ශාන්ත අන්තෝනි දේවස්ථානය, වහකෝට්ටේ

විකිපීඩියා වෙතින්

   දුර්භික්ෂ දුරු කරමින් ප්‍රාතිහාර්ය පාන

      වාසල බැඳි කොටුවේ පල්ලිය

   පෘතුගාලයේ ලිස්බන් නුවර ධනවත් පවුලක උපත ලබන ෆ්‍රනැන්ඩු මාටින්ස් ප්‍රැන්සිස්කන් නිකායික පියතුමෙකු ලෙස සරල දිවියක් තෝරාගන්නේ දිළිඳු අසරණ මිනිසුන් වෙනුවෙන් කැපවීමට තිබෙන කැමැත්ත නිසාමයි. තමන් පීඩා විඳිමින් වුන් රෝගාබාධයන් ද අමතක කර ධර්මයට කැපවන මේ ගුණගරුක පියතුමා තමන් විසින් ම උනන්දුවෙන් ඇතිකරගත් ධර්ම ඥානයෙනුත් චතුර කථිකත්වයෙනුත් යුතු වූ බැවින් බොහෝ ගෞරවයට පාදක වුණා. " ප්‍රාතිහාර්යේ සාන්තුවරයා " ලෙස ප්‍රසිද්ධ වන මෙතුමා 1231 ජුනි 13 වෙනිදා පාදුවාහී දී ස්වර්ගස්ථ වූ බැවින් 'පාදුවාහී ශාන්ත අන්තෝනි මුනිඳු' යන නමින් අද ද බොහෝ බුහුමන් ලබන්නේ තවමත් එතුමන්ගේ පිහිට ධාර්මික ජනතාවට නොඅඩුව ලැබෙන නිසයි.

  ඒ. සී. ලොරී විසින් ලියන ලද ගැස්ටියර් ග්‍රන්ථයේ ද සඳහන් පරිදි ලංකාව තුළ කතෝලික ධර්මය ව්‍යාප්ත කළ පෘතුගාල ජනතාව ලන්දේසි ආක්‍රමණ සමඟ බොහෝ පීඩාවන්ට ලක්වන අතර රටින් පිටවීමට නොහැකි වූ ජනයා උඩරට රජුගේ ආරක්ෂාව ලබා රජ වාසලක් හා බළකොටුවක් පැවති මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගොඩ පල්ලේ සිය පත්තුවේ පදිංචි වෙනවා. මෙසේ කෝට්ටේ සිට ආ ජනතාව අතර කතෝලික ධර්මයට අයත් කිසිවක් ළඟ පවතින බව හසුවුවහොත් ලන්දේසින් අතින් මැරුම්කන්නට සිදුවන බැවින් බත් හැලියක සඟවාගෙන පැමිණි අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාවක් බළකොටුව අසල තැම්පත් කල ජනතාව එයට රාත්‍රි කාලයේ යාඥා කර තිබෙනවා.

   සිහල වංශිකයෙකු ලෙසින් පළමුව කතෝලික දහම වැළඳගත් දොන් පිලිප් කුමරා රාජාභිෂේක ලබන්නේ ද The Ceylon Almance නම් බ්‍රිතාන්‍ය ලේඛනයේ ද සඳහන් වන මෙම බළකොටුව තුළයි. 1687 වර්ෂයේ දී ජුසේවාස් පියතුමා ද මේ පැල්පත් දෙව් මැඳුර තුළ සිට ධර්ම ප්‍රචාරන කටයුතු සිදුකර ඇති අතර ගොන්සාලිවේස් පියතුමා 1705 වසරේ සිට මෙහි පදිංචිව ජනතාවට සේවය කර තිබෙනවා.

   ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් දුර්භික්ෂ අවස්ථාවක ප්‍රාතිහාර්ය පාමින් පිහිට වූ නිසා 1838 දී පැරණි වාසල කොටුවේ රොම්නෙක්ස් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව බාල්ක නොමැතිව විශාල ආරුක්කු මත ඉදිකර පාදුවාහී ශුද්ධ වූ අන්තෝනි මුනිඳුට කැපකරන දේවස්ථානය වහකෝට්ටේ පල්ලිය ලෙස ප්‍රසිද්ධ වේ. ජුනි මස 13යින් පසු එළබෙන ඉරිදා දිනයේ දී හේවිසි, හොරණෑ, උඩරට නැටුම් ආදී අංගයන් ගෙන් යුක්තව මංගල්‍යය සමරන එකම දේවස්ථානය වහකෝට්ටේ පල්ලිය යි. ශ්‍රී ලංකාවේ බැසිලිකා දේවස්ථාන පහ අතරට එක්වන ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් ඉදි වූ පැරැණිම දේවස්ථානය වන වහකෝට්ටේ පල්ලියේ දී පමණක් ගොන්සාලිවේස් පියතුමා විසින් රචිත පසන් ගී අසන්නට ලැබීම ද විශේෂ ය.

   නැති වූ දේවල් සොයා දීමට, දුරබැහැර ගමන් වලදී ආරක්ෂාව ලැබීමට මෙන්ම රෝගාබාධ මැඬගෙන ජීවිතයේ කඩඉම් ජයගන්නට ද අන්තෝනි මුනිඳුට වන බාර-හාර රුකුලක් වන බව ප්‍රසිද්ධියි. මාතලේ කඳු අතර සිසිලස ලබාදෙන සුන්දර පරසරය සිතට සැහැල්ලුවක් ගෙනෙන බව නම් අමුවෙන් කිවයුතු නැත. විවේකය විඳින්න ජාති ආගම් භේදයකින් තොරව ජනතාව සඳහා විවෘත අතර පරිසරවේදී අයවලුන්ට පක්ෂී වර්ග 50ක් පමණ අවට දැකගත හැකිය.