විකි

විකිපීඩියා වෙතින්

විකියක් යනු, විකි නම් මෘදුකාංගය භාවිතා කරගෙන නිර්මාණය කරණු ලබන වෙබ් අඩවියකි. මෙමගින් වෙබ් බ්‍රවුසරය තුළ ඉතා පහසුවෙන් WYSIWYG පෙළ සකසුවක හෝ මාර්ක්අප් භාෂාවක් උපයෝගී කරගෙන වෙබ් පිටු තැනීම, සංස්කරණය කිරීමේ හැකියාව සහ පිටු අතර සබැඳිමේ හැකියාවක් ඇත.විකි බොහෝ විට භාවිතා කරනුයේ සහයෝගීව වෙබ් අඩවි නිර්මාණය කිරීමට සහ ප්‍රජා වෙබ් අඩවි බලාත්මක කිරීමටය.විකිපීඩියා විශ්වකෝෂය යනු එවැනි සහයෝගීව නිර්මාණය වන වඩාත්ම ප්‍රචලිත විකියක්ය.තවද ව්‍යාපාරමය කටයුතු වලදී දැනුම් කළමණාකරණ පද්ධතියක් (knowledge management systems) ලෙසත් ඉන්ට්‍රානෙට් (intranet) පහසුකමක් ලෙසද විකී භාවිතා කරයි.විකි මෘදුකාංගයේ ප්‍රථම නිමැවුම් කරුව වන්නේ වර්ඩ් කනින්හම් (Ward Cunningham) නැමැත්තාය.

ගුණාංග[සංස්කරණය]

වෝඩ් කනිංහැම් සහ තවත් සමකර්තෘවරයෙකු වන Bo Leuf සිය The Wiki Way: Quick Collaboration on the Web නැමති පොතේ විකි සංකල්පයේ මූලික ස්වභාවය පහත පරිදි විස්තර කර ඇත.

  • විකියක් ඕනෑම පිටුවක් සංස්කරණය කිරීමට සහ විකි වෙබ් අඩවිය තුළ නව පිටු තැනීමට හුදෙක් විශේෂඥයන්ගේ පමණක් නොව සෑම තරාතිරමක පරිශීලකයන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන අතර වෙනත් කිසිදු බාහිර මෙවලමක සහායෙන් තොර ව හුදෙක් සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයක් හරහා එය ඉටු කිරීමට ඉඩ සලසා දෙයි.
  • විකියක් පිටු සබැඳීම ප්‍රත්‍යක්ෂමය ලෙස සරල කිරීමෙන් සහ සබැඳියකින් ඉලක්කගත පිටුවක් විකිය තුළ පවතින්නේද නොපවතින්නේද යන්න දැක්වීම තුළින් විවිධ පිටු අතර අර්ථාන්විත තේමාත්මක සබඳතාවන් ගොඩනංවයි.
  • විකියක් යනු කිසිදු සංස්කාරක මණ්ඩලයක හෝ විශේෂඥ පිරිසක සංස්කරණයට හෝ පරීක්ෂාවට ලක් වූවක් නොවේ. එය සාම්ප්‍රදායික පරිශීලනයට ඔබ්බට ගොස් අඩවියේ දියුණුව පිණිස පාඨක සහභාගීත්වයද අපේක්ෂා කරයි. ඒ අනුව එය පරිශීලකයන්ගේ දායකත්වයන් මත නිරන්තර ව යාවත්කාලීන වෙමින් පවතී.

විකියක් සිය සංස්කාරක ප්‍රජාවට සාමූහික ව ලේඛනයේ යෙදීමට අවස්ථාව සලසා දෙයි. ඒ සදහා පරිගණකයක්, අන්තර්ජාල සබදතාවක්, එච්. ටී. එම්. එල්. වලට සමාන සරළ සළකුණු භාෂාවක් පිළිබද ව මූලික අවබෝධයක් තිබීම පමණක් සෑහෙයි. විකියක ඇති තනි පිටුවක් විකි පිටුවක් යනුවෙන් හැදින්වෙන අතර විකිය යනුවෙන් හැදින්වෙන්නේ අධිසන්ධාන වලින් සබැදුණු සමස්ත පිටු එකතුවයි. විකියක් යනු ඇත්ත වශයෙන් ම පිටු සැකසීමට, කියැවීමට, තොරතුරු සෙවුම් කිරීමට හැකි පිණිස නිමැවුණු දත්ත පාදකයකි. විකියක් ඒකරේඛීය නොවූ සංකීර්ණ, පරිණාමය වෙමින් පවතින, ජාලගත තොරතුරු සංග්‍රහයක් සපයන අතර එහි දී තොරතුරු සහ හැඩසවීම සම්බන්ධයෙන් සංස්කාරකවරුන්ට සංවාදයේ නිරත වෙමින් ප්‍රජාවක් ලෙස කටයුතු කිරීමටද ඉඩ සලසයි.

විකි ක්‍රමවේදයේ අනන්‍ය ලක්ෂණය වන්නේ පිටු සැකසීමට සහ යාවත්කාලීන කිරීමට ඇති විවෘත ඉඩ හසර යි. බොහෝවිට වෙබ් අඩවියට සිදුකරන වෙනස්කම් කිසිදු මණ්ඩලයකගේ පරීක්ෂාවට ලක් වීමෙන් තොර ව එසැණින් දිස් වේ. බොහෝ විකි ගිණුමක් රහිත ව වුව පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට වෙනස්කම් කිරීමට ඉඩකඩ ලබා දේ. මේ තත්ත්වය විසින් ඇතැම්විට විකි අඩවි අනිසි සංස්කරණවලට ලක්වීමටද ඉඩ සලසා දී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=විකි&oldid=497010" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි