බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රය

විකිපීඩියා වෙතින්
බෞද්ධ ආර්ථික දර්ශනය ලොවට දේශනා කිරීම

බෞද්ධ ආර්ථික දර්ශනයෙහි ධනයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ධනයේ උදව්වෙන් පුද්ගල ජීවිතය සැපවත් කරගතයුතු බව, බුදුසමය පිළිගනියි. යහපත් ආර්ථිකයක් ඇත්තාට දෙමව්පිය, අඹුදරු,නෑදෑහිතමිතුරන්ට, අසල්වාසීන්ට තම සිතැඟිලෙස සංග්‍රහකළ හැකිබව දක්වයි.යහපත්

ආර්ථිකයක් නොමැති තැනැත්තාට නිරන්තරවම  ශෝකයෙන් , කාන්සියෙන් කාලය ගෙවීමට සිදුවේ. යහපත් ආර්ථිකයක් ඇත්තාගේ ඡීවිතය සුරක්‍ෂිත වෙයි. යම්කිසි  කරදරයක්, විපතක් ආවිට ඔහුට තමාට ධනය ඇතැයි සතුටු වියහැක. එ‍හෙත් යහපත් ආර්ථිකයක් නැති තැනැත්තාට  ලෙඩක්, දුකක්, උපද්‍රවයක් පැමිණි කල්හි ඵයින් මිරිකී ගැලවීමේ ක්‍රමයක් නොමැතිව දුක්විඳීමට සිදුවේ.බුදුදහම සෑමවිටම යහපත් ආර්ථිකයක් සකසා ගතයුතු බව දක්වයි.

බුදුදහම ආර්ථික සුරක්‍ෂිතතාවෙහි අගය දන්නා දහමකි. එයහුදු පරලොවම සලකා දේශනා කරන ලද දහමක් නොවේ. ‍මෙලොව පරලොව උභයාර්ථයම අරමුණු කරගෙන දේශනා කරන ලද දහමකි.

බුදුදහමේ පරලොව යහපත සඳහා මෙලොව යහපත පූඡා කළ යුතු බවක් කිසිවිටෙක නොඋගන්වයි. ආර්ථික සුරක්‍ෂිත තාවයකට හිමිකම් නොකියන තැනැත්තා නිතරම අසහනකාරීව ඡීවත් වෙයි. ඔහුට "කුසල් දහම්" කිරීමටවත් අවශ‍්‍ය "මානසික සන්සුන් බවක්" නැත. එසේම සමාඡ වගකීම් ඉටුකිරීමටවත් සරිලන ආර්ථික ශක්තියක් නැත. එනිසා ඔහුගේ දිවිය අතිශයින් කටුක වෙයි. මේ හේතු සාධක නිසා "දුප්පත්කම" ගිහි ඡනයාට දුකට කාරණයක් බව බුදු දහම පෙන්වාදෙයි. එය,

"දාළිද්දියං භික්‍ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහීනා කාම භෝගිනෝ"

යනුවෙන් දක්වා ඇත.

මෙයින් අදහස් වන්නේ, ධනය මිනිසාගේ ඡීවිතයේ වැදගත් බව අවධාරණය කළ යුතුව ඇත. ධනය නිෂ්ටාවක් (Goal) නොව, යම් නිෂ්ටාවක් සාධනය කර ගැනීමට ඇති මාධ්‍යයක් (Means) පමණි. හුදු ධනය පමණක් ගොඩගසා ගැනීමෙන් ප්‍රීතිය ළඟා කරගැනීමට නොහැකිය. ධනය ඇති තැනැත්තා තමා කාබී ප්‍රීති වෙයි. එය "අත්තානං සුඛේති පීණේති" යනුවෙන් හැඳින්වේ. එසේම තම දෙමාපියන්, අඹුදරුවන්, ඥාතිමිත්‍රාදීන්, සේවක සේවිකාවන්ද පිනවයි. එසේම ආගමික උතුමන්ටද සංග්‍රහ කරයි. බුදු දහමට අනුව තමා ලද ධනයෙන් තමනුත් සැපවත් වී, අන් අයත් සැපවත් කිරීමට අනුදැන වදාළයි. ධනය යනු මිනිසාගේ උපකරණයකි, සේවකයෙකි. මිනිසා එහි ස්වාමියාය. ධනයට ගැතිව, දාසව, සමාඡයට අනර්ථකාරීව ඡීවත්වීම බුදුදහම අනුමත නොකරයි. එය,

"භෝගේ අගථි‍තෝ අමුච්ඡිතෝ අනඡ්ඣාපන්නෝ ආදිනව දස්සාවි"

යනුවෙනි.

බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය ඉතා හොඳ දෙයකි. ධනය කොතරම් හොඳ වුවත් නරක පුද්ගලයා අතට ඒ ධනය පත්වූ කළ ඒ ධනයම භයානක දෙයක් බවට පත් වෙයි. මිනිසාට හානිකර දෙයක් බවට පත්වෙයි. මේ හේතු නිසා ධනය, ධාර්මිකව, අධාර්මික නොවී නිශ්පාදනය කළ යුතු බව දක්වයි. බුද්ධිමත් ලෙස ධනය පරිහරණය කිරීම, ප්‍රශංසා ලැබිය යුතු කටයුත්තක් බවත්, තණ්හාව පෙරටු කොට ගෙන කරන ධන පරිහරණය, බෞද්ධ ආර්ථික දර්ශනය හෙළා දකින අතර එය පිළිකුල් කරයි. ධනය ධාර්මිකව උපයා පරිභෝග කළ යුතු බව දක්වයි.

ගෘහස්ථ සෑම අයෙකුම යොවුන් වියේදී ධනය නිපදවිය යුතුයි. ශක්තිය ඇති අවධියෙහි ධනය නිපද වූයේ නැතිනම්, මහලු වියට පත්කල දුඛිත ඡීවිතයක් ගෙවිමට සිදුවේ. ධනය හරිහම්බ කල, ධාර්මිකව යුතුකම් ඉටුකළ හා ඉටු කරමින් ධනය පරිභෝඡනය කරන්නාට, මරණයට පත්වන අවස්ථාවේ (නිරපේක්‍ෂව) තණ්හා රහිතව කලුරිය කළ හැකියි, බෞද්ධ ආර්ථික දර්ශනයේ එන එය, වැදගත් කාරණයකි.

බුදුදහම ධනය ඉපැයීමට විරුද්ධ නැත. එහෙත් එය ධාර්මිකව පරිහරණය කළ යුතු බව දක්වයි. බෞද්ධ ආර්ථික දර්ශනයේ දී, ලෞකික සැප ගැන බුදුන් දේශනා කර ඇත්තේ, "තමාට ධනය ඇති බව සිතීම" සැපතක් බවයි. බුදුන් වහන්සේ ඒ ධනය රැස් කරගතයුතු ආකාරය මෙසේ දක්වයි.

"උට්ඨාන විරියාධි ගතා -බහා බල පරිචිතා- සේදා වක්ඛිත්තා-ධම්මිකා ධම්ම ලද්ධා භෝගා"' යනුවෙනි. එනම්, උත්සාහයෙන්, විර්යයෙන්, බාහු බලය යොදවමින්, දහඩිය හෙළීමෙන්, ධාර්මික රැකියාවල නිරත වෙමින්, ධනය රැස්කළ යුතුය.

එසේම, ගිහියන් ලෙස ඡීවත් වීමට යෝග්‍ය වන්නේ මල නොතලා රොන් රැස්කරන බඹරෙකු සේ, ධනය රැස්කරන අය බව සිඟාලෝවාද සූත්‍රය සඳහන් කරයි."භෝගේ සංහර මානස්ස - භමරස්සේව ඉරියතෝභෝගා සන්නිච යං යන්තී - වම්මිකෝ වූප චීයතීඒවං භෝගේ සමාගන්ත්වා - අලමත්ථෝ කුලේ ගිහී"

යනුවෙනි.

බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය රැස්කිරීම පිණිස, වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී ප්‍රධාන නිර්නායකය විය යුත්තේ, එහි ධාර්මිකව යෙදිය හැකිද යන්නයි. අනුන්ට හෝ තමන්ට හානියක් නොවන ධනෝපායන වෘත්තියක යෙදිය යුතුය. "ව්‍යග්ඝපඡ්ඡ" සූත්‍රයේ, සඳහන්වන පරිදි බුදුන් විසින් අනුමත, රැකියා හා ව්‍යාපාර කීපයකි. එනම්,

1.කෘෂිකර්මය 2.වෙළඳාම 3.පශු පාලනය 4.ධනු ශිල්පය හා ශිල්ප කලා 5.රාඡ්‍ය සේවය

එසේම, නොකළ යුතු වෙළදාම් පහක්ද, බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඒවා නම්,

1.විෂ වර්ග වෙළදාම 2.අවි ආයුධ වෙළඳාම 3.මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5.වහල් වෙළදාම

ඉහත දක්වන ලද, නොකළ යුතු වෙළදාම් පහෙන් ඈත්ව, එනම් "මිත්‍යා ආඡීව" ගණයට වැටෙන පහත් ක්‍රියා වළින් ඈත්ව, ධාර්මික ඡීවන වෘත්තියක නියැලී, ධාර්මිකව ධනය රැස් කරගතයුතු බව, බුදු දහම දක්වයි.

ආශ්‍රිත ග්‍රන්ථ:


බෙලිගල්ලේ ධම්මඡෝති හිමි - " බෞද්ධ ආර්ථික දර්ශනය"

ඉන්ද්‍රාණි පෙරේරා - " කළමණාකරන සංකල්ප බෞද්ධ ප්‍රවේශයක්"

ඒ. එම් මනුරත්න - " බෞද්ධ ආර්ථික දර්ශනය"

උඩගල දෙණියේ සෝමරංසි හිමි -" බෞද්ධ ආර්ථික චින්තනය"

චන්දිම විඡය බණ්ඩාර, එච්. එම් මොරටුවේගම -" බෞද්ධ ශිෂ්ටාචාරය මූලධර්ම හා වංශකතාව"

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

බුද්ධානෙට් වෙබ් අඩවිය

බුද්ධා වෙබ් අඩවිය