ශ්‍රී ලංකාවේ බ්ලුමැන්ඩල් කුණු කන්ද

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search


හැඳින්වීම[සංස්කරණය]

මෙම ලිපිය මඟින් ශ්‍රී ලංකාවේ බ්ලුමැන්ඩල් කුණු කන්ද සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම අපද්‍රව්‍ය රඳවන ස්ථානය වන හෙයින් එමඟින් ඇතිව තිබෙන ගැටළු ද බොහෝය. බ්ලුමැන්ඩල් කුණු කන්දෙහි ආරම්භය, එය වර්ධනය වූ ආකාරය, කසළ කන්දෙහි වත්මන් තත්වය, බ්ලුමැන්ඩල් කුණු කන්ද සහ අවට ප්‍රදේශයේ ජනතාව අතර ඇති සම්බන්ධය පිළිබඳව ද විස්තර කොට ඇත.

අපද්‍රව්‍ය හැඳින්වීම[සංස්කරණය]

මානව ශිෂ්ටාචාරය ආරම්භ වූ දා සිටම මානවයාගේ විවිධ ක්‍රියාකාරකම්වල ප්‍රථිඵලයක් ලෙස අපද්‍රව්‍ය උත්පාදනය කරමින් පවතී. ආදි මානවයා සරල වූ අවශ්‍යතා මත ජීවත් වූ අතර ඔවුන්ගේද දෛනික ක්‍රියාකාරකම්වලදී අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරුණි. මානව ශිෂ්ටාචාරයේ වර්ධනයට සමගාමීව සිදු වූ පරිබෝජන රටාවේ වෙනස්වීම සමඟ උත්පාදනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙන්ම ඒවායේ සංයුතියද සංකීර්ණ වේ.

ඝන අපද්‍රව්‍ය රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, නිවසින් නිවසට හෝ කර්මාන්තයෙන් කර්මාන්තයට වෙනස් වේ. ඒ අනුව එක් රටකට කර්මාන්තයකට හෝ පුද්ගලයෙකුට ඝන අපද්‍රව්‍යයක් ලෙස පෙනෙන ද්‍රව්‍යයක් තවත් රටකට, කර්මාන්තයකට හෝ පුද්ගලයෙකුට සැබෑ ඝන අපද්‍රව්‍යයක් නොවිය හැකිය.

උදා:- මනාව සැලසුම් කළ නගරයක හෝ රටක හෝ නාගරික ඝන අපද්‍රව්‍යයන්හි ඇති ශාකමය කොටස් බොහෝවිට එම නගරයේම උයන්, මංමාවත් අලංකරණයේදී සිටුවන ගස්වලට අවශ්‍ය පස සකස් කිරීමේ ද්‍රව්‍යයක් ලෙස යොදාගැනේ එහෙත් මනාව සැලසුම් නොවුන රටවල එවැනි ශාක කොටස් සම්පත් වශයෙන් නොසලකා ඝන අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලබයි.

පරිසර දූෂණයවන සාධක අතර වර්තමාන ලෝකයේ "ඝන අපද්‍රව්‍ය" ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත. නිවෙස්වලින්, කර්මාන්තශාලාවලින්, රෝහල්, කඩසාප්පු, හෝටල්, සංචාරක, ව්‍යාපාරික ස්ථානවලින් පරිසරයට අපද්‍රව්‍ය එකතු වේ. එමඟින් ඉවත දමන පොලිතින්, කඩදාසි, වීදුරු, ප්ලාස්ටික්, ටයර්, යකඩ, කැඩී බිඳී ගිය විදුලි උපකරණ හා වෙනත් බොහෝ දෑ අපද්‍රව්‍ය ලෙස පරිසරයට එකතු වේ.

දිනෙන් දින ඉහළ යන ජන සංඛ්‍යාවට සාපේක්ෂව උත්පාදනය වන අපද්‍රව්‍ය සංයුතියද සීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් විවිධ ගැටළු රාශියක් උද්ගත වී ඇත.

ඝන අපද්‍රව්‍ය හා සම්බන්ධව ඇති නිර්වචන[සංස්කරණය]

•"මිනිසාගේ දෛනික ක්‍රියාවලියක් වන කෘෂිකාර්මික කටයුතු, වෙළඳ කටයුතු, විවිධ කර්මාන්ත නිසාත්, නිවෙස්වලින් ඉවත දමන අනවශ්‍ය කොටස් වීදි පවිත්‍ර කිරීමෙන් එකතු වන දියර නොවන ද්‍රව්‍යයන් ඝන අපද්‍රව්‍ය ලෙස හඳුන්වයි" (අබේනායක, එස්. 1997)

•"නාගරික ප්‍රදේශයක් තුළ ප්‍රාථමික කි්‍රයාවලීන්ගෙන් ජනනය වන හෝ පාරිබෝජකයන් විසින් ඉවත ලන ද්‍රව්‍ය නාගරික අපද්‍රව්‍ය ලෙස හැඳින්වේ. (Sandra,C. 1982)

කොළඹ නගරයට කසළ එකතුවන අයුරු[සංස්කරණය]

ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර එක් නගරයකට විශේෂයෙන් සීමා වූ සංවර්ධන ක්‍රියාදාමයක් දැකිය හැකිය. එනම් අග්‍රනාගරීකරණයක් දැකිය හැකිය. කොළඹ නගරය ශ්‍රී ලංකාවේ අගනගරයයි. යටත් විජිත බලපෑම් ද මේ සඳහා හේතු වී ඇත. අපද්‍රව්‍ය බහුල වශයෙන් උත්පාදනය වීමට මෙකී නාගරීකරණය සෘජුවම බලපා ඇත.

නාගරික ජන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල විවිධ අංශවලින් ගැටළුකාරී තත්ත්වයන් මතුව ඇත. ඒ අතර නාගරික අපද්‍රව්‍ය නම් ගැටඛවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.


අංක 1 ප්‍රස්තාරය

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල දිනකට එකතුවන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය සංසන්දනාත්මකව

Graph1.JPG

මූලාශ්‍රය:- පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශය - 2005 ජනවාරි


අංක 2 ප්‍රස්තාරය

දිනකට එකතුවන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය සංසන්දනාත්මකව කොළඹ දිස්ත්‍රික්කය

Graph2.JPG

මූලාශ්‍රය:- පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශය - 2005 ජනවාරි

අංක 1 සහ අංක 2 යන ප්‍රස්තාරයන්ට අනුව ශ්‍රී ලංකාවේ දෛනිකව ජනනයවන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකූවිට වැඩිම අපද්‍රව්‍ය ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, එයින්ද නගර සභා මට්ටමින් ගත්විට කොළඹ මහ නගර සභාව තුළ කැපී පෙනෙන ඝන අපද්‍රව්‍ය වර්ධනයක් ද දැකිය හැකිය. කොළඹ නගරික කලාපය තුළ අති විශාල ජන සංඛ්‍යාවක් ජීවත් වේ. එනම් කොළඹ නගරය වර්ග කිලෝමීටර 37.3 ක ප්‍රමාණයක් වේ. නමුත් වර්ග කිලෝමීටර එකක ජීවත්වන ජන සංඛ්‍යාව 170,000 ක් පමණ වේ. මෙම අධික ජන ඝනත්වය ද කොළඹ නගරයේ ඝන අපද්‍රව්‍ය උත්පාදනය ඉහළ යාමට හේතු වී ඇත.

ගණනය කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය බැහැරලීමේ ක්‍රමවේදය ලෙස විවෘත බැහැරකිරීම 85%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. කොළඹ මහ නගර සභාව තුළ උත්පාදනය වනුලබන නාගරික ඝන අපද්‍රව්‍ය වර්තමානයේ බිම් පිරවුම් සඳහා මුදාහරිනු ලබන අතර පාලනය කිරීමකින් තොර කුඩා, විවෘත බැහැර කිරීමේ ස්ථාන කිහිපයකට ද ඒවා මුදාහරිනු ලැබේ.

බ්ලුමැන්ඩල් කුණු කන්දෙහි ඉතිහාසය සහ වර්ධනය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ති්‍රක්කයේ කොළඹ නගර සභාවට අයත් බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ මෙම අපද්‍රව්‍ය රඳවන ස්ථානය දැකගත හැකිය.

කොළඹ නගරයේ බ්ලුමැන්ඩල් අපද්‍රව්‍ය රඳවන ස්ථානය ආරම්භ වූයේ 1995 වසරේ සිට වුවත් ගිවිසුමකට යටත්ව අපද්‍රව්‍ය පිරවීම ආරම්භ වූයේ 2001 වසරේ සිටය. කෙළඹ නගර සභාව පෞද්ගලික සමාගමක් සමඟ 2001 වසරේ ඇතිකරගත් ගිවිසුමකට අනුව වසර 25ක් දක්වා මෙම ඉඩමේ අපද්‍රව්‍ය පිරවීමට නගර සභාවට අයිතියක් ඇත. මෙම ස්ථානයට දිනකට අපද්‍රව්‍ය ටොන් 650 - 700 ක ප්‍රමාණයක් එකතු වේ. මෙම අපද්‍රව්‍ය ටොන් එකක් සඳහා නගර සභාව විසින් පෞද්ගලික ආයතනයට රුපියල් 420ක මුදලක් ගෙවිය යුතු වේ.

බ්ලුමැන්ඩල් අපද්‍රව්‍ය රඳවන ස්ථානයට අපද්‍රව්‍ය එකතුවන ආකාරය

  • නිවෙස්වලින්
  • කර්මාන්තශාලාවලින්
  • රෝහල්වලින්
  • පාසල්වලින්
  • මිනීපෙට්ටි සාප්පුවලින්
  • ව්‍යාපාරික ආයතනවලින්
  • ආපනශාලාවලින්

ආදී විවිධ ස්ථානවලින් ගෙනෙන අපද්‍රව්‍ය නිසා මෙම කුනු කන්ද දිනෙන් දින වර්ධනය වේ.


බ්ලුමැන්ඩල් අපද්‍රව්‍ය රඳවන ස්ථානයෙහි ඡායාරූපයක්

Kunukanda.JPG

බ්ලුමැන්ඩල් කුනු කන්දට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී. අවටින් ගෙනෙන අපද්‍රව්‍ය බැකෝ යන්ත්‍ර භාව්තයෙන් මුදුන් කොට කන්දක් ආකාරයට සකසා ඇත. අපද්‍රව්‍ය ජනනය වීමට සාපේක්ෂව නිසි කළමනාකරණයක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක නොවීම මෙසේ කසළ ප්‍රමාණය ඉහළයාමට හේතුවයි.

කොළඹ නගරයේ බ්ලුමැන්ඩල් අපද්‍රව්‍ය රඳවන ස්ථානය ශ්‍රී ලංකාවේ විශාලතම කුනු කන්ද වේ. මෙමඟින් ඇතිව තිඛෙන ගැටළු බොහෝය. පාරිසරික, සමාජ, ආර්ථික වශයෙන් මෙම ගැටළු වර්ග කළහැකිය. අඩු පහසුකම් නිවාසවල ජීවත් වන බොහෝ පිරිසක් මෙම කුනු කන්ද අසළ ජීවත්වේ.


බ්ලුමැන්ඩල් කුනු කන්දෙහි පිහිටීම[සංස්කරණය]

උතුරින් බ්ලුමැන්ඩල් රේල් පාරද, දකුණින් වරාය පිවිසුම් මාර්ගයද, නැගෙනහිරින් මහවත්ත පාරද බටහිරින් බ්ලුමැන්ඩල් පාරද මඟින් මෙම බ්ලුමැන්ඩල් කුනු කන්ද වටවී ඇත.


බ්ලුමැන්ඩල් කුණු කන්දෙහි පිහිටීම ගුවන් ඡායාරූපයකින්

Airphoto.JPG

මූලාශ්‍රය:- http:// www.google.com


බ්ලුමැන්ඩල් කුනු කන්ද සහ ඒ අවට ප්‍රදේශය තුළ ප්‍රධාන වශයෙන් වගුරු බිමක් හඳුනාගත හැකිය. මෙම වගුරු බිම අසළම බ්ලුමැන්ඩල් අපද්‍රව්‍ය රඳවන ස්ථානය පිහිටා ඇත. බ්ලුමැන්ඩල් කුනු කන්දට අක්කර 20ක් පමණ ප්‍රදේශයක් අයත් වන අතර ඉන් හෙක්ටයාර 1.5 ක් පමණ මෙම වගුරු බිමට අයත් වේ. මෙම වගුරු බිම් තත්වය සහ විවෘත බව, බ්ලුමැන්ඩල් අපද්‍රව්‍ය රඳවන ස්ථානය මෙම ස්ථානයෙහි ආරම්භ වීමට (ස්ථානගත වීමට) හේතු වී ඇත.

බ්ලුමැන්ඩල් කුනු කන්ද අවට ප්‍රදේශයේ ජනතාව සහ ඔවුන්ගේ සෞඛ්‍යය[සංස්කරණය]

බ්ලුමැන්ඩල් කුනු කන්දේ සිට උතුරු දෙසට ගත්විට මහවත්ත රේල් පාර දෙපස අඩු පහසුකම් නිවාස 17ක් දැකිය හැකිය. ඔවුනට මෙම කුනු කන්ද බොහෝවිට පාරිසරික ගැටළුවක් වී ඇති අතර අනෙක් අතට සම්පතක්ද වී ඇත. කුනු කන්දෙන් බිහිවන මැසි මදුරුවන් ඇතුළත් වායු දූෂණය, ජල දූෂණය, පාංශු දූෂණය අවට වැසියන්ට මහත් පීඩනයකි. එසේම කසළ කන්දට ගෙනෙන බෝතල් ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය එක්රුස් කර ආර්ථිකමය වශයෙන් වාසි ලැබීමද දැකිය හැකිය.

බ්ලුමැන්ඩල් අවට ප්‍රදේශයේ ජීවත්වන මැදි වයසේ ජනයාගෙන් යම් පිරිසක් කසළ කන්දෙහි විවිධ ද්‍රව්‍ය එක්රැස් කොට මුදල් උපයා ගන්නා අතර එම මුදල් ප්‍රමාණය දෛනිකව නිශ්ච්ත නොවේ. මෙම කාර්යය සඳහා ඇතැම් විට කුඩා ළමුන් සහභාගී වන අතර ද්‍රව්‍ය රැස් කිරීම සඳහා ඔවුනොවුන් අතර තරඟයක් ද පවතී. ප්ලාස්ටික් බෝතල් වැනි දිරා නොයන ද්‍රව්‍ය මෙලෙස කුනු කන්දෙන් ඉවත් කිරීම පරිසර හිතකාමී වේ.

ප්‍රදේශයේ ගෘහ ඒකක 17ක් ද, ඒවායේ පවුල් 17ක් ද ජීවත්වන අතර මුළු ජන සංඛ්‍යාව 62 කි. බ්ලුමැන්ඩල් කුනු කන්දෙන් උතුරට වන්නට මහවත්ත රේල් පාර දෙපස මෙම නිවාස දැකිය හැකි අතර, ලෑලි, කාඩ්බෝඩ් වැනි තාවකාලික ද්‍රව්‍යවලින් මෙම නිවෙස් ගොඩනඟා ඇත. නළ ළිං මඟින් සැපයෙන ජල පහසුකම හැරුණු කොට අවශ්‍ය අනෙකුත් මූලික පහසුකම් මෙම නිවාස ආශ්‍රයෙන් දැකිය නොහැකිය. බ්ලුමැන්ඩල් කුනු කන්දෙන් නිකුත් වන සෑම පාරිසරික බලපෑමක්ම මෙම නිවෙස් සඳහා උපරිම වශයෙන් අහිතකර ලෙස බලපායි.

බ්ලුමැන්ඩල් කුනු කන්ද අවට ප්‍රදේශයේ අඩු පහසුකම් නිවාසවල බොහෝ ජනතාවක් ජීවත් වන අතර දූෂණයට ගොදුරු වූ පරිසරය නිසා ඔවුහු සනීපාරක්ෂාව පිළිබඳ ගැටළු රැසකට මුහුණ පා සිටිති. වැසි දිනයන්හි දී කුණු කන්දෙන් ගලායන කළු පැහැති දියර නිසා මුළු ප්‍රදේශයම දුර්ගන්ධයෙන් පිරී පවතී. මෙමඟින් පසට සහ ජලයට සිදුවන බලපෑම අතිවිශාල වේ.

බ්ලුමැන්ඩල් කුනු කන්දෙහි 2009.03.09 දින ගිනි ගැනීමක් සිදුවී ඒ අවට වායුගෝලය විශාල වශයෙන් දූෂණයට ලක්වූ අතර කුනු කන්දෙහි කොටස් කඩා වැටීමෙන් අඩු පහසුකම් නිවාස හතරකට ද හානි සිදුවිය.


බ්ලුමැන්ඩල් කුනු කන්ද ගිනිගත් අවස්ථාව

Fire.JPG


මෙම පිපිරීම ඉතා විශාල වශයෙන් සිදු වුවහොත් බරපතළ හානියක් සිදුවිය හැකිය. එයට හේතුව බ්ලුමැන්ඩල් තුනු කන්ද අවට ප්‍රදේශයේ එයට ආසන්නව අඩු පහසුකම් නිවාස රාශියක් පිහිටා තිබීම සහ වරායට සමීපව පිහිටා තිබීමයි. තව ද මෙවැනි ස්ථානවලින් මැස්සන්, පණුවන් හා විවිධ සතුන් ඇතිවීම නිසා විවිධ ලෙඩ රෝග හා වසංගත ප්‍රදේශයේ පැතිරී යයි. විශේෂයෙන් ඔවුන්ට පිරිසිදු වාතාශ්‍රයක් නොලැබේ. වැසි කල දී අවට කානු පද්ධති සියල්ලේම ජලය ගලාබැස යාමක් සිදු නොවේ. මේ නිසා මදුරුවන් බෝවීම හා වෙනත් විවිධ සතුන් බෝවීම හේතු කොටගෙන ජනතාවට නොයෙක් ලෙඩ රෝග බෝවේ. විශේෂයෙන්ම සමේ රෝග, ශ්වසන රෝග, පාචනය වැනි රෝග තත්වයන් බහුලව ඇති වේ.


ඝන අපද්‍රව්‍ය ආශ්‍රිත ගැටළු[සංස්කරණය]

ගැටළුව ප්‍රථීඵලය


වායු දූෂණය

  • මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු ඇතිවීම.
  • දුඟඳ ඇතිවීම.
  • පිළිස්සීමේ දී ඩයොක්සීන් වැනි හානිකර සංයෝග ඇතිවීම
  • දූවිලි ජනනය වීම.

ජල දූෂණය

  • ශ්‍රාවය වන අපදියර ජලයට මුසුවීම.
  • ජල මාර්ග අවහිර වීම.
  • අපද්‍රව්‍ය කෙලින්ම ජලයට මුසුවීම.
  • ජල දේහයන් තුළට වැටෙන ආලෝකය සීමාවීම

පස දූෂණය

  • පසේ රසායනික තත්වය වෙනස්වීම.
  • පසේ භෞතික තත්වය වෙනස්වීම.
  • පසට ජලය උරාගැනීම සීමාවීම.
  • පස තුළ මුල් දිවීමට අපහසුතා ඇතිවීම.

සෞඛ්‍ය ගැටළු

  • රෝග වාහකයන් බෝවීම.
  • ව්‍යාධිජනකයන් පැතිරීම.
  • පාරිසරික වෙනස්වීම් මඟින් පැතිරෙන රෝග.

ජෛව විවිධත්වය විනාශවීම

  • පරිසර පද්ධති විනාශවීම.
  • ජීව විශේෂවලට තර්ජන එල්ලවීම.
  • ජාන විවිධත්වයට හානි සිදුවීම.

පරිසර අලංකාරය විනාශවීම

  • ඝන අපද්‍රව්‍ය එක්රැස්වීමෙන්.
  • ඝන අපද්‍රව්‍ය බැහැරලීමෙන්.

සමාජයීය හා ආර්ථික ගැටළු

  • නේවාසික පරිසරය අප්‍රසන්නවීම.
  • අනතුරු සිදුවීම.
  • බැහැරලීම සඳහා විශාල මුදලක් වැයවීම.
  • සෞඛ්‍ය සේවා සඳහා විශාල මුදලක් වැයවීම.


බ්ලුමැන්ඩල් කුණු කන්ද ආශ්‍රයෙන් ද මෙම ගැටළු බොහොමයක් හඳුනාගත හැකිය. මෙවැනි ඝන අපද්‍රව්‍ය නිසා විවිධාකාර පාරිසරික බලපෑම් ඇතිවී තිබේ. කොළඹ නගරයේ ප්‍රදේශවල මෙවැනි ද්‍රව්‍ය ගොඩගසා තිබීම නිසා නාගරික සෞන්දර්යයට විශාල තර්ජනයක් එල්ල වී ඇත. එමෙන්ම මෙම අපද්‍රව්‍ය පසට කාන්දු වී භූගත ජලයට එක්වීම නිසා භූගත ජලය ද අපවිත්‍ර වී ඇත. එසේම බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ අපද්‍රව්‍ය පල්වීම හේතුවෙන් ඉතා දුඟඳකින් යුත් මීතේන් වැනි වායු පිටවේ. මෙය ශ්වසන රෝග බෝවීමට හේතු වේ.

දිගු කාලීන වර්ෂාපතන තත්වයක් ඇති වූ විට කසළ කන්දේ පවතින විෂ ද්‍රව්‍ය සේදී පැමිණ මෙකී ඇළ මාර්ගය ඔස්සේ ගලා ගොස් වගුරු බිමට ද අවසානයේ කැළණි ගංගාවට ද එක්වේ.

කසළ කන්ද ආශ්‍රිතව පවතින වගුරු බිම මදුරුවන් මැස්සන් බෝවන ප්‍රධාන ස්ථානයක් ද වේ. දිවා කාලයට වඩා රාත්‍රී කාලයේ දී මදුරුවන්ගෙන් දරුණු හිරිහැරයක් ඇතිබවට ද අඩු පහසුකම් නිවාස වාසීන් කරුණු දැක්වූහ. මෙම නිවාසවල ජීවත්වන කුඩා දරුවන් නිතර රෝගී තත්වයන්ට ද ලක්වේ.

පින්තූර ගැලරිය[සංස්කරණය]

බ්ලූමැන්ඩල් කුණු කන්දෙහි අවස්ථා කිහිපයක්


ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශය - 2005 ජනවාරි
  • පරිසර සුරැකුම් පුහුණුව, 2003