නාගරීකරණය - ශ්‍රී ලංකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

නාගරීකරණය රටක සමාජ ආර්ථික සංවර්ධනයෙහි කැඩපතයි.ශ්‍රී ලංකාව සමාජ සංවර්ධනයෙහිලා ඉහළ ස්ථානයක පසු වුවද වාර්තාගත දත්ත වලට අනුව නාගරීකරණය ආශ්‍රීතව මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරයි.නමුත් පසුගිය දශකය අවසානයේ පමණ සිට රට තුල සිදුවෙමින් පවත්නාවු නොයෙකුත් සංවර්ධන ක්‍රියාදාම මෙන්ම ප්‍රජා විද්‍යාත්මක හා සමාජීය වෙනස්කම් නිසා 21 වන සියවස ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ නාගරීකරණ රටාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.විදුලිය,ගමනාගමනය,සන්නිවේදනය,සෞඛ්‍ය කටයුතු හා අධ්‍යාපන ක්‍ෂේත්‍රවල වර්ධනය මෙන්ම කර්මාන්ත වෙළඳම් වැනි ක්‍ෂේත්‍ර පුළුල් වීම සමග නාගරීකරණය වේගවත් වී ඇත.විවිධ සාධකවල බලපෑම හේතුවෙන් වැඩි පහසුකම් වලින් යුත් ප්‍රදේශ වලින් ජනයා සංක්‍රමණය වීම නිසා මෑතකාලීනව නාගරීකරණයට ලක් වු ප්‍රදේශ රාශියක් රට තුල වර්ධනය විය.නමුත් සැබවින්ම රට තුල පවතින නාගරීක වර්ධනය වාර්තාගත දත්ත මගින් පිළිබිඹු නොවීමේ ගැටලුවක් ද පවතී.

නගර හඳුනාගැනීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ නාගරීකරණය පිළිබඳ අධ්‍යනය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් වී ඇත.නාගරික ප්‍රදේශ නිවැරදිව අර්ථ දක්වා නොමැතිවීම හා නාගරික ප්‍රදේශ හඳුනාගත් නිර්ණායක වරින් වර වෙනස්වීම සෘජුවම මේ සඳහා බලපෑම් කරයි. ශ්‍රී ලංකා‍‍වේ නගර හඳුනා ගන්නේ පරිපාලන ඵ්කක ආශ්‍රයෙනි.ඵ් අනුව වර්තමානයේ නගර සභා සහ මහනගර සභා පමණක් නාගරික තත්වයෙහිලා සලකයි.

1971 සිට 1901 දක්වා මහනගර සභා සහ නගර සභා නාගරික ප්‍රදේශ ලෙස සැලකූ අතර 1901 දී පිහිටුවනු ලැබූ ප්‍රාදේශීය මණ්ඩල අහෝසි කරනු ලැබූ අතර නැවත මහනගර සභා සහ නගර සභා නාගරික තත්වයෙහිලා නම් කෙරිණි. 1956 දී සුළු නගර සභා පිහිටුවා නාගරික ප්‍රදේශ ලෙස නම් කරන ලද අතර ඵ් අනුව 1693 හා 1971 දී මහනගර සභා,නගර සභා සහ සුළු නගර සභා නාගරික තත්වයෙහිලා සලකන ලදී. නැවත 1987 වන විට සුළුනගර සභා නාගරික තත්වයෙන් ඉවත් වීමත් සමග මහනගර සභා සහ නගර සභා පමණක් නාගරික ප්‍රදේශ ලෙස නම් කරන ලදී.

මෙලෙස නාගරික ප්‍රදේශ හඳුනා ගන්නා නිර්ණායකය කලින් කලට වෙනස්වීම හේතුවෙන් රට තුළ සිදු වු නාගරිකරණ ක්‍රියාවලිය ඇස්තමේන්තු කිරීම අපහසු වී ඇත. මේ සඳහා පරිපාලන තීරණ සෘජුවම හේතු වී ති‍බේ.ඵමෙන්ම අඩු ජන සංඛ්‍යාවක් සහිත ප්‍රදේශ නගර ලෙස නම් කිරීමෙන් හා වැඩි ජනගහනයක් සහිත ප්‍රදේශ ග්‍රාමීය ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් ද නාගරීකරණය ආශ්‍රිතව යථා ස්වරූපය හඳුනා ගැනීම දුෂ්කර වී ඇත. නාගරික ප්‍රදේශ හඳුනා ගැනීමේ දී ප්‍රජා විද්‍යාත්මක හා සමාජීය ගති ලක්ෂණ,ජනයාගේ ඵ්කරාශි වීම, රැකියා ආදිය පිළිබඳව අවධානය යොමු කල යුතුව ඇත.


ශ්‍රී ලංකා‍වේ නාගරීකරණය ආශ්‍රිත ලක්ෂණ[සංස්කරණය]

පහත ලක්ෂණ යටතේ විග්‍රහ කළ හැකිය.

  1. නගර සංඛ්‍යාව හා නාගරික ජන සංඛ්‍යාව
  2. නගරවල විශාලත්වය
  3. දේශගුණික කලාප වශයෙන් නාගරික මධ්‍යස්ථානවල ව්‍යාප්තිය
  4. කොළඹ නගරය ආශ්‍රිතව අග්‍ර නාගරික ව්‍යාප්තිය
  5. ‍වේගයෙන් වර්ධනය වන කොළඹ නාගරික පරිධි කලාපය
  6. නාගරික සමූහයන්ගේ වර්ධනය
  7. නව නගර සංකල්පය හා වර්ධනය

නගර සංඛ්‍යාව හා නාගරික ජන සංඛ්‍යාව[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුළ නාගරික සංකල්පය මුලින්ම හමුවන්නේ රාජධානි සමය තුළදී ය. ඵෙතිහාසික මූලාශ්‍ර අනුව ලංකාවේ මුල්ම ප්‍රධාන නගරය අනුරාධපුරය විය. පැරණි නාගරික සංකල්පය නූතන නාගරික සංකල්පයට වඩා වෙනස් වූ ස්වරූපයක් ගනී. මුල්කාලීනව ගංගා නිම්න ආශ්‍රිතව වර්ධනය වූ ලාංකීය නගර පසුකාලීනව වැව් ජනාවාස දෙසට ද ව්‍යාප්ත විය.

ලංකාවේ නූතන නගර හා බැඳුණු වානිජ කාර්ය මත පදනම් වු නගර බිහි වීම ආරම්භ වන්නේ යටත් විජිත සමය වන පෘතුගීසි හා ලන්දේසි පාලන සමය තුළදී ය. ඵකල කොළඹ, යාපනය, මන්නාරම, මඩකලපුව හා ගාල්ල නාගරික මධ්‍යස්ථාන වශයෙන් වර්ධනයක් පෙන්නුම් කල අතර මේ නගර මුහුදු බඩ වරාය නගර වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී වැවිලි කෘෂිකර්මන්තය සංවර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන මාර්ග කොළඹ සමග සම්බන්ධ වීම නිසා කොළඹ නගරය දිවයිනේ ප්‍රධාන ආර්ථික නාගරික මධ්‍යස්ථානය බවට පත් විය.

මීට අමතරව ගොවිජනපදකරණය ආශ්‍රයෙන් බිහිවු නාගරික පද්ධතියක් වියලි කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව දකින්න විය. නිදහස ලැබීමෙන් පසු ප්‍රධාන වරාය නගර වල වර්ධනය ක්‍රමයෙන් අඩු වු අතර ඵහෙත් රට අභ්‍යන්තරයේ මහාමාර්ග හා දුම්රිය මාර්ග සමග බද්ධ වු නගර වල ජනසංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය විය. ශ්‍රී ලංකාවේ නාගරීකරණය ආශ්‍රිත මූලිකම ලක්ෂණයක් වන්නේ ඵ්කාකාර වර්ධන රටාවක් නොදැක්වීමයි. ඵය අඩු වැඩි වෙමින් යන සිද්ධියක් බවට පත්ව ඇත.

13 වන ආණ්ඩුක්‍රම සංශෝධනයත් සමගම ඵ් දක්වා පැවති සුළුනගර සභා නාගරික තත්වයෙන් ප්‍රාදේශීය සභා බවට පරිවර්තනය වීමත් සමග ලංකාවේ මුළු නගර සංඛ්‍යාව 55 දක්වා අඩු විය. මේ නාගරික ප්‍රදේශ 55 අතරින් 2001 සංගණනය මඟින් දත්ත රැස් කරනු ලැබුයේ නාගරික ප්‍රදේශ 51 ක පමණි.අයහපත් දේශපාලන වාතාවරණය නිසා යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන හතර වන යාපනය මහනගර සභාව, චාවකචිචේරි,පේදුරුතුඩුව සහ වැලිවැටිතුරේ යන ප්‍රදේශ 2001 සංගණනය මගින් ආවරණය නොවීය. ඵ් සමග 1981 දී 12ක් ව තිබූ මහනගර සභා සංඛ්‍යාව 2001 සංගණනයේදී 18 ක් දක්වා වර්ධනය විය.නගරසභා සංඛ්‍යාව 37ක් බවට පත් විය.

නගර විශාලත්වය[සංස්කරණය]

ජන සංඛ්‍යාව පාදක කොටගෙන ශ්‍රී ලංකාවේ නගර පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට වර්ග කල හැකිය.

  1. විශාල නගර (ජනසංඛ්‍යාව 50000 ට වැඩි)
  2. මධ්‍යම ප්‍රමාණයේ නගර (ජනසංඛ්‍යාව 10000-49999)
  3. කුඩා නගර (ජන සංඛ්‍යාව 10000 ට අඩු)

1981 දී ශ්‍රී ලංකාවේ සමස්ත නාගරික ජනසංඛ්‍යාවෙන් 44.2% ක් විශාල නගරවල ඵ්කරාශි වී සිටි අතර 2001 වන විට ඵය 59.7 % ක් දක්වා වර්ධනය විය. 1981 දී ජනසංඛ්‍යාව 100,000 ඉක්මවන නගර සංඛ්‍යාව 6 ක් විය. ඵහි 2001 වන විට ද කැපී පෙනෙන වෙනසක් නොතිබිනි. 2001 සංගණන දත්ත අනුව ලංකාවෙහි මුළු ජනසංඛ්‍යාවෙන් 9.6 % ක් විශාල නගරවල වාසය කරනු ලබයි. ලංකාවේ විශාල නගර වර්ධනයට සාපේක්‍ෂව මධ්‍යම හා කුඩා නගර සීඝ්‍රයෙන් වර්ධනය වීම දක්නට ලැබෙන ප්‍රමුඛ ලක්ෂණයකි.නාගරික ජනතාව ක්‍රමයෙන් විශාල නගර වලින් ඈත්වන අතර මධ්‍යම හා කුඩානගර වලට සංකේන්ද්‍රණය වේ.

දේශගුණික කලාප අනුව නාගරික මධ්‍යස්ථාන ව්‍යාප්තිය[සංස්කරණය]

ගොවි ජනපදකරණය වැනි රාජ්‍ය ප්‍රතිපත්ති නිසාවෙන් මුල්කාලීනව වියලි කලාපීය නාගරික ජන සංඛ්‍යා වර්ධනය තෙත් කලාපීය නාගරික ජනසංඛ්‍යා වර්ධනයට වඩා ඉතා ඉහළ අගයක් ගනු ලැබීය. 1953-1963 අවධිය තුල වියලි කලාපීය නාගරික ජනසංඛ්‍යා වර්ධන වේගය තෙත් කලාපීය නාගරික ජනසංඛ්‍යා වර්ධන වේගයට වඩා දෙගුණයකින් වර්ධනය වී ඇත.ඵහෙත් ඵය ක්‍රමයෙන් අඩු වී ඇත.

කොළඹ නගරය ආශ්‍රිත අග්‍ර නාගරිකත්වය[සංස්කරණය]

කොළඹ නගරය නාගරික පද්ධතිය තුළ සුවිශේෂ ස්ථානයක් හිමිකර ගෙන තිබීම මින් අදහස් වේ. අනෙක් නගර අභිබවා අනෙක් නගර සූරාකමින් මේ නගරය වර්ධනය වූ බව පෙනී යයි. යටත් විජිතයක් වීම හා ඵ් තුලින් නිර්මාණය වු ආයාත-නිර්යාත රටාව හා ඵ්හා බද්ධව වර්ධනය වූ කොළඹ දිශාමුඛ මාර්ග ජාලය ‍‍මේ අග්‍ර නාගරික ව්‍යාප්තියට හේතු වී ඇත.

විශාලතම නගරය වු කොළඹ නගරයේ ප්‍රමුඛත්වය හා ප්‍රබලත්වය ක්‍රමයෙන් හීන වන බවක් පෙනී යයි. 1981 සිට 2001 දක්වා කොළඹ නගරයේ ජනසංඛ්‍යාව වර්ධනය වී ඇත්තේ 10.1 %ක් පමණි.නමුත් දෙවන නගරය වන දෙහිවල-ගල්කිස්ස 21.3 %ක් ද මොරටුව නගරය 31.7 % ක් ද වර්ධනය වී ඇත.මෙලෙස අගනගරය මන්දගාමීව වර්ධනය වීමත් සමග උපනාගරිකරණ ක්‍රියාවලියේ වර්ධනය වේගවත් වීමේ රටාවක් හදුනාගත හැකිය. ඵ් අනුව මොරටුව, දෙහිවල, කෝටිටේ, කොලොන්නාව, පෑලියගොඩ, වත්තල-මාබෝල, හැඳල, වැලිසර, රාගම, කඳාන, ජා ඇල වැනි උපනාගරික කලාපවලත් මහරගම, බත්තරමුල්ල, කොටිකාවත්ත, මුල්ලේරියාව, කැළණිය,දළුගම වැනි උපනාගරික කලාපවලත් නාගරික ජනසංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් සිදුවන බව පෙනී යයි.

Petah2.jpg

නාගරික සමූහිතයන්ගේ වර්ධනය[සංස්කරණය]

නාගරික සංකීර්ණ ශ්‍රි ලංකාවේ නාගරීකරණය ආශ්‍රිතව මෑතකාලීනව හඳුනාගැනීමට හැකි මූලික ලක්ෂණයකි. ජනසංඛ්‍යාව 150,000 ට වඩා වැඩිවීම හා ජනඝනත්වය ව.කි.මී. 300 ට වඩා වැඩි වීම යන සාධකවලට අනුකූලව ලංකාවේ ප්‍රධාන නාගරික සංකීර්ණ 4 ක් හඳුනාගත හැකිය.

  1. කොළඹ- කළුතර නාගරික සංකීර්ණය
  2. යාපනය නාගරික සංකීර්ණය
  3. ගාල්ල නාගරික සංකීර්ණය
  4. නුවර නාගරික සංකීර්ණය

විශාලම නාගරික සංකීර්ණය කොළඹ-කළුතර නාගරික සංකීර්ණය යි.කොළඹ මෙට්‍රොපොලිටන් කලාපය ලෙස මෙය හඳුන්වයි. මහනුවර රට අභ්‍යන්තරයේ වර්ධනය වූ ඵකම නාගරික සංකීර්ණය ලෙස අතිශය වැදගත් වේ.

නව නගර සංකල්පය වර්ධනය[සංස්කරණය]

ලංකාව තුල විවිධ අරමුණු මත නව නගර නිර්මාණයට යොමු වී ඇත. නගර තුල සිදුවන ක්‍රියාවලි නිසා දිනෙන් දින භූමිය අධික තදබදයකට හා සංකීර්ණත්වයකට පත් වන බැවින් මේ නිසාම අලුතින් නව නාගරික ප්‍රදේශ බිහිවීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතී. කෘෂිකාර්මික ඉඩම් හා මුහුදුකරයේ භූමි ප්‍රදේශ ද තෙත් හා වගුරු බිම් ගොඩකරමින් ද නව නාගරික ප්‍රදේශ ඉඳිවෙමින් පවතී. ශ්‍රි ලංකාවේ නාගරික ධූරාවලිය තුළ නවනගර සඳහා විශේෂ ස්ථානයක් හෝ වෙන්කර හඳුනා ගැනීමක් සිදුකර නැත. බොහෝ විට මහනගර සභා හෝ නගර සභාවේම කොටසක් ලෙස නව නගර වර්ධනය වේ. මේ දක්වා ලංකාව තුල නවනගර 31 ක් ඉදිකර ඇත. වැඩිම නව නගර ප්‍රමාණයක් ඉදිකර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේය. ගල්නෑව, මිගලෑව,අනුරාධපුරය,මිහින්තලේ හා තඹුත්තේගම වශයෙනි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නවනගර 4 ක් පිහිටුවා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සීදුව, කටාන හා කටුනායක යන නවනගර අපනයන අර්ථක්‍රමය මුල්කරගත් නගර වේ.

ශ්‍රි ලංකාවේ නාගරීකරණය ආශ්‍රිත ගැටළු[සංස්කරණය]

ලංකාවේ නාගරීකරණය ආශ්‍රිතව ප්‍රධාන ගැටළු කිහිපයක් හඳුනා ගැනීමට හැකි අතර ඵ්වා ආර්ථික, සාමාජීය හා පාරිසරික වශයෙන් ප්‍රධාන අංශ 03 ක් යටතේ ගොනුකල හැකිය. නාගරික ප්‍රදේශයක් තුල මෙම ගැටළු වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි වන්නේ ඵකකට ඵකක් බද්ධ වූ ගැටළු රාශියක් නාගරික ප්‍රදේශ තුල වර්ධනය වී ඇති බැවිනි.

Manila shanty.jpgSlum street after rain - Colombo.jpg

සමාජීය ගැටළු

  • ජනාවාස ගැටළු-
  • මන්දපෝෂණය
  • ජල හා විදුලි පහසුකම් හිඟය
  • ජාතිවාදය හා පන්තිභේදය
  • සෞඛ්‍ය ගැටළු
  • සංස්කෘතික පරිහානිය
  • සමාජ පරිහානිය (අපරාධ/ මත්ද්‍රව්‍ය/ අවිආයුධ/ ළමා අපචාර)


පාරිසරික ගැටළු-

  • ජල දූෂණය
  • වායු දූෂණය
  • ශබ්ද දූෂණය
  • ගොඩබිම් දූෂණය
  • රථවාහන තදබදය
  • ඝන අපද්‍රව්‍ය

Kandy city centre.JPG

ආර්ථික ගැටළු-

  • දරිද්‍රතාවය
  • විරැකියාව
  • ඉඩම් මිළ ඉහළයාම
  • ඇති-නැති පරතරය වැඩිවීම
  • අධික ජීවනබර
  • ආදායම් ව්‍යාප්ති විෂමතාව

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ලසන්ත මානවඩු,නිරෝෂා ලියනගේ,තෙවන ලොව නාගරීකරණය
  2. මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා, ජනගහන අධ්‍යයනය

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නාගරීකරණය_-_ශ්‍රී_ලංකා&oldid=150674" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි