චීන ලංකා පුරාණ සබඳතා

විකිපීඩියා වෙතින්
කොන්පියුසියස් තුමා ගේ චිත්‍රයක්

පුරාණ චීනය හා ලංකාව අතර සම්බන්ධතාව පිළිබඳව විමසා බලන විට ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී ලංකාවට වැඩම කළ චීන දේශ සංචාරක පාහියන් හිමියෝ අප රට පිළිබඳ සිය වාර්තාවල දීර්ඝ ලෙසින් සටහන් තැබූ භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් සඳහන් කළ හැකිය. චීන ශිෂ්ටාචාරයේ පෞරාණිකත්වය පිළිබඳ මඳක් විමසා බලනවිට දුරාතීතයකට උරුමකම් කියන ලොව රටවල් කිහිපය අතුරින් එකකි, චීනය. චීන ශිෂ්ඨාචාරය ආරම්භය මෙතෙක් යැයි හරිහැටි අනාවරණය වී නැතත් මෙයින් වසර 7000 කට පමණ ඉහත යැයි ඇතැම් පුරා විද්‍යාඥයෝ පවසති. ඇතැම්හු ලෝක ශිෂ්ටාචාරයේ ආරම්භය වූයේ චීන මොංගෝලියාවෙන් යයිද සලකති.

චීන ඉතිහාසය[සංස්කරණය]

ඔවුන්ගේ පුරාවෘත්තයන්ට අනුව දිව්‍ය ලෝකයේ පුත්‍රයා යැයි විරුදාවලිය ලත් සූරියවංශික ආදී රජතුමා විසුවේද මොංගෝලියාවේය. පුරාවෘත්තයන්හි එන ෆූ සි ෂෙන් නුං හ්වෑං ති යන රාජයන් විසුවේද ක්‍රිස්තු වර්ෂාරම්භයට ශත වර්ෂ විසිපහකට තිහකට ඉහතදීය.

චීන වංශකතා වලට අනුව ආගමික නායකත්වයත්, දේශපාලන නායකත්වයත් දෙකම දැරූ පූජක රාජ පරම්පරාවක් චීනයේ ඇරඹුණේ ක්‍රිස්තු පූර්ව තුන්වන සහස්‍රයේ විසූ "යාඕ" (ක්‍රි.පූ. 2357 - 2258) රජුගෙනි. චීනයේ රාජවංශ ක්‍රමය ඇරඹුණේ "සියා" රාජවංශයේ "යූ" (ක්‍රි.පූ. 2205-2198) රජුගෙන් අනතුරුව "ටෑං" (ක්‍රි.පූ. 1765-1760) රජුගෙන් "ෂෑ" රාජවංශයත් "වූ" (ක්‍රි.පූ.1122-116) රජුගෙන් "චෞ" රාජවංශයත් ආරම්භ විය. පුරාණ චීනයේ ප්‍රධාන රාජවංශ වූයේ මෙම "සියා", "ෂෑං", "චෞ" යන රාජවංශ තුනය.

අනිකුත් ජනතාව මෙන්ම චීන ජනතාව ද විවිධ ගෝත්‍රික මිශ්‍රණයට භාජනය වූහ. වරින්වර හන් (හුන්), මොන්ගෝල්, තුර්කි, ටාර්ටර් ආදී ගෝත්‍රිකයෝ චීනයට වැදී එහි පදිංචි වූහ. සමහරු ඇතැම් පළාත් වල ආධිපත්‍යද ලබා ගත්හ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ දී චීනයේ ස්වාධීන රාජ්‍ය 5000-6000 අතර සංඛ්‍යාවක් තිබූ බව ඉතිහාසඥයෝ සඳහන් කරති. පාලන බලය විසිරී පැවති ඒ කාලයේදී ඉන්දියාවේ මෙන්ම චීනයේ ද විශාල බුද්ධි විප්ලවයක් ඇති වූයේය. ඒ කාලයේදී චීනයෙන්ම පහළ වූ විශේෂිත ආගම් දෙකකි.

කොන්පියුසියස් ධර්මයත් සහ ලාඔන්සේ ධර්මයත් චීනය තුළ පැතිරී ගියේය. කොන්පියුසියස් ධර්මය (උතුරු චීනයට) පීකිං නුවර ආශ්‍රිත ප්‍රදේශ වලට ද ලාඔන්සේ ධර්මය නැන්කින් අගනුවර කරගෙන දකුණු චීනයේ ප්‍රචලිත වූයේ ය. ඒ කාලයේ පටන් එම දකුණු උතුරු භේදය විවිධ අංශ මගින් ඉතිහාසය කෙරේ බලපෑවේය. චීනයට බුදු දහම ලැබුණේ භාරත දේශයෙහි අධිරාජයා වූ අශෝක රාජ සමයේ දී ය. ඒ අනුව ලංකාවට බුදුසමය දායද වූ කාලයට සමකාලීනව සිදු වූ බව පැහැදිලි වන කරුණකි.

ඉන්දියාවේ මහායාන බුදු සමය ආරම්භය මෙන්ම එය මධ්‍යම ආසියාව තෙක් පැතිරීයාම කිසිදු වර්ෂ 120 දී ගන්ධාර දේශයේ රජු වූ කුෂාණ රාජවංශික කණිෂ්ක රජුගේ රජය සමයේ දී ය. ඒ කාලයේ දී මධ්‍ය ආසියාවටත් බටහිර චීනයටත් එම මහායාන බුදුසමය ව්‍යාප්ත වූයේය. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී චීනයට භික්ෂුණී ශාසනය ද ලැබුණේ ලංකාවෙන් බැව් ඓතිහාසික වාර්තාවලින් හෙළිදරව් වේ.

දෙරට අතර සබදතා[සංස්කරණය]

ලංකාව හා චීනය පිළිබඳ අතීත සබඳතා ගැන විමසා බලන විට විශේෂයෙන්ම සඳහන් කළ යුතු චීන දේශාටක භික්ෂූන් වහන්සේලා දෙනමක් වෙයි. එක් භික්ෂූන් වහන්සේ නමක් නම් ඉහත සඳහන් කළ පාහියන් හිමියෝ ය. ක්‍රිස්තු වර්ෂ 411 සිට 412 තෙක් ලංකාවේ වාසය කළ උන්වහන්සේට පසුව චීනයේ සිට ඉන්දියාවට පැමිණි අනෙකුත් අනෙක් චීන භික්ෂූන් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 7වන සියවසේදී ඉන්දියාවට පැමිණියහ. උන්වහන්සේ ලංකාවට පැමිණියේ නැත. අප රටේ ඇතැම්හු හියුංෂියෑං නමින් යුත් ඒ චීන භික්ෂූන් වහන්සේ ද ලංකාවට වැඩම කළ බව සඳහන් කිරීම වැරැදි සහගත වූවකි. හියුංෂියෑං හිමි ලංකාවට වැඩම කිරීමේ අපේක්ෂාවෙන් සිටි බව සත්‍යයකි. එම හිමි ලංකාවට පැමිණීමේ අභිප්‍රාය ඇතිව දකුණු ඉන්දියාවට වැඩම කළ අතර එහිදී ලංකාවේ සිට පැමිණි භික්ෂූන් වහන්සේලා ගෙන් අසා දැන ගත් තොරතුරු වාර්තා කර ගත්හ. ලංකාවේ ඒ වන විට සාගතයක් පැවති බවද දේශපාලන වශයෙන් තරමක් කැළඹිලි ස්වභාවයක් තිබූ නිසාද හියුංෂියෑං හිමි ලංකාවට පැමිණීමේ අදහස අත්හැර දමා තිබේ. මේ නිසා පස්වන සියවසේදී ලංකාවට පැමිණි පාහියන් හිමියන්ගේ චීන වාර්තා අප රට පිළිබඳව ඉතාම පැරණිතම වාර්තා ලෙසින් සැලකිය හැකි ව තිබේ.

ලංකාව ගැන තවත් චීන භික්ෂූන් වහන්සේ නමක් තොරතුරු සිය වාර්තාවල ලියා ඇත.ඒ හිමියෝ ත්‍රට් සිං හිමියන්ය. උන්වහන්සේද ලංකාවට වැඩම කොට නැත. පාහියන් හිමියෝ එකල ලංකාවට වැඩම කළේ ක්‍රිස්තු වර්ෂ 411 දිය. අනුරාධපුරයේ අභයගිරි විහාරයේ උන්වහන්සේ වැඩ සිටියහ. පාහියන් හිමියෝ ලංකාව පිළිබඳ එකල සිය ඇසින් දුටු ආගමික උත්සව මෙන්ම පුද පූජා ද භික්ෂූන් වහන්සේලා ගැන ද අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන්ම දළදා වහන්සේ පිළිබඳව ශ්‍රී පාදය පිළිබඳ සිය වාර්තා වල සඳහන් කර ඇත. එමෙන්ම ඒ කාලයේ පාහිහන් හිමියන්ට අසන්නට ලැබුණු ජනකතා ද සිය වාර්තා වලට ඇතුලත් කිරීමට අමතක කළේ නැත.

දළදා පෙරහැර ෆාහියන් හිමියන් විසින් දැක ඇත .අනුරාධපුරයේ දළදා පෙරහැර තිබුණු ආකාරය ඉතා විචිත්‍රවත් ලෙස සඳහන් කරන්නේ මෙසේය. සිරිත් පරිදි දන්ත ධාතු ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ තුන්වෙනි මස මැද දී ය. ප්‍රදර්ශනය ආරම්භ කිරීමට දින දහයකට කලින් රජතුමා විසින් හස්තියෙකු වස්ත්‍රාභරණයෙන් සරසවා ඒ ඇතාගේ පිට නැගී රාජකීය සළු පිළියෙන් සැරසුණු දක්ෂ කථිකයෙක් බෙරයක් වයා සෙනග රැස් වූ කල්හි බුදු රජාණන් වහන්සේ හා බෝධිසත්ව කාලය ගැන කියයි. සියලු මාර්ග සරසා මල් පහන් රැගෙන දළදා වහන්සේට පුද පූජා පැවැත්වීමට ජනතාවට පැමිණෙන ලෙස දන්වා සිටී.

එම ප්‍රකාශ කළ පසුව ජාතක කතා චිත්‍රයට නගා මාර්ග දෙපස ප්‍රදර්ශනය කරමින් එම දළදා පෙරහැර පැවැත්වෙන බවද ඒ පාහියන් වාර්තා වල සඳහන් වෙයි. මීට අමතරව අභයගිරිය, මහා විහාරය හා මිහින්තලේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා පිළිවලින් පන්දහසක්, තුන් දහසක් හා දෙදහසක් ලෙසින් ද සඳහන් කරති. පාහියන් හිමියන් ඉතා සංවේදී අවස්ථාවකට මුහුණ දුන් ආකාරය ද සිය වාර්තාවේ සඳහන් වෙයි. ඒ සිදුවීම මෙසේය. සිය ජන්ම භූමිය වූ චීනයෙන් පිට වී වසර ගණනාවක් ගත වී තිබියදී අනුරාධපුරයේ බුදු පිළිමයකට පූජා කරන ලද පූජා භාණ්ඩයක් දැක ඇත. ෆාහියන් හිමියන් ට සිය මව්බිම මතක් වී සිත ඉමහත් සංවේගයට පත් වී ඇත. බුදුපිළිමයට චීනය සාදන ලද පටපිළියෙන් යුත් අවානක් පූජා කර තිබෙනු ෆාහියන් හිමි දුටහ. පට පිලි වලට චීනය ඉතා ප්‍රකට ය. එහෙයින් එය සිය ජන්ම භූමියෙන් පැමිණි කෙනෙකු විසින් පූජා කරන ලද්දකි. හියුෂියෑං හිමියෝද ඉන්දියාවට පැමිණ ලංකා පිළිබඳ තොරතුරු රැසක්ම ලංකාවෙන් ඉන්දියාවට පැමිණි භික්ෂූන් වහන්සේලා ගෙන අසා ලියා ඇත. ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ද කලක් වාසය කළ එම හිමියන්ගේ දේශාටන වාර්තා නිසා ඒ රටේ පුරාවිද්‍යා ගවේෂණ කළ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් තනිංහූම් වැනි පුරාවිද්‍යාඥයන්ට ඉමහත් පිටුවහලක් වී ඇත. හියුෂියෑං හිමියෝ අප රට හඳුන්වා දී ඇත්තේ රත්නදීප යන නාමයෙනි. මැණික් බහුල ලෙසින් හමු වන නිසා එම නාමය භාවිතා කර ඇත.

පුරාවිද්‍යාත්මක සාක්ෂි[සංස්කරණය]

පුරාණ චීන ශ්‍රී ලංකා සබඳතා හෙළිකරන පුරාවිද්‍යාත්මක සාක්ෂි ද ලංකාවේ හමුවී ඇත. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් හතරකි.

1. චීන මැටි භාජන කැබලි

2. චීන කාසි

3. වර්ණාලිප්ත උලු

4. බුදු පිළිම

යාපන දිස්ත්‍රික්කයේ පැරණි මුහුද ආශ්‍රිතව "අල්ලෙයි පිඩ්ඩි" හි කරන ලද කැණීම්වලින් මැටි බඳුන් කිහිපයක් ද හමු වී ඇත. මාතොට කරන ලද කැණීම්වලින් ද චීන පර්සියානු මැටි බඳුන් කැබලි රැසක් හමුවී ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පොලොන්නරුව පිරිවෙනෙහි කරන ලද කැණීම් වලින් ක්‍රිස්තු වර්ෂ 10 සියවසේ සිට 13 වැනි සියවස දක්වා කාලයකට අයත් වන චීන මැටි බඳුන් කැබලි හමු වී ඇත. ඒවායින් පැහැදිලි වන්නේ පුරාණ චීන ලංකා සම්බන්ධතාවයන් ගැනය. මධ්‍යකාලීන ලංකාවත් චීනයත් අතර සම්බන්ධතා හෙළි කරන ස්ථානයක් ලෙස යාපහුව පුරාවිද්‍යා පුදබිම හඳුන්වාදිය හැකිය. චීන කාසි එහි පමණක් නොව අනුරාධපුර හා පොළොන්නරු වෙනද හමුවී ඇත. මෙතෙක් ලංකාවෙන් හමුවී ඇති විශාලතම චීන කාසි සංඛ්‍යාව යාපහුවෙන් හමුවේ තිබේ. එහිදී කාසි 1358 පමණක් හමු වී ඇත. 1949 දී යාපහුව නූතන විහාරය අසල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැණීමෙන් හමු වූ කාසි ක්‍රි.ව. 7 වැනි සියවසේ දී චීනයේ රජ කළ "කා ඕ සුං" අධිරාජ්‍යයාට අයත් කාසි ලෙස පුරා විද්‍යාඥයන් හඳුනාගෙන ඇත.

මේ අනුව චීනය හා ලංකාව අතර පැවති පුරාණ වෙළෙඳ සබඳතා පිළිබඳව ද එයින් තොරතුරු ලැබේ. අතීතයේ සිට චීන ලංකා රාජකීය දූත සම්බන්ධතා දක්නට ලැබේ. වෙළෙඳ සම්බන්ධතා මෙන්ම දේශපාලන සබඳතා ද ඒ අතර දක්නට ලැබේ. ධාතුසේන රජුගේ රාජ්‍ය කාලයේ දී (ක්‍රි.ව. 459 සිට 477) මෙවැනි දූත මෙහෙවරක් ලංකාවේ සිට චීනයට යවා ඇත. කෝට්ටේ යුගයේදී ද ඊට පෙර යාපහුව රාජ කාලයේදීද චීන හා ලංකාව අතර දේශපාලන වශයෙන් පැවැති සබදතා ඉතිහාසයේ සඳහන් වී ඇත.

මේ අනුව විමසා බලන විට ලංකාවේ මෙම සම්බන්ධතා ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවති බව පැහැදිලි කරුණකි. ගාල්ලෙන් හමුවී භාෂා තුනකින් ලියන ලද ශිලා ලේඛනය ද චීන සම්බන්ධතා පිළිබඳ සඳහන් කළ හැකි පුරාවිද්‍යාත්මක සාක්ෂියකි. චීන පර්සියානු දෙමළ යන භාෂා තුනෙන්ම ඒ ශිලා ලේඛනය ලියා ඇත. 1409 වර්ෂයේ දී එම ශිලා ලිපිය ලියන ලද්දේ චීන ජනරාල්වරයෙකු වූ චෙං හෝ විසිනි. මේ අනුව චීන ලංකා සබඳතා වසර 1600 පෙර කාලයේ පටන් තිබුණු බවට බොහෝ සාක්ෂි හමුවී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=චීන_ලංකා_පුරාණ_සබඳතා&oldid=504475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි