සිංහල සංඛ්‍යාංකනය

විකිපීඩියා වෙතින්

වර්තමානයේ මෙරට මෙන්ම ලෝකයේ අනෙක් රටවල ද සම්මත වශයෙන් මෙවැනි අංක කට්ටල දෙකක් තම කටයුතු සඳහා භාවිතයට ගනු ලබයි. එනම් 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0 වශයෙන් දැක්වෙන හින්දු අරාබි අංක සහ i, ii, iii, iv, v, x, M, L ලෙසින් දැක්වෙන රෝමානු අංක කට්ටල ය. මෙයින් හින්දු අරාබි අංක බහුලව ම භාවිත වන අතර ලැයිස්තු සකස් කිරීම, අංක කිරීම වැනි කටයුතුවලදී රෝමානු අංක ද භාවිත කරයි.

මෙලෙස වෙනත් ජාතීන් විසින් නිර්මාණය කළ අංක ක්‍රම වර්තමානයේ සිංහල භාෂාව සමඟ භාවිත කළ ද සිංහල භාෂාව සඳහා සිංහලයන් විසින් ද අංක කට්ටල කිහිපයක් ම නිර්මාණය කර තිබුණි. වර්තමානය වනවිට භාවිතයට නොගැනීම නිසා මේ අංක ක්‍රම අභාවයට ගිය ද මේ වනවිට සිංහල විශ්වකේත (Sinhala Unicode) පද්ධතියේ පවා මේ අංක සඳහා ඉඩක් වෙන්වී තිබේ. මේ නිසා මේ අංක භාවිතයෙන් තොර වුව ද ඒවා භාවිත කළ සකස් කරන ලද ලේඛන සඳහා අන්තර්ජාතික වටිනාකමක් ද එක්වී තිබේ. තම අවශ්‍යතා සඳහා සිංහලයන් භාවිත කළ අංක ක්‍රම පිළිබඳව අධ්‍යයන සිදු කළ විද්වතුන් විසින් මෙරට භාවිත වූ සිංහල අංක ක්‍රම 5 පමණ හඳුනා ගැනීමට සමත් වී තිබේ. එනම්

  1. සිංහල අංක හෙවත් සිංහල ඉලක්කම්
  2. ලිත් ඉලක්කම් හෙවත් පංචාංග අංක
  3. කටපයාදිය
  4. සිංහල අක්ෂර මාලාවේ අක්ෂර අංක සඳහා අනුරූපව භාවිත කළ අංක කට්ටලය
  5. සිංහල අක්ෂර මාලාවේ අක්ෂර අංක සඳහා අනුරූපව භාවිතා කළ අංක කට්ටලය
  6. භූත අංක හෙවත් භූත සංඛ්‍යා

සිංහල භාෂාවේදී ‘අංක’ හා ‘ඉලක්කම්’යන වචන සංඛ්‍යා දැක්වීම සඳහා යොදා ගැනේ. මේ අංක ක්‍රම උඩරට බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් වනතුරු ම භාවිතයට ගෙන තිබෙන අතර මේවායින් කිහිපයක් විසිවැනි සියවසේ ද භාවිතයට ගෙන තිබේ.

සිංහල කේත

සිංහල ඉලක්කම් හෙවත් සිංහල අංක මෙලොව පවතින ප්‍රධාන ඉලක්කම් වර්ග තුන අතරින් එකකි මෙහි විශේෂත්වය වන්නේ අගය වැඩි කිරීමේ උපාංගයක් ලෙස ශුණ්‍ය හෙවත් බිංදුව භාවිතා නොකිරීමයි. එමෙන්ම සිංහල ඉලක්කම් ශාස්ත්‍රය හැර ලිත් ලකුණු,කටපයාදිය, භූත ආදිය අංක ඉලක්විකම් විශේෂ නොව ඒවා සිංහල කේත ශාස්ත්‍ර බව ජානක තරංග ආරියරත්න මහතා සිය හෙළයින්ගේ විද්‍යාවක් කෘතියේ දක්වයි. (පිට 66-67) මෙම කේත ශාස්ත්‍ර අතීතයේ බණ්ඩල සිලම්බ නමින් හදුන්වා ඇති බව වර්ගපූර්ණිකාව ඇදුරෙන් පෙන්වා දෙයි. කටපයාදී,භූත ආදී කේත සිංහල අක්ෂර මාලාව හා සිංහල ඉලක්කම් හා සිංහල බස සුසන්යෝගයෙන් නිර්මිත ශාස්ත්‍රයකි සිංහල කේත ශාස්ත්‍රය. මෙම කේත ශාස්ත්‍රයේදී සිංහල ඉලක්කම් සිංහල අක්ෂරයන්ටද, සිංහල අක්ෂරයන් සිංහල ඉලක්කම් වලටද අදේශ කර කේත නිර්මාණය කරයි. මෙය වෙනමම සිංහල ශාස්ත්‍රයකි.

සිංහල අංක හෙවත් සිංහල ඉලක්කම්[සංස්කරණය]

පුරාණ අංක (Archaic Numerals)යනුවෙන් ද හඳුන්වන මේ අංක භාවිත කර ඇත්තේ සාමාන්‍ය ගණනය කිරීම් හා සරල අංක දැක්වීම වෙනුවෙනි. මේ අංක පද්ධතියේ ශූන්‍ය හඳුනා ගැනීමට නොලැබෙන අතර මෙහි දහය, හතළිහ, පනහ, සියය, දහස ආදී සංඛ්‍යා දැක්වීම සඳහා ද වෙනස් සංකේත භාවිත කර ඇත. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආණ්ඩුවල ලේඛන සහ අණපනත්වල ද මේ ඉලක්කම් භාවිත වූ බව සඳහන් වෙයි. මේ සිංහල ඉලක්කම් සඳහා ඒවාට ම අනන්‍ය වූ සංකේත භාවිත වී තිබුණු අතර ඒවා මඟින් සංඛ්‍යා නිරූපණය සිදු විය. මේ සංකේත පිළිබඳ පැහැදිලි විස්තර ඒබ්‍රහම් ඒ. මෙන්ඩිස් ගුණසේකර මහතාගේ “A Comprehensive Grammar of the Sinhalese Language” නම් ග්‍රන්ථයෙහි සහ 1938 වර්ෂයේදී රජයේ මුද්‍රණාලයාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලද ඩබ්ලිව්. ඒ. ද සිල්වා මහතා විසින් සංස්කරණය කරන ලද “Catalogue of Palm Leaf Manuscript in the Colombo Museum” හි පළමු වෙළුමෙහි ද අඩංගු කර ඇත. ඒ මඟින් මේ ඉලක්කම් සඳහා භාවිත වූ සංකේත පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.

මේ ඉලක්කම් භාවිතය සඳහා පැහැදිලි උදාහරණයක් ලෙස 1815 දී උඩරට නායකයන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා අතර අත්සන් කරන ලද උඩරට ගිවිසුම දැක්විය හැකිය. මේ ගිවිසුමෙහි ඉංග්‍රීසි කොටසේ වගන්ති අරාබි ඉලක්කම් භාවිත කරමින් අංකනය කර ඇති අතර ඊට සමාන්තර සිංහල වගන්ති සිංහල ඉලක්කම් භාවිතයෙන් අංක කර ඇත.

ලිත් ඉලක්කම් හෙවත් පංචාංග අංක[සංස්කරණය]

මේ අංක කට්ටලය බහුල ලෙස භාවිත කර ඇත්තේ හඳහන් සෑදීම සහ නක්ෂත්‍ර ගණනය කිරීම් වෙනුවෙනි. එමෙන්ම මේ අංක පුස්කොළ පොත්වල පිටු අංකනය කිරීම සඳහා ද භාවිතයට ගෙන තිබේ. පුස්කොළවල හඳහන් ලිවීමේදී මේ අංක දිගින් දිගට ම භාවිත කර ඇති අතර විසිවැනි සියවසෙහි ආරම්භය තෙක් ම මේ සම්ප්‍රදාය පවත්වා ගෙන ගොස් ඇත.

ප්‍රධාන වශයෙන් ලිත් ඉලක්කම් අනුවාද දෙකක් හඳුනා ගෙන ඇත. මේවායේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි හඳුනා ගෙන ඇති අනුවාද දෙකෙහි ම ශූන්‍ය දක්නට ලැබීමයි. මේ ඉලක්කම් ක්‍රමය භාවිත කරමින් සංඛ්‍යා ලිවීමේදී ද අනුගමනය කර ඇත්තේ වර්තමානයේ අරාබි සංඛ්‍යා භාවිතයට ගන්නා ආකාරයටම ය. එනම් වමේ ඇති අංකයේ අගය ශුන්‍යය නිසා දහයෙන් වැඩි වන ආකාරයෙනි. (උද - දෙක ඉලක්කමට පසුව ශුන්‍යය ලිවීමෙන් විස්ස ලබා ගැනීමේ ක්‍රමය) මෙහිදී ලිත් අංක ක්‍රමයේ ශුන්‍ය දැක්වෙන සංකේතය වන හල් කිරීමේ ලකුණ (කොඩිය) කිසියම් සංඛ්‍යාවට පසුව යෙදූ විට එය දහයෙන් වැඩි වෙයි.

උදාහරණ ලෙස ලිත් ඉලක්කම්වල “හතර” දැක්වීම සඳහා භාවිත වනුයේ “ජ” සංකේතයයි. “ජ” ට පසුව හල් කිරීමේ ලකුණ ලියා ඇත්නම් එය “හතළිහ” වෙයි.

ලිත් ඉලක්කම්වල අංක දක්වා ඇත්තේ සිංහල අකුරු හා ස්වර විකරණ කාරක යොදා ගනිමිනි. මේ අංකවල අනුවාද දෙකක් ඇති බවට වෙන් කිරීමට හේතු වී ඇත්තේ අංක “දෙක” “තුන” සහ “නවය” දක්වා ඇති ආකාරය අනුව ය. එක් අනුවාදයක දෙක, තුන සහ නවය යන ඉලක්කම් සඳහා “ණ” (මූර්ධජ) අක්ෂරය හා විකරණ කාරක භාවිත කර ඇති අතර අනෙක් අනුවාදයේ දෙක, තුන සහ නවය යන ඉලක්කම් සඳහා “න” (දන්තද) අක්ෂරය සහ විකරණ කාරක භාවිත කර තිබේ. මේ අනුවාද දෙකෙහි ම ශූන්‍ය දැක්වීම සඳහා හල් කිරීමේ ලකුණ (කොඩිය) භාවිත කර ඇති අතර අංක හය ලිත් ඉලක්කම්වල දක්වා ඇත්තේ ඇක්ම වශයෙනි.

මේ අංක ක්‍රමයේදී

  • බින්දුව - හල් කිරීම (කොඩිය)
  • එක - කොම්බුව
  • දෙක - “න”යන්න (ණ)
  • තුන - “නා”යන්න (ණා)
  • හතර - “ජ”යන්න
  • පහ - “ද ” යන්න
  • හය - ඇක්ම
  • හත - “උ”යන්න
  • අට - “ර”යන්න
  • නවය - “නි”යන්න (ණි)

ලෙස භාවිත කර ඇත. මේ ඕනෑ ම සංඛ්‍යාවක් හල් කිරීම මඟින් දහයේ ගුණාකාර ලබා ගත හැකිය. එනම් “න්” යනු විස්සය. “නා” තිහ වෙයි.

මේ ප්‍රධාන අනුවාද දෙකට අමතරව ශූන්‍ය දැක්වීම සඳහා හල් ලකුණ පමණක් භාවිත නොකර හල් ලකුණ සමඟ පිල්ල (ා්) “ා්” යොදා ගැනීමේ අවස්ථාවක් ද හමුවී ඇත.

හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩ මහතාගේ නක්ෂත්‍ර පොතෙහි මෙලෙස ශූන්‍ය දැක්වීම හමුවන අතර එය වෙනත් තැනක හමු වී නොමැත.

කටපයාදිය[සංස්කරණය]

කටපයාදිය යනු සිංහල ව්‍යඤ්ජන යොදා ගනිමින් බින්දුව හා එකේ සිට නවය දක්වා අංක දක්වන අංකන ක්‍රමයකි. “කටපය” ඉලක්කම් ලෙස ද මේ ක්‍රමය හඳුන්වයි. මෙය ප්‍රධාන වශයෙන් භාවිතයට ගෙන ඇත්තේ දින ලිවීම සඳහා ය. මේ සංඛ්‍යාංකනය කටපයාදිය ලෙස හඳුන්වන්නේ “ක” “ට” “ප” සහ “ය” යන සිංහල හෝඩියේ අක්ෂර අංක “එක” දැක්වීම සඳහා භාවිත කිරීම නිසා ය. වර්තමානයේ ද මෙරට ප්‍රමුඛතම ග්‍රහ ලිත වන ඈපා පංචාංග ලිතෙහි මුල් පිටුවෙහි අවුරුදු සඳහන් කරන්නේ කටපයාදිය භාවිතයෙනි.

මේ ක්‍රමයට අනුව දෙදහස් දහ අට වසර “ඛනකද” ලෙස ලිවිය හැකිය. සාමාන්‍ය ක්‍රමය අනුව ඉලක්කම් වමේ සිට දකුණට ලියනු ලබයි. උදාහරණ ලෙස දෙදහස් දහ අට (2018) දෙක (2) බින්දුව (0) එක (1) අට(8) යන පිළිවෙළට වමේ සිට දකුණට ලිවීම දැක්විය හැකිය. එනමුත් “කටපය” ක්‍රමයේදී භාවිත වන්නේ දකුණේ සිට වමට ලියා යළි කණපිට හරවා කියැවීමයි. එනම් දෙදහස් දහ අට (2018) යන්න දකුණේ සිට වමට 8102 එනම් අට (8) එක (1) බින්දුව (0) දෙක (2) යන ආකාරයට ලියනු ලැබේ. ඉන්පසු අට එක බිංදුව දෙකට අදාළ පරිදි “කටපය” ක්‍රමයට අදාළ අකුරු යොදා ගනිමින් ලියා පසුව කියැවීමේදි එය යළි නිවැරදි පිළිවෙළට ගළපා කියැවීම සිදු කරයි. මෙය යම් නොගැළපෙන ක්‍රියාවක් ලෙස පෙනුණ ද සැබෑ ලෙස ම මෙහිදී සිදු වනුයේ සම්මත රටාවකට අනුව පහසුවෙන් භාවිත කළ හැකි, මතකයෙහි තබා ගත හැකි පහසු උච්චාරණයක් සහ අර්ථයක් සහිත වචනයක් සාදා ගැනීමයි. මෙහිදී ඒ ඒ අක්ෂර සඳහා විකරණ කාරක යොදා ගනිමින් සුදුසු වචන සකස් කරන අතර කියැවීමේදි විකරණ කාරකය ඉවත් කරනු ලබයි.

ඉස්පිලි, පාපිලි ආදිය යොදා ගත්ත ද ඉන් සංඛ්‍යාත්මක අගයට වෙනසක් නොවන නිසා ඒ අදාළ සංඛ්‍යා ඉතා පහසුවෙන් මතක තබා ගැනීමට හා භාවිතයට ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයකි.

උදාහරණයක් ලෙස දෙදහස් දහහත (2017) යන්න කටපය ක්‍රමයට හත එක බිංදුව දෙක (7102) සඳහා අනුරූප අක්ෂර යොදා ගනිමින් “ස ක න ර” ලෙස ලිවිය හැකිය. මෙය මතක තබා ගැනීම සඳහා ඉස්පිලි, පාපිලි ආදිය යොදා ගනිමින් “සක්‍රනාරි” ලෙස පහසුවෙන් භාවිත කළ හැකි වචනයක් සාදාගත හැකිය. එවිට එය “සක්‍රනාරි වර්ෂය” යනුවෙන් භාවිත කළ හැකිය.

තවත් උදාහරණයක් ලෙස 1818 දැක්වීය. මෙය 8181 ට හරවා කටපය ක්‍රමයෙන් “දිප්‍යදීපා” ලෙස දැක්විය හැකිය. සංස්කෘතික ලේඛනවල එක් එක් වර්ෂ සඳහා නම් ලබාදී ඇත්තේ මේ අනුව ය. කටපයාදිය දකුණු ඉන්දියානු ජ්‍යෝතිර්වේදීන් විසින් බහුල ව භාවිත කරන අතර මෙරට ඇතැම් චෝල ශිලා ලේඛනවල ද මේ ක්‍රමය භාවිතයෙන් දිනය යොදා තිබෙන අයුරු දැක ගත හැකිය.

සිංහල අක්ෂර මාලාවේ අක්ෂර අංක සඳහා අනුරූපව භාවිත කළ අංක කට්ටලය

සිංහල අක්ෂර යොදා ගනිමින් පුස්කොළ පොත්වල පිටු අංකනය කිරීමේ ක්‍රමයක් පුරාතනයේ මෙන්ම මෑත කාලීනව ද භාවිත වී තිබේ. මෙහිදී “ඇ” සහ “ඈ” යන ස්වර දෙක හැර සිංහල හෝඩියේ ස්වර සහ ව්‍යඤ්ජනවල අනුපිළිවෙළ මේ සඳහා යොදා ගැනීම සිදුකර තිබේ. මේ නිසා මේ ක්‍රමය “හෝඩියෙන් අංකනය” ලෙසින් ද හඳුන්වයි. පුස්කොළ පිටු අංක කිරීම සඳහා ස්වර යොදා ගැනීමේ සම්ප්‍රදාය බෞද්ධ අත්පිටපත්වලදී බහුලව දැකිය හැකිය.

මේ ක්‍රමය සඳහා සිංහල ස්වර 16 (දහසය) සමඟ ව්‍යාඤ්ජන 34 යොදා ගෙන තිබේ. මේ මඟින් සාදාගත හැකි අක්ෂර සංයෝජන ගණන 544 කි. මෙලෙස අංක කිරීම පළමු ගාත්‍රාක්ෂරයෙන් ආරම්භ වෙයි. එනම් “ක” අක්ෂරයෙන් ආරම්භ කරයි. ඉන්පසු ක, කා, කි, කී, කු, කූ, කෘ, කෘෘ, කෟ, කෳ, කෙ, කෛ, කො, කෞ, කං, කඃ ලෙස අංක කරයි. මෙලෙස අංක 16 ක් ලිවිය හැකිය. මේ ආකාරයට ක, ඛ, ග ලෙස සිංහල හෝඩියේ ගාත්‍රාක්ෂර 34 (තිස්හතරම) භාවිත කරයි. මේ අකාරයට අංක 544 සදා ගත හැකි වන අතර පිටු අංකනය සඳහා එයට වඩා ඉලක්කම් අවශ්‍ය වූ විට “ද්වී” යන වචනය සමඟ තවත් 544 ක දෙවැනි වටයක් යොදා ගනී.

එය ද ප්‍රමාණවත් නොවේ නම් “ත්‍රි” යන චවනයත් සමඟ 544 ක තුන්වැනි වටයක් ද යොදා ගෙන තිබේ. මෙලෙස තව තව අංක අවශ්‍ය වේ නම් පාලි ක්‍රමය අනුව “ද්වී” “ත්‍රි” “ච” .... ආදී වශයෙන් පිටු අංකනය සිදු කරයි. එසේ නොමැති නම් මුල් වටය අවසාන කර ඊළඟ වටය ඇරැඹීමේදී ඒ අකුරට පෙර හෝ පසුව අදාළ “ලිත් ඉලක්කම” හෝ “අ”, “ආ”, “ඇ” ආදී වශයෙන් ප්‍රාණාක්ෂර යොදා ගැනීම ද සිදුකර තිබේ.

භුත අංක හෙවත් භූත සංඛ්‍යා[සංස්කරණය]

අංක දැක්වීම සඳහා සිංහල සාහිත්‍යයේ යෙදෙන චවන භාවිතයට ගැනීමේ අවස්ථා ද හමු වී තිබේ. වචනවලින් අංක දැක්වීම හඳුන්වන්නේ භූත සංඛ්‍යා යනුවෙනි. පංච මහා භූතවලට ඇතුළත් පෘථිවි ආදී වස්තුවලින් ප්‍රකාශ වන ගණන් හෙයින් මේවාට භූත සාධක යැයි කියන ලදී. මේ ගණන් අඟවන්නේ වචනවලින් ය. එසේ අඟවන ගණන වචනයේ අර්ථය පිළිබඳ යම් කිසි කරුණක් ආශ්‍රය කරගෙන ප්‍රකාශ කිරීම සිදු කරයි. යම් වචනයකින් යම් ගණනක් අඟවනවා නම් ඒ වචනයේ අර්ථය ඇති වන (පර්යාය) වචනවලින් ද ඒ ගණන ඇඟවිය හැකිය.

මිනිසා ලෝකය ග්‍රහණය කර ගනුයේ තමා දකින, තමාට ගෝචර වන දේ ඇසුරිනි. සංඛ්‍යා බිහිවීමට ද හේතුව වූයේ එයයි. මිනිසා තමා ග්‍රහණය කර ගන්නා ලෝකය අනුව විවිධ සම්මත ඇතිකර ගත් අතර ඒවා සංස්කෘතිය සමඟ බද්ධ වීම සිදු විය. මිනිසාට විශ්වය, අහස හිස්තැනකි. එය ශූන්‍ය විය. මිනිසාට ඇත්තේ එක් ලෝකයකි. එක් ඉරකි. එක් සඳකි. ඇස්, කන්, අත, පය ආදිය නම් දෙක බැගින් ඇත. අතීතය, දැන්, අනාගතය ලෙස කාල තුනකි. දිශාල යුගල වේද නම් හතරකි. ඉන්ද්‍රියයන් පහකි. ආයතන සයකි. මෙලෙස පොදුවේ දක්නට ලැබෙන සම්මත සංඛ්‍යා ලෙස සටහන් කර ගැනීමට මිනිසා හුරු වූ අතර තමාට අවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීමේදී මේ සම්මත භාවිත කිරීම සිදු විය. මෙලෙස ඇති වූ සංකල්පීය අර්ථ නිරූපණය ප්‍රදේශය සහ සංස්කෘතිය මත රඳා පවතී. පුරාතනයේ දැනුම ගලා ගෙන ගියේ චාවිකව මතකයෙන් සජ්...යනා කිරීම මඟිනි. මේ නිසා පහසුවෙන් මතකයේ තබා ගත හැකි මේ සංකල්ප ඉදිරියටත් භාවිත වීම සිදු විය.

පසුකාලීනව වෙනත් අංක ක්‍රම භාවිතයට පැමිණියාට මේ මුල් ක්‍රමය විවිධ පරිනාමවලට ලක්වෙමින් විවිධ පුද්ගලයන් විවිධ කටයුතු සඳහා යොදා ගෙන ඇත. පැරැණි ගණිතඥයන්, තාරකා විද්‍යාඥයන්, ජ්‍යෝතිෂයක් මෙවැනි අංක ක්‍රම භාවිත කර ඇත. ඔවුන් වැඩි දියුණු කළ මේ භූත සංඛ්‍යා සඳහා ඒ ඒ සංකල්පයට අදාළ වචන යොදා ගෙන ඇත. ඒ අනුව

  • ශූන්‍ය – ශූන්‍යල ගගන, ආකාශ, අම්බර
  • එක – සූර්ය, චන්ද්‍ර, පෘතුවි, භූ, ධරණී
  • දෙක – යම, අක්ෂි, කර්ණ, හස්ත, පාද,නේත්‍ර
  • තුන – අග්නි, කල්‍යාණ, කාල
  • හතර – වේද, සත්‍ය, සාගර, යුග, චක්‍ර
  • පහ – පාණ්ඩව, ප්‍රාණ, කාම, ඉන්ද්‍රිය,
  • ස්කන්ධ, භූත
  • හය – සෘතු, රස, අරි
  • හත – පර්වත, සෘෂි, මුනි
  • අට – මංගල, ගජ, කාමස්වර්ග, පාතාල
  • නවය – රත්න, නිධාන, නිධි, ග්‍රහ, නන්‍ද

වැනි වචන භූත අක්ෂර ලෙස යොදා ගෙන ඇත.

“නැකැත්” 27 ට භාවිත කරන නම් ඒ නැකැත් පිළිවෙළින් 27 දක්වා ගණන් ඇඟවීමට යෙදේ. මෙකී භූත සංඛ්‍යා පුරාණ පොත්පත්, ගල් ලී, ලියැවිලි ආදියේ භාවිත වූ ඒවා වෙති. මේවායේ අනුසාරයෙන් අමුතු වචන යොදා ගත හැක්කේ ය. භූත සංඛ්‍යා එළු ලිය කියමන්හි යොදන විට සංස්කෘත පදවලට සම වූ එළු වචන යෙදිය යුතු වේ.”

යනුවෙන් මේ භූත සංඛ්‍යා පිළිබඳව ඒබ්‍රහම් ඒ. මෙන්ඩිස් ගුණසේකර මහතා විසින් 1901 වසරෙහි සංස්කරණය කරන ලද ‘ඥානාදර්ශය’ සඟරාවේ ‘ග්‍රන්ථාණවයෙහි’දක්වා ඇත. “භූත සාධක ක්‍රමයට ඇතුළත් ප්‍රධාන ගණන් කියන පද” යනුවෙන් භූත සංඛ්‍යා සඳහා භාවිත වූ වචන රාශියක් එතුමා ‘ග්‍රන්ථාණවයෙහි’ දක්වා ඇත.

මේ භූත සංඛ්‍යා ඉදිරිපත් කිරීමේදී අදාළ සංඛ්‍යාව නොකියා ඊට බැඳුණු සංකල්ප ඉදිරිපත් කරයි. මේ ගණන් දැක්වීම ද, කටපය ගණන්, මෙන් දකුණේ සිට වමට ය. මේ නිසා අදාළ වචන, සංකල්ප දැක්වීමේදී සංඛ්‍යාවේ අග සිට මුලට ඉදිරිපත් කිරීම සිදු කරයි. උදාහරණ ලෙස 2017 යන්න 7102 පිළිවෙළ ‘සෘෂි චන්ද්‍ර ගගන කර්ණ’ ලෙස ඉදිරිපත් කරයි. 1087 යන්න 7 8 1 0 අකාරයට ‘ර්‍සෘෂි නාග කේන්ද්‍ර’ ලෙස දැක්විය හැකිය.

සිංහල ඉලක්කම් විකාශනය හා භාවිත[සංස්කරණය]

සිංහල ශිෂ්ටාචාරයේ මුල් කාලවලදී බ්‍රාහ්මී අක්ෂරවලට සමානකමක් ඇති අංක සිංහලයන් විසින් භාවිතයට ගන්නට ඇතැයි සැලකේ. දැනට ලොව භාවිත වන හින්දු අරාබි අංක ද බ්‍රාහ්මි අංකවලින් පරිණාමය වී ඇති බව දැන් පිළිගන්නා මතය වෙයි.

පොලොන්නරු වටදාගෙයින් සිංහල ඉලක්කම් සඳහා පැහැදිලි සාධක හමු වී ඇත. එහි බිම අතුරා ඇති පැතලි ගල් අංකනය සඳහා මේ ඉලක්කම් භාවිත කර තිබේ. වටදාගෙයි හමු වූ අංක අතර සිංහල ඉලක්කම් පුස්කොළ පොත් අංකනය කිරීමේදී හමු වූ ස්වර පදනම් කරගත් අංක ක්‍රමය මෙන්ම සංස්කෘත අකුරු භාවිත කළ අවස්ථා ද හමු වී ඇත.

සිංහල ලිත් ඉලක්කම් මෙරටදී ම ආරම්භ වී වර්ධනය වන්නට ඇතැයි සැලකේ. සිංහලයන් තුළ ‘ශූන්‍ය’ පිළිබඳ දැනුම තිබූ බවට සිංහල ලිත් ඉලක්කම් සාක්ෂි දරයි. ගණිතයේ ප්‍රධාන සංදිස්ථානයක් වන ශූන්‍යය පවා අඩංගු අංක කට්ටලයක් පවා භාවිත කර තිබීමෙන් සිංහලයාගේ ගණිත ඥානය විදහා දැක්වීමට හැකිව තිබේ. දඹුල්ල මැණික් දෙන විහාරයේ මැණික් දෙන ශිලා ලිපියෙහි ද සිංහල ලිත් ඉලක්කම් භාවිත කර ඇති බවට හමුවන සාධක මේ ඉලක්කම් ක්‍රම ඉහළ දියුණුවක් අත් කරගෙන තිබූ බවට ඇති ප්‍රබල සාක්ෂියකි. ලංකාවේ මෙන්ම මෙරටින් විදේශ රටවලට ගෙන ගොස් ඇති පුස්කොළ පොත් සියල්ලෙහි ම වාගේ පිටු අංකනය කර ඇත්තේ සිංහල ඉලක්කම් භාවිතයෙනි.

1815 දී උඩරට නායකයන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා අතර අත්සන් කරන ලද උඩරට ගිවිසුමෙහි ඉංග්‍රීසි කොටසේ වගන්ති අරාබි ඉලක්කම් භාවිත කරමින් අංකනය කර ඇති අතර ඊට සමාන්තර සිංහල වගන්ති මේ සිංහල ඉලක්කම් භාවිතයෙන් අංක කර ඇත.

එමෙන්ම මහනුවර අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සාක්කු ඔරලෝසුවෙහි ද සිංහල ඉලක්කම් තිබීම මේ සිංහල ඉලක්කම්වල පැවැති දියුණුව සඳහා හොඳම උදාහරණයකි.

ක්‍රි. ව. 1505 දී පමණ පෘතුගීසින් යටතේ පැවැති මුහුදු බඩ පළාත්වල අරාබි ඉලක්කම් ව්‍යවහාරයට එක්වීමත් සමඟ විශාල දියුණුවක් ලබා තිබූ සිංහල ඉලක්කම් අභාවයට යෑම ආරම්භ විය. වර්ෂ 1824 පමණ වනවිට සමස්ත රටෙහි ම, සිංහල ඉලක්කම් හැර දමා ඒ වෙනුවට අරාබි (ලංසි) ඉලක්කම් භාවිතයට ගන්නා ලදී. එසේ නමුත් 1936 තරම් මෑත කාලයේ සකස් කළ හඳහන්වල පවා සිංහල ලිත් ඉලක්කම් භාවිත කළ බවට ද සාධක හමු වී තිබේ. අභාවයට ගිය සිංහල ඉලක්කම් ව්‍යවහාරයට ගෙන ඒම සඳහා රජයේ දුම් රථවල පන්තිය දැක්වීමට සිංහල ඉලක්කම් භාවිත කිරීම ද ගත් උත්සාහයක් ගැන සඳහන් වුව ද වර්තමානය වනවිට සිංහල ඉලක්කම් ක්‍රමයක් පැවැතුණු බව වත් නොදන්නා තරමට භාවිතයෙන් ඉවත්ව ගොස් තිබේ.

සිංහල ඉලක්කම්වල විශ්වකේත නිරූපණය[සංස්කරණය]

පරිගණකයේ භාෂා භාවිතයේදී ලොව සෑම භාෂාවකට ම අවස්ථාව හිමි විය යුතු නිසා එතෙක් භාවිත වූ ඇමෙරිකානු ක්‍රමය වෙනුවට ලෝකයටම පොදු වූ ක්‍රමයක් ලෙස Unicode හෙවත් විශ්වකේත ක්‍රමය ඇති විය. මෙහිදි සෑම භාෂාවක් සඳහා ම අනන්‍ය කේත ක්‍රමයක් ඇති කරන ලදී. ඒ අනුව සිංහල භාෂාව සඳහා සිංහල හෝඩිය සහ පිළි විශ්වකේත ක්‍රමයට ඇතුළත් විය. සිංහල විශ්වකේත හෝඩිය සඳහා සිංහල ඉලක්කම් ද ඇතුළත් කළ යුතු යැයි සිංහල ඉලක්කම් පිළිබඳ උනන්දුවක් දැක්වූ මිචෙල් එමර්සන් මහතා විසින් 2007 .02. 08 දින Unicode කන්සෝටියම වෙත යෝජනා කරන ලදි. ඒ සඳහා ඔහු විසින් සිංහල ඉලක්කම් 20 ක් ද යෝජනා කරන ලදි. එනමුත් එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA)විසින් මේ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ...2008.08.28 දින Unicode කන්සෝටියම.... වෙතින් ඉල්ලා සිටින ලදී. ඒ අනුව මෙරට මේ සම්බන්ධයෙන් උනන්දු වූ පිරිස් එක්රැස් කර ඔවුන්ගේ එකඟතාවෙන් සිංහල ලිත් ඉලක්කම් බිංදුව සිට නවය දක්වා සහ‍ සිංහල ඉලක්කම් එක සිට නවය සහ දහය සිට අනූව දක්වා සහ සියය හා දහස අමතර ලැයිස්තුවක් වශයෙන් එක් කිරීමට යෝජනා කර සිංහල විශ්වකේත සඳහා ඇතළත් කිරීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව මේ වනවිට ඒ ඉලක්කම් සිංහල විශ්වකේතේ අන්තර්ගත කර තිබෙන අතර පරිගණක සහ අන්තර්ජාලයේදී ඒවා ඉතා පහසුවෙන් භාවිත කිරීමට අවස්ථාව හිමි වී තිබේ. මේ නිසා පරිගණයක් මඟින් සිංහල භාෂාවෙන් කටයුතු කරන ආකාරයට ම ඉතා පහසුවෙන් මේ සිංහල ඉලක්කම් ද භාවිතයට ගැනීමට හැකිය. මේ නිසා ඉදිරි තොරතුරු තාක්ෂණ ලෝකයක සිංහල ඉලක්කම්වල අනන්‍යතාව රැක ගැනීමට විශාල පිටුවහලක් ද ලැබී තිබේ.

සිංහල ඉලක්කම් පිළිබඳ වාර්තා කිරීම සඳහා විශාල මෙහෙවරක් කළ විද්වතුන් අතරින් කෙනෙක් වන්නේ ඒබ්‍රහම් ඒ මෙන්ඩිස් ගුණසේකර මහතා ය. ඒ මහතා විසින් 1891 දී පළ කරන ලද ‘A Comprehensive Grammar of the Sinhalese Language’ නම් ග්‍රන්ථයෙහි ඔහු විසින් සොයා ගන්නා ලද වටිනා විස්තර රාශ්‍රියක් අන්තර් ගත කර ඇත. එමෙන්ම ඒ පිළිබඳ තවත් කරුණු රාශියක් ඩබ්ලිව්. ඒ. ද සිල්වා මහතා විසින් සොයා ගන්නා ලදුව ඒ මහතා විසින් සංස්කරණය ලද 1938 වර්ෂයේදී රජයේ මුද්‍රණාලයාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘Catalogue of Palm Leaf Manuscript in the Colombo Museum’ හි පළමු වෙළුමෙහි ද අඩංගු කර ඇත.

මෑත කාලීනව මේ පිළිබඳව අධ්‍යනය කර සිංහල ඉලක්කම් ද විශ්වකේත සඳහා ඇතුළත් කිරීමේ ගෞරවය හිමිවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ හර්ෂ විජයවර්ධන මහතාට ය. එමර්සන් මහතා විසින් විශ්වකේත සඳහා සිංහල ඉලක්කම් ඇතුළත් කළ යුතු යැයි යෝජනා කළ පසු ඒ පිළිබඳව අවධානය යොමු කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක විද්‍යාතනය හා මේ පිළිබඳව දැනුමැති පුද්ගලයන් හා සම්බන්ධ වෙමින් මේ පිළිබඳව සොයා බලා සිංහල ඉලක්කම් විශ්වකේත සඳහා ඇතුළත් කිරීමට පියවර ගන්නා ලදී. මේ පිළිබඳව හර්ෂ විජයවර්ධන මහතා විසින් සිදු කරන ලද පර්යේෂණ ඇසුරෙන් “Numerations in the Sinhala Language” නම් කෘතිය ප්‍රකාශයට පත්කර ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

අසිරු වේදිත කරුණාරත්න - සත්මඩල සඟරාව 2018 ඔක්තෝම්බර් ( ලෙක්හවුස් ප්‍රකාශනයක්)

හර්ෂ විජයවර්ධන - Numerations in the Sinhala Language (ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය)

ඒබ්‍රහම් ඒ මෙන්ඩිස් ගුණසේකර - A Comprehensive Grammar of the Sinhalese Language

ඩබ්ලිව්. ඒ. ද සිල්වා - Catalogue of Palm Leaf Manuscript in the Colombo Museum


"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_සංඛ්‍යාංකනය&oldid=471289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි