රේ විජේවර්ධන

විකිපීඩියා වෙතින්
පිලිප් රේවත විජේවර්ධන
රේ විජේවර්ධන (අවුරුදු 20 දි)
උපත20 අගෝස්තු 1924(1924-08-20)
මියගිය දිනය18 August 2010(2010-08-18) (වයස 85)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රිලාංකික
වෙනත් නම්රේ
උගත් ශාස්ත්‍රාලයC.M.S. Ladies' College, Colombo(කාන්තා විද්‍යාලය)
St Thomas’ College Mount Lavinia(ශාන්ත තොමස් විද්‍යාලය)
Peterhouse College
Harvard Business School(හාවඩ් ව්‍යාපාර පාසල)
රැකියාවඉංජිනේරු, කෘෂිවිද්‍යාඥ, නව නිමැවුම්කරු, ගුවන්යානා නිර්මාණකරු
ප්‍රසිද්ධව ඇත්තේද්විත්ව රෝද ට්‍රැක්ටරය Two-wheel tractor, ලිහිණියා හා සූටික්කා ගුවන්යානා Small rotor-craft, Small fixed wing aircraft
කලත්‍රයා(යන්)ශි්‍ලා ද මෙල්
දරුවන්අනෝමා,රෝශිනි,මැන්ඩි

‍දේශමාන්‍ය විද්‍යාජෝති ආචාර්්‍ය පිලිප් රේවත විජේවර්ධන (20 අගෝස්තු 1924 – 18 අගෝස්තු 2010) මහාතා ශ්‍රීලාංකික ඉංජිනේරුවරයෙක්, ගගන විද්‍යායෙක්, නව නිපැයුම්කරුවෙක් මෙන්ම ඔලිම්පික් ක්‍රිඩයෙක් විය.ඔහු විසින් නිවර්ථන කලාපයට ගැලපෙන් කෘෂිකාර්මික කටයුතු ගැන මහාත්සේ උනන්දුවෙන් පරේෂණ කටයුතු මෙහෙයවුයේය.

අධ්‍යාපනය හා වෘත්තිය ජිවිතය[සංස්කරණය]

එතුමන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරුවේ CMS කාන්තා විද්‍යාලය, කොළඹ, සහ ශා.තෝමස් විදුහල,ගල්කිස්ස, මෙම ද්විත්වයම ඇග්ලිකන් පාසල් විය. පසුව එතුමන් Peterhouse College, University of Cambridge, මහා බ්‍රිතාන්‍ය,තුලින් ගගන විද්‍යාව,යාන්ත්‍රික හා කෘෂිකාර්මය යන අංශ හැදැරුවේය.පසුව දර්ෂණපති උපාධියක් ලබාගත්තේය. හාවර්ඩ් ව්‍යාපාර පාසලෙන් ව්‍යාපරකරනය පිලිබදවද හැදැරුවේය.

1970 පමන , විජ්වර්ධනයන් නිවර්ථන කෘෂිකර්මය පිලිබද විශෙෂඥෙයක් ලෙස එ.ජා. ලෝක ආහාර වැඩසටහන (FAO) සහ ලෝක බැංකුවට සිය දැයකත්වය සැපයීය.ඔහු කලවාලාම්පූර් . මලයාසියා,Mechanization and Automation Research Centre සංරක්ෂණය කළ පිටපත 2012-02-12 at the Wayback Machineහි ප්‍රධානියා ලෙසද 1973 සිට 1974 දක්වා කටයුතු කරන ලදි,[1] .පසුව ඔහු නයිජිරියාෙව් International Institute of Tropical Agriculture (IITA) හි ප්‍රධානියා (1975–1980) ෙලස කටයුතු කරන ලදි.

එමෙන්ම ඔහු ශ්‍රිලංකාවේ ව්‍යාපාරික,පර්යේෂන හා නිති ප්‍රතිපත්ති සම්පාද ප්‍රජාවන්ට තම විශේෂඥ දැනුමෙන් දායකත්වය ලබාදෙන ලදි. ජාතික තේ මණ්ඩලයේ සභාපති ධුරය,නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.එමෙන්ම බොහෝ පොදු විද්‍යා පර්යේෂන ව්‍යාපෘති සදහා තම දායක්තවය දෙනලදි.[2] මොරටුව විශ්වවිද්‍යාල‍ය‍ෙඋපකුලපතිවරයා ලෙස 2002 සිට 2007 දක්වා කටයුතු කරන ලදි. ශ්‍රිලාංකිකයෙකුට හිමවන ඉහලම විද්‍යා ගෞරව නාමය වන විද්‍යාජෝති නාමයේනන එතුමන් පිදුම් ලැබිය.

රේ විජේවර්ධනගේ පවුල් පසුබිම[සංස්කරණය]

රේ ලංකාවේ ධනවත්, වගේම දේශපාලනික හා ව්‍යාපාරික ලෝකයේ ප්‍රභල පවුල්වලට ලේ නෑකම් දක්වන්නෙක්. රේ ගේ පියාවූ දොන් එඩ්මන්ඩ් විජේවර්ධන සුප්‍රකට ලේක්හවුස් පුවත්පත් සමූහය ආරම්භකල ඩී ආර් විජේවර්ධනගේ සොයුරාවූ අතර මව කොරින් ඇමැන්ඩා ජෙනින්ග්ස් යටත් විජිත ලංකාවේ ධනවත් ප්‍රභූපවුලක තැනැත්තියක් වූවාය. මව හා පියා යන දෙදෙනාම ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් වුනා.

1949දී ඔහු සීලා ද මෙල් මෙනෙවිය සමග විවාහවූ අතර ඇය ලංකාවේ පලමුවෙන්ම නයිට් පදවිය (CBE) ලැබූ ශ්‍රී ලාංකිකයාවූද, H L De Mel සමාගම් සමූහයේ හිමිකරුවූද  සර් හෙන්රි ද මෙල් ගේ සොයුරාගේ දියණිය වුනා. සුප්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන හා හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන රේ විජේවර්ධනගේ ලඟම ඥාතීන් වූවා. අනෝමා, රොෂ්නී හා මැන්ඩී යන දියණියන් තිදෙනෙක් ලැබූ වාසනාවන්ත පියෙකු වූ රේ අවුරුදු 85ක් ආයු වැලඳූවා.

කෘෂිකර්මාණ්තයට සිදුකල දායකත්වය[3][සංස්කරණය]

කලින් කලට දැඩි නියං හා අවාභාවික ආපදා නිසා ආසියාතික හා අප්‍රිකා රටවල් දහස් ගණන් කුසගින්නේ මියයන දුර්භික්ෂ නිමා කිරීම සඳහා 1950 ගණන්වලදී හරිත විප්ලවය ලෙසින් හඳුන්වන ලෝක ව්‍යාප්ත වැඩපිලිවෙලක් ආරම්භවුනා. වී ආදී ධාන්‍යවල අස්වැන්න වැඩිකොට, වගා භූමිප්‍රමාණය වැඩිකිරීමේ තාක්ෂණයන් දියුණු කිරීම හා ගොවි ජනයාට සම්ප්‍රේෂණය කිරීමේ මහා පරිමාණ වැඩ පිලිවෙලක් වූ හරිත විප්ලවය මැක්සිකෝව, අග්නිදිග ආසියාව හා ඉන්දියාව රටවල ඉමහත් උද්යෝගයෙන් ක්‍රියාත්මකවූ අතර ශ්‍රී ලංකාවද මෙම වැඩ පිලිවෙලේ ඉදිරියෙන්ම සිටියා.

කුඩා කට්ටිවල ගොවිතැන් කරන ආසියාතික ගොවීන්ටද බටහිර රටවල ගොවි අස්වැන්න අධික ලෙස වැඩි කල යාන්ත්‍රික විප්ලවයේ ප්‍රතිපල ලබාදීමට කුඩා ට්‍රැක්ටරයක් නිපදවීමේ උත්සයක් රේ සිය ඉන්ජිනේරු හා කෘෂිකාර්මික දැනුම යොදාගෙන ඇරඹූ අතර එහි ප්‍රතිපලයක් ලෙස  රෝද දෙකේ  අත් ට්‍රැක්ටරය නිර්මාණය වුනා.

එම ට්‍රැක්ටරය නිෂ්පාදනය සඳහා බ්‍රිතාන්‍යයේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට නීතිමය අයිතිය ලබාදුන් අතර අදටත් රෝද දෙකේ අත්ට්‍රැක්ටරය ලෑන්ඩ්මාස්ටර් එක ලෙස හඳුන්වන්නේ ලංකාවට පලමුවෙන්ම ගෙන ආ අත්ට්‍රැක්ටර් ලෑන්ඩ්මාස්ටර් සන්නාමයෙන් පැමිණි නිසාය.

1970 ගණන්වලදී රේ විජේවර්ධන එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන හා ලෝක බැංකුවේ ඝර්මකලාපීය කෘෂිකර්මාණ්තය පිලිබඳව විශේෂඥයෙකු ලෙස සිය දායකත්වය ලබාදුන් අතර 1973-1974 කාලයේදී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටි Mechanization and Automation Research Centre (MARDI) ආයතනයේ ප්‍රධාන ඉන්ජිනේරු තනතුර ඉසිලුවා. 1975-1980 කාලයේ නයිජීරියාවේ International Institute of Tropical Agriculture (IITA) ආයතනයේ කෘෂිකර්මාණ්ත ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව ප්‍රධානියා ලෙස කටයුතුකලා.

1950 ගණන්වල සිට 1980 පමණ වන තෙක්ම කෘෂිකර්මාණ්තයේ පලදාව වැඩි කිරීමට කුඩා යන්ත්‍ර හඳුන්වාදීමට මහත් මෙහෙයක් කල රේ පසුව සිය අවධානය තිරසාර (sustainable) හා සංරක්ෂණ (conservation) කෘෂිකර්මාණ්තය වෙත යොමුකලා. හරිත විප්ලවය සාර්ථකව ජයග්‍රහණය කලත් ඉන් ඇතිවූ අතුරු ප්‍රතිපලවූ අධික පොහොර භාවිතය හා අධික කෘමි/වල් නාෂක භාවිතය නිසා ගොවි ප්‍රජාවට, පරිසරයට මෙන්ම පාරිභෝජන ජනතාවටද ඇතිවී ඇති හානිය අත්දැකීමෙන් දැක්ක රේ, සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම නවීන ආකාරයට හඳුන්වා දෙන්නට උත්සහ කලා.

1980 ගණන්වලදී රේ විජේවර්ධන, ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාත සමග එක්ව "Conservation Farming for Small Farmers in the Humid Tropics" නම් පොතක් පලකලා. ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම වල ඇති පරිසර හිතකාමී බව හා ඒ සාම්ප්‍රදායික ක්‍රම නූතන කෘෂිකර්මාණ්තයට යොදාගත හැකි ආකාරය පිලිබඳව ගවේෂණයක් මෙන්ම රූපසටහන් අතිවිශාල ප්‍රමාණයක් සමග ඇති අත්පොතක් ලෙසද භාවිතාකල හැකි පරිදි ලියා තිබෙනවා.

ආනත කෘෂිකාර්මික ඉඩම් තාක්ෂණය - Sloping Agricultural Land Technology (SALT)

ලොව පුරා ඝර්මකලාපීය රටවල සාම්ප්‍රදායික ගොවීන් ඇසුරු කරමින් ඔවුන් නව ගොවිතැන් ක්‍රම වලට හුරුකරන්නට උත්සහ කල රේ විජේවර්ධන කල් යත්ම සාම්ප්‍රදායික ගොවිතැන්වල පරිසර හිතකාමී බව හා තිරසාරත්වය පිලිබඳව අවබෝධකර ගත්තා. මින් එක් වැදගත් අවබෝධයක් නම් ඝර්මකලාපීර රටවල කෘෂිකාර්මික පස සේදීයාම / හුලඟට ගසාගෙන යාම වැලැක්වීමේ වැදගත් කමයි.

මේ සඳහා රුක් ආවරණ යෙදිය හැකි ක්‍රම පිලිබඳව අධ්‍යයනය කල ඔහු පිලිපීනයේදී 1970 ගණන්වලදී වැඩිදියුණුකල, කඳුකර ප්‍රදේශවල භාවිතාකල හැකි Sloping Agricultural Land Technology (SALT) උපක්‍රමය ප්‍රවර්ධනය කරන්නට වෙහෙසුනා.

වේගයෙන් වර්ධනය වන, පසට නයිට්‍රජන් එකතුකරන රනිල කුලයේ ශාඛ කඳුවැටිවල වැවීමෙන් මේ අරමුණ සාර්ථක කරගත හැකි බව පිලිපීනයේ අත්දැකීම් වලින් පෙනීගොස් තිබුණු අතර රේ, එම තාක්ෂණය ලංකාවේ හා වෙනත් රටවල අනුවර්තනය කරගත හැකි ආකාරය අධ්‍යයනය කරමින් එම සරල තාක්ෂණය ප්‍රවර්ධනය කරන්නට පටන් ගත්තා.

ජාත්‍යන්තර වගකීම් වලින් මිදී 1980 ගණන්වලදී ලංකාවට පැමිණි රේ විජේවර්ධන පූර්ණකාලීනව සෝල්ට් තාක්ෂණය ලංකාවේ කඳුකර ගොවි බිම්වලට හඳුන්වාදීමට වෙහෙසුනා.මුලින් මේ ප්‍රදේශවල දුම්කොල වගාකල ලංකා දුම්කොල සමාගම සමග කටයුතු කල රේ විජේවර්ධන, පසුව එම තාක්ෂණය තේවතු සමාගම්වලටද හඳුන්වාදෙන්නට කටයුතුකලා. දුම්කොල සමාගමේ ගරු උපදේශක තනතුරක් දරමින් කුඩා දුම්කොල ගොවීන්ට සෝල්ට් තාක්ෂණය අනුව අඩු වියදමකින් පස සංරක්ෂණය කරගත හැකි ආකාරය කියාදුන් රේ ගේ වෑයම නිසා 1997දී ලංකා දුම්කොල සමාගම ලංකාවේ පස සංරක්ෂණ කටයුතු සඳහා වූ දායකත්වය අගැයිමට Worldaware Award for Sustainable Development සම්මානය දිනාගත්තා. මේ සඳහා දැඩි කැපවීමකින් ක්‍රියාකලේ රේ විජේවර්ධන මහතායි.

සෝල්ට් තාක්ෂණයෙන් පස සුරැකීම සඳහා රනිල කුළයේ ශාකයක් වන ගිනිසීරියා / වැටහිරියා / ඇල්බීසියා යන නම් වලින් හැඳින්වූ Gliricidia sepium ලංකාව තුල ප්‍රවර්ධනය කරන්නට රේ කටයුතුකලා. වේගයෙන් වැඩෙන ගිනිසීරියා ගසේ අතු හා කොල පාංශු ආවරණයක් මෙන්ම පොහොරක් ලෙසත් යොදාගත හැකියි.

දැඩි ලෙස පාංශු ඛාදනයට බඳුන්වූ උඩුදුම්බර, හඟුරන්කෙත දඩයම්පොල ග්‍රාමයේ රේ විජේවර්ධන සිය ගිනිසීරියා ව්‍යාපෘතිය 1989දී ඇරඹූ අතර වසර තුනක් යනවිට එම ප්‍රදේශයේ ගොවිබිම්වල පාංශු තත්වය (soil quality) විශාල ලෙස වර්ධනය වූවා. රේ ගේ කෘෂිකාර්මික ඥාණයට සී.ටී.සී සමාගමේ මූල්‍ය ශක්තිය මුහුවී ගිනිසීරියා පැල මහා පරිමාණයෙන් රෝපණය කොට ගොවීන් අතර බෙදාහැරීමේ ව්‍යාපෘතියක් ඇරඹුනා. ගිනිසීරියා පැල සෝල්ට් තක්ෂණයට අනුව වගාබිම්වල රෝපණය කිරීම සඳහා දුම්කොළ සමාගම ගොවීන්ට දිරිදීමනාවක්ද ලබාදුන්නා.

දඩයම්පොල ලැබූ සාර්ථකත්වය මත මුලු මහත් කඳුකරයේම දුම්කොළ ගොවීන් සෝල්ට් තාක්ෂණයට අනුවර්තනය වී සිය ගොවිබිවල ගිනිසීරියා වගාකරමින් පස සංරක්ෂණයට දායකවුනා. 1989දීම රේ විජේවර්ධන තේ පර්යේෂණ ආයතනයේ සභාපති බවට පත්කරන ලද අතර ඒ අනුව සෝල්ට් තාක්ෂණය තේ කර්මාණ්තය තුලටද ව්‍යාප්තකරන්නට රේ විජේවර්ධනට හැකිවුනා.

ගුවන්යානා නිර්මාපකයා[සංස්කරණය]

තරුණයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ ගගනවිද්‍යාව හැදෑරූ රේ විජේවර්ධනට බ්‍රිතාන්‍යයෙන් බිහිවූ කීර්තිමත්ම ගුවන්යානා නිර්මාපකයාවූ සර් ජෙෆ්‍රි ඩී හැවිලන්ඩ් යටතේ අභ්‍යාසලාභියෙකු ලෙස ගුවන්යානා ඉන්ජිනේරු තාක්ෂණය ඉගෙන ගන්නට වාසනාව ලැබුනා. ඩි හැවිලන්ඩ් දෙවන ලෝක යුධ සමයේ රාජකීය ගුවන් හමුදාවට නිර්මාණය කල De Havilland Mosquito - Fighter/Bomber  යානය එකල ලොව හොඳම යුධ ගුවන්යානය බවට පිලිගැනුනා. එමෙන්ම හැවිලන්ඩ් නිර්මාණය කල De Havilland Comet Jetliner මගී ප්‍රවාහන යානය ලොව පලමු  මගී ප්‍රවාහණ ජෙට් ගුවන්යානය ලෙස වාණිජ ගුවන්සේවාවලට එක්වුනා.

හැවිලන්ඩ් වැනි ලෝක පූජිත ගගනයාත්‍රා නිර්මාපකයෙකු සෙවනේ ගගනවිද්‍යාව උගත් රේ, සිය ජීවිතයේ බොහෝ කාලයක් විනෝදාංශයක් ලෙස සිදුකලේ ගුවන්යානා නිර්මාණය හා එලෙස නිර්මාණය කල යානා තමන්ම පියාසර කිරීමයි. වසර 50ක් තිස්සේම ගුවන්යානා පියාසර කල රේ විජේවර්ධන වරක් පැවසූවේ කෘෂිකර්මාණ්තය මාගේ ජීවිකාව වුවත් මා ජීවත්වන්නේ ගුවන්යානා පියාසර කරන්නට කියායි.

80 දශකයේ අවසානයේ ඊළාම් යුද්ධය දරුණුවූ පසු රජය පැනවූ රටතුල සිවිල් ගුවන්යානා පියාසැරි තහනම් කිරීමේ නියෝගය නිසා රේගේ ප්‍රියතම විනෝදාංශයට නැවතීමේ ලකුණ වැටුනා.දක්ෂ ගුවන් නියමුවෙකු වූ රේ විජේවර්ධනට ගුවන්යානා වර්ග තුනක් සඳහා ගුවන් නියමු බළපත්‍ර තිබුණා. අචල පියාපත් ගුවන්යානා (fixed wing aircraft), හෙලිකොප්ටර් හා ගයිරෝකොප්ටර් නම් කුඩා පියාසර යන්ත්‍ර පියාසර කිරීමට ඔහුට අවසර තිබුණා.

රේ විජේවර්ධන සිය නිවසේ විශාල වැඩපොලක් නිර්මාණය කරගෙන සිටි අතර එහි විවිධ වර්ගයේ ගුවන්යානා ගණනාවක් නිෂ්පාදනය කලා කිවහොත්, රේ නැමති අරුම පුදුම හැකියාවන් ඇති මිනිසා ගැන නොදන්නා අය පුදුම වනවා. පහල ඡායාරූපයේ තියෙන්නේ රේ විජේවර්ධන සිය නිවසේම තනාගත් ආසන දෙකේ ගුවන්යානයයි. "ලිහිණියා" යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ ගුවන්යානයෙන් 1980 ගණන්වල ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ විද්‍යා උපදේශකවූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, එතුමා පර්යේෂණ කල මහනුවර මූලික අධ්‍යයන ආයතනයට රගෙන ගොස් ආපසු කොළඹට ගෙන ආවා.

රේ විජේවර්ධනගේ නිවසේ බිහිකොට තිබූ දේශීය ගුවන්යානා කර්මාණ්තශාලාවේ බිහිවුනේ ගුවන්යානා විතරක් නෙමෙයි. පුංචි හෙලිකොප්ටර් යානාත් එකේ බිහිවෙලා තියෙනවා. මේ තියෙන්නේ රේ ගෙදර හදපු සූටික්කා හෙලිකොප්ටරේ.

පුණර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට රේ විජේවර්ධනගේ දායකත්වය[සංස්කරණය]

ලංකාව අතිවිශාල ලෙස බොරතෙල් ආණනය කරමින් විදුලි ජනනය සඳහා පවා බොරතෙල් මත යැපෙන්නට සිදුවෙනු ඇතැයි අනාවැකි පලකල රේ ලංකාවේ බළශක්ති සුරක්ෂිතතාවයට (අනාගතයේ බළශක්තිය ලබාගැනීමේ හැකියාව සුරැකීම) අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීමට මහත් වෙහෙසක් ගත්තා. පුණර්ජනනීය බලශක්තිය සූර්ය බලය, සුලං බලය හා ජීව-ද්‍රව්‍ය බළශක්තිය (bio-mass energy) ආදී විවිධ බළශක්ති ප්‍රභව භාවිතාකරමින් ශ්‍රී ලංකාවේ බළශක්ති ප්‍රභව විවිධාංගීකරණයට බන්ඳුන්විය යුතු බවයි ඔහුගේ යෝජනව වූයේ. අනවශ්‍ය ලෙස ජලවිදුලිය මත යැපීම භයානක බව ඔහු පෙන්වා දුන්නා.

කුඩා ජලවිදුලි බළාගාර (mini hydro-electric plants) තවත් ඔහු කැපවීමෙන් ප්‍රවර්ධනය කල ව්‍යාපෘතියක්. එමගින් තේ වතු ආදී කර්මාණ්තශාලාවලට ප්‍රධාන විදුලි සැපයුමෙන් විසන්ධිවී විදුලිය ජනනය කරගෙන පිරිවැය අඩුකරගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.

ඩෙන්ඩ්‍රෝ බළශක්ති ව්‍යාපෘතිය

ඩෙන්ඩ්‍රෝ බළශක්ති ව්‍යාපෘතිය නමින් පුණර්ජනනීය බළශක්ති ව්‍යාපෘතියක් ආරම්භකල රේ, එම බළශක්තිය නිපදවීම සඳහා වේගයෙන් වැවෙන ශාක යොදාගත හැකි බව  පර්යේෂණාත්මකව තහවුරු කලා. එම  වෙනත් කෘෂිකාර්මික වගා සඳහා යොදාහත නොහැකි බිම්වල මේ ශාක වාණිජමය ලෙස වගාකොට ගැමි ජනතාවට ආදායම් මාර්ගයක් ලබාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

රනිල කුළයේ ගිරිසීලියා ශාක කොටස් දහනයෙන් බළශක්තිය නිපදවන 4 kW බලාගාරයක් නිර්මාණය කල රේ, එය කාක්කපල්ලියේ පිහිටි සිය පොල් වත්තේ පිහිටුවා, වත්තේම වවාගත් ගිරිසීලියා ශාකවලින් ක්‍රියාත්මක කරවූවා. එම කුඩා ඩෙන්ඩ්‍රෝ බළාගාරය වසර ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මකකරවිමින් සිය කල්පිතයේ ප්‍රායෝගිකත්වය ඔප්පුකලා. මෙමගින් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ නොවූ ගම්මාන වලට විදුලිය ලබාදීමට යෝජනා කල රේ, එම බලාගාරවලට අවශ්‍ය ගිරීසීලියා, එම ගම්මානවලම වවාගැනීමට හැකි බවද පෙන්වා දුන්නා. පසුව ඔහු කිලෝවොට් 35ක ගිරිසීලියා දහන ඩෙන්ඩ්‍රෝ බලාගාරයක් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ අනුග්‍රහයෙන් ඉදිකල අතර එය තවමත් ක්‍රියාත්මක බවයි වාර්තාවෙන්නේ.

මේ සාර්තකත්වයෙන් පසුව ලංකා ට්‍රාන්ස්ෆෝමර් හා ලංකා දුම්කොළ සමාගම්වල දායකත්වයෙන් නුවර එලිය, වළපනේ මෙගාවොට් 1ක ඩෙන්ඩ්‍රෝ බළාගාරයක් පිහිටවන්නට ක්‍රියාකලා. 2009දී ත්‍රිකුණාමළයේදී මෙගාවොට් 10ක ඩෙන්ඩ්‍රෝ බළාගාරයක් පිහිටුවන්නට රේගේ උත්සහයයෙන් හැකිවූ අතර එය හොඳින් ක්‍රියාත්මකවන බවයි පැවසෙන්නේ.

සටහන්[සංස්කරණය]

  1. "Laman Utama - Portal Rasmi Institut Penyelidikan dan Kemajuan Pertanian Malaysia". Mardi.gov.my. 2011-09-28. සම්ප්‍රවේශය 2012-05-31.
  2. "Ray Wijewardene Curriculum vitae". Raywijewardene.net. සම්ප්‍රවේශය 2012-05-31.
  3. රේ විජේවර්ධන - අදින් සත් වසරකට පෙර අපෙන් සමුගත් සුපිරි ඉන්ජිනේරුවා, විද්‍යා ගවේෂණ (ටෙරන්ස් කහපොල ආරච්චි ) [1]
"https://si.wikipedia.org/w/index.php?title=රේ_විජේවර්ධන&oldid=593160" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි