මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි හිමි

විකිපීඩියා වෙතින්

1893 වසරේ සැප්තැම්බර් 10 දා මඩුගල්ලේ උපත ලැබූ මුන්වහන්සේගේ ගිහිනම වූයේ විජේරත්න බණ්ඩාර මඩුගල්ලේය. මඩුගල්ලේ පරම්පරාවෙ රඹුක්වැල්ල දිසානායක මුදියන්සේලා වලව්වේ ‍රණ්බණ්ඩා නිළමේතුමා මුන්වහන්සේගේ පියා වූ අතර, මවගේ නම වූයේ මඩුගල්ලේ දිවාකර වික්‍රමසිංහ ‍රාජපක්ෂ වාසල මුදියන්සේලාගේ මඩුගල්ලේ වලව්වේ ටිකිරි කුමාරිහාමිය. මහනුවර ධර්මරාජ හා ත්‍රිත්ව විද්‍යාලවලින් පැවිදිවීමට පෙර අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ලිපිකරුවකු ලෙස ගිහිකාලේ සේවය කලේය.

1928 වසරේදී මහත් පරිශ්‍රමයකින් පැවිදිබිමට එක්වීමට අවසරලැබූ උන්වහන්සේ තම ගිහිකල මාමා වූ මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදිබිමට පත්විය .

පැවිදිවනවිටත් මූලික බණදහම් ඉගෙනගෙන සිටි උන්වහන්සේ දින 13 කට පසු මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථ නාහිමියන්ගේ හා තෙල්වත්තේ රතනපාල නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබිය.

1941 අප්‍රේල් 16 දා මල්වතු මහාවිහාරයේ කාරක සභාවට පත්වූ උන්වහන්සේ 1964 වසරේදී ජ්‍යෙෂ්ඨ කාරක සභිකයෙක් ලෙස පත්විය .

1969 වසරේදී එවකට මල්වතු පාර්ශ්වයේ මහානාහිමි ධුරය දැරූ අමුණුගම රාජගුරු විපස්සී මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පසු මහානාහිමි ධුරයට පත්වූ උන්වහන්සේ 1973 වසරේ ජනවාරි 5 දා අපවත්විය.