චන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Chandrika wewa.jpg


1956 දී පිහිටු වන ලද එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ රජය මඟින් ආරම්භ කළ පළමුවන වාරිමාර්ග ව්‍යාපෘතියයි. එය 1958 දී ආරම්භ කරන ලද්දේ වලවේ ගංඟාවේ දකුණු ඉවුරු අතු ගංගාවක් වු හුලංදා ඔය හල්මිල්ලකැටිය නම් ප්‍රදේශයේදී හරස්කර වේල්ලක් බැදීමෙනි. මෙලෙස ආරම්භ කළ චන්ද්‍රිකා වැව, වාරිමාර්ග ව්‍යාපෘතියක් බවට පත්වූයේ ඇළමාර්ග සංවර්ධනය කරමින් ගොවිජනපදයක් පිහිටුවිම හරහාය. එමගින් අක්කර 5000ක භූමි භාගයක් තුළ ගොවීන් 1800ක් පදිංචි කිරිම සිදු විය.


චන්ද්‍රිකා වැව ගොවිජනපදය වලවේ ගංගා නිම්නය හා ජන ජීවිතය යා කෙරෙන සමෝච්ච රේඛාවක් හා සමාන කිරීමට අමුණුගම (2005) උත්සාහ දරා ඇත. පුරාවිද්‍යාත්මක අධ්‍යයන මගින් පැහැදිලිවන ආකාරයට වලවේ ගං නිම්නය ක්‍රි.පූ. 6500 වැනි පුරා විද්‍යාත්මක යුගයක අතීතය පිළිබද සාක්ෂි දරයි. පසුකාලීනව ලාංකේය රාජ්‍ය හා දේශපාලන වංශාවලියේ වීරවරුන් බිහිකළ රුහුණු රාජධානියේ මාගම පිහිටියේ වළවේ නිම්නය තුළය. (ඥානවිමල 1942, නාරද 1992.) එහි ප්‍රතිඵලයක් ලෙස වලවේ නිම්නය කුඩා වැව් රාශියකින් පොහොසත් වී ඇත. වර්තමානයේදී පවා තිස්සමහාරාමය ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කය කෘෂිකාර්මික වශයෙන් දරන වැදගත්කම අතිතයේදිද එසේම පැවතුනු බව අනුමාන කළ හැකිය. ඥානවිමල (1942 , 1967) දක්වන ආකාරයට 13 වන සියවසේදී බිදවැටුනු මාගම රාජධානිය යළිත් අවධානයට ලක්වූයේ 20 වන සියවසේ මැදභාගයේ පමණය. 19 වන සියවස අගභාගයේදී පමණ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබුවද අඩු ජනගහනයක් ජිවත් වන හා වියළි කාලගුණයක් පවතින උඩවලව ප්‍රදේශයට එතරම් අවධානය යොමු වී නොතිබුණි. නිදහසෙන් පසුව උඩවලව ප්‍රදේශය කඩිනම් සංවර්ධන මාවතකට අවතීර්ණ වු ආකාරය නිඡ්මාන් (1999) විසින් දක්වන්නේ මෙසේය. මැලේරියා වසංගත රෝගය හා කහ උණෙන් පිඩා විදිමින් සිටි වළවේ ගංගා නිම්නයේ ජනතාව ආර්ථීක හා සමාජයීය වශයෙන් නගා සිටුවිම සදහා වලවේ ව්‍යාපාරය මුලික අඩිතාලම දැමිය. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය (ග.නි.ස.ම) ආරම්භ වීමත් සමඟ කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කරමින් ශ්‍රී ලංකා සිතියමේ වැදගත් කෘෂි ආර්ථීක මධ්‍යස්ථානයක් ලෙස උඩවලව ආශ්‍රිත ප්‍රදේශය පරිවර්තනය විය. මෙම වෙනස්විමේ ශීඝ්‍රතාවය අවබෝධ කර ගැනීම පහසුව සදහා නිම්නයේ සංවර්ධනය කොටස් හතරක් යටතේ පෙළගැස්විය හැකිය. එනම්,

  1. නිදහසේ සිට සිවිල් ගොඩනැගිම් සිදුකිරීමේ කාලසිමාව (1948-1968)
  2. දකුණු ඉවුරේ පහළට සංවර්ධනය (1967-1978)
  3. දකුණු ඉවුර පෙදෙසේ වැඩිදියුණු කිරිම හා පුනරුත්ථාපනය (1984-1994)
  4. වම් ඉවුර පුනරුත්ථාපනය හා ව්‍යාප්තිය. (1995 සිට)

(නිඡ්මාන් 1999:277)

උඩවලව වාරි සංවර්ධන ව්‍යාපෘතිය[සංස්කරණය]

නිඡ්මාන් (1999) දක්වන ඉහත කරුණු වලට අනුව වලවේ ගංගා නිම්නය හා වාරි ප්‍රදේශය නිදහසෙන් පසුව ගොඩනංවන ලද රාජ්‍ය ප්‍රතිපත්තින්වල ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකිය. මෙහි ක්ෂේත්‍රය වන්නේ චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපාරයයි. එය උඩවලව ව්‍යාපාරයේ අදියර තුන වන චන්ද්‍රිකා වැව ව්‍යාපාරය, වළවේ ව්‍යාපාරය හා සමනළ වැව ව්‍යාපාරය යන ඒවා අතුරින් පැරණිතම අදියර වේ. වර්තමානය වනවිට මෙම අදියර තුනම ඒකාබද්ධ කරමින් මහවැලි දෙපාර්තමේන්තුව යටතේ අධික්ෂණය වන අතර එය උඩවලව වාරි සංවර්ධන ව්‍යාපෘතිය නමින් හැදින්වේ. සමස්ත උඩවලව වාරි සංවර්ධන ව්‍යාපාරය පාලනය කෙරෙනු ලබන්නේ ඇඹිලිපිටිය මහවැලි හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟිනි. එහි පරිපාලන සංයුතිය පහත ආකාරයට හදුනාගත හැකිය.

උඩවලව වාරි සංවර්ධන ව්‍යාපෘතිය - පරිපාලන ව්‍යුහය[සංස්කරණය]

  • මහවැලි සංවර්ධන අධ්‍යක්ෂක
  • ප්‍රධාන ව්‍යාපෘති කළමනාකරු


  • ව්‍යාපෘති කළමනාකරු *ව්‍යාපෘති කළමනාකරු *ව්‍යාපෘති කළමනාකරු

(උඩවලව ප්‍රාදේශිකය) (සමනළවැව ප්‍රාදේශිකය) (චන්ද්‍රිකාවැව ප්‍රාදේශිකය)


  • නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකරු *නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකරු * නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකරු


  • ජල කළමනාකරණ අධ්‍යක්ෂක
  • මානව සුභසාධන අධ්‍යක්ෂක
  • කෘෂි ඵලදායිතා තාක්ෂණ අධ්‍යක්ෂක


  • ප්‍රධාන ඉංජිනේරු
  • ප්‍රාදේශිය කළමනාකරු
  • ගොවිජන සංවර්ධන නිළධාරී
  • ඒකක කළමනාකරු
  • ප්‍රාදේශිය ඉංජිනේරු


ඉහත දක්වන ලද්දේ සාරාංශය කරන ලැබූ පරිපාලන සංයුතියක් පමණි. මෙහිදි වාරිමාර්ග කළමනාකරණ ව්‍යාපෘති හා ගොවිජනපද ව්‍යාපාර ආශ්‍රිතව හදුනාගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ කෘෂි ඒකකවල පාලනය හා අධික්ෂණය ඒකක කළමනාකරු යටතේ පැවතිමයි. ශ්‍රී ලංකාවේ සෙසු සෑම ප්‍රදේශයකම කොට්ඨාශ හා ග්‍රාමිය වශයෙන් පරිපාලන කටයුතු සිදුවන්නේ ග්‍රාම සේවක නිලධාරි මාර්ගයෙනි. එහෙත් කෘෂිකාර්මික වශයෙන් සුවිශේෂී භූමි ප්‍රදේශයක් ලෙස පවතිමින් සෙසු ග්‍රාමිය ප්‍රදේශ වලට වඩා වෙනස් ලෙස මෙම කෘෂි ගම්මාන වල පරිපාලන තන්ත්‍රය ක්‍රියාත්මක වනු හදුනාගත හැකිය. චන්ද්‍රිකා වැව ගොවිජන පද ව්‍යාපාරය ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය මගින් මහවැලි අධිකාරයට පවරනු ලැබුව ද එහි පාලන ප්‍රදේශ වෙනස් නොවිය. ඒ අනුව නිඡ්මාන් (1999) දැක්වු වලවේ ගංගා නිම්න සංවර්ධන අදිරයන් හී පළමු අදියරට අයත් වන චන්ද්‍රිකාවැව ව්‍යාපාරය හා එහි සුවිශේෂී ලක්ෂණ සලකා බලමු.



චන්ද්‍රිකා වැව ව්‍යාපාරයේ පිහිටීම සලකා බැලීමේදී එය රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික් මායිම්වල පිහිටා ඇත. එහෙත් එය වැඩි ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයට අයත්වේ. ඇඹිලිපිටිය ප්‍රධාන පරිපාලන හා ආර්ථීක නගරය වශයෙන් පවතින අතර ඇඹිලිපිටිය හම්බන්තොට මාර්ගයේ කිලෝමීටර් 2.5 ක දුරින් පිහිටා ඇත. වර්ෂාව, උෂ්ණත්වය, හා වෘක්ෂලතා ආදිය අනුව සලකා බලනකල මෙම ප්‍රදේශය පැහැදිලි වශයෙන්ම වියළි කලාපයට අයත් වේ. අමුණුගම (1995) දක්වන ආකාරයට චන්ද්‍රිකා වැව පිහිටා ඇති කොලොන්න කෝරළය 1950 දශකයේදී ලංකාවේ නොදියුණුම හා ජිවත් විමට අසීරුම ප්‍රදේශයකි. අහිතකර දේශගුණයත් නිසි කලට වර්ෂාව නොලැබිමත් මැලේරියා හා කොළරා රෝග ව්‍යාප්තියත් එම අසීරුතාවයන්ට හේතු විය. චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පෙර මෙම ප්‍රදේශය වැසි ජලයෙන් වගා කරන කුඹුරු ගොවිතැන හා හේන් කෙටීමට සීමා වී පැවතුණි. ජන ජිවිතය ඉතා දුෂ්කර වු අතර ආහාර හිගය නිසා මන්දපෝෂණ තත්ත්වය ඉහළ මට්ටමක විය.


එමෙන්ම ප්‍රදේශයට සලසා තිබු වෛද්‍ය පහසුකම්ද සීමිත මට්ටමක පැවතුණි. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ආරෝග්‍යශාලාව ප්‍රධාන හා එකම සෞඛ්‍ය පහසුකම් ලැබීමේ මධ්‍යස්ථානය වු අතර එය උණ, පරංගි හා සූතිකා රෝගින් එකට ගාල් කරන ලද පොදු වාට්ටුවක් පමණක් සමන්විත වන රෝහලක් බව අමුණුගම (1995) දක්වයි.


ඉහත දක්වන ලද ආර්ථීක හා සමාජයීය තත්ත්වය වෙනස් කරමින් ප්‍රදේශයේ කෘෂිකාර්මික සංවර්ධනය හා එහි ජන ජීවිතය සංවර්ධනය කිරීමේ අඩිතාලම දමනු ලැබුයේ චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපාරය මගිනි. විශාල ජනසංඛ්‍යාවක් සංක්‍රමණය වීම මගින් ජනගහණයේද පදිංචි වීමේ රටාවේද විවිධත්වයක් ඇති කිරිමට සමත් වී ඇත. පහත දැක්වෙන භූ රූප සැලැස්ම මගින් පැහැදිළි වන ආකාරයට චන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයේ භූරූපී පිහිටිම මගින් එය වාරිජලය අත්‍යවශ්‍යම ස්ථානයක ගොඩනංවා ඇති බව පැහැදිලි වේ. මේ අනුව මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන තිබූ විශාල බිම් ප්‍රමාණයක් එලිපෙහෙළි කොට වගාවන් සදහා සුදුසු පරිදි සකස් කරමින් චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපාරය ආරම්භකර ඇත. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය මගින් මංමාවත් නිර්මාණයකර ඇති අතර ඉන්පසුව ජනතාව පදිංචි කිරීම ආරම්භකර තිබේ. චන්ද්‍රිකාවැව ජලාශයේ සිට ප්‍රධාන ඇළ මාර්ගයටත් ඉන්පසුව අතු ඇළ මාර්ගවලටත් ජලය සැපයේ. මෙම ඇළ මාර්ග ආශ්‍රිතව ජනපදිකයන්ගේ කුඹුරු ඉඩම් පිහිටා තිබේ. චන්ද්‍රිකාවැව ව්‍යාපාරයේ ඉඩම් ඛෙදා දීමේ සැලැස්ම වූයේ එක් පවුලකට කුඹුරු ඉඩම් අක්කර තුනක් හා ගොඩ ඉඩම් අක්කර දෙකක් බැගිනි.


ජනපද ඇළ මාර්ග පිහිටීම[සංස්කරණය]

හල්මිල්ලකැටියේ සිට දිවයන මහ ඇළ සැතපුම් 7ක් ඈතට විහිදේ. ප්‍රධාන ඇළෙන් අතු ඇලවල් 21ක් ඛෙදී ගොස් කුඹුරු සදහා ජලය සපයන ඇළ මාර්ග හා සම්බන්ධ වේ. හල්මිල්ලකැටිය සොරොව්ව මූලස්ථානය වශයෙන් තබා මුළු ජනපදය පරිපාලනය සදහා කොටස් හතරකට ඛෙදා ඇත. එක් එක් කොටස නැතහොත් යාය ඒකක කළමනාකරු :ඹබසඑ ඵ්බ්ටැර- භාරයේ තබා පරිපාලන කටයුතු සිදු කෙරේ. මෙම කොටස් නම් වශයෙන් දක්වන්නේ නම්,

  • 1-5 දක්වා වූ ට්‍රැක් (යායවල්)
  • 6 වැනි ට්‍රැක් එක
  • 2-5 දක්වා වූ ට්‍රැක් අසල නව ජනපද
  • ව්‍යාපෘති පෙදෙස


මෙම සෑම යායකම ජනපදික පවුල් 450 බැගින් පදිංවිකර තිබේ. සෑම ජනපදිකයෙකුටම මඩ ඉඩම් අක්කර තුනක් හා ගොඩ ඉඩම් අක්කර දෙක බැගින් හිමිවිය. මීට අමතරව සෑම ජනපදිකයෙකුටම රජයේ ආධාර යටතේ රු 2500ක් වටිනා ගෙවල් තනාදීම සිදුකර ඇති අතර ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව හා මහාමාර්ග දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ පාසැල් ගොඩනැගිලි, තැපැල් කාර්යාල, ප්‍රජා මධ්‍යස්ථාන ආදිය ගොඩනගා තිබේ. ජනපද පවුල්වලට රජය මගින් කරගෙන යනු ලබන ව්‍යාපෘති සදහා ශ්‍රමය සැපයීමේ අවස්ථාවද උදා විය. මේ මගින් දවසේ ආදායමක් ඔවුන්ට හිමිවූ අතර පළමු සීසෑම සදහා අවශ්‍ය බිත්තර වී ද රජයෙන් සපයා තිබේ. අවශ්‍ය කෘෂි ද්‍රව්‍ය තාක්ෂණය හා ශිල්පක්‍රම පවා රජයෙන් ලැබී තිබේ. මෙය ඉතා වැදගත් තීරණයක් වන්නේ මෙම අධ්‍යයනයට පාදක වූ යාය අංක 04 ප්‍රදේශයේ පදිංචි වූවෝ ගොවිතැන් සදහා එතරම් අත්දැකිම් නොමැති අය වූ නිසාය. කඩවත්හතර හිනිදුම්පත්තුව, වැල්ලබඩ පත්තුව, දික්වැල්ල, බතීගම. හොරගොඩ, ආදී ශ්‍රී ලංකාවේ දකුණුදිග මුහදුබඩ ප්‍රදේශවලින් පැමිණි අයට මෙම කෘෂිකාර්මික ශිල්පිය ආභාසය හා පුහුණුව ලබා දිම ඉතා වැදගත් කාර්යයක් වී තිබේ. චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපාරයේ ආරම්භය පිළිබදව සදහන් කරමින් අමුණුගම (1995) එහි වැදගත්කම පැහැදිළි කිරිම සදහා භූමියේ පිහිටිම යොදාගෙන ඇත. ඉඩම් කට්ටි ඛෙදා දිමේදි ප්‍රමුඛතාවය ලැබුනේ රත්නපුර, හම්බන්තොට, ගාල්ල, මාතර, වැනි ප්‍රදේශවල අයට නිසා ඔවුහු රාජාංගනය වැනි ගොවිජනපදවලට යාමට අකමැති වුහ. එයට හේතුව වූයේ චන්ද්‍රිකාවැව ජනපදය තම මුල්ගම්වලට සමීපව පිහිටා තිබිම නිසා තම ගම්වල අයගේ උපකාරය ද ඇතිව ඉඩම් කට්ටි සංවර්ධනය කිරීමේ හැකියාව පැවතීමයි.


චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපාරය ඉතා ඉක්මනින් ජනප්‍රිය වීම නිසාම අනවසර ඉඩම් හා බලහත්කාරයෙන් ඉඩම් පැහැර ගැනීම් ආදී ගැටලූ පැන නැගී තිබේ. මෙහිදී ඇඹිලිපිටිය ආශ්‍රිතව පුරාණ ගම්වල පදිංචිව සිටි ජනතාව හා ජනපදිකයන් අතර නිරන්තර ගැටුම් ඇතිවිය. ජනගහන ප්‍රශ්නය, ආර්ථීකය සංවර්ධනය කිරීම ආදි ගැටලූ ගණනාවකට විසදුම් වශයෙන් ගොවිජනපද ව්‍යාපාර සංකල්පය රජය විසින් ක්‍රියාත්මක කළ ද චන්ද්‍රිකාවැව සම්බන්ධයෙන් සලකා බලනවිට එය තවතවත් ගැටලූ රාශියකට මුලික වී ඇති බව හඳුනාගත හැකිය. විශේෂයෙන්ම කෘෂිකාර්මික ජිවන රටාවන් මත ක්‍රියාත්මක වු ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ පුද්ගලයෙකුගේ තරාතිරම මැනීමේ ප්‍රබල උපකරණයක් වූයේ ඔහු සතු ඉඩම් ප්‍රමාණයයි. තමාගේම නමට ඉඩම් බිම් අගලක් හෝ නොතිබුණු ජනපදිකයන්ට ඉඩමක හිමිකාරිත්වය ලැබීම ඔවුන්ට ආශිර්වාදයක් වූවා සේම, ජනපද අසල පැරණි ගම්වල ඉඩම් විශාල ප්‍රමාණයක් අත්කරගෙන සිටි ගැමි ප්‍රභූහු තම ඉඩම් කොටස් කිරීම පිළිබඳවද විරුද්ධ වුහ. තවත් අතකින් බලනවිට යටිතල පහසුකම් සංවර්ධනය නිසා රජයේ ප්‍රතිලාභ අපෙක්ෂාවෙන් බොහෝදෙනා ජනපදයෙන් ඉඩම් කොටසක් හිමිකර ගැනිමට උත්සාහ කළහ. මේ නිසා චන්ද්‍රිකාවැව ජනපදයේ ඉඩම් සදහා පැවති අරගලය සමාජ අරගලයක් දක්වා ව්‍යාප්ත විය. එහි ප්‍රතිඵලයක් වූයේ මුල් පදිංචිකරුවන් හා සංක්‍රමණිකයන් වශයෙන් සිදුවූ විභේදනයයි. ඒ මත ගැටුම් ඇති වීමයි. 04 වන යාය තවත් ගැටලූවකට මුහුනපෑවේ එම යාය තුළ පදිංචි වු බොහෝ දෙනා කුල ධූරාවලියේ පහළ කුලවලට අයත් විම නිසාය. මේ නිසා චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපෘතිය සමාජයීය ඒකාග්‍රතාවය පිළිබදව, සමාජ ඒකාබද්ධතාවය පිළිබදව ගැටලූ රාශියක් නිර්මාණය කළ භූමි ප්‍රදේශයක් විය. විවිධාකාර වූ කුල මට්ටම්, ආදායම් මට්ටම් හා සංස්කෘතික මට්ටම් ආදිය එකම ජනපදයක් තුළ ඒකරාශී වීමේදී ඇතිවු ගැටුම්වල ප්‍රතිඵලයක් වූයේ කල්ලි හා අවිධිමත් ව්‍යාපාර අංශ නිර්මාණය වීමයි. මේ නිසා ජනපදිකයන් අතර අසල්වාසී සමුහ සම්බන්ධතා දුර්වල වූ අතර ඔවුන් තම මුල්ගම්වල සිටි ඥාතීන් සමග සම්බන්ධතා පවත්වා ගැනිමට පුරුදූවිය. නිඡ්මාන් (1999) විසින් ඉදිරිපත් කරනු ලැබු තවත් ගැටලූවක් වූයේ ජනපදය තුළට අනවසරයෙන් පැමිණි පදිංචිකරුවන් නවක පදිංචිකරුවන්ගේ කුලීකරුවන් විමේ තත්ත්වයයි. චන්ද්‍රිකාවැව ව්‍යාපාරයේ ජනප්‍රියභාවය නිසා ඉඩම් බලාපොරොත්තුවෙන් පැමිණි බොහෝදෙනා කවදා හෝ තමන්ටද සාධාරණයක් ඉටුවේයැයි බලාපෙරොත්තුවෙන් අනවසර ඉඩම් වල පදිංචි වුහ. මේ නිසා ඉඩම් කට්ටි ලැබුණු අයට තමාගේ වගා කටයතු සභා කුලි පදනම මත අනවසර පදිංචිකරුවන්ගේ ශ්‍රමය ලබාගත හැකි විය. මේ නිසා චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපාරය මගින් සාමිප්‍රදායික ගොවිතැනේ පැවති එකමුතුභාවය, සාම්ප්‍රදායික ගැමි සිරිත් හා විශ්වාසයන් ආදිය බිද දැමිමට කටයුතු කර ඇත. එය ප්‍රතිපත්තිමය හා සැලසුම්ගත තීරණවල වරදක් ලෙස නිජ්මාන් (1999) හදුනාගනී.


මෙම අධ්‍යයන මගින් විස්තර කෙරෙන්නේ ඉහතින් දක්වන ලද යාය කොටස් අතුරින් යාය අංක 04 පිළිබදවයි. එහි ජීවත්වන කාන්තාවන්ගේ සමාජ ආර්ථීක කාර්යයන් හා තත්ත්වයේ සිදු වී ඇති වෙනස්කම් පිළිබදවයි.

භූ රූප සැලැස්ම[සංස්කරණය]

චන්ද්‍රිකා වැව භූ රූප සැලැස්ම



ගොවිජනපද සියල්ලකම පාහේ පරිපාලන ඒකක සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ යාය :ඔර්ජන- වශයෙනි.චන්ද්‍රිකාවැව නම් ජලාශය තනන ලද්දේ වළවේ ගංගාවේ අතු ගංගාවක් වන හුලංදා ඔය හරහා හල්මිල්ලකැටිය නම් ස්ථානයේදී වේල්ලක් බැදීමෙනි. වැවෙහි ධාරිතාවය අක්කර 24,000කි. චන්ද්‍රිකාවැව වලවේ ව්‍යාපාරයේ දකුණු ඉවුර ලෙස සැලකේ. මෙම රූප සටහනෙන් පැහැදිලිවන ආකාරයට චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපාරයේ මූලස්ථානය වන හල්මිල්ලකැටියේ සිට දිවයන ප්‍රධාන ඇළ මාර්ගය දෙපස භූමි ප්‍රදේශය යාය අංක 04 යටතේ වෙන්කර ඇත. මෙම ප්‍රදේශය සමස්ත ගොවිජනපද අතුරින් සුවිශේෂ භූමි ප්‍රදේශයක් වන්නේ රත්නපුර, මාතර, හම්බන්තොට යා කෙරෙන ප්‍රධාන මාර්ගයට පා ගමනින් යා හැකි දුරක පිහිටීම නිසාය. තවද හල්මිල්ලකැටිය මහා විද්‍යාලය, ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය, ඒකක කළමණාකරණ කාර්යාලය, සමෘද්ධි සංවර්ධන නිලධාරී කාර්යාලය, හා ප්‍රධාන ජල සොරොව්ව පිහිටා තිබිමයි. ඊට අමතරව ජනපදයේ පළමුවෙන්ම පදිංචි වූ ජනගහනයද වන්නේ යාය අංක 04 පිරිසයි. එමෙන්ම පුරාණ ගම්වාසීන් හා සංක්‍රමණික වැසියන් බහුලව සම්මිශ්‍රණය වී ඇති කොටස වීමයි. මේ නිසා ඉතා ඉහළ අධ්‍යයන වැදගත්කමක් දරන මෙම කොටසේ සමාජ ආර්ථීක තොරතුරු විමසා බැලීමද වැදගත්වේ.


චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපාරයේ සමකාලීන සමාජ ආර්ථීක පසුබිම[සංස්කරණය]

චන්ද්‍රිකාවැව ගොවිජනපද භූමිභාගය තුළ 2008 මහවැලි සංගණන වාර්තාවට අනුව පවුල් 2900ක් පමණ ජීවත්විය. එහිදී නීත්‍යානුකූලව පදිංචි පවුල් මෙන්ම අනවසරයෙන් පදිංචි පවුල්ද හදුනාගත හැකිය. ගොවිජනපද ව්‍යාපාරය ආරම්භයේදී පදිංචි වූ පවුල් සංඛ්‍යාව 1700ක් පමණ වුවද ඉඩම් කොටස් කිරීම, බලහත්කාරයෙන් පදිංචි වී සිටීම ආදිය නිසා පවුල් සංඛ්‍යාව වැඩි වී ඇත. 1935 ඉඩම් සංවර්ධන පනතට අදාළ නීති හා රෙගුලාසි යටතේ හා ජයභූමි ඔප්පු ප්‍රදානය කිරීමේ නීතිය යටතේ ජනපදිකයන්ට ලබාදුන් ඉඩම් කොටස් කිරීම තහනම් වුවද වර්තමානය වනවිට පවුලේ දරුවන් අතර ඉඩම් කොටස් ඛෙදීගොස් තිබේ. නිත්‍යානුකූල අයිතිවාසිකමක් නොමැති වුවද බොහෝවිට තමන්ට වෙන්කරගත් කොටසක ඔවුහු පදිංචි වී සිටිති. නිරන්තරව පවුල් අතර අරගල හා ගැටුම් ඇතිවීමට මෙම ඉඩම් ඛෙදා ගැනිම හේතු වී ඇත. අධ්‍යයනයට පදනම් වූ යාය අංක 04 හෙවත් හල්මිල්ලකැටිය යාය පවුල් 519කින් සමන්විත වේ. පවුල් ජනගහනය සලකා බලනවිට ස්ත්‍රී පුරුෂ අනුපාතය 57% හා 43% ක් වේ. ඒ ස්ත්‍රීන් 57% ක් හා පුරුෂයන් 43% ක් වශයෙනි. පළමු පරම්පරාවට අදාළව සාමාන්‍යයෙන් පවුලකට දරුවන් සංඛ්‍යාව 4-7 ත් අතර වන අතර දෙවන පරම්පරාව හෙවත් සමකාලීන පරම්පරාව තුළ පවුලක දරුවන් සංඛ්‍යාව සාමාන්‍ය වශයෙන් 2-3 අතර වේ.


ගොවිජනපද ව්‍යාපාරය ආර්ථීකමය ඒකකයක් වශයෙන් සලකා බලනවිට එහි බහුවිධභාවයක් පවතී. ගොවිජනපද ව්‍යාපාරයක් වන නිසාම තවමත් ප්‍රධාන ආර්ථීක කෘත්‍යය ලෙස සැලකෙන්නේ කෘෂිකර්මාන්තයයි. හල්මිල්ලකැටිය යාය පිළිබදව සදහන් කරන්නේ නම් ප්‍රශ්නාවලි තොරතුරු මගින් ලබාගත් දත්තවලට අනුව වර්තමානයේදී පවුලකට අදායම් ගලාඑන මාර්ග ගණනාවක් තිබේ. එනම් වෙළෙදාම, ස්වයංරැකියා, කෘෂිකර්මාන්තය, කුලී වැඩ, රාජ්‍ය අංශයේ රැකියා, පෞද්ගලික අංශයේ රැකියා හා අවිධිමත් අංශයෙන් ලැඛෙන ආදායම් වශයෙනි. එක් එක් පවුල මගින් ලබාගත් ආදායම් ප්‍රකාශයන්ට අනුව ආර්ථීක කෘත්‍යයන්හි ප්‍රමාණාත්මක ප්‍රතිශතය පහත පරිදි පෙළගැස්විය හැකිය. මෙහිදී පරම්පරා දෙක නියෝජනය වන පරිදි පළමු පරම්පරාවට අදාළ කාල සීමාව 1960-1980 වශයෙන් ද දෙවන පරම්පරාවට අදාළ කාල සීමාව 1980-2005 වශයෙන් ද ගනිමු.



චන්ද්‍රිකාවැව ගොවිජනපදය තුළ කුළීවැඩ සදහා පවතින ප්‍රවනතාවය ඉහළ ගොස් තිබේ. මේ පිළිබදව විමසනවිට පැහැදිළි කරගත හැකි කරුණක් වන්නේ ඉඩම් ඛෙදාදීමේ ප්‍රතිපත්තියේ පැවති දුර්වලතාවය මත දෙවන පරම්පරාව වන විට සුළු භූමි ප්‍රමාණයක් හිමිවීම හා බොහෝ විට ඉඩම් අහිමිවීම මත කෘෂිකර්මාන්තයෙන් බැහැර වී ඇති බවයි. මේ නිසා දෙවන පරම්පරාවේ පිරිමි පාර්ශවය අතර දැඩි මානසික අසහනකාරී තත්ත්වයක් හදුනාගත හැකිය. මේ පිළිබද වඩාත් හොදින් පැහැදිළි කරගැනිම සදහා වික්‍රමරත්න (1995) විසින් මහවැලි ගොවිජනපද ව්‍යාපාරය හා එහි තාර්කිකභාවය පිළිබද සිදුකර ඇති අධ්‍යයනය යෝජනා කළ හැකිය. එම අධ්‍යයනය මගින් වික්‍රමරත්න පවසන්නේ මහවැලි ව්‍යාපාරයේද දෙවන පරම්පරාව නියෝජනය කරන අය අතර දැඩි මානසික පීඩනයක් හා නිරන්තරව ගැටුම්කාරී ස්වභාවයක් පවතින බවයි. වෙළෙදාම, ස්වයං රැකියා වල නිරතවීම යන හේතූන් නිසා අවිධිමත් ආදායම් මාර්ග වල නිරතවීමේ ප්‍රවනතාවය අඩුවී ඇත. අවිධිමත් ආදායම් මාර්ග වශයෙන් හදුනාගත හැකිවූයේ හොර මත්පැන් නිෂ්පාදනය හා කංසා හේන් වගා කිරිමයි. මේ පිළිබද තොරතුරු ප්‍රශ්නාවලිය මගින් අනාවරණය නොවූ අතර ගමේ ප්‍රභූවරයෙකු සමග සිදුකළ සාකච්ජාවකින් අනාවරණය කරගත් ඒවා වේ.


ආදායම් ලැබීමේ මාර්ග විවිධවීම හා එම ආදායම් දීර්ඝකාලීනව ආයෝජන වීම නිසා චන්ද්‍රිකාවැව ජනපදයේ නවීන ආකාරයට සියලූ පහසුකම් සහිතව ගොඩනංවන ලද නිවාස බොහෝ ප්‍රමාණයක් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම වෙළෙදාම හා ස්වයං රැකියා කර්මාන්ත වල නිරත අය ජීවත්වන නිවාසවල ආදායම් මට්ටම ඉහළ තත්ත්වයක පවතින අතර මේ නිසාම ඔවුන් පළමු පරම්පරාවට සාපේක්ෂව විශාල දියුණුවක් ලබාගෙන තිබේ. එහෙත් අධ්‍යාපන සාධනය සැලකිල්ලට ගෙන බැලිමේදී දෙවන පරම්පරාවේ අයද සතුටුදායක මට්ටමේ අධ්‍යාපන ප්‍රවනතාවක් ලබාගෙන නොමැත. විශේෂයෙන් පළමු පරම්පරාවේ සාමාන්‍ය අධ්‍යාපන මට්ටම වූයේ පුරුෂ පාර්ශවය 05 ශ්‍රේණිය දක්වා හා කාන්තා පාර්ශවය 07 ශ්‍රේණිය දක්වාය. දෙවන පරම්පරාව වන විට එය වෙනස් වී ඇත්තේද සුළු වශයෙනි. ඒ පුරුෂ පාර්ශවය 08 ශ්‍රේණිය දක්වා හා කාන්තා පාර්ශවය 10 ශ්‍රේණිය හෝ සාමාන්‍යපෙළ මට්ටම දක්වා පමණක් වීමයි. නියැදියට අනුව සාමාන්‍යපෙළ ඉක්මවා උගත් පුරුෂයන් 07 දෙනෙක් ද කාන්තාවන් 11 දෙනෙක් ද සිටියහ. එයින් එක් කාන්තාවක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගෙන ඇත. මෙම අඩුපාඩුවට හේතුලෙස ජනපදිකයන් දැක්වූයේ හේන් වගාවට හා කුඹුරුවලට අත් උදවු දීමට නතරවීම නිසා කාලයක් ගතවනවිට පාසැලට යාම අමතක කර දැමූ බවයි. එහෙත් ඔවුහු අධ්‍යාපනයේ වටිනාකම ඉතා හොදින් අවබෝධ කරගෙන සිටිති. චන්ද්‍රිකාවැව ගොවිජනපදයේ හල්මිල්ලකැටිය යාය තුළ තෙවන පරම්පරාවේ අධ්‍යාපන උත්සාහයන් ප්‍රසස්ත මට්ටමක පවතී. හොඳ ආදායම් ප්‍රමාණයක් ලැබීමේ ප්‍රතිඵලය මත තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් හා කුසලතා පුහුණුවක් ලබාදීමට දෙවන පරම්පරාවේ අය සෑම උත්සාහයක්ම දරනු හඳුනාගත හැකිය.


ප්‍රජා සංවිධාන හා සමාජ සංවර්ධන කාර්යයන්වල විශාල ප්‍රගතියක් සිදුවී ඇත. ගොවිජනපද ව්‍යාපාර ආරම්භ වීමට පෙර ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වී සිටි කොලොන්න කෝරලයේ ජනතාව ගොවිජනපදය ආරම්භ වීමත් සමඟ තම ජීවිකාව පමණක් නොව තම හැකියාවන්ද වර්ධනය කරගැනීමට උත්සාහ දරා ඇත. කන්න සභා රැස්වීම්, ගොවි සමිති, ශ්‍රමදාන ආදිය සඳහා ඔවුන් ඉතා කැමැත්තෙන් සහභාගි වී තිබේ. මෙහිදී පුරාණ ගම්වැසියන්ට වඩා සංක්‍රමණය වූ වැසියන්ගේ නියෝජනය කැපීපෙනේ. ගොවි සමිතියේ සභාපති ධූරය පවා අඛණ්ඩව ලබාගෙන ඇත්තේ සංක්‍රමණය වූ ජනගහනයට අදාළ අයයි. එහෙත් පළමු පරම්පරාවට අදාළව විමසීමේදී ප්‍රජා සංවිධාන කටයුතු සඳහා කාන්තාවන්ගේ නියෝජනය ප්‍රමාණවත් නොවන මට්ටමක පවතී. එම තත්ත්වය වර්තමානයේදී වෙනස් වී ඇත්තේ වර්තමානයේදී සියලූම ප්‍රජා කටයුතු සඳහා දායකවිමේ අවස්ථාව කාන්තාව ලබාගෙන ඇති නිසාය. ගෘහමුලිකත්වය පුරුෂයා සතු වුවද සමිති සමාගම් වල නිලතල දැරීම, සහභාගී විම හා විවිධ උත්සව ආදිය සංවිධානය කිරිම ආදියේදී කාන්තාවෝ පුමුඛ වෙති. පිරිමි පාර්ශවය සහභාගිවන්නේ කන්න සභා රැස්වීම් හා පොහොර ලබාගැනීමේ අවස්ථාවලට පමණි.

සාරාංශය[සංස්කරණය]

චන්ද්‍රිකාවැව ජනපදය ආරම්භ කරන විට ජනපදිකයන්ගේ ජීවන අපේක්ෂාව වූයේ තමාටම හිමි වූ ඉඩමක වගා කරමින් හොද ගොවි මහතෙකු හා ගෙවිලියක විමයි. මෙතෙක් කාලයක් කුලී ශ්‍රමය මත පදනම්ව ජීවිකාව ගෙන ගිය බොහෝදෙනාට තමාගේම ඉඩමක වගා කිරීමේ හැකියාව ගොවිජනපදකරණය මගින් හිමිවිය. නිරන්තරව උපදෙස් හා පුහුණුව ලබාදීමට සැරසීසිටි මහවැලි නිලධාරී මණ්ඩලය නිසා ඔවුන්ගේ කටයුතු වඩා පහසුවිය. මේනිසා තමන් මුල්ගම්වල සිටි තත්ත්වයට වඩා වෙනස් හා ඵලදායි ජිවන ක්‍රමයක ඔවුන් නිරතවීම මගින් මානසික වශයෙන් ඉතා හොඳ තෘප්තියක් ලැබූබව පෙනේ. එහෙත් දෙවන පරම්පරාව වනවිට මෙම තත්ත්වය වෙනස් වී තිබේ. පවුල් ගොවිපොළ ක්‍රමය අහෝසි වීමත් සමග ඉඩම සදහා පැවති වටිනාකම අඩු වීම නිසා ආදායම් උත්පාදනය කිරීමේ වෙනත් මාර්ග සදහා ඔවුන් යොමුවීම හඳුනාගත හැකිය. එමෙන්ම සමාජ වෙනස්වීම හමුවේ විවෘත ආර්ථීකය, ගෝලියකරණය, ජනමාධ්‍යයේ භූමිකාව හා මැදිහත්වීම ආදිය මගින් ඔවුන්ගේ ආර්ථීක කටයුතු වල සිදුවූ විවිධත්වය අනෙකුත් සමාජ කාර්යයන් හැදෑරීමෙන් අවබෝධ කරගත හැකිය. නවීන නිවාස පහසුකම්, විවේකය, විනෝදය සදහා පවතින වුවමනාකම් මගින් ඔවුන්ගේ ජීවිත සංකීර්ණ වී තිබේ. මුල්කාලීනව සෙසු ග්‍රාමීය ප්‍රජාව හා සසඳා බලනවිට ගොවිජනපදය සුවිශේෂී තත්ත්වයන් නිසා කැපී පෙනුනි. පැහැදිලිව ගොවිජනපදයේ ජනතාවගේ ජීවන රටාව හා සෙසු ග්‍රාමීය පෙදෙස්වල ජීවන රටාව වෙනස් විය. රජයේ නිරන්තර මැදිහත් වීම, සාමුහිකභාවය, කාල නිර්ණයක් අනුව වගා කටයුතු කිරීම හරහා සියලූ කාර්යයන් වල ක්‍රමානුකූලතාවයක්, ඒකාබද්ධභාවයක් පැවතුණි. එහෙත් වර්තමානයේදී ගොවිජනපදයක් හෝ සෙසු ග්‍රාමයක් වෙන්කොට හඳුනාගත නොහැක. ඒවා වෙනස්වන්නේ සෙසු ග්‍රාමයක් නමකින් හදුන්වන විට ගොවිජනපදය යාය අංකයක් මගින් හැඳින්වීමෙන් පමණක් වේ. එහෙත් එහි වෙසෙන ජනතාව හා සාමාන්‍ය ජනතාව අතර ඔවුන්ගේ වුවමනාකම්, අපේක්ෂාවන් සම්බන්ධයෙන් සලකා බලන විට කිසිදු වෙනසක් හඳුනාගත නොහැක.

පින්තූර ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • අමුණුගම, එස්. 1970. සංස්කෘතිය සමාජය හා පරිසරය. නුවණ මාධ්‍ය සේවා ප්‍රකාශන, කොළඹ .
  • ඥානවිමල, කේ. 1967. සබරගමුවේ දර්ශනය. ශාස්ත්‍රෝදය මුද්‍රණාලය, රත්නපුර.
  • ඥානවිමල, කේ. 1942. සබරගමුවේ පුරාණ ලියවිලි . ජිනදාස මුද්‍රණාලය, කොලඹ.
  • Narada, Rev. V. 1992. History of Ratnapura. In Sabaragamuwa" Udana 2. ed. Bandula Liyanage, Sabaragamuwa Provincial Council.Ratnapura.
  • Nijman, C. 1999. Irrigation Management Processes and Conditions: A Case Study of Sri Lanka’s Walawe Irrigation Improvement Project. International Irrigation Management Institute
  • Wickremaratne, M. L. H. 1995. ‘The Rationale of the Accelerated Mahaweli Programme’ ,in H. P. Muller and S. T. Hettige (ed), The Blurring of a Vision - The Mahaweli: Its Social, Economic and Political Implications , Sarvodaya, Ratmalana.