වලිසිංහ හරිශ්චන්ද්‍ර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර
Brahmachari Walisingha Harischandra (1876-1913).jpg
වලිසිංහ හරිශ්චන්ද්‍ර
උපත9 July 1876
මිය යාම13 September 1913(1913-09-13) (වයස 37)
ජාතිකත්වයශ්‍රී ලාංකික
වෙනත් නම්එඩ්වර්ඩ් ද සිල්වා වලිසිංහ
අධ්‍යාපනයමීගමුව ශාන්ත මරියා විද්‍යාලය
කොළඹ වෙස්ලි විද්‍යාලය
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
සංගණ්‍ය වන්නේබුදු දහමේ පුනර්ජීවනය
ශ්‍රී ලංකා නිදහස් අරගලය
අමද්‍යප ව්‍යාපාරය

බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර (1876 ජූලි 9 - 1913 සැප්තැම්බර් 13) සමාජ සංශෝධකයෙකු, ඉතිහාසඥයෙකු, කතුවරයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ බුදු දහමේ පුනර්ජීවනය වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයෙකි. [1] ඔහු බෞද්ධ පුනර්ජීව ව්‍යාපාරයට නායකත්වය දුන් අනගාරික ධර්මපාලතුමන්ගේ අනුගාමිකයෙක් විය. වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු මෙන්ම අනුරාධපුර පූජා නගරයේ ගැලවුම්කරු ලෙසද සැලකෙයි.[2]

චරිතාපදානය[සංස්කරණය]

වලිසිංහ හරිස්චන්ද්‍රතුමා මීගමුව මහහුණුපිටියේ දී 1876 ජුලි 09 වැනි දා උපත ලැබී ය. වලිසිංහ හෙන්ද්‍රික් ද සිල්වා හා ජෙහන්දි මර්තීනු සිල්වා මව්පියෝ වූහ. එතුමා කුඩා කළ හැදින්වූයේ එඩ්වඩ් ද සිල්වා යන නමිනි. දහනම වැනි සියවසේ අගභාග‍ය වනවිට ශ්‍රී ලංකාවෙන් විශේෂයෙන් බටහිර මුහුදු කරයෙන් බුද්ධාගම හා බෞද්ධ පරිසරය ක්‍රමයෙන් තුරන්වන වාතාවරණයක් විය. ක්‍රිස්තියානී පූජකයෝ ඔවුන්ගේ ලබිධිය එහි පතුරවාලී‍මේ අනේකවිධ ක්‍රම උපක්‍රම ක්‍රියාත්මක කළ හ. යටත් විජිත රජය ද මේ ක්‍රියාත්මකයන් ට සහයෝගය දැක් වු ඇතැම් පිරිස්වලට තනතුරු දීමෙන් අනුග්‍රහය දැක්වීය. මේ වකවානුව වන විට මුහුදුබඩ මීගමුව වැනි ක්‍රිස්තු භක්තිකයන්ගෙන් පිරී පැවතුණි.

මහහුණුපිටිය ශ්‍රී සුගතාරාමයේ ධම්මරතන හිමියන් යටතේ කුඩා කළ බෞද්ධ ධර්මය පිළිබඳ ව මූලික දැනුමක් ලබා ගත් ඒ මහතා 1881 දී මීගහළඟ නම් ගමේ පාසලට මූලික අධ්‍යාපනය සඳහා ඇතුළු වි ය. 1885 දී ශාන්ත මරියා විදුහලට ඇතුලත් ව අධ්‍යාපනය ලබා පසුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ වෙස්ලි විද්‍යාලයට එක් වි ය. එහි දී අධ්‍යාපනය හා බාහිර ක්‍රියාකාරකම් ගැන විශේෂ දක්ෂතා දැක් වූ හරිශ්චන්ද්‍රතුමා 1895 සිට නීතිය හැදෑරීමට පෙළඹුණේ ය. [3] [2]

සිංහලයන් අබෞද්ධ වූවක් මෙන් ම පරගැති සිරිත් විරිත් වැළඳගෙන අසිංහල තත්වයට පත්වෙමින් තිබුණි. බෞද්ධාගම පමණක් නොව චිරාගත සිංහල සිරිත් විරිත්,සිංහල භාෂාව හා ඇදුම් පැළදුම් පවා පිළිකුල් කළ සිංහලයෝ පරගැති සිරිත් විරිත් අනුගමනය කරමින් නම් පවා මාරුකරමින් ඉංග්‍රීසියට මුල්තැන දෙමින් කටයුතු කළ හ. එකල පැවති වාතාවරණය මෙසේ වුව ද හරිශ්චන්ද්‍ර තුමා සිංහල භාෂාව ඉගෙන එම සිරිත් විරිත් ගරු කරමින් සමාජයට ආදර්ශයක් දුනි. එතුමාගේ මව්පියෝ සිය පුතුට මේ නිසි මඟ පෙන්වීම කළ හ. මුල් යුගයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කළ එතුමා එකල ක්‍රියාත්මක වු බොහෝ ආගමික හා ජාතික සංවිධානවල නිලතල දරා කාගේත් ගෞරවයට පාත්‍ර විය. යටත් විජිත යුගයේ මැල වී යටපත් ව ගිය සිංහල‍ය , බෞද්ධාගම හා සිංහල ශිෂ්ටාචාරය පන ගන්වා ජනතාව අතර ගැවසෙමින් අභීත සිංහනාද කළ ජාතික වීරයෙකි. තත්කාලීනා‍ව ජීවත් වූ අනගාරික ධර්මපාල තුමා හරිශ්චන්ද්‍ර තුමාට ජාතික ආගමික උන්නති‍ය සළසා ලීමේ කාර්යභාරයක් ඉදිරිය‍ට ගෙන යාමට මඟ පෙන්වුයේ ධර්මපාලතුමාය.

කතාවෙන් අනුන් වශීකර ගන්නට සමත් වු හරිශ්චන්ද්‍රතුමා හරබර දේශනා පවත්වා අසන්නන්ගේ සිත්සතන් පැහැද වි ‍ය. දේශනයේ දී එතුමා වෙතින් චතුර කථිකත්වයක් විදහා දැක්විණි. එතුමාගේ දේශන වලට කන්දුන් ඇතැම් අසන්නන් මඟින් පසුකාලයේ දී පුළුල් ජාතික හා ආගමික උද්ඝෝෂණ‍යක් ඇරඹුණි. මේ වකවානුව වන විට රටේ සුපතළ නමක් දැරූ ධර්මපාලතුමා ගැන ඒ මහතාට දැන ගන්නට ලැඹුණි. ධර්මපාලතුමාගේ දේශනා හා ආගමික ක්‍රියාවලිය පිළිබඳ තදබල පැහැදීමක් හරිශ්චන්ද්‍ර මහතාට ඇති වි ය. මේ අතර 1899 දී අනගාරික ධර්මපාලතුමා එකල උද්ගත ව තිබූ ජාතික හා ආගමික ගැටලු අළලා මීගමුවේ දී ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වී ය. හරිශ්චන්ද්‍රතුමා ද ඒ කටයුතුවල‍ට පූර්ණ සහාය ලබා දුනි. ධර්මපාලතුමාලගේ ඇසුරට වැටුණු හරිශ්චන්ද්‍ර මහතා තම කුඩා කළ හැදින් වූ එඩ්වඩ් ද සිල්වා නම වෙනුවට වලිසිංහ හරිශ්චන්ද්‍ර යන නම යොදා ගත්තේ ය. [4] වැඩිපුර ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලදුවත් එතුමා යුරෝපීය සිරිත් විරිත් මෙන්ම ඇඳුම් ද අතහැර බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් හෙළ බසින් ජනතාව ඇමතී ය. අනගාරික ධර්මපාලතුමා නැඟූ පිය සටහන් අනුව ගමන් කරමින් මෙතුමා ජාතික ආගමික ප්‍රචාරක කටයුතු තියුණු ලෙස කළේ ය.

එතුමා ගත කළ ආදර්ශවත් ජීවන චර්යාව අගය කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ 1899 දී හරිශ්චන්ද්‍රතුමාට බ්‍රහ්මචාරී යන ගරු නාමය ප්‍රදානය කළ හ. තත්කාලයේ ක්‍රියාත්මක වූ අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ බෞද්ධ ප්‍රභූන් පිහිටුවා ලූ මහාබෝධි සමාගමේ ඉදිරි ගමනට හරිශ්චන්ද්‍රතුමාගෙන් ද වටිනා සේවයක් සිදු වි ය. ශ්‍රී ලංකාවේ පුරාණ නටබුන් රාජධානි පුරා පැවති බෞද්ධ ස්ථූප හා විහාරාරාම ආරක්ෂා කිරීමට හරිශ්චන්ද්‍රතුමා ඉමහත් උත්සාහයක් ගත්තේ ය. විශේෂයෙන් අනුරාධපුර පුරා වස්තු කේන්ද්‍ර කරගෙන මේ ව්‍යායාමය දියත් කළේ ය. [4] ඇතැම්විට යටත් විජිත පාලකයන් සමඟ මේ සඳහා සටන් මඟට බැසීමට ද එතුමාට සිදු වි ය. වලිසිංහ හරිශ්චන්ද්‍ර ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු ලෙස සැලකෙයි. [1][5]

රචනා[සංස්කරණය]

වලිසිංහ හරිශ්චන්ද්‍ර විසින් කෘති රාශියක්ම රචනා කර ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ කෘති බොහොමයක්ම සිංහල හා ඉංග්‍රීසි බසින් ලියැවිණි. අනුරාධපුර පූජා නගර විස්තරය, Great Story of King Dutugemunu, ලුම්බිණි, මහාබෝධි, The Significance of Jaya Sri Maha Bodhi සහ Life of King Devanampiyatissa ඔහු විසින් රචිත කෘති වලට උදාහරණ වේ. ඔහුගේ අනුරාධපුර පූජා නගරය ගැන කෘතියේදී පුරාවස්තු නැරඹීමට පැමිණෙන්නන් සඳහා මාර්ගෝපදේශනයක්ද සපයා ඇත. [2] [3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 MENDIS, Jayanatha (2009-09-20). "Walisinghe Harischandra - the young revivalist". Sunday Observer.
  2. 2.0 2.1 2.2 Wijenayake, Walter. "Walisinghe Harischandra saved sacred city of Anuradhapura". The Island online.
  3. 3.0 3.1 "Walisinghe Harischandra". Sunday Times Online. 16 September 2007.
  4. 4.0 4.1 "Restoring the sacred city of Anuradhapura". Sunday Times Online.
  5. "Museums in Sri Lanka". Lakpura travels.

බාහිර සැබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වලිසිංහ_හරිශ්චන්ද්‍ර&oldid=444074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි