කුරුන්දි රජ මහා විහාරය
This article is actively undergoing a major edit for a little while. To help avoid edit conflicts, please do not edit this page while this message is displayed. This page was last edited at 18:44, 10 පෙබරවාරි 2026 (UTC) (පැය 46 කට පෙර) – this estimate is cached, update. Please remove this template if this page hasn't been edited for a significant time. If you are the editor who added this template, please be sure to remove it or replace it with {{Under construction}} between editing sessions. |
| පිහිටීම | මුලතිව් දිස්ත්‍රික්කය,උතුරු පළාත,ශ්‍රී ලංකාව |
|---|---|
| කලාපය | තන්නිමුරුප්පු |
| ඛණ්ඩාංක | 9°06′58.9″N 80°45′44.2″E / 9.116361°N 80.762278°E |
| මාදිලිය | පබ්බතාරාම බෞද්ධ ආරාම සම්ප්‍රදාය |
| වර්ගඵලය | අක්කර 420 ක් පමණ |
| ඉතිහාසය | |
| ගොඩනැගූ තැනැත්තා | ඛල්ලාඨනාග මහ රජ |
| අමුද්‍රව්‍ය | කබොක් පාෂාණය |
| ස්ථාපිත දිනය | ක්‍රි.පූ.109-104 (ක්‍රි.පූ.2 වන සියවස) |
| අත්හළ දිනය | ක්‍රි.ව.13 වන සියවස |
| යුග | මුල් අනුරාධපුර යුගයේ සිට පොළොන්නරුව යුගයේ අවසානය දක්වා |
| සංස්කෘතීන් | සිංහල බෞද්ධ |
| සිදුවීම් | ●බුදුරජාණන් වහන්සේගේ දෙවනි ලංකාගමනයේ දී වැඩම කළ ස්ථානයක් ලෙස ජනප්‍රවාදගතව සැලකේ. ●කුරුන්දි අට්ඨකථා රචනා කළ ස්ථානය ලෙස සැලකේ. |
| අඩවි සටහන් | |
| පුරාවිද්‍යාඥයින් | ජේ.පී.ලෙවිස් (මුල් වරට වාර්තා කිරීම) එච්. සී. පී. බෙල් ජෝන් ස්ටිල් හෙන්රි පාකර් එල්ලාවල මේධානන්ද හිමි |
| තත්ත්වය | සංරක්ෂණය කරමින් පවතින |
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව |
| කළමනාකරණය | අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය |
| මහජන ප්‍රවේශය | හැක |
| වෙබ්අඩවිය | kurundi.lk |
| Official name | කුරුන්දි බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය |
| Type | පබ්බතාරාම සංකීර්ණ |
| Criteria | බෞද්ධ ආරාම |
| Designated | 1933.05.12(පුරාවිද්‍යා රක්ෂිතය) 2013.08.16(පුරාවිද්‍යා ස්මාරකය) |
| Reference no. | Gazette No 7981 |
කුරුන්දි රජ මහා විහාරය හෝ කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය (ඉංග්‍රීසි: Kurundi Raja Maha Vihara,දෙමළ: குருந்தி ராஜ மகா விஹாரை) යනු උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයෙහි මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොමලමුනේ මධ්‍යම ග්‍රාම නිළධාරී වසමේ පිහිටි ක්‍රි.පූ.2 වන සියවසේ දී ඛල්ලාඨනාග මහ රජ විසින් නිර්මාණය කරන ලද පුරාවිද්‍යාත්මක බෞද්ධ ආරාම සංකීර්ණයකි.කුරන්දාවශෝක,කුරුන්දපාසක,කුරුන්දචූලක,කුරුන්දපිල්ලක,කුරුන්දිවේලු,පියන්ගල ප්‍රාචීන විහාරය යන නම් වලින් ද විවිධ මූලාශ්‍ර තුළ හදුන්වා ඇත්තේ ද මෙම විහාරය ම වේ.
වවුනියාව නගරයේ සිට A9 මාර්ගය ඔස්සේ පුලියන්කුලම හරහා නෙදුන්කේනි නගරය පසුකර මුලතිව් දෙසට කිලෝමීටර 6 ක් ගමන් කළ විට හමුවන අතුරු මාර්ගය ඔස්සේ තන්නිමුරුප්පු රක්ෂිතය හරහා කිලෝමීටර 10 ක් පමණ ගමන් කළ විට මෙම පුරාවිද්‍යා ස්ථානය වෙතට පිවිසිය හැක.ඊට අමතරව,මුලතිව්-කෝකිලායි B297 මාර්ගයේ මුලතිව් සිට කිලෝමීටර 11 ක් පමණ ගමන් කර අලම්පිල් හන්දියෙන් දකුණට හැරී හමුවන 24 වන බලැඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය අසළින් දකුණු දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර 12 ක් පමණ ගමන් කළවිට හමුවන ප්‍රවේශ මාර්ග පුවරුව දැක්වෙන අතුරු මාර්ගය ඔස්සේ කිලෝමීටර 4 ක් පමණ ගමන් කළ විට ද මෙම පුරාවිද්‍යා ස්ථානය වෙත පිවිසීමට හැකියාව තිබේ.
මෙම ආරාම සංකීර්ණය වර්ෂ 1933 මැයි මස 12 වන දින බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුව විසින් රජයේ ගැසට් අංක 7981 මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ද වර්ෂ 2013 අගෝස්තු මස 16 වන දින ශ්‍රී ලංකා රජයේ ගැසට් අංක මගින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් ද නම් කර ඇත.[1]පුරාවිද්‍යාඥ හෙන්රි පාකර්ට අනුව උතුරු පළාතේ විශාලතම නටඹුන් සංකීර්ණය වන්නේ ද මෙම කුරුන්දාවශෝක විහාරය යි.[2]
ඉතිහාසය
[සංස්කරණය]මහාවංශය වැනි වංශකතා හා අට්ඨකතා අනුව සද්ධාතිස්ස මහ රජුගේ පුත්‍රයකු වන ඛල්ලාඨනාග මහ රජ (ක්‍රි.පූ.119-103) විසින් ක්‍රි.පූ.2 වන සියවසේ දී කුරුඳු රට තුළ කුරුන්දි විහාරය හෙවත් කුරුන්දාවශෝක විහාරය නිර්මාණය කර තිබෙන බව "සො ච කුරුන්දපාසකං විහාරඤ්ච අකාරයි" යනුවෙන් මහාවංශය තුල විස්තර වේ.[උපුටාගැනීම 1]ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය වූ නාගදීපයට(නකදිවට-වර්තමානයේ යාපනය අර්ධද්වීපය ඇතුලු දිවයිනේ උතුරු ප්‍රදේශයට)වැඩම කළ අවස්ථාවේ දී මෙම කුරුන්දි විහාරය සුපුහිටි භූමියට පැමිණිබව ජනප්‍රවාදගතව තොරතුරු පවතින බව මේ ස්ථානය පිළිබඳව මුල්වරට වාර්තා කරමින් උතුරු පළාතේ රජයේ නියෝජිත වූ ජේ.පෙන්රි ලෙවිස් මහතා වාර්තාකර තිබේ.[3] පූජාවලිය,නිකාය සංග්‍රහය ආදී පැරණි සාහිත්‍ය මූලාශ්‍ර තුළ කුරුඳු රට,කුරුඳුගම්මු රට,කුරුන්දක සහ කුරුන්දරට්ඨ යනුවෙන් ද හදුන්වා ඇත්තේ ද කුරුන්දි විහාරය පිහිටි මේ ප්‍රදේශයම බව පැහැදිලි වේ.සිංහලයේ කඩයිම් පොතට අනුව එය කුරුඳුගමු රට යනුවෙන් ද හඳුන්වා තිබේ.[සවිස්තර 1]අනුරාධපුරයට උතුරින් වූ කැදෑ හා කඩවත් කෝරල දෙක කුරුඳු රට යනුවෙන් හඳුන්වන බවට ආර්.ඩබ්.ලෙවර්ස් මතයක් ඉදිරිපත් කර තිබේ.[4]නමුත් ඒ මතය වැරදි බවත්,එම ප්‍රදේශය වත්මන් වව්නියාවට අයත් කරිකට්ටමලෙයි දකුණු කොටස වන බවත් සී.ඩබ්.නිකලස් පෙන්වා දෙයි.කුරුන්දිරට්ඨ යන නාමය වත්මන් කුරුන්තන්ඌර් යන්නෙහි ගැබ්ව ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.[5]කුරුඳු රට,පදී රටට ආසන්නව තිබූ බවත් මේ පදී රට යැයි හදුන්වන්නේ වර්තමාන පදවිය ප්‍රදේශය බවත් කඩඉම්පොත් පිළිබඳ විමර්ශනයක් සිදු කළ එච්.ඒ.පී.අභයවර්ධන මහතාගේ අදහස වී තිබේ.[6]
කුරුඳු රට යන නාමය ප්‍රදේශය පුරා විසිරී ඇති කබොක් හෙවත් කුරුඳු(කුරුවින්ද) පාෂාණය නිසා ඇති වූ බවට සැලකේ.මෙම කුරුඳු පාෂාණය ද රුවන්වැලිමහාසෑය අත්තිවාරම සකස් කිරීම සඳහා ද අතුරා ඇති බව "තස්සෝපරි ඛරසුදං කුරුවින්දං තතොපරි"' යනුවෙන් වංසත්ථප්පකාසිනී මහාවංස ටීකාව තුළ දැක්වේ.[7]කුරුඳු රටෙහි පිහිටි මෙම විහාරයේ කුරුන්දචූලක/කුරුන්දපාසක නම් පිරිවෙණක් පැවති බවටත් සිංහල ප්‍රධාන අට්ඨකතා තුනෙන් එකක් වන කුරුන්දි අට්ඨකථා එහි දී රචනා වූ බවටත් සැලකේ.[සවිස්තර 2]මේ පිළිබඳව සාරත්ථදීපනී විනයට්ඨකතාවේ මෙසේ දැක්වේ.
"කුරුන්දිවෙල්ලි විහාරො නාම අත්ථි තත්ථ කතත්තා කුරුන්දීති නාමං ජාතන්ති වදන්ති"
කුරුන්දිවෙල්ලි නම් වූ විහාරයකදී එම කෘතිය රචිත වූ නිසා,ඒ අට්ඨකථාවට “කුරුන්දි” යන නම ලැබුණි.(උපුටාගැනීම:සාරත්ථදීපනී විනයට්ඨකතාව[8]
සමන්තපාසාදිකා විනයට්ඨකතාවේ ද මේ පිළිබඳව සදහන් වේ.
"සංවණ්ණනං තං ච සමාරහනේතා
තස්ස මහාඅට්ඨකථා සරීරං,
කත්වා මහාපච්චරියං තථෙව
කුරුන්දිනාමාදිසු විස්සුතාසු"
ඒ සංවර්ණනාවද මනාකොට ආරම්භකරන්නා වූ මම,මහ අටුවාව ඒ සංවර්ණනාවෙහි ශරීරයකොට,මහාපච්චරි නම් අටුවාවෙහිද,කුරුන්දි ආදි නම් ඇති ප්‍රසිද්ධ වූ...(උපුටාගැනීම:සමන්තපාසාදිකා විනයට්ඨකතාව,පාරාජික කාණ්ඩය-අට්ඨකථාචාර්යය බුද්ධඝෝෂ මහා ස්ථවිර)
මහාචාර්ය ගුණපාල මලලසේකර සඳහන් කරන්නේ සමන්තපාසාදිකා විනයට්ඨකතාවේ නිතර නිතර කුරුන්දි සිංහල අට්ඨකතා ගැන සඳහන් වෙන නිසා එය ප්‍රධාන වශයෙන්ම විනය නීති වලට අදාළව පවතින්නට ඇති බවත් හා විනයධර භික්ෂූන්ගේ සහභාගීත්වයෙන් රචනා කරන්නට ඇති බවත් ය.[9]ඒ පිළිබඳව මෑත කාලීනව නිර්මාණය කළ කුරුන්දි විහාරය වන්දනා කිරීමේ ගාථාවෙද සඳහන් කර තිබේ.
"ලඞ්කාය උත්තරදිසාය සමුජ්ජලන්තං
තං චේතියං ච කුරුවින්දුපලෙහි බද්ධං
යස්මිං කුරුන්දිවිනයට්ඨකථා කතා තං
වන්දාමි විස්සුතකුරුන්දිවිහාරමග්ගං"
(මම) ලක්දිව උතුරු දෙස මොනවට බබළන්නාවූ,කුරුවින්ද පාෂාණයෙන් බඳනා ලද ඒ සෑය ද,කුරුන්දි නම් (සීහළ) විනය අටුවාව කළ,ඒ අග්‍ර වූ සුප්‍රසිද්ධ වූ කුරුන්දි විහාරය ද වන්දනා කරමි(කුරුන්දි මහ වෙහෙර වන්දනා ගාථාව,කුරුන්දිවිහාරවංසය,2023)
පැරණි පාලි මූලාශ්‍ර ග්‍රන්ථ වලට අනුව කුරුන්දි විහාරය හැදින්වීම සඳහා පද කිහිපයක් භාවිතා කර තිබේ.ඒවා නම්, කුරුඤ්ඤ,කුරුන්දි,කුරුන්දී,කුරුන්ද විහාර,කුරුන්දචුල්ලක,කුරුන්දන්කුන්දිය,කුරුන්දපිල්ලක,කුරුන්දවාපි,කුරුන්දවාසෝක විහාර,කුරුන්දවේලු,කුරුන්දිවෙල්ලි,කුරුන්දිය විහාර,කුරුන්ද පාසක යන සංඥා නාමයන් ය.බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් විසින් රචිත සමන්තපාසාදිකා විනයට්ඨකතාවේ පමණක් කුරුන්දි යන වචනය 102 වරක් සඳහන් වන බව හත්තොටුවේ ඉන්දරතන හිමි පවසයි.[10]ඊට අමතරව "කුරුන්දි" යන වචනය කඞඛාවිතරණියේ ද සඳහන් කර ඇතේ අතර ඉන් හා සමන්තපාසාදිකාවේ ද සඳහන් කුරුන්දි යන වචන තුළින් අදහස් කර ඇත්තේ කුරුන්දි අටුවාව බව පෙනේ.[11]සමන්තපාසාදිකාවේ සහ මනෝරථපූරණියෙහි කුරුන්දකවාසී ඵුස්සමිත්ත නම් තෙර නමක් පිළිබඳව සඳහන් වේ.[12]
ඊට අමතරව පළමුවන අග්බෝ රජු (ක්‍රි.ව.561-595) විසින් මෙම විහාරය තවදුරටත් වැඩිදියුණු කරමින් නැවත කර වූ බවත්,කුරුඳු වැව නමින් වැවක් කර වූ බවත්,ඊට අමතරව තුන් යොදුනක් දුර සහිත පොල් උයනක් ද කරවා පූජා කළ බවත් මහාවංශයේ සඳහන් වේ.ඊටත් අමතරව අස්වැද්දීම උදෙසා මහා සිව නම් කුඹුරු යායක් ද,ආරාමික අතවැසියන් සියයක් ද ලබා දුන් බවත්,විහාරය අසලින් අම්බිලපණ්ණ නම් විහාරයක් හා ඒ නමින් යුතු ගමක් ද නිර්මාණය කර මහාවිහාරවාසී තපස්වී භික්ෂූන් වහන්සේලාහට ලබා දුන් බව මහාවංශය තුළ වැඩදුරටත් සඳහන් වේ.[උපුටාගැනීම 2][13]
පැරණි කුරුඳු වැවෙහි බැම්මට පහළින් පළමුවෙනි සංඝබෝධි රජ හෙවත් සිරිසඟබෝ රජු (ක්‍රි.ව.246-248) විසින් තවත් විහාරයක් කරවූ බවටත්,ඊට බොහෝ කලකට පසු පස්වෙනි දප්පුල රජ, පළමු රාජ්‍ය වර්ෂයේ (ක්‍රි.ව.965) මෙහි එක් විහාරයක නැවත භික්ෂු සංඝයා නතරකළ බවටත් මූලාශ්‍ර තොරතුරු වන බව ආර්.එල්.බ්‍රෝහියර් මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.[14]ඊටඅමතරව,තුන්වන සිරිසඟබෝ හෙවත් හතරවන අග්බෝ රජු (ක්‍රි.ව.662-678) විසින් කුරුන්දපිල්ලක පිරිවෙණෙහි ප්‍රාසාදයක් කරවූ බවත්,[උපුටාගැනීම 3]දෙවන දප්පුල රජු සහ රජුගේ සේනා නැමැති රාජමෙහෙසිය විසින් ප්‍රාචීන විහාරය හෙවත් පූර්වාරාමයේ ප්‍රාසාදය පිළිසකර කළ බවත්,ඊට අයත්ව තිබූ උස්විටිගම නිසරුව තිබූ බැවින් එයද සරාසාර කරවූ බවත් මහාවංශයේ දැක්වේ.[15]එහි දැක්වෙන ප්‍රාචීන විහාරය බොහෝ විට පියන්ගල කන්දේ පිහිටි කුරුන්දි ප්‍රාචීන විහාරය විය හැකි බව හෙන්රි පාකර්ගේ මතය වේ.[16]වර්තමානයේ ද මෙම ස්ථානයට "කුරුන්දන්මලේ පියංකල්ලු" යන නමින් හැදින්වේ.එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුව "පියංගල" යන නම පසුකාලීනව එසේ "පියංකල්ලු" නමින් ව්‍යවහාර වන්නට ඇත.[17]තුන්වන දප්පුල රජුගේ පුත්‍රයා වන තුන්වන මිහිඳු රජු (ක්‍රි.ව.801-805) තම මව සහ දියණිය සමඟ කුරන්ගම හෙවත් කුරුන්දියට පැමිණ කුරුඳු වැවෙහි ජලය පිළිබඳව ඇතිව තිබූ ආරවුල සංසිදුවා රජු විසින්ම ශිලා ලේඛනයක් ස්ථාපිත කළ බවත් එම ශිලා ලේඛනය මඟින් තහවුරු කර තිබේ.[18]
පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව.1065-1120) විසින් සොලී ආක්‍රමණ හේතුවෙන් පරිහානියට පත් වූ කුරුන්දි මහා විහාරය නැවත කර වූ බවත් මහාවංශය තුළ දැක්වේ.[උපුටාගැනීම 4]දෙවන පරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් වන කාළිංග මාඝ විසින් බඳින ලද කඳවුරු 15 අතරට කුරුන්දිය ද අයත් වූ බවත් එම කඳවුරු දෙවන පරාක්‍රමබාහු රජුගේ සේනාව විසින් මුදවාගත් බව මහාවංශයේ සහ නිකාය සංග්‍රහයේ සඳහන් වේ.[19][20][21][22][උපුටාගැනීම 5]
පසුව පැමිණි චන්ද්‍රභාණු නම් ආක්‍රමණිකයා ද දෙවන පරාක්‍රමබාහු රජ විසින් මුල් වරට පරාජය කර පළවා හරනු ලැබ දෙවන වර සොළීන් ද,ජාවක මහ සෙනඟක් ද සහිත ව කුරුන්දියේ සිංහල සෙනඟක් ද සහිතව ගොස් යාපහුවේ කඳවුරුලාගත් බව පූජාවලියේ දැක්වේ.[උපුටාගැනීම 6]
නමුත් ඉතිහාසයේ වසර 21 ක් පුරාවට සිදුවූ දරුණු කාලිංගමාඝ ආක්‍රමණ සමඟ රජරට රාජධානි ශ්‍රී ලංකාවේ නිරිතදිග කොටසට සංක්‍රමණය වීමත් සමඟ මේ ප්‍රදේශ ද බොහෝ දුරට ජනශුන්‍ය වූ බව පෙනේ.ඒත් සමඟම මේ පුදබිම් ද වනාන්තරගත විය.[23]පසු කාලිනව ලන්දේසී පාලන සමයේ දකුණු ඉන්දියාවේ සිට ලංකාවට වහල් සේවය සඳහා ගෙනෙන ලද වෙල්ලාල දමිළ ජනතාව මෙම ජන ශූන්‍ය ප්‍රදේශවල පදිංචි වීමත් සමඟ බොහෝ පුරාවිද්‍යා ස්ථාන විනාශ වූ බවත් මෙම පුරාවිද්‍යා භූමියෙහි ද ගොඩනැගිලි කඩා බිඳ දමා, ගෙන යා හැකි ද්‍රව්‍ය ඉවත් කර ගෙන ගිය බව යටත් විජිත සිවිල් සේවා නිලධාරියකු වූ අයිරිෂ් ජාතික ජෝන් පෙන්රි ලෙවිස් මහතා 1895 දී සිය A manual of the Vanni District, Ceylon කෘතියෙහි වැඩිදුරටත් සඳහන් කරයි.ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන 1933 දී රජයේ ගැසට් අංක 7981 මඟින් මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් වන්නේ ඒ අනුවය.[24]
ස්මාරක සහ පුරාවිද්‍යාත්මක කැණීම්
[සංස්කරණය]අක්කර 420 ක පමණ වපසරියක විසිර පවතින මේ පුරාවිද්‍යා ස්ථානය පැරණි බෞද්ධ ආරාම සම්ප්‍රදායක් වන පබ්බතාරාම බෞද්ධ ආරාම සම්ප්‍රදාය මූලික කොට නිර්මාණය කර තිබේ.පබ්බතයක් හෙවත් කුඩා කඳු ගැටයක් මූලික කොටගෙන ඒ වටා ආරාමය නිර්මාණය කිරීම මෙම ආරාම සම්ප්‍රදායේ ප්‍රධාන ලක්ෂණය වේ.
ප්‍රධාන පිවිසුම් පියගැට පෙළ
[සංස්කරණය]මාධ්‍යමික මළුව(වන්දනීය මැද මළුව)
[සංස්කරණය]ස්ථූපය සහ ස්ථූප මළුව
[සංස්කරණය]යූපස්ථම්භය
[සංස්කරණය]වජ්‍රාසනය
[සංස්කරණය]පිළිමගෙය
[සංස්කරණය]උපෝසථාගාරය
[සංස්කරණය]බෝධිඝරය
[සංස්කරණය]භික්ෂු කුටි,ප්‍රාකාර,පොකුණු සහ වෙනත් නටඹුන්
[සංස්කරණය]කුරුන්දි වැව
[සංස්කරණය]පළමුවන අග්බෝ රජු විසින් කුරුන්දි විහාරය වැඩිදියුණු කර නැවත ඉදිකරන විට කුරුඳු වැව ඉදිකළ බව මහාවංශයේ සඳහන් වේ.කුරුඳු වැව හෙවත් කුරුන්දි වාපි වර්තමානයේ තන්නිමුරුප්පු වැව බව ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වූ සී.ඩබ්ලිව්.නිකලස් මහතාගේ අදහස වේ.[උපුටාගැනීම 7]නමුත් ආර්.එල්.බ්‍රෝහියර් මහතා කුරුන්තන් කුළම් සහ තන්නිමරුප්පු කුළම් නමින් ආසන්නව පිහිටි පුරාණ වැව් දෙකක් පිළිබඳව සදහන් කරයි.ඒ අනුව වර්තමානයේ කුරුන්තන් කුළම යනු අතීතයේ දී පළමුවන අග්‍රබෝධි හෙවත් අග්බෝ රජු කළ කුරුඳු වැව විය හැකි බවට තවත් අදහසක් විවෘතව පවතී.
"පළමුවෙන් කියන ලද ගඟ මිටියාවතේ සිතියම්වල තන්නිමුරුප්පු කුලම් නමින් සඳහන් කර තිබෙන පාළුවට ගොස් නටබුන් වී තිබෙන ඉතා ලක්ෂණ පුරාණ වැවක් ඇත්තේය.මෙම ශක්තිමත් පුරාණ කර්මාන්තයෙහි බැම්ම,උතුරු දකුණු දෙසට පිහිටා තිබේ.නමුත් දැනට එය දියපාර දෙකකින් නරක අන්දමට කැඩී දියකඳ දෙක මනල්ආරු නමින් එකක් වී,දියබෑවුමේ ප්‍රධාන ගංගාව දියකඳ වැඩි කරන්නේ ය.
දැනට වැව් බැම්ම සහ පුරාණ කුඹුරුත් ඇතුළුව,වැව පිහිටි බිම මුළුදා ම ඝන කැලෑවෙන් සහ මූකලානින් වැසී තිබේ.ඉතාම මෑත කාලයක් වනතුරු ඊට ආසන්න භූමි ප්‍රදේශය එහෙම පිටින් ම වන ගත වෙන්ට හැර ඒ සම්බන්ධව කිසිවෙක් කිසිවක් නොදැන සිටියෝ ය.මෙයාකාරයෙන් පුරාණ වටිනා දේපලක් නොපෙනී සැඟවී තිබුන බව පෙනේ.
තවත් කරුත්ත කුලම් නම්ලත් පුරාණ වැවක් හැතැප්ම බාගයක් පමණ උතුරින් ඊසාන දෙසට පිහිටා තිබේ.එය සාදා තිබෙන්නේ කුඩා මිටියාවතක් මැදින් ගලා යන,වාන්ආරු නම්ලත් ශාඛා දියපාරක් හරහා බැම්මක් බැඳීමෙන් ය.මෙයාකාරයෙන් කුරුන්ත කුලම සහ තන්නිමුරුප්පුව,ඊට යා වූ මිටියාවත් තුනේ ම දිය ගලායෑම හරස් කප්නනේ ය.
නමුත් මේ පුරාණ වැව් දෙකේ පවතින අගය තවත් කරුණකින් වැඩිපුරද උසස් කරන්නේ ය.වැවෙන් ඉතිරී යන මහත් ජලයෙන් කොටසක් කඳුවැටිය හරහා,යාව තිබෙන ජලාසයට ගෙනයනු සඳහා තන්නිමුරිප්පු වැව් බැම්මේ කෙළවර පසුකොට අඩි විස්සක් පළලැති ජඹුර ඇළක් කපා තිබෙන බව පෙනේ."
ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.
කෙසේ නමුත් සමහර විද්වතුන් අනුමාන කරනුයේ කුරුන්දි විහාරය අසළ ඇති වර්තමානයේ කුරුන්තන් වැව නමින් හදුන්වන වැව විහාරයේ පැරණි ජල පොකුණක් පසුකාලීනව විශාල කර සැකසූ කුඩා වැවක් වන බවත් පළමුවන අග්බෝ රජු නිර්මාණය කළ කුරුඳු වැව වර්තමානයේ තන්නිමුරුප්පුව වැව ලෙස හදුන්වන තරමක් විශාල වැව වන බවයි.
කුරුන්දි වැව් බැම්මට පහළින් පිහිටි විහාර නටඹුන්
[සංස්කරණය]කුරුඳුගම පැරණි ගල් පාලම
[සංස්කරණය]කුරුන්දි විහාරය තදාශ්‍රිත ජනවාස සාධක
[සංස්කරණය]අභිලේඛන
[සංස්කරණය]IV වන උදය රජුගේ ඛණ්ඩ පුවරු ලිපිය
[සංස්කරණය]IV වන උදය රජුගේ කුරුන්දි ඛණ්ඩ පුවරු ලිපිය යනු ක්‍රි.ව. 10 වන සියවසේ අග භාගයට අයත් සිංහල ශිලා ලිපියකි. මෙම ලිපිය IVවන උදය රජුගේ රාජ්‍ය කාලයට අයත් කතිකාවත් වර්ගයේ ශිලා ලිපියක් ලෙස හඳුනාගෙන ඇත.ඛණ්ඩ ලෙස හඳුන්වන්නේ කැබලිවලට බිඳුණු අදහසින් ය.මෙම ශිලා ලිපිය ප්‍රථම වරට 1895 දී J. P. Lewis විසින් ප්‍රකාශිත Manual of the Vanni District කෘතියේ (පිටු 314) සටහන් කර ඇත.[25]තවද H. Parker විසින් මෙම ලිපිය පිළිබඳව ද ඇති කල්පිත විස්තරයක්ද සටහන් කර තිබේ.[26] Annual Report of the Archaeological Survey of Ceylon, 1949 අනුව, 1931 දී කුරුන්දන්මලේ ප්‍රදේශය පුරාවිද්‍යා සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කිරීම සඳහා සිදු කළ සමීක්ෂණයේදී මෙම ශිලා ලිපිය සොයා ගැනීමට උත්සාහ කර ඇති නමුත් එය අසාර්ථක වී ඇත.පසුව 1949 දී මෙම ලිපිය නැවත සොයාගත් අතර,නිධන් වස්තු සොයන්නන්ගේ සහ වෙනත් අයගේ ක්‍රියාකාරකම් හේතුවෙන් එය කොටස් කිහිපයකට බිඳී තිබූ බව වාර්තා වේ. [27][28]
එය චාලස් ගොඩකුඹුර මහතා විසින් පිටපත් කර ඇති අතර එම අවස්ථාවේ ශිලා ලිපියේ මුලින් රේඛා 19ක් පමණ තිබූ බවත්, ඒවායෙන් රේඛා 16ක් පමණක් කොටස් වශයෙන් සුරක්ෂිතව තිබී ඇත.ලිපියේ අක්ෂර සහ භාෂාව ක්‍රි.ව. 10 වන සියවසේ මධ්‍ය භාගයට අයත් සිංහල භාෂාව ලෙස හඳුනාගෙන ඇත. මෙම ලිපිය “සිරිසංඝබෝ” යන රාජ නාමය දරා සිටි රජුගේ රාජ්‍ය කාලයේ 8 වන වසරට දිනංකිත කර ඇති අතර, විද්වතුන්ගේ අදහස අනුව එම රජු වන්නේ IV වන උදය රජු (ක්‍රි.ව. 946–954) ය.[29]

- පෙළ
1. ... ... ... ... ... යස දෙසින් දස අත්හි පැතිරැ රජ කළ අභා සලමෙවන් මහරද්හු පුත්
2. ... ...මඬුල් රන්දනා රජ්ලියෙහි මිණි වුටුනුයෙන් සිය මුන්දුන් පැහැයු ලක්දිව පොළො යොන පරපු
3. රෙන් හිමිවූ තුමා සරණ නිය රසින් අන් රජ මුන්දුන් බිසෙස්වු තික් තෙදින් හිරු පළැ කෙවින් මෙහැසුරු දළ දැපින් උවින්දු රජ විරතින් සුරින්දු පබන්ද දෙනෙන් දිනිසුරු සත්
4. සෙතින් කිතිසුරු පැණ සරින් සුරගුරු සෙබා ගුණෙන් නිසයුරු... ...නන් සරින් කප්තුරු රූ සරින් කදප් කුලුන රෙසෙන් බොසතු මෙරුවන් සුව සරින් සම
5. ... ... ... ... හුන් අභා සලමෙවන් මහරජ්හු තුමා සත් ලැඟු පළමුවන හවුරුදුයෙහි ඇසෙළ පුන් සන්ද් අවප් මස්හි දසපක් දව
6. ස් ... ... සඟඅරම් සිරිසඟ්බෝ රජ් මහවෙහෙර්හි වත් සිරිත් විසිනැ සියතන් සහ ...සසන්දා තුන් නකාහි මහසඟ් වත්හිමියන් ... ...
7. ... ... ... ...පස එවුන් වන සියෙනැ පතෙ පොතෙහි ඇරැ සෙයින් අකර්වනු ඉසා ... ... සි හදව සිට පවත්නා කොට් මෙ සිලා ලෙබ ... ... ... ...
8. ... ... ... ... සිරිසඟ්බො අභය මහරජ අගසු(ද)ම් නම් වූ සඟ්බඩ් අප මෑණියන් ඉසා ... ... සිරිත් සන්දහා නියාමකින් ඉසා වරද් දෙවු පරෙයා ... ... ... ... ... ... ...
9. ... ... ... ... කතු ඉසා ... ... ... ...යා රක්රනුගම යුරෙහි අභයගිරි නකා පිළිබැදි කොට් ස ... ... ... කැරූ සඟරම් සිරිසඟ්බෝ රජ් මහවෙහෙරැ ක... ... ... ...
10. ... ... ... ...නු කොට් අටවනුයෙහි නවයැ සන්ද් අවප් මසැ දියවස් දවස් දළදාගෙයි ... ... ...මේ ... ...රට් මෙ අභය ඉසිරිපව් පියන්ගල් ක... ... ...කැමියන්
11. ... ... ... නිස්සන් හා සසන්දැ මෙ වෙහෙරට් පියන්ගලට් තුරු සිරිත් ඉසා විවරුණෙන් එක්සෙ කොට් තන් උවතකැ අර්වයි කැමි සැමියන් කළ විසි එක් ... ... ... ...
12. ... ... ... ...එක් පැකක් අභයිගිරි වෙහෙරැ ඉසා එක් පැකක් මෙ වෙහෙර්හි මහපහායි ඉසා තබනු කොට් වදාළහ වීම් කුසල්කැමි... තබය සතු
13. ... ... ... ... ගහනෙහි සෙයින් මෙ නිසගින් සනිටිහන් වු සිරිත් ඉසා මෙයට් දුන් කැබලි කටයුතු සෙ ඉසගිය කටයුතුය ඉසා මිනිස්නට් කම්... ... ...
14. ... ... ... ...නට් ලබනු දිවයුතු සෙ ඉසා එක් සෙ කොට් අර්වයි මෙ වෙහෙරැ තබනු කොට් වදාළ සිරිත් පොත්හි ... ... සිරිත් ලියි සත්දෙවාමි ලිමි මෙ වෙහෙරැ සිරිත් මෙ වෙහෙර්හි වෙහෙ
15. ර්කැමියන් ... කැමියන් පිළිමගෙයි සිරිත්පොත්හි කී සෙයින් බුද් බතට් ගත යුතු ඉසා පිළිමගෙයි හම පුද සිරිත් සෙයිමැ ... ... ...කරනු ඉසා ආනන්ද පියන්ගල්හි අ(ටි)න් දොළොසැ
16. ... ... ... ...පසැ ආවු වත්හිමයන් වැසි හිමියන් විසියා ... ... ..... ... ...
17. ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...
18. ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...
19. ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...
- අන්තර්ගතය
"-----දස දිසාවේ ම පැතිරුණු ඓශ්චර්යයෙන් සහ තේජසින් යුතු අභා සලමෙවන් (මහරජු ගේ පුත්----මුලු ප්‍රදේශයෙහිම රදා පැවති රාජකීය පරම්පරාවේ,හිස්මුදුනෙහි මැණික් ඇල්ලූ මිණි ඔටුන්නෙන් ප්‍රභාමත් කළ,ලක්දිව පොළොව නමැති මහී කාන්තාවගේ පරම්පරාවෙන් පැවත,එම සරණ ගොස් අභිශේඛයට පත්වුණු,තේජසින් සූර්යයා සේ ද, කෝපාග්නියෙන් මහේශ්වරයා සේ ද (ඊශ්වර දෙවියන්),දැඩි බවින් සහ ආඩම්බරයෙන් විෂ්ණු දෙවියන් සේ ද, රාජ්‍ය චාරිත්‍රානුකූලව ශක්‍ර දෙවියන් සේ ද,හිරු ගේ තීක්ෂණ ඇස් ලෙසින් ද,දැහැමි ගුණයෙන් සහ ශාන්තියෙන් අවලෝකිතේශ්වර මෙන් ද,ප්‍රඥාවෙන් බ්‍රහස්පති සේ ද,සෞම්‍ය ගුණයෙන් චන්ද්‍රයා සේ ද,----කල්ප වෘක්ෂයක් සේ ද,රූපශ්‍රීයෙන් සහ කරුණාව නැමැති ගුණයෙන් බෝධිසත්ත්වයකු සේ ද,මහමෙරක් සේ නොසැලෙන සැපයෙන් සහ සුවයෙන් උතුම් වූ -----අභාසලමෙවන් (සිව්වන උදය) මහරජතුමා ගේ රාජ්‍යත්වයෙන් පළමුවෙනි වර්ෂයෙහි ඇසළ මස අවපස දසවන දින කරවන ලද ශිලාලේඛනයකි.සංඟාරාම සිරිසඟබෝ රජමහා විහාරයෙහි සිදු කෙරෙන වත් පිළිවෙත් තමා විසින්ම පරීක්ෂා කර බලා තුන් නිකායෙහි(මහා විහාර - අභයගිරිය - ජේතවනය) සංඝරාජ මහා නායක හිමියන්ට-----අතීතයේ සිට පැවත ආ පරිදි පොත් පත්වල ලිඛිතව ලියා ඇති සහ දැනුම් දී ඇති පරිදි ක්‍රියාත්මක කළ යුතුය.ඉරහඳ පවත්නා තෙක් මේ ශිලා ලේඛනය කරවන ලදී-----සිරිසඟබෝ අභය මහරජුගේ (දෙවන සේන) අග බිසොව වූ ද,සංඝබෝධි (පස්වන කාශ්‍යප) සහ අපගේ (සිව්වන උදය) සුධම්ම නම් වූ මෑණියන් ද----------අභයගිරි නිකාය යටතේ----රක්රනුගම ඉවුරෙහි කරවන ලද සංඝාරාම සිරිසඟබෝ රජ මහා විහාරයෙහි-------අටවන වර්ෂයෙහි නවම් මස දසවක් දින දළදා ගේ-----අභය ඉසිරිපව් පියන්ගල (පධානඝරය)-----නිලධාරීන්-----යෝග්‍ය තැනැත්තන් පිළිබඳව සසඳා බලා මේ විහාරයේ පියංගල ආශ්‍රිතව පැවති සිරිත් ද,එහි අර්ථ ද පැහැදිලි කොට ඒ අයුරින්ම කරවා සේවකයන් සහ ස්වාමීන් එක්ව කරන ලද විසි එක්එ-------ක් කොටසක් අභයගිරි විහාරයේ ද,තවත් එක් කොටසක් මේ විහාරයේ මහා ප්‍රාසාද ගෙයෙහි ද තබන ලෙස වදාරණ ලදී.සුළු සේවකයන් ගේ භාරකරු තමන් සතු-----භික්ෂූන්ට ඇවැතක් වන දේ පිළිබඳව පැවත ආ සිරිත් අනුව කටයුතු කළ යුතුය.දෙන ලද කොටස් සඳහා ද එලෙසම කටයුතු කළ යුතුය------මෙසේ සිදු කරනු ලබන සියලු විරිත් පොත් පත්හි නිරන්තරයෙන් ලියා මේ විහාරයේ තැන්පත් කළ යුතුය.එසේ වදාරන ලද සිරිත් විරිත් පොත් පත් හි ලියා තැබූ යේ සත්දෙවොමි යන මා විසිනි. ---- මේ විහාරයේ සිරිත් විරිත් ආදිය මෙහි ම සේවකයින් ද, ------පිළිමගෙයි සේවකයන් පොත් පත් හි ලියා තැබූ අයුරින් පිළිමගෙයි බුද්ධ පූජාවන් ආදිය එම සිරිත් වලට අනුකූලව ඉටු කළ යුතුය. -----ආනන්ද පියන්ගලෙහි (පධානඝරයෙහි) -----------"
හැදින්වීම් නාමය:කුරන්දන්මලය පුවරු ලිපිය
රාජ්‍ය කාලය:සිව්වන උදය රජ(සම්මත වර්ෂ 946-954)
කාලය:සම්මත වර්ෂ 10 වන සියවස
අක්ෂර:මධ්‍යකාලීන සිංහල
භාෂාව:මධ්‍යකාලීන සිංහල
(උපුටාගැනීම:G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology,Ranwella,pp.221-224,en)[30]
මෙම ශිලා ලිපිය කතිකාවත් වර්ගයට අයත් වන අතර, අභයගිරි මහා විහාරයට අනුබද්ධ වූ “අභය–ඉසිරිපවි(සිරිසංඝබෝ විහාරය)" නම් විහාරය සහ එයට අනුබද්ධ “ආනන්ද පියංගල” නම් භාවනා ශාලාව සම්බන්ධයෙන් භික්ෂූන්ගේ සාමාන්‍ය එකඟතාවයෙන් සම්මත කරගත් නියමාවලියක් ද මෙහි අන්තර්ගත වේ.එමෙන්ම, “අභ සලමේවන්” යන රාජ නාමය දරා සිටි රජුගේ රාජ්‍ය කාලයේ පළමු වසරේ පැවැත්වූ පෙර කතිකාවතක් පිළිබඳවද මෙහි සඳහන් වේ.[31]
විද්වතුන්ගේ අදහස අනුව, මෙම පෙර කතිකාවත III වන සේන රජුගේ (ක්‍රි.ව. 938–946) කලුදිය පොකුණ ශිලා ලිපියෙන් හඳුන්වන කතිකාවතට සම්බන්ධ විය හැක. එම කතිකාවත III වන සේන රජුගේ රාජ්‍ය කාලයේ පළමු වසරේ පැවැත්වූ අතර,III වන සේන රජු සහ ඔහුගේ පියා වූ II වන උදය රජු (ක්‍රි.ව. 887–898) දෙදෙනාම “අභ සලමේවන්” යන රාජ නාමය භාවිතා කර තිබුණි.[32]
ඒ අනුව ශිලා ලිපියේ ආරම්භක කොටසෙහි සිව්වන උදය රජු පිළිබඳ වර්ණනාත්මක සඳහනක් වේ.ලිපියේ සඳහන් වන අභයගිරි විහාරයට අනුබද්ධ විහාරයට අමතරව,භික්ෂූන්ගේ සාමාන්‍ය එකඟතාවයෙන් සම්ප්‍රදාය තුනක් සමඟ එකඟතාවයකට පැමිණීම (නිකාය සමඟියක් වැනි) පිළිබඳවද මෙහි සඳහන් වේ. එමෙන්ම, මෙම ස්ථානයේ පිහිටි විහාරයට හා පිළිමගෙයට අභයගිරි විහාරයට අනුයුක්ත නිලධාරීන් විසින් පිරිනමන ලද පූජා, වත්පිළිවෙත් හා චාරිත්‍ර පිළිබඳ තොරතුරුද මෙහි අන්තර්ගත වේ.
එයට පහළ කොටස්වල, සිරිත් ප්‍රකාරව පිළිමගෙය තුළ සිදු කළ යුතු බුද්ධ පූජා වත්පිළිවෙත් සහ මහා සංඝයා වහන්සේට සිදු කළ යුතු වත්පිළිවෙත් පිළිබඳ විස්තර ඇතුළත් වේ. එම නියමාවලිය ඉර සහ හඳ පවතින තුරු වලංගු වන බවද ශිලා ලිපියේ සඳහන් කර ඇත.
ශිලා ලිපියේ “සුදම්ම” නම් රජ බිසවක් පිළිබඳ සඳහනක් ද පවතී. එම බිසව, මෙම ශිලා ලිපිය කරවූ සිව්වන උදය රජුගේ සහෝදරයා වූ පස්වන කාශ්‍යප රජුගේ මෑණියන් බව විද්වතුන් විසින් හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ශිලා ලිපිවල මවුවරුන්ගේ නම් සඳහන් වීම දුර්ලභ කරුණක් වන බැවින්, මෙම සඳහන විශේෂ වැදගත්කමක් ඇති බව සැලකේ.තවද, මෙම ස්ථානයේ දළදා ගෙයක් සහ විශාල පුස්තකාලයක් පැවති බවත් ශිලා ලිපියෙන් සඳහන් වේ.[33]
III වන මහින්ද රජුගේ ශිලා ලේඛනය
[සංස්කරණය]Archaeological Survey of Ceylon: North-Central, Central and Northern Provinces, Annual Report 1905 කෘතිය අනුව, වර්තමාන කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ ක්‍රි.ව. 812–816 කාලයට අයත් බවට සැලකෙන III වන මහින්ද හෙවත් මිහිඳු රජුගේ ශිලා ලිපියක් පැවති බව සඳහන් වේ.[34][35]
තුන්වන මිහිඳු රජු තම මව සහ දියණිය සමඟ කුරන්ගමට පැමිණ කුරුන්දි වැවෙහි ජලය පිළිබඳව ඇතිව තිබූ ආරවුල සංසිඳුවා එතුමා විසින්ම සෙල් ලිපිය කරවූ බව සඳහන් වේ.ඊට අමතරව එම සෙල්ලිපියේ අකුරු වල වැරදි ඇතත් ඒවා නිවැරදි නොකරන ලෙසට නියෝග කර ඇත.ඒ පිළිබඳව ආර්.එල්.බ්‍රෝහියර් මහතා ලක්දිව පුරාතන වාරිමාර්ග නම් කෘතියේ මෙලෙස වාර්තා කර ඇත.
"බැම්මට(කුරුඳු වැවෙහි) පහත පළමු සංඝබෝධි රජ (ක්‍රි.ව.246-248) විහාරයක් කරවූයේ ය.ඊට බොහෝ කලකට පසු, පස්වෙනි දප්පුල රජ තමන් රජ පැමිණි පළමුවන අවුරුද්දේ එක් විහාරයක නැවතත් සංඝයා නැවත්වූයේ ය.මෙහි ක්‍රි.ව.965 වෙන්ට පුළුවන.තුන්වෙනි මිහිඳු රජ තමන් රජ පැමිණි අටවැනි අවුරුද්දේ තම මෑණියන් හා දියණියනුත් සමඟ වැව(කුරුඳු වැව) බලන්ට ගොස් සංඝබෝධි රජ විසින් ගොඩනඟා මිහිඳුරජ විසින් ප්‍රතිසංස්කරණය කරන ලද විහාරයේ මහත් ගල්පෝරුවක,ලංකාවේ සම්භවෙන ගල් සන්නස් වලින් ඉතාම දීර්ඝ එකක්වන් දික්ගල් සන්නසක් කොටවා තිබේ"
(ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.)
කෙසේ නමුත් මෙම ශිලා ලිපිය පුරාවිද්‍යා ස්ථානයෙන් අතුරුදන්ව ඇති අතර තවමත් හමු වී නොමැත.
එල්ලාවල මේධානන්ද හිමි විසින් වාර්තා කර ඇති ලිපිය
[සංස්කරණය]කුරුන්දි විහාරයෙන් වාර්තා වන තවත් අභිලේඛනයක් පිළිබඳව එල්ලාවල මේධානන්ද හිමියන් විසින් "ගවේෂණ තුළ ගවේෂණ" නම් කෘතිය තුළ වාර්තා කර තිබේ.ඒ උන්වහන්සේ මෙම ස්ථානයේ 20 සියවසේ අගභාගයේ සිදුකරන ලද ගවේෂණයකදී කුරුන්දි කන්දේ නටඹුන් වූ පැරණි ගොඩනැගිල්ලක් ආසන්නව බිම පෙරලී තිබූ ගල් කණුවක දුටු බව වාර්තා කරන අභිලේඛනයයි.ඒ පිළිබඳව උන්වහන්සේ මෙසේ සඳහන් කර තිබේ.
"...යාර විස්සක් පමණ කන්ද නැගි පසු තැන්න බිමක් හමුවෙයි.එහි කුඩා ශාලාවකට අයත් බව පෙනෙන සිවුරැස් අත්තිවාරමක ගල්පළු අතුරා තිබේ.එහි ඇති වෙනත් කිසිවක් හඳුනාගත නොහැකිය. එහෙත් පෙරළා දමා ඇති ගල් කණුව ගොඩනැගිල්ලට අයත් එකක් බව සිතීමට පුළුවන. එය දිගින් අඩි 12.6 කි.මෙහි අක්ෂර පේළියක් කොටා ඇතත් එහි සමහර අක්ෂර ගෙවී ඇත.දළ වශයෙන් සිවුවන සියවසට පමණ අයත් විය හැකි මෙහි..........රකබල..........අක්ෂර කියවිය හැකිය."
(එල්ලාවල මේධානන්ද ස්ථවිර. ගවේෂණ තුළ ගවේෂණ. Vol. p.62.)
වෙනත් ශිලා ලේඛන
[සංස්කරණය]පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් කුරුන්දි විහාරයේ පිළිමගෙයි සිදුකළ කැණීමේ දී මෙම ස්ථානයෙන් ශිලා ලිපියක් හමු විය.එය,අඩි 4 ක් පමණ දිග සහ අඩි 1 ක් පමණ පළල ගල් පුවරුවක් මත පැරණි සිංහල අක්ෂර භාවිතයෙන් සටහන් කර ඇති අතර එහි පේළි 14 ක් පමණ වාර්තා වී තිබේ.ලිපිය හමු වන විට මෙම අක්ෂර බෙහෙවින් ගෙවී ගොස් ඇති නමුත් ඒවා ක්‍රි.ව. 8 හෝ 9 වැනි සියවස් කාලයට අයත් බවට ගණන් බලා ඇත.එහෙත් තවමත් මෙම ලිපියේ අන්තර්ගතය පිළිබඳව ප්‍රකාශයට පත් කර නොමැත.[36]
පූර්ව වාර්තා
[සංස්කරණය]වර්තමාන සංරක්ෂණය
[සංස්කරණය]ප්‍රදේශයේ හින්දු ජනතාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර ඇති වූ මතභේද
[සංස්කරණය]2022 මුලතිව් අධිකරණයේ මතභේදාත්මක නියෝගය
[සංස්කරණය]2023 පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ හා මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම
[සංස්කරණය]වෙනත් ලිපි
[සංස්කරණය]උපුටාගැනීම්
[සංස්කරණය]- ^ මහාවංශය1_ඤාණානන්ද 2020, p. 456:තිස්තුන් වන පරිච්ඡේදය,29)ලජ්ජතිස්ස රජුගේ අභාවයෙන් පසු ඔහුගේ මළනුවන් වන ඛල්ලාඨනාග රජු සය අවුරුද්දක් පමණක් රාජ්‍ය කළේ ය. 32)ඒ රජුම කුරුන්දවාසක විහාරයත් කරවීය.තවත් බොහෝ පිනුත් කරගත්තේය.
- ^ මහාවංශය2_ඤාණානන්ද 2020, p. 95:සතළිස් එක්වන පිරිච්ඡේදය,15)සියලු දෙය සාංඝික වන පරිදි කුරුන්ද නම් විහාරය ද කරවා,එනමින් ම වැවක් කරවා,තුන් යොදුනක් පමණ පළල පොල් උයනක් ද කරවා,16)මහාසිව නමින් කුඹුරු යායක් ද අස්වද්දන්ට ලබා දී ලාභ සත්‍කාර සම්මාන සහිතව ආරාමිකයන් සියයක් ද දුන්නේ ය.17)ඒ විහාරය අසල අම්බිලපණ්ණ නමින් වෙහෙරක් කරවා එනමින් ම යුතු ගම්මානයක් මහාවිහාරවාසී තපස්වී භික්ෂූන් වහන්සේලාට දුන්නේය.
- ^ මහාවංශය2_ඤාණානන්ද 2020, p. 141:සතළිස් සතරවන පරිච්ඡේදය,21)මේ රජු කපුරු පිරිවෙණ ද,කුරුන්දපිල්ලක පිරිවෙණ ද,එසෙයින් ම මහාරාජාගාරයෙහි ද ප්‍රාසාදයක් කරවීය.
- ^ මහාවංශය2_ඤාණානන්ද 2020, p. 289:පනස් අටවන පරිච්ඡේදය,58)පණ්ඩුවාපි වෙහෙර,පාඨීන වෙහෙර,රක්ඛචේතිය පබ්බත විහාරය,එසේම මණ්ඩලගිරි විහාරය,මඩුලත්ථ විහාරය ද කරවීය.59)උරුවෙල නම් විහාරය ද දේවනගර විහාරය ද මහියංගණ විහාරය හා සිතලග්ගමක ලෙණත් කරවීය.60)දඹකොළ විහාරය ද එසේම ගිරිහඩු සෑ විහාරය ද කුරුන්දිය විහාරය ද සඳුන්ගිරි විහාරය ද කරවීය.
- ^ සිංහල, & 407,410පිටු83 වන පරිච්ඡේදය: එකල්හි සම්පතින් ප්‍රසිද්ධ වූ පුලස්ති පුරයෙහි ද,කොටුසරගම් හිද,එසේම ගංතලාවෙහි ද,කාකාලය ගම්හි ද,පදී රට ද,කුරුන්දියෙහි ද,මනාමත්හි ද,මාතොට ද,එසේම මන්නාම් පටුනෙහි ද,පුලවෙෂටි නම් තොටද,එසේම වැලිගම ද,මහත් වූ ගෝනරට ද,එසේම ගෝනුසුරට ද, මීපා තොටද,එසේම හුරා තොට ද,මේ ආදී තන්හි කඳවුරු බැඳ බලාත්කාර කොට බොහෝ කල් වසන්නා වූ මාසේන්ද්‍ර,ජයබාහු නම් දෙමළ රජුන් දෙදෙනා ගේ සතළිස් දහසක් වූ ද්‍රවිඩ කේරළ යෝධයෝ කුන්තායුධ ගත් සිංහල යෝධයන් විසින් දැඩිසේ පෙලන ලද්දාහු... නිකාය_සංග්‍රහය,සංස්.සිරි තිලකසිරි, 2011 & 46පිටුවවිජයබාහු වත්හිමි නම් මහා රජාණන්ගේ අතිජාත පුත්‍ර වූ ශත්‍රැපංක විශේෂ විශෝෂණ ගරන්මාර්තණ්ඩ මණ්ඩලායමාන වූ ජම්බුණිපුර නිවාසී වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නම් මහ රජාණෝ සිරිලක රජ පැමිණ අධිකතර රාජාභිමාන උපදවා පොලොන්නරු, පුලච්චේරි, කොටසර, ගංතළා, කවුඩාපුලු,කුරුඳු, පඳිමාන, මතුගොණ, දෙබර පටන, ඌරාතොට, ගොමුඩු, මිපාතොට, මණ්ඩලී, මන්නාරම් ආදී වූ ඒ ඒ ස්ථානයෙහි කඳවුරු බැඳ උන් දෙමළ, මළල, ජාවකාදී වූ සතුරු වියවුල් සන්සිඳුවා, සකල ලංකාතලය හස්තගත කොට, රාජ්‍ය ශ්‍රී විඳිමින්, ශ්‍රී වර්ධනපුරාදී නානා ස්ථානයෙහි විසිතුරු විහාර කරවා මහාසංඝයා වහන්සේ එහි වස්වා, චීවර, පිණ්ඩපාත, සයනාසන, ගිලාන ප්‍රත්‍යය යන සිවුපස දානයෙන් උපස්ථාන කොට වසන්නාහු...."
- ^ පූජාවලිය_සංස්.කිරිඇල්ලේ_ඤාණවිමල_හිමි, 1963 & පිටුව 802"එකල පෙරවක් පිය රජහුගේ යුද්ධයෙහි පැරද පැලෑ චන්ද්‍රභානු රජු හා ජාවක මහ සෙනග සොළී පාඬින් ගෙන මාවටු බැස කුරුඳු පදී මානාවතු ගොනදෙබර පටන් ආදි තන්හි සිංහල බලසෙන් ගෙන පෙරලා අවුත්,යාපවු ගල් සිසාරා, අතුරු නොදී කඳවුරු බැඳ මේ වක පෙර වක සේ ආ පසුයෙහි නො යම්හ, මේ තුන් රජය තොපට නො හරිම්හ, දළදා පාත්‍ර ධාතු දෙව, රජ වොටුනු දෙව, රාජ්‍ය දෙව සටන් හෝ කරව යි සැහැසි වහසි කියා කියා යවූහ."
- ^ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය_නිකලස්,සිංහල පරිවර්තනය_සෝමපාලජයවර්ධන 1979:මේ සියලු නම් එකම විහාරයකට වූ විවිධ නම් වීමට බොහෝ ඉඩ තිබේ.මෙය පිහිටි කුරුන්දිරට්ඨ දැනට වවුනියා දිස්ත්‍රික්කයේ දකුණු කරිකට්ටමූල කොට්ඨාසයට සමානය.මේ පැරණි නම වර්තමාන කුරුන්තන් ඌර්හි නෂ්ඨාවශේෂ අතර රැකී තිබේ.
පැහදිලි කිරීම්
[සංස්කරණය]- ^ මෙහි කුරුඳු රට යනු කුරුඳු හෙවත් කුරුන්දි නම් ප්‍රදේශය වේ.රට යනු වර්තමානයේ පවතින දිස්ත්‍රික්ක බෙදීම් මෙන් එකල පැවති පාලන ප්‍රදේශ බෙදීම් ක්‍රමයක් විය හැකි බව විද්වත් මතය යි.
- ^ මඩිතියවෙල සිරි සුමංගල පාලි සිංහල ශබ්දකෝෂයට අනුව කුරුන්දි අට්ඨකථාව පිළිබඳව මත දෙකක් සඳහන් වේ.ඉන් එකක් වන්නේ,විනය මහඅටුවාව වන සමන්තපාසාදිකාව සිංහලයට පරිවර්තනය කර ඊට කුරුන්දි අට්ඨකථාව යැයි නම් කළ බව ය.අනෙක් මතය නම්,කුරුන්දිවෙල්ලි මහ වෙහෙරෙහි දී කළ අටුවාව කුරුන්දි අටුවාව යැයි හැඳින්වෙන බව ය.මින් දෙවැනි මතය වඩාත් පිළිගැනෙන මතය ලෙස සැලකේ.
යොමු
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ඤාණානන්ද, කිරිබත්ගොඩ (2020). මහාවංශය,ප්‍රථම භාගය. මහාමේඝ ප්‍රකාශකයෝ. ISBN 978-955-687-185-2.
- ඤාණානන්ද, කිරිබත්ගොඩ (2020). මහාවංශය,ද්විතීය භාගය. මහාමේඝ ප්‍රකාශකයෝ. ISBN 978-955-687-182-1.
වැඩිදුර කියවීම
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- ^ "Gazette of the Government of British Ceylon", Government of British Ceylon No. 7981, 12 May 1933
- ^ H.Parker. Ancient Ceylon (ඉංග්‍රීසි බසින්).
- ^ J.P.Lewis. Manual of Vanni Districts(Vavuniya and Mullaittivu),of the Northern Province, Ceylon1895 (ඉංග්‍රීසි බසින්). Vol. p.310-312, 314.
- ^ R.W.Levers. Manual of The North Central Province,government printer,Colombo(1899) (ඉංග්‍රීසි බසින්). Vol. p.21.
- ^ C.W Nicholas. Historical topography of ancient and medieval Ceylon,Royal Asiatic Society,Colombo (1963) (ඉංග්‍රීසි බසින්). Vol. pp.86-87.
- ^ එච්.ඒ.පී.අභයවර්ධන. කඩඉම්පොත් විමර්ශනය (සිං බසින්). Vol. p.207.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - ^ අකුරුටියේ අමරවංස නා හිමි සහ හේමචන්ද්‍ර දිසානායක(2001). වංසත්ථප්පකාසිනී;මහාවංස ටීකාව (සිං බසින්). Vol. p.411.
{{cite book}}: CS1 maint: numeric names: authors list (link) CS1 maint: unrecognized language (link) - ^ (සංස්)බිහල්පොල දේවරක්ඛිත හිමි. සාරත්ථදීපනී විනයට්ඨකතා ටීකා(1965) (සිං බසින්). Vol. p.17.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - ^ ජී.පී.මලලසේකර. ලංකා පාලි සාහිත්‍යය (සිං බසින්). Vol. p.6263.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - ^ හත්තොටුවේ ඉන්දරතන හිමි. පාලි අට්ඨකථා සාහිත්‍යයෙන් හෙළිවන අවිද්‍යමාන වූ සීහළට්ඨකතා සාහිත්‍යය (සිං බසින්). Vol. p.117.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - ^ (සංස්)හේමපාල මුණිදාස. කඞඛාවිතරණී(1930) (සිං බසින්). Vol. pp.111 සහ 140.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - ^ (සංස්)හේවාවිතාරණ. මනෝරථපූරණිය(1945) (සිං බසින්). Vol. p.78.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - ^ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,නැදිමාල. සිංහල මහාවංශය, 41 වන පරිච්ඡේදය (සිං බසින්). Vol. p.189.
{{cite book}}: CS1 maint: unrecognized language (link) - ^ ආර්.එල්.බ්‍රෝහියර්. ලක්දිව පුරාතන වාරිමාර්ග. Vol. පළමු, දෙවන හා තෙවන කොටස්. ISBN 955-9185-07-1.
- ^ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි. මහාවංශය 2. Vol. pp.181. ISBN 978-955-687-182-1.
- ^ H.Parker. Ancient Ceylon (ඉංග්‍රීසි බසින්).
- ^ Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.412-416. ISBN 978-955-686-112-9.
- ^ H.C.P.Bell. Archaeological Survey of Ceylon: North-Central,Central and Northern Provinces,Annual Report 1905 (ඉංග්‍රීසි බසින්). Vol. pp.32-34.
- ^ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි. මහාවංශය 3 අවසාන භාගය. Vol. pp.381. ISBN 978-955-687-186-9.
- ^ (සංස්)සිරි තිලකසිරි. නිකාය සංග්‍රහය(2011). Vol. p.46.
- ^ Ellawala Medhananda. Pacheena passa-Uttara passa:Nagenahira ha uturu palate Sinhala bauddha urumaya.2003. Vol. pp.412-416. ISBN 978-955-686-112-9.
- ^ Nicholas C.W. Historical topography of ancient and medieval Ceylon (ඉංග්‍රීසි බසින්). Vol. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series(Vol Vi)pp.86-87.
- ^ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි. මහාවංශය 3 අවසාන භාගය. Vol. pp.357-360. ISBN 978-955-687-186-9.
- ^ Lewis,J.P. 1895.Manual of the Vanni Districts (ඉංග්‍රීසි බසින්). Vol. pp.314.
- ^ Lewis,J.P. 1895.Manual of the Vanni Districts (ඉංග්‍රීසි බසින්). Vol. pp.314.
- ^ Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- ^ Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- ^ Annual Report of the Archaeological Survey of Ceylon (Report). Department of Archaeology. 1949.
- ^ Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- ^ Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- ^ Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- ^ Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- ^ Ranwella. G.S.,2004.Iscription of Ceylon.Volume V,part II.Departtment of Archaeology (ඉංග්‍රීසි බසින්). Vol. pp.221-224.
- ^ Asanga,M.V.G.K;Nishantha,I.P.S. 2018,Pauranika Sthana Ha Smaraka:Mulathivu Distrikkaya. Vol. pp.151-153. ISBN 978-955-7457-25-3.
{{cite book}}: CS1 maint: multiple names: authors list (link) - ^ Annual Report of the Archaeological Survey of Ceylon (Report). Department of Archaeology. 1949.
- ^ චන්දිම බණ්‌ඩාර අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන. කුරුන්දි විහාර වංසය 2022 (සිං බසින්). Vol. pp.137.
{{cite book}}: CS1 maint: unrecognized language (link)
