හුයි-බින් ජෑං

විකිපීඩියා වෙතින්
(ජෑං ඔක්-ජොං වෙතින් යළි-යොමු කරන ලදි)
හුයි-බින් ජෑං, ජොසොන්හි රාජකීය වංශවත් බිසව
රාජකීය වංශවත් බිසව ශ්‍රේණිය 1
ධුරකාලයදෙසැම්බර් 1686 - අප්‍රේල් 1688
1694 - නොවැම්බර් 1701
ජොසොන්හි අගබිසව
නිල කාලයමැයි 1688 - 1694 (වර්ෂ 6)
උපත3 නොවැම්බර් 1659
දකුණු කොරියාව
මරණය9 නොවැම්බර් 1701 (42 වියේදී)
ච්වි සොන් දං, චංදොක්ගුං, දකුණු කොරියාව
භූමදානයදේබින්ම්යෝ, සියෝර්යොං, ගෝයැං, ග්යොංගි
වල්ලභයාජොසොන්හි සුක්ජොං රජු
දරුවන්ජොසොන්හි ග්යොංජොං රජු, ජොසොන්හි යි සොංසු කුමරු
පියාජෑං හ්යොං
මවයුන් මැතිණිය
හුයි-බින් ජෑං
හංගුල්희빈장씨
හන්ජා禧嬪張氏
ප්‍රතිශෝධිත රෝමානුකරණයහුයිබින් ජැංසි
මැකූන්–‍රයිෂවර්හූයිබින් චෑංසි
උපන් නාමය
හංගුල්장옥정
හන්ජා張玉貞
ප්‍රතිශෝධිත රෝමානුකරණයජෑං ඔක්-ජොං
මැකූන්–‍රයිෂවර්චෑං ඔක්-චෝං

හුයි-බින් ජෑං (3 නොවැම්බර් 1659 – 9 නොවැම්බර් 1701) හෙවත් ඉන්දොං ජෑං වංශයේ රාජකීය වංශවත් හුයි බිසව යනු ජොසොන් රාජවංශයේ වඩාත් සුප්‍රකට රාජකීය උපබිසෝවරුන් අතරින් අයෙකි.

චරිතාපදානය[සංස්කරණය]

ඇගේ පෞද්ගලික නාමය ජැං ඔක්-ජොං (හංගුල්:장옥정; හන්ජා:張玉貞) විය. ඇය ජැං හ්යොං (හංගුල්:장형;හන්ජා:張炯) සහ ඔහුගේ දෙවන බිරිඳ වූ පප්යොං යුන් වංශයේ යුන් මැතිණියගේ දියණියයි. ඇය ජොසොන් රාජ්‍යයේ අතිශය රූමත් කාන්තාවන්ගෙන් අයකු යැයි සැලකෙන අතර, ඇගේ කාන්තිය වාර්ෂික වාර්තාවල ද සඳහන් කොට තිබේ. ඇය අයත් වූයේ චුංගින් හෙවත් මධ්‍යම පන්තියටයි.

දොංප්යොං කුමරුගේ (සුක්ජොං රජුගේ වරක් ඉවත් කළ පළමු මස්සිනායි) නිර්දේශය මත ඔක්-ජොං පළමුව ජංන්‍යොල් (ඉන්ජෝ රජුගේ දෙවන අගබිසව) ප්‍රධාන මව්බිසවගේ පරිවාර පාලිකාවක් ලෙස පත්කෙරිණි. සිය සුළු-මී-මිත්තණිය (ජංන්‍යොල් ප්‍රධාන මව්බිසව) හමුවීමට ගිය ගමනක දී, සුක්ජොං රජු ඔක්-ජොංව දැක ඇයට ප්‍රසාදය ලත් සං-ගූං තනතුර ලබාදුන්නේ ය. නමුත් රජු ඇයට ප්‍රියකළ ද, ඇය සහ ඇගේ පවුල ප්‍රතිපාක්ෂික සොරොන් පක්ෂයට අයත් වූ නිසාත්, මව්බිසව (සුක්ජොංගේ මව) නොරොන් පාක්ෂිකාවක වූ නිසාත්, ඇය රජුව පොළඹවාවි යන බියෙන් යුතුව ඔක්-ජොංව මාලිගයෙන් පිටුවහල් කරන ලදී. 1683දී මව්බිසව මියයන තෙක්ම ඇය මාලිගයෙන් පිටත රැඳී සිටි අතර, පසුව ඉන්හ්යොන් අගබිසව (සුක්ජොංගේ නීත්‍යානුකූල බිසව) විසින් ඇයට නැවත මාලිගයට පැමිණීමට අවසර දෙන ලදී. 1686දී ඇය සුක්ජොංගේ උපබිසවක් බවට පත්ව සුක්-වොන් (숙원, 淑媛) තනතුරට පත්වූවා ය.[1] 1688දී, ඇයව සෝ-උයි (소의, 昭儀) තනතුරට උසස් කරන ලද්දේ පුත්‍රයකුට (අනාගත ග්යොංජොං රජු) පසුව වූ අතර එම වසරේම ඉන්හ්යොන් අගබිසව මාලිගයෙන් පිටුවහල් කරන ලදී. මෙම සිද්ධියෙන් පසු, 1688දී, ඇයව නැවත තනතුරින් උසස් කොට "රූමත්" යන අරුතැති "හුයි" යන උපසර්ගය සමග බින් ( 빈, 嬪) යන උපබිසෝ තනතුරට උසස් කෙරිණි. අවසානයේ ඇයව අගබිසවගේ තනතුරට උසස් කෙරිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගිසා හ්වංගුක් නැමැති රුධිර වැගිරීම්වලින් යුත් අරගලයක් ඇති විය.[2]

සුක්ජොං රජුට සිය සිහසුනට අනුප්‍රාප්තිකයකු පත් කිරීමට කල්පනා කළේ විය. ඒ නිසා සුක්ජොං සිය වැඩිමහල් පුතු වූ ජැං හුයි-බින්ගේ පුත් ග්යොංජොංහට කිරුළහිමි කුමරු තනතුර ලබාදීමට අදහස් කළේ ය. නමුත් ග්යොංජොං උපබිසවකට දාව උපත ලද නිසා මෙය සිදුකළ නොහැකි විය. මේ හේතුවෙන් සුක්ජොං රජු එකල පැවති සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඉන්හ්යොන් අගබිසවට ජැං හුයි-බින්ගේ දරුවාව හදාගන්නා ලෙස පැවසී ය. ග්යොංජොං උපත ලද සමයේ ඉන්හ්යොන් අගබිසව තවමත් 21වන වියේ පසු වූ නිසා, රාජසභාව ද මෙම නුසුදුසු පත්කිරීමට විරෝධය පෑහ. ඉන්හ්යොන් අගබිසව ග්යොංජොංව සිය පුතු ලෙස හදාවඩා ගැනීම ප්‍රතික්ෂේප කළ බැවින්, ඇයව දේශපාලන උපායයක් මගින් ධුරයෙන් පහ කෙරිණි. මේ අරගලය හේතුවෙන් අගබිසව තනතුරින් නෙරපා හැරියා පමණක් නොව, සොඉන්හි රාජ්‍ය නිලධාරීන්වද පිටුවහල් කොට වස ලබා දෙන ලදී. එසේම නොරොන් පක්ෂයේ නායකයා ඝාතනය වූ අතර අගබිසවගේ පියාව ද පිටුවහල් කොට පසුව මරණයට පත්කෙරිණි. මෙම මෙම කැළඹීම ගිසා සහ්වා ලෙස හඳුන්වයි. අනතුරුව ජෑං හුයි-බින් උපබිසව අගබිසවගේ තනතුරට පත්කෙරුණු අතර, නාමින් පක්ෂය මාලිගයේ බලයට පත් වූහ.[3]

පසුකලෙක 1694දී, ජෑං හුයි-බින් කෙරෙහි රජුගේ ප්‍රසාදය හීන විය.[4] රජුට නාමින් පක්ෂය අප්‍රිය වූ අතර, ජෑං පවුලේ බලය වර්ධනය විය. එසේම ඔහු ඉන්හ්යොන් අගබිසවගේ විවෘත ආධාරකාරියක වූ චෝයි ආර්යාවට (පසුව සුක්-බින් චෝයි), එනම් යෝනිංගූම් (අනාගත රජ යොංජෝ) කුමරුගේ මෑණියන්ට ප්‍රියකරන්නට විය. ඔහු ක්‍රමයෙන් ජෑංව ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ය. පළමුව, ඔහු අගබිසවගේ සොයුරා සහ ඇගේ පක්ෂයේ නායකයින්ව ඉත් කිරීමට කටයුතු කළේ ය. අනතුරුව ඉන්හ්යොන් අගබිසව නැවත මාලිගයට කැඳවී ය. ඉන්හ්යොන් අගබිසව මුලින් අන්දොංහි කුඩා මාලිගයකටත්, අනතුරුව මල්බෙරි මාලිගයටත් අවසානයේ ප්‍රධාන මාලිගයටත් රැගෙන යන ලදී.

හිටපු අගබිසව වූ ජෑං ඔක්-ජොංව නැවත හුයි-බින් උපබිසෝ තනතුර තෙක් පහත හෙළිණි. ඇගේ සේවිකාවක නොරොන් නායකයකුගේ වහලෙකුගේ නාම හැඳුනුම් ඵලකයක් සොරකම් කොට එය ජෑං හුයි-බින්ගේ පියාගේ සොහොන අසල වළලා එය නොරොන්වරුන් බලයට පත්වීමට කළ හූනියමක් ලෙස ප්‍රසිද්ධ කළා ය. මේ පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසු, රජු මේ ප්‍රයෝගය වටහා ගත් අතර, මාලිගයේ ඇතැම් උපදේශකයන් සමහරක් පිටුවහල් කිරීම හෝ මරණයට පත්කිරීමට පියවර ගත්තේ ය.[5]

1701දී, ඉන්හ්යොන් අගබිසව ‍හඳුනා නොගත් රෝගයකින් මියගියා ය. වාර්තා අනුව සුක්ජොං රජු විසින් ජෑං හුයි-බින් ඇගේ කුටිය තුළ යකැදුරුවරියක සමග අගබිසව මැරීමට ශාපකරමින් හූනියමක් කළ බව සොයාගෙන ඇත.[6] ඇය කිරුළහිමි කුමරුගේ මව වීම නිසා ඇගේ පක්ෂයෙන් ඇයට සමාව දෙන ලෙස රජුට නොයෙකුත් ආයාචනා කළ නමුත්, රජු ඇය, ඇගේ මව සහ සොහොයුරා ඇතුළු සහායකයින් සියල්ල මරාදැමීමට නියෝග කළේ ය. කෝපයෙන් යුතුව, රජු ඇගේ ඥාතීන් සහ ආධාරකරුවන් පිළිබඳ විමර්ශනය කොට ඔවුනට ද මරණ දඬුවම ලබා දෙන ලදී. අගේ පක්ෂය ඇයට සමාව දෙන මෙන් රජුට පෙත්සම් ඉදිරිපත් කළ ද ඔවුට ප්‍රතිචාර ලෙස රජු සොරොන් (ඇගේ පක්ෂය) නායකයින් මරාදමුවේ ය. මෙම සිදුවීමේ දී පුද්ගලයින් 1700ක් මිය යන ලදී.[5] කිරුළහිමි කුමරු පිළිබඳ සිතා ජෑං හුයි-බින්ට වසදී මරණයට පත් කිරීමට වූ දඬුවමට විරුද්ධ වූ මාලිග සේවකයින්ව පිටුවහල් කරන ලදී.[7] මීට සමගාමීව, සිය විසි හත්වන රාජ්‍ය වර්ෂයේ දසවන මාසයේ හත්වන දිනයේ (1701 නොවැම්බර් 7) සුක්ජොං රජු උපබිසෝවරුන්ව අගබිසවක් දක්වා උසස් විය නොහැකි ලෙස නීතියක් ප්‍රකාශයට පත්කළේ ය. 1701 නොවැම්බර් 9වන දින ජෑං හුයි-බින් (10වන චන්ද්‍ර මාසයේ 10වන දිනයේ) චංදොක් මාලිගයේ ඇගේ පෞද්ගලික නවාතැන වූ ච්වි සොන් දං තුළ දී වස පානය කොට මරණයට පත් කෙරිණි. එවිට ඇය 42 වියේ පසුවූවා ය.

අගබිසෝ තනතුර වෙනුවෙන් දැක් වූ අධික බල තණ්හාව හේතුවෙන් ජෑං හුයි-බින් ප්‍රකට වූවා ය. ඇතැමුන් පවසන්නේ ඇය එකල පැවති දේශපාලන අරගලයක පීඩිතයකු බවයි. බිඳවැටෙමින් තිබූ පක්ෂයක සාමාජිකාවක් ලෙස ඇගේ කථාව පසුව විකෘති කොට රචනා කරන්නට ඇත. එවැනි එක් කථාවක් ලෙස ඇය ඇගේ පුතුට (කිරුළ හිමි කුමරු (අනාගත ග්යොංජාං රජු)) දරුණු ලෙස තුවාල කළ නිසා ඔහුට උරුකරුවකු බිහිකළ නොහැකි වූ බවට වූ කථාන්දරය දැක්විය හැක.[8]

ඇගේ දේහය සියෝර්යුංහි දේබින්ම්යෝ සොහොන්ගැබෙහි භූමදාන කරන ලදී.[9][10] (ලිපිනය: 334-92, සියෝර්යුං-රෝ, දෝග්යැං-ගු, ගෝයැං-සි, ග්යොංගි-දෝ) මුලින් ඇයව භූමදාන කළේ මුන්හ්යොං-රි, ඔපෝ-ම්යොන්, ග්වංජු-ගුන්, ග්යොංගි-දෝහි ය. 1969 ජූනි මස එය දේබින්ම්යෝ වෙත ගෙන යන ලදී.[11] ඇගේ අනුස්මරණ ඵලකය චිල්ගුංහි දේබිගුං හෙවත් "රාජකීය උපබිසවගේ 7වන මාලිගයේ" තැන්පත් කරන ලදී.

එසේවුවද, ඇය කිරුළහිමි කුමරුගේ මෑණියන් වූ නිසා, ඇයට "ඔක්සන් ආර්යාව, මාලිගයේ මහා උපබිසව; ඉන්දොං ජං වංශයේ ප්‍රාන්ත මහා උපබිසව" (대빈궁옥산부대빈장씨 大嬪宮玉山府大嬪張氏) යන මරණාපර නාමය ලබා දෙන ලදී.

පෙළපත[සංස්කරණය]

දරුවන්[සංස්කරණය]

ජෑං හීබින් බිසව සුක්ජොං රජුට දාව පුතුන් තිදෙනකු වැදුවා ය:

  • කිරුළහිමි යි යුන් කුමරු, පසුව ග්යොංජොං රජු බවට පත් විය.
  • යි සොංසු කුමරු (성수왕자) - මතභේදාත්මක ය.

තනතුරු[සංස්කරණය]

  • 1659 - 1686: ජෑං ඔක්-ජොං (장옥정).
  • 1686 - 1688: ජෑං සුක්‍-වොන් ආර්යාව, 4වන ශ්‍රේණියේ උපබිසව (장 숙원).
  • 1688: ජෑං සෝ-උයි ආර්යාව, 2වන ශ්‍රේණියේ උපබිසව (장 소의).
  • 1688: ජෑං හුයි-බින් ආර්යාව, ඉන්දොං ජැං වංශයේ රාජකීය වංශවත් හුයි බිසව (장 희빈).
  • 1688 මැයි - 1694: බු-ඔක් අගබිසව, ජොසොන්හි අගබිසව, ධුරයෙන් පහකෙරිණි.
  • 1694 - 1701: ජෑං හුයි-බින් ආර්යාව (장 희빈) ලෙසට ධුරයෙන් පහත හෙළිණි.

ඇගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • ඔක්සන් ආර්යාව, මාලිගයේ මහා උපබිසවඉන්දොං ජං වංශයේ ප්‍රාන්ත මහා උපබිසව
  • 대빈궁옥산부대빈장씨
  • 大嬪宮玉山府大嬪張氏

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

  • කිම් ජි-මී විසින් 1961 චිත්‍රපටයක් වූ ජෑං හුයි-බින් තුළ,[12]
  • නම් ජොං-ඉම් විසින් 1968 චිත්‍රපටයක් වූ ෆෙම් ෆැටල්, ජෑං හී-බින් තුළ,[13]
  • යෝන් යුහ්-ජුං විසින් 1971 MBC නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ ජෑං හුයි-බින් තුළ,[14]
  • ලී මි-සූක් විසින් 1981 MBC නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ විමෙන් ඉන් හිස්ට්‍රි: ජෑං හුයි-බින් තුළ[14]
  • ජොන් ඉන්-හ්වා විසින් 1988 MBC නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ක්වීන් ඉන්හ්යොන් තුළ[14]
  • ජුං සුන්-ක්යුං විසින් 1995 SBS රූපවාහිනී කතාමාලාවක් වූ ජෑං හුයි-බින් තුළ,[14]
  • කිම් හ්යේ-සූ විසින් 2002 KBS2 නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ රෝයල් ස්ටෝරි: ජෑං හුයි-බින් තුළ,[14][15]
  • ලී සො-යොන් විසින් 2010 MBC නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ දොං යි තුළ,[16]
  • චෝයි වූ-රි විසින් 2012 tvN නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ ක්වීන් ඉන්-හ්යුන්’ස් මෑන් තුළ,
  • කිම් තේ-හී විසින් 2013 SBS නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව් තුළ,[17]
  • ෂින්හ්වා නැමැති පොප් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් විසින් jTBC නාළිකාවේ විවිධාංග වැඩසටහනක් වූ ෂින්හ්වා බ්‍රෝඩ්කාස්ට් තුළ හාස්‍යානුකරණය කොට ඇත.[18]
  • ඕ යොන්-ආ විසින් 2015 SBS නාළිකවේ රූපවාහිනී කතාමාලාවක් වූ "ජැක්පොට්" වැනි නිර්මාණ තුළ ඇගේ චරිතය නිරූපණය කොට ඇත.

අමතර තොරතුරු[සංස්කරණය]

ජෑංගේ මව, යුන් මැතිණිය[සංස්කරණය]

ජෑං හුයි-බින්ගේ මව වූ යූන් මැතිණිය පප්යොං යුන් වංශයට අයත් වූවා ය. පාජු නගරයේ, පප්යොං-ම්‍යොන් වාසස්ථාන කරගත් පප්යොං (파평/坡平) යූන් වංශය, යුන් වංශ අතුරින් වඩාත්ම ප්‍රකට වංශයයි. මුල්කාලීන ජොසොන් යුගවලදී පප්යොං යුන් කාන්තාවන් කිහිප දෙනකුම අගබිසෝ තනතුරට පත්ව ඇත. ඒ අතර පහත අය ප්‍රධාන වේ:

  • පප්යොං යුන් වංශයේ ජොංහුයි අගබිසව (정희왕후 윤씨) - සේජෝ රජුගේ අගබිසවයි.
  • පප්යොං යුන් වංශයේ මුන්ජොං අගබිසව (문정왕후 윤씨) - ජුංජොං රජුගේ අගබිසවයි.

මෙම වංශයේ ආරම්භක පූර්වජයා ලෙස සැලකෙන්නේ වංගොන් හට ගොර්යෝ රාජවංශය පිහිටුවීමට උපකාර කළ යුන් සින්-දල් සෙන්පතියායි.

ජෑංගේ සොහොන: දේබින්ම්යෝ[සංස්කරණය]

දේබින්ම්යෝ යනු ම්යෝ වර්ගයේ සො‍හොනකි. ඇයව මුලින් භූමදාන කෙරුණේ මුන්හ්යොං-රි ඔපො-ම්යොන් ග්වංජු-ගුන් ග්යොංගි-දෝ පෙදෙසේ ය. නමුත්රජයට නගරය පුළුල් කිරීමට අවශ්‍ය වූ බැවින් 1969 ජූනි මස දී එය දැන් පිහිටි ස්ථානයට රැගෙන විත් ඇත. ජෑං හුයි-බින්ගේ සොහොන්ගැබ වන දේබින්ම්යෝ පිහිටියේ ම්යොංර්යුං (명릉; ර්යුං යන්න රජුන්ගේ සහ රැජිනියන්ගේ සොහොන්ගැබ් සඳහා භාවිත වේ) සොහොන් පිහිටි සියෝර්යුං සොහොන් අතර ය. මෙම සොහොන් අතර සුක්ජොං රජු, ඉන්හ්යොන් අගබිසව, සහ ඉන්වොන් අගබිසවගේ සොහොන් ද ඇත. සොහොන්ගැබට පිටුපසින්, යිශාල ගලක් සහ පයින් ගසක් ඇති අතර, මෙම ගස ගල්පොත්ත පළුදු කරමින් වැඩී ඇත. මෙය ජෑං හුයි-බින්ගේ ශක්තිමත් බව නිසා සිදු වන බවට මතයක් පැතිරී ඇත. ඇතැම් කොරියානු වෙබ්අඩවි සඳහන් කොට ඇත්තේ ජෑං හුයි-බින් ශක්තිමත් කාන්තාවක වූ බැවින්, පෙම්වතකු සොයන තනිකඩ තරුණ කාන්තාවක් ජෑං හුයි-බින්ගේ සොහොන්ගැබ වෙත ගොස් වන්දනාමාන කළ විට ඇයට ඉක්මණින් පෙම්වතකු මුණගැසෙන බවයි.[19]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සුක්-වොන් යනු රජුගේ උපබිසවක් සඳහා වූ 8වන උසස්ම නිලයයි.
  2. http://academic.naver.com/view.nhn?doc_id=16555216&dir_id=0&page=0&query=Gisa%20Hwanguk&ndsCategoryId=10102&library=94
  3. https://archive.org/stream/historyofkorea02hulbuoft#page/156/mode/2up
  4. (ග්‍රන්ථය, ඊස්ට් ඒෂියා: අ කල්චරල්,‍ සෝෂියල්, ඇන්ඩ් පොලිටිකල් හිස්ට්‍රි, 3වැන්න පි. 255
  5. 5.0 5.1 https://archive.org/stream/historyofkorea02hulbuoft#page/160/mode/2up
  6. හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන්, පි.246
  7. ලී, බේ-යොං (ඔක්තෝබර් 20, 2008). විමෙන් ඉන් කොරියන් හිස්ට්‍රි. එව්හා වුමන්ස් යුනිවර්සිටි ප්‍රෙස්. pp. 109–111. ISBN 978-8973007721.
  8. ජැං "හුයි-බින්" දරුණු ලෙස දුර්වල ග්යොංජොංට පීඩා කළ අතර ඒ හේතුවෙන් ඔහු බෙලහීන පුද්ගලයකු බවට පත් විය. http://www.royalark.net/Korea/korea6.htm
  9. http://www.exploringkorea.com/daebinmyo-tomb-at-seooreung-tombs/
  10. http://www.gogung.go.kr/fgn/jsp/en/html/academic/academic4-2.jsp
  11. සියෝර්යුං සොහොන්වල දේබින්යෝ සොහොන්ගැබ http://www.exploringkorea.com/daebinmyo-tomb-at-seooreung-tombs/
  12. "ලේඩි ජෑං (ජෑංහුයිබින්) (1961)". කොරියන් මූවී ඩේටාබේස්. සම්ප්‍රවේශය 2013-01-26.
  13. "ෆෙම් ෆැටල්, ජෑං හී-බින් (යොහ්වා, ජෑං හී-බින්) (1968)". කොරියන් මූවී ඩේටාබේස්. සම්ප්‍රවේශය 2013-01-26.
  14. 14.0 14.1 14.2 14.3 14.4 '죽지 않는' 장희빈 벌써 9명, 김태희가 뒤 이을까. ඕමයිනිව්ස් (කොරියානු බසින්). 22 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 2013-01-26.
  15. "ටීවී ඩ්‍රාමාස් - ඇක්ට්‍රසස් ලයින් අප් ෆෝ අවෝඩ් සෙරමනි ටේක්ඕවර්". ද චෝසුන් ඉල්බෝ. 29 දෙසැම්බර් 2003. සම්ප්‍රවේශය 2013-04-02.
  16. ලී, ගා-ඔන් (7 මැයි 2010). "හන් හ්යෝ-ජූ සේස් ෂී "හෝල්ඩ් ෆාස්ට්" ටු හර් රෝල් ඉන් දොං යි". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-01-26.
  17. හෝ, ස්ටුවර්ට් (8 ඔක්තෝබර් 2012). "කිම් තේ හී කාස්ට් ඉන් හර් ෆස්ට් හිස්ටොරික් ඩ්‍රාමා, ජෑං ඔක් ජොං ඈස් ජොසොන් ඩයිනාස්ටි'ස් ඉන්ෆේමස් ලේඩි ජෑං හී බින්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-01-23.
  18. හොං, ග්‍රේස් ඩැන්බි (24 අගෝස්තු 2012). "ෂින්හ්වා ට්‍රාන්ස්ෆෝම්ස් ඉන්ටු රෝයල් කොන්ක්‍යුබයින්ස් ෆෝ ෂින්හ්වා බ්‍රෝඩ්කාස්ට්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2012-12-16.
  19. කිං සුක්ජොං ඇන්ඩ් ජෑං හී බින්’ස් ටූම්බ්ස් http://www.dramasrok.com/2010/06/king-sukjong-jang-hee-bins-tombs/

11. බුක් හිස්ට්‍රි ඔෆ් කොරියා ජෑං හී බින් https://archive.org/stream/historyofkorea02hulbuoft#page/156/mode/2up

"https://si.wikipedia.org/w/index.php?title=හුයි-බින්_ජෑං&oldid=473332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි