නෑඹිලිය

විකිපීඩියා වෙතින්

නෑඹිලිය යනු සහල් සහ අනෙකුත් ධාන්‍ය වර්ග වල ඇති වැලි සහ අපද්‍රව්‍ය ඉවත් කරීමට භාවිතා කරන මැටියෙන් හෝ ලෝහයෙන් සෑදූ උපකරණයකි. මෙසේ වැලි සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ගැරීම යැයි කියති. නිදසුනක් වශයෙන් හාල් ගැරීම දැක්විය හැක. සහල් හෝ වෙනත් ධාන්‍යයක් පිසීමට භාවිතා කරන මුට්ටියක් වැසීමටද නෑඹිලිය භාවිතා වෙයි. කිසියම් අවුළුවක් පිසින ඇතිලියක් වැසීමට නෑඹිලියක් උඩු-යටිකුරු කොට භාවිතා කෙරෙන අවස්ථාද ඇත. නෑඹිලියකින් කිසිවක් ගැරීමේදී කොරහක් ද භාවිතා කිරීම සම්ප්‍රදායයි.

ජන භාවිතය[සංස්කරණය]

නෑඹිලිය විසින් සහල් සහ අනෙකුත් ධාන්‍ය වර්ග වල ඇති වැලි සහ අපද්‍රව්‍ය ඉවත් කළ යුතු බැවින් එහි අභ්‍යන්තර වක්‍ර පෘෂ්ඨය රළුය. එසේවුවද එහි පිටස්තර පෘෂ්ඨය සුමුදුය. සිහින් සුමුදු ලෙස රැවුල බෑ කළෙක නෑඹිලිය ගා ඇතැයි ජනවහරක් පවතියි.

වෙනත් භාවිතා[සංස්කරණය]

ගැරීම හැරුණු කොට වෙනත් භාවිතා සඳහාද නෑඹිලිය යෙදෙයි. නෑඹීලියේ ඇතුළු රළු පෘෂ්ඨයෙහි ගැටීමෙන් කිසිවක් ඉවත් කිරීම හෝ සියුම් කුඩු හෝ දුවයක් නිපැයීම මෙවැනි භාවිතයකි. වදකහ වැනි ඖෂධ බඩ රුදාව සඳහා බීමට දීමට එම බෙහෙත් කැබැල්ලක් නෑඹිලියෙහි ගැටීම කරති. එයට ගැලහීම හෝ උරච්චි කිරීම යයි කියති. ජලය ස්වල්පයක් සමග මෙය කෙරෙයි. සුදු හඳුන් හෝ එත් හඳුන් ද මෙසේ නෑඹිලියක උරච්චි කිරීමෙන් පසු ආලේපනයට සුදුසු ලෙසකට සකස් කෙරෙයි.

රන් කිරි කට කෑමට පෙර රන් ආභරණයක් මව් කිරී සමගින් නෑඹිලියක ගලහා ඉන් ලැබෙන්න බිලිඳාට පානය සඳහා දෙනු ලබයි.

වියළි (වැලි) හාල්මැස්සන්ගේ සියුම් කොරපොතු ඉවත් කිරීමටද නෑඹිලියේ ඇතුළු පෘෂ්ඨයේ ඇතිල්ලීම කරනු ලැබේ.

ඉන්නල වැනි අල වර්ග වල පොත්ත ඉවත් කිරීමටද නෑඹිලියේ ඇතුළු පෘෂ්ඨයෙහි ගැලහීම කෙරෙයි.

සබැඳි වෙනත් දේ[සංස්කරණය]

නෑඹිලියක් (විශේෂයෙන් මැටි නෑඹිලියක්) තැනීමේදී ඇතුළු පෘෂ්ඨය රටා දමා රළු කිරීමට භාවිතා කරන මෙවලම ඉරි කටුව නම් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=නෑඹිලිය&oldid=469533" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි