මාතලේ කැරැල්ල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මාතලේ නිදහස් අරගල ස්මාරකය, මාතලේ

මාතලේ කැරැල්ල නැතහොත් 1848 කැරැල්ල යනුවෙන් හැඳින්වෙන කැරැල්ල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ආණ්ඩුකාර ටොරින්ටන් සාමිගේ (හත් වෙනි වයිකවුන්ට් ටොරින්ටන්) කාලයේදී හට ගත්තේය. එම කැරැල්ලෙහි යටත් විජිත පාලන ක්‍රමයකට එරෙහිව පැරණි වැඩ වසම් ක්‍රමයේ කැරැල්ලක ලක්ෂණ නොපෙනේ. ඒ වෙනුවට නවීන නිදහස් අරගලයකට මාරුවීමක් දක්නට ලැබේ. එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතාවගේ කැරැල්ලකි.

පසු බිම[සංස්කරණය]

උඩරට පළාත්වල තිබුනේ වියවුල් තත්වයකි. ඔවුහු අවුරුදු 33 ක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිටියහ. මුඩුබිම් ආඥා පනත යටතේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල අයිතිය අහිමිකර ඔවුන් දුගී භාවයට ඇද දමනු ලැබිණ. 18 වෙනි ශත වර්ෂයේ කෝපි වගාව ලංකාවට හඳුන්වා දෙනු ලැබිණි. කෝපි කඳුකර පෙදෙස්වල සරුසාරව වැඩෙන වගාවකි. පොදු ජනයාගෙන් අත්පත් කර ගන්නා ලද ඉඩම්වල කෝපි වගා කරනු ලැබිණ. ධනපතියන්ගේ වගාවක් වූ කෝපි ආසියානු රටක් වූ ලංකාවේ වගා කිරීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ බටහිර ඉන්දීය කොදෙව්වල එවකට පැවති කෝපි වගාව වහල් සේවය නැවැත්වීම නිසා අඩපණ වීමයි.

කෙසේ වෙතත් ඉඩම් අයිතිය අහිමි කරනු ලැබූ සාමාන්‍ය ජනයා මෙම කෝපි වගාව සඳහා යොදා නොගැනුනි. කන්ද උඩරට ජනයා තම ජීවනෝපාය සලසා දුන් පාරම්පරික ඉඩම් අතහැර කුලීකාරයන් ලෙස එවකට වතුවල පැවති දුක්ඛිත තත්වයන් යටතේ ඒවායේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කළහ. එහෙයින් ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යයන්ගේ කම්කරු බලඇණිය දකුණේ (ලංකාවේ) අලුත් වාසි දායක බිම්වල වැඩෙහි යෙදවීම සඳහා ගෙන ඒමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය. ඉතා පිළිකුල් සහගත කම්කරු ශ්‍රමය ලබා ගන්නා ක්‍රමයක් ඇති කර ඒ මගින් දකුණු ඉන්දීය කුලීකරුවන් ලක්ෂ ගණනක් ලංකාවේ කෝපි වතුවල වැඩවලට ගෙන්වා ගන්නා ලදී. මොවුන්ගෙන් දහස් ගණනක් එසේ එන අතර මගදී හා පැමිණි පසු වතු වගා වලදී මිය ගියහ.

බ්‍රිතාන්‍යයේ ඇතිවුණු ආර්ථික අවපාතය දේශීය කෝපි වගාවට මෙන්ම කුරුඳු වගාවටද බරපතල ලෙස බල පෑවේය. වැවිලි කරුවෝ සහ ව්‍යාපාරිකයෝ අපනයන බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළහ. කොළඹ යටත් විජිත ලේකම් ශ්‍රිමත් ජේම්ස් එමර්සන් වෙනන්ට් ලන්ඩන්හි යටත් විජිත පිළිබඳ ලේකම් වූ අර්ල් ග්‍රේ ට පෙරළිකාර යෝජනාවක් ඉදිරිපත් කර එය සලකා බලන ලෙස ඉල්ලා සිටියේය. ඒවානම් දැනට පවතින වක්‍ර බදු ක්‍රමය ඍජු බදු ක්‍රමයකට මාරුකරන ලෙසයි. එම යෝජනා පිළිගැනුණි. කෝපි සඳහා අපනයන බදු ඉවත් කිරීමටද, කුරුඳු සඳහා එය අඩු කිරීමටද යෝජනා විය. මෙයින් ඇතිවන හිඟය වූ ස්ටර්ලින් පවුම් 10 000 ක මුදල ඍජු බදු මගින් මහජනතාවගෙන් අය කර ගැනීමටද යෝජනා විය. එවකට බ්‍රිතාන්‍ය අගමැති රසල් සාමිගේ ඤාති සහෝදරයෙකු වූ 35 වියැති ටොරින්ටන් සාමිවරයා නව ආණ්ඩුකාරවරයා ලෙස වික්ටෝරියා රැජින විසින් ලංකාවට එවන ලද්දේ මෙම ප්‍රතිසංස්කරණයන් ක්‍රියාවේ යෙදවීම පිණිසයි.

1848 ජුලි 1 දින තුවක්කු, බල්ලන්, කරත්ත සහ සාප්පු යනුවෙන් ඒ ඒ කාරණාවලට බදු අය කරන ලෙස නීති පනවන ලදී. තවද වතු වගාවල පාරවල් සඳහා ශ්‍රමය අනිවාර්යෙන්ම යෙදවිය යුතු යැයිද නැතහොත් විශේෂ බද්දක් (ඇඟ බද්ද) ඒ වෙනුවට ගෙවිය යුතු යැයිද නියම කෙරුණි. මෙම බදු මහජනතාවගේ මුදල් පසුම්බියට පමණක් නොව කන්ද උඩරට ජනතාවගේ සාම්ප්‍රදායික සිරිත් විරිත්වලටද ඉතා අහිතකර ලෙස බලපෑවේය. මෙම අසාධාරණ පීඩාකාරී බදුවලට එරෙහිව මහා ජනතා ව්‍යාපාරයක් ආරම්භ විය. මෙම ජනතාවට නායකත්වයක් නොමැති විය. (රටේ රජු බලයෙන් පහකර තිබුණු අතර අනෙක් නායකයන් එක්කෝ ඌවේ කැරැල්ලේදී විනාශ කර හෝ ඉතිරි අය බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එක් කර ගෙන හෝ තිබිණි) මේ නිසා කන්ද උඩරට පළාත්වල නායකත්වය සාමාන්‍ය පොදු ජනතාව අතරට ප්‍රථමවරට මාරුවිය.

කැරැල්ල[සංස්කරණය]

1848 ජුලි 26 දින නායකයෝ සහ සහයෝගය දැක්වූවන් පෙරවරු 11.30 වන විට ඓතිහාසික දඹුල්ල රාජමහා විහාරයට රැස් වූහ. එහි නායක ස්වාමින් වහන්සේ වූ ගිරණාගම තෙරුන් වහන්සේ විසින් ගොන්ගාලේගොඩ බණ්ඩා අභිෂේක කරනු ලැබීය. ඔහු හඳුන්වන ලද්දේ "ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි" යන නමිනි. ඔහු ඉතා චතුර ලෙස සිංහලෙන් කථා කරමින් මහජනතාවගෙන් ඇසුවේ "ඔබලා ගන්නේ කාගේ පැත්තද, බෞද්ධයන්ගේද? බ්‍රිතාන්‍යයන්ගේද?" යනුවෙනි. මෙදිනම ඔහුගේ සහෝදරයා වූ දිනෙස් උප රජු ලෙසද, ඩිංගිරාල, සත්කෝරළේ නිල නොලත් රජු ලෙසද ප්‍රකාශයට පත් කරන ලදී. තවත් 400 ක් දෙනා සමග සිටි වීර පුරන් අප්පු, අග්‍රාමාත්‍යවරයා නොහොත් ගොන්ගාලේගොඩ බණ්ඩාගේ කඩු දරන්නා ලෙසද "වලිසිංහ" යන නමින් අභිෂේක කරන ලද්දේ ය.

රජු ලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු, ඔහුගේ හමුදාව සමග දඹුල්ලෙන් පිටත් වී මාතලේ හරහා ගියේ බ්‍රිතාන්‍යයන්ගෙන් උඩරට රාජධානිය අල්ලා ගැනීමේ අපේක්ෂාවෙනි. ඔවුහු මාතලේ කච්චේරියද ඇතුළුව රජයේ ගොඩනැගිලිවලට පහර දී බදු වාර්තා සමහරක් විනාශ කළහ. මේ අතර ඩිංගිරාළ ජනතාව පොළඹවා කුරුණෑගලට පහර දුන්නේය. මෙහිදී බ්‍රිතාන්‍ය හමුදාවේ වෙඩි පහරට ලක්ව අට දෙනෙක් මිය ගියහ. ටොරින්ටන් ආණ්ඩුකාරවරයා වහාම යුද නීතිය ප්‍රකාශයට පත් කළේය. ඒ 1848 ජුලි 29 මහනුවරට සහ ජුලි 31 දින කුරුණැගලටද වශයෙනි.

පුරන් අප්පු සිරකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන අගෝස්තු 8 වෙනිදා මරණ දණ්ඩනය නියම කරන ලදී. ගොංගාලේගොඩ බණ්ඩා සහ ඔහුගේ සොහොයුරු දිනෙස් පලා ගොස් සැඟවුණහ. ගොංගාලේගොඩ බණ්ඩා ඉන් පසු මාතලේ සිට කි.මි.13 ක් ඈත ඇල්කඩුව ප්‍රදේශයේ ගල් ගුහාවක ජීවත් විය. ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළ අතර ඔහු සිටින තැනක් පිළිබඳ තොරතුරු සපයන්නන්ට පවුම් 150 ක් දෙන බව ප්‍රකාශ කළේය. සැප්තැම්බර් 21 දින මැලේ භට හමුදාවක් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදුව මාතලේ සිට නුවරට ගෙනවුත් සිර කරන ලදී.

ගොංගාලේගොඩ බණ්ඩා සම්බන්ධ නඩු විභාගය නොවැම්බර් 27 දින මහනුවර ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග කරන ලදී. මහනුවර රාජ්‍ය ලබා ගැනීම සඳහා යුද්ධ කොට රජුට ද්‍රෝහී වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගා තිබුණි. සියලු චෝදනාවන්ට තමන් වැරදිකරු බව ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය 1849 ජනවාරි 1වැනි දින ඔහු එල්ලා මරණ ලෙස තීන්දු කළේය.

මෙයින් පසු මරණ දණ්ඩනය වෙනුවට කස පහර 100 ක් දී මලක්කාවට පිටුවහල් කළයුතු යයි නීතිය සංශෝධනය කොට ආඥාවක් ප්‍රකාශ කෙරුණි. බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරලි ගසන්නට අදහස් කරන්නන්ගේ සිතට බිය වද්දන්නට ආණ්ඩුකාරවරයා එම ක්‍රියාමාර්ගය ගත්තේ පිටුවහල් කිරීම මරණ දණ්ඩනයට වඩා දරුණු දඬුවමක් ලෙසින් සැලකුණු බැවිලණි.

නායකයෝ[සංස්කරණය]

1848 නිදහස් අරගලය ගොංගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු, දිනෙස් සහ ඩිංගි රාළ චන්ද්‍රසේකර ලේකම්පත්තුවේ රාල නායකයන් විසින් මාතලේ ගම් ප්‍රධානීන් සහ ජනතා සහයෝගය සහිතව මෙහෙයවන ලදී. ඔවුන් පහතරට සමඟ සබඳතා ඇති අය වූ අතර පුළුල් දර්ශනයකින් යුතුව කටයුතු කළහ.

ඉතිහාසයේ මාතලේ කැරැල්ලට හිමි වන තැන[සංස්කරණය]

මාතලේ කැරැල්ල සම්පූර්ණයෙන්ම පොදු ජනයාගේ කැරැල්ලක් විය. එම කැරැල්ලේ වැඩවසම් ස්වරූපය දක්නට නොලැබිණි. එම ස්වරුපය නැති පොදු ජනයාගේ කැරැල්ලක් ලෙස හැඳින්වෙන ප්‍රථම කැරැල්ල මාතලේ කැරැල්ලය. කැරලිකරුවන්ට ඔවුනගේ රජෙකුගේ නායකත්වයක් නොවීය. (ඔහු 1815 දී බලයෙන් පහ කොට තිබුණු හෙයිනි) එසේම වෙනත් ප්‍රධානියෙකුගේ නායකත්වයක්ද නොතිබුණි. (හිටපු නායකයන් ඌව කැරැල්ල අවස්ථාවේ දරුණු ලෙස මර්දනය කර තිබුණි. ඉතිරි වූ අය බ්‍රිතාන්‍ය පාලනයට ඇඳා ගෙන තිබුණි.) ප්‍රථමවරට මහනුවර පළාත්වල නායකත්වය රදළවරුන්ට නොව සාමාන්‍ය ජනතාව අතට ගියේය. නායකයින් වූයේ සාමාන්‍ය ගොවියෝ සහ කම්කරුවෝය. එය හරියට එංගලන්ත විප්ලවයේ "ලෙවෙලර්ස්" (Levellers) ලෙස හැඳින්වුණු ජන කණ්ඩායම මෙනි. නැතහොත් අමෙරිකන් විප්ලවයේ පෝල් රිවරේ (Paul Revere) සහ ටොම් පේන් (Tom Paine) වැනි කාර්මිකයින් මෙනි. කෙසේ වෙතත් කොල්වින් ආර් ද සිල්වාගේ වචනවලින් කියතොත් ඒ මෙසේය. "එයට නායකයින් සිටි නමුත් නායකත්වයක් නොවීය. පැරණි වැඩවසම් නායකයින් විනාශ කොට හෝ බලරහිත කර තිබුණි. අරගලයට නායකත්වය දීමට සහ එහි බලය අත්පත් කරගැනීම දක්වා ඉදිරියට යාමට සුදුසු කණ්ඩායමක් නොවීය.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මාතලේ_කැරැල්ල&oldid=423276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි