මඛන්ලාල් චතුර්වේදී "පුෂ්ප් කි අභිලාෂා" 1922 / පී.බී. අල්විස් "මලක් කතා කරයි" 1944 / ඩෝල්ටන් “උඩඟු ලියන්" 1966

විකිපීඩියා වෙතින්


පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදීගේ "පුෂ්ප් කි අභිලාෂා" 1922 කවිය සහ පී.බී. අල්විස් පෙරේරාගේ "මලක් කතා කරයි" 1944 අනුවර්තන කවියේ ආභාස ඩෝල්ටන් අල්විස්ගේ "උඩඟු ලියන් ගොතා බඳින" 1969 ගී පද රචනයට දායක වුනු අන්දම ගැන විමසුමක්[සංස්කරණය]

අමරදේව විසින් තනු නිර්මාණය කර සංගීතය මෙහෙයවා, නන්දා මාලිනී විසින් 1969 දී ගායනා කරන "උඩඟු ලියන් ගොතා බඳින" නමින් ඩෝල්ටන් අල්විස් කළ පද රචනාව පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී (1889 - 1968) හින්දි බසින් 1922 පෙබරවාරි 28 වනදා ලියූ "පුශ්ප් කි අභිලාෂා" නම් "මලක අභිලාෂය" යන අරුත ඇති කවි පන්තියේ ආභාසයෙන් (ආලෝකය ලබා) ලියන ලද්දක් ලෙස බොහෝ දෙනෙක් සළකනවා. 2010 වසරේ දී පමණ මලී මලියසේන හෙවත් ආචාර්ය මොරගොඩ මලියසේන මෙම කවිය අර්ථය හැකිතාක් රැකගෙන සාර්ථකව සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. කවියක් එක බසකින් තවත් බසකට පරිවර්තනය කිරීමේ දී මුල් කවියෙන් සම්ප්‍රේක්ෂණය වෙන හැඟුම්, අර්ථය ආදී සමස්තය ඒ ආකාරයෙන්ම පල කරන්න අපහසු බව පැහැදිලි කරුණක්. මලී මලියසේනගේ කවිය මුල් කවියේ අනුවර්තනයක් හෙවත් adaptation එකක් කියලා සමහරු හැඳින්වුවත් එය සාර්ථක පරිවර්තනයක් (translation) ලෙසයි මම දකින්නේ. මඛන්ලාල් 1922 කවිය ලියන යුගයේ ඉන්දියාවේ නිදහස් සටනේ උග්‍ර අවධියක්. මේ නිසා ඔහු වැඩිපුර උලුප්පා දක්වන්නේ "රටේ නිදහස වෙනුවෙන් සටනට යන ජනතාව" ට කැපවෙන්නත්, දෙවියන් හෝ පෙම්වතුන්ට කැප නොවීමටත් මලේ ඇති අභිලාෂය. අපි මුලින්ම මඛන්ලාල්ගේ මුල් කවිය, එහි මලියසේන සිංහල පරිවර්තනය, සහ ඉංග්‍රීසි පරිවර්තනයක් කියවලා ඉමු.


* (ගයා රම්‍ය අල්විස් අනුව ගුවන්විදුලි තැටි විස්තරයේ සටහන්ව ඇත්තේ 1969 තැටිගත වූ ගීයක් ලෙසිනි)


පද්‍ය තුනේ සංසන්දනය ඇතුළත් යූ ටියුබ් වීඩියෝව

පන්ඩිත් මඛන්ලාල් චතුර්වේදී ගේ “පුශ්ප් කි අභිලාෂා" – 1922[සංස්කරණය]

1. चाह नही, मैं सुरबाला के गहनों में गूँथा जाऊँ

2. चाह नहीं प्रेमी-माला में बिंध प्यारी को ललचाऊँ

3. चाह नही सम्राटों के शव पर, हे हरि, डाला जाऊँ

4. चाह नहीं देवों के सिर पर चडूँ भाग्य पर इठलाऊँ


5. मुझे तोङ लेना वनमाली! - उस पथ पर तुम देना फेंक।

6. मातृ-भूमि पर शीश चढाने, - जिस पथ जावें वीर अनेक।।

පන්ඩිත් මඛන්ලාල් චතුර්වේදී ගේ “පුශ්ප් කි අභිලාෂා" සිංහලානුවාදය / පරිවර්ථනය: ආචාර්ය මොරගොඩ මලියසේන - 2010 ආසන්න වසරක[සංස්කරණය]

1. අප්සරාවක සවන අබරණ වන්නට නැත මට ආසා.

2. මල්දමක හිඳ පෙම්වතුන්ගේ අනුරාගය පුබුදන්නට නැත මට ආසා.

3. චක්‍රවර්ති රාජ මෘත දේහ අරා නිදන්නට දෙවියනි, නැත මට ආසා.

4. දේව ප්‍රතිමා ශිර්ෂ මස්තකාරූඪ වීමට මා ලද භාග්‍යයෙන් උදම් වීමට නැත මට ආසා.


5. උයන් පල්ලාණෙනි, මුදා හළ මැන මා. විසි කළ මැන මා, එ මගට.

6. මව් බිම උදෙසා දිවි පිදුමට යන දහසක් විරුවන් යන්නේ යම් මගකද, එ මගට.

English Translation of “The yearning of a flower” / “Pushp Ki Abhilasha” of Pandith Makhanlal Chaturvedi[සංස්කරණය]

1. I don't desire to be entwined in a female deities’ ornaments.

2. I don't desire to be woven into a garland of a lover places on his beloved luring her.

3. I don't desire to be placed on the dead bodies of the emperors.

4. I don't desire to take pride in my fortune to be placed on the heads of the Gods.


5. Oh, Gardner, pluck me! Throw me onto the path.

6. To be trodden on, by the valiant men who march forward to sacrifice themselves for the motherland.


මඛන්ලාල් චතුර්වේදී ගේ කවියේ සාරය උපුටා ගෙන පී බී අල්විස් පෙරේරාත් (1917 - 1966) වර්ෂ 1944 දී අනුවර්තන කවියක් ලියලා තියෙනවා. මම දකින විදියට පී.බී අල්විස්, මඛන්ලාල් චතුර්වේදී ගේ කවියේ හෘදය වෙන පස්වන සහ හයවන පැදි දෙක සහ සමස්ත අර්ථයේ සාරාංශය යොදාගෙන ඒ කවියට මඛන්ලාල් ගේ මුල් කවියේ තිබුනාට වඩා වැඩි සාමාජීය රසයක් (flavour) තවරලා තමයි මේ අනුවර්තනය කරන්නේ. විශේෂයෙන්ම පී බී අල්විස් “කුහක දනපති දන… කෑම මේසය සරසන,” “දනන් රවටන… ලොකු මිනිසුන් ගෙළ… මල් දමෙක පළඳන” සහ “උඩඟු ළඳකගෙ වරලස… සරසන” කියන මුල් කවියේ නොතිබුණු අදහස් ආදේශ කිරීම තුළින් මෙම කවිය ලාකීයකරණයක් කරනවා පමණක් නෙවෙයි සාර්ථකව සමාජීය හෝ ඊනියා සමාජවාදී රසකාරකයක් (flavour) මේ කවියට තවරමින් 'චුළවංශයේ’ නැතිනම් 'පුථු-ජ්ජන' (පුථු- බහුලව පැතිරුණු + ජන- ජනතාව) දෘෂ්ටිකෝණයක් කවියට ලබා දෙනවා. නමුත් මෙම වාසිය පී.බී. ලබා ගන්නේ මඛන්ලාල් ගේ මුල් කවියේ තිබුන යම් යම් ධනාත්මක දේවල් කීපයකුත් කැප කරමින්. මඛන්ලාල් පැදි හයකින් කියන දේ පී.බී පැදි අටකින් කියන්නේ කවියේ දිග වැඩි කරමින්. ඒ වගේම ඔහු පළමු පැදි දෙකෙන් “මල උයන් පල්ලාට හිතවතකු මාර්ගයෙන් (සමහර විට පී.බී. මේ හිතවතා කියා අදහස් කළේ මඛන්ලාල් වීමට පුළුවන්) පණිවුඩයක් දෙන බව” අනවශ්‍ය ලෙස එකතු කිරීමට යාමෙනුත්, ඒ වගේම තුන්වන පැදියේ මඛන්ලාල් කවියේ නොතිබූ ඒ වගේම පී.බී. එකතු කළ අලුත් සන්දර්භයටත් අදාළ නැති "මී මැසි බඹරුන්ට රොන් රස දෙන්නට මාව දෙන්න එපා" කියලා කියන එකෙනුත් කවියේ දිග තවත් වැඩි වෙනවා වගේම අනවශ්‍ය දිශාවකට කවිය යොමු වෙනවා. මඛන්ලාල්ගේ කවියේ තිබූ "පෙම්වතියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට පෙම්වතුන් විසින් පෙම්වතියන්ගේ ගෙළ පළඳන මල් මාලයේ ගෙතෙන්නට මට අවශ්‍ය නැහැ" කියන අදහස දෙන්න පී.බී. "මී මැසි” කවිය එකතු කළා කියලා සමහරෙකුට අනුමාන කරන්න පුළුවන් වුනත් "මී මැසි බඹරුනට, මගේ රොන් රස විඳුමට, ඉඩ නොදෙනු" කියන වචන වලින් එහෙම අදහසක් එන්නේ නැහැ වගේම සොබාදමේ ප්‍රපංචයක් සමාජ සහ ආගමික ප්‍රපංච එක්ක පටලවා ගැනීමෙන් කවියට හානියක් කෙරෙනවා කියන එකයි මගේ හැඟීම. මඛන්ලාල් තමන්ගේ කවියේ මුල් පැදි හතරෙන් 1. දිව්‍යාංගනාවන් හෝ සුරවමියන් (සුරබාලා) සැරසිලිවල, 2. ප්‍රේමවන්තයින්ගේ මල්මාලාවල, 3. මියගිය අධිරාජ්‍යයන්ගේ මෘත කලේබර මත, සහ 4. දෙවියන්ගේ ශීර්ෂය මත "මට ඉන්න අවශ්‍ය නැහැ" කියන තේමා හතර අවධාරණය කරනවා. මීට වෙනස්ව යමින් පී.බී. 1. මී මැස්සන් සහ බඹරුනට රොන් රස විඳුමට, 2. කුහක ධනපතියන්ගේ කෑම මේස සැරසීමට, 3. දෙවියන් පිදුමට, 4. ප්‍රසිද්ධියේ සභා මැද ජනතාව රවටන ලොකු මිනිසුන් (ජන නායකයින් සහ දේශපාලකයින්?) ගෙළ ලන මල්මාලා වලට, සහ 5. උඩඟු ළඳක වරලස සැරසීමට, "මට අවශ්‍ය නැහැ" කියන තේමා ආවරණය කරනවා. මේ අනුව පැහැදිලිව පෙනෙන දෙයක් තමයි පී.බී. විසින් මඛන්ලාල්ගේ මුල් කවියේ තේමා තුනක් හළලා අලුත් තේමා හතරක් එකතු කරන බව. කවියේ මුල් කොටස, ඒ කියන්නේ “මේ මේ ඒවා මගේ අභිලාෂයන් නෙවෙයි” කියලා මල කියන කොටස විතරක් අරන් බැලුවොත් පී.බී. ගේ සහ මඛන්ලාල්ගේ එකම පොදු තේමාව වෙන්නේ දෙවියන් හෝ දේවරූප විතරයි. පී.බී. ගේ කවිය ඔහු විසින් ඊට අලුතින් එක් කරන ලද ඊනියා සමාජවාදී දෘෂ්ටියේ වාසිය අත්කරගන්නා ගමන්ම, කවියේ දිග ආදිය නිසා මඛන්ලාල්ගේ කවියේ පේළි හයකින් දී තිබූ සංක්ෂිප්ත භාවය සහ ආවේගීය ශක්තිය, නැති කර ගන්නවා. මා දකින විදියට පී.බී ගේ මුල් කවි තුන අනවශ්‍ය (redundant), එහෙමත් නැත්නම්  කවියේ අදහසට හානියක් නොවන පරිදි කපා දැමිය හැකි පැදි තුනක්. දැන් අපි පී.බී. ගේ කවිය කියවලා බලමු.

“මලක් කතා කරයි” - පී. බී. අල්විස් පෙරේරා - 1944[සංස්කරණය]

1. උයන් පලු හිතවත!

විදහන සෙයින් ඔබ තැත

මම රෝස තුර මත

සුවඳ පතුරමි වෙමින් විකසිත


2. හිතවතකු ඇසුරෙන්

සරණ යැදුමක අයුරින්

මම දැන් ඔබ කෙරෙන්

යදිමි තිළිණයක් සෙනෙහෙ පඬුරෙන්


3. මී මැසි බඹරුනට

මගේ රොන් රස විඳුමට

ඉඩ නොදෙනු ඔබ හට

කියමි මෙය බිඳ පිනි කඳුළු කැට


4. කුහක දනපති දන

කෑම මේසය සරසන

ලෙසින් මිල ඇරගෙන

නොදිය යුතු මා තුරින් නෙලමින


5. අවි මුගුරු සුරතට

ගෙන වැද සිටින දෙවොලට

දෙවියා ඉදිරිපිට

නොදෙනු මැන මා රැගෙන තැබුමට


6. විත් මහ සබා මැද

දනන් රවටන ඇම සඳ

ලොකු මිනිසුන් ගෙළ ද

නො පළඳනු මා මල් දමෙක බැඳ


7. යුතු මුවග මද හස

උඩඟු ළඳකගෙ වරලස

බැඳ සරසන පිණිස

නොදෙනු හිතවත! මල පඬුරු ලෙස


8. දෑ නිදහස රිසින

තැත දරන නො පසිඳු වෙන

කෙනෙකු පිය පහරින

තැලෙන්නට මා මගට ලනු මැන


උපුටා ගත්තේ:  අමර හේවාමද්දුම සහ සරත් විජේසූරිය සංස්කරණය කළ  "පී බී අල්විස් පෙරේරා කවි එකතුව" 1993, 76 පිට


නමුත් පී.බී අල්විස් නම් මහා කවියා විසින් ඇතිකරපු මේ අඩුව පුරවලා, මහා කවි මඛන්ලාල්ට වගේම පී.බී. ටත් සාධාරණයක් කරන්න තවත් මහා කවියෙක් වන ඩෝල්ටන් අල්විස් මෙම අදහසම ගී පද රචනයක් ලෙස ලියනවා. ඩෝල්ටන්ගේ "උඩඟු ලියන්" ගී පද රචනාවේත් පී.බී කළා වගේම මඛන්ලාල් ගේ මුල් කවියේ හදවත වෙන අන්තිම පැදි දෙක සුරක්ෂිතව සහ පී.බී.ටත් වඩා ප්‍රභලව සහ ආවේගජනක සවරූපයකින් ආරක්ෂා කර ගන්නවා. නමුත් ඩෝල්ටන් තම නිර්මාණයේ පළමු කොටස සඳහා යොදාගන්නේ මඛන්ලාල්ගේ මුල් කවියේ නොතිබිච්ච පී.බී. අලුතෙන් හඳුන්වා දුන් තේමා දෙකක්. ඒ තමයි 1. උඩඟු ලියන් ගේ වරලස, සහ 2. හිස් මිනිසුන්ගේ කෑම මේස, කියන දෙක. ඩෝල්ටන් විසින් පී.බී. කවි දෙකකින් (4+6) ආවරණය කරපු "කුහක ධනපතියන්" සහ "ජනයා රවටන ලොකු මිනිසුන්" කියන දෙකොටසම "හිස් මිනිසුන්" ලෙස ලේබල් කරලා එක ගොඩකට දැමීමෙන් පී.බී. අල්විස්ගේ කවියේ නැති, මඛන්ලාල්ගේ කවියේ තිබුණු සකසුරුවම් බව (parsimony) සහ සංක්ෂිප්ත භාවය (economy) -වෙනත් වචන වලින් කිව්වොත් අවම වචන සංඛ්‍යාවක් යොදා ගනිමින් අදහස අඩුවක් නැතිව ප්‍රබලව පැවසීම- නැවත ලබා දෙනවා. මෙසේ කිරීම තුළින් ඩෝල්ටන් නැවතත් මුල් කවියේ තිබූ හැඟුම් ජනනය කිරීමේ ශක්තියට (potency) අලුත් පණක් ලබා දෙනවා. ඩෝල්ටන් (1926-1987) විසින් පී.බී ගේ කවියෙන් වැඩි වශයෙනුත්, පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී ගේ කවියෙන් අඩු වශයෙනුත් ආභාසය ලබා ගෙන මේ කවිය ලියපු බවක් තමයි මම දකින්නේ. දැන් අපි ඩෝල්ටන්ගේ ගී පද රචනාවට අවධානය යොමු කරමු.

“උඩඟු ලියන් ගොතා බඳින” - ඩෝල්ටන් අල්විස් - 1969 ආසන්න වසරක[සංස්කරණය]

1. උඩඟු ලියන් ගොතා බඳින

නීල වරල සරසන්නට

මා පිපුනේ නැත

මේ දෙරණේ


2. හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන

බොජුන් මේස මත සුවඳ හලන්නට

මා පිපුනේ නැත

මේ දෙරණේ


3. රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්

රණවිරුවකුගේ අවසන් ගමනට

යන මහජනතා පා දූවිල්ලෙන්

තැළී වෙළී සැනහී මියයන්නෙම්


4. මගේ පරම පැතුම එයයි

එමගට මා විසිකරන්න


පද රචනය - ඩෝල්ටන් අල්විස්


ඩෝල්ටන්ගේ කවියේ සහ පී.බී. ගේ කවියේ ඇති සමානතා විමසීමට, ඒ දෙකේ අදාළ කවි එකතැනකට අරගෙන බලමු.


ඩෝල්ටන්ගේ 1 වන කවිය:

"උඩඟු ලියන් ගොතා බඳින

නීල වරල සරසන්නට

මා පිපුනේ නැත

මේ දෙරණේ"


පී.බී. ගේ වන 7 වන කවිය

මෙහි පළමු පේළියේ එන "යුතු මුවග මද හස" කියන එක උඩඟු ලියන් සමග එතරම් හොඳින් ගැළපෙන්නේ නැත්තේ උඩඟු ලියන් එක්කෝ සිනහසෙන්නේ නැහැ, එහෙමත් නැතිනම් ආඩම්බර හෝ සදය සිනාවකින් සිනාවෙනවාය කියන අපේ සිත් තුළ ඇති සංජානනයට නොගැළපෙන නිසා. "මදහස" කිව්වහම අපිට ඇතිවෙන්නේ සුන්දර ලියක් පිළිබඳ හැඟීමක්. මේ නිසා කවියේ මුල් පදය හැර ඉතිරිය සංසන්දනය කර බලමු.


"උඩඟු ළඳකගෙ වරලස

බැඳ සරසන පිණිස

නොදෙනු හිතවත! මල පඩුරු ලෙස"


ඩෝල්ටන්ගේ 2 වන කවිය:

"හිස් මිනිසුන් කුස් පුරවන සිත් පුරවන බස් දොඩවන

බොජුන් මේස මත සුවඳ හලන්නට

මා පිපුනේ නැත

මේ දෙරණේ"


පී.බී. ගේ වන 4 වන කවිය

"කුහක දනපති දන

කෑම මේසය සරසන

ලෙසින් මල ඇරගෙන

නොදිය යුතු මා තුරින් නෙලමින"


පී.බී. ධනපති කියන වචනය පාවිච්චි කිරීම තුළින් මාක්ස්වාදී අදහස් නොදරන්නන්ගෙන් කවිය තරමක් ඈත් කරතත්, ඩෝල්ටන් හිස් මිනිසුන් කියලා යෙදුවහම සමාජවාදී නොවන තමන් "හිස්" නැතැයි සිතාගෙන ඉන්න කාට කාටත් ගීතය රස විඳින්න පුළුවන් වෙනවා. ඩෝල්ටන්ගේ කවියට ආපු මෙම තේමා දෙකම මඛන්ලාල්ගේ මුල් කවියේ නැති නිසා අපිට සාධාරණ නිගමනයකට එන්න පුළුවන් ඩෝල්ටන් කවියේ මුල් කොටසේ ආභාසය ලබලා තියෙන්නේ පී.බී. ගේ කවියේ අලුතින් එකතු කරපු සංකල්ප දෙකෙන් මිස මඛන්ලාල් ගේ මුල් කවියේ තිබූ සංකල්පවලින් නොවන බව.


මී ළඟට අපි, මඛන්ලාල්ගේ මුල් කවියේ, පී.බී. ගේ කවියේ, සහ ඩෝල්ටන්ගේ කවියේ හදවත වෙන දෙවැනි කොටස වෙන පැදි දෙක, පසුව කළ කවි දෙක සහ මුල් කවියේ මලියසේනගේ පරිවර්තනය අරන් විමසලා බලමු.


ඩෝල්ටන්ගේ 3 සහ 4 පැදි

"රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්

රණවිරුවකුගේ අවසන් ගමනට

යන මහ ජනතා පා දූවිල්ලෙන්,

තැළී වෙළී සැනහී මියයන්නෙම්"


"මගේ පරම පැතුම එයයි

එමගට මා විසිකරන්න"


පී.බී. ගේ 8 වන කවිය

"දෑ නිදහස රිසින

තැත දරන නො පසිඳු වෙන

කෙනෙකු පිය පහරින

තැලෙන්නට මා මගට ලනු මැන"


මඛන්ලාල්ගේ කවියේ මලියසේන පරිවර්තනයේ 5 වන සහ 6 වන කවි.


"උයන් පල්ලාණෙනි, මුදා හළ මැන මා. විසි කළ මැන මා, එ මගට."

"මව් බිම උදෙසා දිවි පිදුමට යන දහසක් විරුවන් යන්නේ යම් මගකද, එ මගට."


මඛන්ලාල් කියන්නේ "මව්බිම වෙනුවෙන් දිවි පිදුමට යන" වීරයන් යන මගට විසිකරන්න කියලා. පී.බී. කියන්නේ "ජාතියේ නිදහස වෙනුවෙන් යන අප්‍රසිද්ධ කෙනෙකු" යන මගට විසිකරන්න කියලා. ඩෝල්ටන් කියන්නේ "රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවකුගේ අවසන් ගමනට යන මහ ජනතාව" යන පාරට මාව විසිකරන්න කියලා. කවියේ හදවත වෙන මේ කොටසේ මම කැමතිම වර්ශ්න් එක තමයි මඛන්ලාල් ලියපු විදිය. නමුත් ඩෝල්ටන් ලියපු විදිය ප්‍රබල හැඟුම් ජනනය කරන එකක් බවත් පේනවා.


ඒ වගේම අපිට නිගමනය කරන්න පුළුවන්, පී.බී. වගේම ඩෝල්ටන් ගේත්, කවිවල අදහසේ හරය, ඒ කිව්වේ "අහවල් අහවල් හිස් දේවල්වලට සම්බන්ධ වෙන්න මගේ අභිලාශයක් නැහැ", "මගේ අභිලාෂය මව්බිම වෙනුවෙන් සටනට යන ජනතාවගේ පයට පෑගිලා මිය යන එක" මඛන්ලාල්ගෙන් ඍජුව උපුටා ගෙන (adaptation) තියෙන බව.

කවියක සංක්ෂිප්ත බව සහ ප්‍රභල හැඟුම්ජනක බව සෑම විටම එකිනෙක හා සම්බන්ධ නොවෙතත් මේ කවි තුන විමසීමේ දී මඛන්ලාල්ගේ කවියේ වචන සංඛ්‍යාව 56 ක් වීමත්, ඩෝල්ටන්ගේ කවියේ වචන සංඛ්‍යාව 54 ක් වීමත්, ඊට සාපේක්ෂව පී.බී.ගේ කවියේ වචන සංඛ්‍යාව 122ක් වීමත් කැපී පෙනෙන ලක්ෂණයක්. ඒ වගේම මලී මලියසේන පරිවර්තනයේ වචන සංඛ්‍යාව 63කට සීමා වීමත්, මා කළ පරිවර්තන අනුවර්තනයේ වචන සංඛ්‍යාව 92ක් වීමත් මත මුල් එක වඩා රසවත් වීමත් මීට සමාන්තරව යන බව පේනවා.


ඩෝල්ටන්ගේ සහ පී.බී. ගේ කාව්‍ය නිර්මාණ දෙකේ සහ මඛන්ලාල් ගේ මුල් නිර්මාණයේ තවත් ප්‍රභල වෙනසක් මම දකිනවා. මඛන්ලාල් කරන්නේ තමන්ගේ රටේ ප්‍රධාන ආගම වෙන, ඒ වගේම තමන්ගේත් ආගම වෙන හින්දු ආගමේ දෙවවිශ්වාසවලට වක්‍රාකාරව පහර ගැසීමක්. ඇත්තෙන්ම බැලුවොත් දෙවවිශ්වාසවලටම නොව දෙවියන් හෝ දිව්‍යාංගනාවන් මල් පැළඳීම කියන විශ්වාසයටත්, ඔවුන්ට මල් පිදීම කියන චාරිත්‍රයට පමණක් පහරක් ගසමින්, ඊට වඩා උතුම් වෙන්නේ රට වෙනුවෙන් රටේ නිදහස වෙනුවෙන් සටනට යන මහජනතාවට පූජා වීම හෝ මල් පූජා කිරීම කියන දේ මඛන්ලාල් ගම්‍ය කරන්නේ. වෙනත් අයුරකින් කිව්වොත් ඔහු මල් පුදන්නේ ජනතා වීරයන්ට මිස දෙවියන්ට නෙවෙයි. පී.බී. අල්විස් තමන්ගේ කවියේ "අවි මුගුරු සුරතට ගෙන දේවාලවලට වැද සිටිනා දෙවියන්” කියලා හින්දු විශ්වාස මත ලංකාවට ආපු දේව ඇදහිල්ලට යම් පමණකින් පහරක් ගසතත්, ලංකාවේ ප්‍රධාන ආගම සහ පී.බී, ඩෝල්ටන් කියන කවීන් දෙදෙනාගේම ආගම වෙන බුදුදහමේ චාරිත්‍රයක් හෝ අනිමිස පූජාවක් වශයෙන් කෙරෙන බුදුන්ට, වෙහෙරට, බෝධියට මල් පූජා කිරීමේ චාරිත්‍රයට දෙන්නගෙන් කවුරුත් අත තියන්න තරම් නිර්භීත වෙන්නේ නම් නැහැ. මේ අසිරිය දැකපු මටත් මේ කවියේ අනුවර්තනයක් කරන්න හිතුනත් මල් පූජා කිරීමේ චාරිත්‍රයට අත තියන්න තරම් මාත් නිර්භීත වුනේ නැහැ. ඒ වගේම මට හිතුනේ "ප්‍රතිමා ළඟ පූජා වෙන, මලසුන මත පරවී යන, බුදුන් පුදට පිදු කුසුමිය, ..." වගේ මොන මොනවා හරි ලිව්වත් ඒකෙන් අදහසේ රසයට බාධාවක් වෙන බවක්. ඔන්න එහෙනම් ඒ ලියපු එකත් බලන්න.


“මලක පැතුම”


1. සුරවමියක සැරසිල්ලක

මල්ලියකම් වී ඉන්නට

වියමන් වී සැනසෙන්නට

තුන් හිතකින් නොසිතමි මම


2. පෙම්බරියන් සිත් ගැනුමට

මධුකරයින් ගෙළ පළඳන

මල්දමකට ගෙතී ඉන්න

සසර වසන තුරු බැහැ මට


3. සක්විත්තන් මෘත දේහයෙ

සුවඳ දෙමින් සැතපෙන්නට

අහෝ දෙවියනී නොහැකිය

නිසැකයෙන්ම මට නොහැකිය


4. ඉහළ තලාවල වැජඹෙන

සුර මුරුවන් හිස් ගෙඩි මත

වැජඹෙන්නට ලද ඉරණම

භගවත් යැයි නොසිතමි මම


5. අහෝ උයන්පල්ලාණෙනි

මාව නෙළාගෙන රැගෙන යන්න

නොනැවත පාගමනින් යන

මහෝඝයට විසි කරන්න


6. සිංහ හදවතක් දරමින

මව්බිම වෙනුවෙන් හිස දෙන

සටන් බිමට පියමංවන

මහජනතා ප්‍රවාහයේ

දෙපා වැළඳ සිප ගන්නට

සිප සැනසී මියයන්නට

අහෝ උයන්පල්ලාණෙනි

එමගට මා විසිකරන්න!


පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී ගේ "පුශ්ප් කි අභිලාෂා" පැදියේ සිංහල අනුවර්තනයක් - චිරාන් වින්ඩ්සර් 2019

මූලාශ්‍ර[සංස්කරණය]

1. පෙරේරා, පී බී අල්විස් (1944) “මලක් කතා කරයි” in හේවාමද්දුම, අමර සහ විජේසූරිය, සරත් (1993 සංස්) "පී බී අල්විස් පෙරේරා කවි එකතුව", 76 පිට

2. කතන්දරකාරයා, (2013) "නන්දා මාලනී ගේ අහවල් සින්දුවේ මූලාශ්‍රය කොතැනද? - Pushp ki abhilasha" 12 January 2013, http://kathandara.blogspot.com/2013/01/pushp-ki-abhilash.html

3. අබේධීර, තේජන (2015) "ගීයක අරුත විඳිමු - උඩඟු ලියන් ගොතා බඳින" බ්ලොග් පෝස්ටුව, 2015-11-01 http://geeyaka-arutha.blogspot.com/2015/11/blog-post.html

හින්දි වදන් පරිවර්තනයේ දී යොදාගත් ශබ්දකෝෂ මූලාශ්‍ර[සංස්කරණය]

1. Bahri, Hardev. Learners' Hindi-English dictionary = Siksarthi Hindi-Angrejhi sabdakosa. Delhi: Rajapala, 1989. සංරක්ෂණය කළ පිටපත 2019-08-15 at the Wayback Machine

2. Dasa, Syamasundara. Hindi sabdasagara. Navina samskarana. Kasi: Nagari Pracarini Sabha, 1965-1975 සංරක්ෂණය කළ පිටපත 2018-09-08 at the Wayback Machine.

4. Mahendra Caturvedi. A practical Hindi-English dictionary. Delhi: National Publishing House, 1970. සංරක්ෂණය කළ පිටපත 2019-08-15 at the Wayback Machine