දකුණු ආසියාවේ ප්‍රතිමා කලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ලෝකඩ විෂ්ණු ප්‍රතිමාවක්
රිෂාභනාථ, පාර්ශ්වනාථ, නේමිනාථ සහ මහාවීර යන ජිනවරුන් සිව්දෙනා නිරූපිත ජෛන පූජාසනයක්; 6වන සියවස
එලිෆන්ටා ලෙන්වල දක්නට ඇති දැවැන්ත ත්‍රිමූර්ති
ශ්‍රවණබෙලගෝලාවේ පිහිටි අඩි 57ක් උසැති ඒකශෛලමය ගොම්මතේශ්වර ප්‍රතිමාව, 10වන සියවස

පළමු හඳුනාගත් ඉන්දියානු උපමහාද්වීපයේ ප්‍රතිමා හමුවන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙනි (ක්‍රි.පූ. 3300–1700). මේවා වර්තමාන පාකිස්ථානයට අයත් මොහෙන්ජො-දාරෝ සහ හරප්පා යන ස්ථානවලින් හමුවේ. මේ අතරට මොහෙන්ජො-දාරෝවේ සුප්‍රකට කුඩා ලෝකඩ නළඟන ප්‍රතිමාව ද වේ. කෙසේනමුත් මෙවැනි ලෝකඩ සහ ශෛලමය ප්‍රතිමා විරළ අතර, මැටියෙන් තැනූ රූප සහ ශෛලමය මුද්‍රා බහුලව දක්නට ලැබේ. මෙම මුද්‍රා තුළ සත්ත්ව රූප හෝ දේවතා රූප සියුම් ලෙස කැටයම් කොට ඇත‍. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් පසු, බෞද්ධ යුගය තෙක්ම ප්‍රතිමා පිළිබඳ හමුවන්නේ සාධක අල්ප වූ සංඛ්‍යාවකි. මේ අතරට දායිමාබාද් වලින් හමුවූ ක්‍රි.පූ. 1500ට අයත් යැයි සැලකෙන ලෝකඩ රූප (තරමක් මතභේදාත්මක ය) අයත් වේ.[2] මේ නිසා ඉන්දියානු ශෛලමය ස්මාරක ප්‍රතිමා ශිල්පයේ මහා සම්ප්‍රදාය ඇරඹෙන්නේ සාපේකෂව පසුකලෙක බව පෙනේ. මෙය ක්‍රි.පූ. 270 සිට 232 දක්වා වූ අශෝක අධිරාජයාගේ සමයේ සිදු විය. ඉන්දියාව පුරාම පිහිටුවන ලද ඔහුගේ රාජාඥාවන් ඇතුළත් අශෝක ස්තම්භවල ශීර්ෂයෙහි සිංහ රූප ඇතුළු ප්‍රකට සත්ත්ව රූ දැකගත හැක. මේ අතරින් වර්තමානයේ ශේෂව ඇත්තේ සයක් පමණි.[3] අලංකාර ප්‍රතිමා, බොහෝවිට උන්නත කැටයම් ස්වරූපයෙන් විශාල පරිමාණයෙන් හමුවන්නේ මුල්කාලීන බෞද්ධ ස්තූපවලිනි. මේ අතරින් සාංචි ස්තූපයට වැදගත් ස්ථානයක් හමුවේ; මේවා දැව භාවිතයෙන් සිදුකළ නිර්මාණ සම්ප්‍රදායයන්ගෙන් සම්භවය වන්නට ඇතැයි සැලකේ. මෙම සම්ප්‍රදාය පසුව හින්දු ආගම විසින් ද අනුගමනය කරන ලදී.[4]

ක්‍රි.පූ. 2වන සිට 1වන සියවස දක්වා කාලයේ උතුරුදිග ඉන්දියාවේ වර්තමාන දකුණු ඇෆ්ගනිස්ථානය සහ උතුරු පාකිස්ථානයට අයත් භූමියේ ගන්ධාරය තුළ ග්‍රීක-බෞද්ධ කලාව උච්චත්වයට පත් විය. මෙකල බුදුන් වහන්සේගේ දිවියේ සිදුවීම් සහ ඉගැන්වීම් කැටයම් කිරීම සිදු විය. ඉන්දියාව සතුව විශිෂ්ට ප්‍රතිමා සම්ප්‍රදායයක් පැවතිය ද, ග්‍රීක-බෞද්ධ යුගය තෙක්ම බුදුන් වහන්සේගේ රුව මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපණය කිරීමක් සිදු නොවී ය. මීට පෙර උන් වහන්සේගේ රුව සංකේතවත් කොට තිබුණේ සංකේත අනුසාරයෙනි. මෙය බොහෝ විට නූතන ඇෆ්ගනිස්ථානයේ ගන්ධාර බෞද්ධ ප්‍රතිමා තුළින් ග්‍රීක සහ පර්සියානු කලා ආභාසයන් නිරූපණය වීමට හේතු වන්නට ඇත. කලාත්මක ලක්ෂණ සැලකූ විට, ගන්ධාර ගුරුකුලයේ ප්‍රතිමාවල තරංගාකාර හිසකෙස්, දෙඋර වැසූ චීවරය, පාවහන් සහ මිරිවැඩි, ඇකැන්තස් පත්‍ර මෝස්තර වැනි අංග දැකගත හැක.

රෝස වැලිගලෙන් කළ ක්‍රි.ව. 1 සිට 3වන සියවස් දක්වා කාලයට අයත් මථුරාවේ බෞද්ධ, හින්දු සහ ජෛන ප්‍රතිමා තුළින් ස්වදේශික ඉන්දියානු කලා සම්ප්‍රදායයන් සහ ගන්ධාරයේ ග්‍රීක-බෞද්ධ කලාවෙහි දක්නට ලැබෙන බටහිර ආභාසයන්ගේ සම්මිශ්‍රණයක් දැකගත හැක. මෙය පසුව ඉන්දියානු ආගමික ප්‍රතිමා සම්ප්‍රදාය සඳහා පදනම දැමී ය.[5] මෙම කලා සම්ප්‍රදාය ගුප්ත අධිරාජ්‍යය (ක්‍රි.ව. 320-550 පමණ) යටතේ සංවර්ධනය වී ඉන්දියාව පුරාම ව්‍යාප්ත විය. මෙම යුගය ඉන්දියානු ප්‍රතිමා කලාවේ "සම්භාව්‍ය" යුගයක් ලෙස සැලකේ. මෙම යුගය තුළ මුල්කාලීන එල්ලෝරා ලෙන්[6] සහ තරමක් පසුකාලීන එලිෆන්ටා‍ ලෙන් කැටයම් නිර්මාණය විය.[7] පසුකාලීනව හමුවන දැවැන්ත ප්‍රතිමා අතිශයින් ආගමික ස්වරූපයක් ගන්නා අතර, සාමාන්‍යයෙන් තරමක් සම්ප්‍රදායික අයුරින් නිර්මාණය කොට ඇති ඒවා වේ. මේවායේ බොහෝ විට දෙවිවරුන්ගේ සරල හිඳි ඉරියව්, ලාලිත්‍යමය ස්වරූපයෙන් යුත් අප්සරා රූ සහ යක්ෂි රූ වැනි පරිවාර කැටයම් දැකගත හැක. කැටයම් අතිශයින් විස්තරාත්මක වූ අතර, අධි උන්නත ස්වරූපයෙන් යුත් ප්‍රධාන රුවේ පසුබිම ඉන් අලංකාර කෙරිණි. දකුණු ඉන්දියාවෙන් හමුවන චෝළ රාජවංශයට (ක්‍රි.ව. 850–1250 පමණ) අයත් ලෝකඩ ප්‍රතිමා බොහෝවිට ආගමික පෙරහැරවල් සඳහා භාවිතා වී ඇත. මේ අතර ශිව දෙවියන්ගේ නටරාජා ස්වරූපය බහුලව දක්නට ලැබේ.[8] පල්ලව රාජවංශයට අයත් දැවැන්ත ග්‍රැනයිට් කැටයම් මහාබලිපුරම් ප්‍රදේශයේ දැකගත හැක.[9]

ග්‍රීක-බෞද්ධ කලාව[සංස්කරණය]

ග්‍රීක-බෞද්ධ කලාව යනුවෙන් හැඳින්වෙන්නේ ග්‍රීක-බුදු දහමේ කලාත්මක නිරූපණයයි. මෙය පුරාතන ග්‍රීක සංස්කෘතියේ සහ බුදු දහමේ සංස්කෘතික සංකලනයකි. මෙය ක්‍රි.පූ. 4වන සියවසේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ආක්‍රමණ සමයේ සිට ක්‍රි.ව. 7වන සියවසේ ඉස්ලාමික ආක්‍රමණ සමය තෙක් වසර දහසක් පමණ මධ්‍ය ආසියාවේ වර්ධනය වෙමින් පැවති අංගයකි. ග්‍රීක-බෞද්ධ කලාව හෙලනිස්තික කලාවේ යතාර්ථවාදී ස්වරූපයෙන් යුතුව, ප්‍රථම වරට බුදුන් වහන්සේගේ රුව මනුෂ්‍ය ස්වරූපයෙන් මූර්තිමත් කළේ ය. මෙය වර්තමානය දක්වාම ආසියානු මහාද්වීපයේ බෞද්ධ කලාව සඳහා කලාත්මක පූර්වාදර්ශය සැපයී ය. දින නිර්ණය අවිනිශ්චිත වුවත්, මධ්‍යධරණී පෙදෙස්වල හෙලනිස්තික කලාව පරිහානියට පත්ව තිබූ සමයේ පවා ක්‍රි.ව. 5වන සියවස පමණ තෙක් සියවස් කිහිපයක් ආසියානු ප්‍රදේශවල මෙම කලාව වැජඹිණි. ග්‍රීක-බෞද්ධ ප්‍රදේශවල ග්‍රීක කලාවේ ඇතැම් අංග උකහා ගැනීම සිදු විය. විශේෂයෙන්ම එක් පාදයක් නිදහස්ව තබාගෙන සිටගෙන සිටීමේ සිටි ඉරියව්ව, පියාඹන අනංගයින් සහ දේවතා රූප වැනි අංග මේ අතර ප්‍රමුඛ වේ. මෙම පියාඹන දේවතා රූ ආසියාව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත්වූයේ අප්සරා රූ ලෙසිනි. ග්‍රීක පත්‍ර මෝස්තර ද අතිශයින් ප්‍රචලිත වූ අතර, කොරින්තියානු කුළුණු හිස්වල ඉන්දියානු ප්‍රභේද බිහි විය.[10]

ග්‍රීක-බෞද්ධ කලාවේ සම්භවය හෙලනිස්තික ග්‍රීක-බැක්ට්‍රීය රාජධානියේ (ක්‍රි.පූ. 250 – ක්‍රි.පූ. 130) සිදුවී යැයි සැලකේ. මෙය වර්තමාන ඇෆ්ගනිස්ථානයට අයත් භූමි භාගයේ පිහිටා තිබූ අතර, හෙලනිස්තික සංස්කෘතිය ඉන්දියානු සංස්කෘතිය වෙත සම්ප්‍රේෂණය වූයේ කුඩා ඉන්දු-ග්‍රීක රාජධානිය (ක්‍රි.පූ. 180-10) ඔස්සේ ය. ඉන්දු-ග්‍රීකවරුන් සහ අනතුරුව කුෂාණයින් යටතේ ග්‍රීක සහ බෞද්ධ සංස්කෘතියේ අන්තර් සම්බන්ධතා ඉහළින්ම වැජඹුණු ප්‍රදේශයක් වූයේ වර්තමාන උතුරු පාකිස්ථානයට අයත් ගන්ධාරයයේ ය. එය තවදුරටත් ඉන්දියාව තුළට ව්‍යාප්ත වීමට පෙර මථුරාවේ කලාව සහ අනතුරුව ගුප්ත අධිරාජ්‍යයේ හින්දු කලාව ගිනිකොනදිග ආසියාව වෙත ව්‍යාප්ත විය. ග්‍රීක-බෞද්ධ කලාවේ ආභාසය උතුරු දෙසින් මධ්‍ය ආසියාව වෙත ව්‍යාප්ත වූ අතර, තරීම් ද්‍රෝණියේ සහ දුන්හුවාං ලෙන්වල කලාව කෙරෙහි බලපෑවේ ය. අවසානයේ එය චීනය, කොරියාව සහ ජපානය කරා ද ව්‍යාප්ත විය.[11]

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "World Heritage List: Konark". UNESCO. Retrieved 25 October 2012.
  2. Harle, 17–20
  3. Harle, 22–24
  4. Harle, 26–38
  5. Harle, 26–38
  6. Harle, 87; his Part 2 covers the period
  7. Harle, 124
  8. Harle, 301-310, 325-327
  9. Harle, 276–284
  10. Boardman, 370–378; Harle, 71–84
  11. Boardman, 370–378; Sickman, 85–90; Paine, 29–30

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Boardman, John ed., The Oxford History of Classical Art, 1993, OUP, ISBN 0198143869
  • Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn. 1994, Yale University Press Pelican History of Art, ISBN 0300062176
  • Paine, Robert Treat, in: Paine, R. T. & Soper A, The Art and Architecture of Japan, 3rd ed 1981, Yale University Press Pelican History of Art, ISBN 0140561080
  • Sickman, Laurence, in: Sickman L & Soper A, The Art and Architecture of China, Pelican History of Art, 3rd ed 1971, Penguin (now Yale History of Art), LOC 70-125675

වැඩිදුර කියවීමට[සංස්කරණය]