Jump to content

නිදි නැති නදියේ නාදය

විකිපීඩියා වෙතින්

නිදි නැති නදියේ නාදය යනු 1986 දී එවක ජේ.ආර්. ජයවර්ධන පාලනයට එරෙහිව කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේදී පවත්වන ලද විරෝධාකල්පිත ගීත ප්‍රසංගයක් සහ එය අලලා නිකුත් කල කැසට්පටයකි. සුනිලා අබේසේකර, රංජිත් පෙරේරා, සුනිල් විජේසිරිවර්ධන, විජිත ගුණරත්න සහ රෙඩ්ලි සිල්වා යන තරුණ සමාජ ක්‍රියාකාරී සහ කලා-සංස්කෘතික ක්‍රියාකාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් මෙම ප්‍රසංගය සංවිධානය කරන ලදි. මෙම ප්‍රසංගය පවත්වන ලද්දේ 1986 අවුරුද්දෙ මැයි පළමු වෙනිදා වන ලෝක කම්කරු දිනයේදී ය. එවක ජේ.ආර්. ජයවර්ධන පාලන තන්ත්‍රය එදින මැයි දිනය වෙනුවෙන් පෙළපාලි පැවැත්වීම තහනම් කරන ලද නමුත් මෙම ප්‍රසංගය කලාකරුවන් හැටියට පවත්වන්නේ අධිපති දේශපාලන දෘෂ්ටිවාදයට පහර ගැසීමේ විකල්ප මාර්ගයක් හැටියට ය. මෙම ප්‍රසංගයට නැටුම්, ගැයුම්, වැයුම්, රැගුම් වලින් වගේම පදරචනා, සංගීත නිර්මාණ සහ දෘෂ්‍ය කලාත්මක උපාංග මගින් සහය දැක්වූවන් සමග සමස්ත කණ්ඩායම 60 දෙනෙක් පමණ වේ. මෙම සංගීත ප්‍රසංගය සදහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන ලද්දේ මර්ජ් ආයතනය විසිනි. කේමදාසගේ වාද්‍ය වෘන්දයේ තරම සහ පුහුණුව මත කේමදාස කණ්ඩායම වෙනුවෙන් පමණක් සුළු ගෙවීමක් කරන ලද නමුත් අනෙක් සියල්ලෝ ම සිය දායකත්වය ලබා දෙන ලද්දේ නොමිලේ ය. මෙම ප්‍රසංගයේදී විජිත ගුණරත්න විසින් බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට්ගේ කවි දෙකක් සිංහලයට පරිවර්තනය කරමින් කරන ලද පදරචනා දෙක සංගීතවත් කරන ලද්දේ ප්‍රේමසිරි කේමදාස විසිනි. "උන්ගේ යුද්ධය හා උන්ගේ සාමය" සහ "රට පාලනය....රට පාලනය" ගීත දෙක එම ගීත දෙකයි. "දෝතට ගනිමු" යන ගීතය රචනා කරන ලද්දේ සුනිල් විජේසිරිවර්ධන වන අතර එය ගායනා කරන ලද්දේ සුනිලා අබේසේකර විසිනි. (සුනිලා 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ප්‍රසංගයේ විරෝධාකල්පිත ගීත ගායනා කරන ලද ගායිකාවකි.)

"https://si.wikipedia.org/w/index.php?title=නිදි_නැති_නදියේ_නාදය&oldid=759260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි