Jump to content

මරියතුමිය කැප කිරීම

විකිපීඩියා වෙතින්
ස්කෝපියා අසල කන්‍යා මරිය තුමිය කැප කිරීමෙහි සර්බියානු ඕර්තඩොක්ස් දේවස්ථානයෙහි බිතු සිතුවමක්

අතිශයින් ශුද්ධවූ දේව ධාරිනිය දේව මාළිගයට ඇතුළුවීම ලෙසින් නැගෙනහිර සභාවෙහි හැඳින්වෙන, භාග්‍යවත් කන්‍යා මරියතුමිය කැප කිරීම යනු, කතෝලික, නැගෙනහිර ඕර්තඩොක්ස් සහ, සමහරක් ඇංග්ලිකානු-කතෝලික සභාවන් විසින් නොවැම්බර් 21 දින පැවැත්වෙන ජන වන්දනාමය මංගල්‍යයකි [1].

මෙම මංගල්‍යය, නව ගිවිසුමෙහි විස්තර නොකරෙන නමුත් ශුද්ධවූ ජේම්ස් තුමාගේ මූල සුබාරංචිය නම් අසම්මත සුබාරංචියෙහි සඳහන් වන සිද්ධියක් හා සම්බන්ධිත වෙයි. එම විස්තරයෙහි සඳහන් පරිදී, මරියතුමියගේ දෙමව්පියන්වූ, දරුවන් නොලැබ සිටි, ජෝකීම් සහ ආනා මුනිවරිය වෙත, ස්වර්ගීය පණිවුඩයක් ලැබුනේ ඔවුන් හට දරුවෙක් ලැබෙන බවයි. ඔවුනට ලැබුනු ත්‍යාගය වූ දියණිය සඳහා තුති පිදීමට ඔවුහූ ඇය කුඩා දරුවෙකුව සිටියදීම ජෙරුසලෙමෙහි දේව මාළිගය වෙතට රැගෙන ආවේ දෙවියන්වහන්සේට කැප කිරීම සඳහාය. මෙම කතාන්තරයෙහි පසුකාලීන අනුවාදයන්හී ( ව්‍යාජ-මැතිව් සුබාරංචිය සහ මරියතුමියගේ උප්පත්තිය සුබාරංචිය වැනි) සඳහන් වන්නේ බාරයක් ඔප්පු කිරීම සඳහා මරියතුමියව දේව මාළිගයට රැගෙන ගියේ වයස අවුරුදු තුනක් පමණ වන විට බවය. දේව ධාරිනිය භූමිකාව සඳහා සූදානම් වීමට අධ්‍යාපනය ලබනු වස් සාම්ප්‍රදායිකව එතුමිය එහි රැඳී සිටිය යුතු විය.

නැගෙනහිර ඕර්තඩොක්ස් සම්ප්‍රදායයෙහි, මෙම දිනය යනු, මරියා (ග්‍රීක බසින් Μαρία) සහ ඩෙස්පෝනියා (Δέσποινα) යන නම් සහිත කාන්තාවන් විසින් ඔවුන්ගේ නම් දිනයන් සමරන දිනය වෙයි.

කතාන්තරය

[සංස්කරණය]

භාග්‍යවත් කන්‍යා මරියතුමිය දේව මාළිගයෙහි කැප කිරීමෙහි කතාන්තර විස්තරය ප්‍රධාන වශයෙන් පදනම්ව ඇත්තේ ශුද්ධවූ ජේම්ස් තුමාගේ මූල සුබාරංචිය වෙත වන අතර, ඉතිහාසඥයන් විසින් මෙම සුබාරංචි ග්‍රන්ථයට දින වකවානු නියම කර ඇත්තේ ක්‍රිව 200 වසරට පෙර ලෙසය. මෙම කතාන්තරය විස්තර කරන පරිදී, ඔවුන්ගේ දියණිය මරියතුමියගේ උපත වෙනුවෙන් ස්තූතිය පළකිරීම සඳහා, ජෝකීම් සහ ආනා මුනිවරිය විසින් එතුමිය දෙවියන්වහන්සේ වෙත කැප කිරීම සඳහා තීරණය කල අතර, එතුමියගේ වයස අවුරුදු තුනක්ව තිබියදී, ජෙරුසලෙමෙහි දේව මාළිගය වෙත එතුමිය රැගෙන පැමිණියහ. දේව මාළිගයෙහිදී මරියතුමිය කැපකිරීම, ආනා මුනිවරිය ලෙසින්ම වඳ ස්ත්‍රියක ලෙසින් සිතා සිටි අනාගතවක්තෘ සාමුවෙල්ගේ මව හෑනා විසින්, ඇයගේ දරුවා ෂයිලෝ නගරයෙහිදී දෙවියන්වහන්සේට කැප කිරීම හා සමගින් සමකොට තැකිය හැකිය. [2]

එතුමියගේ වයස අවුරුදු දොළහ වන තුරු, මරියතුමිය දේව මාළිගයෙහි රැඳී සිටිය අතර, [2] එම අවස්ථාවෙහිදී ජූසේතුමා වෙත එතුමියගේ භාරකාරත්වය පවරන ලදි. කොප්ටික් සම්ප්‍රදායයෙහි දැක්වෙන පරිදී, මරියතුමියට වයස අවුරුදු හයක් වන විට එතුමියගේ පියා ජෝකීම් මිය ගිය අතර සහ මරියතුමියට වයස අවුරුදු අටක් වන විට එතුමියගේ මව මිය ගියාය.[2]

"මෙම කතාන්තරය, කිසිදු ඉතිහාසමය පදනමක් නොමැති ජනප්‍රවාදයක් වන අතර මෙම කතාන්තරයෙහි ආදර්ශය වන්නේ එතුමියගේ කුඩා අවදියෙහි වුවද, මරියතුමිය පූර්ණ වශයෙන් දෙවියන්වහන්සේට කැපවී සිටි බවය. කෙසේවෙතත්, මරියතුමියගේ කැප කිරීම මංගල්‍යය පැන නැගී ඇත්තේ මෙම කතාන්තර විස්තරය පදනම් කර ගෙනය."[3]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ සියල්ල නොවෙතත් සමහරක් නැගෙනහිර සම්ප්‍රදායයෙහි සභාවන් සලකනු ලබන්නේ ජූලියානු දිනදසුන වන අතර, එවිට මෙම දිනය පැවැත්වෙන්නේ දින 13 කට පසුව ග්‍රෙගරියානු දින දසුනෙහි දෙසැම්බර් 4 දිනදීය.
  2. ^ a b c පීටර්ස්, සිස්ටර් ඩැනියෙල්. "ද හෝලි ලෑන්ඩ්: ඉන් ද ෆුට්ස්ටෙප්ස් ඔෆ් මේරි ඔෆ් නාසරෙත්". ඩේටන් විශ්වවිද්‍යාලයය. සම්ප්‍රවේශය 2019-01-15.
  3. ^ මවුරියෙල්ලෝ, මැතිව් ආර්. "ප්‍රසන්ටේෂන් ඔෆ් මේරි: නොවෙම්බර් 21", මරියවේද පුස්තකාලය, ඩේටන් විශ්වවිද්‍යාලයය
"https://si.wikipedia.org/w/index.php?title=මරියතුමිය_කැප_කිරීම&oldid=741393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි