සිතුල්පව්ව රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
සිතුල්පව්ව

දිස්ත්‍රික්කය : හම්බන්තොට

ඓතිහාසික නාමය : චිත්තල පබ්බත

කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකරන ලද මෙම සිද්ධස්ථානය අතීතයේ "චිත්තල පබ්බත විහාරය" ලෙස හැඳින්විය. මෙහි සවභාවිකව පිහිටි ගල්ලෙන් රාශියක් සොයාගෙන ඇත. මේවායේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි අතර සමහර ලෙන්වල එම ලෙන් පූජා කරන ලද අය හා ඔවුන්ගේ තනතුරු නාම ද සඳහන් වේ. මෙහි සමහර ලෙන්වල චිත්‍ර දක්නට ඇත.

"සම්මෝහ විනෝදනී" ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙම ලෙන්වල භික්ෂුන් වහන්සේලා 24,000 ක් වැඩසිටි බවයි. ක්‍රි.ව. පළමුවන සියවසේදී ලංකාව පාලනය කළ වසභ රජතුමා මෙහි ස්තුප 10 ක් කරවූ බවත්, ක්‍රි.ව.659 දී විපුල රජතුමා මේ විහාරයේ නඩත්තු කටයුතු සඳහා ගමක් පූජාකළ බවත්, දුටුගැමුණු රජු එළාර රජු සමඟ යුද්ධයට යාමට පෙර මෙහි සිටි භික්ෂුන් වහන්සේලාට දානයක් පිරිනැමූ බවත් මහා වංශයේ සඳහන් වේ.

පර්වතය පා මුල විශාල ගල් ගුහාවක් ඇති අතර අතීතයේ එය පිළිම ගෙයක් ලෙස භාවිත කර ඇත. එහි ඇතුලත ඇති ප්‍රතිමා බෙහෙවින්ම පෞරාණිකය. චිත්‍ර වර්තමානයවන විට මැකී ගොස් ඇත. මේවා අනුරාධපුර අවසාන භාගයට අයත්යැ'යි සැලකේ. එසේම මෙම විහාරගෙය අසල ඇති ගල මුදුනේ දාගැබක් නිර්මාණය කර ඇත. මිට අමතරව මෙම පූජා භුමිය තුල බුදු පිළිම හා බෝධිසත්ත්ව ප්‍රතිමා දෙකක් හඳුනාගෙන ඇත. මේවාට අමතරව තවත් නිර්මාණ ගණනාවක ඉපැරණි නටබුන් මෙහිදී හඳුනාගත හැකිය.

පිහිටීම[සංස්කරණය]

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම පුජනිය ස්ථානයට පිවිසීමට හැකිවන්නේ තිස්සමහාරාමයෙන් කිරින්ද පාරේ ගොස්, යෝධ කණ්ඩිය වැව පසුකරනවාත් සමඟම හමුවන කඩමණ්ඩිය අතරින් වමට හැරී 15Km පමණ ගමන් කිරීමෙනි.මෙම මාර්ගයේ ගමන් කිරීම තරමක් දුෂ්කරවන අතර එය යාල අභය භූමියට අයත් විශාල වනාන්තරය මැදින් වැටි ඇත.