත් විස්තර කරන අර්ථකථනයන්ද තිබේ. පුරාණ ලංකාවේ මහායාන හා ථෙරවාද දෙපාර්ශවය අතර පැවති තරඟයේදී සීගිරි පරිශ්‍රය වැදගත් ස්ථානයක් ඉසිලුවේය.

පිහිටීම

සීගිරිය පිහිටා තිබෙන්නේ (උ. 7.5700) (නැ.80) මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය තුළයි.

"https://si.wikipedia.org/w/index.php?title=සීගිරි_ඉතිහාසය&oldid=483597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි