Jump to content

රේ විජේවර්ධන

විකිපීඩියා වෙතින්
පිලිප් රේවත විජේවර්ධන
රේ විජේවර්ධන (අවුරුදු 20 දි)
Born(1924-08-20)20 අගෝස්තු 1924
Died18 අගෝස්තු 2010(2010-08-18) (වයස 85)
Other namesරේ
Alma materචර්ච් මිෂනරි සොෂයිටි කාන්තා විද්‍යාලය, කොළඹ, ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස, පීටර්හවුස්, කේම්බ්‍රිජ්, හාවඩ් ව්‍යාපාර පාසල
Occupationsඉංජිනේරු, කෘෂිවිද්‍යාඥ, නව නිමැවුම්කරු, ගුවන්යානා නිර්මාණකරු
Known forද්විත්ව රෝද ට්‍රැක්ටරය , ලිහිණියා හා සූටික්කා ගුවන්යානා
Spouseශි්‍ලා ද මෙල්
Childrenඅනෝමා,රෝශිනි,මැන්ඩි

‍දේශමාන්‍ය විද්‍යාජෝති ආචාර්ය පිලිප් රේවත විජේවර්ධන (20 අගෝස්තු 1924 – 18 අගෝස්තු 2010) මහාතා ශ්‍රීලාංකික ඉංජිනේරුවරයෙක්, ගගන විද්‍යාඥයෙක්, නව නිපැයුම්කරුවෙක් මෙන්ම ඔලිම්පික් ක්‍රිඩයෙක් විය. ඔහු විසින් නිවර්ථන කලාපයට ගැලපෙනන කෘෂිකාර්මික කටයුතු ගැන මහත්සේ උනන්දුවෙන් පර්යේෂණ කටයුතු මෙහෙයවුයේය.

අධ්‍යාපනය හා වෘත්තිය ජිවිතය

[සංස්කරණය]

එතුමන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරුවේ CMS කාන්තා විද්‍යාලය, කොළඹ, සහ ශා.තෝමස් විදුහල,ගල්කිස්ස, මෙම ද්විත්වයම ඇග්ලිකන් පාසල් විය. පසුව එතුමන් Peterhouse College, University of Cambridge, මහා බ්‍රිතාන්‍ය,තුලින් ගගන විද්‍යාව,යාන්ත්‍රික හා කෘෂිකාර්මය යන අංශ හැදැරුවේය.පසුව දර්ෂණපති උපාධියක් ලබාගත්තේය. හාවර්ඩ් ව්‍යාපාර පාසලෙන් ව්‍යාපරකරනය පිලිබදවද හැදැරුවේය.

1970 පමන , විජ්වර්ධනයන් නිවර්ථන කෘෂිකර්මය පිලිබද විශෙෂඥෙයක් ලෙස එ.ජා. ලෝක ආහාර වැඩසටහන (FAO) සහ ලෝක බැංකුවට සිය දැයකත්වය සැපයීය.ඔහු කලවාලාම්පූර් . මලයාසියා,Mechanization and Automation Research Centre සංරක්ෂණය කළ පිටපත 2012-02-12 at the Wayback Machineහි ප්‍රධානියා ලෙසද 1973 සිට 1974 දක්වා කටයුතු කරන ලදි,[1] .පසුව ඔහු නයිජිරියාෙව් International Institute of Tropical Agriculture (IITA) හි ප්‍රධානියා (1975–1980) ෙලස කටයුතු කරන ලදි.

එමෙන්ම ඔහු ශ්‍රිලංකාවේ ව්‍යාපාරික,පර්යේෂන හා නිති ප්‍රතිපත්ති සම්පාද ප්‍රජාවන්ට තම විශේෂඥ දැනුමෙන් දායකත්වය ලබාදෙන ලදි. ජාතික තේ මණ්ඩලයේ සභාපති ධුරය,නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.එමෙන්ම බොහෝ පොදු විද්‍යා පර්යේෂන ව්‍යාපෘති සදහා තම දායක්තවය දෙනලදි.[2] මොරටුව විශ්වවිද්‍යාල‍ය‍ෙඋපකුලපතිවරයා ලෙස 2002 සිට 2007 දක්වා කටයුතු කරන ලදි. ශ්‍රිලාංකිකයෙකුට හිමවන ඉහලම විද්‍යා ගෞරව නාමය වන විද්‍යාජෝති නාමයේනන එතුමන් පිදුම් ලැබිය.

රේ විජේවර්ධනගේ පවුල් පසුබිම

[සංස්කරණය]

රේ ලංකාවේ ධනවත් මෙන් ම දේශපාලනික හා ව්‍යාපාරික ලෝකයේ ප්‍රබල පවුල්වලට ලේ නෑ කම් දක්වන්නෙකි. රේ ගේ පියා වූ දොන් එඩ්මන්ඩ් විජේවර්ධන සුප්‍රකට ලේක්හවුස් පුවත්පත් සමූහය ඇරැඹූ ඩී. ආර්. විජේවර්ධන ගේ සොහොයුරා වූ අතර මව කොරින් ඇමැන්ඩා ජෙනින්ග්ස් යටත් විජිත ලංකාවේ ධනවත් ප්‍රභූ පවුලක තැනැත්තියක් වූවා ය. මව හා පියා යන දෙ දෙනාම ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරු වූ හ.

1949 දී ඔහු සීලා ද මෙල් මෙනෙවිය සමග විවාහ වූ අතර ඇය ලංකාවේ පළමුවෙන්ම නයිට් පදවිය (CBE) ලැබූ ශ්‍රී ලාංකිකයා වූද, H L De Mel සමාගම් සමූහයේ හිමිකරු වූ ද සර් හෙන්රි ද මෙල් ගේ සොහොයුරා ගේ දියණිය වූවා ය. සුප්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන හා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන රේ විජේවර්ධන ගේ ළඟම නෑයෝ වූ හ. අනෝමා, රොෂ්නී හා මැන්ඩී යන දියණියන් ති දෙනකු ලැබූ වාසනාවන්ත පියකු වූ රේ අවුරුදු 85ක් ආයු වැළැඳී ය.

කෘෂි කර්මාන්තයට සිදුකළ දායකත්වය

[සංස්කරණය]

කලින් කලට දැඩි නියං හා අවාභාවික ආපදා නිසා ආසියාතික හා අප්‍රිකා රටවල් දහස් ගණන් කුසගින්නේ මියයන දුර්භික්ෂ නිමා කිරීම සඳහා 1950 ගණන්වල දී හරිත විප්ලවය ලෙසින් හඳුන්වන ලෝක ව්‍යාප්ත වැඩපිළිවෙලක් ඇරැඹිණි. වී ආදී ධාන්‍යවල අස්වැන්න වැඩිකොට, වගා භූමි ප්‍රමාණය වැඩි කිරීමේ තාක්ෂණයන් දියුණු කිරීම හා ගොවි ජනයාට සම්ප්‍රේෂණය කිරීමේ මහා පරිමාණ වැඩ පිළිවෙලක් වූ හරිත විප්ලවය මැක්සිකෝව, අග්නිදිග ආසියාව හා ඉන්දියාව රටවල ඉමහත් උද්යෝගයෙන් ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ලංකාව ද මෙම වැඩ පිළිවෙලේ ඉදිරියෙන්ම සිටි.[3]

කුඩා කට්ටිවල ගොවිතැන් කරන ආසියාතික ගොවියනට ද බටහිර රටවල ගොවි අස්වැන්න අධික ලෙස වැඩි කළ යාන්ත්‍රික විප්ලවයේ ප්‍රතිපල ලබාදීමට කුඩා ට්‍රැක්ටරයක් නිපදවීමේ උත්සයක් රේ සිය ඉන්ජිනේරු හා කෘෂිකාර්මික දැනුම යොදාගෙන ඇරඹූ අතර එහි ප්‍රතිපලයක් ලෙස  රෝද දෙකේ අත් ට්‍රැක්ටරය නිර්මාණය විණි.

එම ට්‍රැක්ටරය නිපැයීමට බ්‍රිතාන්‍යයේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට නීතිමය අයිතිය ලබාදුන් අතර අදටත් රෝද දෙකේ අත්ට්‍රැක්ටරය ලෑන්ඩ්මාස්ටර් එක ලෙස හඳුන්වන්නේ ලංකාවට පළමුවෙන්ම ගෙන ආ අත්ට්‍රැක්ටර් ලෑන්ඩ්මාස්ටර් සන්නාමයෙන් පැමිණි නිසා යි.

1970 ගණන්වල දී රේ විජේවර්ධන එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන හා ලෝක බැංකුවේ ඝර්ම කලාපීය කෘෂි කර්මාන්තය පිළිබඳව විශේෂඥයකු ලෙස සිය දායකත්වය දුන් අතර 1973-1974 කාලයේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටි Mechanization and Automation Research Centre (MARDI) ආයතනයේ ප්‍රධාන ඉන්ජිනේරු තනතුර ඉසිලී ය. 1975-1980 කාලයේ නයිජීරියාවේ International Institute of Tropical Agriculture (IITA) ආයතනයේ කෘෂි කර්මාන්ත ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳව ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය.

1950 ගණන්වල සිට 1980 පමණ වන තෙක්ම කෘෂිකර්මාණ්තයේ පලදාව වැඩි කිරීමට කුඩා යන්ත්‍ර හඳුන්වාදීමට මහත් මෙහෙයක් කළ රේ පසුව සිය අවධානය තිරසාර (sustainable) හා සංරක්ෂණ (conservation) කෘෂි කර්මාන්තය වෙත යොමු කළේ ය. හරිත විප්ලවය සාර්ථකව ජයග්‍රහණය කලත් ඉන් ඇතිවූ අතුරු ප්‍රතිපල වූ අධික පොහොර භාවිතය හා අධික කෘමි/වල් නාෂක භාවිතය නිසා ගොවි ප්‍රජාවට, පරිසරයට මෙන්ම පාරිභෝජන ජනතාවට ද ඇති වී ඇති හානිය අත්දැකීමෙන් දුටු රේ, සාම්ප්‍රදායික කෘෂි කාර්මික ක්‍රම නවීන ආකාරයට හඳුන්වා දෙන්නට උත්සහ කළේ ය.

1980 ගණන්වල දී රේ විජේවර්ධන, ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාත සමග එක්ව "Conservation Farming for Small Farmers in the Humid Tropics" නම් පොතක් පළ කළේ ය. ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ සාම්ප්‍රදායික කෘෂි කාර්මික ක්‍රම වල ඇති පරිසර හිතකාමී බව හා ඒ සාම්ප්‍රදායික ක්‍රම නූතන කෘෂි කර්මාන්තයට යොදාගත හැකි ආකාරය පිළිබඳව ගවේෂණයක් මෙන්ම රූප සටහන් අතිවිශාල ප්‍රමාණයක් සමග ඇති අත් පොතක් ලෙස ද භාවිතා කළ හැකි පරිදි ලියා තිබේ.

ආනත කෘෂි කාර්මික ඉඩම් තාක්ෂණය - Sloping Agricultural Land Technology (SALT)

ලොව පුරා ඝර්ම කලාපීය රටවල සාම්ප්‍රදායික ගොවියන් ඇසුරු කරමින් ඔවුන් නව ගොවිතැන් ක්‍රම වලට හුරුකරන්නට උත්සහ කළ රේ විජේවර්ධන කල් යත්ම සාම්ප්‍රදායික ගොවිතැන්වල පරිසර හිතකාමී බව හා තිරසාරත්වය පිළිබඳව අවබෝධකර ගති. මින් එක් වැදගත් අවබෝධයක් නම් ඝර්ම කලාපීය රටවල කෘෂි කාර්මික පස සේදීයාම / හුලඟට ගසාගෙන යාම වැලැක්වීමේ වැදගත් කමයි.

මේ සඳහා රුක් ආවරණ යෙදිය හැකි ක්‍රම පිළිබඳව හදාළ ඔහු පිලිපීනයේ දී 1970 ගණන්වල දී වැඩිදියුණුකළ, කඳුකර ප්‍රදේශවල භාවිතාකළ හැකි Sloping Agricultural Land Technology (SALT) උපක්‍රමය ප්‍රවර්ධනය කරන්නට වෙහෙසිණි.

වේගයෙන් වර්ධනය වන, පසට නයිට්‍රජන් එකතුකරන රනිල කුලයේ ශාඛ කඳුවැටිවල වැවීමෙන් මේ අරමුණ සාර්ථක කරගත හැකි බව පිලිපීනයේ අත්දැකීම් වලින් පෙනීගොස් තිබුණු අතර රේ, එම තාක්ෂණය ලංකාවේ හා වෙනත් රටවල අනුවර්තනය කරගත හැකි ආකාරය අධ්‍යයනය කරමින් එම සරල තාක්ෂණය ප්‍රවර්ධනය කරන්නට පටන් ගත්තා.

ජාත්‍යන්තර වගකීම් වලින් මිදී 1980 ගණන්වලදී ලංකාවට පැමිණි රේ විජේවර්ධන පූර්ණකාලීනව සෝල්ට් තාක්ෂණය ලංකාවේ කඳුකර ගොවි බිම්වලට හඳුන්වාදීමට වෙහෙසුනා.මුලින් මේ ප්‍රදේශවල දුම්කොල වගාකල ලංකා දුම්කොල සමාගම සමග කටයුතු කල රේ විජේවර්ධන, පසුව එම තාක්ෂණය තේවතු සමාගම්වලටද හඳුන්වාදෙන්නට කටයුතුකලා. දුම්කොල සමාගමේ ගරු උපදේශක තනතුරක් දරමින් කුඩා දුම්කොල ගොවීන්ට සෝල්ට් තාක්ෂණය අනුව අඩු වියදමකින් පස සංරක්ෂණය කරගත හැකි ආකාරය කියාදුන් රේ ගේ වෑයම නිසා 1997දී ලංකා දුම්කොල සමාගම ලංකාවේ පස සංරක්ෂණ කටයුතු සඳහා වූ දායකත්වය අගැයිමට Worldaware Award for Sustainable Development සම්මානය දිනාගත්තා. මේ සඳහා දැඩි කැපවීමකින් ක්‍රියාකලේ රේ විජේවර්ධන මහතායි.

සෝල්ට් තාක්ෂණයෙන් පස සුරැකීම සඳහා රනිල කුළයේ ශාකයක් වන ගිනිසීරියා / වැටහිරියා / ඇල්බීසියා යන නම් වලින් හැඳින්වූ Gliricidia sepium ලංකාව තුල ප්‍රවර්ධනය කරන්නට රේ කටයුතුකලා. වේගයෙන් වැඩෙන ගිනිසීරියා ගසේ අතු හා කොල පාංශු ආවරණයක් මෙන්ම පොහොරක් ලෙසත් යොදාගත හැකියි.

දැඩි ලෙස පාංශු ඛාදනයට බඳුන්වූ උඩුදුම්බර, හඟුරන්කෙත දඩයම්පොල ග්‍රාමයේ රේ විජේවර්ධන සිය ගිනිසීරියා ව්‍යාපෘතිය 1989දී ඇරඹූ අතර වසර තුනක් යනවිට එම ප්‍රදේශයේ ගොවිබිම්වල පාංශු තත්වය (soil quality) විශාල ලෙස වර්ධනය වූවා. රේ ගේ කෘෂිකාර්මික ඥාණයට සී.ටී.සී සමාගමේ මූල්‍ය ශක්තිය මුහුවී ගිනිසීරියා පැල මහා පරිමාණයෙන් රෝපණය කොට ගොවීන් අතර බෙදාහැරීමේ ව්‍යාපෘතියක් ඇරඹුනා. ගිනිසීරියා පැල සෝල්ට් තක්ෂණයට අනුව වගාබිම්වල රෝපණය කිරීම සඳහා දුම්කොළ සමාගම ගොවීන්ට දිරිදීමනාවක්ද ලබාදුන්නා.

දඩයම්පොල ලැබූ සාර්ථකත්වය මත මුලු මහත් කඳුකරයේම දුම්කොළ ගොවීන් සෝල්ට් තාක්ෂණයට අනුවර්තනය වී සිය ගොවිබිවල ගිනිසීරියා වගාකරමින් පස සංරක්ෂණයට දායකවුනා. 1989දීම රේ විජේවර්ධන තේ පර්යේෂණ ආයතනයේ සභාපති බවට පත්කරන ලද අතර ඒ අනුව සෝල්ට් තාක්ෂණය තේ කර්මාණ්තය තුලටද ව්‍යාප්තකරන්නට රේ විජේවර්ධනට හැකිවුනා.

ගුවන්යානා නිර්මාපකයා

[සංස්කරණය]

තුරුණුවකු ලෙස බ්‍රිතාන්‍යයේ ගගන විද්‍යාව හැදෑරූ රේ විජේවර්ධනට බ්‍රිතාන්‍යයෙන් බිහිවූ කීර්තිමත්ම ගුවන්යානා නිර්මාපකයා වූ සර් ජෙෆ්‍රි ඩී හැවිලන්ඩ් යටතේ අභ්‍යාසලාභියකු ලෙස ගුවන්යානා ඉන්ජිනේරු තාක්ෂණය උගැන්මට වාසනාව ලැබිණි. ඩි හැවිලන්ඩ් දෙ වන ලෝක යුද සමයේ රාජකීය ගුවන් හමුදාවට නිර්මාණය කළ De Havilland Mosquito - Fighter/Bomber යානය එ කල ලොව හොඳම යුද ගුවන්යානය බවට පිළිගැනිණි. එ මෙන් ම හැවිලන්ඩ් නිර්මාණය කළ De Havilland Comet Jetliner මගී ප්‍රවාහන යානය ලොව පළමු මගී ප්‍රවාහන විදලු (ජෙට්) ගුවන්යානය ලෙස වාණිජ ගුවන්සේවාවලට එක් විණි.

හැවිලන්ඩ් වැනි ලෝක පූජිත ගගනයාත්‍රා නිර්මාපකයකු සෙවණේ ගගන විද්‍යාව උගත් රේ, සිය ජීවිතයේ බොහෝ කාලයක් විනෝදාංශයක් ලෙස කළේ ගුවන්යානා නිර්මාණය හා එ ලෙස නිර්මාණය කළ යානා තමන්ම පියාසර කිරීමයි. වසර 50ක් තිස්සේම ගුවන්යානා පියාසර කළ රේ විජේවර්ධන වරක් පැවසූයේ කෘෂි කර්මාන්තය මගේ ජීවිකාව වුවත් මා ජීවත්වන්නේ ගුවන්යානා පියාසර කරන්නට කියා යි.

80 දශකයේ අවසානයේ ඊළාම් යුද්ධය දරුණු වූ පසු රජය පැනවූ රට තුළ සිවිල් ගුවන්යානා පියාසැරි තහනම් කිරීමේ නියෝගය නිසා රේ ගේ ප්‍රියතම විනෝදාංශයට නැවතීමේ තිත වැටිණි. දක්ෂ ගුවන් නියමුවකු වූ රේ විජේවර්ධනට ගුවන්යානා වර්ග තුනක් සඳහා ගුවන් නියමු බළපත්‍ර තිබිණි. අචල පියාපත් ගුවන්යානා (fixed wing aircraft), හෙලිකොප්ටර් හා ගයිරෝකොප්ටර් නම් කුඩා පියාසර යන්ත්‍ර පියාසර කිරීමට ඔහුට අවසර තිබිණි.

රේ විජේවර්ධන සිය නිවසේ විශාල වැඩපොළක් නිර්මාණය කරගෙන සිටි අතර ඔහු එහි විවිධ වර්ගයේ ගුවන්යානා ගණනාවක් නිපැදැවූ හ යි කිවහොත්, රේ නමැති අරුම පුදුම හැකියා ඇති මිනිසා ගැන නොදන්නෝ විස්මෙති. පහළ ඡායාරූපයේ තිබෙන්නේ රේ විජේවර්ධන සිය නිවසේ ම තනාගත් ආසන දෙකේ ගුවන්යානය යි. "ලිහිණියා" යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ ගුවන්යානයෙන් 1980 ගණන්වල ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගේ විද්‍යා උපදේශක වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, එතුමා පර්යේෂණ කළ මහනුවර මූලික අධ්‍යයන ආයතනයට රැගෙන ගොස් ආපසු කොළඹට ගෙන ආ යැ.

රේ විජේවර්ධන ගේ නිවසේ බිහිකොට තිබූ දේශීය ගුවන්යානා කර්මාන්ත ශාලාවේ බිහිවුණේ ගුවන්යානා පමණක් නොවෙයි. පුංචි හෙලිකොප්ටර් යානාත් එහි බිහිවී තිබේ. මේ තිබෙන්නේ රේ ගෙදර සෑදූ සූටික්කා හෙලිකොප්ටරය යි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට රේ විජේවර්ධනගේ දායකත්වය

[සංස්කරණය]

ලංකාව අතිවිශාල ලෙස බොරතෙල් ආනයනය කරමින් විදුලි දැනැවුමට පවා බොරතෙල් මත යැපෙන්නට සිදුවෙනු ඇතැ යි අනාවැකි පළ කළ රේ ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවයට (අනාගතයේ බලශක්තිය ලබාගැනීමේ හැකියාව සුරැකීම) අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීමට මහත් වෙහෙසක් ගති. පුනර්ජනනීය බලශක්තිය සූර්ය බලය, සුළං බලය හා ජීව-ද්‍රව්‍ය බලශක්තිය (bio-mass energy) ආදී විවිධ බලශක්ති ප්‍රභව භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රභව විවිධාංගීකරණයට බඳුන් විය යුතු බව යි ඔහු ගේ යෝජනව වූයේ. අනවශ්‍ය ලෙස ජල විදුලිය මත යැපීම භයානක බව හේ පෙන්වා දිනි.

කුඩා ජලවිදුලි බලාගාර (mini hydro-electric plants) තවත් ඔහු කැපවීමෙන් ප්‍රවර්ධනය කළ ව්‍යාපෘතියකි. එ මගින් තේ වතු ආදී කර්මාන්තශාලාවලට ප්‍රධාන විදුලි සැපයුමෙන් විසන්ධි වී විදුලිය දනවාගෙන පිරිවැය අඩුකරගත හැකි බව ඔහු පෙන්වා දිනි.

ඩෙන්ඩ්‍රෝ බලශක්ති ව්‍යාපෘතිය

ඩෙන්ඩ්‍රෝ බලශක්ති ව්‍යාපෘතිය නමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ඇරැඹූ රේ, එම බලශක්තිය නිපදවීම සඳහා වේගයෙන් වැවෙන ශාක යොදාගත හැකි බව පර්යේෂණාත්මකව තහවුරු කළේ ය. එම  වෙනත් කෘෂිකාර්මික වගා සඳහා යොදාහත නොහැකි බිම්වල මේ ශාක වාණිජමය ලෙස වගාකොට ගැමි ජනතාවට ආදායම් මාර්ගයක් ලබාගත හැකි බව ද හේ පෙන්වා දිනි.

රනිල කුලයේ ගිරිසීලියා ශාක කොටස් දහනයෙන් බලශක්තිය නිපදවන 4 kW බලාගාරයක් නිර්මාණය කළ රේ, එය කාක්කපල්ලියේ පිහිටි සිය පොල් වත්තේ පිහිටුවා, වත්තේම වවාගත් ගිරිසීලියා ශාකවලින් ක්‍රියාත්මක කැරැවී ය. එම කුඩා ඩෙන්ඩ්‍රෝ බලාගාරය වසර ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කරවමින් සිය කල්පිතයේ ප්‍රායෝගිකත්වය ඔප්පු කළේ ය. මෙ මගින් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ නොවූ ගම්වලට විදුලිය ලබාදීමට යෝජනා කළ රේ, එම බලාගාරවලට අවශ්‍ය ගිරීසීලියා, එම ගම්මානවල ම වවාගැනීමට හැකි බව ද පෙන්වා දිනි. පසුව ඔහු කිලෝවොට් 35ක ගිරිසීලියා දහන ඩෙන්ඩ්‍රෝ බලාගාරයක් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ අනුග්‍රහයෙන් ඉදිකළ අතර එය තවමත් ක්‍රියාත්මක බව යි වාර්තාවෙන්නේ.

මේ සාර්ථකත්වයෙන් පසුව ලංකා ට්‍රාන්ස්ෆෝමර් හා ලංකා දුම්කොළ සමාගම්වල දායකත්වයෙන් නුවර එළිය, වලපනේ මෙගාවොට් 1ක ඩෙන්ඩ්‍රෝ බලාගාරයක් පිහිටැවීය. 2009 දී ත්‍රිකුණාමලයේ මෙගාවොට් 10ක ඩෙන්ඩ්‍රෝ බලාගාරයක් පිහිටුවන්නට රේ ගේ උත්සහයයෙන් හැකිවූ අතර එය හොඳින් ක්‍රියාත්මකවන බව යි පැවසෙන්නේ.

සටහන්

[සංස්කරණය]
  1. ^ "Laman Utama - Portal Rasmi Institut Penyelidikan dan Kemajuan Pertanian Malaysia". Mardi.gov.my. 2011-09-28. සම්ප්‍රවේශය 2012-05-31.
  2. ^ "Ray Wijewardene Curriculum vitae". Raywijewardene.net. සම්ප්‍රවේශය 2012-05-31.
  3. ^ රේ විජේවර්ධන - අදින් සත් වසරකට පෙර අපෙන් සමුගත් සුපිරි ඉන්ජිනේරුවා, විද්‍යා ගවේෂණ (ටෙරන්ස් කහපොල ආරච්චි ) [1]
"https://si.wikipedia.org/w/index.php?title=රේ_විජේවර්ධන&oldid=779070" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි