පියාඹන ස්පැගටි රාක්ෂයා

විකිපීඩියා වෙතින්

පියාඹන ස්පැගටි රාක්ෂයා (ඉංග්‍රීසි: Flying Spaghetti Monster) යනු පැස්ටාෆාරියන්වාදය හා සම්බන්ධ දෙවියන් වෙයි. පැස්ටාෆාරියන්වාදය යනු ආගම පිළිබඳ සැහැල්ලුවෙන් සිතීම ප්‍රවර්ධනය කරවන සමාජ ව්‍යාපාරයකි.[1] රජයේ පාසල් වල බුද්ධිමත් නිර්මාණවාදය (මැවුම්වාදය) ඉගැන්වීමට එරෙහි වීම පිණිස මෙම ව්‍යාපාරය නිර්මාණය විය. එහි අනුගාමිකයින්ට අනුව පැස්ටාෆාරියන්වාදය යනු "අනෙක් ඕනෑම ආගමක් මෙන්ම, සැබෑ, නීත්‍යානුකූල ආගමක්" වේ.[2] සැබෑ ආගමක් ලෙසට එයට සීමිත පිළිගැනීමක් ද ලැබී ඇත.[3][4][5][6]

2005 වර්ෂයේදී එක්සත් ජනපදයේ කන්සාස් ප්‍රාන්තයේ රාජ්‍ය අධ්‍යාපන මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව, රජයේ පාසල් වල පරිණාමවාදය වෙනුවට බුද්ධිමත් නිර්මාණවාදය ඉගැන්වීමට අවසර ලබා දෙන ලදී. 2005 දී බොබී හෙන්ඩර්සන් නම් තැනැත්තෙකු මෙම තීරණයට එරෙහිව රාජ්‍ය අධ්‍යාපන මණ්ඩලයට යැවූ උපහාසාත්මක ලිපියක් පැස්ටාෆාරියන්වාදයෙහි ආරම්භය ලෙස සැළකේ.[7] එම ලිපිය මගින් හෙන්ඩර්සන් ඉල්ලා සිටියේ පාසල් වල මැවුම්වාදය උගන්වන්නේ නම් "පියාඹන ස්පැගටි රාක්ෂවාදය" ද ඉගැන්විය යුතු බවය.[8] හෙන්ඩර්සන් මෙම ලිපිය සිය වෙබ් අඩවියෙහි පළ කිරීමෙන් පසුව "පියාඹන ස්පැගටි රාක්ෂයා" ඉක්මනින්ම අන්තර්ජාල සංසිද්ධියක් බවට පත් වූ අතර, ලෝකය පුරා පාසල් වල බුද්ධිමත් නිර්මාණවාදය ඉගැන්වීමට එරෙහි වීමේ සංකේතයක් ලෙස ද එය යොදා ගැනුනි.[9]

පැස්ටෆාරියන්වාදයෙහි මූලධර්මයන් හෙන්ඩර්සන් ගේ Church of the Flying Spaghetti Monster නම් වෙබ් අඩවියෙහි සහ ඔහු 2006 දී ලියූ The Gospel of the Flying Spaghetti Monster නම් පොතෙහිද, The Loose Canon, the Holy Book of the Church of the Flying Spaghetti Monster නම් පොතෙහිද සඳහන් වේ. විශ්වය නිර්මාණය කරන ලද්දේ බීමත්, අදෘශ්‍යමාන, ඉගිළෙන ස්පැගටි රාක්ෂයෙකු විසින් බව මෙහි අනුගාමිකයන් පවසයි. ඔවුන් මුහුදු මංකොල්ලකරුවන් ලොව මුල්ම පැස්ටෆාරියන්වාදීන් ලෙස සළකයි.

මෙම සංකල්පය රසල්ගේ තේ පෝච්චිය නමින් හඳුන්වන දාර්ශනික තර්කයට සමානකමක් දක්වයි. එයින් පැවසෙන්නේ අසත්‍යෙක්ෂණය කළ නොහැකි ප්‍රකාශයක සාධන භාරය ඇත්තේ එම ප්‍රකාශය කරන තැනැත්තාට මිස, එය ප්‍රතික්ෂේප කරන තැනැත්තාට නොවන බවයි. පැස්ටෆාරියන්වාදීන් නිතරම මැවුම්වාදීන් සමග වාද ඇති කරගන්නා අතර, වරක් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පෝක් ප්‍රදේශයෙහි පාසල් මණ්ඩලය විසින් පරිණාමවාදය ඉගැන්වීම ගැන නව නීති සම්මත කිරීම වැළැක්වීමට ඔවුන්ට හැකියාව ලැබුනි.[10] පැස්ටාෆාරියන්වාදයට විද්‍යාත්මක ප්‍රජාවගෙන් ප්‍රශංසා ලැබී ඇති අතර, බුද්ධිමත් නිර්මාණවාදීන්ගෙන් විවේචන එල්ල වී තිබේ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Pastafarian can wear strainer on head in license photo". USA Today.
  2. Henderson, Bobby. "About". The Church of the Flying Spaghetti Monster. Retrieved August 10, 2012.
  3. Jones, Nicholas (February 26, 2016). "First Pastafarian celebrant can help couples get noodley knotted". New Zealand Herald. Retrieved June 24, 2016.
  4. "NZ approves Pastafarian marriages". BBC News. December 16, 2015.
  5. Wofford, Taylor (April 13, 2016). "Flying Spaghetti Monster Not Divine, Says Court". Newsweek. Retrieved May 3, 2019.
  6. Henley, Jon (August 16, 2018). "Spaghetti injunction: Pastafarianism is not a religion, Dutch court rules". The Guardian. Retrieved August 16, 2018.
  7. "In the beginning there was the Flying Spaghetti Monster". The Daily Telegraph. London. September 11, 2005. Archived from the original on January 11, 2022. Retrieved December 19, 2009.
  8. Henderson, Bobby (2005). "Open Letter To Kansas School Board". Venganza.org. Archived from the original on April 7, 2007.
  9. Boxer, Sarah (August 29, 2005). "But Is There Intelligent Spaghetti Out There?". The New York Times Arts article. Retrieved February 5, 2007.
  10. Billy Townsend (March 27, 2013). "Polk Needled, Noodled In Evolution Flap". The Tampa Tribune. Archived from the original on July 4, 2018. Retrieved September 7, 2016.