ගුරු (2007 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
ගුරු
සිනමාශාලා නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයමණි රත්නම්
රචනයවිජේ ක්‍රිෂ්ණා ආචාර්ය
(හින්දි දෙබස්)
අළගම් පෙරුමාල්
(දෙමළ දෙබස්)
තිර රචනයමණි රත්නම්
නිශ්පාදනය
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයරජීව් මෙනන්
සංස්කරණයඒ. ශ්‍රීකර් ප්‍රසාද්
සංගීතයඒ. ආර්. රහ්මාන්
බෙදාහැරීමමැඩ්‍රාස් ටෝකීස්
නිකුත්වූ දිනය
  • 12 ජනවාරි 2007 (2007-01-12)
තිර කාලය
මිනිත්තු 162
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR150 මිලියන (2016 දී INR320 මිලියන හෝ US$4.9 මිලියන ට සමාන ය)
ආදායමINR1 බිලියන (2016 දී INR2.1 බිලියන හෝ US$33 මිලියන ට සමාන ය)

ගුරු යනුවෙන් හැඳින්වෙන්නේ 2007දී විකාශය වූ නාට්‍ය චිත්‍රපටයකි. මෙය දළ වශයෙන් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් පිහිටුවූ ව්‍යාපාරික ධිරුභායි අම්බානිගේ දිවිය අලලා නිර්මාණය වූවකි.[1] මෙම චිත්‍රපටයේ සම-තිරරචනය සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ මණි රත්නම් විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අභිෂේක් භච්චන්, ඓශ්වර්යා රායි, ආර්. මාධවන්, විද්‍යා බාලන්, ආර්යා බබ්බර්, සහ මිතුන් චක්‍රබෝර්ති විසිනි. මිට අමතරව මල්ලිකා ෂෙරාවත් විසින් මෙම චිත්‍රපටයේ ආරාධිත නිරූපණයක් ද සිදුකරයි. මෙම චිත්‍රපටයේ ස්වර මාලාව සහ නාදපථය නිර්මාණය කරන ල්දදේ ආර්. ඒ. රහ්මාන් විසිනි. දෙමළ බසින් ගුරු ලෙසත්, සහ තෙලිඟු බසින් ගුරුකාන්ත් ලෙසත් හඬකවා නම්කරන ලද චිත්‍රපට හින්දි චිත්‍රපටය හා සමගාමීව විකාශය විය. මෙම චිත්‍රපටයේ දෙමළ ප්‍රභේදයේ ප්‍රධාන චරිතය (අභිෂේක් භච්චන්) සඳහා හඬකවන ලද්දේ සූරියා විසිනි.[2] 2007 ජනවාරි 12 දින මෙම චිත්‍රපට මුදාහැරිණි. එහි ආරම්භක දර්ශනය 2007 ජනවාරි 11 දින කැනඩාවේ ටොරන්ටෝවේ එල්ජින් තියටර්හි දී ප්‍රදර්ශනය කෙරිණි. මෙලෙසින් එය කැනඩාවේ ප්‍රධාන අන්තර්ජාතික මංගල දර්ශනයක් සහිත වූ ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය.[3][4][5] මෙම චිත්‍රපටය 2007 කෑන්ස් චිත්‍රපට උළෙලේ ටූස් ලෙස් සිනෙමාස් ඩු මොන්ඩේ (ලෝක සිනමා) අංශයෙන් ද ප්‍රදර්ශනය කෙරිණි.[6][7]

කථා පුවත[සංස්කරණය]

මෙම චිත්‍රපටයේ කථා පුවත ආරම්භ වන්නේ 1951 උතුරු ගුජරාතයේ, සබර්කාන්ත දිස්ත්‍රික්කයේ ඉදාර් නම් කුඩා ගම්මානයේ ය. මෙම ගම්මානයේ වෙසෙන ගුරුකාන්ත් "ගුරු" දේසායි (අභිෂේක් බච්චන්) නම් තරුණයා යම් දිනක දැවැන්ත පුද්ගලයකු වීමට සිහින බවයි. ගම්මානයේ පාසලේ විදුහල්පතිවරයා වන ඔහුගේ පියා (රාජේන්ද්‍ර ගුප්තා) ඔහුට සිහින නොදකින ලෙස පවසන්නේ ඒවා කිසිදින සැබෑ නොවන බැවිනි. තුර්කිය වෙත යාමට තීරණය කරන ගුරුකාන්ත් කුළු බඩු වෙළඳාමෙහි යෙදෙයි. පසුව ඔහුට උසස්වීමක් පිරිනැමුණ ද, ඔහු එය ප්‍රතික්ෂේප කොට රැකියාවෙන් ඉවත් වන්නේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. මේ අතර යළි ගම්මානය වෙත යන ඔහු සුජාතා (ඓශ්වර්යා රායි බච්චන්) සමග විවාහ වන්නේ ප්‍රධාන වශයෙන්ම ඇගේ දායාදය නිසායි. සුජාතා සහ ඇගේ සොහොයුරු ජිග්නේශ් (ආර්යා බබ්බාර්) සමග බොම්බාය වෙත සංක්‍රමණය වන ගුරු එහි දී රෙදි ව්‍යාපාරයක් ආරම්භ කරයි. ක්‍රමයෙන් සිය ව්‍යාපාරය පුළුල් කරන ඔහු තමන්ගේම නිෂ්පාදන ඒකකයක් ස්ථාපනය කරන්නේ "ශක්ති සංස්ථාව" යන නාමයෙනි.

ස්වතන්ත්‍ර පුවත්පත ප්‍රකාශයට පත්කරන මාණික් "නානාජි" දාස්ගුප්තා (මිතුන් චක්‍රබෝර්ති) ගුරුට සලක්නනේ සිය පුත්‍රයකුට මෙනි. ගුරු ද ඔහුට සිය පියාට මෙන් සලකන්නේ බොම්බායේ මුල් දිනවල ඔහු දැක්වූ සහයෝගය හේතුවෙනි. ඔහු දාස්ගුප්තාගේ මිණිපිරිය වන මීනු (විද්‍යා බාලන්) සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගනියි. මීනු බහු ජරඨතාවය නම් රෝගයෙන් පෙළෙන අතර, ඇය රෝද පුටුවක් භාවිතා කරන්නට පටන් ගනියි.

ගුරුකාන්ත් දේසායිගේ ව්‍යාපාරය ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරවලින් එකක් වන විට, ඔහු සාර්ථකත්වය පසුපස දැඩිව හඹා යයි. ඔහු සිය පොලියෙස්ටර් කර්මාන්තශාලා වෙත නීති විරෝධී ලෙස යන්ත්‍ර කොටස් රැගෙන එන අතර, නීත්‍යානුකූල ලෙස භාණ්ඩ නිපදවමින් වෙළඳපල මෙහෙයවන්නට තැත් කරයි. ගුරුගේ සාර්ථකත්වය සාධාරණ එකක් නොවන බව මාණික් දාස්ගුප්තා වටහා ගැනීමත් සමග, මාණික් සිය පුවත්පතේ වාර්තාකරුවකු වන ශ්‍යාම් සක්සේනා (මාධවන්) සමග ගුරුගේ දූෂිත ක්‍රම අනාවරණය කිරීමට තීරණය කරයි.

මෙම පුවත්පතේ පීඩනය හේතුවෙන් ගුරු හට ආඝාතය ඇතිවන අතර, ඔහුගේ සිරුරේ දකුණුපස අඩපණ වේ. මේ අතර ශ්‍යාම් සමග විවාහ වී සිටින මීනු (විද්‍යා බාලන්) රෝගාතුරව මිය යයි. අවසානයේ 1980 ඔක්තෝබර් 16 දින ගුරු රජයේ පෞද්ගලික විමර්ශනයක් වෙත රැගෙන යන්නේ ඔහුට විරුද්ධව ජනමාධ්‍යවලින් එල්ල වන චෝදනා පැහැදිළි කිරීමටයි. නමුත් පසු දිනයේ ඔහුට මාධ්‍ය ඉදිරියේ කතාවක් පැවැත්වීමට සිදුවන අතර, ඒ නිසා රජයට ඔහුට එරෙහි චෝදනා 29න් 27ක් නිදොස් කිරීමට සිදුවේ. ඔප්පු වූ සෙසු චෝදනා දෙක වෙනුවෙන් ඔහුට ඉන්දියානු රුපියල් මිලියන 6.3ක (2016දී ඉ.රු. මිලියන 100 හෙවත් ඇ.ඩො. මිලියන 1.5කට සමාන) සහ ඉන්දියානු රුපියල් 96,000 (2016දී ඉ.රු. මිලියන 1.6 හෙවත් ඇ.ඩො. 23,000ට සමාන) වන්දි මුදලක් ගෙවීමට සිදු වේ. අනතුරුව ඔහුට ව්‍යාපාරය යළි හිමි වේ.

නිෂ්පාදනය[සංස්කරණය]

ගුරු රචනය සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ මණි රත්නම් විසින් වන අතර, මෙහි හින්දි දෙබස් විජේ ක්‍රිෂ්ණා ආචාර්ය විසින් රචනා කරන ලදී. මෙහි රූගත කිරීම් සිදුවූයේ මුම්බායි, තුර්කිය, බදාමි සහ මෙල්කොටේ (කර්ණාටක ප්‍රාන්තයේ) මෙන්ම චෙන්නායි, පොල්ලචි, මදුරෛ, තමිල් නාඩුවේ චෙට්ටිනාඩ් ප්‍රදේශය සහ කේරළයේ [‍[අතිරපිල්ලි]] වැනි ප්‍රදේශවල ය. චිත්‍රපටයේ වැඩි ප්‍රමාණයක් රූගත කෙරුණේ ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් සහ දිනමණි ආදියෙහි නිවහන වූ එක්ස්ප්‍රස් වතුයායේ ය. මෙහි එක් ගීත දර්ශනයක රූගත කිරීමක දී ඓශ්වර්යා බයිසිකලයෙන් ඇද වැටුණු අතර, ඇගේ අතෙහි සහ පාදයෙහි සීරීම් තුවාළ ඇති විය. ඇයට ප්‍රථමාධාර ලබාදෙන තෙක් රූගත කිරීම් පැය කිහිපයකට අත්හිටුවීමට සිදු විය.[8] එම ගීතය චිත්‍රපටයෙන් කපාහැර "බර්සෝ රේ" ගීතය මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී.[9] මෙහි සංගීත නිර්මාණය ඒ. ආර්. රහ්මාන් විසින් සිදුකළ අතර, පද රචනය ගුල්සාර් විසින් සිදුකරන ලදී. චිත්‍රපටයේ සිනෙමාරූපණය මෙහෙයවන ලද්දේ රජීව් මෙනන් විසිනි.[10] අවසන් සිනමාශාලා ප්‍රභේදයෙන් මෙම චිත්‍රපටයේ එන ඇතැම් දර්ශන මකාදමන ලදී. ඒ අතරට සුජාතා පළමුව මළ දරුවකුට උපත දෙන දර්ශනය සහ මාණික් දාස්ගුප්තා මුණගැසීම හේතුවෙන් ගුරු සිය භාර්යාව සමග කෝප වන අවස්ථාව ඇතුළත් විය.

ගුරු චිත්‍රපටය තුළින් සාර්ථකත්වය උදෙසා මිනිසා තුළ පවතින ආශාව සහ දේශය නිදහස ලබාගත් සමයේ සිට වර්තමානය දක්වා කාලය වෙනස් වූ අයුරු දිග හැරේ. ඇතැම් වාර්තා මගින් සැකපහළ කළේ මෙය චරිතාපදාන චිත්‍රපටයක් බවත් එය ඉන්දියාවේ දැවැන්තම කාර්මික ව්‍යාපාරිකයකු වන ධිරුභායි අම්බානිගේ කථා පුවත බවත් ය. ගුරු සේම අම්බානිගේ ද සම්භවය ගුජරාටයේ වන අතර ඔහුගේ පියා ගුරුවරයකු විය. ෂෙල් ගෑස් සමාගමේ සෙවය පිණිස ඔහු විදේශගත වූ අතර, යළි ඉන්දියාවට පැමිණියේ පොලියෙස්ටර් ආනයනය කිරීමටයි.[11] රත්නම් විසින් විස්තර කොට ඇත්තේ ගුරු අතීතය මෙන්ම වර්තමානය තුළින් ආභාසය ලබා ඇති බවයි.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රතිචාරය[සංස්කරණය]

බොක්ස් ඔෆීස්[සංස්කරණය]

ගුරු මුදාහැරීමෙන් පසුව එය යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට නිරාවරණය විය.[12] එක්සත් ජනපදය තුළ, සීමිත මුදාහැරීම යටතේ විවෘත කෙරුණු ගුරු එහි ආරම්භක සති අන්තයේම ඉහළ සාර්ථකත්වයක් හිමි කරගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 3ක (ඇ.ඩො. 450,000) ආදායමක් උපයා ගනිමිනි. මෙය අතිශයින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිශතයක් විය.[13] හත්වන සතිය වන විට, චිත්‍රපටය ඉන්දියාව තුළ ඉන්දියානු රුපියල් කෝටි 41.65ක (ඇ.ඩො. මිලියන 6.2) ශුද්ධ ආදායමක් හිමි කරගත්තේ ය.[14] එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය තුළ ප්‍රදර්ශනයෙන් එය ඉන්දියානු රුපියල් කෝටි 13ක (ඇ.ඩො. මිලියන 1.9) ආදායමක් ද උපයා ගත්තේ ය.[15][16] 2007 පෙබරවාරි 23 වන විට, ජනවාරි 12 මුදාහළ ගුරු ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 80ක (ඇ.ඩො. මිලියන 12) ආදායමක් හිමි කරගත්තේ[17] "ජනමෝදකයක්" බවට පත්වෙමිනි.[18] එක්සත් ජනපදය තුළ එය බ්ලොක්බස්ටරයක් විය.

විචාරක පිළිගැනීම[සංස්කරණය]

ගුරු චිත්‍රපටය විචාරකයන් වෙතින් අතිශයින් ධනාත්මක ප්‍රතිචාර හිමි කරගැනීමට සමත් විය. මෙහි රංගන ප්‍රතිභාව වෙනුවෙන් අභිෂේක් බච්චන් නොමඳ පැසසුමට භාජනය විය. Rotten Tomatoes නැමැති විචාරක වෙබ්අඩවිය විසින් මෙම චිත්‍රපයට සියයට 90ක ඇගයුමක් ලබාදුන්නේ ය.[19] ද නිව් යෝක් ටයිම්ස් පුවත්පත මෙම චිත්‍රපටය පිළිබඳ ප්‍රකාශ කළේ "පොලියෙස්ටර් නිෂ්පාදකයකුගේ චරිතය, විශේෂයෙන් ප්‍රබන්ධ එකක් වුවත් ආශ්‍රයෙන් වින්දනීය නිර්මාණයක් සිදු කිරීමට අපහසු යැයි ඔබ සිතනවා ඇති. නමුත් අධ්‍යක්ෂ මණි රත්නම් “ගුරු” සමගින් එය මැනවින් ඉටු කොට තිබේ. යමක් කළ හැකිය යන හැඟීමට සහ මුම්බායි ධනේශ්වරවාදයට මෙය ජය ගීතයක් වැනි ය."[20] ද නිව් යෝක් පෝස්ට් මෙම චිත්‍රපටයට තරු හතරෙන් තුනක් ලබා දුන් අතර, ලොස් ඇන්ජලීස් වීක්ලි පුවත්පත පැවසූයේ මෙය ලගාන් චිත්‍රපටයෙන් පසුව බිහිවූ හොඳම හින්දි චිත්‍රපටය බවයි.[21] ටයිම් සඟරාවේ රිචඩ් කොර්ලිස් විසින් මෙම චිත්‍රපටය ෆ්‍රෑන්ක් කප්‍රාගේ It's a Wonderful Life චිත්‍රපටය සමග සසඳමින් පැවසූයේ මෙම චිත්‍රපටයේ කැපීපෙනෙන ප්‍රධාන අංගයක් වනුයේ එහි භාවෝන්නතිය බවයි. ගුරු ද අනර්ඝ පොලියෙස්ටර් නිමැවුක් වැනි ය. ඔහු තවදුරටත් පැවසූයේ, "ඓශ්ගේ චිත්‍රපටයේ විශිෂ්ටත්වය අභිරහසක් බවයි. ඇයගේ රූමත්භාවය පිළිබඳ කිසිදු වාදයක් නොමැති වුව ද, ඇය නිළි-නිරූපිකාවකට වඩා නිරූපිකා නිළියක වේ. ගුරු තුළ ඇය ප්‍රධාන වශයෙන්ම අලංකරණයයි".[22] හින්දුස්ථාන් ටයිම්ස් විචාරකයා විසින් මෙය තරු තුන හමාරක් ලබාදෙමින් පැවසූයේ "රත්නම් සහ කනිෂ්ඨ බච්චන් විසින් ව්‍යාපාර දේශපාලනයට සමීප වන්නා සේ දිවියට ඉතා සමීප වන චිත්‍රපටයක් ලබා දී ඇත. වටහාගන්නා ප්‍රේක්ෂකයන්ට සෑහීමකට පත්විය හැකි බවට වගකීමක් දිය හැක.. ඓශ්වර්යා රායි ආශ්චර්යමත් ය. ඇය සංකීර්ණ දසුන් ගෞරවයෙන් සහ සහානුභූතික අයුරින් නිරූපණය කරන්නී ය. ඒ සියල්ලටම වඩා උද්‍යෝගය හිමි විය යුත්තේ අභිෂේක් බච්චන්ට ය. මෙය යුවා චරිතයෙන් පසු ඔහුගේ වෘත්තීයමය දිවියේ විස්මයජනක හොඳම චරිත නිරූපණය ද වේ."[23] බොලිවුඩ් හුංගාමාහි විචාරක තරන් ආදර්ශ් මෙයට තරු හතරක් ලබාදෙමින් සිය විචාරය පැවසූයේ "ගුරු මණි රත්නම්ගේ විශිෂ්ටතම උත්සාහ‍යන්ගෙන් එකක් වන බවත්, හින්දි සිනමාවෙන් පිටතට පැමිණි විශිෂ්ටතම නිර්මාණවලින් එකක් බවයි"[24] එසේම නළුව්නගේ රංගන ප්‍රතිභාව වර්ණනා කළ ඔහු රචනා කළේ "මෙහි සියලු සම්මාන අභිෂේක් හට පිරිනැමිය යුතු බවයි. ඒ පිළිබඳ කථා දෙකක් නැත! ගුරු තුළ ඔහුගේ ප්‍රතිභාව නිසැකයෙන්ම ලෝක ගණයේ එකකි. තුර්කියේ තියුණු තරුණයකුගේ සිට අපගේ රටේ දැවැන්තම ව්‍යවසායකයකු ලෙස අභිෂේක් සිය චරිතයේ විවිධ මුහුණවර නිරූපණය කරමින් සිය දක්ෂතාව ප්‍රදර්ශනය කරයි."[25]

Rediffහි රාජා සේන් මෙයට තරු තුනක් ලබාදෙමින් පැවසූයේ "ගුරු ප්‍රබල ප්‍රතිභාවන්ගෙන් පෝෂණය වී ඇත. චිත්‍රපටය හිමි කරග්නනා අභිෂේක් ප්‍රේක්ෂකයිනට දිගටම අසුනේ රැඳී සිටීමට සලස්වමින් අපව සිනහවට සහ අත්පොලසන් දීමට යොමු කරවයි. සෑම රූප රාමුවකම ඔහු සිත්ගන්නාසුලු ය".[26] ද සන්ඩේ ටයිම්ස් පැවසූයේ "නිශ්චිතවම මෙය ඔබට දැකගත හැකි වන හොඳම බොලිවුඩ් චිත්‍රපටවලින් එකකි. මෙහි රංගන ප්‍රතිභාව පැසසුම් හිමි කරගනියි. විශිෂ්ට රංගනයක නියැළෙන බච්චන් වියපත් සහ වැඩුණු ගුරු නිරූපණය කරන්නේ විස්මිත අයුරිනි. රායි ඇගේ මුව නෙතැති හැඟීම් ප්‍රකාශනය මගින් සහායක, නමුත් දැවෙනසුලු භාර්යාවගේ චරිතය නිරූපණය කරයි. ඇය නර්තනයේ යෙදෙන්නේ සුරඟනක මෙනි. චක්‍රබෝර්ති සහ දෙමළ සුපිරි තරුවක වන මාධවන් ද සිය සහායක චරිත ද ඒ හා සමානවම බබළවති".[27] BBC විචාරක ජස්ප්‍රීත් පණ්ඩෝහාර් මෙයට තරු තුනක් ලබාදෙමින් පැවසූයේ "රත්නම්ගේ සිත් අලවා තබාගන්නා තිරරචනය හේතුවෙන් ගුරු ධනවත් කථා පුවතක් බවට පත්ව ඇත. ප්‍රධාන චරිතය සිය අවංක භාර්යාව (ඓශ්වර්යා රායි), මිතුරන් සහ සතුරන් සමග පවත්වන සංකීර්ණ සම්බන්ධතාවලින් එය ගෙත්තම් කොට ඇත".[28]

සම්මාන[සංස්කරණය]

ෆිල්ම්ෆෙයාර් සම්මාන
ජයග්‍රහණ
නිර්දේශ
ශාන්තරම් සම්මාන
  • හොඳම අධ්‍යක්ෂක – මණි රත්නම්
  • හොඳම සංගීත අධ්‍යක්ෂක – ඒ. ආර්. රහ්මාන්
  • හොඳම සිනෙමාරූපක – රජීව් මෙනන්

නාදපථය[සංස්කරණය]

මෙම චිත්‍රපටයේ අතිශයින් සම්භාවනාවට සහ ඉහළ සාර්ථකභාවයක් හිමි කරගත් නාදපථය නිර්මාණය කරන ලද්දේ ඒ. ආර්. රහ්මාන් විසිනි. සියලුම ගීත දැවැන්ත ජනතාකර්ෂණයක් හිමි කරගත් අතර, සෙසු ඇල්බම‍යන්ගෙන් එල්ලවූ තරගය හුමවේ වුව ද, සම්පූර්ණ ඇල්බමය මාස ගණනාවක්ම ඉහළම ස්ථානයේ වැජඹිණි. 2006 වර්ෂයේ හොඳම ඇල්බමය ලෙස එය තෝරාගැනිණි.

මෙහි අතිශයින් පිළිගැනීමට පත් සාර්ථක නිර්මාණ වෙනුවෙන් ඒ. ආර්. රහ්මාන් "ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ" දී මෙන්ම "අයිෆා සම්මාන" උළෙලවල්හි දී "හොඳම සංගීතය" සහ "හොඳම පසුබිම් ස්වර ලිපිය" යන සම්මාන හිමි කරගත්තේ ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Dasgupta, Priyanka (14 January 2007). "Spinning a yarn?". The Times of India.
  2. K, Sangeetha Devi (1 May 2007). "Regional films are more rooted". The Hindu. සම්ප්‍රවේශය 27 February 2009.
  3. "Thousands attend 'Guru' premiere". Toronto Star. The Canadian Press. 11 January 2007. සම්ප්‍රවේශය 15 August 2008.
  4. "Canada mayor invites 'Guru' crew for world premiere". Indo-Asian News Service. සම්ප්‍රවේශය 10 January 2007.
  5. "YouTube Channel". Saregam movies.
  6. Preview: Acceptance in Cannes bestows prestige and honour, http://www.monstersandcritics.com/movies/features/article_1304644.php/Preview_Acceptance_in_Cannes_bestows_prestige_and_honour, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 
  7. Cannes, India celebrate 60 years
  8. Jha, Subhash K. (25 April 2006). "Ash is back!". The Times of India. සම්ප්‍රවේශය 27 February 2009.
  9. "Rahman on how the music of Guru was born". The Telegraph. සම්ප්‍රවේශය 18 February 2007.
  10. "Guru". Guru production.
  11. Mukherjee, Krittivas. "Rags-to-riches story". සම්ප්‍රවේශය 27 February 2009.
  12. "Indian B.O.: 'Guru' strong in parts". IndiaFM. සම්ප්‍රවේශය 18 February 2007.
  13. "Overseas: 'Guru' is a smash hit". IndiaFM. සම්ප්‍රවේශය 18 February 2007.
  14. "Domestic Box Office". IBOSNetwork. සම්ප්‍රවේශය 18 February 2007.
  15. "Top Lifetime Grossers Worldwide (IND Rs)". Box Office India. සම්ප්‍රවේශය 22 May 2011.
  16. "Overseas: Realism bites the dust". IndiaFM. සම්ප්‍රවේශය 18 February 2007.
  17. "Like Guru, Mani knew 'Guru' would be a hit". Glamsham. සම්ප්‍රවේශය 6 July 2011.
  18. "Box Office: **The 2007 Box Office Report and Classifications**". IBOS. සම්ප්‍රවේශය 7 January 2008.
  19. "Guru". Rotten Tomatoes. සම්ප්‍රවේශය 6 July 2011.
  20. Webster, Andy (15 January 2007). "Polyester and Power at Play for a Mogul and His India". The New York Times. සම්ප්‍රවේශය 9 February 2007.
  21. "Guru opens with a big bang in the U.S." Hindustan Times. 17 January 2007. සම්ප්‍රවේශය 17 January 2007.
  22. Corliss, Richard (12 January 2007). "Guru – Review". Time. 16 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 February 2007.
  23. "REVIEW: Guru: Good value for Mani". Hindustan Times. සම්ප්‍රවේශය 6 July 2011.
  24. Adarsh, Taran (12 January 2007). "Guru". IndiaFM. සම්ප්‍රවේශය 17 January 2007.
  25. "Guru : Movie Review by Taran Adarsh". Bollywoodhungama.com. 12 January 2007. සම්ප්‍රවේශය 6 July 2011.
  26. "Watch Guru for the actors". Rediff.com. සම්ප්‍රවේශය 6 July 2011.
  27. Sinanan, Anil (1 February 2007). "Guru Review". The Times. සම්ප්‍රවේශය 7 July 2011.
  28. Jaspreet Pandohar (8 January 2007). "Movies – review – Guru". BBC. සම්ප්‍රවේශය 6 July 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Madras Talkies

"https://si.wikipedia.org/w/index.php?title=ගුරු_(2007_චිත්‍රපටය)&oldid=591935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි