පානදුරේ අරියධම්ම හිමි

විකිපීඩියා වෙතින්

"පානදුරේ අරියධම්ම හිමි "

පානදුරේ අරියධම්ම හිමි ශ්‍රී ලංකාවේ බුදු දහමේ පුනරුදය සඳහා ජීවිතය කැප කළ භික්ෂූන් වහන්සේ නමකි.මෙරට ශාසනය අභාවයට ගොස් තිබූ යුගයක සසුන යළි නගා සිටුවා ප්‍රබෝධමත් කිරීමට උන්වහන්සේගේ  සුමධුර ධර්ම දේශනාවන් සහ මනෝහර බෝධි පූජා බොහෝ උපයෝගී විය.


ගිහි දිවිය[සංස්කරණය]

උන්වහන්සේගේ ගිහි නමවූයේ ඩබ්ලිව්. ලාල් බුද්ධදාස ප්‍රනාන්දු යන නමයි.1940 ජුනි 22 වැනිදා උපත ලද එතුමා පිළිවෙලින් නල්ලූරුවේ සිරි සීවලී විද්‍යාලයෙන්ද, පානදුරේ සිරිල් ජෑන්ස්‌ විද්‍යාලයෙන්ද, හොරණ විද්‍යාරත්න පිරිවෙනෙන්ද අධ්‍යාපනය ලැබූ අතර නල්ලූරුවේ සිරි විමල දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලැබීය.අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු එතුමාට අනුරාධපුර මහමෙව්නා සංරක්‍ෂණ මණ්‌ඩලයේ ලිපිකාර තනතුරක්‌ ලැබිණි.

එහි සේවය කරමින් සිටින අතරතුර බුද්ධදාස මහතාට පැවිදිවීම සඳහා සිත් පහළ වූ අතර මිහින්තලේදී දොඩම්පහළ චන්ද්‍රසිරි නමැති ආරණ්‍යගත භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ නමක් හමුවීම එතුමාගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකි.උන් වහන්සේගේ උපදෙස් පරිදි එතුමා පැවිදිවීම සඳහා දෙමාපිය අවසර ඉල්ලා සිටි අතර  ඒ අනුව තම අදහස මෑණියන්ට යෑවූ ලිපියක මෙසේ කවි කොට ඇත.

"බැලු බැලු තැන දුකය සැප නැහැ අදහන්න

ගිහි ජීවිතයේ සැප නැති බව සලකන්න

වැන්දා මෙන්න අම්මේ ඔබ බුදු වෙන්න

දැන්වන් මහණ වෙන්නට අවසර දෙන්න"

පැවිදි වීම[සංස්කරණය]

දෙමාපිය අවසර හිමිවීමෙන් පසු එතුමා 1966 දෙසැම්බර් 22 වන දින කලපළුවාව ගෝතම තපෝ වන අරණ්‍යයේදී කම්මට්‌ඨානාචාර්ය කහටපිටියේ සුමතිපාල නා හිමිගේ උපාධ්‍යායත්වයෙන් හා කම්මට්‌ඨානාචාර්ය කුඩාවැල්ලේ වංගීස නාහිමිගේ ආචාර්යත්වයෙන් "තපෝවනයේ අත්ථකුසල" යන නමින් පැවිදි විය.ස්‌වල්ප කලකට පසු අත්ථකුසල සාමනේරයෝ 1968 මාර්තු 04 වැනි දා කඳුබොඩ විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථාන සීමා මාලකයේදී "පානදුරේ අරියධම්ම" නමින් උපසම්පදා භූමියට ඇතුළත් වූහ. උන්වහන්සේගේ වාසස්‌ථාන වූයේ ගෝතම තපෝවනය, අනුරාධපුර කළුදිය පොකුණ, කැලණිය, ජල්තර ධම්මික ආරාම හා කොළඹ සම්බෝධි විහාරස්‌ථානයයි.

ශාසනික මෙහෙවර[සංස්කරණය]

මේ සමය වන විට මෙරට සංස්කෘතියේ සහ බුද්ධ ශාසනයේ විශාල පරිහානියක් ඇතිව තිබුණු අතර මේ තත්ත්වය සැලකිල්ලට ගත් පානදුරේ අරියධම්ම හිමියෝ අටවිසි බෝධි පූජාවක්‌ කවියට නැගූහ. එය මිහිරි හඬින් ගායනා කළහ. මේ බෝධි පූජා මුලදී පවත්වන ලද්දේ කොළඹ අවට පන්සල්වලය.බෝධි පූජා තැබීම අමනෝඥ ක්‍රියාවකැයි හන්වඩු ගසා තිබූ යුගයක ඉතා සුළු පිරිසකගෙන් ඇරඹුව ද බෝධි පූජාවේ වැදගත්කම පෙන්වා දී එය බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත වන අයුරින් සිදු කරමින් බෝධි පූජාවට නව අරුතක්‌ අරියධම්ම හිමියෝ එක්‌ කිරීමත් සමග ක්‍රමයෙන් අරියධම්ම හිමියෝ රටේ ජනමනස තුළට කාවදින්නට වූහ. ඇතැම් සැදැහැතියෝ උන්වහන්සේගේ බෝධි පූජා කවි කුඩා පොත් වශයෙන් ලක්‍ෂ ගණනින් මුද්‍රණය කර නොමිලයේ බෙදන්නට වූහ. 1978 අග භාගයේදී උන්වහන්සේ විසින් මාතලේදී පැවැත්වූ අටවිසි බෝධි පූජාවකට බැතිමත්හු පනස්‌ හය දහසක්‌ සහභාගි වූහ. ඇතැම් විට කිසියම් විහාරස්‌ථානයකදී උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් එක දිගට මාසයක්‌ පුරා පැවැතිණි. එකල මේ රටේ සිටි වඩාත්ම ජනප්‍රිය බෞද්ධ භික්ෂූන් වහන්සේ පමණක්‌ නොව වඩාත්ම ජනප්‍රිය චරිතය වූයේද පානදුරේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

ශ්‍රී ලංකාවේ බුදු සසුනේ උන්නතිය උදෙසාම කැපවී දවසේ පැය 24 ම වැඩ කළ උන්වහන්සේ ඇතැම් විට දෙපැයක්‌ නිදා ගත්තේ දින තුන හතරකට වරක්‌ බව කියනු ලැබේ.

අපවත් වීම[සංස්කරණය]

එවක කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි සම්බෝධි විහාරයේ විහාරාධිපතින් වහන්සේව වැඩසිටි අති පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියෝ 1986 වසරේ වෙසක්‌ පොහෝ වැඩසටහන් සාර්ථකව නිමා කරමින් විවේකීව වැඩ සිටීම සඳහා නුවර පළාතේ නල්ලඹේ භාවනා මධ්‍යස්‌ථානයට වැඩම කර එහි වැඩ සිටින අතරතුර මැයි 26 දින දරුණු හෘදයාබාධයකට ලක්‌ වී පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ අතර එහිදී වෛද්‍යවරු උන්වහන්සේට දැඩි කැපවීමෙන් ප්‍රතිකාර කළ ද උන්වහන්සේ මැයි 27 දින මධ්‍යම රාත්‍රියේදී සිහිනුවණින්ම අපවත් වී වදාළ සේක.උන්වහන්සේගේ ආදාහන  පූජෝත්සවය 1986 මැයි 31 වැනි දින බොරැල්ල කනත්තේ දී ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවක්‌ හා දහස්‌ ගණනක්‌ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සිදු විය.

උන්වහන්සේ විසින් විරචිත සම්බුද්ධ වන්දනා පද පෙළක්[සංස්කරණය]

අති පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්‌වාමීන් වහන්සේ විසින් රචිත සම්බුද්ධ වන්දනා පදපෙළකි මේ.

"වීර විකුම් මහා තේජ ගුණෙන් දසපාරමිතා බලපෑ....

මාර බලය බිඳ බෝධි මුලේ හිඳ සීහ නාද පැතිරූ....

දේහ විරාජිත සැසී තිලෝගුරු ලෝක සතුන් සැනසූ....

මම නමදිම් පිය පාද පියුම් යුග සාදු කියාබැතිනි...."


"ලෝක සතුන් වෙත බේද සිතින් නොව සෑම දෙනම එකසේ..

දේශනයෙන් සිය මධුර මනෝහර කෝකිල නද පෑතිරු..

පුහුදු සතුන් සිත සේදු කෙලෙස් මල සාර නිවන් රසිනි..

මම නමදිමි මුනි පාද පියුම් යුග සාදු සාදු කියා බෑතිනි..."


"රාජ මැදුර මෙය දුගී ගෙයක යන

බේද කිසිත් නොතකා..

සෑම තැනට වැඩ ලෝක සතුන්

සංසාරභවින් මුදවූ..

ශීල සමාධී ගුණෙන් යුතු සෝබන

කරුණා නදියක්‌ වූ..

මම නමදිමි සිරිපාද පියුම් යුග

සාධු කියා බැතිනි..."


"දේවගනා ගුණ ගීත ගයා

මල් මාල දමින් සෑනසු..

රාජ පුතුන් සෑකි තේජසයෙන්

යුතු පාද මුලේ වෑටිලා...

සෑසි තිලෝගුරු පුජිත

මංගල සාර සිරින් බෑබලි...

මම නමදිමි සිරි පාද පියුම්

යුග සාදු සාදු කියා බෑතීනී..."


"භේද ලෙසින් සිටි දෙව්දත් තෙර

සහ නාලාගිරි රාජා..

රාහුල පුත් සේ සමසේ සලකා කරුණා මෙත පැතිරූ

පූජිත මංගල සෑසි තිලෝගුරු

අමාමෑණියන්ගේ

මම නමදිමි සිරි පාද පියුම්

යුග සාදු සාදු කියා බෑතීනී..."


මූලාශ්‍ර: http://www.divaina.com/2016/05/22/feature01.html සංරක්ෂණය කළ පිටපත 2020-01-18 at the Wayback Machine

https://m.facebook.com/media/set/?set=a.2016306121923163.1073741875.1714565198763925&type=3



"https://si.wikipedia.org/w/index.php?title=පානදුරේ_අරියධම්ම_හිමි&oldid=592572" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි