ලි ක්විංචාඕ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජිනාන්හි ලි ක්විංචාඕ ස්මාරකයේ ඇති ලි ක්විංචාඕගේ ප්‍රතිමාව
ජිනාන්හි බඔටු වසන්ත උද්‍යානයේ පිහිටි ලි ක්විංචාඕ ස්මාරකය
මෙය චීන නාමයකි; පවුල් නාමය වන්නේ ලි ය.

ලි ක්විංචාඕ (චීන: 李清照; පින්යින්: Lǐ Qīngzhào; වේඩ්-ගයිල්ස්:Li Ch'ing-chao; 1084 – 1155 පමණ) හෙවත් යි’අන් ජුෂි (易安居士) යන ව්‍යාජ නාමයේන හැඳින්වෙන්නේ සොං රාජවංශයේ චීන කිවිඳියක සහ ලේඛිකාවකි‍.[1] චීන ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨතම කිවිඳිය ලෙස සැ‍ලකෙන්නේ ඇයයි.[2]

චරිතාපදානය[සංස්කරණය]

ලි ක්විංචාඕ උපත ලැබූයේ 1084 වර්ෂයේ චැංක්වියු (වර්තමාන ෂැන්ඩොං පළාත) ප්‍රදේශයේ විද්වත්-නිලධාරී පවුලක ය. ඇගේ පියා සු ෂිගේ ශිෂ්‍යයකු විය. ඔහු සතුව විශාල ග්‍රන්ථ එකතුවක් පැවති අතර, ලි ළමාවියේ සිට අධ්‍යාපනය ලැබුවා ය. ඇය සාමාන්‍ය වංශවත් කාන්තාවන් අතර අසාමාන්‍ය බුද්ධියකින් හෙබි යුවතියක වූවා ය.[3]

විවාහ වීමට පෙර, ඇගේ කාව්‍ය රචනා විද්වත් කවවල සාමාජිකයින් අතර ප්‍රකට විය‍. 1101දී ඇය චාඕ මිංචෙං සමග විවාහ වූ අතර, ඇය ඔහු සමග සිය කලා එකතූන් සහ අභිලේඛන විද්‍යාව පිළිබඳ දැනුම හුවමාරු කරගත්තා ය. ඔවුන් ජීවත්වූයේ වර්තමාන් ෂැන්ඩොං පෙදෙසේ ය. ඇගේ සැමියා සිය නිලධාරි වෘත්තිය ඇරඹීමත් සමග ඔහු නිතරම නිවසේ නොසිටියේ ය. ඔවුන් විශාල ධනවතුන් නොවූව ද, අභිලේඛන එකතු කිරීමෙන් සහ චාරුලේඛන කලාවෙන් ඔවුහු සිය විවේකය ගතකළහ. ඔවුන් එක්ව සතුටින් විසූ බව ඇගේ ඇතැම් ප්‍රේම කාව්‍ය මගින් පෙනේ. ලි සහ ඇගේ සැමියා බොහෝ ග්‍රන්ථ එකතු කළහ. ඔවුන් එකිනෙකා සමග පෙම් කවි හුවමාරු කරගත් අතර, ෂෑං සහ චෞ රාජවංශ සමයයන්ට අයත් ලෝකඩ කලාකෘති පිළිබඳව ද රචනා කොට තිබේ.

ජින්-සොං යුද්ධ හේතුවෙන් උතුරු සොං අගනුවර වූ කායිෆෙං 1127දී ජුර්චෙන්වරුන් විසින් බිඳහෙළන ලදී. ෂැන්ඩොංහි පැවති සටන් හේතුවෙන් ඔවුන්ගේ නිවස ගිනිබත් විය. සිය වත්කම් බොහෝමයක් රැගත් යුවළ නැන්ජිං වෙත පලාගොස් එහි වසරක් පමණ දිවිගෙවූහ. රාජකාරී ගමනක් අතරතුර 1129දී චාඕ මියගියේ ය. සිය සැමියාගේ මරණය ලි හට කිසිදා සුවනොවන හදේ තුවාලයක් ඉතිරි කළේ ය. අනතුරුව ඇය ඉතිරිව තිබූ සිය කෘති එකතුව ආරක්ෂා කරගැනීමට උත්සාහ දැරුවා ය. ලි ඇගේ සැමියාගේ මරණාපරව ප්‍රකාශිත කෘතියක් වූ ජින් ෂි ලු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඇගේ විවාහ දිවිය සහ පලායාමේ දී ඇතිවූ අරගල ආදිය විස්තර කොට තිබේ. ඇගේ මුල්කාලීන කාව්‍ය රචනා මගින් උසස් සමාජයේ කාන්තාවක ලෙස ඇය ගතකළ නිදහස් දිවිය අලංකාරත්වයෙන් යුතුව නිරූපණය වේ.

අනතුරුව ලි හැංචෞ වෙත පලාගියා ය. සොං රජය ජුර්චෙන්වරුන්ට එරෙහිව නව අගනුවර එහි එදි කරමින් පැවතිණි. මෙම යුගයේ දී, ඇය කාව්‍ය රචනයෙහි නියැළුණා ය. එසේම ඇය විසින් මුලින් චාඕ මිංචෙං විසින් සම්පාදනය කළ ජින් ෂි ලු ග්‍රන්ථය සම්පූර්ණ කිරීමට වෙහෙසුණා ය. මෙම ග්‍රන්ථය ප්‍රධාන වශයෙන්ම ලෝකඩ සහ ශෛලමය නිර්මාණ පිළිබඳ ලියැවුණු චාරුලේඛනවලින් යුක්ත ය. ජින් ෂි ලු තුළ මුල්කාලීන යුගයේ ලි සහ චාඕ විසින් එකතු කළ ලේඛන පිළිබඳව ද සඳහන් වේ. ඇතැම් සමකාලීන වාර්තා අනුව, ඇය කෙටි කාලයක් චෑං රුචෞ (張汝舟) නැමැත්තකු හා විවාහ වී තිබේ. ඔහු ඇයට කුරිරු අයුරින් සැලකූ අතර, මාස කිහිපයකින් ඇය ඔහුව දික්කසාද කොට තිබේ.[4] ඇය මෙම විවාහයේ විවේචන ඉවසා සිටියා ය.

ඇගේ කවි අතුරින් ඉතිරිව ඇත්තේ කාව්‍ය සියයක් පමණ ය. ඉන් බොහෝමයක් ඇය දිවියේ ලත් වාසනාවන් පිළිබඳ විස්තර කෙරෙන සි ශෛලියේ කවි වේ. මීට අමතරව ෂි ශෛලියෙන් යුතු කවි ස්වල්පයක් ද හමු වේ. ඇගේ දිවිය නොයෙකුත් හැල හැප්පීම් මධ්‍යයේ ගොඩනැගුණකි. ඇගේ කවි ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. මෙහි දී නිර්ණායකය වන්නේ ඇය දකුණ කරා ගමන්ගත් අවධියයි. මුල්කාලීන යුගයේ දී, ඇගේ කවි බොහෝමයක් අවිවාහක යුවතියක ලෙස ඇගේ සිතිවිලි නිරූපණය කරයි. මේවා බොහෝමයක් පෙම් කවි වැනි ය. ඇය දකුණ කරා පලායාමෙන් පසු, මෙම කවි තුළින් ජුර්චෙන් යුද්ධය කෙරෙහි ඇය දැක්වූ කෝපයත්, ඇගේ දේශානුරාගයත් කැපී පෙනේ. චීන කාව්‍ය ශාස්ත්‍රයේ ප්‍රථම ප්‍රමිතික විස්තරාත්මක විචාරය ඇයට අයත් යැයි යෝජනා වී ඇත. ඇය වන්යුඒ පෙයි "සියුමැලි සංයමයෙන්" යුත් ආචාර්යවරියක ලෙස හැඳින්වේ.

ඇගේ නමින් ග්‍රහ ආවාට ද්විත්වයක් නම් කොට ඇත. මේ අතරට බුධ ග්‍රහලොවේ වූ ලි චිං-චාඕ සහ සිකුරු ග්‍රහලොවේ වූ ලි ක්විංචාඕ ආවාටය අයත් වේ.

සටහන්[සංස්කරණය]

  1. Chang, Saussy & Kwong 1999, p. 89.
  2. "Li Qingzhao". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 24 April 2016. 
  3. http://discovery.cctv.com/special/C19802/01/
  4. Rexroth & Chung, 93.

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලි_ක්විංචාඕ&oldid=410054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි