පරිශීලක:Siyambalanduwa
මානාභරණ රජමහා විහාරය
ශ්‍රී ලංකාව ඉතා රමණීය රටකි. එමෙන්ම ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන්නා වූ රටකි. අතීතයේ මෙරට පාලනය කළ රජවරුන් විසින් කරන ලද විස්කම් වර්තමානයේ වුවද නටබුන් වශයෙන් හෝ දැක ගැනීමට හැකියාව පවතී. ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ අදත් දක්නට ලැබෙන නටබුන් විසින් කියාපාන්නේ අතීත ප්‍රෞඩත්වය නොවේද?.
විහාර ඉතිහාසය
[සංස්කරණය]මෙම විහාරයේ වංශකතාව කෙටියෙන් දැක්වුවහොත් මෙසේය. පළමු වැනි විජයබාහු රජුගේ නැගණිය වූ මිත්තා කුමරිය විවාහ වූයේ පඩිරට කුමරෙකු සමගිනි. ඔවුන් දෙදෙනාට උපන් දරුවන් මානාභරණ, සිරිමේඝ, සහ සිරිවල්ලභ යන අය වූහ. ඔවුන් වැඩිවියට පැමිණ රුහුණු දේශය, දක්ඛිණ දේශය, අට දහස් රට ඔවුන් තිදෙනා පාලනය කළ අතර කාලය ගත වීමත් සමගම සිරි වල්ලභ සමස්ත රුහුණේම පාලනය තම අතට ගන්නා ලදී. ජනප්‍රවාදයේ සදහන් වෙන්නේ සිරි වල්ලභ රුහුණේ පාලනය ගෙන යද්දී ඔහුගේ පුත් දෙවැනි මානාභරණ උදුන්දොර සමීපයේ මනාවෙල නම් ප්‍රදේශයක වාසය කොට තිබුණු බවයි. සිරි වල්ලභගෙන් පසුව පාලන බලය ලබා ගැනීම සදහා මානාභරණ කුමරු මානාවෙල නම්වූ එම ප්‍රදේශය දියුණු කරන ලදී. ඒ අතර විහාරස්ථානයක් ඉදිකරන ලදී. එලෙස මානාභරණ කුමරු විසින් ඉදිකරන ලද එම විහාරය වර්තමානයේ මානාභරණ රජමහා විහාරය නමින් හදුන්වයි.
අතීතයේ මානාවෙල නම් වූ ගම වර්තමානයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානාභරණ ග්‍රාම නිළධාරී කොට්ඨාසයේ හතර වන ගම්මානය ලෙස හදුන්වයි. එය එලෙස හැදින්වීමට හේතුවූයේ මුතුකණ්ඩිය වාරිමාර්ග ව්‍යාපාරය යටතේ සංවර්ධනය කිරීම හේතුවෙනි. මානාභරණ රජමහා විහාරය එම ගම්මානයේ වර්තමානයේ නටබුන් වශයෙන් දැකගත හැකිය. මෙලෙස නටබුන් වශයෙන් මානාභරණ රජමහා විහාරය දැක ගත හැකි වුවත් එහි තිබූ වටිනා නටබුන් මුතුකණ්ඩිය ව්‍යාපරයත් සමග විනාශ වී ඇති බව සිතිය හැකිය.
මෙම විහාරස්ථානය පිළිබඳව මුතුන් මිත්තන් අතර විවිධ මිත්‍යාවන් පවතී. ඇතමෙක් විහාරස්ථානයේ පැරණි ගරා වැටුණු චෛත්‍යෙයෙන් රැස් විහිදෙනු දැක ඇති අතර දේවතා එළි චෛත්‍ය රාජයානන්ගේ කොතෙන් පිට වී විහාර ගේ දෙසට ගමන් කරනු දැක ඇත. තවද පොහොය දිනයන්වලදී බෝධීන් වහන්සේ සමීපයේ දල්වනු ලබන පහනක් තෙල් අඩු නොවී ආලෝකයද අඩු නොවී රැය පහන් වන තුරා දැල්වෙන බව බැතිමතුන් දැක ඇත. එමෙන්ම බෝධී පූජාවන් තිබෙන අවස්ථාවන්වලදී දේවතා එළි බෝධීන් වහන්සේ වෙත පැමිණෙන ආකාරය ඇතමුන් ඇක ඇත. වර්තමානයේ සෑම වර්ෂයකදීම පවත්වනු ලබන්නාවූ මිහිදු පෙරහැරේදී ලබාගන්නාවූ ජායාපයන්ගේ දේවතා එළි බොහෝ ප්රයමාණයක් සටහන් වී ඇති බව දැකගත හැකිය. එමෙන්ම විහාරස්ථානයේ බෙර වාදනය, පිරිත් දේශනාවන්හීදී පවා ජායාරුපවල එවැනි ආලෝක ලප විශාල ප්‍රමාණයක් දැක ගත හැකිය.
පාරිසරික සුන්දරත්වය
[සංස්කරණය]මෙම පුද බිම වෙත පැමිණෙන බොදු ජනයාගේ සිත නිවී සැනසෙන ආකාරයේ මෙන්ම බොදු ආගමික ස්ථානයකට ඉතාමත් උචිත වන්නා වූ රමණීය පරිසරයක් දක්නට ලැබේ. මුතුකණ්ඩිය ජලාශයේ ශාඛාවක් වන මානාභරණ වැව විහාරස්ථානය සමීපයේ පිහිටා තිබේ. නෙළුම් මලින් සහ නිල් පැහැ ජලයෙන් පිරී ඉතිරී තිබෙන වැවෙන් එන සිහිල් සුළං රැළි පුදබිමේ පරිසරය සිසිල් කරයි. අවට තිබෙන කෙත් වතු අතරින් විහාරස්ථානය දෙස බලන අයෙකුට එය ඉතා රමණීය දර්ශනයක් ගෙනදේ. වැවෙන් හමා එන සුළං රැල්ලට ලෙළදෙන බෝපත්වල නාදය සිත තැන්පත් කරවයි. සාමාන්‍ය බිමට වඩා උස්බිමකින් බෝධීන් වහන්සේ, වෙහෙර වහන්සේ, බුදුපිළිම වහන්සේ වැඩ සිටින විහාර ගෙය පිහිටා ඇත. දුටුවන්ගේ මන පිනවන සහ භාවනාව මගින් සිත සන්සුන් කිරීමට උචිත ආගමික සුවය සහනය බොදු බැතියන් වෙත ළගා කර ගැනීමට ඉතා අගනා වූ රමණීය පරිසරයක් විහාරස්ථානයෙහි ඇත.
මෙම විහාරය ගමයි - පන්සලයි- වැවයි - දාගැබයි යන උදාර සංකල්පය පදනම් කරගෙන මානාභරණ කුමරු විසින් ඉදිකළ ඇති ආකාරය වර්තමානයේ වුවද දැක ගත හැකිය. මානාභරණ කුමරු විසින් ඉදිකරන ලද පොකුණ මුතුකණ්ඩිය ව්‍යාපාරය මගින් ඉදිකරන ලද වැවට යටවී විනාශ වී ඇති බව සිතිය හැකිය. එනමුත් මුතුකණ්ඩිය ජලාශයෙහි ශාඛාවක් වන මානාභරණ වැව විහාරය අසළ පිහිටා තිබීමෙන් නරඹන්නෙකුට අතීතයේ තිබූ එම සංකල්පය නැවතත් සිහියට නංවයි.
ඉපැරණි නටඹුන්
[සංස්කරණය]මෙම විහාරය වට කොට ගල් ලෑලි වලින් වැටක් නිර්මාණය කොට තිබී ඇත. එය වර්තමානයේ විනාශ වී ගොස් නටබුන් බවට පත්වී ඇත. සතර දෙසින් විහාර බිමට පැමිණීමට විශාල දොරටු හතරක් ඇත. ඒවායෙහි විශාල ගල් පඩි සහ කොරවක් ගල් දක්නට ලැබෙන අතර ඒවා කැටයම් වලින් තොර රළු පෘෂ්ඨයන් සහිත ඒවාය. දොරටු හතරෙහි තිබෙන ගල් පඩි පෙළද වර්තමානයේ නටබුන් බවට පත්වී ඇත. විහාරයේ තැනින් තැන ශෛලමය කුළුණු දක්නට ලැබේ. විශාල වශයෙන් ශෛලමය නිර්මාණ රැසක් නටබුන් වශයෙන් දක්නට ලැබෙන අතර අතීතයේදී මානාභරණ කුමරුන්ට එලෙස ශෛලමය නිර්මාණ කිරීමට මහත් වෙහෙසක් සහ උත්සාහයක් දරා ඇති බව කිව හැකිවන්නේ එම ශෛලමය කොටස් ඉතා දුර බැහැරින් ගෙන ඇති බව අනුමාන කළ හැක්කේ විහාරය අසළ ගල්තලාවක් වත් දක්නට නොලැබෙන හෙයිනි.
විහාරය මධ්‍යයෙහි මළුව සමීපයෙහි විශාල ශෛලමය ලෑලි වලින් සකස් කරන ලද සාකච්ඡා මණ්ඩපයකි. අඩි තුනක් පමණ අඩි හයක් පමණ දිග අඩියක් පමණ ඝණකමින් යුත් විශාල ශෛලමය ලෑලි මගින් මෙම නිර්මාණය කර ඇත්තේ හතරැස් ආකෘතියකටය. මෙම මානාභරණ කුමරු භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කරන ලද ස්ථානයක් යැයි සැලකේ. විහාරයෙහි මානාභරණ කුමරු විසින් ඉදිකරන ලද චෛත්‍ය ගරා වැටී විනාශ වී නටබුන් බවට පත්වී ඇත. එය කැනීම් කිරීමෙන් පසුව වර්තමානයේ දී ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් පවතී. මෙම චෛත්‍ය කැනීම් කිරීමේදී ඉතා පෞරාණික කෞතුක භාණ්ඩ රැසක් සොය ගන්නා ලදි. ඒ අතරින් චෛත්‍යයේ ගර්භය මධ්‍යයෙහි තිබී මහමෙර ගල සොයා ගන්නා ලදි. එම ගල මුදුනෙහි ලෝකඩ මංජුසාවක් තැන්පත් කර තිබී ඇති අතර එහි සර්වඥධාතූන් තැන්පත් කොට තිබිණි. ක්‍රි.ව. අට වන සියවස පමණ ඈතට දිවෙන සෙන්ටි මීටර දාහතක් පමණ උස තාරා දේවී පිළිමයක් හමු වී ඇති අතර එය කිරි ගරුඩ වලින් නිමවන ලද්දකි. ක්‍රි.ව. දහය - එකොළහ සියවස් වලට අදාළ සෙන්ටිමීටර හතරක් පමණ උස කිරි ගරුඩ වලින් නිර්මාණය කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාවක් මෙහි කැනීම් වලින් සොයා ගන්නා ලදි. මීට අමතරව ඉපැරණි ලෝකඩ පහනක්, කාසි වර්ග, මුතු, මැණික් සහ පබළු විශාල ප්‍රමාණයක් මෙහි කැනීම් වලින් සොයා ගන්නා ලදි.
ලංකාවේ තිබෙන විශාලතම පිත්තල දාගැබ මානාභරණ රජමහා විහාරස්ථානයේ දක්නට ලැබේ. මෙය කිරිබත්ගොඩ පදිංචි, ඉතාලියේ ව්‍යාපාරික අශෝක ජයතිලක මහතා විසින් තම පෞද්ගලික ධනයෙන් සාදවා පූජා කරන ලද්දකි. ඊට අමතරව පිත්තල වලින් නිර්මාණය කරන ලද මිහිදු මහ රහතන් වහන්සේගේ සහ සංඝමිත්තා තෙරණියගේ පිළිරුවක් ඔහු විසින් පූජා කොට ඇත. මීට අමතරව ඔහු විසින් දෙමහල් සංඝාවාසයක් පිරිවෙනෙහි ඉගෙනුම ලබන සාමණේර භික්ෂුන් වහන්සේලා සදහා සාදවා පූජා කොට ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙම විහාරයේ මළුවෙහි රෝපණය කොට ඇත.
විහාරස්ථානයේ විහාර මන්දිරය නිර්මාණය කොට ඇත්තේ 1958 වර්ෂයේදීය. ඉතා අලංකාර ලෙස සහ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන්නා වූ අයුරින් අලංකාර ලෙස විහාර ගෙය ඇතුළෙහි සිතුවම් හා පිළිම නිර්මාණය කොට ඇත. විහාර ගෙය ඇතුළෙහි බුදුන් වහන්සේගේ සැතපෙන පිළිමයක් ඇත. මෙය අඩි 15ක් පමණ දිගින් යතු වේ. මෙම පිළිමය දෙපසින් සැරියුත් හා මුගලන් අගසවු දෙනමගේ පිළිමයන් නිර්මාණය කොට ඇත. ඊට අමතරව සාමණේරයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් දෙපස බිත්තිවල සිතුවම් කොට ඇත. විහාර ගෙය වහලෙහි සිවිලිමේ සතර වරම් දේවරුපයන් සිතුවම් කොට ඇත. ඇතැම් අයෙක් විහාර ගෙයෙහි තිබෙන බුදුන් වහන්සේගේ පිළිමය සැතපෙන පිළිමයන් නොව බුදුන් වහන්සේගේ පරිනිර්වාණය ලෙස පවසති. එයට හේතුව ලෙස බුදුන් වහන්සේ සැතපෙන ව්ට පාද දෙකෙහි ඇගිලි එකිනෙකට සමානව පිහිටා ඇති නමුදු පිරිනිවන් පාන අවස්ථාවේදී පාද දෙක එක පාදයක් මත අනෙක් පාදය පිහිටා ඇති නමුදු සමාන්තරව නොව එකක් මදක් පිටිපසට ගෙන තිබෙන ආකාරයට නිර්මාණය කොට තිබීම ලෙස පවසති.
චෛත්‍ය ගරා වැටී තිබෙන විට එහි පේසා වළලු සියල්ල වැසී ගොස් තිබුණි. මෙම චෛත්‍ය නිර්මාණය කොට ඇත්තේ ගල් තලාවක් මතය. වර්තමානය වන විට එම ගල පස්වලින් වැසී ඇති අතර එක් ප්‍රදේශයකින් පිහිටි ගල මතු වී ඇත. ඉතා විශාල ගඩොල් කැට යොදා ගෙන එය නිර්මාණය කොට ඇත. කැනීම් කිරීමේදී අගල් දහයක් පමණ දිග සහ අගල අටක් පමණ පළල ඉතා ශක්තිමත් ගඩොල් කැට හමු වී ඇත. එමෙන්ම මානාභරණ කුමරු විසින් චෛත්‍ය ඉදිකිරීමෙන් පසුව මෙහි එක් පැත්තක් ගිලා බැස ඇති ආකාරය දැකගත හැකිය. පේසා වළලුවලට පහළින් චෛත්යක මළුවද විශාල ගඩොල් යොදා ගෙන නිර්මාණය කොට ඇත. චෛත්යව ඉදිකිරීමේදී ගඩොල් කැට එකිනෙකට සම්බන්ධ කොට ඇත්තේ පදම් කරන ලද මැටි විශේෂයක් භාවිතා කර ගෙනය. කැනීම් කිරීමේදී චෛත්‍ය හතර වටේට ඉතා විශාල ගල් ලෑලි වලින් සකස් කරන ලද මල් ආසන සහ පහන් දැල්වීමට හැකි වන ආකාරයට ගල් ලෑලි මතම පහන් නිර්මාණය කොට ඇත. එම ගල් ලෑලි ඉතා මටසිලුටු ලෙස සකස් කොට ඇත. වර්තමානයේ කැනීම් කටයුතු හමාර කිරීමෙන් පසු චෛත්‍ය ඉදිකිරීම් ආරම්භ කොට ඇත. එම චෛත්‍යෙය් ප්‍රතිසංස්කරණය කිරීමේදී කපරාරු කොට සුදු හුණු ආලේප කිරීම වෙනුවට ගඩොල් වලින්ම පමණක් චෛත්‍ය නිර්මාණය කර කොට වෙහෙරක ආකාරයට චෛත්‍ය කොත් පැළැන්දවීමෙන් තොරව වැඩ නිම කිරීමට සැලසුම් කර ඇත. එලෙස චෛත්‍යය නිර්මාණය කිරීමට තීරණය කර ඇත්තේ මානාභරණ රජමහා විහාරය ඉතා පැරණි විහාරස්ථානයක් බැවින් එහි ඉපැරණි බව වර්තමානයටත් අනාගතයටත් දැකගත හැකි වන පරිද්දෙනි. මානාභරණ කුමරු විසින් ඉදිකරන ලද මෙම චෛත්යෙහි ආරක්ෂාවට ගල් ලෑලිවලින් වට කරන ලද ආරක්ෂිත වැටක් නිර්මාණය කොට තිබුණු නමුදු එය සම්පූර්ණයෙන් දක්නට නොලැබෙන පරිදි ගරා වැටී ඇත. වර්තමානයේද මෙම චෛත්‍ය නිර්මාණය කිරීමේදී ආරක්ෂිත වැටක් අඩි තුනක් පමණ පළලට සහ අඩි හතරක් පමණ උසට ඉපැරණි ගල් ලෑලිම යොදා ගෙන නිර්මාණය කරමින් පවති.
ශාසනික මෙහෙවර
[සංස්කරණය]2005 වසරෙදී පමණ මානාභරණ පිරිවෙණ ආරම්භ කරන ලදි. එහි වර්තමානයේ පිරිවෙන් මූලික වසරේ සිට පිරිවෙන් අවසන් ශ්‍රේණිය දක්වා සාමණේර භික්ෂුන් වහන්සේලා අධ්‍යාපන කටයුතු හදාරති. ප්‍රදේශයේ දරුවන්ව දහම් අධ්‍යාපනයෙන් පෝෂණය කිරීම අරමුණු කොටගෙන ආරම්භ කරන ලද සිරි සිදුහත් දහම් පාසල ප්‍රදේශයේ ආරම්භ කරන ලද මුල්ම දහම් පාසල වේ. වර්තමානයේ එහි සිසුන් දෙසීය පනහක් පමණ දහම් අධ්‍යාපන කටයුතු හදාරන අතර සෑම වසරකම පවත්වන දහම් පාසැල් තරගාවලීන්හීදී ප්‍රමුඛස්ථානයන් ලබාගෙන සමස්ත ලංකා ජයග්‍රහණයන් ලබා ගත් සිසු සිසුවියන් මෙම දහම් පාසලින් බිහි වී ඇත. සුගන්ධිකා පෙර පාසලද මෙම විහාරස්ථානය යටතේ පාලනය වන අතර කුඩා ළමුන්ට පෙර පාසැල් අධ්‍යාපනය සමග දහම් අධ්‍යාපනයද ලබා දීම මෙහි මූලික අරමුණ වේ. සෑම වර්ෂයකම ජනවාරි මස පොහොය දිනයේදී වර්ෂයට අදාල වන සංඛ්‍යාවක් පහන් දැල්වීමෙන් ආලෝක පූජාවද වර්ෂයට අදාල වන සංඛ්‍යාවක් නෙළුම් මල් පූජාවද මිහිදු පෙරහැරද උත්සවාකාරයෙන් පවත්වති. නායක ස්වාමීන් වහන්සේ, උපසම්පදා භික්ෂූන් වහන්සේලා සහ සාමණේර භික්ෂූන් වහන්සේලා විහාරයේ වැඩ සිටින අතර ගම් වැසියන් සදහා ආගමික සේවාවන් නිරන්තරයෙන් සිදු කරති. මානාභරණ රජමහා විහාරස්ථානය ප්‍රධාන විහාරය වශයෙන් කටයුතු කරන අතර එය යටතේ නාගහමඩ මුගුණුමල් විහාරය, දෙගල්හෙළ පුරාණ විහාරය, කරඹගොඩ විහාරය සහ ගල්කිස්ස සුබෝධි විහාරය යන විහාරයන් පාලනය වේ.
විහාරය සතුව නින්දගම් වූ කුඹුරැ විශාල ප්‍රමාණයක් සහ ඉඩම් විශා ප්‍රමාණයක් දක්නට ඇති නමුත් වර්තමානය වන විට ඒවා මිනිසුන් විසින් බලහත්කාරයෙන් අයිති කොට ගෙන ඇති අතර නැවත විහාරය වෙත ඒවායෙහි අයිතිය ලබා ගැනීම සිහිනයක් බවට පත්වී ඇත.