නවාංග සාත්‍රෘ සාසනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ![සංස්කරණය]

අපගේ ශාස්තෘන් වහන්සේගේ ශාසනය අංග නවයකින් යුක්තයි. එහි සූත‍්‍ර දේශනා සුත්ත නමින් ද, ගාථා සහිත දේශනා ගෙය්ය නමින් ද, ගාථා රහිත දේශනා වෙය්යාකරණ නමින් ද, ගාථාවන් පමණක් ඇති දේශනා ගාථා නමින් ද, ප‍්‍රසාද සංවේග වශයෙන් උත්සාහ රහිතව මතුවන දේශනා හා ගාථා උදාන නමින් ද, යම් යම් කරුණු ඉස්මතු කොට කරන දේශනා ඉතිවුත්තක නමින් ද, බෝසත් සිරිතේ අතීත භවයන් ගැන ඇති දේශනා ජාතක නමින් ද, බුදුසිරිතට පමණක් අදාල අසිරිමත් දේ ගැන ඇති දේශනා අබ්භූත ධම්ම නමින් ද, ප‍්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් යුතු දේශනා වේදල්ල නමින් ද හැඳින්වෙයි. බුදුරජුන්ගේ ශාසනය මෙම අංග නවයෙන් යුතු නිසයි නවාංග ශාස්තෘ ශාසනය යැයි පවසන්නේ.

එයින් ගාථා කොටසටයි ඛග්ග විසාණ සූත‍්‍රය අයිති වන්නේ. එය ඇතුළත්ව තිබෙන්නේ සුත්ත නිපාතයටයි. එම ගාථාවන්ගේ අරුතත්, එයට අදාල කථා වස්තුත් අපට කියවන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසාමය. උන්වහන්සේ එය නොවදාරන්නට අපට දැනගැනීමට අවස්ථාවක් නැත. එ් පසේබුදුවරුන් ගැන අප කියවන විට එහි තිබෙන්නේ උන්වහන්සේලාගේ අවසාන ආත්මභාවය දැක්වෙන විස්තරය. සාමාන්‍ය මිනිසුන් මෙන් ජීවත් වෙන ඔවුන් වේගයෙන් සත්‍යාවබෝධය කරා යන අයුරු දැක්ක හැකිය.

බරණැස් නුවර එක්තරා රජෙක් වාසය කළා. ඔහුගේ රාජධානිය සියලු සැපසම්පත් වලින් පිරී ඉතිරී තිබුණා. නමුත් ඔහුව වටකොට ගෙන සිටි ඇමතිවරුන් එ් රජුව රවටා රටේ සම්පත් ගසාකෑවා. රජතුමාට බොරු ආදරයක් පෙන්නුවා. බොරු හිතවත්කමක් පෙන්නුවා.

කලක් යන විට රජතුමාට දරුණු ආබාධයක් හටගත්තා. ඇමතිවරුන් රජතුමාගේ යහන වටේ වැතිරී අඬන්න පටන් ගත්තා. රජතුමා නැතුව ඔවුන්ට ජීවත්විය නොහැකි බව පවසමින් චාටු බස් කිව්වා.

“අහෝ! පින්වත් රජතුමනි, ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් නිසයි අපි පවා මෙතරම් සේවය කරන්න පුරුදු වුණේ. ඔබතුමාගේ නායකත්වයෙන් තොරව අපට මේ රාජධානිය ගොඩගන්න අමාරුයි. ඔබතුමා නැති ලෝකය හිරු නැති ලෝකෙටත් වඩා අඳුරුයි. ඔබතුමා නැති රාත‍්‍රිය සඳ නැති රාත‍්‍රියටත් වඩා මූසලයි. ඔබතුමාගේ ආලෝකය අපගේ ආලෝකයයි. එ් නිසා රජතුමනි, ශතවර්ෂාධික කාලයක් නිදුක්ව නීරෝගීව රාජ්‍යානුශාසනා කරන සේක්වා!”

රජතුමාට බොහෝ අනුකම්පා හිතුණා. නොයෙක් අයුරින් කරුණු කියා ඔවුන්ව අස්වැසුවා. රාජකීය වෙදුන් පැමිණ කොතරම් උපස්ථාන කළත් සුව වුණේ නැහැ. ක‍්‍රමක‍්‍රමයෙන් අසාධ්‍ය වුණා. එතකොට ඇමතිවරු වෙනම රැස්වුණා. රහසේ සාකච්ඡුා කළා.

“දැන් මෙයාගෙන් වැඩක් නෑ. මෙයා මැරිලා යාවි. අපේ පැවැත්මට උදව් කරන්න පුළුවන් ඊළඟ රජා කවුද? අපි එතනට යමු. අමාරුවෙන් ගොඩනගා ගත්තු අපේ පැවැත්ම අපි නැතිකරගත යුතු නෑ. දැනට භාණ්ඩාගාර යෙන් ගන්න දෙයක් ගනිමු.”

“එ්ක හරි! හැබැයි අපට අසවල් රජතුමා ළඟට ගියෝතින් නම් සෑහෙන්න තාන්න මාන්න ලැබේවි. පුද පඬුරු ලැබේවි. මං එ් ගැන කතා කරලයි තියෙන්නේ. අපට නවාතැනට වෙනම මාළිගාවන් පවා දෙන්න සූදානම් වේවි.”

ඇමතිවරු තොල කට ලෙව කෑවා. ඔවුන්ගේ ඇස් බැබලුණා. කට කොණින් සිනහවෙද්දී බුලත් හප විසිවුණා. ඔවුන් තමන්ගේ ආදරණීය රජුට නොකියාම අර රජු වෙත ගියා. එ් රජතුමා ඔවුන්ට සාමාන්‍ය ගෙවල් දුන්නා. අඩු වැටුප් දුන්නා. ඔවුන් මහා දුකින් කල් ගෙව්වා.

ඔවුන්ගේ සැබෑම රජතුමා ඉතාම දුකසේ තම රෝගයට පිළියම් කරමින් සිටියා. කවුරුත් හිතුවේ ඉක්මනින් මියයාවි කියලයි. නමුත් සියලූ දෙනා පුදුමයට පත් කරවමින් රජතුමා සුවපත් වුණා. සුවපත් වූ රජ රාජසභාව කැඳෙව්වා. එදා තමාගේ යහන වටේ වැතිරී හඬමින් සිටි ඇමතිවරු කවුරුවත් නෑ. රජතුමාට ගොඩාක් දුක හිතුණා.

“කෝ අර ඇමතිවරු? කෝ අසවල් අසවල් නම් ඇති අය?”

“අනේ රජතුමනි, ඔවුන් ටිකෙන් ටික වෙනස් වුණා. තමන්ගේ කාර්යභාරය අත්හැරියා. දැන් අසවල් රටට ගිහින් අසවල් රජ්ජුරුවන්ගේ ඇමතිමණ්ඩලයේ සේවය කරනවා. රජතුමනි, ඔවුන්ගෙන් අද හසුනක් ලැබුණා. රජතුමාව බැහැදකින්න අවසර ඉල්ලනවා.”

“හොඳයි. එ් අයට එන්න කියන්න.”

ඇමතිවරු ආයෙමත් පැමිණියා. රජතුමා ඉදිරියට පැමිණ බිම වැතිරී හඬන්න පටන් ගත්තා.

“අනේ දේවයන් වහන්ස, අපට හරී සතුටුයි. අපි කියාගත නොහැකි වේදනාවකින් හිටියේ. මේ මාළිගාවට පැමිණෙද්දී ඔබවහන්සේ ඇඳේ වැතිරී දරුණු ලෙඩින් පෙළෙමින් සිටි අයුරු අපට සිහිපත් වෙනවා. පින්වත් රජතුමනි, අපට හරි වේදනයි. ඉවසගන්න අමාරුයි. එ් නිසයි අපි ඈත ගියේ.”

එතකොට තව ඇමතිවරයෙක් මෙහෙම කිව්වා.

“අනේ දේවයන් වහන්ස, අපි එහෙ ගිය විට එ් රජතුමා ගොඩාක් සතුටු වෙලා අපට මාළිගාවන් දෙන්න හැදුවා. එතකොට අපි කිව්වා ‘අපට මාළිගාවන් එපා. අපට සාමාන්‍ය ගෙවල් දෙන්න. අපි මේ ආවේ දුක වැඩිකම නිසයි’ කියලා. එ් රජතුමා අපට වැඩි වැටුප් දෙන්න හැදුවා. එතකොට අපි කිව්වා ‘අනේ රජතුමනි, අපේ රජතුමා අපට හොඳින් වැටුප් ගෙව්වා. එ් නිසා අපට යන්තම් ජීවත් වෙන්න මොකුත් ලැබුණොත් ඇති’ කියලා. ඇත්තෙන්ම අපගේ දේවයිනි, අපි එහේ සැප වින්දෙ නෑ. මේ පහසුකම් මොකුත් ලබාගත්තෙ නෑ. ඔබවහන්සේ ගැන සිහි කරකරයි අපි දුක් වින්දේ.”

ඔවුන්ගේ කතාවෙහි ඇති කෛරාටික බව රජතුමාට වැටහුණා. රජතුමා එ් ගැන නොහඟවා ඔවුන්ට කතා කළා.

“බොහොම හොඳයි. මං මෙවැනි ඇමති මඬුල්ලක් ලැබීම ගැන සතුටු වෙනවා. හැබැයි මේ අසනීපය නම් ස්ථිරව සනීප වෙන එකක් නෑ. ආයෙ අසනීප වේවි. එතකොටත් ආයෙමත් යනවාද?”

“අනේ රජතුමනි, ඔබවහන්සේව අත්හැර ගියේ අපේ හිතේ වේදනාවටයි. නමුත් මෙවර නම් අපි ඔබවහන්සේගේ සෙවණැල්ල වගේ ඉන්නවා. ඔබවහන්සේට අසනීප වුණොත් අපිමයි උපස්ථාන කරන්නේ.”

ටික දවසක් ගත වූ විට මේ ඇමතිවරුන්ගේ ස්වභාවය හඳුනාගැනීමට රජතුමාට ආශාවක් ඇතිවුණා. රජතුමා ක්ලාන්ත වී ඇඳට වැටුණා. දැන් රජතුමා කෑම කන්නෙත් නෑ. මොකුත් පානය කරන්නෙත් නෑ. කෙඳිරි ගාමින් ඉන්නවා. කලින්ටත් වඩා අමාරුයි. ඇමතිවරු පැමිණුනා. පැමිණ බොරුවට හඬන්න පටන්ගත්තා. රජතුමා නොඇසුණාක් මෙන් කෙඳිරිගාමින් සිටියා. ඉතාමත් අසාධ්‍ය බවක් පෙන්නුවා. එතකොට එ් ඇමතිවරු ආයෙමත් වෙන රජෙක් ළඟට ගියා.

මෙවැනි සම්‍යක්ප‍්‍රයෝග වලින් රජතුමාට ඇමැතිවරුන්ගේ සැබෑ තත්වය හඳුනාගන්න පුළුවන් වුණා. රජතුමා කල්පනා කළා.

”මේ උදවිය යැපෙන්නේ මගෙන්මයි. මමයි ඇමතිකම දුන්නේ. මමයි ආදායම් දුන්නේ. මමයි මොවුන්ගේ සමාජ තත්වය ලබාදුන්නේ. මොවුන්ගේ දරුවන්ට උගත්කම් ලබාදුන්නේ. බොහෝ දෙනා අකෘතඥයි. කෙලෙහිගුණ දන්නෙ නෑ. මෙවැනි ලෝකයක රජකම් කළ බොහෝ දෙනා අසරණ වෙන්නේ කෙලෙහිගුණ නොදන්නා පිරිස වැඩි නිසයි. මේ රජකමින් බැහැර වූ වෙනත් යහපත් පැවැත්මක් නැද්ද?”

රජතුමා බොහෝ සෙයින් කල්පනා කළා. රජතුමාට වනාන්තරයේ වැඩසිටින ශ‍්‍රමණයන් වහන්සේලා මතක් වුණා. රජතුමා රජකම අත්හැරියා. ශ‍්‍රමණයන් වහන්සේ නමක් වුණා. මහා වනයට වැඩියා. හුදෙකලාවේ බණ භාවනා කළා. සුළු කලකින් පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා. මංජූසක රුක් සෙවණේදී අනිත් පසේබුදුවරයන් වහන්සේ මෙය විමසද්දී මෙම උදාන ගාථාවෙන් පිළිතුරු දුන්නා.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ප්‍රථම වශෙයන් නවාංග සත්ථු සාසනය යනු කුමක්දැයි හැදින ගත යුතුය. සුත්ත - ගෙය්‍ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම -වේදල්ල යනුවෙන් ධර්මය ප්‍රධාන වශෙයන් කොටස් 9කට බෙදා විස්තර කිරීම මෙහිදී දැක ගත හැකිය. ඒ මෙසේය

මහණෙනි , පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයේ පැහැදිලිව දකින්නට සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත් ;

සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන නොලත් අල්පශැතයා, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් අල්පශැතයා , සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන නොලත් බහුශ්‍රැතයා, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන ලත් බහුශ්‍රැතයා ,

1. මහණෙනි , සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන නොලත් අල්පශැතයා යනු කවුද ? මහණෙනි , මෙහිලා කිසියම් පුද්ගලයකු විසින් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා , උදාන , ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ සාසනය අල්ප වශයෙන් අසන ලද්දේ වෙයි. ඒ තැනැත්තා අල්ප වශයෙන් ඇසූ ඒ කරුණු පිළිබඳව තේරුම් නොගෙන , ඒ ධර්මය වටහා නොගෙන , ධර්මානුකූල ජීවිතයකට නොබැස ගත්තේ වෙයි. මහණෙනි , මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් අල්පශැතයෙක් වෙයි.

2. මහණෙනි , සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් අල්පශැතයා යනු කවුද ? මහණෙනි , මෙහිලා කිසියම් පුද්ගලයෙක් විසින් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා , උදාන , ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ සාසනය අල්ප වශයෙන් අසන ලද්දේ වෙයි. ඒ තැනැත්තා අල්ප වශයෙන් ඇසූ ඒ කරුණු පිළිබඳව තේරුම් ගෙන, ඒ ධර්මය වටහා ගෙන , ධර්මානුකූල ජීවිතයකට බැසගත්තේ වෙයි . මහණෙනි , මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන ලත් අල්පශැතයෙක් වෙයි .

3. මහණෙනි , සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන නොලත් බහුශ්‍රැතයා යනු කවුද ? මහණෙනි , මෙහිලා කිසියම් පුද්ගලයෙක් විසින් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා , උදාන , ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ සාසනය බොහෝ කොට අසන ලද්දේ වෙයි. ඒ තැනැත්තා බොහෝ කොට ඇසූ ඒ කරුණු පිළිබඳ ව තේරුම් නොගෙන, ඒ ධර්මය වටහා නොගෙන , ධර්මානුකූල ජීවිතයකට නොබැස ගත්තේ වෙයි . මහණෙනි , මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන නොලත් බහුශ්‍රැතයෙක් වෙයි.

4. මහණෙනි , සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන ලත් බහුශ්‍රැතයා යනු කවුද ? මහණෙනි , මෙහිලා කිසියම් පුද්ගලයෙක් විසින් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා , උදාන , ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ සාසනය බොහෝ කොට අසන ලද්දේ වෙයි. ඒ තැනැත්තා බොහෝ කොට ඇසූ ඒ කරුණු පිළිබඳ ව තේරුම් ගෙන , ඒ ධර්මය වටහා ගෙන , ධර්මානුකූල ජීවිතයකට බැසගත්තේ වෙයි. මහණෙනි , මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් බහුශ්‍රැතයෙක් වෙයි.

මහණෙනි , මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි දකින්නත් සිටිති .

(ගාථා)

1. ඉදින් ධර්මය අසන ලද්දේ ත් අල්ප වශයෙන් නම් , සීලය ත් නොපුරයි නම්, ඒ තැනැත්තා සීලයෙනුත්, ශැතයෙනුත් යන මේ දෙඅංශයෙන් ම ගැරහීමට ලක් වෙයි.

2. ඉදින් ස්වල්පයක් නමුත් ධර්මය අසන ලද්දේ නම් , සීලය ත් පුරයි නම් ඒ තැනැත්තා සීලයෙන් ප්‍රශංසා ලබන්නේ වෙයි. එනමුදු ශ්‍රැතය සම්පූර්ණ වී නැත.

3. ඉදින් යමෙක් බොහොඉ කොට ධර්මය අසන ලද්දේ ද, එහෙත් සිල් නොපුරයි ද, ඔහු සීලය සම්බන්ධයෙන් ගැරහුම් ලබයි . ශ්‍රැතය සම්පූර්ණ වී ඇත්තේ ය .

4. ඉදින් යමෙක් බොහෝ කොට ධර්මය අසන ලද්දේ ද, සීලය පුරන්නේ ත් වෙයි ද, සීලයෙනුත් ශ්‍රැතයෙනුත් යන මේ දෙඅංශයෙන් ම ඔහු ප්‍රශංසාවට බඳුන් වෙයි.

5. බහුශ්‍රැත වූ, ධර්මධර වූ, ප්‍රඥා සම්පන්න වූ බුද්ධ ශ්‍රාවකයා ඉතා දිළිසෙන වටිනා රනක් මෙන් බබළයි. ඒ ශ්‍රාවකයා හට ගරහන්නට කවරෙකුට නම් හැකි වෙයි ද ? ඔහුට දෙවියෝ පවා ප්‍රශංසා කරති. බ්‍රාහ්මරාජයා විසිනුත් පසසන ලද්දේ ය.

සාදූ ! සාදූ !! සාදූ !!!

අප්පස්සුත සූත්‍රය

සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකාය - 2 (චතුක්ක නිපාතය) (1.1 භණ්ඩගාම වර්ගය)

අල්පශැත භාවය ගැන වදාළ දෙසුම

"https://si.wikipedia.org/w/index.php?title=නවාංග_සාත්‍රෘ_සාසනය&oldid=420749" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි