කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථා

විකිපීඩියා වෙතින්

Pandanaceae ශාක පවුලට අයත් ශ්‍රීලංකාවේ දැකිය හැකි විශේෂ 1.වැටකෙයියා 2.දුනු කෙයියා 3.ඕකෙයියා 4.පැහැකෙයියා 5.මූදුකෙයියා 6.හීන් කෙයියා 7.මහ කෙයියා 8.රම්පේ සටහන් කළේ : පියසෝම බෙන්තොට 21 අගෝස්තු 2023 පන් වර්ග සංරක්ෂණ හා විවිධාංගීකරණ වැඩසටහන, "ගමගෙදර " රත්නපුර පාර, ගුරුගොඩ හොරණ, 12400 මේවායේ ආදර්ශ "ගමගෙදර" හි සංරක්ෂණ ය කර ඇත. 0711717183 / piyasomabk2@gmail.com


කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අයත් ශාඛ පවුල:[සංස්කරණය]

කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා යන ශාඛ වර්ග තුනම පැන්ඩනේසියා (Pandanaceae) පවුලට අයත් ශාඛ 1000කට පමණ ප්‍රමාණය අතුරෙන් තුනක් (16). මෙම ශාඛවලට ඉංග්‍රීසි බසින් “Screw pine” කියන පොදු නම සහ සිංහලෙන් “කේ” කියන නම භාවිතා වෙනවා. අහාර රසවත් කිරීමට ගන්නා රම්පෙත් (Pandanus amaryllifolius) මෙම ශාඛ පවුලට අයත් අපි හොඳින් දන්නා තවත් ශාඛයක් (50). කේතකී, වැටකෙයියා වගේම දුනුකෙයියා මල් සහ ගස් සුළු සුළු වෙනස් කම් සහිත වුනත් බොහෝ දුරට සමානයි.

සංස්කෘත සාහිත්‍යයේ එන කේතක / කේතකී මල:[සංස්කරණය]

මේ මලේ කේතුවක ආකාර හැඩය නිසා සංස්කෘත බසින් කේතක හෝ කේතකී කියලා නම් කළා කියලා හිතන්න පුළුවන් (1). සංස්කෘත සාහිත්‍යයේ කේතකී ශාඛය (Pandanus odoratissimus - kētakī, Ketaki, Kevada, Keya) ගැන සඳහන් වෙන තැනක් තමයි ශ්‍රී ජයදේව ගෝස්වාමි ලියූ “ගීත ගෝවින්දයේ” “විගලිත ලජ්ජිත ජගදවලෝකන තරුණ කරුණ ක්‍රිත හාසේ - විරහි නික්‍රතන කුන්ත මුඛාක්‍රිති [කේතක දන්තුරිතාසේ]” කියන තැන (2). මේ කියන කොටසේ අර්ථය වෙන්නේ “විරහිනියන් කාමාසක්ත බවින් උමතුවී, ලැජ්ජාශීලී කම පසක තබා කරනා කාම රංගනයන්, සුපිපුණු ළපටි කරුණා මල් දුර සිට අවලෝකනය කර ඔවුන්ට සිනාසෙනවා වැනිය. [දිගු කුන්තායුධ මුහුණත් ස්වරූප දරන කේතක මල්] සෑම දිශාවකින් ම සුපිපී බලා සිටිනුයේ විරහිනියන්ගේ හදවත් ආදරයෙන් පසාරු කිරීමට මානන අනංගයාගේ අවි පරිද්දෙනි” කියන එක. කේතකී මල්වල සුවඳ ඉස්මතු කරමින් “ඉහ හි දාහති කේතවූ කේතකි ගන්ධ බන්ධූ” කියලා ගීත ගොවින්දයේ තවත් තැනෙක සටහන් වෙන්නේ “කේතකී මල් වල සුවඳින් බර වුනු වසන්ත මන්ද මාරුතය එම සුවඳ වනය හාත්පස පතුරුවයි” කියන තේරුම ඇතිව (2). රාධා රන්වන් කේතකී මල් මාලයක් පැළඳ සිටින බවත් සංස්කෘත සාහිත්‍යයේ පෙන්වනවා. මෙවන් එක උදාහරණයක් තමයි ශ්‍රී රඝුනාත් දාස ගෝස්වාමිගේ මාන ශික්ෂා ග්‍රන්ථයේ සඳහන් “[කණක කේතකේ] රායි - ෂ්‍යාම මරකත කායි - දරප දරප කොරු චූරා [Sri Rädhikä’s complexion resembles a golden Ketaké-flower and Syämasundara’s complexion crushes the pride of an emerald gem] කියන ශ්ලෝකය. ඒ වගේම රාධාගේ බාල සොයුරිය අනංග මංජරීගේ සමේ පැහැය වසන්ත සමයේ පිපෙන රන්වන් පැහැ වසන්ත කේතකී පැහැයට සමාන බව ශ්‍රී භක්ති විනෝද් ඨකූර් ලියූ “ජයිව ධර්ම” නම් පොතේ සඳහන් වෙනවා (21).

කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා ගස් වර්ග තුනේ සමානතා:[සංස්කරණය]

වැවෙන පරිසරය අනුව (කඩොලාන ශාඛ ප්‍රජාවක් ලෙස දිය සීරා අසළ):[සංස්කරණය]

කේතකී ශාඛය වගේම වැටකෙයියා සහ දුනුකෙයියා ශාඛත් යම් ප්‍රදේශයක් වසා පැතිරෙන (sprawling plant) කැළෑ ආශ්‍රිත මිරිදිය ආසන්නයේ හෝ මුහුදු ආශ්‍රිත කරදිය කිට්ටුව වැඩෙන කඩොලාන (Mangrove) ශාඛ.

ගැහැණු මල, පිරිමි මල, සහ පලය[සංස්කරණය]

කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා මල් සහ පලය ගැන එම පවුලේ ඊට සමාන ශාඛයක් ගැන ලියැවුණු පහළ විස්තරය ප්‍රයෝජනවත් (18). මෙම ගස් වර්ග තුනේම පිරිමි සහ ගැහැණු පුෂ්ප වෙන වෙන ගස් වල හටගන්නා නිසාත්, ඒවා එකිනෙකට ඉතා වෙනස් නිසාත් ඒකලිංගික පුෂ්ප (uni-sexual) හෝ ද්විගෘහී (dioecious) කියලා වර්ග කෙරෙන්නේ (23). ඒ වගේම මේ වර්ග තුනේම පිරිමි මලේ අලංකාරවත් පුෂ්ප මංජරිය ඉතා සුවඳවත් වෙන අතරම කේතු ආකාර හැඩයක් ගන්නවා. පිරිමි පුෂ්පය ඒකාක්ෂ හෙවත් raceme ලෙස හඳුන්වන්නේ එක වෘන්තයකට නැටිවලින් සම්බන්ධ වූ මල් රැසක් කියන අදහසින් (51). මෙම මල් කුඩා මල් තුන බැගින් එකතු වී ලොකු පොකුරක් ලෙස එක්වෙලා විශාල ඇත් දළ පැහැති උප මනිපත්‍ර (bracts) වලින් වට වෙලා තමයි අඩියක් පමණ දිග සමස්ත පුෂ්පය හැදෙන්නේ. පිරිමි මල් සාපේක්ෂව දවසක් වැනි අඩු කාලයක් තමයි ජීවත් වෙන්නේ.

ගැහැණු පුෂ්පය අන්නාසි ගෙඩියක හැඩය ඇති පලයක් වගේ එකක්. ගැහැණු මල මුල දී කොළ පැහැති වුවත් එය පරාගණය වී ඵලයක් ලෙස ඉදුණු විට තැඹිලි පැහැයක් ගන්නවා (4). ගැහැණු ශාඛයේ හටගන්නා සෙන්ටි මීටර් 4 සිට 20ක පමණ විෂ්කම්භයක් සහ සෙන්ටි මීටර් 8-30 දක්වා දිගකින් යුතු බිත්තරයක්, ඉලිප්සයක්, ගෝලාකාර, හෝ අර්ධ ගෝලාකාර හැඩයක් ගන්නා මෙම පලය මදුළු වශයෙන් බෙදුණු එකක්. එක එක ශාඛ වර්ගය අනුව එක පලයක මදුළු 40ක සිට 80ක් විතර ප්‍රමානයක් තියෙන්න පුළුවන්. පලයේ පාට කහ, තැඹිලි, හෝ රතු වෙන්න පුළුවන්. දළ වශයෙන් එක මදුලක බීජ දෙකක් විතර තියෙනවා. මේවා වතුරේ ඉපිලෙන හෝ පාවෙන සව්රූපයෙන් (buoyant) හැදිලා තියෙන්නේ ඒවායේ අන්තරගත බීජ මුහුදු රැළි හෝ ගඟක් ඔස්සේ පාවෙලා ගොස් මාස කීපයකට පස්සේ වුනත් පැල විය හැකි පුළුවන් වෙන විදියට.

වැටකෙයියා (Pandanus kaida) සහ දුනුකෙයියා (Pandanus thwaitesii) අතර වෙනස්කම්:[සංස්කරණය]

වැටකෙයියා (Pandanus kaida - පැන්ඩේනස්  කයිඩා) සහ දුනුකෙයියා (Pandanus thwaitesii පැන්ඩේනස් ත්වෙයිටේසි) ශාඛ වර්ග දෙකක් වුනත් ඒවා අතර ඇත්තේ සුළු වෙනස් කම් කීපයක්.

වැවෙන පරිසරය අනුව වෙනස්කම්:[සංස්කරණය]

රුහුණු විශ්වවිද්‍යාලය සහ බාර්බේරියන් ආයුර්වේදික් රිසෝට් එක පවත්වා  ගෙන යන ලංකාවේ ඖෂධ ශාඛ වෙබ් අඩවිය අනුව වැටකෙයියා ලංකාවට ආවේණික දේශීය ශාඛයක් (23). දුනුකෙයියා ඉන්දියාවේ සහ ලංකාවේ පහත රට තෙතමනය සහිත පරිසරයක වැවෙන ශාඛයක් වෙන අතර කුඹුරුවල වැටවල් ලෙස වගා කරන ශාඛයක් (3). වැටකෙයියා මුහුදුබඩ ලවණ සහිත පරිසරයක වැඩෙන ආධාරක මුල් සහිත කඩොලාන ශාඛ ප්‍රභේදයක් කියලා කිව්වොත්  දුනුකෙයියා මිරිදිය ආශ්‍රිතව වෙල් හෝ ඇළවල් ළඟ දියසීරාව සහිත පහත් බිම්වල වැඩෙන එවැනිම ශාඛයක් කියලා කියන්න පුළුවන් (7).

උසේ සහ මුල් පද්ධතියේ ප්‍රමාණාත්මක වෙනස්කම්:[සංස්කරණය]

මේ දෙකේ මූලිකම වෙනස් කම ඇත්තේ ප්‍රමාණයේ. වැටකෙයියා මීටර 2 සිට 4ක් දක්වා උසකට වැඩෙන අතර (23) දුනුකෙයියා ශාඛය මීටර් 1 සිට 1.8ක් නොහොත් මීටර් 1.5ක් පමණ උසට වැඩෙනවා (10). වැටකෙයියාවල, ඝනව පැතිර නැති, කඳෙන් පහලට ඇදෙන ආධාරක මුල් හෙවත් කරු මුල් (Prop-Roots), දුනුකේ ශාඛයට සාපේක්ෂව කෙටියි. ඒ වගේම වැටකෙයියා මුල් සාපේක්ෂව අඩු සංඛ්‍යාවකින් සැදුනු පාදස්තයක් (basal) සහිතව පොළවට සම්බන්ධ වී තිබෙන ශාඛයක් (23).

පත්‍රයේ දිග, පළල අනුව වෙනස් කම්:[සංස්කරණය]

වැටකෙයියා කොළේ මීටර් 3-4ක් අතර දිගක් ඇති, සෙන්ටි මීටර් 9ක් විතර පළල් පත්‍රයක් වුනත්, දුනුකෙයියා පත්‍රය මීටර් 2.2 සිට 2.8ක් දක්වා දිගකින් යුතු, සෙන්ටි මීටර් 3.2 ක් සහ 4.2ක් අතර පළල, වැටකෙයියාවලට සාපේක්ෂව කුඩා පත්‍රයක් (23), (3).

පත්‍ර දාරවල කටු සහ පැහැය අනුව වෙනස් කම්:[සංස්කරණය]

වැටකෙයියා මෙන්ම දුනුකෙයියා පත්‍රයේ අයින් දාර දෙකේ සහ යට මැද දාරයේ කටු තිබුනත් තහවුරු කර ගත නොහැකි වූ මූලාශ්‍ර අනුව මිරිදිය ආශ්‍රිතව වැඩෙන දුනුකෙයියා ශාඛයේ කටු වැඩියි (7). විද්‍යාචක්‍රවර්තී ලියූ බුත්සරණ පොතේ “කටු ඇතිවද ඇතුන්ට මිහිරි වූ වැටකෙහෙ කොළක් සේ” කියලා උපමා දෙමින් සඳහන් කරන්නේ කටු සහිත වැටකෙයියා පත්‍රය ගැන (8). වැටකෙයියා මුළු කොළයම තද කොළ පාට බවකුත් දුනුකේ කොළය ඊට වඩා ළා පැහැයක් ගන්නා බවත් තහවුරු කළ නොහැකි මූලාශ්‍ර වලින් දැන ගන්න ලැබුනා (7). වැටකේ, දුනුකේ කොළවල පැහැය පිළිබඳව “සිංහල බෝධි වංසයේ” අර්ථ විවරණයේ යම් දුර්මතයක් ඇති බව පේනවා. එහි “කහ වන් කොළයෙහි නිල් වන් ඉරි ඇති කේ ගස් ජාතිය දුනුකේ නමින් හැඳින්වේ” සහ “මුළු කොළය මැ තද කොළ පාට වර්ගය වැටකේ නමි” කියලා කිව්වත් දුනුකේ ශාඛයේ ඉරි ඇති බවක් සඳහන් වෙන්නේ නැහැ (9).

මල් අතර වෙනස:[සංස්කරණය]

දුනුකෙයියා පිරිමි මලට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල වැටකෙයියා පිරිමි මල සෙන්ටි මීටර් 40-50ත් අතර දිගකින් යුක්ත වෙන නමුත් දුනුකෙයියා පිරිමි මලේ කුන්ත වැනි මනිපත්‍ර වල දිග සෙන්ටි මීටර් 35-40ත් අතර විතරයි (3), (23).

ජන කවියා පෙන්වා දුන් ප්‍රමාණාත්මක වෙනස් කම:[සංස්කරණය]

මේ ප්‍රමාණාත්මක වෙනස් කම නිසා තමයි ගස් දන්නා අයට කොළ කඩා පාන්න අනවශ්‍ය බව පෙන්නුම් කරමින් අපේ පැරණි ජනකවියා “දුර එන කොට දුනුකෙයියා මලක් වගේ - ළඟ එන කොට වැටකෙයියා මලක් වගේ” කියලා කීවේ. ඒ කිව්වේ එකම රන්වන් පැහැ දීප ශිඛාවක් බඳු සුන්දර පෙනුම වුනත් ඈත එන කොට දුනුකෙයියා මලක් වගේ තරමක් කුඩාවටත් ළංවෙන කොට වැටකෙයියා මලක් වගේ සාපේක්ෂව විශාලවත් පේනවා කියන එක (7). අතුරු සටහනක් හැටියට මේ ජන කවිය සමහරු අනික් පැත්ත හරවලා “දුර එන විටදි වැටකෙයියා මලක් වගේ - ළඟ එන විටදි දුනුකෙයියා මලක් වගේ” කියලා කියන බවත්, එහෙමත් නැත්නම් මේ මල් දෙකේ සමානත්වය වැඩි නිසා “දුර එන කොට වැටකෙයියා මලක් වගේ - ළඟ එන කොට රිදියෙන් කළ වැඩක් වගේ” කියලා වෙනස් කරලා කියන බවත් මතක තියා ගන්න ඕන. ඒ වගේම තුන්වන පදය “ගෙට එන කොට ගෙයි ඇවිලෙන පාන වගේ” කියලා, අන්තිම පදේ තම පෙම්වතියට, බිරිඳට, හෝ නෑනාට “මගෙ මැණිකේ / මගෙ නෑනා, මට මානෙල් මලක් වගේ” කියලත්, තවත් තැන් වල අම්මා ගැන සඳහන් කරමින් “මගෙ අම්මා මට මහනෙල් මලක් වගේ” කියලත් වෙනස්ව භාවිතයේ ඇති බවත් මතක තබා ගන්න ඕන.

ප්‍රයෝජන[සංස්කරණය]

මේ ශාඛ දෙකම ලංකාවේත් ඊටත් වඩා ඉන්දියාවේත් ප්‍රයෝජන රැසකට භාවිතා වෙනවා.

ලිවීමට පත්‍රයක් ලෙස:[සංස්කරණය]

ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේදී වළගම්බා රජු තම හිතවත් භික්‍ෂුන් වහන්සේ නමකට කේතකී පත්‍රයක ලියා ගම්වරයක්‌ ප්‍රදානය කිරීමේ පුවත අනුව මේ පත්‍ර අතීතයේ දී තල් කොළ වගේම ලියන්න පාවිච්චි කරලා තියෙන බව පේනවා. සෙංකඩගල නුවර මල්වතු විහාරයෙහි ස්ථවීරයන් වහන්සේනමක් 1834 දී රචනා කළ “නරෙන්ද්‍ර චරිතාවලොකන ප්‍රදීපිකාවේ” සඳහන් වෙන විදියට “සඟනට බත් ගම් කොට වටනා පසට දුනුකේ පතෙහි සන්හස ලියා දී” කියලා කියන්නෙත් දුනුකේ පත්‍ර සන්නස් ලියන්න රජවරු භාවිතා කළ බවට සාක්ෂියක් දෙමින් (24).

බුදුන් පුදට:[සංස්කරණය]

වැටකෙයියා මල් බුදුන්ට පූජා කිරීම වැඩි ආනිශංශ සහිතයි කියලා මතයක් ජනතාව අතර තියෙන්නේ කටු පඳුරක පිපෙන අමාරුවෙන් නෙළා ගත යුතු  සුවඳවත් මලක් වීම නිසා වෙන්න පුළුවන්.

කුඹුරුවල වැටක් ලෙස[සංස්කරණය]

ඉන්දියාවේ වගේම ලංකාවෙත් දුනුකෙයියා ශාඛය කුඹුරු වල මායිම් ළකුණු කෙරෙන වැටවල් හැටියට වවනවා (10)

මෙතැන් සිට එන යොදා ගැනීම් ඉන්දියාව හෝ  රටකට හෝ මෙම වර්ගයේ වෙනත් ශාඛයක ප්‍රයෝජන වෙන්නත්, ඒවා ලංකාවට එතරම් අදාළ නැති වෙන්නත් පුළුවන්.

ඖශධයක් ලෙස[සංස්කරණය]

අපේ ඔසු පැල  අඩවිය අනුව වැටකේ ශාකයේ මුල්, මල්, දඬු, ගෙඩි, ඇට ආදිය “උණ, අපස්මාරය, ශ්‍රවණ ආබාධ, අක්ෂි රෝග, අජීර්ණය, කුසගිනි මදිකම, ඉරුවාරදය, දියවැඩියාව, මානසික රෝග, අර්ශස්, කුෂ්ඨ රෝග, වණ, ආමවාතය, මුත්‍ර අඩස්සිය, කැඩුම් බිඳුම්” ආදී රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට ආයුර්වේදය ක්‍රමයේ දී යොදා ගන්න බවක් සඳහන් වෙනවා. ඒ වගේම වැටකෙයියා මොලයට හිතකර බවත්, රුධිරය පිරිසිදු කරන බවත්, වාජීකරණය සහ ස්වේද ජනක බවත්, වේදනා සමනය කරන බවත් එහි සඳහන්.

ආහාරයට[සංස්කරණය]

ඉන්දියාවේ දුනුකෙයියා පලයේ මදුළු තුළ ඇති සුවඳවත් තැඹිලි පැහැති පල්පයක් බඳු මාංසල කොටස උයා ආහාරයට ගන්නා බවක් වාර්තා වෙනවා. The distillate (kewra water, pandanus flower water) is quite diluted- it can be used by the teaspoon, often even by the tablespoon (11).

සුවඳවත් කිරීමට[සංස්කරණය]

මෙම වර්ගයේ පිරිමි මල් වලින් ඉන්දියානුවන් සුවඳ තෙල් වර්ගයක් හිඳින බව පේනවා  (kevda oil / otto / kewra water) (11), (16).

පාපිසි, පන් මලු පෙට්ටි ආදිය විවීමට[සංස්කරණය]

දුනුකේ ශාඛයේ කොළ පාපිසි, බුරුසු ආදිය තැනීමට අවශ්‍ය කෙඳි ලබා ගැනීමට ඉන්දියාවේ භාවිතා වෙන බව සඳහන් වෙනවා (10). ඒ වගේම මෙහි පත්‍රවලින් ලණු වියන බවත් සඳහන් වෙනවා (11).

සිංහල සාහිත්‍යයේ කේතකී, වැටකෙයියා සහ දුනුකෙයියා මල් ගැන සටහන්[සංස්කරණය]

කේතකී, වැටකෙයියා සහ දුනුකෙයියා මල් තුනම එකම අර්ථයකින් සිංහල සාහිත්‍යයේ යෙදිලා තියෙන බව පෙනුනත් වැඩි සඳහන් ඇත්තේ දුනුකෙයියා මල ගැන.

දුනුකේ මල කාන්තා තුනු සපුවට උපමාවක් ලෙස:[සංස්කරණය]

අපි ඉහතින් සඳහන් කරපු ““දුර එන කොට දුනුකෙයියා මලක් වගේ - ළඟ එන කොට වැටකෙයියා මලක් වගේ” කවිය හැරුණු කොට ඔළිඳ කෙළි කවියක “දහසක් දීලා වලලු තනාලා දැතේ අතලා බලයි කලූ - [දුනුකේ මල] සේ උළු ගෙයි ඇඳ පිට ඔලිඳ කෙළින සැටි බලන් කලූ” කියන කොට අපිට මේ තරුණිය දුනුකේ මලට සමාන කරලා ලස්සන මානසික සිත්තමක් ඇඳගන්න පුළුවන්.

දුනුකේ මල් කෙණ්ඩා වලට උපමා කිරීම:[සංස්කරණය]

වෙස්සන්තර ජාතක කාව්‍යයේ දුනුකේ මල උපමා කරන්නේ ශක්‍රයාගේ කෙණ්ඩාවලට. ඒ “වන්ට දෙබැම බිගු වැලසේ මනනඳ - කෙන්ඩද දුනුකේ කැකුළු සේම සොඳ - තුන්ඩ පතුල් රන් පියුම‍ෙස මනනඳ - වන්ට මෙසේ සමුදෙන් සක්දෙව් රඳ” කියලා (36). කෙණ්ඩා දුනුකෙයියා මලට සමාන කරන තවත් කවියෙක් තමයි ගලගම දෙවමිත්ත හිමි සිසුවර දික්වැල්ලේ සාමණෙරයන් ලියූ කහකුරුළු සන්දේශයේ දී. ඒ කතරගම මහසෙන් දෙවියන් ගේ “පරසිදු දියත මහසෙන් සුර රජුගෙ තොස - පැහැබඳු රුවන් යුග දඟ වැනියැකි කෙලස - සිකිනිඳු කර තැඹිලි දුනුකේ කැකුළු ලෙස - කොයිබඳු වීද උවමට ඒ කියන බස” කියන කවියෙන් මොනර කරක්, නොපිබිදුනු තැඹිලි මල් දෙකක් සහ දුනුකේ මලක් වැනි දෙවියන්ගේ කෙණ්ඩා යුවල, ඔහුගේ රන්වන් ශරීරයේ සහ ඔහු පැළඳ සිටින ස්වර්ණාභරණ වල රන්පැහැය නිසා ඇතිවිය හැකි වස් දොස් හැර පිරිසිදු කිරීමට තබපු උඩු යටිකුරු කර තැබූ කෝව දෙකක් වගේ කියලා (37). දුනුකේ මලක ඇත් දත් කේතු හැඩය මටසිලිටි කෙණ්ඩා යුවලකට හොඳින් ගැළපෙන නිසා වෙන්නැති පියදාස සිරිසේනත් “කෙණඩා දුනුකේ කැකුළු සිරින් දිලුනේ” කියලා ලියන්නේ (38). තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ පරෙවි සන්දේශයේ දුනුකේ මල් කෙණ්ඩා වලට සම කරන්නේ “මුල් මේ ලොවට ඔහු දඟ යුවලට බැබළු - පුල් නූ තැඹිලි මල් හිසවුරු වැටුපුසිළු - නිල් ගෙළෙ ගෙළේ ලෙහෙළුන් දුනුකේ කැකුළු - තුල් කළ කල උවම් කිරි සයුරට හොවැළු” කියලා (25). ‘සිංහල විමානවස්තු ප්‍රකරණයේ’ත් මුගලන් මහ තෙරුන්වහන්සේ විසින් දෙව් දුවක ගේ රූප ශ්‍රියාව කුමන පිනකින් ලැබුනේ දැයි විචාරණ පාඨයක් වෙන “රඹකඳක් සේ දික්ව වට වූ මහත් ඌරු යුගලයෙන් ද, [දුනුකේ කැකුළු] වැනි කෙණ්ඩා සඟලින් ද, රන් මිරිවැඩි සඟලක් වැනි වූ පතුල් යුගලයෙන්දැ යි මෙසේ බබලන්නා වූ රූප ශ්‍රීයකින්” යන්නෙහිත් කෙණ්ඩා දුනුකේ මල්වලට සමාන කරනවා (39).

දුනුකේ මල බඹරුන් ඇදෙන සුවඳක් සහ රොන් සහිත මලක් ලෙස:[සංස්කරණය]

ඒ වගේම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පරෙවි සන්දේශය “පෙත් මග දකුණු දිග - රන්තැඹිලි රන් නරඹා - දුනුකේ කුසුම් රොණ තුළ - එතරව යා මො‍ලපුවෙන්” කියලා පරෙවියාට උපදෙසක් දෙන්නේත් (25), රාජාධිරාජසිංහ ලියූ අසදෘශ ජාතක කාව්‍යයේ “නිබඳ බිඟු රදනා - දුනුකේ කැකුළු සොබනා - සැදි නිවෙස එ වනා - දිලෙයි සහඳුන් වැටුප් ලෙසිනා” කියලා කියන්නෙත් දුනුකේ මලේ රොන් රස සහ ඊට මීමැස්සන් ඇදෙන බවට සාහිත්‍යමය සාක්ෂි සපයමින් (26). මේ වගේම තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සන්දේශයේ කවි දෙකක වන වර්ණනා කිරීමේ දී දුනුකේ ගැන සඳහන් කරන්නේ “වනසිරි පියුම්රා බඳ රනබරණ යුරු - වටසිරි සුපුල් ‘දුනුකේ මල්’ මුරුත තුරු - බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල තඹුරු - හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු” කියලාත් “අවට සුපිපි සපු දුනුකේ සලළාන - හඬන තැනින් තැන විලිකුළු කිරළාන - පැසී නැමි කරල් රත් හැල් සහළාන - වඩින මැනවි මහ වෙල මැද වෙරළාන” කියලත් (27). මලේ සුවඳ සහ ලාලිත්‍ය ගැන කියවෙන තවත් අවස්තාවක් තමයි පණ්ඩිත පැරකුම්බා රජු  ජාතකය මුල් කරගෙන ලියූ කව්සිළුමිණේ “මී කපුරු ගරු දුමින් සපු දුනුකේ ලඹ දුන් - මලිගිය මල්දම්ලැල් නරඟ රඟ බිම් වූ හල්” කියන කවිය. මේ කියන්නේ “මී, කපුරු, අගිල් ආදියෙහි දුමින් සුවඳවත් වුනු, එල්වන ලද සපු, වැටකේ මල්වලින් හා මාලතී මල් වැල්වලින් ද හෙබි ආපානශාලාව අනංගයාගේ නැටුම්හලක් මෙන්  විය” කියන එක (28). තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ පරෙවි සන්දේශයේ “පෙත් මග දකුණු දිග - රන්තැඹිලි රන් නරඹා - දුනුකේ කුසුම් රොණ තුළ - එතරව යා මො‍ලපුවෙන්” කියලා කළරැව්වා ට කියන්නේ දුනුකේ මලේ සුවඳ වඩවමින් (25).

කාන්තා වරලස සැරසීමට:[සංස්කරණය]

කෝට්ටේ විහාරයක හිමිනමක් ලියූ ගිරා සන්දේශයට අනුව එකල කාන්තාවන් කොණ්ඩය සැරසීමට සුනුකේ මලේ පෙති යොදා ගෙන තියෙනවා. ගිරාව ඒ බව අපට කියන්නේ “දුන‍ුකේ පෙති ගොතා වරල ඉතායා - පිපි මල් රොන් ගතා තවර ගතායා - වියොවග යුද පතා එවන පෙතායා - එන වනසර කතා නොකර කතායා” කියලා (29).

වනාන්තර වල වැවෙන ශාඛයක් බව:[සංස්කරණය]

දුනුකේ කැළෑ වල වැවෙන බවට ඉඟියක් සඳහන් වෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සේනක පඬිතුමා වටා ඇති සක්තුභස්ත්‍ර ජාතකය ඇසුරෙන් ලියූ කාව්‍යශේඛරයේ. ඒ “දුනුකේ තැඹිලි තුරු - වට කළ මුහුළු සහයුරු - නාලිය රැඳි මහරු - පුවක් ළැහැබින් සැදුණු විසිතුරු” සහ “තරු බරිනි දෙරණට - බට නුබිනඩක් විලසට - මල්පුල් එක ලෙසට සුනිල් කැලයක් අතර මඟැ       දිට” කියලා (30). දුනුකේ වෙනුවට වැටකෙයියා මලක් ගැන සඳහන් වෙන උපමාවක් දෙන්නේ ගුරුළුගෝමී ගේ මුණුපුරු කවීශ්වර ලියූ මයුර සන්දේශයේ “ගුවන් මණිහු කර නොපැවියැ දුන් බිමට - නුවන් පිනන පුල් වැටකේ පහන් වැට - ගෙවන් සුනිල වන සැප වන පැමිණි හට - ගෙවන් සෙමෙන් සිටැ මා වතැ යටත් යට” කියන කවියේ (31). මේ කවියේ තේරුම තමයි “ගගන මිණේ හෙවත් සූර්යයාගේ රශ්මිය බිමට වැටෙන්න නුදුන්නා වු, පිපී ඇති වැටකේ මල් සහිත වැටකේ ගස් දුටු විට පහන් වැටක් දුටු කලක  මෙන් ඇස් ‍ පිනා යන, ආව අයට සැප දෙන ඉතා නිල් ගෙයක් වැනි වූ, වනයේ ගස් යට නතර වී විවේක ගනිමින් හදිස්සි නොවී වනය පසු කර යන්න කියලා (31). මේ අනුව වැටකෙයි ගස් ඝනව පඳුරු ලා වැඩෙන බව විතරක් නෙවෙයි ඒවා යට සෙවණ සුවදායක බවත් පෙන්නුම් කරනවා. කෝකිල සන්දේශය - දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි “නද දුනුකේ මල් රොන් ඉවුරතේ - සෙද සැලුණෙන් නිලුපුල් සියපතේ - සොඳ විලඹුව දුන් තම නෙත වතේ - සඳ සුනු සඳ සුනු එක සිරි සුතේ” කියලත් “පැසුණු රස දොළුඹාන මහදඹාන - හැසුණු කනකරඹාන බඹරඹාන - දුනුකේ සලළ ලෙළාන මල් සළාන - වැනුකේ යුවළ කොළාන තල් තළාන” කියලත් දුනුකේ මල් ගැන සටහන් කරනවා (32), (33).

ජලාශ්‍රිත ශාඛයක් බව:[සංස්කරණය]

කුඩලිගම රචනා කර අයිවෝ ඩෙනිස් ගයන “කේතකි පාටලි ගස් නටවා පිපි මල් බරවී” ගීතයේ ත් ලුහුඬින් කේතකී මල් ගැන කියවෙන්නේ එය ජලාශ්‍රිත ශාඛයක් බව දක්වමින්. අජන්තා රණසිංහ ලියලා සරත් දසනායක තනුවෙන් වික්ටර් රත්නායක ගයන චූඩා මාණික්‍යය චිත්‍රපටයේ “මල් ලියකම් රැඳි” ගීතයේ “රත්තරනින් සැදි කේතකි මං පෙත - අත්වැල් බැඳ යමු රත්තරනේ” යනුවෙනුත් සටහනක් එනවා.

වර්ශාන ඍතුවේ හෙවත් මේඝ කාලයේ දුනුකේ මල් පූදින බව:[සංස්කරණය]

ලීලාවතී රැජින දවස ලියැවුණු සසදාවේ වැසි සමය හෙවත් මේ උතු වැනුම් කවියක “දුනුකේ ලියන් මේ – හිමි දසන යැදැ දෙවියන් - රඳනා කැකුළු දෙ අත් – සිරි දින් දුන් මුදුන්හි” කියලා “දුනුකේ නමැති කාන්තාවන් මේඝ නමැති ස්වාමියා ගේ දර්ශනය පිණිසැ - දෙවතාවන් ආරාධනය කොටැ - මස්තකයෙහි දුන්නා වූ අඤ්ජලියෙහි ආකාරය, රඤ්ජමාන වූ කුඞ්මලය තෙමේ දුන්නේයැ” කියලා කියන්නේ දුනුකේ මලේ කේතු ආකාර හැඩය වඳින්නට එක් කළ දෑතක හැඩයට සමාන කරමින්. ඒ කවිය අනුව “ග්‍රීෂ්ම ඍතුයේ අවසාන භාගයෙහි දී දුනුකේ මල් කැකුළු ඇති වෙන බවත්. දුනුකේ ගස මුදුනෙහි කැකුළු ඇති වූ විට ඒවා වඳින්න දොහොත් මුදුන් දී බැන්දා වගේ බවත්. ඒ නිසා දුනුකේ නමැති කාන්තාවන් මේඝ නමැති ස්වාමියා ගේ දැක්ම පතා දෙවියන් යැදැ දොහොත් මුදුන් බැන්දා වගේ” කියලත් චිත්‍රයක් මවා ගන්න පුළුවන් (34). සස දා කවේ තවත් කවියක “ගෙනැ විදු කග පතෙ ‘ව් – ගන රජ ‘රකට මුනි හට - සිදී දුනුකේ කැකුළු – කිරුළු බලා වැළහරින්” කියලා කියන්නේ “මේඝ ඍතුව රජෙකි. දුනුකේ කැකුළ ‍ඔහු ගේ කිරුළ යැ. කොක් පෙළ ඔහු ගේ මුතු හර යැ. විදු ලිය ඔහු ගේ කඩුව යැ. එ බඳු හේ බුදුනට රැකවල් පිණිසැ පැමිණි‍යකු වැන්නේයැ” කියලා අර්ථ ගන්වලා. ඒ අනුවත් වැසි කාලයේ මුල දුනුකේ කැකුළු ඇති‍ වෙන බවත් කොක්කු ද කළඑළි බසින බවත්, ග්‍රීෂ්මාවසානය ද වර්ෂා කාලයේ ආරම්භය ද ‍ඇති‍ වෙන බවත් පවසනවා (34). මාතර යුගයේ පත්තායමේ ලේකම්ට සමකාලීන කවියකු වන කටුවාණේ දිසානායක මුහන්දිරම් ක්‍රිව 1773 දී සෝණක ජාතකය මුල් කර ගෙන ලියූ කව්මිණි මල්දමේ කවියකත් දුනුකේ මල් වැසි කාලය හා සම්බන්ධ කෙරෙන්නේ “පිපි මල් වෙලෙප් බැඳ - දුනුකේ කැකුළු පැහැනද - ලිය යහන වනගෙද - සුසැදියෙව් දසඹ මෙහිමිට සෙද” කියලා. පිපුණා වූ දුනුකේ මල් නමැති වියන් බැඳ, වනය නමැති නිවස තුල, මේඝ නමැති ස්වාමියා වෙනුවෙන් ලතා මඩුල්ලක් නමැති යහන සාදා, දිශා නමැති අඹුව බලා සිටිනවා වගේ කියලයි මේ කියන්නේ (35). කටුවානේ කව්මිණි මල්දමේ තවත් කවියක වනය නැමති කාන්තාව වැස්ස නමැති ස්වාමියාට දල්වන ලද සුවඳ පහන් පෙළක් වගේ නිතර බිඟු රඳන සුවඳවත් දුනුකේ කැකුළු පෙනෙනවා කියලා කියන්නේ “බිඟු කැල නිති රඳන - දුනුකේ කැකුළු හොබවන - මෙ හිමිහට වන’ඟන - දිලෙව් සහදුම් වැටුප් පෙළ මෙන” කියලා (35).

ගසේ සහ මලේ පාට ගැන:[සංස්කරණය]

දුනුකෙයියා මලේ වගේම ගසේත් පාට ගැන සඳහන් වෙන සස ජාතක කාව්‍යයේ තවත් කවියක් තමයි “සුනිල් වුව සිකි පිල් – ගල රන් ‍වනෙ ‘පැහැ සිරින් - බිඡී කැකුළු දුනුකේ – ගන නිල් පත ‘තුරින් පත්” කියන එක. මොනරාගේ පිල්වල තද නිල් පැහැය ද, මොනර කර හෙවත් බෙල්ලේ රන් පැහැය ද නිසා පත්‍ර තද කොළ (නිල්) පැහැති, රන්වන් පාට මල් කැකුළක් ඇති දුනුකේ ශාඛයේ “නිල් වන් කොළ සහ නිල් පත් අතුරින් ඇදුණු රන්වන් දුනුකේ කැකුල” මොනරෙකුට සමාන කරනවා (34).

බඹරුන්ට රිද්දන මලක්[සංස්කරණය]

කේතකී මල් ගැන සංස්කෘත සටහනකින් කියන්නේ කේතකී මල “ඉතා මිහිරි සුගන්ධයක් ඇති රෝස පඳුරක කටු වගේ, කටු මල් පෙත්ත මත ඇති” බවත්, රොන්  ගන්න බඹරුන් ගිය විට උන්ගේ තටු ඒ කටුවලට ඉරෙන බවත්. සිංහල ගීත සාහිත්‍යයේ කේතක කටු සහිත බව අඟවමින් මීට සමානව සඳහන් වන එක තැනක් තමයි වසන්ත බණ්ඩාර දිසානායක ලියලා ගුණදාස කපුගේ තනු යොදලා ගයන “දොඹ මල් කැලෑවේ” ගීතයේ “රෑ පිණි පොදේ සීත මිටියාවතේ මේ [කේතකී මල් වනේ] - සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේ ද” කියන කොටසත්, “කඩු තුඩු මතින් එන්න කුර ගාව ගාවා - හිනැහී දෙතොල් ඉරි තලා”කියන කොටසත් (5). ඒ වගේම ධර්මසිරි ගමගේ ලියා ප්‍රේමසිරි කේමදාස තනු රචනා කර නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය ගයන “බඹරෙකු හැඬුවා” ගීතයේ   “ලන්ද එහා ඇති ඕවිට පාමුල, කේතකි මල මට බහ දුන්නා” කොටසෙත් කියැවෙන්නේත් රූමත් වුවත් රිදවන මලක් ගැන (6). ප්‍රත්‍යය ශතකය "සුගන්ධං කේතකී පුෂ්පං කණ්ටකෛඃ පරිවේෂ්ඨිතම් - දුෂ්ටාමාත්‍යා යථා රාජා කණ්ටකෛඃ පරිවේෂ්ඨිතං" ලෙස කියන්නේ "මිහිරි සුවඳ වහනය කරන්නා වූ කේතකී පුෂ්පයෝ කටු සමූහයෙන් ගැවසීමෙන් නෙළා ගත නොහැකිව නිෂ්ප්‍රයෝජන වේ ද, එමෙන්ම දුෂ්ට අමාත්‍යයන් විසින් පිරිවරන ලද රජු ද, ලෝකයාට නිෂ්ප්‍රයෝජන වන්නේ ය" කියලා (53).

උල් සහිත බව:[සංස්කරණය]

ගීත ගොවින්දයේ ජයදේව ගෝස්වාමි කේතකී මල් දුටුවේ විරහිනියන් ගේ හදවත පසාරු කරන්න බලා සිටින අනංග කුන්තායුධ වගේ කියලා (2). සස දා කාව්‍යයේත් දුනුකේ මල විරහිනියන්ට සම්බන්ධ කරනවා. ඒ “ගෙනැ සුපුල් දුනුකේ – පෙති රන් ඔඩම් සුවහස් - ගල ලේ බොන්නට වනන් – දැවැ වන් මේ මහ රකුස්” කියලා (35). මේ කියන්නේ එකිනෙකා හමු විය නොහැකි නිසා විරහි විරහිනියන්ට මේඝ හෙවත් වැසි කාලය එතරම් හොඳ නැති බවත්, ඒ නිසා පිපුණු දුනුකේ මලේ මනිපත්‍ර මේඝ නමැති රකුසා විරහීන් ගේ ගෙළ රුධිරය බොන්න දික් කරපු දිවක් වගේ කියලා.

දුනුකේ වතු වංශය:[සංස්කරණය]

එළු අත්තනගලු වංශය “දුනුකේ වතු වංශයෙහි උපන්නා වූ” දේව ප්‍රතිරාජයන ගැන සඳහන් කිරීමෙන් මෙනමින් වංශයක් තිබුණු බවත් පේනවා (40).

“මී හං” වලින් (?) “මී ග‍ඟෙහි” දුනුකේ මල් හට ගන්නා බව:[සංස්කරණය]

ධර්මසේන හිමියන් ලියූ “සද්ධර්ම රත්නාවලියේ”, “මට්ටකුණ්ඩලී වස්තුවේ” වෙන සඳහන අනුව පේන්නේ “මී හං” (?) වලින් දුනුකේ හටගන්නා බවට විශ්වාසයක් පැවති බව. අදාළ කොටස තමයි “මුන්දෑ මහණ වෙලා මෙසේ නුවණ නැතිවන්ට කාරණ කවරේ ද යත්: මේ චුල්ලපන්ථක සාමණේරයන් දෑ කසුප් බුදුන් සමයෙහි මහණ ව මහා නුවණැති ව නුවණ මඳ නමෙක් පාළි උගන්නා නියාව අසා, සමහර නුවණැති කෙණෙකුන්ට ඇති නුවණ නිසා [මී හං වලින් දුනුකේ ගස් නැගෙන්නා සේ], දි ලාපු තැන් හී තණ නැගෙන්නා සේ, තල මුරුවට ල තැනින් හත් තන ගස් නැගෙන්නා සේ, එබඳු උද්දාම ගුණයක් ඇතිවන හෙයින් අන්ධ ගතික සම් රජ්ජා වන තරම් ව සිනාසී වේසා ලූ දෑය” කියන එක (41). මෙවැනිම අදහසක් විද්‍යාචක්‍රවර්තී ලියූ “බුත්සරණ” ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ “මීග‍ඟෙහි නැඟ ද [දුනුකේ මල්] රජදරුවන් හිසින් පලඳනා සේ, මිනිස් ලොවැ මිනිස් කුසින් උපන ද තමන්ගේ ශ්‍රී පාදය දෙවි බඹුන් මුදුනෙහි පලඳවන ගුණ සුවඳින් සියලු ලොව එක සුවඳ කළ බුදුන්” කියලා (42). මෙම “මී හං” සහ “මී ග‍ඟ” කියන්නේ මොනවා ද කියා අවබෝධයක් නැතත් “මහනෙල් නෙලුම් මඩෙන් ඉපදුනත් හිසේ පළඳිනවා” වගේ අර්ථයක් දෙන බව පේනවා.

සිංහල බසේ කේතකී කියන සංස්කෘත වචනයේ පරිවර්තනයක් හැටියට වැටකෙයියා යෙදෙන තැන් සහ වැටකෙයියා සහ දුනුකෙයියා ශාඛ දෙකක් ලෙස හඟවමින් යෙදෙන අවස්ථා:[සංස්කරණය]

සිංහල සාහිත්‍යකරුවන් සමහර විට කේතකී මල් වල සිංහල වචනය ලෙස වැටකෙයියා භාවිතා කරලා තියෙනවා වගේම , කේතකී සහ දුනුකෙයියා ගස් ජාති දෙකක් ලෙසත් සඳහන් කරලා තියෙනවා.

කේතකී යන්න වැටකෙයියා ලෙස පරිවර්තනය කළ හෝ ඊට සමානව යොදපු අවස්ථා:[සංස්කරණය]

කේතකී යන්න සිංහලෙන් වැටකෙයියා ලෙස පරිවර්තනය කරපු එක අවස්ථාවක් තමයි ජානකීහරණයේ සිංහල පරිවර්ථනයේත් එහි 76 වන කවියේ එන “නවවිබෙොධමනොහර [කේතකී කුසුම] ගර්හගතඃ සහ කාන්තයා - අවිදිතානිලවෘෂ්ටිභයාගමඃ සුඛමශෙත චිරාය ශිලී මුඛඃ” සංස්කෘත පාඨය සිංහලට නගන්නේ “නව [වැටකේ කුසුම] - තුළැ වන් පියඹ හා තම සපදි නොම දත් වැසි බිය - හොත්තේ සුව සෙ බෝ කල්” කියලා (22).

කේතක සහ දුනුකෙයියා දෙවර්ගයක් හැටියට යොදපු උදාහරණ:[සංස්කරණය]

කේතක සහ දුනුකෙයියා දෙවර්ගයක් හැටියට යොදපු උදාහරණයක් “මහාබෝධිවංශ ග්‍රන්ථ පදයේ” “කෙතක, දුනුකේ; අසොක, හෝපලු” සහ “කෙතකි ධූලි, දුනුකේ භළුයෙන්” ලෙස සටහන් කිරීමෙන් පේනවා (43). ඩී.ඊ. හෙට්ටිආරච්චි වෙසතුරු දා සන්නෙ ලියමින් “පිපී සිටි කෙතකා” සහ “දුනුකේ ගස් ද” කියලා සටහන් කිරීමත් ඒ වගේ උදාහරණයක් (44). රාජාවලිය, පූජාවලිය, ථූපවංසය වගේ ග්‍රන්ථ “දුනුකේ , වැටකේ” දෙකම ගැන එක තැන සඳහන් කිරීමෙන් මේ දෙක වර්ග දෙකක් බව පැහැදිලිව පෙන්නුම් කරනවා.

සිංහල සහ පාලි ශබ්දකෝෂ කේතක, වැටකෙයියා, සහ දුනුකෙයියා ගැන දරන ස්ථාවරය:[සංස්කරණය]

කේතකී පිළිබඳව:[සංස්කරණය]

සිංහල සහ පාලි ශබ්දකෝෂත් මේ විදියටම කේතකී සහ වැටකෙයියා දුනුකෙයියා එකම වර්ගයක් ද නැද්ද යන්න ගැන එක මතයක ඉන්න බවක් පේන්නේ නැහැ. උදාහරණ විදියට ඩේවිස්-ස්ටීඩි පාලි-ඉංග්‍රීසි, ශබ්දකෝෂයේ කේතක යන්න මල් වර්ගයක ලෙස පමණක් හඳුන්වනවා (54). කාටර් ශබ්දකෝෂයේ “කේ, කේතක, කේතකී”, කියන නම් දීලා “මූදුකෙයියා” කියන වදන බලන්න කිව්වත් ඒ ගැන වෙනම සටහනක් නැහැ (45). Sinhala Explanatory ශබ්දකෝෂයේ “කේතකී" යනු - වැටකේ දුනුකේ ඇතුළත් උද්භිද ගණය ලෙස හඳුන්වනවා” (47).

වැටකෙයියා සහ දුනුකෙයියා ගැන:[සංස්කරණය]

කාටර් ශබ්දකෝෂය දුනුකෙයියා, දුනුකේ, screw-pine, හෙවත් Pandanus fœtidus (Pandan) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බව කියනවා (45). මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය වැටකෙයියා සහ දුනුකෙයියා යන ශාඛ වර්ග දෙකම හඳුන්වන්නේ ඉංග්‍රීසි පොදු නාමය වෙන screw pine කියලා (46). ක්ලවුග් ශබ්දකෝෂයේත් දුනුකේ සහ දුනුකෙයියා යන්න screw-pine වර්ගයේ ප්‍රභේදයක් ලෙසත් එහි විද්‍යාත්මක නාමය Pandanaceae පවුලට අයත් Pandanus fœtidus හෝ Pandanus Humilis ලෙසත් කියනවා (48). ගුණසේන මහා ශබ්ද කෝෂය අනුව වැටකෙයියා / වටකෙහෙ / වැටකේ යනු "කටු සහිත සිහින් දිග කොළ ද, ආධාරක මුල් ද ඇති දිය සීරා තැන්වල වැවෙන ගසක්" ලෙසත් "කේතකී" ලෙසත් එහි විද්‍යාත්මක නාමය pandanus tectorius ලෙසත් හඳුන්වනවා. මේ හැරුණු විට වැටකෙයියා ගෙඩියේ හැඩය ඇති මාලුවෙකුටත් මේ නම භාවිතා කරන බව එහි සඳහන් වෙනවා. එහි වැටකේ ගහින් බිමට ඇදෙන ආධාරක මුල් වැටකේ අරළු හෝ වැටකේරළු නමින් හැඳින්වෙන බවත් සඳහන්. දුනුකෙයියා / දුනුකේ යනු "දිග කොළ සහිත සුවඳති මල් සහිත මුහුදු බඩ ප්‍රදේශවල සහ ගඟ බඩ ප්‍රදේශ වල වැවෙන වැටකේ වැනි ගස් වර්ගයක්" කියලා එහි උද්භිද විද්‍යා නම ලෙස pandanus foetidus යන්න දෙනවා. එහි කේතක / කේතකී යනු "ශාක වර්ගයක්" ලෙසත් වැටකේ, දුනුකේ, කේ වර්ග ලෙසත් සඳහන් කරනවා (49).

වැටකෙයියා දුනුකෙයියා ගැන වැරදි මත:[සංස්කරණය]

වැරදි මත:

වැටකේ සහ දුනුකේ ගස් වර්ග දෙක ගැන යම් යම් වැරදි මතත් ප්‍රකාශ වෙන බව පේනවා. උදාහරණ හැටියට “සිංහල බෝධි වංසයේ” අර්ථ විවරණයේ “කහ වන් කොළයෙහි නිල් වන් ඉරි ඇති කේ ගස් ජාතිය දුනුකේ නමින් හැඳින්වේ” කියලත් “මුළු කොළය මැ තද කොළ පාට වර්ගය වැටකේ නමි” කියලා කිව්වත් දුනුකේ ශාඛයේ කොළයෙහි ඉරි ඇති බවක් පේන්න නැහැ. අපේ ඔසු පැල වෙබ් අඩවිය කියන්නේ (4) Pandanaceae පවුලට අයත් Pandanus kaida නමින් හැඳින්වෙන ලංකාවට සහ ඉන්දියාවට ආවේණික ශාඛයේ, පිරිමි ශාඛය දුනුකෙයියා ලෙසත්, ස්ත්‍රී ශාඛය වැටකෙයියා ලෙසත් හඳුන්වන බව. මෙයත් වැරදි මතයක් බව පේනවා.

මීට සමාන ලංකාවේ ඇති වෙනත් ශාඛ වර්ග:[සංස්කරණය]

මේ හැරුණු කොට කෙයියා (Pandanus ceylanicus Solms aka Pandanus porrittianus Martelli) නමින් ලංකාවට පමණක් ආවේණික (Endemic to Sri Lanka) වැල්ලවාය සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් හඳුනා ගත්, කිරිඳි ඔයේ ගඟ බඩ හැදෙන, පත්‍ර මළානික අළු පැහැති කොළ පැහැයක් ගන්නා ශාඛයක් ගැන සඳහන් වෙනවා (12), (13), (14), (15). මෙහි වැඩිපුර විස්තර ලෙස - “Erect or ascending or partly prostrate shrubs, stems emitting slender prop-roots up to 40 x 1.5 cm. Stems pale-greyish-tan, annulate by leafscars about 1-1.5 cm apart, main trunk reaching 2-3 m in length, up to about 6 cm in width. Leafy branches 1.5-4 cm diameter, leafscars 1.5-4 mm apart. Leaves generally curved, mostly 60-120 cm long, 2-3.5 cm wide; prickles at the base of the leaf 3-5 mm long; greenish-white” - ලෙස සඳහන් වෙනවා. තවත් කේ වර්ගයක් හැටියට හීන් කෙයියා (Scirpodendron ghaeri) සඳහන් වුනත් ඒ ගැන වැඩි තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ (17). මූදුකෙයියා (Pandanus odoratissimus or Pandanas tectorius) යනුවෙන් සඳහන් වෙතත් මේ කියන්නේ මුහුද අද්දර වැවෙන වැටකෙයියා ගස ගැනමයි කියලා අනුමාන කරන්න පුළුවන්. ඊට එක හේතුවක් තමයි (Pandanus tectorius) ශාඛය වගේම Pandanus odoratissimu හෙවත් Pandanus odorifer කියන ශාඛ වර්ග දෙකම වැවෙන්නේ ඔස්ට්‍රේලියාව මැලේෂියාව සහ පැසිෆික් දූපත් වල වීම (18), (19). ඒ වගේම "වැටකෙයියා ගෙඩිය උඩ තිබුනත් බිම තිබුනත් දෙකම එකයි” කියලා ප්‍රස්තාපිරුළකුත් තියෙනවා. මේ ප්‍රස්තාපිරුළ ගැන ජෝන් සෙනෙවිරත්න (1936 - 52) සඳහන් කරන්නේ “වැටකෙයියා (Pandanus fascicularis or Pandanus odoratissimus) මූදුකෙයියා නමිනුත් හඳුන්වන බව” කීමෙනුත් පේන්නේ වැටකෙයියාම මූදු කෙයියා නමින් හැඳින්වෙන බවක්.

නිගමනය:[සංස්කරණය]

මේ අනුව නිගමනය කරන්න පුළුවන් සංස්කෘත සහ පාලි සාහිත්‍යයේ හැඳින්වෙන කේතකී හෝ කේතක ශාඛය ලංකාවේ වැටකෙයියා සහ දුනුකෙයියා ලෙස හඳුන්වන ශාඛයම නොවුනත් ඒ සියල්ලම Pandanaceae පවුලේම එකිනෙකට ගොඩක් සමාන ලක්ෂණ ඇති, නමුත් සුළු වෙනස් කම් ඇති ශාඛ තුනක් බව.

ලිපිය සැකසුම: චිරාන් වින්ඩ්සර්

යොමු මූලාශ්‍ර:[සංස්කරණය]

1. Gardentia net - Ketaki, Kevada, Keya සංරක්ෂණය කළ පිටපත 2019-07-02 at the Wayback Machine

2. Gita Govinda of Jayadeva Goswami සංරක්ෂණය කළ පිටපත 2016-03-17 at the Wayback Machine

3. Ayurvedic Plants of Sri Lanka - Dunukeiya

4. අපේ ඔසු පැල - වැටකේ

5. ගී පැදුර - දොඹ මල්කැලෑවේ

6. ගී පැදුර - බඹරෙකු ඇඬුවා

7. සාකච්චා: දිනාලි පෙරේරා, ජයනාත් පෙරේරා, අරුණ රණවක, රත්න ශ්‍රී විජේසිංහ

8. බුත්සරණ- විද්‍යාචක්‍රවර්තී

9. සිංහල බෝධි වංසය - විවරණය

10. Useful Tropical PlantsPandanus thwaitesii

11. Pandanus odorifer

12. Pandanus ceylanicus Solms

13. Pandanus ceylanicus Solms

14. Pandanus ceylanicus Solms

15. Pandanus ceylanicus Solms

16. Pandanus

17. Biodiversity of Sri Lanka

18. Pandanus tectorius

19. Pandanus odorifer

20. Manaù shiksha - Teachings for the mind - Raghunätha däsa Gosvämé

21. Sri Bhaktivinod Thakur - Jaiva Dharma සංරක්ෂණය කළ පිටපත 2019-07-17 at the Wayback Machine

22. ජානකීහරණය සිංහල පරිවර්තනය

23. Ayurvedic Plants of Sri Lanka wetakeiya

24. නරෙන්ද්‍ර චරිතාවලොකන ප්‍රදීපිකාව

25. පරෙවි සන්දෙශ කාව්ය වර්ණනාව

26. අසදෘශ ජාතක කාව්‍

27. සැළලිහිණි සන්දේශය

28. කව්සිළුමිණ

29. ගිරා සන්දේශය

30. කාව්‍යශේඛර මහා කාව්‍ය

31. මයුර සන්දේශය

32. කෝකිල සන්දේශ කාව්ය

33. කෝකිල ස‍‍‍ඳෙස

34. සස දා විවරණය

35. කව්මිණි මල්දම

36. වෙස්සන්තර ජාතක කාව්‍ය

37. කහකුරුළු ස‍න්දේශය

38. පියදාස සිරිසේන නවකථා එකතුව- 02-පියදාස සිරිසේන නැවත කියවීම

39. සිංහල විමානවස්තු ප්‍රකරණය

40. එළු අත්තනගලු වංශ විවරණය

41. සද්ධර්ම රත්නාවලිය

42. බුත්සරණ

43. මහාබෝධිවංශ ග්‍රන්ථ පදය

44. වෙසතුරු දා සන්නෙ

45. චාර්ල්ස් කාටර් සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය සංරක්ෂණය කළ පිටපත 2019-07-02 at the Wayback Machine Carter, Charles. A (1924) Sinhalese-English dictionary, The Ceylon Observer Printing Works London, Probsthain & Co.Colombo

46. මධුර කුලතුංග (2002) මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය, Madura English-Sinhala Dictionary – Online

47. Sinhala Dictionary Resources සංරක්ෂණය කළ පිටපත 2020-10-12 at the Wayback Machine

48. ක්ලවුග් ශබ්දකෝෂය - Clough, B (1892) Sinhalese English Dictionary, Wesleyan Mission press, Kollupitiya

https://archive.org/details/sinhaleseenglish00clourich

49. විජේතුංග, හර්ශ්චන්ද්‍ර (2017) ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11

50. Pandanus amaryllifolius

51. මළලසේකර ශබ්දකෝෂය

52. සෙනෙවිරත්න, ජෝන් (1936) Dictionary of the Proverbs of Sinhalese - Asian Educational Services. p. 168. ISBN 9788120619791 - Free PDF Available online

53. ප්‍රත්‍යය ශතකය

54. Davids T. W. Rhys and Stede William (1921) The Pali Text Society's Pali-English Dictionary