ගුණසිරි සිල්වා

විකිපීඩියා වෙතින්

80 සිනමාව[සංස්කරණය]

ගුණසිරි සිල්වා ගේ ප‍්‍රථම සිනමා සාහිත්‍ය කාර්යය වන්නේ ’80 සිනමාව‘ යි. එය ප‍්‍රකාශයට පක් කෙරුණේ වර්ෂ 1981 දීය. පාදක වූයේ වර්ෂ 1980 දී මුල් වරට ප‍්‍රදර්ශිත විවාදාත්මක සංවාදාත්මක ලාංකික චිත‍්‍රපට කිහිපයක් අරභයා ලියූ විචාරාත්මක ලිපි කිහිපයකි. ගුණසිරි ’80 සිනමාව‘ ප‍්‍රකාශයට පත් කරන්නේ දැවැන්ත අරගලයකින් අනතුරුවය. සැබැවින්ම ඔහු අදත් සිනමා විචාරය හා සිනමා සාහිත්‍ය විෂයයෙහි අනවරත අරගලයක නිරතව සිටී.

’80 සිනමාව‘ ත් ඒ දක්වා කළ කී දැන් දැන් ඔහු සිහිපත් කරයි. මේ අරගලකාරී අතීතය වරෙක ආස්වාදජනකය. තවත් වරෙක ඉන් උපදින්නේ සංවේගයකි. ඒ මේ වන තුරුද ගුණසිරි අපේක්ෂා කළ පොදුවේ අප ද අපේක්ෂා කරන හරවත් සිනමා සංස්කෘතියක් ප‍්‍රශස්තව ගොඩනැගී නොමැති හෙයිනි. එසේත් නැතහොත් හරවත් සිනමා සංස්කෘතියක් වෙනුවෙන් ඇතැම් සිනමාකරුවන් දරන ප‍්‍රයත්න යට ගැසීමේ නොතකා හැරීමේ හා බැහැර කිරීමේ විවිධාකාර ව්‍යාපෘති කි‍්‍රයාත්මක ව පවතින හෙයිනි.

මගේ මතකය දිවයන්නේ 1970 දශකයටයි. සිනමාව කෙරෙහි මා තුළ වූයේ සුවිශාල උනන්දුවක් දිගින් දිගටම චිත‍්‍රපට නැරඹීම මගේ පුරුද්දක් වුණා. ඒ අවදියේ චිත‍්‍රපට නැරඹීමට අවකාශ සැලසුණේ සිනමා ශාලා වෙතින් පමණයි. දේශීය- විදේශීය විශිෂ්ට – සංවාදාත්මක චිත‍්‍රපට මගේ සිනමා උනන්දුව පෝෂණය කළා. සිනමා සංවිධාන - සිනමා ප‍්‍රකාශන ආදිය නිරතුරුවම පරිශීලනය කරන්නට ලැබුණු ඉඩකඩ ද මට මහත් පිටිවහලක් වූ බව කිව යුතුයි.


සකුරා[සංස්කරණය]

මා සතුව තඹ සතයක්වත් මුදල් තිබුණේ නැහැ. තිබුණේ උනන්දුව හා කැපවීම පමණයි. අදටත් මා කිසිදු කාර්යයක් මුදල් මුල්කොට ගෙන ආරම්භ කරන්නේ නැහැ. මේ මගේ ජීවිත ස්වභාවයක්. මේ වන විට 1960 දශකය තුළදී උද්දීපනය වූ සිනමා නාට්‍ය - සාහිත්‍ය ප‍්‍රබෝධය මදක් ක්ෂය වී තිබුණා. කෙසේ වෙතත් දුර්මුඛ නොවූ මා ‘සකුරා’ මැයෙන් සිනමා සඟාවක් වර්ෂ 1976 ජූනි මසදී ප‍්‍රකාශයට පත් කරන්නට සමත් වුණා.

විජය ධර්ම ශී‍්‍ර අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’ චිත‍්‍රපටය සිනමා ශාලා කරා පැමිණියේ මේ අවදියේදී යි. ‘දුහුළු මලක්’ ලාංකික සිනමාව විෂයයෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු චිත‍්‍රපටයක්. මා අදහස් කළා. ‘දුහුළු මලක්’ සඳහා වැඩි ඉඩක් ලබාදෙන්නට. ඒ අනුව අධ්‍යක්ෂ විජය ධර්ම ශී‍්‍ර සම්මුඛ සාකච්ඡාවකින් ‘සකුරා’ ට සම්බන්ධ කර ගත්තා. එසේම වසන්ත ඔබේසේතර හා සුගතපාල ද සිල්වා ද සම්මුඛ සාකච්ඡා හරහා ‘සකුරා’ කරා කැඳවාගෙන එන්නට මා සමත් වුණා. වෙළෙඳ දැන්වීම් කිහිපයක් සොයා ගත්තේත් මගේම පරිශ‍්‍රමයෙන්.

මට සහය වූ මිතුරන් තිදෙනෙකු සිටියා. ඒ ජී. එල්. ආරියපාල, ටී. එන්. නිහිෂාත් හා රනිල් ඇල්විටිගල යි.

’සකුරා’ දෙවැනි කලාපය මුද්‍රණයට මා ද සම්බන්ධ වුණා. ධර්මප‍්‍රිය ලොකුහේවාට අයත් ඊයම් අකුරු අමුණා පිටු සකස් කළේ මා විසින්ම යි.

’සකුරා’ කලාප තුනක් ප‍්‍රකාශයට පත් කරන්නට මා සමත් වුණා. සඟා තුනම මුද්‍රණය කළේ වැලිකඩ සුසිත මුද්‍රණාලයේයි. ආර්ථික දුෂ්කරතා මාව පීඩාවට පත් කළා. ‘සකුරා’ නතර කර දමන්නට යි මට සිදුවුණේ.

වසර කිහිපයකට පසුව මගේ හිතවතෙකු වන කෝසල තිලකරත්න ‘සකුරා’ යළි ආරම්භ කරන්නැයි මට යෝජනා කළා. ඔහු ඒ වන විට මරදාන ග්ලෝබ් ප‍්‍රින්ටර්ස් හි කළමනාකරුයි. ඔහුගේ යෝජනාව මා පිළිගත්තා. විශේෂ ආර්ථික ගැටලු නොමැති වීම නිසා හිතේ හැටියට කටයුතු කරන්නට මට ඉඩකඩ ලැබුණා.

’සකුරා’ දෙවන අවදියේ දෙවන සඟාව ඉතාම වැදගත්. ඒ පසුකාලීනව කැපී පෙනුණු තිදෙනෙකුගේ ආගමනය නිසාවෙනුයි. ඉන් එක් අයකු වන්නේ සුනිල් මිහිඳුකුලයි. ඔහු සුනිල් අනුරාධ මිහිඳුකුල නමින් ‘සකුරා’ ට ලිපියක් තැපෑලෙන් එවා තිබුණා. කි‍්‍රස්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දු ද ‘සකුරා’ ට එක් වන්නේ ඊට සමගාමීවයි. ප‍්‍රසන්න විතානගේ මේ වන විට පාසල් ශිෂ්‍යයෙක්. ප‍්‍රසන්න ‘සකුරා’ ට යොමු කළේ කාල් ඩෙ‍්‍රයර් ගේ සිනමා භාවිතය අළලා සැකසුණු ලිපියකුයි. ඔහු පාසල නිමවී කෙලින්ම ‘ග්ලෝබ්’ මුද්‍රණාලයටයි. සුනිල් මිහිඳුකුලත්, කි‍්‍රස්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දුත්, ප‍්‍රසන්නත් මාත් නිතර ‘ග්ලෝබ්’ හි රංචු ගැසී සිනමාව හා වෙනත් කලා මාධ්‍යයක් ගැන කළ සාකච්ඡා අතිශයින්ම අර්ථවත්.

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ’බඹරු ඇවිත්’ ප‍්‍රදර්ශනයට එක් වුණේ මේ සමයේදීයි. ‘බඹරු ඇවිත්’ ලාංකික සිනමාවේ විශිෂ්ටතම චිත‍්‍රපටයක්. අප සමත් වුණා ‘බඹරු ඇවිත්’ ගැන විචාරාත්මක සම්මන්ත‍්‍රණයක් සංවිධානය කරන්නට. ඊට සුචරිත ගම්ලත්, සුනන්ද මහේන්ද්‍ර, එච්. ඒ. සෙනෙවිරත්න දේශකයන් වශයෙන් එක්වුණා.

’සකුරා’ දෙවන අවදිය ද විවාදාත්මකයි. මා හැමවිටම උත්සාහ කළා නව මතවාද අවුළුවන සාරගර්භ ලිපි පළ කරන්නට. සුමිත‍්‍රා පීරිස් ගේ පළමුවැනි චිත‍්‍රපටය ‘ගැහැනු ළමයි’ මෙකල ප‍්‍රදර්ශය කෙරෙමින් තිබුණා. එහි තිර නාටකය රචනා කළේ කරුණසේන ජයලත්. ‘ගැහැනු ළමයි’ විචාරය කරමින් මා ජයලත් ගේ තිරනාටකය නිර්දය ලෙස විභාග කළා. ගාමිණී පොන්සේකා ගේ සිනමා භාවිතය ද අපේ නිර්දය විවේචනයට ලක්වූ බව කිව යුතුයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා භාවිතය ගැනත් අප විමසිලිමත් වුනා. ඔහුගේ චිත‍්‍රපටවල ආ විවිධ ඌණතා සම්බන්ධයෙන් අප ඔහුට ‘සකුරා’ හරහා විවෘත සංදේශයක් ද ඉදිරිපත් කළා.

සඟා 06 කට පසුව ‘සකුරා’ දෙවන අවදියත් නිමාවුණා. අපට ව්‍යාපාරික පදනමක් තිබුණේ නැහැ. පාඨක ප‍්‍රතිචාර පමණක් සඟාව පවත්වාගෙන යන්නට ප‍්‍රමාණවත් නොවූ බව කිව යුතුයි.


ඇත්ත[සංස්කරණය]

මා ‘ඇත්ත’ පුවත්පතට සම්බන්ධ වන්නේ වර්ෂ 1978 දී පමණ ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙකු වශයෙනුයි. සුනිල් සී. ද සිල්වා යි මාව ‘ඇත්ත’ට යොමු කළේ. එවක ඇත්ත කර්තෘ ධුරය හෙබවූයේ බී. ඒ. සිරිවර්ධනයි. ඒ වන විට ඔහු කීර්තිමත් පුවත්පත් කලාවේදියෙක්. ප‍්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කළේ නිව්ටන් සෙනෙවිරත්නයි. විශේෂාංග කර්තෘ වූයේ සිරිලාල් කොඩිකාරයි. මරණ පරීක්ෂණ වාර්තායි බොහෝවිට මට ලියන්නට සිදුවුණේ. මේවායින් මා තෘප්තිමත් වුණේ නැහැ. සිනමාව නාට්‍ය බඳු කලාංග අරභයා මා තුළ වූ ගාය විශේෂාංග කර්තෘ සිරිලාල් කොඩිකාර දුටුවා. ඔහු ආරාධනා කළා මට සිනමා විචාර ලියන්නට. මා මුලින්ම ලියුවේ ‘හිඟන කොල්ලා’ චිත‍්‍රපටය ගැන විචාරයක්.

1980 වර්ෂය ලාංකික සිනමාවට ඉතාමත් ම වැදගත්. විවාදාත්මක චිත‍්‍රපට ගණනාවක්ම 1980 වර්ෂය තුළදී ප‍්‍රදර්ශනයට එක්වුණා. ධර්මසේන පතිරාජගේ ‘පාර දිගේ’ පරාක‍්‍රම ද සිල්වාගේ ‘හෙවනැලි ඇද මිනිස්සු’, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’, තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’, සුමිත‍්‍රා පීරිස් ගේ ‘ගඟ අද්දර’ එච්. ඩී. පෙ‍්‍ර්මරත්න ගේ ‘පරිත්‍යාගය’ ඉන් කැපී පෙනෙනවා. මේ චිත‍්‍රපට එකිනෙකට වෙනස්. ඒ ආකෘතිමය පක්ෂයෙන් පමණක් ම නොවෙයි. අන්තර්ගතයේ පාර්ශ්වයෙන්ද විද්‍යමාන වූයේ නවමු බවක්.

මේ චිත‍්‍රපට ගැන මා ‘ඇත්ත’ පුවත්පතට ලියූ විචාර බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. සිනමා විචාරයේ දැවැන්තයන් ව සිටි සිරිල් බී. පෙරේරා, ලෙස්ලි බොතේජු, ගාමිණී හත්තොටුවේගම වැන්නන් මේ චිත‍්‍රපට සම්බන්ධයෙන් පළ කළේ සාපේක්ෂ නිහඬතාවක්. ඔවුන් 1960 දශකයේ සිනමා ප‍්‍රබෝධයේ කොටස්කරුවන් බව රහසක් නොවෙයි. ලියැවුණු ඇතැම් විචාර ද අදාල චිත‍්‍රපටවල අන්තර්ගත පාර්ශ්වයත් ආකෘතිමය විවිධත්වයත් නිසි ව විනිශ්චය නොකළ බවයි මට සිතුණේ.

මේ පසුබිම මැදයි මගේ විචාර අවධානයට ලක්වූයේ. ඊට බලපෑ තවත් හේතුවක් තිබුණා. ඒ දේශපාලන දෘෂ්ටියකින් සිනමා විචාර ලියන්නට මා පෙළඹී සිටීමයි. මේ වන විට සිනමා සාහිත්‍ය තුළ ප‍්‍රකට වූයේ අවගමනයක්. මා උත්සුක වුණා සිනමා සාහිත්‍යයට යමක් එකතු කරන්නට. ඒ සඳහා මා තෝරා ගත්තේ 1980 වර්ෂය තුළදී මුල්වරට ප‍්‍රදර්ශන විවාදාත්මක චිත‍්‍රපට සම්බන්ධයෙන් මා ලියූ විචාර සමුච්චය යි.

අකුරු අමුණා පිටු සකස් කිරීමේ කටයුත්ත ද සිදුවුණේ මා අතින්. ප‍්‍රවෘත්ති ලිවීම සඳහා ‘ඇත්ත’ ලබාදුන් ඩිමයි කඩදාසි මුද්‍රණ කටයුතු වෙනුවෙන් උපයෝගී කරගත්තා. මිතුරෙකුගේ මුද්‍රණාලයක සහය ද මට ලැබුණා. මිතුරන්ගේ ආධාර උපකාරත් ලැබුණු බව කිව යුතුයි. ග‍්‍රන්ථය ’80 සිනමාව‘ ලෙස එළිදැක්වුණා.

ලැබුණු ප‍්‍රතිචාර මා දිරිගන්වන සුළුයි. 1981 මාර්තු 11 දා ‘ඇත්ත’ ට ජේ. උයන්ගොඩ දැක්වූ අදහස් ඉතාම වැදගත්. ගුණසිරි සිල්වා කලා විචාරයට අලුතින් පිවිසෙන තරුණ පරපුරට අයත් වූවකු නිසාම තමාට පෙර පරම්පරාවල සිටින කලා විචාරකයන් සතු මානසික බන්ධන ඔහුට නැති බව ජේ. උයන්ගොඩ ඍජුවම ප‍්‍රකාශ කොට සිටියා.

වාර්ෂිකව සිනමා ග‍්‍රන්ථ පළ කරන්නට මුලදී මා අදහස් කරගෙන සිටියේ නැහැ. එහෙත් විචාරක පාඨක ප‍්‍රතිචාර අඛණ්ඩව සිනමා ග‍්‍රන්ථ පළකිරීමේ කටයුත්තකට මා යොමු කළා. ඒ අනුව ඒ ඒ වර්ෂ තුළ ප‍්‍රදර්ශින සංවාදාත්මක ට්ත‍්‍රපට විවරණය කොට ලියූ විචාර ලිපි එක්කොට වර්ෂ 1991 දක්වාම මා සිනමා විචාර ග‍්‍රන්ථ ඉදිරිපත් කරනු ලැබුවා.

මේ ව්‍යායාමය නිසා ලාංකික සාහිත්‍යයට කිසියම් උත්තේජනයක් ලැබුණු බවයි මං අදහස් කරන්නේ. එය මීළඟ සිනමා විචාරක පරපුරට පූර්වාදර්ශයක් වූ බවද විශේෂයෙන් කිව යුතුයි.

මගේම පිටස්තරයා[සංස්කරණය]

දිගින් දිගටම සිනමාව හා බැඳුණ ග‍්‍රන්ථකරණයෙහි නිරතව සිටිය ද මා වඩාත්ම ඇළුම් කරන්නේ නිර්මාණකරණයටයි. වර්ෂ 1971 පමණ සිට මා වරින් වර කෙටිකතාව, නවකතාව, වේදිකා නාට්‍යය යන ක්ෂේත‍්‍ර තුළ කි‍්‍රයාත්මක වුනා. විටෙක බුද්ධිය ප‍්‍රමාණවත්ව නොමැතිවීම මා මුහුණ දෙන ගැටලුවක්. කෙසේ වෙතත් වසර තිහකට පමණ පෙරාතුව ලියූ නවකතාවක් යළිත් සකස් කොට කරන්නටයි මා උත්සාහ කරමින් සිටින්නේ.

එය නම්කොට ඇත්තේ ‘මගේම පිටස්තරයා’ ලෙස පාදක වන්නේ 1970 දශකයේ පරාරෝපිත තාරුණ්‍යයයි. තරුණ වියේ පටන්ම ඡායාරූපකරණයටත්, චිත‍්‍ර ශිල්පයටත් මා තුළ දැඩි ඇල්මක් පවතිනවා. ඒවා මා තුළින් මතුවන්නටයි උත්සාහ කරමින් සිටින්නේ. මතු දවසක සෙසු සියලු කර්තව්‍යයන්ගෙන් බැහැර ව විචාරක හිස බිමින් තබා කැමරාවත්, පින්සලත් සමඟ ජීවත් වීම මගේ පරම අභිලාෂය යි.

"https://si.wikipedia.org/w/index.php?title=ගුණසිරි_සිල්වා&oldid=469996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි