රම්බා විහාරය

විකිපීඩියා වෙතින්

රම්බා විහාරය සහ පුරාවිද්‍යා භූමිය දකුණු පලාත් සභාවේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ අම්බලන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තංගල්ල මැතිවරණ බල ප‍්‍රදේශයේ අංක 184 දරන රොටේ ග‍්‍රාමසේවා වසමට අයත් උඩරොට මාමඩල ග‍්‍රාමයේ වලවේ ගඟට යාබදව පිහිටා ඇත. පුරාවිද්‍යා භූමිය උතුරින් පැරණි මාමඩල ඇලේ කොටස ද බටහිරින් මාමඩල ඇල ද  දකුණින් වැලි පාර ද නැගෙනහිරින් වලවේ ගඟ ද හිම් කොට පවතී. මෙම පුරාවිද්‍යා රක්‍ෂිතයේ සීමා දක්වා ඇත්තේ මෙම භූගෝලීය හා පිහිටීම් ඇසුරු කරගනිමිනි. නමුත් මෙම අවිධිමත් ස්වරූපය වාසියට හරවාගත් අනවසර පදිංචිකරුවන් දේශපාලන මැදිහත්වීමක් ද ලබාගෙන වැලිපාර ලෙස දක්වා ඇති සීමාව මීටර 300 පමණ උතුරු දෙසට ගෙනවිත් නව වැලි පාරක් තනා එය සීමාව ලෙස ගෙන ඇත. නටබුන් ව්‍යාප්තව ඇති ප‍්‍රදේශය හෙක්ටයාර 100 පමණ වන අතර විහාර බිමේ ස්මාරක 67 වඩා පවතී.

භෞතික පාරිසරික තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී මෙම ස්ථානය තැනිතලා ස්වරූපයක් දරන අතර ම ගඟ දෙසට බෑවුම්වන ආකාරයක් පෙන්වයි. උතුරු දෙසින් ඇති සුදුගල්පල්ල නම් ස්ථානය පාෂාණ උද්ගතයක් වන අතර දකුණු දෙසින් ඇති වැලි නිධිය ගංගාවේ ගමන් මාර්ගය වෙනස් වීම නිසා ඇති වූවකි. ඉහත දැක්වූ පාෂාණ නිධිය හැර වෙනත් පාෂාණ තැන්පතුවක් ස්ථානීයව නොමැත. පොළව අඩි කිහිපයක් හෑරූ විට වැලි තැන්පතු දැකිය හැකි ය. පස සාමාන්‍යයෙන් රතු දුඹුරු වර්ගයට අයත් වේ. පසෙහි සාමාන්‍ය සංයුතිය වැලි 40‍%  ර්‍ණ දියළු 30%, මැටි 10‍%, සහ හ්‍යුමස් 20% ලෙස පවතී. ප‍්‍රධාන ජල පද්ධතීන් දෙකකට අතරමැදිව පවතින නිසා දැඩි ශුෂ්කබව බොහෝදුරට අවම වී ඇත.

මානාවුළුපුරය හෝ රම්බාවිහාරය පිහිටි ස්ථානය හඳුනාගැනීමට කලක් ගතවන තුරු හැකි නොවිණි. 20වන සියවස තුළ සිදුවූ විවිධ පර්යේෂණ ආශ‍්‍රයෙන් මෙම ස්ථානය සොයා ගැනීමට උත්සහායක් දරන ලදී. මේ පිළිබඳ මුල් ම උත්සහායක නිරත වූ විල්හෙල්ම් ගයිගර් පඞිතුමා රුහුණේ වලවේ ගඟ මෝය අසල අම්බලන්තොටට ආසන්නව මානාවුළුපුරය පිහිටි බව හඳුනාගෙන ඇත. කොඞ්රිංටන් විසින් ද මෙම ස්ථානය හඳුනාගැනීමට උත්සහායක් දැරුවේ ය. ඒ අනුව වලවේ ගෙඟ් දකුණු ඉවුරේ වැටිය නම් ගමට ගිනිකොණින් මානාවුළුපුරය පිහිටි බව තීරණය කලේ ය. උඩරොට, පල්ලෙරොට, මාමඩල සහ බැමිණියන්වල ආදී ප‍්‍රදේශ මෙයට අයත් බව ද ඔහු හඳුනා ගත්තේ ය. මෙම අනාවරණයත් සමඟ මානාවුළුපුරය පිළිබඳ අදහස් රැුසක් ඇතිවිය. මෙහි දී නටබුන් වශයෙන් පවතින රම්බා විහාර ප‍්‍රදේශය රාජ්‍යයේ කොටසක් වශයෙන් පත් වූයේ ද නැතහොත් එය රාජධානිය ද යන්න අධ්‍යයනයන් සඳහා නැඹුරු විය.

මෙම විහාරයේ ශිලා ලේඛනයක් පිළිබඳ මියුලර් 1884 දී හඳුනාගෙන ඇත. ගාල්ල - හම්බන්තොට මාග_යේ 63 සැතපුම් කණුවට සැතපුම් 03 උතුරින් කැලෑවෙන් වැසුණු විහාරයක ශිලා ලේඛනයක් පවතින බව ඔහු වාර්තා කල අතර එය රම්බා විහාරය බව පැහැදිලි ය. 1948 ජනපදකරන ව්‍යාපාරය සමඟ පැරණි නටබුන් කෙරෙහි වූ අවධාණය ද ඉහල ගියේ ය. මේ අනුව රම්බා විහාරයත් පැරණි රාජධානියත් දෙකක් බවත් විහාරයට මඳක් දකුණට වන්නට ඇති ආභරණ ඇල්ල ආශි‍්‍රතව මාලිගා සංකීර්ණය වූ බවත් හෙලි විය. 2000 වසරේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පුරාවිද්‍යා ව්‍යාපෘතිය ඇරඹීම සිදුකරන ලදී.

භූ ගෝලීය පසුබිම[සංස්කරණය]

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ භූ ව්‍යූහය මුළුමනින් ම මෙන් නිර්මාණය වී ඇත්තේ භූ ඉතිහාසයේ පැරණිම අවධිය වන ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයේ නිර්මාණය වූ පාෂාණවලින් නිර්මිත විපරීත පාෂාණවලිනි. මේවා ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ.

               1. විජයන් ශ්‍රේණියට අයත් පාෂාණ - නෝනාගම හා ඇඹිලිපිටිය අතර මාර්ගයට නැගෙනහිර ප‍්‍රදේශයේ දක්නට ඇත. හෝන්බ්ලෙන්ඞ් බයොටයිට් වලින් මෙම ප‍්‍රදේශයේ භූ ව්‍යූහය ප‍්‍රධාන වශයෙන් නිර්මාණය වී ඇත.

               2. උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණ -  නෝනාගම හා ඇඹිලිපිටිය අතර මාර්ගයට බටහිරින් දක්නට ලැබේ [1].

රම්බාවිහාරය අයත්වන්නේ මෙයින් පළමුවන කලාපය අයත් ප‍්‍රදේශයට ය.

මෙම ප‍්‍රදේශයේ ප‍්‍රධානත ම ලක්‍ෂණයක් හා රම්බාවිහාරය හා අඛණ්ඩ සම්බන්ධතාවයක් ඇති වළවේ ගංගාව ශී‍්‍ර ලංකාවේ ගංගා අතර දිගින් හයවන ස්ථානය ගනී. එය දිගින් සැ. 85 (කි.මී 137) වේ. නොවැම්බර් - මාර්තු අතර කාලයේ එළඹෙන වර්ෂා සෘතුව ගංගාවේ ජල මට්ටම ඉහල නැංවීමට හේතුවන අතර කෘෂිකාර්මික අංශයෙන් මහ කන්නය වන මෙම කාලයට මෙම වර්ෂාව අත්‍යාවශ්‍ය වේ. මැයි - සැප්තැම්බර් අතර කාලයේ දී ගංගාවේ ජල මට්ටම පහල බසී. වර්ග සැතපුම් 954( ව.කි.මී 2470.7) ක පෝෂක ප‍්‍රදේශයකින් පෝෂණය ලබන වළවේ ගංගාව වාර්ෂිකව මුහුදට අක්කර අඩි ලක්‍ෂ 4383( ඝ.මී ලක්‍ෂ 5406342.8) ක ජල ප‍්‍රමාණයක් ගෙන යයි[2].

ප‍්‍රධාන ලෙස අර්ධ ශුෂ්ක ගණයේ ලා සැලකෙන දිස්ති‍්‍රක්කය දේශගුණික වශයෙන් උප කලාප 03 බෙදනු ලැබේ. 

               1. තෙත් දේශගුණික කලාපය

               2. අන්තර් මධ්‍යම දේශගුණික කලාපය

               3. වියළි දේශගුණික කලාපය

රම්බා විහාරය පිහිටන ප‍්‍රදේශය මෙයින් දෙවන කලාපයට අයත් වේ. සෙ.අ 26.6 - 27.2 අතර සාමාන්‍ය දෛනික උෂ්ණත්වයක් මෙම කලාපයේ ඇති අතර සාපේක්‍ෂ ආර්ද්‍රතාවය 81%- 76% අතර පවතී. මෙම අගය මැයි- ජුනි- නොවැම්බර් මාසවල ඉහල තත්ත්වයකට පත්වේ.

නාම ප්‍රභවය[සංස්කරණය]

රම්බා විහාරයේ නාම උත්තපත්තිය පිලිබඳව විවිධ අදහස් පවතී. රඹ හෙවත් කෙසෙල් වගාවන් බහුල ව පැවති ප‍්‍රදේශයක් වශයෙන් සැලකුණු බැවින් ද කදලිපත්ත (කදලි-කෙසෙල්) ගාමය මෙම ප‍්‍රදේශයට අනුරූප වන බව සැලකේ.

නන්දසේන මුදියන්සේ මහතා ඉදිරිපත් කරන අදහසක් මෙහි දී හුදෙක් කරුණක් වශයෙන් පමනක් දැක්වීමට කැමැත්තෙමු. ගම්පල යුගයට අයත් උඩ අලූදෙණිය විහාරයේ ඇතිිරඹාව. නමින් හැඳින්වෙන, කැටයම් කල සඳුන්හරයකින් නිමවූ උලූවස්සක් පිළිබඳව සඳහන් කරන ඔහු දක්වනුයේ මෙම වදන එතරම් සිංහල භාෂාවේ දොර උලූවහු සඳහා ව්‍යවහාරිත වදනක් නුවූවත් පූජාවලියේ සහ දළදා සිරිතේ රන් බා යනුවෙන් රනින් කල උලූවස්සක් සඳහා යෙදී ඇති බවයි. එවැනි දොරටු කිහිපයක් දලදා මාලිගයේ තිබු බව දළදා සිරිත දක්වයි. දොර බා (පාලි – ද්වාර බාහා) යන්න පැහැදිලිව ම උලූවස්සට යෙදෙන්නකි. ගලින කල දොර උලූවස්ස නියම්ගම්පා සෙල්ලිපියේ ගල් බා ලෙස යෙදී ඇත. එබැවින් රන් දොර උලූවස්සකට රන් බා ලෙස නිරුත් යෙදීම විය හැක්කකි [3]. මෙම අදහස මෙහි යෙදුවේ රම්බා නාමයේ ප‍්‍රභවය එවැනි රන් දොර උලූවස්සක් තිබු හෙයින් නිපන් බව පෙන්වා දීමට නොවන නමුත් එවැනි අදහසක් එක්වර බැහැර නොකට යුතු බැවිනි.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

රුහුණු රටේ ජනාවාස වීම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති බව මහාවංශය, ධාතුවංශය ආදී මූලාශ‍්‍ර ග‍්‍රන්ථ වලින් පැහැදිලි වේ. ශ‍්‍රී මහා බෝධි රෝපණයට කතරගම හා චන්දනගාම ක්‍ෂති‍්‍රයන් සහභාගී වූ බව සඳහන් ය [4]. එමෙන් ම වලස්වැව බඳිමින් සිටිය දී සිදුවූ රාජ්‍ය කුමන්ත‍්‍රණයකින් ගැලවීමට අනුරාධපුරයේ සිට යුවරාජ මහානාග රුහුණ බලා පලා ගියේ ය[5]. කතරගම ක්‍ෂති‍්‍රයන්ගේ සහය මත ප‍්‍රදේශයේ බලය පිහිටුවා ගත් ඔහුගේ පුත‍්‍ර යටාලතිස්සට පසුව බලයට පත් ගෝඨාභය විසින් කතරගම ක්‍ෂති‍්‍රයන් විනාශ කර තම රාජධානිය පුළුල් කරන ලදී [6]. මෙම පරම්පරාවට අයත් දුටුගැමුණු රජු පසුව ශී‍්‍ර ලංකාවේ එළාර පාලනය අවසාන කිරීමට මෙන් ම රට එක්සත් කිරීමට ද සමත් විය.

මෙයින් පසුව රුහුණු ප‍්‍රදේශය අනුරාධපුර රාජධානියේ ප‍්‍රාදේශීය ඒකකයක් ලෙස පාලනය වූ අතර සියවස් ගණනාවක් මාගම පාලන මධ්‍යස්ථානය විය. අනුරාධපුර රාජධානිය සොළී ග‍්‍රහණයට නතු වූ පසුව එම විදේශීය පාලනය වෙත පහර දීමට සමත් බලවතුන් රැුසක් බිහි කිරීමට රුහුණ සමත් විය. වික‍්‍රමබාහු, කිත්ති, මහාලානකිත්ති, වික්කමපණ්ඩු, ජගතිපාල සහ ලෝකේෂ්වර වැනි පාලකයන් රැුසක් තම බලය මෙම ප‍්‍රදේශයේ පිහිටුවාගත්ත ද චෝළ බලය ඉදිරියේ පරාජය විය [7]. රජ පරපුරෙන් පැවත ආ මොග්ගල්ලාන හා ලෝකිතා යන දෙදෙනාගේ පුත‍්‍රයා වූ කිත්ති කුමරු බුද්ධරාජ හා දේවමල්ල වැනි අධිපතියන්ගේ සහය ලබමින් රුහුණේ බලය ස්ථාපනය කරගත් අතර ප‍්‍රතිවිරුද්ධ පාලකයන් හා චෝළ පාලනය වෙත පැහැදිලි අභියෝගයක් කිරීමට සමත් විය. කතරගම, සිප්පත්ථලය, තම්බලගාමය ආදී ප‍්‍රදේශ කේන්‍ද්‍ර කරගෙන යුධ ප‍්‍රයාණයන් දියත්කල අතර චෝල පාලනයට එරෙහි අවසන් ප‍්‍රහාරය සංවිධානය කරන ලද්දේ පසුකාලීනව රුහුණේ දේශපාලන බලයේ වැදගත් මධ්‍යස්ථානය වූ මහානාගහුල දීය [8] [9]. චෝළයන් පරාජය කර බලයට පත්වූ විජයබාහු රජතුමා තම සහෝදර වීරබාහු කුමරු ද ඔහුගේ ඇවෑමෙන් පුත් වික‍්‍රමබාහු කුමරු ද රුහුණේ ඈපාවරයා බවට පත්කරන ලදී.

පළමුවන විජයබාහු රජුගේ ඇවෑමෙන් පොළොන්නරුවේ ජයබාහු යටතේ චාරිත‍්‍ර ඉක්මවා මානාභරණ රුහුණේ පාලකයා බවට පත්විය. පසුව විජයබාහු රජුගේ පුත‍්‍ර වික‍්‍රමබාහු තම ප‍්‍රාදේශීය අගනගරය වූ මහානාගහුල සිට සේනා මෙහෙයවා පොළොන්නරුව අල්ලා ගත් අතර විජයබාහු රජුගේ නැගණියගේ පුතුන්වන සිරිවල්ලභ, කිත්සිරිමෙවන් හා මානභරණ අතර දක්ඛිණ දේශය හා රුහුණ බෙදී ගියේ ය. විශේෂයෙන් මුල්කාලයේ තනි පාලන ඒකකයක් වූ රුහුණ කිත්සිරිමේඝ යටතේ දොළොස්දහස් රට හා සිරිවල්ලභ යටතේ අටදහස් රට ලෙස බෙදී ගියේ ය. කිත්සිරිමේඝ කුමරු යටතේ වූ දොලොස්දහස් රටේ අගනුවර වූයේ මහානාගහුලයි. රජකමට නියම හිමිකරුවා වූ ජයබාහු රජු ද මෙම ප‍්‍රාදේශීය නගරයේ රැඳී සිටීමත් රුහුණේ විශාල කොටසක් එයට අයත් වීමත් මත මහානාගහුල යනු දේශපාලනික අතින් පෙරමුණට පැමිණි බවත් කිව හැකි ය.

පසුව මානාභරණ කුමරුගේ පුත් පරක‍්‍රමබාහු කුමරු දීර්ඝ යුද්ධ ව්‍යාපාරයකට පසුව ශ‍්‍රී ලංකාව එක්සත් කිරීමට සමත් වූ අතර එහි දී පෙර රජුන් විසූ මානාහුල නුවර රාජධානි කරනු පිණිස රක්‍ඛ දෙමළ අධිකාරී හා රක්‍ඛ කංචුකීනායක සේනා සමඟ යැවූ අතර [10] ඔවුන් එම නගරය අල්ලාගත්ත ද පසුව නැවත රක්‍ඛලඞකාධිකාරී නම් සතුරු අමාත්‍යායා අතට නගරය පත් වූ බවත් නැවතත් යුධ මඟින් නගරය අල්ලාගත් පරාක‍්‍රමබාහු රජුගේ සෙනෙවියන් කලක් යන තුරු මානාවුළුපුරය තම සටන් මධ්‍යස්ථානය කරගත් බවත් මහාවංශ විස්තරයෙන් පැහැදිලි වේ [11]. පසුව අවට ගම් සියල්ලේ විසූ පසමිතුරු වැසියන් සමුලඝාතනය කල දෙමළ අධිකාරී රජුගේ ප‍්‍රසාදය හා අවසරය ලබා මහානාකුල වසමින් දොළොස්දහස් රට පාලනය කලේ ය [12].    

පරාක‍්‍රමබාහු යුගයෙන් පසුව මානාවුළුපුරය පිළිබඳ ග‍්‍රන්ථාගත සාධක ක‍්‍රමයෙන් අවම වේ. නිශ්ශංකමල්ල රජු රම්බාවිහාරයට පැමිණ කරන ලද සෙල්ලිපියක රුහුණ ප‍්‍රදේශයේ විහාර ඇල වේලි පිලිසකර කරවීමක් පිළිබඳ සඳහන් වේ.

මානාවුළු සංදේශය[සංස්කරණය]

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම පාලි සංදේශය ලෙස සැලකෙන මානාවුළු සංදේශය හෙවත් රාමඤ්ඤ සංදේශය රචනා කර ඇත්තේ රම්බා විහාරයේ සිට බව සැලකේ. මෙය 12 වන සියවසට අයත් ය. බුරුමයේ අරිමද්දනපුරයේ වෙහෙරක වැඩ විසූ සංඝරක්ඛිත කස්සප නම් යතිවරයෙක් විසින් ඤාන නම් ප‍්‍රධානයකු අත එවන ලද හස්නකට පිළිතුරු ලෙස මෙම සංදේශය නාගසෙන් හිමියන් විසින් රචනාකර යවන ලදී. මෙහි අරමුණ වී ඇත්තේ බුරුමයේ සිරිධම්ම රජුගේ සහය ඇතිව බුදු සසුන විශෝධනයට එරට සංඝයා වහන්සේ පියවර ගනිත්වා යන ප‍්‍රාර්ථනයයි. මෙම කෘතිය එම හිමියන්ගේ ශිෂ්‍යයකු විසින් රචනා කල බවට ද අදහසක් පවතී. මෙම සංදේශයේ කාව්‍ය 62 ඇත[2].

පදසාධනය[සංස්කරණය]

මෙම විහාරයේ පිහිටි දේවරාජ විහාරයේ සිට මුගලන් හිමිගේ ශිෂ්‍යයකු වූ පියපස්සී හිමි කප්පින නම් තැනැත්තකුගේ ආරාධනයෙන් පාලි මුගලන් වියරණයට පදසාධනය ලියු බව සඳහන් වේ. පාලි ව්‍යාකරණය පිළිබඳ රචිත මෙම ග‍්‍රන්ථයේ සංඤ්ඤා, සන්ධි, සමාස, උපසර්ග, ප‍්‍රත්‍ය හා ආඛ්‍යාත පිළිබඳ පරිච්ඡේද 05 ඇතුලත් වේ. එවකට සිටි විද්වතුන් අතර මෙම ග‍්‍රන්ථය විශේෂී ලෙස පරිහරණය වූ බවට සාධක ඇත. මේ අනුව අනුරාධපුරයේ ආගමික කටයුතු අතර මහාවිහාරය මූලික වු ආකාරයට මානාවුළුපුරයේ එම සේවය රම්බා විහාරය විසින් ඉටුකර ඇති බව පැහැදිලි ය [2].

වාරි පද්ධතිය[සංස්කරණය]

මෙම විහාරයේ බටහිර මායිමෙන් ගලා බසින ඇල අතීතයේ සිට කි‍්‍රයාත්මක වූ බව පෙනී යයි. මාමඩල ඇල යනුවෙන් හැඳින්වෙන මෙය මහා විජයබාහු රජතුමා කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා ලියංගස්ඇල්ල නමින් හැඳින්වෙන ස්ථානයෙන් වලවේ ගඟ හරස්කර අමුණක් බැඳ ජලය මාමඩල වැව දක්වා ගෙන යාමට තනා ඇති බව සැලකේ. 1889 දී ලියංගස්තොට ව්‍යාපාරය සඳහා යටත්විජිත රජය විසින් කරන ලද වේල්ල (දිග අඩි 240.73)නූතනයේ මාමඩල ඇල හා කොස්වතු ඇල නිර්මාණය කරයි. ආතර් ගෝඩන් ආණ්ඩුකාරවරයා විසින් වලවේ ගෙඟ් වම් ඉවුරු ව්‍යාපාරය ලෙස අරඹන ලද මෙම සංවර්ධන යෝජනාවලියේ වැඩ කටයුතු ජේ. එච්. විල්සන් ඉංජිනේරුවරයා විසින් මෙහෙයවන ලදී.  මෙයින් අතීතයේ සුදුගල්පල්ල නම් ස්ථානයෙන් ආරම්භ වූ මාමඩල ඇල වත_මානයේ එයට වඩා බොහෝ ඉහලින් ආරම්භ කිරීමට යෙදිණි. පැරණි ඇලේ කොටස ද තවම ශේෂව ඇත. ලියංගස්තොට අමුණෙන් ම ඇරඹෙන විහාරයේ නැගෙනහිර දෙසින් ඇති රිදියගම ඇල සැ. 06(කි.මී 9.7) දිගුවන අතර දිස්ති‍්‍රක්කයේ දෙවන විශාල ම වැව වන රිදියගම වැවට ජලය සපයයි. අඩි 7920(මීටර 2414) වන වැව් බැම්මේ උස අඩි 20 කි (මී 06).

ශිලාලේඛන[සංස්කරණය]

විහාරයෙන් හමවූ සෙල් ලිපිය පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංක 154 යටතේ ලියාපදිංචි කර ඇත.

01 පැත්ත

1 අ                   7 රම්භ              13 තලා             19 ටෙ

2 මහ                8 රචේ(තේ)       14 සික්

3 රදි                 9 මේව              15 ඇ.......ලෙ

4 මහ                10 සෙස 16 මෙනි......

5 (සිරිස) 11 ස්නට්            17 ක්සි

6 න්ග(බො)        15 දිවැ              18 මබමි

02 පැත්ත

1 ආ                  7ි.....හ             13 හමෙ

2ි......නි           8ි.....කෙ         

3ි.......පු           9 (ත්) අ

4ි.......ග           10 යදි

5ි...........           11 මෙගන්

6 පාගා               12 ගම

03 පැත්ත

1 ඇත්ත             12 රක්නි

2 ලාදා   13 ඉසා

3 තිරා                14 ගම්වෙ

4 මෙ                 15 සිය

5 තලන             16 ගෙරෙ

6 එයි                 17 සකමි

7 න්ති               18 යන්

8 කදස්              19 රෙවේනො

9 කට                20 වඞ්නා

10 ගෙනො         21 ඉසා

11 බිඩාටා

රම්බා චේතිය අසල නිවාසයේ වාසය කරන මහ සිරිසඟබෝ රජ දීමනාවක් පිරිනමන ලදී. වැව් වලින් ලැබෙන රාජකීය බදු ජලාශ ප‍්‍රධාන ඇලවල් වටිනා මැණික් හා පදිංචි ඉඩම්ි......දෙන ලදී...... මෙම ගඟ මහ වැසි සමයේ වැව් ඉවුරේ බුලත් වතුවලට ගලා එන විට එහි සිට දාසයන් විසින් දේපල රැුකිය යුතු ය. උස්බිමේ ඇති ගෙවල්වලට කඩා වැදිය යුතු නොවේ. සතුරන් විසින් ගම් වැසියන්ගේ හරකුන් හා ගැල් ගවයන් පැහැර ගත යුතු නොවේ.

මෙම සෙල්ලිපියේ සඳහන්වන පාලකයා 5 කාශ්‍යප බවට ද අදහසක් පවතී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සමරනායක, රංජිත්,1980, හම්බන්තොට දිස්ති‍්‍රක්කය, සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාංශ ප‍්‍රකාශනයකි
  2. 2.0 2.1 2.2 සමරනායක, රංජිත්,1980, හම්බන්තොට දිස්ති‍්‍රක්කය, සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාංශ ප‍්‍රකාශනයකි
  3. මුදියන්සේ, නන්දසේන 1971 ශාස්තී‍්‍රය ලිපි සංග‍්‍රහය, එම්’ ඞී’ ගුණසේන සමාගම, කොළඹ
  4. මහාවංශය,19පරි,53 ගාථාව
  5. මහාවංශය,22පරි,02-07 ගාථා
  6. නන්දරතන හිමි, 1984, ධාතුවංසො, සංස්කෘතික ප‍්‍රකාශන ආයතනය, කොළඹ 07
  7. මහාවංශය 56 පරි, 57පරි,02 ගාථා
  8. මහාවංශය,58පරි,49 ගාථා
  9. නිකලස්, සී’ඩබ්, 1972, චෝළ ආධිපත්‍යයෙන් නිදහස් වීම, ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1 කාණ්ඩය, සංස්, හේමචන්ද්‍රරායි, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කැළණිය
  10. මහාවංශය 75 පරි,20 ගාථා
  11. මහාවංශය 75 පරි, 20-24,72,115,118-126 ගාථා
  12. මහාවංශය 75 පරි, 162-169 ගාථා
"https://si.wikipedia.org/w/index.php?title=රම්බා_විහාරය&oldid=403816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි