රැස්වෙහෙර

විකිපීඩියා වෙතින්
(රැස්වෙහර වෙතින් යළි-යොමු කරන ලදි)

රැස්වෙහෙර හෙවත් සස්සේරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 109 පොතානේගම ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටා ඇත. මෙහි විහාර සංකීර්ණයට හිමිවන්නේ විශේෂිත වු ස්ථානයකි. මෙම ස්ථානය බෞද්ධාගමික ස්ථානයක් බවට පත් වුයේ ලක්දිවට බුදුදහම හදුන්වාදීමත් සමඟ බව නිගමනය වේ. මෙම ස්ථානයේ ඵෙතිහාසික වැදගත් කමකින් යුතු ස්ථාන රාශියක් පවතී. එමෙන්ම මෙම ස්ථානයේ ඉතිහාසය බෙහෙවින් පැරැණි බව පුරාවිද්‍යාත්මක සාධකවලින් සනාථ වී ඇත. මෙම ස්ථානයේ ආරමිභකයා දෙවනපෑතිස් රජු බව විශ්වාස කෙරේ.

පිහිටීම[සංස්කරණය]

වයඹ පළාතේ වන්නි හත්පත්තුවේ නැගෙනහිර හතළිස් පහ කෝරළයේ සුප්‍රසිද්ධ අවුකන ප්‍රතිමාවට තරමක් සමීපයෙන් පිහිටා ඇත.

රැස්වෙහර බුද්ධ ප්‍රතිමාව[සංස්කරණය]

රැස්වෙහර බුද්ධ ප්‍රතිමාව

මෙහි පිහිටි ස්වභාවික පර්වතයක නෙළා ඇති අඩි 40 පමණ උසින් යුත් හිටි ඉරියව්වෙන් නිරූපිත බුද්ධ ප්‍රතිමාව පැරැණි ලක්දිව මුර්ති ශිල්පියාගේ විශිෂ්ඨ නිර්මාණයකි. ඒකාංශ පාරුපණයත් දකුණු අත අභය මුද්‍රාවත් වම් අත කටක මුද්‍රාවත් නිරූපනය වෙන මෙම පිළිමය ස්වාභාවික පර්වතය ඇතුළතින් පිහිටන ආකාරයෙන් නෙළා ඇත. මේ හේතු කොට ගෙන කිසියම් ආරක්ෂාවක් පිළිමයට ලැබෙන බව පෙනේ. අනුරපුර යුගයේ මැද භාගයට අයත් ලෙස පිළිගැනෙන මෙම බුදු පිළිමය ධාතුසේන රජු විසින් කරවන ලද්දක් බව ද ජනශ්‍රැතියේ කියවෙන අතර මෙම විහාර සංකීර්ණයට සැතපුම් කිහිපයක් නුදුරින් පිහිටි ධාතුසේන රජු ගේ නිර්මාණයක් ලෙස පිළිගන්නා අවුකන පිළිමය හා සසඳන විට එක්තරා අසම්පුර්ණ ස්වභාවයක් මෙමගින් පෙන්නුම් කෙරේ. දැනට දක්නට ලැබෙන මෙම අසමිපුර්ණ ස්වභාවය නිසා මෙම පිළිමයේ නිර්මාණ කටයුතු කිසියමි හේතුවක් නිසා අතහැර දමන ලද බවත් විශ්වා‍ස කෙරේ. අවුකන පිළිමය ගුරුවරයාගේ නිර්මාණයක් ලෙසත්, රැස්වෙහර පිළිමය ගෝලයාගේ නිර්මාණයක් ලෙසත් ජනශ්‍රැතියේ කියවේ.

කෙසේ වුවද මෙම බුදු පිළිමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන්නේ නිර්මාණ කටයුතු අවසන් නොකර අතහැර දමන ලද්දක් නොවන බවයි. මෙහි අවසාන නිමාව හුණු බදාමයෙන් සිදුකර ඇති අතර එය පසුකාලීනව කාලයත් සමඟ බදාම ගැලවී යාම හේතු කොට ගෙන මේ අසම්පුර්ණ ස්වරූපය විද්‍යමාන වේ.

පැරැණි ලෙන්[සංස්කරණය]

අනුරපුර යුගයේ මුල්ම කාලයට (ක්‍රි.ව. 2-1 සියවස්වලට) අයත් ලෙස සැලකෙන කටාරම් කෙටු ලෙන් මෙහි දක්නට ඇත. මේ කටාරමි වලට පහළින් බ්‍රාහ්මීය අක්ෂර වලින් කොටන ලද කෙටි ලිපි තුළින් ඒවා භික්ෂුණ් වහණ්සේලා උදෙසා නිර්මාණය කළ බව කියවේ.මේ ලෙන් ලිපි අභිලේඛනාත්මක වශයෙනුත් අගය කළ හැකිය.

දුර්ලභ සඳකඩ පහණ[සංස්කරණය]

අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත් දුර්ලභ සඳකඩ පහණක් ලැබී ඇත.සඳකඩ පහණ විකාශනයේ ආරමිභක අවස්ථාවක් පෙන්නුමි කරන මෙහි නෙලුමි මල් හා සත්ව පෙළ පමණක් දක්නට ලැබේ.

බෝධිය හා බෝධි ප්‍රාකාරය[සංස්කරණය]

මෙම විහාර සංකීර්ණයේ ලෙන් විහාරයට නුදුරින් පැරැණි බෝධියනක හා ශිලාමය ආකාරයක නටබුන් හමු වී ඇත. දෙවනපෑතිස් රජු විසින් දෙතිස් ඵලරූහ බෝධින් ගෙන් එක් නමක් මෙහි ස්ථාපිත කරවු බවටද විශ්වාසයක් පවතී.

ලෙන් විහාර[සංස්කරණය]

සිතුවමි[සංස්කරණය]

රැස්වෙහර විහාර සංකීර්ණයේ ඇති ලෙන් විහාර දෙකේ දක්නට ඇති සිතුවමි.මහනුවර යුගයට අයත් වේ.බිත්ති හා උඩුවියන්වල ඇති සිතුවමි මහනුවර චිත්‍ර ‍ශෛලියට නෑකමි කියයි.මහනුවර සිතුවමිවල දක්නට ඇති පොදු ලක්ෂණ මේවායේද දක්නට ඇත.

  • සියලු සිතුවමි ශෛලිගත සම්ප්‍රදායට අනුව සකස් කර ඇත.
  • ස්වභාවික ලක්ෂණ වලට වඩා කාල්පනික ලක්ෂණ ඇත.
  • පරිමාණ සංකල්පය නොසැලකීම.
  • සියලු සිතුවම් එකම තලයක සමීපස්ථව දක්වා ඇත.
  • පසුබිම දර්ශන නොදක්වා පසුබිම රතු හෝ කළු වර්ණයෙන් දක්වා තිබීම.
  • බුද්ධි ගෝචර රීතියට වඩා අක්ෂි ගෝචර රීතියට මුල්තැන දීඇත.

මුර්ති[සංස්කරණය]

ලෙන් විහාර දෙකේ දක්නට ඇති මුර්ති නිර්මාණ අතර බුදුන්ගේ සුවිසල් ඔත් පිළිමයක් හා සමාධි පිළිම රාශියක් දක්න‍ට ලැබේ.මේ සියලු බුද්ධ ප්‍රතිමා වල දක්නට ඇති ප්‍රතිමා විද්‍යාත්මක ලක්ෂණ මහනුවර යුගයට අයත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=රැස්වෙහෙර&oldid=476632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි