ජනමාධ්‍ය ආචාර ධර්ම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද විද්‍යුත් මාද්‍ය හේතු වේ. වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ත සමාජයට ප්‍රබල ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ සමාජ සංවිධානයන්හි ගරුත්වය (Reputation), සමාජ ආර්ථික බිඳ දැමීම් ද සිදු කරයි. යම් රටක හෝ සමාජයක සමාජ වගකීම් රහිත මාධ්‍ය පවතින විට ජනතාව රැක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකීම් ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද, ඒ දෙක අතර ප්‍රබල වෙනසක්් ද දක්නට ලැබේ. නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැත.

ආචාරධර්ම[සංස්කරණය]

ආචාරධර්ම යනු දර්ශන (Philosophy) විෂය තුළ සමාජ ක්‍රියා, සමාජ අන්තර්ක්‍රියා සහ මානසික සාධක පාදක කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. මෙය සදාචාරය පිළිබඳ මූලධර්ම පදනම්ව තාර්කීකරණය වී තිබේ. සදාචාරය සහ සාරධර්ම යනු එකිනෙකින් වියුක්ත කළ නොහැකි සංයුක්ත වූ සංකල්ප දෙකකි. ආචාර ධර්ම සහ එහි ක්‍රමවෙිදාත්මක ස්වරූප සෞන්දර්යවේදාත්මක දෘෂ්ටිය තුළ වුව ද ව්‍යුහගත කළ හැකි අතර එය සාරධර්මවේදය (Axiology) පිළිබඳ දර්ශනය ලෙස ද සැලකේ. මෙය කායික, මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් බව ද පැහැදිලි ය. ඒ අනුව මේ තුළින් සමාජ පද්ධතික ස්වරූපයක් මෙන්ම මූලධර්මීය (Principles) ලක්ෂණ ද ඉස්මතු වන බව පෙනේ. මෙම සාධක අනුව මෙහි සමාජ විද්‍යාත්මක කාරණා, මනෝ විද්‍යාත්මක කාරණා මෙන්ම ආගමික කාරණාවන් ද බද්ධ වී ඇති බැව් පැහැදිලිය. ආචාර ධර්ම පිළිබඳ දාර්ශනිකව සමාජය මෙහෙයවීම සොක්‍රටීස් (469 BC– 399 BC) විසින් සිදු කරනු ලබන්නේ ද මෙම පදනමෙහි පිහිටමිනි (Sahakian & Sahakian, 1993).

මෙම දාර්ශනික මත පිළිබඳ අවධානයේ දී ආචාර ධර්ම යනු දැනුම (Knowledge) පදනම් කොටගත් ක්‍රියාවලියක් වන බවත්, අනෙකුත් සියලූ කාරණා මෙයට දෙවෙනි වන බවත් පැහැදිලි වේ. මෙම මූලධර්ම මත ආචාර ධර්ම සංරක්ෂණය වන සමාජය දැනුම් සමාජයක් වන බවත්, එය බිඳ වැටුණු මානව ක්‍රියාවලිය තුළ සමාජයක් පවතී ද යන්න සමාජ විද්‍යාත්මකව සිතිය යුතු ගැටලූවක් බවත් පෙනේ. යම් සමාජයක් පොදු අරමුණකට පැමිණීම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි. එය සමාජයක් යන්න අර්ථවත් වීමේ ප්‍රධාන මූලිකාංගයකි. මේ පිළිබඳ ස්වයං සම්ප්‍රජානනයෙහි (Self-aware) යෙදෙන්නා සමාජ සංවර්ධනයෙහි කෘත්‍යාත්මක අරමුණු සඳහා පිළිපන් කෙනෙකු බවත් මෙයට පිටුපාන්නා සමාජ පර්යාය තුළ ගැටලූ නිර්මාපකයෙකු බවත් දර්ශනාත්මක සත්‍යතාවකි (Sahakian & Sahakian, 1993).

සමාජයෙහි කේන්ද්‍රීය ලක්ෂය පුද්ගලයා වේ. පුද්ගල ඓක්‍යයෙන් තොරව සමාජයක් නිර්මාණය නොවේ. පුද්ගලයා යනු සමාජ පද්ධතියෙහි ක්‍රියාකාරකයෙකි. ඔහුගේ අවශ්‍යතා සහ ඔහු වටා ගොඩ නැගෙන සියලූ කාරණා ඔහුට බලපාන අතර එය සමාජ කාරණා බවට ද පරිවර්තනය වේ. ඔහුව මෙහෙයවන්නේ සමාජ පද්ධතික කාරණාවන්ය. සමාජය යන්න ඇති තැන නිදහස නැති බවට ද ඇති තර්කයකි. පුද්ගල ආත්ම ඥාන (Self Knowledge) සංවර්ධනයේ දී මෙම ව්‍යුහීය කාරණා වැදගත් වේ.

පුද්ගලයා සමාජ ජීවිතයේ දී හොඳ (Good) නරක (Evil) කාරණා පිළිබඳ උපග්‍රහණය කර ගන්නා අතර හොඳ ප්‍රවර්ධනය කර ගනු ලබන්නේ සමාජ ක්‍රියා සහ එහි ප්‍රගමන කාර්ය සඳහා ය. හොඳ, නරක යනු සමාජ නිර්මාණයකි. නරක ප්‍රවර්ධනය තුළින් ද සමාජ පර්යායෙහි දිශානතිය වෙනස් විය හැකි ය. බුද්ධිමය සහ ආධ්‍යාත්මික දියුණුුව අපරාධමය කාරණා නොකැඳව යි. නිවැරදි බව විඥානගත වූ කල්හි එය නිරායාසයෙන්ම ක්‍රියාවට නැගෙන බව ග්‍රීක දාර්ශනික සොක්‍රටීස්ගේ ද මතය යි. මෙහි ප්‍රතිවිරුද්ධ සාධකය ද මෙම තර්කය තුළම සාධාරණීකරණය කළ හැකි ය.

ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණීය (Self-realization) ලක්ෂණය කි. එය අර්ථවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයනට අනුගතව ය. ආචාර ධර්ම වල උපයෝගීතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්දර්භයනට ප්‍රවේශ වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවූවත් සමාජීය මිනිසකු වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කළ හැකි අයෙකි. සමාජයෙහි නියම ස්වරූපයන් හඳුනා ගැනීමට නම් එම සමාජයෙහි සාමාජිකයෙකු බවට පත් විය යුතු ය. මාධ්‍යවේදියා තුළ ගොඩ නැගෙන අසතුට සහ ඉච්ඡා භංගත්වය, එම සමාජ සංසිද්ධීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයෙන් ඔහුව ඉවත් කරයි. ඔහු සමාජ පර්යේෂකයෙකි. ඔහු සතු වෘත්තීය පුහුණුව, සමාජ පිළිබඳ විද්‍යාත්මක දැනුම සහ ඒ පිළිබඳ චින්තනමය හැකියාව, ආචාර ධර්මීය පදනම, සමාජ ප්‍රවර්ධනය සඳහා ගුණාත්මක හැසිරීම ආදිය වෘත්තීය මාධ්‍යවේදියා සාමාන්‍ය මාධ්‍යවේදියාගෙන් වෙන් කරනු ලබන සුවිශේෂී ලක්ෂණ වේ. වෘත්තක භාවය සහ ඒ පිළිබද ගැරඹුරු දැණුම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි.

මූලධර්ම[සංස්කරණය]

මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී බටහිර ප්‍රධාන මූලධර්ම හතරක් පිළිබඳව සාකච්ඡාවට භාජනය කළ හැකි ය. එනම්,

1. සත්‍යවාදී බව - Truth Telling
2. නිදහස - Independence
3. හානිය අවම කිරීම - Minimizing Harm
4. වගකිව යුතු බව - Accountability
යනා දී වශයෙනි.

ජනමාධ්‍ය ජනතාවගේ විශ්වාසනීය මාධ්‍ය වීම සඳහා තොරතුරු වල නිරවද්‍යතාවය (Accuracy) බලපාන අතර එය සමාජ කෘත්‍යාත්මක සාධකයක් ද වේ. වර්තමානයේ ජනතාව තොරතුරු ලෝකයක ජීවත් වන අතර එය නිවැරදි නොවන විට ජනමාධ්‍ය සහ ප්‍රජාව අතර පවතින අනුකලනාත්මක සබඳතාව ද බිඳ වැටේ.

ප්‍රජාව ගුණාත්මක මාධ්‍ය ක්‍රියාවලියක් බලාපොරොත්තු වන අතර එය සත්‍යවාදී (Truth), නිවැරදි සහ සාධාරණ (Accuracy and Fairness) විය යුතු ද වේ (Commission on Freedom of the Press, (1947). නිවැරදි බව ගොඩ නැගිය යුත්තේ ඒ පිළිබඳ දුටු පමණින් හෝ ඇසූ පමණින් නොව ඒ පිළිබඳ ගැඹුරු චින්තනමය සහ පර්යේෂණාත්මක දෘෂ්ටියකිනි. සාධාරණ බව සත්‍යවාදී බව මත පදනම් වන අතර එය සිද්ධියට භාජනය වන්නාගේ ප්‍රවේශයේ සිට ගොඩ නැංවීම වැදගත් වේ (Krugner, 2004). සත්‍යවාදී බව මානව වර්ගයාගේ (Human Kind) සහවාසීකරණය සඳහා ඉතිහාසයේ සිටමගොඩ නැගුනු ගුණාංගයකි. ගුටෙන්බර්ග්ගේ (Gutenberg) කාලයේ සිටම මාධ්‍යයේ මූලිකම ගුණාංගයක් ලෙස මෙය ගොඩ නැගුණු බැව් පෙනේ. දර්ශනය ආදී විෂයන් තුළ, නෛතික ක්ෂේත්‍ර තුළ, ආගමික, දෙමව්පිය, ගුරු ආදී සමාජ පද්ධති තුළ අනුකලනාත්මක බව මෙය පදනම්ව ගොඩ නැගුනිි.

සත්‍යවාදී බව ගිලිහෙන විට සමාජ අනුකලනය සහ විශ්වසනීයත්වය ද බිඳ වැටෙනු ඇත. සත්‍යවාදී බව තුළ මානව ගරුත්වය සුරැකෙන අතර පුද්ගලයා පරයා යාමේ පදනම් ද බිඳ වැටෙනු ඇත. එමෙන්ම අන්‍යෝන්‍ය තේරුම් ගැනීම් ගොඩ නැගෙනු ඇත. තොරතුරු අභිනතියෙන් තොරව සාධාරණීකරණය වීම අත්‍යවශ්‍ය වේ.

ආචාර ධර්මීය ස්වරූප සහ එහි හැසිරීම් තුළ මාධ්‍ය නිදහස ගොඩ නැගෙනවා ද නැතහොත් මාධ්‍ය නිදහස සමාජ පද්ධතියට පරිබාහිර සාධකයක් ලෙස සිට සමාජයට බලපෑම් කරන්නේ ද යන්න පිළිබඳ තර්කනය අතිශය වැදගත් ය. නිදහසේ තොරතුරු දැනගැනීම සහ නිදහස් තොරතුරු දැනගැනීම තුළ ඇත්තේ ද ආකෘති දෙකකි. නිදහසේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති අතර නිදහසේ තොරතුරු සහ මත බෙදාදීමේ අයිතිය ද පැවතීම තුළ මාධ්‍ය වෘත්තිකභාවය (Professionalism) තුළ ගැටලූ මතු වේ. ඒ ඕනෑම වෘත්තියක් තුළ සමාජ ආචාරධර්ම සහ සාරධර්ම පවතින බැවිනි. මෙය එකිනෙකින් වියුක්ත නොවන, සමපාත ද නොවන ප්‍රධාන පැතිකඩ දෙකකි.

මාධ්‍ය නිදහස යන සංකල්පයේ සීමාව සනිටුහන් වන්නේ කොතන ද? මාධ්‍ය නිදහස යන සංකල්පය තුළ සමාජ නිදහස සුරැකේ ද? මේ නිසාම මෙයට ප්‍රතිවිරෝධී මාධ්‍ය මෙන්ම වෘත්තීය ස්වරූපයන් (Antithetical Media Profession) ද නිර්මාණය විය හැකි ය.

මෙම ගෝලීය සමාජ ක්‍රමවේදය තුළ වාස්තවික වූ විඥානයකින් මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ ගොඩ නැගෙන සාකච්ඡා මෙන්ම එසේ නොවන දැනුම් ද පවතී. දැණුම යනු සිද්ධියේ ගැඹුරට යාමේ පදනම ගොඩ නැගෙන ස්ථානයයි. මාධ්‍ය ආචාර ධර්ම බිඳ වැටීම යනු ද සමාජය කියවීම සදහා ඉඩ සකසන තර්කයකි. ආචාර ධර්ම බිඳ වැටීම නිසා සමාජයට සිදු වන බලපෑම සහ එහි ගැටලුකාරී බව යන සමාජ කාරණා ඉස්මතු වේ. මාධ්‍යයේ සමාජ බලපෑම අති ප්‍රබල ය. මාධ්‍ය ආචාර ධර්ම සහ වගකීම් බිඳ වැටීම තුළ සමාජ ප්‍රගමන ක්‍රියාවලියට බද්ධ වන සමාජ පර්යාය බිඳ වැටීමට හැකි ය. මේ නිසා,

• සමාජයේ ආරක්ෂාවට පවත්නා සිව්වන ආණ්ඩුවේ ක්‍රියාවලිය දුර්වල වේ.
• මාධ්‍ය පිළිබඳ මහජන විශ්වාසය (Public Credibility) බිඳ වැටේ.
• මහජනතාවට සහ සමාජයට හානියක් සිදු වේ.
• සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වුවමනා බිඳ වැටේ.

මානව හැසිරීම් රටාවන්හි ප්‍රධාන චරිතාංග දෙකක් දැකිය හැකි ය. එනම් හිංසාව සහ අන්‍යෝන්‍ය උපකාරය යි. ආචාර ධර්ම සහ සදාචාරාත්මක හැසිරීම (Moral Behavior) ගැන සිතීම වැදගත් වන්නේ මුළු විශ්ව ප්‍රජාවම කායික සහ මානසික අපකාර නොඉවසන බැවිනි. මානව හිමිකම් කෙටුම්පත් වලට අදාළව හිමිව ඇති භාෂණයේ නිදහස සන්නිවේදකයාට ද හිමි වේ. මාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය පිළිබඳ ආරක්ෂාව තහවුරු වන්නේ ඔහු තුළ ගොඩ නැගෙන සමාජ ක්‍රියා, අන්තර්ක්‍රියා සහ මනෝ භාවාත්මක තත්ත්ව පිලිබඳ වාස්තවික දැනුම් පදනම්ව ය.

රූපවාහිනිය පරිණාමීය ප්‍රවේශයකට අවතීර්ණව ඇත්තා සේ, ඒ තුළින් සමාජ පරිණාමය ද සිදු වෙමින් පවතී. චන්ද්‍රිකා තාක්ෂණය (Satellite Technology) මෙම සමාජ සහ භූගෝලීය සීමාවන් ද අතික්‍රමණය කරමින් බහුවිධ නාලිකා තුළින් මහා සමාජ වපසරියක පැතිරෙමින් පවතී. ඩිජිටෙල් තාක්ෂණය මෙහි තව ද ක්‍රම විද්‍යාත්මක ස්වරූපයන්හි වර්ධනය සිදු කොට තිබේ (Herman, And Robert, 1997)

21 වන සියවසේ අන්තර්ජාලය, රූපවාහිනිය සහ අනෙකුත් මාධ්‍යයන් ද අන්තර්ජාලයේ ග්‍රහණයට හසු කොට ගෙන තිබේ. අන්තර්ජාල ක්‍රමවේදයේ පහසුව සහ විමධ්‍යගත වීමේ ස්වරූපය අනුව එය ආචාර ධර්ම තුළ නියාමනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ.

නූතන මාධ්‍ය සහ නව මාධ්‍ය අතර නියාමන ක්‍රමවේදය තුළ ප්‍රබල වෙනස්කම් දක්නට ලැබේ. නව මාධ්‍යයෙහි නියාමනයේ අපහසුව සමාජයෙහි මානව හිමිකම් බිඳ වැටීමට ද හේතු වී තිබේ. ඒ අනුව නූතන මාධ්‍යයට වඩා නව මාධ්‍යයෙහි වාරණ ක්‍රියා ලෝකයෙහි සමහර රටවල ප්‍රබල කොට ඇත.

පරිධියේ රටවල ජනමාධ්‍යයට ගෝලීය මාධ්‍ය සහ පාරජාතික මාධ්‍ය (Ward, 2005) බද්ධ වීමේ ප්‍රතිඵල ලෙස මාධ්‍ය ආචාර ධර්මයන්හි නව පරාමිතීන් ද ගොඩනැගී ඇති බැව් පැහැදිලි ය. එමෙන්ම ගෝලීයකරණය ප්‍රාදේශීය මාධ්‍ය සඳහා ප්‍රබලව බලපෑම් සිදු කොට ඇති බැව් පෙනේ (Rao, Ward and Wasserman, 2007). බොහෝ රටවල ඒ ඒ සමාජ සන්දර්භයට අනුගත ලෙස ආචාර ධර්ම ගොඩ නැගී තිබේ. මාධ්‍ය තුළ අදාළ ආචාර ධර්මීය ගොඩනැගීම් යුක්තිවේදයට (Deontology) අනුගත විය යුතු බැව් පෙන්වා දෙයි (Kruger, 2004). අනෙක් අතට ගෝලීය මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ කතිකාව පිළිබඳ ගැටලූව ඇති වන්නේ එක් එක් රටවල සමාජ සංස්කෘතික සහ ආගමික තත්ත්වයන්ට අදාළව එය සිදු වන බැවිනි (Cristians, Rao, Ward and Wasserman, 2008. ගෝලීය මාධ්‍ය ආචාර ධර්ම ගොඩනැංවීමේ දී වඩාත් තාර්කික මූලධර්ම පිළිබඳ අවධානය යොමු කළ යුතු ය (Ward, 2005). තව දුරටත් ප්‍රාදේශීය සංස්කෘතික සාධක මූලික වූ ආචාර ධර්ම පිළිබඳ චින්තනයක් මානව සමාජයෙහි ගොඩනගා ගෙන තිබේ. මෙම සංස්කෘතික සාධක නිසා බටහිර සහ බටහිර නොවන සංස්කෘතික පසුබිම් සැළකිල්ලට ගනිමින් නව ආචාර ධර්ම පිළිබඳව සිතිය හැකි ය.

නූතන සහ නව මාධ්‍ය සැලසුම් කරන්නන් පාරිසරික උරුමය සහ අයිතිය (Environmental Claim) ගොඩ නැගෙන සේ මෙන්ම සාධාරණ පාරිසරික සහ සමාජ ක්‍රමවේදීය වෙනසකට උචිත බලපෑම් ද (Environmental Impact) සිදුවන සේ සිතීම සාධාරණ ය. එහෙත් නිදසුන් ලෙස රූපවාහිනිය මගින් ගොඩ නගනු ලබන ආහාර සංස්කෘතිය (Food Culture) තුළ ඉහත සාධාරණ ප්‍රවේශ දෙකම බිඳ වැටී තිබේ. දාරක ආහාර ක්‍රමවේද පමණක් නොව වැඩිහිටි ආහාර ක්‍රම සහ පෝෂණ රටාවන්ගේ වෙනස්කම් ද නිර්මාණය වීම වෙළඳ දැන්වීම්කරණයෙහි එක් ප්‍රතිඵලයකි. මෙය සමාජ වගකීම් සංකල්පයේ ද (Social Responsibility) බිඳ වැටීමකි. වර්තමාන මාධ්‍ය වෙළඳ දැන්වීම්කරණයෙහි චිකිත්සීය භාවිතාව (Therapeutic Usage) සමාජ සෞඛ්‍ය සංරක්ෂණීය ක්‍රමවේදයකට වඩා එහි ප්‍රතිපක්ෂ ක්‍රමවේදීය භාවිතාවන් උදෙසා දැනුම්හි භාවිත බවෙහි පෙළඹවීම ප්‍රබල කොට තිබේ.

නූතන මාධ්‍ය, විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය මානව සංජානනය (Perception) වෙනස් කිරීමට සමත් වන අතරම එය රටක හෝ සමාජයක ආර්ථික සමාජ සංස්කෘතික ක්‍රියාවලියෙහි ප්‍රතිබිම්බය බවට ද පත් වේ. එමෙන්ම එය පුද්ගලයාට සමාජ අනුවර්තනීය දිශාව ද පෙන්වා දෙනු ලබයි (Muhammad Nasir, 2013). බොහෝ මාධ්‍ය පාරිභෝගිකයන් මාධ්‍යයේ සහ මාධ්‍ය සෞන්දර්ය කලාවේ ප්‍රබලත්වය හඳුනා ගෙන නොමැත. එහෙත් ප්‍රේක්ෂකත්වයෙහි මනෝ භාවාත්මක තත්ත්ව පිළිබඳ සාක්ෂරතාව (Emotional Literacy) නූතන සහ නව මාධ්‍ය තුළ පැහැදිලි වේ. නමුත් මෙම සියලූ සමාජ සෞන්දර්යාත්මක කාරණා ආචාර ධර්මීය සන්දර්භයකට අනුගත විය යුතු ය. මානව වර්ගයෙහි උදාරත්වය පැහැදිලි වන්නේ සදාචාරාත්මක රාමුව (Moral Framework) තුළ ය. ආචාර ධර්ම සහ මනෝ භාවාත්මක ස්වරූප එකිනෙකින් වියුක්ත කොට මානව, මනෝ ගතික, මනෝ භාවාත්මක සහ සදාචාරාත්මක තත්ත්ව පිළිබඳ සාකච්ඡා කළ නොහැක. මාධ්‍ය ආචාර ධර්ම යනු ප්‍රායෝගික ආචාර ධර්ම වල (Applied Ethics) ප්‍රධාන කොටසකි. මාධ්‍යකරුවා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය ආචාර ධර්ම වන අතර එය යුද්ධය පිළිබඳ ජනමාධ්‍ය තුළින් ද පැහැදිලි වේ. ජනමාධ්‍යවේදියා යනු චිත්තාකර්ශනීය ප්‍රායෝගික වෘත්තිකයෙකි. වෘත්තීයත්වය යනු කෙටි කාලීනව නිර්මාණය කර ගත්තක් නොව දිගු කාලීන මනෝ භාවාත්මක තත්ත්වයන්ගේ (State of Mindfulness) ප්‍රතිඵලයකි. මාධ්‍යවේදියාගේ කාර්යභාරය යනු වගකීම් සහගත එකකි. ඔහු පිළිබඳ සමාජ බලාපොරොත්තුව ඉතා ප්‍රබල ය.

ආචාර ධර්ම නිරන්තර බද්ධ වෙන්නේ නිවැරදි, සාධාරණ, අපක්ෂපාතී, යුතුකම් ඉටු කරන, වගකම් සහිත ක්‍රමවේද සමග ය. මෙය දිගු කාලීන සමාජ සම්ප්‍රදායානුගත ක්‍රියාවලියකි. හිපොක්‍රටික්ගේ දිවුරුම (Hippocratic Oath) තුළ සඳහන් වන්නේ ද යම් ක්‍රියාවකින් සමාජයට හානි සිදු නොවිය යුතු බවකි. මෙලෙස ජනමාධ්‍යවේදියා තුළින් ද සමාජ හානිය අවම විය යුතු (Minimize Harm) අතර ප්‍රවෘත්ති ආවරණය තුළින් ද බලපෑමට ලක් වන්නන් පිළිබඳව සිතිය යුතු වේ. මාධ්‍යවේදීන් සමාජ ගැටලූ පිළිබඳ සත්‍ය සෙවීමට, නිදහස් ලෙස ක්‍රියාත්මක වීමට සහ මහජන සේවය සඳහා ආචාර ධර්මීයව බැඳී පවතී.

සමහරුන්ගේ තර්කය වන්නේ ආචාර ධර්ම ඉගැන්විය නොහැකි බවයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ සමාජයෙන් සමාජයට වෙනස් වේ යන අරුත ද එහි ඇති බවට සත්‍යයකි. එමෙන්ම ආචාර ධර්මවලට අනුගත නොවීම සහ ආචාර ධර්ම සඳහා ප්‍රබල නැඹුරුව ද මානසික රෝග ලක්ෂණයක් බවට ද තර්කයකිි. ආචාර ධර්ම පිළිබඳ හැඟීම යනු නිදහස පිළිබඳ හැඟීමකි. සෑම පුද්ගලයෙකුගේම මූලික ලක්ෂණය වන්නේ නිදහස සෙවීම ය. නිදහස පිළිබඳ ඉගෙනුම අපහසු වුව ද නිදහස සඳහා අවශ්‍ය ක්‍රමවේදී එළඹුම් පිළිබඳ ඉගෙනුම පහසු ය.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • Christians, C., S. Rao, S. Ward and H. Wasserman, (2008). “Toward a Global Media Ethics: Theoretical Perspectives.” African Journalism Studies 29(2): 135-172.
  • Commission on Freedom of the Press, (1947). A free and responsible press. Chicago: A free and responsible press. Chicago:
  • Herman, Edward S. And Robert W. Machesney, (1997). Missionaries of Global Capitalism, London: Cassell.
  • Kruger, F. (2004). Black, White and Grey: Ethics in South African Journalism, Cape Town: Double Storey Books.
  • Nasir Muhammad, (2013). Media Ethics WHY & How? A case study of Pakistan, IJCRBOI Interdisciplinary Journal of Contemporary Research in Business, Vol: 4, No:11. 224 -236.
  • Rao, S. and H. Wasserman.(2007). “Global Media Ethics Revisited. A Postcolonial Critique.” Global Media and Communication 3(1): 29-50.
  • Sahakian, William S. & Sahakian, Mabel Lewis, (1993).Ideas of the Great Philosophers. Barnes & Noble Books
  • Ward, S. (2005). “Philosophical Foundations for Global Journalism Ethics.” Journal of Mass Media Ethics: Exploring Questions of Media Morality 20(1): 3-21.
"https://si.wikipedia.org/w/index.php?title=ජනමාධ්‍ය_ආචාර_ධර්ම&oldid=442697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි