මහා ථූපය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

෴ තවත් වසර 2436ක් පවතින මහා ස්තූපය ෴

පලාපෙති බැඳන් ගෙල වට

   හංස පියාපත් සලමින

නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා

      බ්‍රහස්පතී තාරකාව

   මුදුන් වී සරත් නුඹ ගැබ

ස්වර්ණමාලි මහ සෑ රජ කොත් පළන්දලා

   මුටසීව රජු විසින් රාජකීය උයන ලෙස සකසන ලද මහාමේඝ වනය දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළඳ ගත්තායින් පසු මහමෙව්නා උයන නමින් මිහිඳු මාහිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කරන ලද අතර ලංකාවේ ඉදිවන පළමු බෞද්ධ ආශ්‍රමය මහාවිහාරය නමින් අනුරාධපුරයේ ඉදි විය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු රාමාගම ග්‍රාමයේ නිධාපිත කර තිබූ ධාතු බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයකට අනුව මහා සෑය වෙනුවෙන් වෙන් කර තිබුණි. කකුසඳ, කෝණාගමන, ගෞතම බුදුවරුන්ගේ පාද ස්පර්ශයෙන් ආශිර්වාද ලත් ශුද්ධ භූමියක මහා සෑය ඉදිවීමට නියමිතව තිබී ඇත. සද්ධර්ම ශ්‍රවණය තුළින් හෝ මේ කරුණු දැනගත් දේවානම්පියතිස්ස රජු අදාළ භූමියෙහි " අනාගතයේ දිනක තම මුණුබුරෙකු විසින් මේ ස්ථානයෙහි මහා සෑය ඉදිකරන බවට " ටැම් ලිපියක් සකස්කොට සිටුවීය.

තුන් සිංහලයම එක් සේසත් කිරීමෙන් පසු රාජ්‍ය විචාරණ දුටුගැමුණු රජු විසින් මෙම අභිලිවිත් ශිලා ලිපිය සොයා ගන්නා අවස්ථාවේ ඒ ස්ථානයේ විශාල රන් තෙලඹු ගසක් වැඩී තිබූ අතර, එම ගස කපා දමා සෑය ඉදිකිරීමට යන අවස්ථාවේ තෙලඹු ගසෙහි වාසය කළ දෙවඟන කළ ඉල්ලීමකට අනුව ඇයගේ නම මහා සෑය වෙනුවෙන් භාවිතා කරන බවට රජු පොරොන්දු වීමෙන් පසු සෑයෙහි වැඩ ආරම්භ විය.

භූමිය සමතලා කර රියන් හතක් ගැඹුරට හාරා කවාකාර ගල් අතුරා ඒ ගල් කුඩු කර ඇතුන් ලවා පාගවා එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද, තිරුවාණ මත යකඩ දැල් ද, යකඩ දැල් මත සුවඳැති මැටිද, සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත ගල් පුවරුද අතුරවා ඇත. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති තඹ පත්‍ර අතුරවන ලදී. එම තඹ පත්‍ර මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කර ඇත.

වෙසක් දිනක විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ මෙසේ වැඩ ඇරඹි මහා සෑයේ අත්තිවාරම් ගල උත්තරසිහ තාරකා මණ්ඩලය යටතේ දුටුගැමුණු රජු විසින් ඇසළ පුන් පොහොය දිනක තැම්පත් කළේය. මෙම අවස්ථාවට ඉන්දියාවෙන් 96 කෝටියක් රහතන් වහන්සේලා හා ග්‍රීසියෙන් තිස් දාහක් රහතන් වහන්සේලා වැඩි බව දැක්වේ. සෑය නිර්මාණය සඳහා අවශ්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය වන ගඩොල්, රත්තරන්, රිදී, මුතු, මැණික් ආසන්න විවිධ ග්‍රාමයන් හී පහළ වූ බව විහාර වංශයන් හී සඳහන් ය. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර, බ්‍රහ්ම, පංච, සිඛ, කාලනාග පිරිවරද තබා බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත.

සෑය හතරැස් කොටුව දක්වා නිම වී පවතිද්දී දුටුගැමුණු රජු අභාවයට පත්විය. දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු ස්වර්ණමාලී මහා සෑයේ ඉතිරි කටයුතු නිම කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත නිර්මාණ ලෙස හත්ථිවේදය, ඇත් පවුර, පස් පිළිම ගෙය, සූර්ය සේවාලය, කුඩා දාගැබ, සිරි පතුල් ගල්, සළපතළ මළු‍වේ කවය, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය, භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය, ගල් ටැඹ, ශිලාචේතිය, එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත. ලංජිතිස්ස රජු හා ධාතුසේන රජු ප්‍රතිශක්තිකරණ කටයුතු කර අැති ය. රුවන්වැලි සෑය මහාවිහාරයට අයත් ප්‍රධානම දාගැබ වන අතර දළදා මාළිගය ඉදිවෙන තෙක්ම ලංකාවේ පැවති අංක එකේ පූජනීය ස්ථානයයි.

ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතර වාස්තු තාක්ෂණය අතින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා රුවන්වැලි සෑය උසින් 338ක් හා අඩි 942ක විෂ්කම්භයකින් යුක්තය. සොළොස්මස්ථාන හා අටමස්ථාන අතරටත් එක් වන රුවන්වැලි මහා සෑය අද ද ලංකාවේ වඩාත් පූජනීය ම දාගැබයි.

"https://si.wikipedia.org/w/index.php?title=මහා_ථූපය&oldid=471128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි