ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල

විකිපීඩියා වෙතින්
ජංගම දුරකතන

ජංගම දුරකථනය නිසා අපට ඇති වාසි හා එහි වැදගත්කම කියා නිමකල නොහැකි තරම්ය.නමුත් ජංගම දුරකථන භාවිතය නිසාම ඇතිවූ බව පිළිගැනෙන සෞඛ්‍යමය, පාරිසරික,ආර්ථික හා සමාජ ගැටළුද බොහොමයක් ඇත.

ජංගම දුරකථනයෙන් පිටවන චුම්භක ක්ෂේත්‍ර හා සන්නිවේදන කුලුණු වලින් පිටවන අධි සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා පුද්ගලයන්ට විවිධ මානසික ආබාධ,ශ්‍රවන ආබාධ,කළල ගබ්සා වීම්,අංගවිකල දරු උපත් යන ආදිය ඇති වන බව පැවසේ. මීට අමතරව ජංගම දුරකථන සන්නිවේදන කුලුණු ආශ්‍රිතව ජීවත් වන කෘමි සතුන්ගේ හැසිරීම් රටාවන්ද වෙනස් වන බව ඇතමුන් ප්‍රකාශ කරයි.මී මැස්සන් වැනි කෘමි සතුන් මෙම ප්‍රදේශ අත් හැර යන බවත් ගස් වැල් වල ඵලදාව අඩු වන බවත් ප්‍රකාශ කරන පුද්ගලයින් සිටී.නමුත් මෙම ප්‍රකාශ විවිධ පුද්ගලයන්ගේ විවිධ මත ලෙස සලකන්නේ තවමත් මෙම ප්‍රකාශ විද්‍යාත්මකව නිසි ලෙස තහවුරු කර නොමැති නිසාවෙනි.

නමුත් ජාත්‍යන්තර සම්මත රීතින් අනුව මීටර් 500 ක අරයක් ඇති ප්‍රදේශයක් තුල මෙවැනි සන්නිවේදන කුලුණු පිහිටිය හැක්කේ එකක් පමණයි.නමුත් ශ්‍රී ලංකාව තුල එකම ස්ථානයේම කුලුණු 4ක් 5ක් පිහිටුවා ඇති අවස්ථා බොහොමයක් දක්නට ලැබේ.දුරකථන සේවා සපයන සමාගම් ඔවුන්ගේ ආර්ථික වාසි පිළිබඳ පමණක් සැලකිල්ලට ගනිමින් මෙවැනි දේ සිදුකරයි.

කෙසේ වුවද දිනෙන් දින වැඩිවන ජංගම දුරකථන බැහැර කිරීම නිසා පරිසරයට සිදුවන හානිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කල යුතු වේ.අන්තර්ජාතික විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ බේසල් සම්මුතියද මෙම කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත.

ජංගම දුරකථන තුල අන්තර්ගත ඊයම්,රසදිය,කැඩ්මියම් වැනි බැර ලෝහ සහ ගිනි නොගන්නා බ්‍රෝමිනිකෘත සංයෝග බැහැර කිරීමේදී ඒවා පරිසරයට එක් වීමේ අවධානමක් පවතී.විශේෂයෙන්ම පැරණි ජංගම දුරකථන තුල මේවා වැඩි ප්‍රමාණයක් පවතී. එම විෂ රසායනික ද්‍රව්‍ය වල ඇති පිළිකා කාරක ගුණය නිසා ඒ මගින් සෞඛ්‍ය තර්ජනද එල්ලවිය හැකිය. ක්‍රෝමියම්,PVC,හා බ්‍රෝමිනිකෘත ද්‍රව්‍ය විශේෂයෙන් යොදා ගැනෙන්නේ ජංගම දුරකථනයක කවරය හා යතුරු පුවරුව නිර්මාණය කිරීමටයි.LCD තිරය නිමවා ඇත්තේ ද්‍රව ස්පඨික වලිනි.පරිපථ පුවරුව නිර්මාණය කිරීම සඳහා ඊයම්,රසදිය වැනි බැර ලෝහ හා PBB,PBDE    වැනි බ්‍රෝමිනිකෘත ද්‍රව්‍ය අත්‍යවශ්‍ය වේ.කැඩ්මියම්,නිකල් හා ලිතියම් වැනි රසායනික ද්‍රව්‍ය බැටරිය තුල අඩංගු වේ. අවසානයේ මේ සියලු විෂ රසායනික ද්‍රව්‍ය එකතුවන්නේ අප ජීවත් වන පරිසරය තුලටයි. ගැටළුව උග්‍ර වන්නේ ඉඩම් ගොඩකිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය අතරට ඉහත සඳහන් විෂ ද්‍රව්‍ය එක් වූ විටයි.එවන් භූමියක් තුල නිදහස් වන මෙම රසායනික ද්‍රව්‍ය පස් අංශු අතරින් කාන්දු වී අවසානයේ එක් වන්නේ භූගත ජලයටයි.මේ නිසා පසමත වැඩෙන භෝග තුලට මෙන්ම පානීය ජල ප්‍රභවයන් තුලටද විෂ ද්‍රව්‍ය එක් වීමේ අවධානම වැඩිවේ.

සමහර සංවර්ධිත රටවල් වල ජංගම දුරකථන බැහැර කිරීමේදී දැඩි නීති ක්‍රියාත්මකව ඇත.එවන් රටවල් ඉවත් කරන ජංගම දුරකථන ආසියාතික හෝ අප්‍රිකානු රටවලට මුදා හැර නීතියෙන් ගැලවීමට ක්‍රියා කරයි.සංඛ්‍යාත්මකව අඩු දුරකථන භාවිතයක් ඇති මෙම ආසියාතික හා අප්‍රිකානු රටවල් වැඩි ජංගම දුරකථන අපද්‍රව්‍ය නිසා පීඩා විඳිනුයේ මේ අයුරෙනි.එසේම විෂ ද්‍රව්‍ය බැහැර කිරීමේ ආරක්ෂක ක්‍රම මෙවැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් භාවිතා කරනු යැයි පැවසිය නොහැක.එම නිසා මෙවැනි රටවල් වලට සිදුවන හානිය තවත් වැඩිබව පෙනී යයි.

සත්‍ය වශයෙන්ම ජංගම දුරකථන නිසා පරිසරයට සිදුවන හානිය සඳහා වගකිය යුත්තේ ඒවායේ නිෂ්පාදකයින්ය.මෙයින් බැහැරවන සියළු අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ හා ඒවා බැහැර කිරීමේ වගකීම ඔවුන් වෙත පවරා දිය යුතු වේ.යුරෝපා සංගමය විසින් දැනටමත් මෙම න්‍යාය ක්‍රියාතමක කර ඇත.මෙහි අවසන් පරමාර්ථය වන්නේ ජංගම දුරකථන නිපදවීමේදී විෂ රසායනික ද්‍රව්‍ය හැකිතාක් අඩු කොට පරිසර හිතකාමී ද්‍රව්‍ය හැකිතාක් යොදා ගැනීමට නිෂ්පාදකයින්ට බල කිරීමයි.

විශේෂයෙන්ම Nokia සමාගම මෙහි බරපතලකම හොඳින් තේරුම් ගනිමින් ජංගම දුරකථත ආරක්ෂිතව බැහැර කිරීමට ලොව පුරා වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇත.අනෙකුත් Samsung,Sony,Apple  වැනි සමාගම්ද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පෙනී යයි.මෙලෙස සමාගම් හොඳින් සමාජ වගකීම් ඉටු කලහොත් ජංගම දුරකථන නිසා පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බව ස්ථිරය.