Jump to content

ස්පේස් එක්ස්

විකිපීඩියා වෙතින්
අභ්‍යවකාශ ගවේශන තාක්ෂන සංස්ථාව
ආයතන නාමයSpaceX
ස්වදේශ නාමයSpace Exploration Technologies Corporation
වර්ගයපුද්ගලික
රැකීරක්ෂාගගනවිද්‍යා හා අභ්‍යවකාශ
ස්ථාපිත කළේ2002 මැයි 06
ආරම්භකයා/යන්ඊලොන් මස්ක්
ප්‍රධාන කාර්යාලයහෝතෝර්න් නගරය, කැලිෆෝනියා ප්‍රාන්තය, එක්සත් ජනපදය
ප්‍රධානීන්ඊලොන් මස්ක්
ග්වයන් ශොට්වෙල්
නිපැයුම්අභ්‍යවකාශයට දියත් කිරීමේ වාහන කිහිපයක්

රොකට් එන්ජින කිහිපයක් ඩ්‍රැගන් කැප්සියුල ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය (නිර්මාණය වෙමින් පවතී) ස්ටාර්ලින්ක් පද්ධතිය

ASDS ගොඩබෑමේ වේදිකා
සේවාකක්ෂීය රොකට් දියත් කිරීම්
ආදායමIncreaseඇමරිකානු ඩොලර් බිලියන 2
අයිතිකරුවන්ඊලෝන් මස්ක්
සේවකයන්9500 (2021 පෙබරවාරි)
වෙබ් අඩවියhttps://www.spacex.com
ස්පේස් එක්ස් මූලස්ථානය, හෝතෝර්න්, කැලිෆෝනියාව

අභ්‍යවකාශ ගවේෂන තාක්ෂන සංස්ථාව (ඉංග්‍රීසි: Space Exploration Technologies Corp) හෙවත් ස්පේස් එක්ස් (ඉංග්‍රීසි: Space X) යනු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ප්‍රාරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාපකයෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය. [1]

ඊලෝන් මස්ක් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) හා ප්‍රධාන තාක්ෂණික නිළධාරී (COO) තනතුරු දෙකම දරන අතර ග්වෙන් ශොට්වෙල් සභාපතිත්වය දරයි.

ස්පේස් එක්ස් ඉතිහාසය

[සංස්කරණය]

ස්පේස් එක්ස් ආරම්භයට තුඩුදුන් ප්‍රධාන හේතුවක් ලෙස ඊලෝන් මස්ක් සඳහන් කරන්නේ වසර 2000 කාලයේදී ඇමරිකාවේ නාසා ආයතනයට මුහුණ දෙන්නට සිදුවූ අතිවිශාල ප්‍රතිපාදන කප්පාදුවයි. අභ්‍යවකාශ තරණය හා ඉන් මිනිස් වර්ගයට ඇති ප්‍රතිලාභ ගැන විශාල විශ්වාසයක් තිබූ මස්ක් ඇමරිකාව තුල යලිත් අභ්‍යවකාශ ගමන් සඳහා මහජන උනන්දුව ඇතිකිරීම සඳහා රුසියාවෙන් අඩුමිල රොකට් හා රොකට් එන්ජින් ලබාගැනීමේ උත්සහයක නිරතවිය.

මේ සඳහා කිහිපවතාවක් රුසියාවේ සංචාරය කල මස්ක්ට හිස් අතින් ආපසු එන්නට සිදුවිය. මෙම ගැටලුවට විකල්පයක් ලෙස නැවත නැවත භාවිතා කිරීමෙන් විශාල ලෙස පිරිවැය අඩුකරගත හැකි රොකට් යානා නිෂ්පාදනය පිලිබඳව අදහස ඇතිවුනේ ඉන් පසුව බව මස්ක් පවසා තිබේ.

අඩු පිරිවැය රොකට්

[සංස්කරණය]

ඩොලර් මිලියන ගණනකින් පිරිවැය ගණනය වන අභ්‍යවකාශ රොකට් ගුවන්ගත කිරීමක පිරිවැය අඩුකරගැනීම සඳහා ඊලෝන් මස්ක් ඇතුලු ස්පේස් එක්ස් කණ්ඩායම සැලසුම් කළහ. මේ සැලසුම් අතර ප්‍රධාන වන්නේ;

1. නැවැත නැවත ගුවන්ගත කල හැකි රොකට් යානා නිපදවීම

2. රොකට්ටුවට අවශ්‍ය ප්‍රධාන කොටස් සියල්ලම ස්පේස් එක්ස් සමාගම තුලම නිපදවීම

3. මොඩියුලර් ආකෘතියෙන් රොකට්ටු නිර්මාණය මගින් කුඩා රොකට්ටුවල කොටස් විශාල රොකට්ටු වලට යොදාගැනීම

ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන රොකට්ටු, අභ්‍යවකාශ මෙහෙයුම් හා ව්‍යාපෘති.

[සංස්කරණය]

ෆැල්කන් 1- Falcon 1

[සංස්කරණය]
ෆැල්කන් 1 රොකට්ටුව ස්පේස් එක්ස් සංක්‍රීර්ණයේදී ගොඩනගමින් තිබේ. මර්ලින් එන්ජිම පැහැදිලිව දැකගත හැකිය

ෆැල්කන් 1, ස්පෙස් එක්ස් සමාගම සාර්ථකව ගුවන්ගත කල පලමු අභ්‍යවකාශ රොකට්ටුව මෙන්ම පුද්ගලික සමාගමක් විසින් සිදුකල පලමු කක්ෂගත අභ්‍යවකාශ ගමන (orbital space-flight) සිදුකල රොකට්ටුව වේ. මෙම රොකට්ටුවට ෆැල්කන් යන නම යෙදුවේ ස්ටාර්-වෝස් චිත්‍රපට මාලාවේ දැක්වෙන "මිලෙනියම් ෆැල්කන්" නම් අධිවේගී අභ්‍යකාශ යානයට ගෞවරයක් ලෙස බව මස්ක් ප්‍රකාශ කර තිබේ.

2008 සැප්තැම්බර් 28 වැනිදා පලමුවරට අභ්‍යවකාශ ගතවූ ෆැල්කන් 1 යානය ද්‍රව-ඉන්ධන රොකට්ටුවක් වූ අතර එය නැවත භාවිතයට ගත හැකි ලෙස නිමවා නොතිබුනි. ස්පේස් එක්ස් නිපදවූ මර්ලින් නම් රොකට් එන්ජිමකින් බලගැන්වුනු ෆැල්කන් 1, අදියර දෙකකින් (two stage) අභ්‍යවකාශයට ඇතුලුවන ලෙස නිර්මාණය කරන ලදී. පලමු අදියර මර්ලින් රොකට් එන්ජිමෙන් බලගැන්වුනු අතර දෙවැනි අදියර ස්පේස් එක්ස් නිපදවූ කෙස්ට්‍රෙල් නම් කුඩා එන්ජිමකින් බලගැන්වුනි.

ෆැල්කන් 1 රොකට්ටුව, ස්පේස් එක්ස් සමාගමේ තාක්ෂණය ප්‍රායෝගිකව ආදර්ශනය කර පෙන්වූ අතර පුද්ගලික අංශයට සාර්ථකව මෙන්ම විශ්වාසවන්ත ලෙස රොකට්ටු නිෂ්පාදනය කොට අභ්‍යවකාශ ගතකල හැකි බව ඔප්පු කරන ලදී. නාසා ආයතනය, සිය අභ්‍යවකාශ අවශ්‍යතා සඳහා ස්පේස් එක්ස් තෝරා ගැනීමට ෆැල්කන් 1 රොකට්ටුව විශාල දායකත්වයක් ලබා දෙන ලදි.

2008දී නාසා ආයතනය ස්පේස් එක්ස් සමාගමට Commercial Resupply Services (CRS) කොන්ත්‍රාත්තුව ලබාදුන්හ. ඒ අනුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් ගෙනයාමට ස්පේස්ක් එක්ස් සමාගමට අවස්ථාව ලැබුනි. මේ සඳහා ෆැල්කන් 9 නම් විශාල රොකට්ටුව හා ඩ්‍රැගන් නම් අභ්‍යවකාශ කැප්සියුලය නිර්මාණය සඳහා නාසා ආයතනය මූල්‍ය සහයද ලබා දුන්හ. [2]

ෆැල්කන් 9 - Falcon 9

[සංස්කරණය]
ෆැල්කන් 9 ගුවන්ගත කිරීමක්. නාසා 39A දියත් කිරීමේ සංකීර්ණය

ෆැල්කන් 1ට යොදාගත් මර්ලින් එන්ජින් නවයක් පලමු අදියරට යොදාගන්නා ෆැල්කන් 9, අදියර දෙකකින් ඩ්‍රැගන් කැප්සූලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇති කක්ෂය වෙත ගෙනයා හැකි රොකට්ටුවකි. කිලෝග්‍රෑම් 22,800 ක බරක් පහල පෘථිවි කක්ෂයටද (Low Earth Orbit) කි.ග්‍රෑ. 5,500 ක බරක් භූස්ථාවර කක්ෂය (Geostationary orbit) වෙතද ගෙනයාමට ෆැල්කන් 9ට හැකියාව ඇත.

ෆැල්කන් 9 රොකට්ටුවලට අභ්‍යවකාශ ගමනේ පලමු අදියර අවසන්ව, දෙවැනි අදියර රොකට්ටුවෙන් වෙන්වූ විට, පලමු අදියර ආපසු වායුගෝලයට ඇතුල් වී පෘථිවියට ගොඩබැස්වීමේ හැකියාව ඇත. මෙය පලමු වතාවට සාර්ථකව සිදු කෙරුනේ 2015 දෙසැම්බරයේදී යි.

ෆැල්කන් 9 රොකට්ටු මේ වනවිට අභ්‍යවකාශ ගමන් 109 කින් 107ක් සාර්ථකව සිදුකර තිබෙන අතර ඉන් 68 වතාවකදී පලමු අදියර ආපසු ගොඩබැස්වීමට සමත්ව තිබේ. දියත් කිරීම් එකක් (SpaceX CRS-7) රොකට්ටුව පුපුරා යාමෙන් සම්පූර්නයෙන් අසාර්ථක වූ අතර, SpaceX CRS-1 මෙහෙයුම අර්ධ වශයෙන් අසාර්ථක යැයි සැළකේ. [3]

ෆැල්කන් හෙවි - Falcon Heavy

[සංස්කරණය]
ෆැල්කන් හෙවි රොකට්ටුවේ පරීක්ෂණ පියාසැරියක්

ෆැල්කන් හෙවි යනු කි.ග්‍රෑ. 63,800 ක බරක් පහල පෘථිවි කක්ෂය වෙත ගෙනයා හැකි, බලසම්පන්න රොකට්ටුවකි. තවද එයට කි.ග්‍රෑ. 26,700 ක බරක් භූසමමුහුර්ථ සමර්පණ කක්ෂයකටද (Geosynchronous transfer orbit), කි.ග්‍රෑ. 16,800 ක බරක් අඟහරු සමර්පණ කක්ෂයකට ද, කි.ග්‍රෑ. 2,500 ක බරක් ප්ලූටෝ වෙත ද, ගෙනයාමට තරම් හැකියාවක් ඇත.

පලමු අදියර ලෙස එකට තබන ලද ෆැල්කන් 9 රොකට්ටු තුනක් සමගාමීව ක්‍රියාත්මක වේ. මැදින් ඇති ෆැල්කන් 9ට ඈඳූ අනෙක් ෆැල්කන් රොකට්ටු දෙක බූස්ටර් රොකට්ටු ලෙස ක්‍රියාකරයි.

මෙම රොකට්ටුවේ පලමු අදියරේ මැද රොකට්ටුව හා බූස්ටර් රොකට්ටු දෙකද ඇතුලුව මර්ලින් එන්ජින් 27ක් එකවර ක්‍රියාත්මක වෙයි. ෆැල්කන් හෙවි රොකට් පද්ධතිය දැනට සාර්ථක ගමන්වාර තුනක් අවසන් කර ඇති අතර තවත් 8ක් සැලසුම්කර ඇත. [4]

ඩ්‍රැගන් කැප්සූල

[සංස්කරණය]

කාගෝ ඩ්‍රැගන් කැප්සූලය - Cargo Dragon (Dragon 1)

[සංස්කරණය]

අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ටොන් 6ක සැපයුම් ගෙනයාමට නිර්මාණය කල කාගෝ ඩ්‍රැගන් කැප්සූලය ෆැල්කන් 9 රොකට්ටුවක් ආධාරයෙන් ගුවන් ගත කෙරෙයි. පලමු පියාසැරිය 2010 දී සිදුවූ අතර මෙය පුද්ගලික සමාගමක් අභ්‍යවකාශයට යවා, ආපසු ගෙන්වාගත් ප්‍රථම අභ්‍යවකාශ යානාව විය. මේ වනවිට කාගෝ ඩ්‍රැගන් කැප්සූලය සාර්ථක ගමන්වාර 23ක් අවසන් කොට ඇති අතර එය විශ්‍රාම ගන්වා තිබේ. ඩ්‍රැගන් 2 කැප්සූලය, ඒ වෙනුවට හඳුන්වාදී ඇති වඩාත් විශාල කැප්සූලයකි. [5]

ඩ්‍රැගන් 2 භාණ්ඩ ප්‍රවාහන කැප්සූලය - Dragon 2 (cargo version)

[සංස්කරණය]

නාසා ආයතනය ලබාදුන් Commercial Resupply Services-2 කොන්ත්‍රාත්තුව යටතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ටොන් 6ක සැපයුම් ගෙනයාමට නිර්මාණය කල කාගෝ ඩ්‍රැගන් 2 කැප්සූලය නැවත නැවත භාවිතයට ගත හැකි ලෙස නිර්මාණය කෙරුනි.

ස්වයංක්‍රියව ISS මධ්‍යස්ථානය වෙත පියාසර කොට එය හා සම්බන්ධවීමට හැකි කාගෝ ඩ්‍රැගන් කැප්සූලයේ පියාසර මෘදුකාංග ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වේ. C++ හා ජාවාස්ක්‍රිප්ට් පරිගණක භාශාවලින් පියාසර මෘදුකාංග සකසා ඇත.

කෲ ඩ්‍රැගන් කැප්සූලය - Crew Dragon (Dragon 2 crewed version)

[සංස්කරණය]

අභ්‍යවකාශගාමීන් 7ක් ගෙනයා හැකි ලෙස සකසා තිබෙන ඩ්‍රැගන් 2 කැප්සූල මාදිලිය කෲ ඩ්‍රැගන් ලෙස හැඳින්වේ. මෙයට හදිසි උවදුරකදී (උදා:- රොකට්ටුව පුපුරා යාමකදී) ගගනගාමීන් සහිත කැප්සූලය ආරක්ෂා සහිතව රොකට්ටුවෙන් ඉවතට ගෙන යා හැකි ගැලවුම් පද්ධතියක් (launch escape system) හඳුන්වාදී තිබේ. අධිබල සුපර්-ඩ්‍රෙකෝ නම් එන්ජින් 8ක් ක්‍රියාත්මකවී ඉතා වේගයෙන් රොකට්ටුවෙන් ඈතට කැප්සූලය ගෙනයාහැකි ලෙස මෙම පද්ධතිය සකස්කොට ඇත.

පෙර භාවිත කළ භාන්ඩ ප්‍රවාහන කැප්සූල මෙන් නොව, කෲ ඩ්‍රැගන් කැප්සූලය අභ්‍යවකාශගාමීන්ගේ ස්වසන ක්‍රියාවලියට ඔක්සිජන් සැපයීමට හා වායුගෝලීය පීඩනය රඳවාගැනීම සඳහාඅ ජීව ආධාරක පද්ධතියකින් සමන්විත වේ.

මේ වනවිට කෲ ඩ්‍රැගන් කැප්සූලය පලමු නාසා අභ්‍යවකාශ ගාමීන් දෙදෙනා ISS මධ්‍යස්ථානයට ගෙනගොස් සුරක්ෂිතව ආපසු ගොඩබස්වා පලමු ගමන සාර්ථකව අවසන් කර තිබේ.

කෲ ඩ්‍රැගන් ඩෙමෝ 1 අභ්‍යවකාශ ගමන - Crew Dragon Demo 1

[සංස්කරණය]

මිනිසුන් ගෙනයාම සඳහාම සැකසූ කෲ ඩ්‍රැගන් කැප්සූලයේ පලමු පරීක්ෂණ අභ්‍යවකාශ ගමන ඩෙමෝ 1 ලෙස හැඳින්වේ. මෙහිදී ගගනගාමීන් වෙනුවට රිප්ලි නම් ආකෘතියක් පියාසර කෙරුනි. 2019 මාර්තු 2 වැනිදා සිදුකල මේ පියාසැරිය, පලමු මිනිස් චාරිකාවට පෙර කෲ ඩ්‍රැගන් කැප්සූලයේ අවසන් පරීක්ෂණ පියාසැරිය ලෙස සැළකේ.

අලුත්ම ෆැල්කන් 9 රොකට්ටුවකින් ගුවන්ගත වූ කෲ ඩ්‍රැගන් ඩෙමෝ 1 පියාසැරිය රිප්ලි නම් ආකෘතියක් සාර්ථකව අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ගොඩබට වූ අතර, අභ්‍යවකාශ මධ්‍යස්ථනයෙහි රඳවා සිටි ගගනගාමීන් කෲ ඩ්‍රැගන් කැප්සූලය තුලට පිවිස එය පරීක්ෂා කළහ. 2019 මාර්තු 8 වැනිදා ඩෙමෝ 1 මෙහෙයුම සාර්ථකව ගොඩබසින ලදි.

කෲ ඩ්‍රැගන් ඩෙමෝ 2 අභ්‍යවකාශ ගමන

[සංස්කරණය]

2020 මැයි 30 වැනිදා, ගගනගාමීන් දෙදෙනෙකුද රැගෙන, ෆැල්කන් 9 රොකට්ටුවකින් කෲ ඩ්‍රැගන් ඩෙමෝ 2 පියාසැරිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්විය. නාසා ගගනගාමීන්වූ ඩග්ලස් හර්ලි හා රොබර්ට් බෙන්කන් මේ සඳහා තෝරාගෙන තිබුනි. මේ පියාසැරිය මගින් නාසා ආයතනය, ස්පේස් එක්ස් සමාගමේ රොකට්ටු හා අභ්‍යවකාශ කැප්සූල වලට මානව ගගනගාමීන් රැගෙන අභ්‍යවකාශයට ගොස්, ආපසු නැවතත් නිරුපද්‍රිතව ගෙන ඒමේ හැකියාව පිලිබඳව පූර්ණ ක්‍රියාවලිය පරීක්ෂණයට බඳුන්කරන ලදී.

දින 63 ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකල කෲ ඩ්‍රැගන් කැප්සූලය හා ගගනගාමීන් දෙදෙනා 2020 අගෝස්තු 2 වැනිදා පැරෂූට මගින් අත්ලාන්තික් සාගරයට ගොඩබසින ලදී. 2011 දී ඇට්ලෑන්ටිස් අභ්‍යවකාශ ෂටලයේ අවසන් පියාසැරියෙන් පසු, ඇමරිකානු භූමියෙන් අභ්‍යවකාශ ගතවූ පලමු ගගනගාමීන් දෙදෙනා ලෙස කෲ ඩ්‍රැගන් ඩෙමෝ 2 යානයේ ඩග්ලස් හර්ලි හා රොබර්ට් බෙන්කන් ඉතිහාසයට එක්වෙයි. ෂටල ව්‍යාපෘතියේ අවසානයෙන් පසු සියලුම ඇමරිකානු ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනගියේ රුසියානු සෝයූස් කැප්සූල ආධාරයෙනි.

ස්ටාර්-ලින්ක් අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව

[සංස්කරණය]

චන්ද්‍රිකා මගින් ලොව දුශ්කර පලාත්වලට අධිවේගී අන්තර්ජාල සබඳතා ලබාදීම සඳහා ස්පේස් එක්ස් ආරම්භ කල ව්‍යාපෘතිය ස්ටාර්ලින්ක් ලෙස හැඳින්වේ. මේ චන්ද්‍රිකා ස්පේස් එක්ස් මගින් නිර්මාණය හා නිෂ්පාදනය සිදුකරන ලද අතර 2018 දී පලමු පරීක්ෂණ චන්ද්‍රිකා ගුවන්ගත කරන ලදී. මේ වනවිට චන්ද්‍රිකා 1,205 ගුවන්ගත කොට ඇති අතර එයින් 1,141 තවමත් කක්ෂයේ රැඳෙමින් ක්‍රියාත්මක වේ. [6] තවත් 64 ක් සාර්ථකව කක්ෂයෙන් ඉවත් කරන ලදි. මේ වනවිට අන්තර්ජාල සේවාව අත් හදා බැලීමේ මට්ටමේ ඇති අතර 10,000 කට ආසන්න පිරිසකට පමණක් ප්‍රවේශය ඇත. දත්ත හුවමාරු සීමා රහිත, තත්පරයට මෙගා බිටු 170 කට ආසන්න වේගයක් ඇති අන්තර්ජාල සබඳතාවක් සැපයීමට ස්ටාර්ලින්ක් සමත්වී ඇති බව පරීශීලකයන්ගේ මතයයි. [7]

මූලාශ්‍ර

[සංස්කරණය]


  1. ^ තරුණ ප්‍රකෝටිපතියෙකුගේ අධිතාක්ශණික සිහින, ටෙරන්ස් කහපොල ආරච්චි, විද්‍යා ගවේෂණ [1]
  2. ^ Falcon 1 (Wikipedia) [2]
  3. ^ Falcon 9 (Wikipedia) [3]
  4. ^ Falcon Heavy (Wikipedia) https://en.wikipedia.org/wiki/Falcon_Heavy
  5. ^ ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සූලය ගොඩබසී (විද්‍යා ගවේෂණ)[4]
  6. ^ https://en.wikipedia.org/wiki/Starlink
  7. ^ https://insideevs.com/news/492623/spacex-starlink-internet-first-user-reports/
"https://si.wikipedia.org/w/index.php?title=ස්පේස්_එක්ස්&oldid=618549" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි