මන්ත්‍රී මාළිගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(යාපනය මන්ත්‍රී මාළිගය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
යාපනය මන්ත්‍රී මාළිගය

යාපනය මන්ත්‍රී මාළිගය ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන පැරණි ඉදිකිරීම් අතුරින් එකකි. සිංහල වහරේදී මන්ත්‍රී මාළිගය හෝ රාජමන්ත්‍රී මාළිගය ලෙස හැඳින්වෙන මෙම ඉදිකිරීම මන්ද්‍රිමනායි ලෙස දෙමළ භාෂාවෙන් ව්‍යවහාර කරනු ලබයි.

ව්‍යවහාරයේ යෙදෙන සංඥා නාම අනූව මෙම ගොඩනැගිල්ල බිසෝවරුන් සඳහා වූ වාසස්ථානයක් සේ විද්‍යාමාන වූවද, ඇතැම් පිරිස් විසින් මෙම ඉදිකිරීම සංගිලියන් රජවරුන්ගේ මාළිගය ලෙස විශ්වාස කරනු ලැබේ. ක්‍රි.ව. 13 සිට 17 වන කාල සීමාව තෙක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වාසය කල ආර්ය චක්‍රවර්තී රජවරු සිය මාළිගා ගොඩනගාගත් ස්ථාන පිළිබඳව පැහැදිලි සාධක දක්නට නොමැති වීමත්, මන්ත්‍රී මාළිගාව ආසන්නයේ පිහිටි සංගිලියන් තොරණ හා ඊට ඇතුලතින් වූ නටඹුන් සංගිලි රජ මාළිගාවක නටඹුන් විය හැකි බැව් සැළකෙන නිසාත්, එම මතය ගොඩනැගී ඇති බැව් පැවසෙයි. කෙසේ නමුදු මෙම ගොඩනැගිල්ල සංගිලි රාජ පරම්පරාවේ අවසන් ප්‍රභූවරයාට අයත් වන්නට ඇතැයි පොදු පිළිගැනීම වී තිබේ.

ගොඩනැගිල්ල[සංස්කරණය]

ඇතුලත ශාලාවට ප්‍රවිශ්ට වන ස්ථානයේ වූ පේකඩ කැටයමක්

මෙම සම්පූර්ණ ගොඩනැගිල්ල මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කොට තිබෙන අතර බිත්ති හුණු බදාමයෙන් කපරාරු කොට තිබේ. ප්‍රධාන පිවිසුමෙහි හා ගොඩනැගිල්ල ඇතුලතෙහි දැකගත හැකි වෘත්තාකාර කුළුණු දකුණු ඉන්දියානු ආභාෂය පෙන්නුම් කරයි. ගොඩනැගිල්ලට ප්‍රවේශවන මාර්ගයේ වම්පස පිහිටි කාමරයට යාබදව පිටතින් පිහිටි කාමරය තුල හුණුගල් භාවිතයෙන් නිමවා ඇති හතරැස් වලක් දැකගත හැකිවන අතර එහි සිට ගොඩනැගිල්ල දෙසට අඩි 4ක පමණ කුඩා දොරටුවක් නිර්මාණය කොට තිබේ. බිංගෙය සේ හැඳින්වෙන එය අතීතයේදී ගොඩනැගිල්ලේ විසූ බිසෝවරු ස්නානය සඳහා යමුනාරි පොකුණ වෙතට ගමන් කිරීමට යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුදු මෙය මාළිගයෙන් පිටවීම වෙනුවෙන් තැනූ රහස් උමං මාර්ගයක් ලෙසද මත පල වී තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  • යාපනයේ ඓතිහාසික උරුමය - අයි.ඩී.එම්. විජේබණ්ඩාර, ISBN - 978-955-9159-95-7
"https://si.wikipedia.org/w/index.php?title=මන්ත්‍රී_මාළිගය&oldid=399757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි