මුයි ත්සායි

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

මුයි ත්සායි (චීන: 妹仔; ජ්‍යුට්පිං: mui6zai2) හෙවත් කැන්ටනීස් බසින් "කුඩා සොයුරිය"[1] ලෙස හැඳින්වුණේ චීනයේ ගෘහස්ථ සේවිකාවන් ලෙස හෝ සම්ප්‍රදායික චීන සමා‍ජයේ ගණිකා මඩම්වල හෝ ධනවත් නිවාසවල සේවිකාවන් ලෙස කටයුතු කළ තරුණ චීන කාන්තාවන් ය. සාමාන්‍යයෙන් මෙම තරුණ යුවතියන් දිළිඳු පවුල්වලින් පැමිණි අතර, ඔවුන්ව ලාබාල වියේ දී අලෙවි කරන ලද්දේ ඔවුන් වැඩිවියට පත්වූ විට විවාහයක් සිදුකොට නිදහස් කිරීමේ ගිවිසුම අනුව ය.[2] මෙවැනි කටයුතු සාමාන්‍යයෙන් පුණ්‍යාධාරයක් ලෙස සැලකුණේ මු ත්සායිවරියන් ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ පවුල්වලට උපකාරයක් වූ බැවිනි.

සම්ප්‍රදායික චීන පවුල් සංස්ථාව තුළ පුරුෂ උරුමකරුවන් අත්‍යාවශ්‍ය විය. මේ නිසා දරුවන් බොහෝදෙනකු පෝෂණය කිරීමට නොහැකි වූ දරිද්‍ර දෙමාපියන් විසින් සිය අලුත උපන් බිළිඳියන් මරාදමන ලදී. මෙය අනවශ්‍ය දැරියන් විකිණීමට විකල්පයක් ලෙස සිදුවූවකි.[3]

මෙවැනි කටයුතුවල දී ගිවිසුම් නොපැවතීම හේතුවෙන් මුයි ත්සායිවරියන් ගණිකා වෘත්තිය සඳහා නැවත අලෙවි කිරීම දි සිදු විය.[4] මෙම පිළිවෙත දෙවන ලෝක යුද්ධයට පෙර හොං කොං, සිංගප්පූරුව සහ අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල බහුලව ක්‍රියාත්මක විය.[1]

මැකාවු[සංස්කරණය]

16වන සියවසේ දී දිළිඳු දෙමාපියන් විසින් සිය දියණිවරුන් වසර 40ක් සඳහා ගෘහස්ථ සේවිකාවන් ලෙස විකිණීම මැකාවුහි සුලබ සිදුවීමක් විය. මැකාවු වෙත පෘතුගීසීන් පැමිණීමත් සමග ඔවුහු මුයි ත්සායිවරුන් යොදාගෙන ගණිකා මඩම් ස්ථාපනය කළහ. නමුත් මැන්ඩරින්වරුන් එයට මැදිහත් විය.[5]

හොං කොං[සංස්කරණය]

19වන සියවසේ මැද වන විට, බ්‍රිතාන්‍ය වහල් මෙහෙය අහෝසි කිරීමේ පනත සහ වහල් වෙළඳාම් පනත ක්‍රියාත්මක විය. 1923ට පෙර හොං කොං රජය මුයි ත්සායිවරියන් ලෙස දැරියන් විකිණීමට කිසිදු තහනමක් පනවා නොතිබිණි. එයට හේතුව මෙය පවුල් ගැටලුවක් ලෙස හෝ සම්ප්‍රදායික පිළිවෙත්ක ලෙස සැලකීමයි. ශේෂව සිටි මුයි ත්සායිවරියන් මුදා ගැනීමට සයිමන් සිටුවරිය වූ කැත්ලීන් සයිමන් දශක ගණනාවක් සටන් වැදුණා ය.

1922දී බ්‍රිතාන්‍යයේ මාධ්‍ය සමුළුවලට පසු, යටත් විජිත රාජ්‍ය ලේකම්වරයා වූ වින්ස්ටන් චර්චිල් හොං කොංහි හුයි ත්සායි ක්‍රමය වසරක් තුළ දී අවසන් කරන බවට ප්‍රතිඥා දුන්නේ ය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පීඩනය යටතේ හොං කොං ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් ඊළඟ වර්ෂයේ දී කාන්තා ගෘහස්ථ සේවා කෙටුම්පත ක්‍රියාත්මක කළේ ය. මෙමගින් මුයි ත්සායිවරියන් තවදුරටත් ආනයනය කිරීම සහ පත් කිරීම තහනම් කෙරිණි. කෙසේනමුත් සියලු මුයි ත්සායිවරියන් ලියාපදිංචි කිරීම කල්දැමිණි. නව නීතිය කිසි දින දැඩිව ක්‍රියාත්මක වූයේ නැත.

1926දී, ජාතීන්ගේ සංගමය යටතේ අන්තර්ජාතික වහල් ක්‍රම සම්මුතියට අත්සන් තැබූ රටක් ලෙස බ්‍රිතාන්‍ය සැලකිණි. මුයි ත්සායිවරියන් පිළිබඳ ගැටලුව මඳ කලකින්ම අන්තර්ජාතික අවධානයට ලක් විය. දැඩි දේශපාලන පීඩනය හමුවේ හොං කොං රජය විසින් 1929දී කාන්තා ගෘහස්ථ සේවා ආඥා පනත ක්‍රියාත්මක කරන ලදී. සියලු මුයි ත්සායිවරියන් 1930 මැයි 31ට පෙර ලියාපදිංචි කළ යුතු විය. ඉන් අනතුරුව කිසිදු ලියාපදිංචියකට හෝ අලෙවි කිරීමකට අවසර නොලැබිණි. මුයි ත්සායිවරියන්ට නිසි පරිදි සලකන්නේ ද, වැටුප් ‍ගෙවන්නේ ද යන්න පිළිබඳ සොයා බැලීමට පරීක්ෂකවරුන් යෙදවිණි.[6]

මේ පිළිබඳ අවසන් සිදුවීම වාර්තා වූයේ 2005දී ය. එහි දී සිය දියණියව හොං කොං වෙත යැවූ දෙමාපියනට සහනයක් හිමි විය. ඇය උදෑසන සිට සවස දක්වා අඛණ්ඩව සේවා කොට ඇත. කායික වධහිංසාවලින් පසු ඇයව රෝහල්ගත කෙරිණි.[7]

ඇමරිකා එක්සත් ජනපදය[සංස්කරණය]

19වන සියවසේ දී චීන කම්කරුවන් විශාල සංඛ්‍යාවක් එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වී තිබේ. 1882 චීන බහිෂ්කාර පනත මගින් කම්කරු පන්තියේ චීන මිනිසුන්ට චීනයේ සිට සිය භාර්යාවන් ගෙන්වීම සහ චීන-නොවන භාර්යාවන් විවාහ කරගැනීම තහනම් කෙරිණි. මේ වනවිට බොහෝ චීන දැරියන් සහ තරුණ යුවතියන් තමන් වරප්‍රසාද ලත් පාන්තිකයන්ගේ භාර්යාවන් සහ දියණියන් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් සංක්‍රමණය වී ඇත. මින් බොහෝ දෙනා සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ ඒන්ජල් දිවයින වෙත පැමිණ තිබේ. දැරියන් ගෘහස්ථ සේවිකාවන් ලෙස අලෙවි කෙරිණි. ඔවුන් වැඩිවියට පත්වත්ම ගණිකා වෘත්තිය සඳහා අලෙවි කිරීම බහුලව සිදු විය. මුයි ත්සායිවරියන් සැන් ෆ්‍රැන්සිස්කෝවේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවාදීන්ගේ අවධානයට ලක් විය. සැන් ෆ්‍රැන්සිස්කෝ චයිනාටවුන්හි ප්‍රෙස්බිටීරියානු මිසම විසින් චීන දැරියන් සහ යුවතියන් අයෝග්‍ය ක්‍රියාකාරකම්වලින් මුදාගන්නා ලදී.[8]

එක්සත් ජනපදයේ ප්‍රතිසංස්කරණවාදීන්ගේ උත්සාහයන් මධ්‍යයේ පවා මුයි ත්සායි ක්‍රමය 20වන සියවසේ මුල් කාලය තෙක්ම පැවතිණි.[1]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Yung, Unbound Feet, 37.
  2. Yung, Unbound Voices, 129.
  3. "The Traditional Chinese Family & Lineage". David K. Jordan. Retrieved 2008-12-12.
  4. Yung, Unbound Feet, 38.
  5. Daus, Ronald (1983) (deයෙන්). Die Erfindung des Kolonialismus. Wuppertal/Germany: Peter Hammer Verlag. පිටු 232. ISBN 3-87294-202-6. 
  6. Hong Kong Med J Vol. 12., pp. 464-465
  7. Hong Kong Med J Vol. 12., pp. 463-464
  8. "Encyclopedia of San Francisco". Retrieved 2008-11-22.

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මුයි_ත්සායි&oldid=411262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි