කුකුළු හැවිල්ල රැයිපියෙල් තකවි පද රචනය ගැන අන්තර්ජාලයේ ඇති විවිධ අරුත් සහ මතිමතාන්තර විමසීමක්

විකිපීඩියා වෙතින්

මුල් හැවිල්ල පොත, සමකාලීන පොත්වල උපුටා ගැනීම් සහ ගීතය සඳහා බලන්න


“කුකුළු හැවිල්ල” හෙවත් “දුදනො’ද බිඳ ලද තෙද කඳ” හෙවත් “මගෙ කුකුළා නැසූ එකා” කවි පද රචනය ගැන අන්තර්ජාලයේ ඇති විවිධ අරුත් සහ මතිමතාන්තර විමසීමක්


කවි පද බැඳීම: රැයිපියෙල් තෙන්නකෝන්*

තනුව, සංගීතය සහ ගායනය: සුනිල් ශාන්ත

ගනුෂක රන්දුල ලියන පරිදි:

"හැවිල්ල" පැදි පොත ලියූවේ: රැයිපියෙල් තෙන්නකෝනුන් ය

ඊට 'විවිසුව' (විචාරය) ලියූවේ කුමාරතුංග මුනිදාසයන් ය;

එහි අරුත් පැහැදිලි කරනු පිණිස 'විවරුව' (විවරණය) ලියූවේ ජයන්ත වීරසේකරයන් ය;

එහි වූ 'කුකුළු හැවිල්ලෙන්' කොටසක් ගීයක් කෙළේ සුනිල් සාන්තයන් ය.

'කුකුළු හැවිල්ල' පැදි පෙළ ඇතුළත් වන්නේ රැ. තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" නම් පැදි පොතේ ය. "හැවිල්ල"වනාහි පිටු 112කින් යුතු කුඩා කවි පොතෙකි. රැ. තෙන්නකෝනුන් එය ලියා හමාර කොට එහි අත් පිටපත කුමරතුඟු මුනිදසුන් වෙත රැගෙන ගියේ 1940 සැප්තැම්බර 07, වැනි දා, සෙනසුරාදා ය. අනතුරු වැ කුමාරතුංග මුනිදාසයන්, ජයන්ත වීරසේකරයන්, රැ. තෙන්නකෝනුන් ඇතුළු පිරිස එය කියවා බලා නැවැත සකසා පාණදුරේ පහන් පහරෙහි  මුද්‍රණය කොට පළමු වැනි වරට පළ කෙළේ 1940 දෙසැම්බර 01 වැනි දා ය. මේ තොරතුරු සියල්ල කුමරතුඟු මුනිදසුන් සකස් කළ සුබස සගනුවේ 2 වැනි වෙළුමේ 12, 13, 14, වැනි කලප්වල සඳහන් වේ. 1954 දී දෙ වැනි වරට මරදානේ අනුල පහරෙහි ලා "හැවිල්ල"  මුද්‍රණය කැරිණි."


* මෙතුමන්ගේ නම විවිධ මූලාශ්‍ර වල විවිධ අක්ෂර වින්‍යාසයයන් භාවිතා කරමින් ලියා ඇති බව පෙනේ. උදාහරණ ලෙස: රැයිපියෙල් (11); රැයිපියල් (13,3); රැපියෙල් (18, 2); රැ තෙන්නකෝන් (6,8) දක්වන්න පුළුවන්. ගනුෂ්ක රන්දුල මොහුගේ නම ගැන කියන්නේ "එසේ ම එය "රැපියල්" හෝ "රැයිපියල්" හෝ ද නො වේ.  ඔවුන් ගේ මුල් නම රෆායෙල් (Raphael) ය. ඒ ඉංගිරිසි නම ඔවුන් සිංහල කොටගත්තේ "රස වූයේ ද පිය වූයේ ද"  යන විග්‍රහ වාක්‍යයෙන් කියැවෙන වන පරිදි "රස+පිය+ලු > රැසි+පිය+ලු > රැහිපියෙලු > රැයිපියෙලු > රැයිපියෙල්" යනුවෙනි" කියලා.


මෙම ගීතය ගැන ලියැවුණු මනරම්ම විස්තරය මෙහි අංක 13 මූලාශ්‍රය හැටියට යොදලා තියෙන මනරංජන රාජසේකර වත්තෙගේ ගේ ආශ්වාද චින්තා 03 - කුකුළු හැවිල්ල ලිපිය කියලයි මම දකින්නේ. ඒ ලිපියත් ඒ වගේම ඩබ්ලිව්. ඒ. අබේසිංහ සිළුමිණ පුවත්පතට ලියූ යොමු මූලාශ්‍ර අංක 3 හි ඇති ලිපියත් අනිවාර්යයෙන්ම කියවන්න කියලා ඉල්ලීමක් කරන්නේ ඒ ලිපි දෙක මෙවන් යකින් ආදේශ කළ නොහැකි සුපිරිම මට්ටමේ ලිපි දෙකක් නිසා. ඒ වගේම මතක් කළ යුතු කාරණයක් තමයි මේ ලිපිය සැකසීමේ දී බෙහෙවින් උපකාර වූයේමට හමුව ඇති වටිනාම මුහුණු පොත් සමූහයක් වන "සිංහල වියරණ හා පදරුත් (Sinhala Vocabulary and Grammar) මුහුණු පොත් සමූහයේ" 2016 වසරේ දී “මගෙ කුකුළා නැසූ එකා දදය නුඹගෙ පාළු ය කා යන්නෙහි අර්ථය කුමක් ද?”, යන මැයින් තමලු මලිත්ත පියදිගම පල කළ පෝස්ටුව සහ ඊට තමලු සහ වියරණ ඇදුරකු වන ශාන්ත කුමාර සපයා තිබූ දායකත්වය.

හැඳින්වීම[සංස්කරණය]

රැයිපියෙල් තෙන්නකෝන් ගේ 1940 “හැවිල්ල” නම් කවි පොතෙන් උපුටා ගෙන සුනිල් ශාන්තයන් තනු යොදා ගායනය කරන “කුකුළු හැවිල්ල” තේරුම් ගන්න නම් ඊට පෙර එන කවි ටිකත් කියවන්න වෙනවා. තමන්ගේ කුකුළා තවත් ගැමියකු විසින් සොරකම් කර මරා කා දැමීමට ලක් වූ ගැමි ගැහැණියක් ඇගේ නිවස ආසන්න පරිසරයක ඇති නා ගසක් යට ඇති මල් පැලකට (දේවතාවන්ට පහන් දැල්වීම සඳහා තනන කුඩා පැල සංහිඳ, flower-shed used for offering flowers to the gods) ගිහිල්ලා, කතරගම කඳ දෙවියන්ගෙන් සහ ඒ ගහේ වසන නාග රාජයාගෙන් වෘක්ෂ දේවතාවගෙන් හොරා මරා දමන ලෙස කරමින් කරන පළි ගැහීමක්, ශාපයක් හෙවත් හැවිල්ලක් තමයි මේ කවියේ එන්නේ.

ඇයට මේ කුකුළා වටිනවා වෙන්න පුළුවන්. ඊටත් වඩා තමන්ට කළ “කැත වැඩේට” ඇයට දැඩි කෝපයක් වගේම හිත් වේදනාවකුත් තියෙනවා. අපේ සංස්කෘතිය අනුව ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් දේ මේ ගැහැණිය කරනවා. ඒ තමයි දෙවියන් ඉදිරියේ පළි ගසා හොරාට දඬුවම් කරන ලෙස ඉල්ලා, ඒ වෙනුවෙන් බාරයක් වීම. කුකුළා වගේ සිය දහස් ගුණයක් වටිනා දේවල් දෙවියන්ට බාර වෙලා දෙන්න පොරොන්දු වෙන්නේ කුකුළාට වඩා ඇයගේ හිත් වේදනාව සහ කෝපය මත ඇති වූ පළිගැනීමේ චේතනාව ඇයට කොච්චර වැදගත් ද යන්න ගම්‍ය කරමින්. තමන්ට හිරිහැරයක් කළත් ඊට වෛර නොකර මෛත්‍රී කිරීම, කෙනෙකුට අයහපතක් හෝ විශේෂයෙන්ම මරණය ප්‍රාර්ථනා නො කිරීම වගේ බෞද්ධ ප්‍රතිපත්තිවලට විරුද්ධ මේ කාන්තාව කරන්නා වගේ යම් යම් සිරිත් විරිත් අපේ සංස්කෘතියේ තියෙනවා. ඇය මෙහි දී දෙවියන්ගේ ධජයේ ඉන්න කුකුළා මතක් කරමින් කුකුළු හොරා ඇයට විතරක් නොව දෙවියන්ටත් අවැඩක් කළ එකෙකු නිසා ඔහුගෙන් පළිගන්න කියා යදින්නේ මනෝ විද්‍යාත්මක උපක්‍රමයකුත් පාවිච්චි කරමින්. ඒ විතරක් නෙවෙයි දෙවියන්ද වැඩක් කර දෙන්නේ අල්ලසක් ලැබුනොත් පමණක් යන්නත්, රැයිපියෙල් තෙන්නකෝන්ගේ උපහාසයට භාජනය වෙනවා. රැයිපියෙල් තෙන්නකෝන් මේ කවියෙන් සිංහල ජන සමාජයේ ඇති මේ වගේ පුරුදු වලට උපහාසාත්මකව සියුම්ව පහර දෙන්නේ එය කරන කෙනා ගැන අපේ හිතේ කෝපයක් නොව අනුකම්පාවක් ඇති කරමින්. බොහෝ දෙනෙක් මෙම පද රචනයෙන් රෞද්‍ර රසයක් මතුවන බව පවසන නමුත් (5- පර්සි ජයමාන්න, 12 - වෝල්ටර් මාරසිංහ) තවත් සමහරු මෙය අඳෝනාවක් ලෙසත් දකිනවා (13).


මුල් කවියේ දී යම් සංයමයකින් යුතුව දෙවියන් ආමන්ත්‍රණය කළත් දෙවැනි කවියේ පටන් "එකා", "යකා", "මකා" ආදී වචන භාවිතා කරමින් කෝපයෙන් කෙරෙන ශාපයක් හැවිල්ලක් බවට පත් වෙනවා. මේ ගැන පහදලා දෙන ඩබ්ලියු. ඒ. අබේසිංහ කියන්නේ “කවියට පාදක වනුයේ, තමා සතුව සිටි කුකුළකු මරා අනුභවයට ගත් කුකුළු හොරකු ගැන, කතරගම කඳ දෙවිඳුන්ට කරන හැවිල්ලකි; දෙස් තැබීමක් හෙවත් සාප කිරීමකි. තව එකම බදාදා දවසක් එළඹෙන්නට පෙර, මේ සොරා වනසන මෙන්, කඳ සුරිඳුගෙන් කවියා ඉල්ලා සිටියි. එය යාතිකාවක් නොවෙයි. හුදු දේව ආයාචනයක් ද නොවෙයි. ඒ නම්, පලිගැහිල්ලකි. මෙම රචනය හැවිල්ලක් වන්නේ, ඒ අරුතිනි” කියලා.


කවියට යන්න ඉස්සර අපි “හැවිල්ල” කියන වචනයේ අර්ථය ශබ්දකෝෂ කිහිපයක් ඇසුරෙන් විමසලා බලමු.

  • මහා ගුණසේන ශබ්දකෝෂය: හැවිලි - ශාපය, දොස් කීම,
  • Sinhalese Explanatory Dictionary: අවොල්, දෙස්කීම, ශාප කිරීම, අනර්ථයක් වේවායි පැතීම,
  • වෙබ්ස්ටර් ශබ්දකෝෂය: curse අවලාදය, දැහැවිල්ල, දැහැවෙනවා, දෙස් තබනවා, පළිගහනවා, මිග කියනවා, රිදී මකනවා, ශාප කරනවා, ශාප ගෙන දෙනවා, සහගහනවා, සාපය, හවනවා
  • චාර්ල්ස් කාටර් ශබ්දකෝෂය: හවනවා: ඇවිල්ල, අවනවා, දෙස්බස, to curse, imprecate curses

කුකුළු හැවිල්ල - පසුබිම සහිත කවිය[සංස්කරණය]

මූලාශ්‍ර: 1, 6, 10, 14


1. පහන් තිර තෙල් මල්

ගොබොලු බෑයක් අතිනුත්

දුකඳුරු කඳක් සිතිනුත්

ගත් ලියක් මඟැ වූවා.


2. එ ලිය නා වදලට

යනවා දුටු සවසඳර

සැලෙමින් ඇයට පළමු වැ

දිවැ වන්නේ යැ, එ තැනට.


3. ඇඳිරි සේයක් සේ

වදැලැ මල් පැල වෙතැ වූ

එ අඟන ගොබොලු බෑයෙහි

තෙල් එවැ වැටිය ලූවා.


4. සිතැ අඳර නස්නට

කෝ ගින්න දැල්ලූ ඕ

අඳර මල් පැලැ පැලැවු

එ ගොබොලු පහන දල්වා.


5. සතනැ සැටි පෑ දිළි

ගිනි කබලෙක් එ තැන වී.

එයට දුම්මල සුනු ලත

නැඟිණි දුම් දෙව් යස පෑ.


6. පහනේ සිළුව වැඳැ

සරා එ වටා මල් රැස

බුලත් කොළයෙකැ පඬුරක්

සදා එ පසෙකැ තබමින්,


7. මල් පැල ඉදිරියේ

දෙ දණ බිමැ ඇනැ හිඳ ගත්

ඕ දොහොත් මුඳුනේ බැඳැ

සල සරින් මෙ ගයා ලූ


8.1. දුදනො'ද බිඳ

ලද තෙද කඳ

කඳ දෙව් රද

සාමිනේ!


8.2. මගෙ කුකුළා නැසූ එකා

දදය ඔබ ගෙ පාළු යකා

තව එක බුද දිනක් තකා

ඉන්නට ඉඩ නො දී මකා


8.3. බලා එල්ල

හෙළුව හෙල්ල

මුලැ මැ බෙල්ල

මරු තැනේ,


8.4. කතරගමට රුහුණු රටේ

හිඟා කකා, ලබන විටේ

පයින් මැ ගොස් ඇවිදැ වටේ

පොළොවැ උලා නළල් ඇටේ


8.5. දිගට ඇදී

නැඟැ පැහැදී

මහ හඬ දී

“දෙවියනේ,”


8.6. රනින් කුකුළු රුවක් පුදමි

රිදියෙන් බිජුවටක් පුදමි

රන් දුනු හී දෙකක් පුදමි

රුවට රිදී රුවක් පුදමි


8.7. කතරගමේ

බල මහිමේ

දුටු ද එ මේ?

හැම තැනේ


8.8. කියමින් නම'කුරු ඔබගේ‍

බොළඳුන් ගෙ ද කිරි තුඬ'ගේ

රඟ දෙන්නට වඩමි අගේ

එකති'න් හිමි සඳිනි මගේ


8.9. දුදනො'ද බිඳ

ලද තෙද කඳ

කඳ දෙව් රද

සාමිනේ!


8.10. මට කළ මෙ විපත අනේ

බලා ගන්නැ දෙවියනේ!

වැජැඹෙන නා මෙ විමනේ

බලන්නැ! නා සාමිනේ


1-7 දක්වා ඇති පසුබිම් කවිවල වචනාර්ථ සමහරක්[සංස්කරණය]

  • ගොබලු පහනක් = ගොබලු- ලොඳ ඉදෙන්නට පෙර එහෙත් යන්තමින් වතුර ඉදී ඇති ළපටි කුරුම්බා ගෙඩියක පලුවක් පහනක් ලෙස හදා ගෙන
  • වදල = වදුල, ගස් වැල් වලින් සෙවණ වුනු, අඳුරු වුනු තැන
  • සවසඳර = අඳර - අඳුර, අන්ධකාරය - සවස+අඳර, සවස්+අ+අඳර, - සවසඳර - පූර්ව ස්වර ලෝප සන්ධිය (සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප් වී, ඉවත්වී දෙවන පදයේ මුල් ස්වරය හා ගැළපීම) (?)
  • සේයක් = සේයාවක්, හෙවනැල්ලක්, සෙවණැල්ල, ඡායාව, පිළිබිඹුව පිළිමය, shade, shadow, image
  • එවැ = එ ධාතුව (තෙල්) එවා, පමුණුවා, ලැබෙන්න සළස්වා
  • පැලැවු = පලවා හැරියා


1-7 දක්වා ඇති පසුබිම් කවි ගැන කෙටි කතාබහක්[සංස්කරණය]

කුකුළා මරා කෑ තැනැත්තාගෙන් පළිගන්න නොහැකි වූ අසරණ කමත්, ඒ නිසා ඇගේ හිතේ ඇති කෝපයත්, දෙකම මේ පද රචනය තුළ ඇතුළත් වෙලා තියෙනවා. “පහන් තිර තෙල් මල් ගොබොලු බෑයක් අතිනුත්” “දුකඳුරු කඳක් සිතිනුත්” ගත් ලියක් " යන කවි පදයෙන් ඇයගේ මේ ශෝකය මනාවට පෙන්වනවා.

හැවිල්ල කවියේ රැයිපියෙල් තෙන්නකෝන් මේ නා ගස් වදුලේ ඇති අඳුර තව දුරටත් වර්ධනය කරන්නේ ඒ ලිය "නා වදලට - යනවා දුටු සවසඳර - සැලෙමින් ඇයට පළමු වැ - දිවැ වන්නේ යැ, එ තැනට" කියලා. මෙහිදී බොහෝ දුරට රැයිපියෙල් තෙන්නකෝන් මේ අඳුරු තැන සවස අන්ධකාරය නිසා තවත් අන්ධකාර වීම මෙවැනි සිරිත්වලට සියුම්ව නමුත් සානුකම්පිතව පහර ගැසීමට යොදන රූපකයක් වෙන්න පුළුවන්. මෙහි දී රැයිපියෙල් පහර ගහන්නේ දෙවියන් යැදීමටම නොවුනත්, පළිගැනීමේ සිරිතට සහ පලිගැහීමේ සිරිතට. මෙවැනි පහර ගැසීමකින්වත් තොරව එවන් චාරිත්‍ර වල නියැලෙන ගැමියාගේ දෘෂ්ටි කෝණයෙන්ම බලමින් නමුත් එවන් චාරිත්‍ර තමන් පිළිනොපදින බවත් පෙන්වමින් රැයිපියෙල් (1940) "හැවිල්ල" ලියූ යුගයේම ලියැවුණු ඇති විශිෂ්ටම කාව්‍ය පන්තියක් වෙන විමලරත්න කුමාරගමගේ (1948) "අය්යනායක". මේ කවි දෙකේ සමානතාවක් හැඟෙන්නේ "අය්යනායක" කවියේ සංහිඳ, සංහිඳ පාමුල හවස් කාලේ දැල්වෙන පහන, දෙවියන් පිළිබඳව ඇති ගැමි විශ්වාසයේ බරපතළ කම, පළිගැහීමට විතරක් නෙවෙයි ඕනෑම කරදරයකට ගැමියා දෙවියන්ගේ පිහිට පතන හැටි, බාර වීම, කෙම්මුර දවස්, ආදී සියල්ල එකට කැටි කර දක්වන නිසා. අපි කතා කරන සන්දර්භයට අදාළ කවි කීපයක් විතරක් මෙතැන දැම්මා. සම්පූර්ණ කවිය පසු සටහනින් බලන්න.

බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් වල

මේ සංහිඳේ එළියක් ඇත සවස් කල

ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ

හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල


වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත

ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත

සඳරැස් ගලන විට තෙරපී සෙවන මත

එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම

කෙම්මුර දවස්වල පානින් සැරසීම

වන අතු කඩා ගස් දෙබලක දැවටීම

මා නොකෙරුවත් නො කෙළෙමි එය ගැරහීම


“අඳර මල් පැලැ පැලැවු - එ ගොබොලු පහන දල්වා” යන දෙපදයෙන් පෙන්වන පරිදි මල් පැලේ අඳුර මකන්න ඇය දල්වන්නේ ගොබලු පහනක් වුනත් ඇයගේ සිත තුළ ඇති අඳුර මකන්න ඇය දල්වන්නේ කෝ ගින්න හෙවත් ක්‍රෝධ ගින්න. කවියා මෙය කියන්නේ "සිතැ අඳර නස්නට - කෝ ගින්න දැල්ලූ ඕ" කියලා රිද්මයානුකූලව. මිනිස් සත්වයාගේ ස්වභාවය පෙන්නුම් කිරීමට තෙන්නකෝන් උපයෝගී කර ගන්නේ ගිනි කබලක්. ගිනි කබලට දුම්මල සුනු ලත් විට මොකද වෙන්නේ කියලා තෙන්නකෝන් නොකියා කියන්නේ "සතනැ සැටි පෑ දිළි, ගිනි කබලෙක් එ තැන වී. එයට දුම්මල සුනු ලත" කියලා.

ඇය මේ හැවිල්ල කරන්න පෙර පහන් දැල්ලට වැඳ, පහන වටා මල් වලින් සරසා, බුලත් කොළයක කාසියක් ඔතා එය මල් පැලේ තබා සූදානම් වෙන ආකාරය රැයිපියෙල් තෙන්නකෝන් අපේ හිතේ සිනමාගත කරන්නේ "පහනේ සිළුව වැඳැ - සරා එ වටා මල් රැස - බුලත් කොළයෙකැ පඬුරක් - සදා එ පසෙකැ තබමින්" කියන කවියෙන්.


ඈ මෙම හැවිල්ල ගායනා කරන්නේ මල් පැල ඉදිරියේ දෙ දණ බිමැ ඇනැ වාඩි වී දොහොත් මුඳුනේ බැඳැ ගෙන "සල සරින්". එහෙමත් නැතිනම් සෝකයෙන් සහ කෝපයෙන් සැලෙන වෙව්ලන හඬකින්. හැවිල්ල පිහිටෙන් ඇගේ හිතේ තාන්දු වී තිබුණු කෝපය පිට වීමත් සමගම අවසාන කවිය වෙන කොට නැවත මෙය ඇගේ ශෝකය පල කිරීමක ස්වරූපයට හැරෙනවා. අවසානය වන විට හැවිල්ලේ කෝපය අඩුවීගෙන යන විට මේ කාන්තාව කෙරෙහි අනුකම්පාවක් සහ ඇයගේ දෘෂ්ටි කෝණයෙන් බැලීමට හැකි වෙන ආකාරයට පද රචනය වගේම තනුවත් නිර්මාණය වෙලා තියෙනවා.

කවි සියල්ලට පොදුවේ බලපාන අන්වය පද අරුත් විමසීම[සංස්කරණය]

මේ එක්කම හැම කවියක අන්වය එහෙමත් නැති නම් ක්‍රියාකාරක පද සම්බන්ධය විමසන්න එම වචනයේත් පදරුත් විමසලා ඉඳිමු.

  • මහා ගුණසේන ශබ්දකෝෂය: අනුව ගිය දෙය, වාක්‍යයක පද පිළිවෙළ
  • චාර්ල්ස් කාටර් ශබ්දකෝෂය: අනුපූර්‍වය ක්‍රමය, the succession of words
  • Glossary of Literature Appraisal Terms: අන්වය, පදයෝජනය Syntax, පද අන්වය Construe
  • Sinhala Explanatory Dictionary: වාක්‍යයක පද පිළිවෙළ, අනුපිළිවෙළ
  • වෙබ්ස්ටර්: context අන්වය, පද සම්බන්ධය, පාඨ සම්බන්ධය, පෙළ යෙදුම, සංදර්හය, සන්දර්භය, සන්දර්හය, අනුක්‍රමය, sequence

කවියෙන් කවිය පදරුත් විමසීම[සංස්කරණය]


පළමු කවිය:[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

දුදනො'ද බිඳ

ලද තෙද කඳ

කඳ දෙව් රද

සාමිනේ!

අන්වය / ක්‍රියාකාරක පද සම්බන්ධය:[සංස්කරණය]

දුදනො'ද බිඳ, තෙද කඳ ලද, කඳ දෙව් රද සාමිනේ!

සරල තේරුම:[සංස්කරණය]

නපුරු ගති ඇති ජනයාගේ බලය බිඳ දැමීම හේතුවෙන් විශාල තේජස් ස්කන්ධයක් ලබාපු ස්කන්ධ දිව්‍ය රාජයාණෙනි! කියා දෙවියන්ට කරන ආමන්ත්‍රණයක්.

වචනාර්ථ:[සංස්කරණය]

  • දුදනො'ද = දුදන + ඔද - පූර්ව ස්වර ලෝප සන්ධිය - සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප් වී, ඉවත්වී දෙවන පදයේ මුල් ස්වරය හා ගැළපීම - දුදන+ඔද - දුදන්+අ+ඔද - දුදන්+ඔද - දුදනොද
  • දුදන = නපුරු ගති ඇති දුර්ජනයා ගේ, දුර්‍ජන, දුෂ්ට, wicked, immoral, vicious,
  • ඔද = සවිය, ශක්තිය, බලය, වීර්ය, ආඩම්බරය, ද්ර්පය
  • බිඳ = බිඳ දමා, දුර්වල කර, කඩා දමා
  • කඳ = ස්කන්ධය, සමූහය, රාශිය, ගොඩ, විශාල ප්‍රමාණය
  • තෙද = තේජසක්, තේජ යන ගින්නට සම්බන්ධ වචනයෙන් බිඳුණු කාන්තිය, ආනුභාවය, ප්‍රතාපය යන අරුත් ඇති
  • ලද = ලබාපු (මෙය මුල් හැවිල්ල පොත - මූලාශ්‍රය 6- සහ මූලාශ්‍රය 10 හි ලද ලෙස සටහන් වෙතත්, මූලාශ්‍රය 1 සහ සුනිල් ශාන්ත ගැයුමෙහි බඳ තෙද කඳ ලෙස වෙනස් කර ඇති බව පේනවා. මුල් හැවිල්ල පොතේ ජයන්ත වීරසේකර කරන විවරුවේ "ලදැ" යන්න “බඳ” ලෙස වෙනස් විය යුතු බවට සඳහන් කර ඇති අතර ඔහු ඊට දෙන හේතුව වන්නේ “දුදන ඔද බිඳැ තෙද කඳ බඳ කඳ දෙව් රද සාමිනේ යැයි පද සබඳ වෙයි. ‘ලදැ යනු ‘බඳ’ වියැ යුතු” යන්න පමණයි. එසේ ගත් විට තේරුම ලෙස ජයන්ත වීරසේකර සඳහන් කරන්නේ “දුදනන් ගේ එඩි බිඳැ තෙද රැස බැන්දා වූ, පිහිට වූ කඳ දෙව් සාමිනේ” යන්න. කෙසේ වෙතත් රැයිපියෙල් තෙන්නකෝන්ගේ මුල් යෙදුම ලෙස “දුදනන් ගේ එඩි බිඳැ තෙද රැස ලද්දා වූ, ලබපු කඳ දෙව් රජ සාමිනේ” කියලා ගැනීම මට නම් වඩා රසවත්.
  • කඳ දෙව් රද = ස්කන්ධ දිව්‍ය රාජ
  • සාමිනේ = ස්වාමීනි! කියා කෙරෙන ගෞරවාන්විත ආමන්ත්‍රණයක්.

දෙවන කවිය:[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

මගෙ කුකුළා නැසූ එකා

දදය ඔබ ගෙ පාළු යකා

තව එක බුද දිනක් තකා

ඉන්නට ඉඩ නො දී මකා

අන්වය:[සංස්කරණය]

විශාල වශයෙන්ම මත භේදයට ලක්වෙන මේ දෙවැනි කවියේ අන්වය මූලික වශයෙන් දෙවිදියකටත් සුළු වශයෙන් තවත් දෙවිදියකටත් ලෙස අවම වශයෙන් හතර විදියකටවත් අර්ථ දක්වන නිසා මේ ගැන තරමක දීර්ඝ විමසුමක් කෙරේවි. මේ කවියේ අන්වය ගැන මා දරන අදහස මුල් අදහසට සමාන වුනත් මේ හතරටම වඩා සුළු වශයෙන් හෝ වෙනස් නිසා ඒ ගැන අවසානයටම කතා කරන්නම්.

මගෙ කුකුළා නැසූ එකා, [එමෙන්ම] ඔබ ගෙ දදය පාළු යකා, තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නො දී මකා… / මගෙ කුකුළා නැසූ ඔබගේ කොඩිය පැහැර ගත් අධම මිනිහාව තව එක බදාදා දවසක් ජීවත් වෙන්න ඉඩ නොතියා මරා දාලා...[සංස්කරණය]

මෙම අරුත 14 මූලාශ්‍රයේ ශාන්ත කුමාර ඉතා හොඳින් පැහැදිලි කර දෙන නිසා එය උපුටා ගැනීමක් ලෙසම දක්වන්නම් [උපුටා ගැනීම ආරම්භය]


මෙහි අරුත දෙයයුරකින් ගතහැකි බව පෙනේ. ඊට පද අන්වය පද බෙදුම හා ල ළ අකුරු යෙදුම බලපාන බව ද පෙනේ.


[පළමු අන්වය පිළිබඳ ව]: කවියා යෙදු ලෙස ම ගත හොත් "මගෙ කුකුළා නැසූ එකා ඔබගෙ දදය පාළු යකා, තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නො දී මකා" මෙහි අරුත "මගේ කුකුළා නැසූ කෙනා, ඔබෙ කොඩිය පැහැරගත් කෙනා, තව එක බුද දිනක් තකා නොතියා වනසා" යන්න යි. "පාළු" යනු "පැහැරගත්" යන අරුතින් යකා (තැනැත්තා ) යන්නට විශේෂණය කොට යොදා ඇත.


[උපුටා ගැනීම අවසානය]


මෙම අරුත 14 මූලාශ්‍රයේ සුදත් මුණසිංහ පැහැදිලි කරන්නේ “පළමුවැනි අර්ථය: “මගේ කුකුළා මරාපු එකා ඔබගේ ධජය පැහැරූ යක්ෂයා, තව එක බදාදා දිනයක් වෙනුවෙන් ජීවත් වෙන්න ඉඩ නොදී, මකාපන්” කියලා. මෙතන "මකා" කියන එක "මකලා" කියලා මිසක් "මකාපන්" කියලා ගන්න පුළුවන් ද කියන එක මට සැක සහිතයි.


"පහළ" හෙවත් "පැහැර ගත්" කියන අතීත කාල ක්‍රියා පදය එහෙමත් නැත්නම් පූර්ව ක්‍රියාව මූලිකව හැදෙන විශේෂණය, "පහළු", ලෙස "පැහැරූ - පැහැර ගත්තු" කියන විශේෂණය විදියටත් යොදනවා. "පහළු" යන්න “පාළු” ලෙස නාම විශේෂණයක් විදියටත් යොදනවා (උදා: පාළු දදය = පැහැර ගත්තු කොඩිය).  “පාළු” කියන වචනයට හරිස්චන්ද්‍ර විජයතුංග සැකසූ “මහා ගුණසේන ශබ්දකෝෂයේ” දෙන එක අරුතක් වෙන්නේ "පැහැර ගත්, පහළු (ක්‍රියා පදය)" කියන එක. මෙය "යකා" කියන නාම පදයට නාම විශේෂණයක් ලෙස "කොඩිය පැහැර ගත්තු" කියලා යෙදෙනවා කියලයි මමත් හිතන්නේ. මෙතන "මගෙ කුකුළා නැසූ" කියන නාම විශේෂණයෙන් හඳුන්වන "එකා" කියන නාම පදයෙන් හැඳින්වෙන කෙනාම "දදය ඔබගෙ පාළු / පැහැර ගත්" කියන නාම විශේෂණයෙන් විස්තර වෙන නාම පදය වෙන "යකා"ටම යෙදෙනවයි කියලයි මම විශ්වාස කරන්නේ. ඒ කිව්වේ “එකා යකා” කියන්නේ එකම කෙනාට.


කොඩිය පැහැර ගත් කියන අර්ථයේ දී, කොඩිය කියන්නේ කුකුළා නෙවෙයි කියලා යමෙකුට තර්ක කරන්න පුළුවන් වුනත්, පුරාවෘත අනුව ධජය බවට පත් වුනේ කුකුළාම හෙවත් එම සවරූපය ගත් අසුරයාම නිසා ධජයම තමයි කුකුළා කියන්නේ.


මෙම මතයේ ඉන්න උදවිය අතර 1940 මුල් හැවිල්ල පොතේ විවරුව ලියූ ජයන්ත වීරසේකර (6), ශාන්ත කුමාර (14), සුදත් මුණසිංහ (14), වරුණ මනම්පේරි (14) සහ මේ අදහස් එකතුව කරන මාත් කියන පස් දෙනා ඉන්නවා.

“මගෙ කුකුළා නැසූ එකා (කුකුළා) කා ඔබගේ දදය පාළු ය” / “මගේ කුකුළා නැසූ කෙනා, කාලා ඔබේ කොඩිය හිස් ය”[සංස්කරණය]

"පාළු" යන්න "නාම විශේෂණයක්" ලෙස ගත් විට එහි අර්ථය "කිසිවක් හෝ කිසිවෙක් නැති, ජන ශූන්‍ය, කිසිම බඩු බාහිරාදියක් නැති, ගහ කොළ නැති, පාවිච්චි කරමින් සිට අතහැර දැමූ, පාවිච්චි නොකෙරෙන (unoccupied, unemployed, unprepared, uncultivated, waste, devastated, destroyed, desolate)

" ලෙසත් "පාළු" යන්න "නාම පදයක්" ලෙස ගත්විට "පාළු තත්වය, පාළුබව, අත් හැර දැමූ" ලෙසත් අරුත් ගැන්වෙන බව ගුණසේන මහා ශබ්දකෝශය පෙන්වා දෙනවා. මේ හැර පාළු නාම පදයක් ලෙස ගත්තහම "තනිකම, හිස් බව" වගේ අර්ථත් ගන්න පුළුවන්.


බොහෝ දෙනෙක් “පාළු” යන්න මේ අරුතින් ගෙන මේ කවිය අර්ථ දක්වන බව පේනවා. ඒ කිව්වේ කොඩිය “පාළු කර හිස් කර, ශුන්‍ය කර” ඇත යන අදහසින්.


මෙම අරුතත් 14 මූලාශ්‍රයේ ශාන්ත කුමාර ඉතා හොඳින් පැහැදිලි කර දෙන නිසා එය උපුටා ගැනීමක් ලෙසම දක්වන්නම්


[උපුටා ගැනීම ආරම්භය]


[දෙවන අන්වය පිළිබඳ ව]: "මගෙ කුකුළා නැසූ එකා (කුකුළා) කා ඔබගේ දදය පාළු ය" එවිට අරුත "මගේ කුකුළා නැසූ කෙනා, කාලා ඔබේ කොඩිය හිස් ය". මෙතැන කා පූර්ව ක්‍රියාවකි. ය නිපාතයකි. පාළු යනු හිස් ය.


[උපුටා ගැනීම අවසානය]


සුදත් මුණසිංහ මේ අන්වය තුළින් මතුවෙන අර්ථය සඳහන් කරන්නේ "දෙවැනි අර්ථය: මගේ කුකුළා මරපු එකා, ඔබගේ ධජය කා දැමීමෙන් පාළු වී ඇත. තව එක බදාදා දිනයක් වෙනුවෙන් ජීවත් වෙන්න ඉඩ නොදී මකාපන්" කියලා. මෙතැනත් මට ඇති එකම ප්‍රශ්නය "මකා" යන්න "මකාපන්" ලෙස නොව "මකා දමා" යන අරුත දෙන එක (14).


එහිම සුදත් මුණසිංහ කියන්නේ මේ විදියට අන්වය හෝ අරුත ගත්තොත් කවියේ පළමු පද දෙක සහ අවසාන පද දෙක අතර සම්බන්ධතාවයක් නැති බවක් (“Yet, there is no connection between the first two lines and second two lines”). මුල් පද දෙකේ අන්වය මෙහෙම ගත්තහම කවියේ තුන්වැනි සහ හතර වැනි පදයේ අන්වය ආ යුත්තේ “තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නො දී මකා” ලෙස නම් එයට උක්තයක් හෝ කර්මයක් නැති වීම නිසා මකන්නේ කාව ද, කවුරුන් විසින් ද, යන ප්‍රශ්න ඉතිරි කරමින් සම්පූර්ණ අර්ථයක් දෙනවයි කියලා මට හිතෙන්නේ නැහැ.


සුචරිත ගම්ලත් "ගී මිණිආර 1" කෘතියේ මෙම මතය ඉදිරිපත් කරමින් කියන්නේ "මෙහි ගායනයේ එක් පොඩි පරහකට තිබෙන්නේ 'දදය ඔබගෙ පාළු ය කා' යන්න, 'දදය ඔබගෙ පාළු යකා' යි ගායනා කිරීමයි" කියලා. සුචරිත ගම්ලතුත් කඳ සුරිඳුන්ගේ කොඩියේ ලාංඡනය වෙන කුකුළා මරා කෑවාට පස්සේ කොඩිය හිස් වෙනවා යන අර්ථයේ ඉන්නවා (4). ඩබ්ලියු. ඒ. අබේසිංහ "කුකුළු හැවිල්ල" නමින් සිළුමිණ පුවත්පතට ලියන ලිපියේ මේ කවියේ පද බෙදීම කරලා තියෙන්නේ "පාළුය කා" ලෙස කියලා කියනවා (3). නමුත් මේ ලිපි දෙකම කවියේ ප්‍රාථමික මූලාශ්‍රය නොවන නිසා, එ ලෙස පද බෙදීම රැයිපියෙල් තෙන්නකෝන් කළ බවට හෝ ඔහු එසේ අනුමත කළ බවට සාධක වෙන්නේ නැහැ.

උපුටා ගැනීම ක. ක. ගනුෂ්ක රන්දුල

"දදය ඔබ ගෙ පාළු ය කා"

"මෙය උළා කෑවේ 'ඉසි ඇසි තෙන්නකෝන්' මැයින් දසක දෙකකට පමණ පෙර සුචරිත ගම්ලතුන් 'ඉරිදා දිවයිනට' සැපැයූ 'සති සිතු මිණි' තීරු ලිපියෙකිනි. මේ තීරු ලිපිය "සති සිතු මිණි" පොත් පෙළේ පළමු වැන්නේ 28 වැනි පිරිසිඳිය ලෙස නැවැත පළ කොට තිබේ. ගම්ලතුන් එහි කියන්නේ, මේ හැවිල්ල කරන ගැමි ලිය ගේ කුකුළා සොර කම් කළ තැනැත්තා කතරගම දෙවියන් ගේ කොඩිය කා දමා පාළු කළ බවෙකි. මන්ද යත් කතරගම දෙවියන් ගේ කොඩියේ ඇත්තේ කුකුළෙකි. එබැවින් ගැමි ලිය ගේ කුකුළා මරා කෑ එකා කෙළේ කතරගම දෙවියන් ගේ කොඩිය කා දමා එය පාළු කිරීම යි."


මේ බහුතර මතයේ, සුචරිත ගම්ලත් (4), ඩබ්ලිව්. ඒ. අබේසිංහ (3), මනරංජන රාජසේකර (13), මලී මලියසේන (14), තිස්ස දොඩන්ගොඩ (7), තේජන අබේදීර (2), එස්. වේරගොඩ (14), පොත් ගුල්ලා (9), ගයා දේශාන්ජලී පීරිස් (14) කියන නම දෙනෙකු ඉන්න බව පේනවා.

“මගෙ කුකුළා නැසූ එකා ඔබ ගෙ දදය කා පාළු ය” “මගේ කුකුළා මැරූ පුද්ගලයා ඔබ ගේ හෙවත් කඳ දෙවියන් ගේ ධජය ආහාරයට ගැනීමෙන් පැහැර ගත්තේ ය”[සංස්කරණය]

තවත් සමහරු මෙහි අන්වය, “මගෙ කුකුළා නැසූ එකා ඔබ ගෙ දදය කා පාළු ය” (14-තමලු පියදිගම) කියලා ගන්නවා. මේ අනුව අර්ථය ලෙස සපයන්නේ “මගේ කුකුළා මැරූ පුද්ගලයා ඔබ ගේ හෙවත් කඳ දෙවියන් ගේ ධජය ආහාරයට ගැනීමෙන් පැහැර ගත්තේ ය” කියලා (14-තමලු පියදිගම).


ශාන්ත කුමාර 14 මූලාශ්‍රයේ දී මේ අරුත ගැන පවසන්නේ “[මේ] පද අන්වය වියරණ නයින් තකුහුරු බවක් නැත. පාළු යන්න "පහර" ධාතුවෙන් උපන් බව කියයි නම් එහි වනුයේ "පැහැරගත් " යන අරුත මිස " පැහැරගත්තේ ය." යන්න නොව. පහර ධාතුවෙන් නිපන් පාළු යන්න ආඛ්‍යාතය සේ යොදා ගන්නේ කෙසේ ද? කවියේ පද අන්වය ගැනීමේ දී වියරණ ද නොමරා අරුත්බර රසවත් පද පිළිවෙළ යෙදුම මනාය. එබැවින් ‘මගෙ කුකුළා නැසූ එකා නුඹගෙ දදය කා පාළු ය’ ලෙස දක්වන පද අන්වය නොමැනවි. වියරණ බිදී අරුත ද සැඟවී යයි” කියලා. ශාන්ත කියන දෙය තහවුරු කරමින් "පහළ", "පහළු", කියන පද දෙකටම ගුණසේන මහා ශබ්දකෝෂය දෙන අර්ථය වෙන්නේත් "පැහැර ගත්" යන්න මිස "පැහැර ගත්තේය" යන්න නෙවෙයි.


විමසුමට ලක් කළ මූලාශ්‍ර තුළ මේ අන්වය සහ අර්ථය ඉදිරිපත් කළ එකම කෙනා තමලු පියදිගම.

“මගෙ කුකුළා නැසූ එකා කා පාළු ය ඔබ ගෙ දදය” / මගෙ කුකුළා නැසූ එකා කා පැහැරගත්තේ ඔබේ ධ්වජය ය[සංස්කරණය]

මේ ගැන අදහස් දක්වන ශාන්ත කුමාර කියන්නේ " මගෙ කුකුළා නැසූ එකා කාලා (අනුභව කොට) පැහැරගත් ඔබේ කොඩිය" යන පද අන්වයේ ගැලපීමක් හෝ රසයක් මට නැත. එසේ යෙදීම වියරණ මැරූ සාවද්‍ය රූපයක් වුව ද, [එය නොසළකා] මෙහි දක්වන ආඛ්‍යාත පදය යෙදුව ද, අරුත රසවත් හෝ ඔදවත් නොවේ" කියලා (14).


මම දකින විදියට මෙතැන වෙන්නේ "කා පැහැර ගැනීමක්" නොව ධජය වන කුකුළා "කෑම" හෝ "පැහැර ගැනීම" කියන දෙකෙන් එකක් විතරයි. කුකුළා ගේ පැත්තෙන් බැලුවත් පැහැර ගෙන ඉවර වෙලා කන නිසා "කාලා, පැහැර ගැනීම" කියන අරුත මටත් රුචි නැහැ.


මෙලෙස අන්වය සහ අර්ථය ඉදිරිපත් කරන්නේත් තමලු පියදිගම විතරයි (14).

පද බෙදීම රැයිපියෙල් තෙන්නකෝන් ගේ මුල් "හැවිල්ල" පොතේ සහ සමකාලීන පොත් වල උපුටා ගැනීම් වල තිබුනේ "පාළුය කා" ලෙස ද "පාළු යකා" ලෙස ද?[සංස්කරණය]

මෙහි දී මූලික අර්ථ දෙක ඉදිරිපත් කරන දෙපිරිසම මූලිකවම ගන්නේ පද බෙදීමේ වෙනසක්. ඒ  “පාළු යකා” වෙනුවට “පාළුය කා” හෝ “පාළු ය කා” කියලා අර ගෙන.


නමුත් සිංහල වියරණ සහ පදරුත් මුහුණු පොත් සමූහයේ ශාන්ත කුමාර පල කර තිබුන “හැවිල්ල” (1940) මුල් පිටපතේ කවිය, මුල් පොතේ එන ජයන්ත වීරසේකර ගේ විවරුව, 1951 මුද්‍රිත මීමන ප්‍රේමතිලක කවි එකතුව, මූලාශ්‍රය 14 එන මුහුණු පොත් සංවාදයේ දී තමලු පියදිගම ඉදිරිපත් කර තිබූ කතෘ අඥාත 1960 දශකයේ පොත, මූලාශ්‍රය 15 එන "හරී පිණිපළස" උපුටා දක්වන කතෘ අඥාත නමක් සඳහන් නොකරන පොත, ඇතුළු හැම ප්‍රාථමික මූලාශ්‍රයකම පද බෙදිලා තියෙන්නේ "පාළු යකා" ලෙස. ඒ කිසිම තැනක “පාළු ය කා” කියලා පද බෙදිලා නැහැ. මගේ ළඟ තියෙන මීමන ප්‍රේමතිලක, (1951) "නවීන පද්‍ය රචනා" කියන පොතේ පල කරපු කවියේ "පාළු ය කා" කියලා පද වෙන්වෙලා තිබුනත් ඒකෙ අනික් කවි තියෙන විදියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ "කා" යන්න වෙන් කරලා තියෙන්නේ කවියේ එළි වැට තියන්න කියන එක. උදාහරණ විදියට මේ පොතේ "එ කා", "ත කා" ආදී වශයෙන් අනික් අන්තිම පදත් අන්තිම අකුරෙන් පමණක් එළිසමය පෙන්වන්න වෙන් කරලා ලියලා තියෙනවා.


"පාළු ය කා" ලෙස  විය යුතු බව කවියාම කියා තියෙන බවක් සිංහල වියරණ සහ පදරුත් මුහුණු පොත් සමූහයේ සාකච්ඡාවේ සඳහන් වී තිබුනත් එයට සාක්ෂි ඉදිරිපත් වී තිබුනේ නැහැ (14-තමලු).


ඒ නිසා දැනට පවත්නා සාක්ෂි අනුව පිළිගන්න වෙන්නේ මුල් කවියේ රැයිපියෙල් තෙන්නකෝන් පද බෙදලා තියෙන්නේ "පාළු යකා" ලෙස කියලා. ඒ නිසා කවියා නොබෙදපු පද බෙදීමක් කරලා දක්වන දෙවැනි අන්වය සහ අර්ථය කවියාගේ දෘෂ්ටියෙන් නිවැරදි බවට මම දකින්නේ නැහැ. ඒ අනුව මම මේ කවියේ නිවැරදි අන්වය සහ අර්ථය ලෙස දකින්නේ පළමුවෙන් ඉදිරිපත් කළ එක විතරයි.

මේ "යකා" අවුල ගැන ගනුෂ්ක රන්දුල ලියන දේ ඒ අයුරින්ම උපුටා දක්වන්නම්.

[උපුටා ගැනීමේ ආරම්භය]

රැ. තෙන්නකෝනුන් හෙළ හවුලේ කවියන් අතුරින් ප්‍රමුඛතමයා වූ බව කවුරුත් දනිති. කුමාරතුංග මුනිදාසයන් ඔවුනට 'කිවිසුරු' යන ගෞරව නාමය පිරිනැමුවේ ද ඒ නිසා ය. හෙළ හවුලේ ඇතුළතකු වූ රැ. තෙන්නකෝනුන් ගේ බස් වහරෙහි අනන්‍ය ලක්ෂණයක් වූයේ ඇකාර යෝගය යි. එබැවින් "දදය ඔබ ගේ පාළු ය කා" වැන්නක් රැ. තෙන්නකෝනුන් අතින් කැලම ලියැවෙන්නේ නැත. ඒ අදහස දීමට උවමනා විණි නම් රැ. තෙන්නකෝනුන් ලියන්නේ "දදය ඔබ ගෙ පාළු යැ කා" යනුවෙනි. වාක්‍ය සමාප්තික ය නිපාතය ඇකාර සහිත වැ යෙදීමත් එය පෙර පදයෙන් වෙන් කොට ලිවීමත් රැ. තෙන්නකෝනුන් අනුදත් සුබස් පිළිවෙත යි. "හැවිල්ල" පොතේ හැම තැන ම නිසි ලෙස ම ඇකාරය යෙදූ, නිසි ලෙස ම පද බෙදූ තෙන්නකෝනුනට මෙහි පමණක් ඒ දෙක ම වැරැදීමට හේතුවෙක් නැත.

ඒ නිසා ගම්ලතුන් සිතන පරිදි මෙය සුනිල් සාන්තයන් වරදවා ගැයූවක් නො වේ. නිවැරැදි පෙළ "දදය ඔබ ගෙ පාළු යකා" ම බව මේ සමඟ දක්වා ඇති "හැවිල්ල" පැදි පොතේ 39 වැනි පිටුව සනාථ කරයි.

සුචරිත ගම්ලතුන් "හැවිල්ල" පැදි පොත නො බලා රෑ වැටුණු වළෙහි සන්නා උදේ පාන්දර ම වැටුණේ ගම්ලතුන් ගේ දැනුම උළා කන්නට ගිය නිසා ය. ඕවා දිට්ඨධම්මවේදනීය කම්මවිපාක ය.

මෙහි  නිවැරැදි පෙළ "දදය ඔබ ගෙ පාළු යකා" නම්, එවිට ඒ නිවැරැදි පෙළෙහි අරුත කුමක් ද යනු කාට වුවත් මතු වන සාධාරණ ප්‍රශ්නයෙකි. එය විසැඳීමට කෙස් පැළෙන තර්ක නැඟීමට අවශ්‍ය නො වේ. "හැවිල්ල" පැදි පොතට ජයන්ත වීරසේකරයන් සැපැයූ 'විවරුව' බැලීමෙන් ඒ අවුල ලිහාගත හැකි ය. මේ සමඟ දක්වා ඇති එහි 82 වැනි පිටුවේ "පාළු" යන්නට ජයන්ත වීරසේකරයන් අරුත් දක්වා ඇත්තේ "පාළු = පැහැරගත්" යනුවෙනි. "හැවිල්ල" කියවා බැලුව ද මෙය නම් වටහාගැනීමට සන්නාට නුවණ නැත. පැහැරගැනීම යන අරුත්හි යෙදෙන "පහර" ධාතුවෙහි අතීත කාල කර්තෘ කාරක කෘදන්තය සකස් වන්නේ "පහළු" යනුවෙන් බව "ක්‍රියා විවරණයේ" 179 වැනි පිටුව දක්වයි. පැදි පෙළෙහි ඇති "පාළු" යන්න සකස් වන්නේ අන්න ඒ "පහළු" යන්නෙහි මධ්‍ය හ්කාර ලෝපයත් සමඟ සිදු වන්නා වූ සමාන ස්වර දීර්ඝයෙනි. තැන්පත් සිහිය අඩු දුනැණයකු වන සන්නා කෙසේ වෙතත් මෙය කියවන පාසල් ගුරු සිසු දෙපිරිස මේ ටික තේරුම් ගත හොත් ප්‍රමාණවත් ය.

[උපුටා ගැනීමේ අවසානය]


සරල තේරුම:[සංස්කරණය]

මගේ කුකුළා නැසූ කෙනාව, [එසේ කිරීමෙන්] ඔබගේ කොඩිය පැහැර ගත්තු යක්ෂයාව, තවත් එක බදාදා දිනයක් පතා ගෙන ඉන්න (ගත කරන්න / ජීවත් වෙන්න) ඉඩ නොදී මරා විනාශ කර දමා... (මේ කවියේ ක්‍රියාකාරක පද සම්බන්ධය අවසන් කර නැතිව ඊළඟ කවියට සම්බන්ධ වෙන බවක් පේනවා)

වචනාර්ථ:[සංස්කරණය]

  • මගෙ කුකුළා = මගේ කුකුළා
  • නැසූ = මරපු
  • එකා = කෙනා හැඳින්වීමට කෝපයෙන් යුතුව යොදන නාම පදයක්
  • දදය ඔබගෙ = ඔබගේ ධජය - දද/ධජ/ද්වජ/දජ කියන වචනේ අර්ථ 25න් කොඩිය කියන අරුතින්
  • පාළු = පැහැර ගත්
  • යකා = යක්ෂයා, අසුරයා, නරක මිනිහා, අරුතෙන් දැඩි කේන්තියකින් යොදන නාමපදයක්
  • තව එක බුද දිනක් = බදාදා දිනයක්, බදාදා දිනය - කෙම්මුර දවසක් - කෙම්වර, කෙම්මර, කෙම්මුර, කෙම්බර නාම පදය - දෙවියකු හෝ දේවතාවියකු වෙනුවෙන් කපුවකු ආවේශ වී කරන පූජෝපාහාරය, worship of gods and demons, offering to gods කියන අර්ථය දෙනවා. මෙයම “කෙම්මුර දවස්”, “කෙම්මුර දිනය” ලෙස නාම විශේෂණයක් ලෙස යොදන විට, දේවාලයක කෙම්මර පවත්වන දින දෙක වන බදාදා සහ සෙනසුරාදා, හෙවත් දේවතාවන් ඇදහීම හෝ පූජා ලබා දෙන දවස/දවස්, යන අර්ථය දෙනවා. මේ අනුව මේ යදින්නා බදාදා දිනක යදිමින් තව සතියක් ඉන්න දෙන්න එපා කියනවා කියලා අනුමාන කරන්න පුළුවන්.
  • තකා = උදෙසා, බලාපොරෝත්තුවෙන්, පතා ගෙන - මේ හැර තකා යන වචනයට මූලික අරුත් ලෙස එන්නේ: සැලකිල්ලට ගනිමින්, සලකා බලා, considering, on account of, out of regard to, used also as post කියන ඒවා.
  • ඉන්නට ඉඩ නොදී = ජීවත් වී ඉන්න ඉඩ නොදී
  • මකා = විනාශ කර දමමින්, නැති කර දමා, මරා දමා - මක ධාතුවෙන් එන මකනවා - නැති කර දමනවා, විනාශ කර දමනවා යන්නෙහි අතීත කාල ක්‍රියා පදය මකා / අකා මකා - පුර්ව ක්‍රියාවකි - විනාශ කොට


ස්කන්ධකුමාර ගේ කොඩියට කුකුළා ආපු හැටි ගැන තියෙන ජනප්‍රවාද:[සංස්කරණය]


තාරක හෝ ඔහුගේ සොයුරු සූරපද්ම අඹ ගහක් වෙස් ගත් විට කඳ දෙවි ගසා දෙපලු කර විට එක කොටසක් ඔහුගේ වාහානය වුනු මොණරා වීම සහ අනික් කොටස කොඩියේ කුකුළා වීම:[සංස්කරණය]

තාරක අසුරයා ගේ වැඩිමල් සොයුරු සූරපද්මන් යුද්ධයේ දී හිස සිඳින සෑම විටක සිංහ, ව්‍යාඝ්‍ර, එළු ආදී නව හිස් සහිතව ඉපදුනා. යුද්ධයෙන් පරදින විට පලා ගොස් අඹ ගහක් වුනහම (සමහර විට අඹ ගහ වෙනුවට කන්දක් වුනා කියලත් තියෙනවා) ස්කන්ධ කුමාරයා තීරණය කරා තිරස් අතට (Horizontally) නැතිව සිරස් අතට (Vertically) වේලායුධෙන් ගසා දෙපලු කරන්න. මෙසේ දෙපලු කළ විට සූරපද්මන් බැගෑපත්ව කඳ සුරිඳු ළඟ දෙපා මුල වැටී සේවය කිරීමට පැවැත්මක් දෙන්න කියලා වරයක් ඉල්ලුවහම, කඳ සුරිඳු විසින් අසුරයාගේ පලු දෙකට වරය බැගින් දුන්නා. මේ වර දෙක ප්‍රයෝජනයට ගනිමින් සූරපද්මන් ගේ එක කොටසක් ඔහුගේ වාහනය වුනු මොණරා වුනා. අනික් කොටස කොඩියේ කුකුළා වුනා. මේ ආකාරයට සූරපද්මන්ට තව දුරටත් වෙනත් ස්වරූපයකින් හෝ පැවැත්මක් ඇතිව කඳ සුරිඳුට සේවය කරන්න පුළුවන් වුනා. තවත් සමහර මූලාශ්‍ර අනුව මේ ලෙස කුකුළු ධජය වෙන්නේ බලවත්ම අසුරයා වූ තාරක.

කඳ දෙවියන් කුමාර කාලයේ වායු දෙවියන් විසින් කුකුළු කොඩිය ත්‍යාගයක් ලෙස දීම:[සංස්කරණය]

ශිව දෙවියන් ලවා අසුරයන් පැරදවීමට කඳ කුමරු ඉපැද්ද වූ පසු විෂ්ණු දෙවියන් විසින් තමාගේ ගුරුළා හරහා කඳ කුමරුට කුමාර කාලයේ ක්‍රීඩා කිරීමට තැන්පත් කුරුල්ලන් දෙදෙනෙකු වූ කුකුළා සහ මොනරා දුන්නා. වායු දේව විසින් කුකුළු ලාංඡනය සහිත කොඩිය දුන්නා.

අසුර තොරණ උඩ ඔත්තු හැඬලූ අසුරයකුට දාව උපන් අසුර කුමාරයකු වන කුකුළා කඳ කුමරු විසින් දෙපලු කිරීමෙන්:[සංස්කරණය]

එක ජනකතාවක මූලාශ්‍රය හදිස්සියේ මතක් වුනා. අපි පොඩි කාලේ කියවපු සඟරා ලිපියක්. ඒ අනුව සංශෝධනයක් කළා.

කුකුළාගේ උපත දක්වන සුරාසුර සටන හා බැදී පවතින සිංහල ජනකතාවක් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර (19) ලියූ ලිපියක සඳහන් වන්නේ මෙසේය.

[උපුටා ගැනීම ආරම්භය]

"කුකුළාගේ පියා අම්බලරුසියා ය. මව කාල රාක්ෂියා ය. මේ දෙදෙනාට දාව උපන් අසුර කුමරකු වූ කුකුළා ඇසුර භවනේ තොරන පිට හිඳ හැඬලීම සිරිතක් කර ගෙන සිටියේය. සුරා සුර සටනේ දී අසුරයන්ගේ ජයග්‍රණය ඇඟවීමට ඌ හඬලන්නට වෙයි. මෙය දරා ගත නොහැකි සුරයන්ගේ නායකයා වූ ඉසුරු ගෙත් ඔහුගේ බිරිය වූ උමාව ගේත් වැඩිමල් පුත් සටනට අධිපති කඳ කුමරු මේ අසුර කුමරාව තම කඩුවෙන් දෙපළු කරයි. ඉන් එක පළුවක් කන්ද කුමරු තම වාහනය කර ගනී. අනෙක් පළුව කඳ කුමරුගේ කොඩියයි. මේ නිසා ය කඳ කුමරුගේ කොඩියේ කුකුළකු වැඩ ඉන්නේ.

සැවුල් හිසේ යකු දහසක් වෙසෙතී

සැවුලගෙ බොටුවේ දහසක් වෙසෙතී

සැවුලගෙ කඳ මැද දහසක් වෙසෙතී

සැවුල් අතට ගෙන අද මෙහි දපතී

කියා ඇදුරන් කියන්නේ රිහිරි (රීරි) යකා දොළ ගන්නා විට කුකුළකු ද පතයි. ඔවුන්ගේ රුව ඇඹීමේ දී සහ ඇඳීමේ දී කුකුළා අත ඇතිව සිටිනා අයුරු දැක්වීමය සිංහල නිර්මාණ ශිල්පියාට හුරු වී ඇත්තේ.

[උපුටා ගැනීම අවසානය]


සැවුලා වන්නම[සංස්කරණය]

මින් එක ජනප්‍රවාදයක්  සැවුලා වන්නමේ එන්නේ මෙහෙමයි (14-වරුණ මනම්පේරි, 10).


තම් තම්දන තනම්, දන තම්දන තනම් තම් තම්දන තානත් තෙයි තම්ද, නා තම්ද නා නා


සුරිඳුන් පෙර සිටන් - බලයුත් සැවතිඳුන් - සහ ගොස් කළ යුදෙන් - අසුරන් ජය නොලදින්

බර අත් ගෙණ කගින් - ඇන කොන්තවි වලින් - අසුරන් කළ යුදෙන් - ජය ගෙන කඳ කුමරුන්

ගසමින් කග පතින් - දෙපළුව අසුර සෙන් - දැරු පා අතලුවෙන් - පලුවක් ගෙන සැනෙකින්

එමවන් පලුවකින් - එ උපන් සැනයකින් - සැවුලා නම එයින් - ලොව පල කළ උපතින්

කතරගම දේවාරාධනා මල් යහන් කවි[සංස්කරණය]

කතරගම දෙවියන්ට කරන මල්යහන් ආරාධනා කවි වල එන කවියක කුකුළු අසුරයා බැන්ද කොඩිය ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි (10).


අසුරා බැඳි දේව කොඩිය අරගෙන වඩිති

මයුරා පිට මල් මුදුනට බැල්ම හෙලා ලති

සපුරා මිණි නද ලෝ දැල් පාය පලා එති

උතුරා මල් සුවඳ කළස් දළු මුර පුද දෙති

අනියම් බිරිඳකගේ ගෙදර ගොස් උදේ වීමට පෙර එන්න කුකුළා හැඬලීමට කළගුණ සැළකීමට (?)[සංස්කරණය]

මූලාශ්‍ර 16 හිරු තවත් ජනප්‍රවාදයක් ගැන සඳහන් කළත් මෙය මා නම් මීට පෙර අහලා නැහැ. ඒ කතාව අනුව පේන්නේ කතරගම දෙවියන් තමන්ගේ බිරිඳ වන තේවානි අම්මාට හොරෙන් අනියම් බිරිඳ වන වල්ලි අම්මාගේ නිවසට ගොස් නින්ද ගිහින් ආපහු ගෙදර යන්න මතක් වෙලා තියෙන්නේ කුකුළා හඬලන කොට. බල්ලන් ඔහුට බිරුව නිසා උන් එක්ක වෛර බැඳගත්තත්, කුකුළා කරපු උදව්වට උගේ රුව කොඩියේ ලාංඡනයට යෙදුවලු.

තුන්වැනි කවිය:[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

බලා එල්ල

හෙළුව හෙල්ල

මුලැ මැ බෙල්ල

මරු තැනේ,

අන්වය:[සංස්කරණය]

බෙල්ල මුලැ මැ මරු තැනේ එල්ල බලා හෙළුව හෙල්ල… (මේ කවියේ ක්‍රියාකාරක පද සම්බන්ධය අවසන් කර නැතිව ඊළඟ කවියට සම්බන්ධ වෙන බවක් පේනවා)

සරල තේරුම:[සංස්කරණය]

හරියට ඉලක්කය බලා බෙල්ල මුලම ඇති මර්මස්ථානයට හෙළපු හෙල්ල…

වචනාර්ථ:[සංස්කරණය]

  • මුලැ මැ බෙල්ල = බෙල්ල මුලම ඇති
  • මරු තැනේ = මර්මස්ථානයට - ප්‍රහාරයක් වැදුණු විට මරණය ගෙන දෙන දුර්වල ස්ථානය
  • එල්ල = හරියට ඉලක්කය
  • බලා = බලලා
  • හෙල්ල = හෙල්ලය, spear, කඳ දෙවියන්ගේ ආයුධය යැයි සැලකෙන දිග මිටක් සහ තුන් උල් සහිත වේලායුධය (වේළ ආඃ) නමින් හැඳින්වෙන තුන් උල් හෙල්ලයක් වැනි ආයුධය, trident, කුන්තායුධය, කොන්තායුධය, කුන්තය, ලන්සය, lance, තෝමරය,
  • හෙළුව = හෙළාපු, පහත දැමූ - නාම විශේෂණය, - ධාතුව හෙළ - හෙළනවා - හෙළුව පහත දැමූ - අතීත කාල

පළමු වන, දෙවන සහ තුන්වන කවි එකට ගෙන තේරුම් ගැනීම:[සංස්කරණය]

2 සහ 3 කවිවල ක්‍රියාකාරක පද සම්බන්ධය අවසන් කර නැතිව ඊළඟ කවියට සම්බන්ධ වෙන බවක් පේන නිසා 1,2, සහ 3 කවි වල අන්වය හෝ ක්‍රියාකාරක පද සම්බන්ධය එකටම අරගෙන තේරුම් ගන්න පුළුවන් ද කියලා බලමු.

අන්වය:[සංස්කරණය]

දුදනො'ද බිඳ, තෙද කඳ ලද, කඳ දෙව් රද සාමිනේ! මගෙ කුකුළා නැසූ එකා, [එමෙන්ම] දදය ඔබ ගෙ පාළු යකා, තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නො දී මකා, බෙල්ල මුලැ මැ මරු තැනේ එල්ල බලා, හෙළුව හෙල්ල…

අර්ථය:[සංස්කරණය]

නපුරු ජනයාගේ එඩිය බිඳ දමා තේජස් ස්කන්ධයක් ලබාපු ස්කන්ධ දිව්‍ය රජ තුමනි! මගේ කුකුළා නැසුව එකා, එසේ කරමින් ඔබගේ ධජය පැහැර ගත්තු කාලකණ්නියා, බදාදා දවසක් වෙන අද ජීවත් වුනත්, තව එක බදාදා දවසකවත් එළිය දකින්න නොදී මරා, බෙල්ල මුලම ඇති මර්මස්ථානයට ඉලක්කය ගෙන, හෙළූ හෙල්ල…

විස්තරය:[සංස්කරණය]

දෙක සහ තුන කවි දෙක වෙන වෙනම හෝ එක්ව ගත්තත් ආඛ්‍යාතයක් සහිතව සම්පූර්ණ ක්‍රියාකාරක පද සම්බන්ධයක් දෙන බවක් නම් මට නම් පෙනුනේ නැහැ. කවියක් අනිවාර්යයෙන්ම ව්‍යාකරණානුකූල විය යුතුයි හෝ එහි අංග සම්පූර්ණ ක්‍රියාකාරක පද සම්බන්ධයක් තිබිය යුතුයි කියන අදහසේ මම නැහැ. ඒ වගේම මින් රැයිපියෙල් තෙන්නකෝන් ගේ කවියේ රසය හෝ අගය බාල වන බවක් මට පේන්නේ නැහැ. නමුත් හුදෙක් හැවිල්ලේ දෙක සහ තුන කවි අන්වය අංග සම්පූර්ණව ආඛ්‍යාතයක් සහිතව ගළපන්න බැරි බවක් නම් පේනවා. එසේම සාමාන්‍ය ගීත හෝ රසිකයන් මෙම කවි දෙකේ "මකා" යන්න "මකා දමන්න" කියා කරන ඉල්ලීමක් ලෙසත්, "හෙළුව" යන්න "හෙළුව මැනවි" යන ඉලීමත් ලෙස සවිඥානිකව හෝ අවිඥානිකව තේරුම් ගන්නා නිසා කිසිවෙකුටත් මෙය ගීතය තේරුම් ගැනීමේ අපහසුතාවයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ පමණක් නොව සිංහල සහ සකු බස ආදී වෙනත් භාෂා කීපයක්ම උගත් සුචරිත ගම්ලත්, ජයන්ත වීරසේකර, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, මනරංජන රාජසේකර වත්තගේ, මලී මලියසේන, තිස්ස දොඩන්ගොඩ ආදීන් පවා, මෙලෙස "කා", "හෙළුව" වැනි පද අරුත් ගැන්වීමට බාධාවක් කරගන්නා බවක් පේන්නේ නැහැ.

හතර වන කවිය:[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

කතරගමට රුහුණු රටේ

හිඟා කකා, ලබන විටේ

පයින් මැ ගොස් ඇවිදැ වටේ

පොළොවැ උලා නළල් ඇටේ

අන්වය:[සංස්කරණය]

ලබන විටේ රුහුණු රටේ කතරගමට, හිඟා කකා පයින් මැ ගොස් වටේ ඇවිදැ, නළල් ඇටේ පොළොවැ උලා...

සරල තේරුම:[සංස්කරණය]

ඊළඟ වාරයේ, රුහුණුකරයේ ඇති කතරගමට, හිඟා කමින් ආහාර ලබා ගෙන පයින්ම ඇවිදලා ගිහිල්ලා, දේවාලය පැදකුණු කරලා, පසඟ පිහිටුවා වැඳ වැටිලා…(මෙම කවිය ඊලඟ කවියත් එක්ක සම්බන්ධ වෙනවා)

වචනාර්ථ:[සංස්කරණය]

  • කතරගමට රුහුණු රටේ = රෝහණ රාජ්‍යයේ, රුහුණු රටට අයත්, එහි ඇති කතරගමට
  • ලබන විටේ = ලබන වාරයේ දී, විටේ / විට - වතාව, ඊළඟ පාර
  • හිඟා කකා = ආහාර ඉල්ලා කමින්
  • පයින් මැ ගොස් = පයින්ම ඇවිදලා ගිහිල්ලා,
  • ඇවිදැ වටේ = වටේ ඇවිදලා, පැදකුණු කරලා - යම් වස්තුවකට හෝ කෙනෙකුට ගෞරවයක් වශයෙන් ඒ දෙය, තැනැත්තා, හෝ තැනැත්තිය දෙසට තමාගේ ශරීරයේ දකුණු පැත්ත හරවා ගෙන ඇවිදීම, ප්‍රදක්ෂිණා කරනවා - ප්‍ර emphasis, දක්‍ෂිණ right side, to circumambulate with the right side towards the person or the object saluted thereby
  • නළල් ඇටේ පොළොවැ උලා = නළල් ඇටය හෙවත් නළල බිම තබලා වැඳ වැටෙමින්, නළල් ඇටේ - forehead, frontal, ලලාට - නළල බිම තියා වැඳලා - පසඟ පිහිටුවා වැඳීම, දෙඅත් දෙදණ සහ නළල යන අංග පහ පොළවේ තබා වැඳීම

පස්වන කවිය:[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

දිගට ඇදී

නැඟැ පැහැදී

මහ හඬ දී

“දෙවියනේ,”

අන්වය:[සංස්කරණය]

දිගට ඇදී නැඟැ පැහැදී “දෙවියනේ” (කියා) මහ හඬ දී

සරල තේරුම:[සංස්කරණය]

දෙවියන්ව දිගා වෙලා බිම වැතිරී දණ්ඩ නමස්කාරයෙන් (දණ්ඩක් ලෙස ඍජුව බිම වැතිරී - බිම දිගාවී වැඳීම, prostrate - lying with the face down and arms stretched out, especially as a sign of respect or worship) වන්දනා කරලා, නැවත නැගිටලා, ඔබ කෙරෙහි පැහැදෙමින්, මහ හඬින් “දෙවියනේ” කියලා කෑ ගසලා… (මෙම කවියත් හතරවන කවිය සමගම ඊලඟ කවියත් එක්ක සම්බන්ධ වෙනවා)

විස්තරය:[සංස්කරණය]

විකල්ප අරුතක් ලෙස දෙවියන්ට කරන ආමන්ත්‍රණයක් හැටියට “දෙවියනේ! දිගා වෙලා වැඳ වැටිලා පැහැදිලා නැගී සිටලා මහ හඬ නගමින්” කියලා අරුත් ගන්වන්නත් පුළුවන්. මෙහෙම කළොත් පෙර කවියේ සිට එන පද සම්බන්ධය තව දුරටත් ඉස්සරහට යනවා වගේ පෙනුනත් “හඬ දීලා” ඊළඟ කවියේ එන වස්තූන් පූජා කරන්නේ නැති නිසාත්, “දෙවියනේ” යන්න කවියේ උද්දෘත තුළ ඇති නිසා, “දෙවියනේ” කියා කෑගසමින් යන අරුතින් ගැනීම වඩා සාර්ථකයි වගේ.

හයවන කවිය:[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

රනින් කුකුළු රුවක් පුදමි

රිදියෙන් බිජුවටක් පුදමි

රන් දුනු හී දෙකක් පුදමි

රුවට රිදී රුවක් පුදමි

අන්වය:[සංස්කරණය]

රනින් කුකුළු රුවක් පුදමි. රිදියෙන් බිජුවටක් පුදමි. රන් දුනු හී දෙකක් පුදමි. රුවට රිදී රුවක් පුදමි.

සරල තේරුම:[සංස්කරණය]

රත්තරනින් කළ කුකුළු රූපයක්, රිදියෙන් හැදූ බිජුවටක් හෙවත් බිත්තරයක්, රනින් නිම වූ දුන්නක් සහ හීතලයක් ඔබට පූජා කරමි.

වචනාර්ථ:[සංස්කරණය]

  • රනින් කුකුළු රුවක් පුදමි = නැති වූ කෙනෙක් සෙවීමේ දී ඒ කෙනාට සමාන රූපයක් රත්තරනින් තනා දෙවියන්ට පූජා කිරීමට බාර වීමත් ප්‍රාර්ථනාව ඉටු වීමෙන් පසු බාරය ඔප්පු කිරීමේ දී එසේ පූජා කිරීමත් යන සිරිත මත නැති වුනු කුකුළා මැරූ කෙනාගෙන් පළි ගත්තොත් ඒ සඳහා අල්ලසක් ලෙස රනින් හදපු කුකුළු රුවක් දීමටත්,
  • රිදියෙන් බිජුවටක් = රිදියෙන් තැනූ කිකිළි බිත්තරයක් ( බිජුවට- සතෙකුගේ බිත්තර, egg) පූජා කිරීමටත්,
  • රන් දුනු හී දෙකක් = රත්තරනින් හැදූ දුන්නක් සහ ඊතලයක් පූජා කිරීමටත්, (හෝ එතරම් සාර්ථකව අර්ථ නොගැනුනත් දුනු දෙකක් හා ඊතළ දෙකක් ලෙස හතරක් හෙවත් කුට්ටම් දෙකක්)
  • රුවට රිදී රුවක් = ඒ වගේම දෙවියන්ගේ රූපයට සමාන රූපයක් රනින් හදාලා පූජා කිරීමටත්, පොරොන්දු වෙනවා. මෙම රූපය දෙවියන්ගේ රූපය නොවේ නම් කුකුළා ගේ රූපය මීට පෙර පූජා කරන නිසා, විය හැක්කේ හොරා ගේ රූපය වීම විතරක් නිසාත්, එය තර්කානුකූල නැති නිසාත් දේවරූපයක් ලෙස ගැනීම වඩා නිවැරදියි.

තුන්වන, හතරවන, සහ පස්වන කවි එකට ගෙන තේරුම් ගැනීම:[සංස්කරණය]

මම දකින්නේ 4, 5, සහ 6 කවි වල අන්වය හෝ ක්‍රියාකාරක පද සම්බන්ධය එකක් ලෙස ගත හැකි බව.

අන්වය:[සංස්කරණය]

ලබන විටේ, රුහුණු රටේ කතරගමට, හිඟා කකා පයින් මැ ගොස්, වටේ ඇවිදැ, නළල් ඇටේ පොළොවැ උලා, දිගට ඇදී, පැහැදී, නැඟැ “දෙවියනේ,” (කියා) මහ හඬ දී, රනින් කුකුළු රුවක්, රිදියෙන් බිජුවටක්, රන් දුනු හී දෙකක්, (සහ) ඔබගේ රුව වැනි රිදී රුවක් පුදමි.

තේරුම:[සංස්කරණය]

ලබන පාර, රුහුණට අයත් කතරගමට, හිඟා කමින් පයින්ම ගිහිල්ලා, දේවාලය වටේ පැදකුණු කරලා, පසඟ පිහිටුවා වැඳලා, බිම දිගා වෙලා දණ්ඩ නමස්කාරයෙන් වැඳලා, පැහැදිලා ශ්‍රද්ධාව ඇති වෙලා, නැඟී සිටලා “දෙවියනේ” කියා කෑගසලා, රන් කුකුළු රූපයක්, රිදී බිත්තරයක්, රන් දුනු හී දෙකක්, සහ රනින් කළ දේව රූපයක් (ඔබට) පූජා කරමි.

හත්වන කවිය:[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

කතරගමේ

බල මහිමේ

දුටු ද එ මේ?

හැම තැනේ

අන්වය:[සංස්කරණය]

කතරගමේ බල මහිමේ එ මේ හැම තැනේ දුටු ද?

සරල තේරුම:[සංස්කරණය]

කතරගමේ බල මහිමය එතැනත් (එ) මෙතැනත් (මේ) හැම තැනමත් දැක්කා ද?

වචනාර්ථ:[සංස්කරණය]

  •  කතරගමේ බල මහිමේ = එම අර්ථයම
  • එ = එ තැනත්
  • මේ = මෙ තැනත් - මේ, සර්ව නාමය, this, තමන් ඉදිරිපිට පෙනෙන දෙය, මෙය, මේ, මෙන්න / මේ යන පදයේ වෙනත් අරුත් කිහිපයක්: නිශ්චයාර්තයෙහි අවධාරණයෙහි; මේ, මෙහෙවර, වැඩය, මේඝ හෙවත් වර්ෂා ඍතුව
  • හැම තැනේ = හැම තැනමත්
  • දුටු ද? = දැක්කා ද? කවියේ මා ළඟ ඇති පිටපතේ ඇතුළුව බොහෝ පිටපත්වල කවි පදය අවසානයේ ප්‍රශ්නාර්ථ ලකුණක් දමා තියෙනවා.

විස්තරය:[සංස්කරණය]

මුල් කවි හය වගේ නැතිව මෙම කවිය තනිව ගෙන ක්‍රියාකාරක පද සම්බන්ධය සලකා බැලිය යුතුයි කියලයි මම හිතන්නේ. ඒක දිගට ආවේගාත්මකව කියන හැවිල්ලේ යම් විරාම ලකුණක් යොදපු තැනක් හැටියටයි මේ කවිය මට පේන්නේ. බාරය අවසන් වූ ඇය කතරගමේ බල මහිමය ගැන වර්ණනාවක් කරන්නේ කියවන්නා තුළ ඇය ඉන්නේ කතරගමය කියන හැඟීමක් ඇති කරමින්. නමුත් තවමත් ඇය ඉන්නේ ඇයගේ නිවස ආසන්නයේ නා ගස යට සංහිඳ පාමුල.

අටවන කවිය:[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

කියමින් නම'කුරු ඔබගේ‍

බොළඳුන් ගෙ ද කිරි තුඬ'ගේ

රඟ දෙන්නට වඩමි අගේ

එකති'න් හිමි සඳිනි මගේ

අන්වය:[සංස්කරණය]

මගේ හිමි සඳිනි! ඔබගේ‍ නම'කුරු කියමින් එකති'න් (එය) බොළඳුන් ගෙ ද කිරි තුඬ'ගේ රඟ දෙන්නට අගේ වඩමි.

සරල තේරුම:[සංස්කරණය]

මගේ දෙවි සවාමීනි! ඔබගේ නම කියමින්, ඒකාන්තයෙන්ම එය, කටේ කිරි සුවඳ නොගිය කුඩා දරුවන්ගේ මුවේ පවා රඟ දෙන ලෙසට, අලංකාරවත් ලෙස කියැවෙන ලෙසට, ඔබගේ අගය වඩමි.

වචනාර්ථ:[සංස්කරණය]

  • ඔබගේ‍ නම'කුරු කියමින් = ඔබගේ නම කියමින්
  • නම'කුරු = නම+අකුරු - නමකුරු - පර ස්වර ලෝප සන්ධිය (සන්ධි වන පද දෙකෙන් දෙවන පදයේ මුල්ස්වරය හෙවත් පර ස්වරය ලොප් වී, ඉවත්වී පළමු පදයේ අග ස්වරය හා ගැළපීම) / නමේ+අකුරු - නම්+ඒ+අකුරු - නම්+අකුරු - නමකුරු - පූර්ව ස්වර ලෝප සන්ධිය (සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප් වී, ඉවත්වී දෙවන පදයේ මුල් ස්වරය හා ගැළපීම) (?)
  • බොළඳුන් ගෙ ද = කුඩා දරුවන්ගේ ද - බොළඳා, බිලින්දා, male infant, young child; බොළඳි; බිලිඳු, ළදරු, ළදරුවා, child; බොළඳ, ළාමක, සුරතල්, tender, infantile loving, childish, puerile
  • කිරි තුඬ'ගේ = තුඩ + අග? / තුණ්ඩ + අග? සන්ධි වීමේ දී න් ආවා ද? කුමන සන්ධි ප්‍රභේදයක් ද?
  • තුඩ= තුඩ mouth, කට (කාටර්)
  • එකති'න් = "එකතින්" යන්න පදයක් ලෙසම මහා ගුණසේන ශබ්දකෝෂයේ තියෙනවා. ගුණසේන මහා ශබ්ද කෝෂය අනුව, “එකතින්, එකත්” = ඒකාන්තයෙන්, නියතයෙන්ම (ක්‍රියා විශේෂණ) ඒකාන්ත = නිශ්චිත, නිසැක, නියත, ස්ථිර (සංස්කෘත තත්සම) අර්ථ දෙනවා. එකතින් යන්නට දිය හැකි අරුත් තමයි: 1. ඒකාන්ත, ඒක+අන්ත (ස්වරාගමනය සන්ධි?) of one purport, ෂුවර් එකටම, අනිවාර්යයෙන්ම, ඒකාන්ත, positive, certain, සත්තක, එකැතිතිව, ඒකාන්තයෙන්; 2. එකම අර්ථය, එකාර්ථය, එකත්, ඒක අර්‍ථ, එක අර්‍ථයක් ඇති, of one meaning; 3. එක අත, එක+අත්, එක පැත්තකින්, එකත්, එක අංශය, on one side, aside, එකත් පස්ව, එකත්පසෙක, පස්, පසෙක පාර්‍ශව, moving to one side, standing on one side, out of deference, පැත්තකට වී; 4. “එකත” එක+අත්= එකත් හෙවත් එක අතකින්, තනි අතින් කියන ඒවා. ඒකාන්ත කියන එකට "එකතින්" කියන අරුතෙන් යෙදිලා තියෙන වැඩිම උදාහරණ ගණනක් හම්බු වුනේ ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති පරිවර්තනයේ තියෙන උදාහරණ. ඉන් එකක් තමයි සමිද්ධි සූත්‍රයේ "ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්හත් ය. සම්‍යක් සම්බුද්ධ ය. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි” යන කොටස.
  • රඟ දෙන්නට = කියැවෙන්නට, to Perform, නටන්නට - නමක් රඟ දෙන්නේ හෙවත් නටන්නේ නැතැයි යමෙකුට තර්ක කළ හැකි වුනත් මෙසේ යෙදීම දරුවන් ගේ මුවින් කියැවෙන ආකාරය වර්ණනා කරන ඉතා සුන්දර යෙදුමක් කියලයි මට හිතෙන්නේ.
  • අගේ වඩමි = වටිනා කම වර්ධනය වෙන සේ කතා කිරීම, ගුණ වර්ණනා කිරීම

හැවිල්ලේ නව වන කවිය ලෙස පළවන කවිය නැවත[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

දුදනො'ද බිඳ

ලද තෙද කඳ

කඳ දෙව් රද

සාමිනේ

දහවන කවිය[සංස්කරණය]


කවිය:[සංස්කරණය]

මට කළ මෙ විපත අනේ

බලා ගන්නැ දෙවියනේ!

වැජැඹෙන නා මෙ විමනේ

බලන්නැ! නා සාමිනේ

අන්වය:[සංස්කරණය]

අනේ! දෙවියනේ! මට කළ මෙ විපත බලා ගන්නැ. මෙ නා විමනේ වැජැඹෙන නා සාමිනේ බලන්නැ!

සරල තේරුම:[සංස්කරණය]

අනේ දෙවියනේ මට කළ මේ විපත්තියට දඬුවම් දෙන බවට වග බලා ගන්න. මේ නා ගස විමන කරන් වැජඹෙන නාග ස්වාමීනි (එහෙමත් නැති නම් පිහිට වෙන නාථයානෙණි කියා එහි වෙසෙන වෘක්ෂ දේවතාවට) මට කළ විපත බලන්න.

වචනාර්ථ:[සංස්කරණය]

  • නා = 1.නාගයා cobra, (Naja naja), 2. නායකයා, 3. තද අරටුවක් සහිත දිග කොළ ද සුවඳැති මල් ද සහිත උසට වැඩෙන ගසක් Mesua ferrea, the Sri Lankan ironwood 4. නාථයා හෙවත් අනුන්ට පිහිට වෙන තැනැත්තා, 5. නාදය, 6. අලියා, 7. වැස්සට පොළව හැරී සෑදෙන නාය, 8. නවය 9. විවිධ, නා නා 10. නො ආ, නොපැමිණි, 11. නානවා යන්නෙහි පූර්ව ක්‍රියාව, නාලා, ස්නානය කොට, 12. නො නිපාත prefix, non

විස්තරය:

නාග රාජයන් තුඹසක මිස නා ගස් වල වසන බවක් නම් අසා නැත. මෙතැන නා ගසින් සැදි වදුලක් හෙවත් අඳුරු ස්ථානයක් නිසා එම වදුල තුළ නාගසක් යට සැදුනු හුඹහක් තියෙනවා උපකල්පනය කිරීම එක ක්‍රමයකට මේ ගැටලුව විසඳීමකි. අනික් පැත්තෙන් බලන කොට ගස් බෙන වල නාගයින් සිටි කතා අපේ සාහිත්‍යයේ හමු වෙනවා (බෙනය, බිලය, ගස් බිළය, බිල, රුක්·සිදුර, ගුල, බුහුරු රුක්හි, බුහුර, අරණය, කෝටරය, කුලඉහ, කුඹල, ඉරඳ, hole, cavity, or hollow in a tree, fissure, burrow). උදාහරණ විදියට පන්සීය පනස් ජාතක පොතේ 164 වන "නකුල ජාතකයේ" එන "එසමයෙ පන්සල සමීපයෙහි සක්මන් කෙළවර තුඹසක මුගටියෙක් වාසය කෙරෙති. එතනට සමීපයෙහි ගස් බිලක (බෙනයක) සර්පයෙක් වාසය කෙරෙයි" යන්න ගත හැක. මෙම කවි පන්තිය ගැන ඇති බොහෝ විචාර වල "නා සාමිනේ" නාගයකු ලෙස හඳුන්වනවා දකින්නට ලැබෙනවා (2 මූලාශ්‍රය හැර). නමුත් මෙතැන "නා රජු" කියන්නේ, නා=නාථ=නාථයා=පිහිට වෙන තැනැත්තා=දෙවියා, ලෙස වෘක්ෂ දේවතාවක් ලෙස සැලකීම ද වඩාත් උචිත බවක් මා දකින්නේ දෙවිදියෙන් ඕනෑම විදියකට තේරුම් ගත්තත් කමක් නැහැ කියන මතයේ ඉඳ ගෙන. ඊට හේතු තමයි, "නා විමන" යන්නෙන් හුදෙක් නා වදුල යට තියෙන හුඹහකට වඩා නා වෘක්ෂය විමානය කර ගත කියන අරුත ගැළපෙන නිසා. දෙවැන්න තමයි "නා විමන" නා ගස්, හෝ නා වදුලු විමානය නොව "නාග විමානය" කියා ගත හැකි වුවත් මීට පෙර එන කවිවල නාගයකු හෝ හුඹහැක ගැන රැයිපියෙල් කිසිම සඳහනක් නොකිරීම. මෙම නා විමනේ වෙසෙන්නේ නාග රාජයකු නොව දෙවියකු බව සිතීමට තුඩු දෙන තවත් හේතුවක් වනුයේ, තුඹසක වෙසෙන නාග රාජයින්ට කිරි ආදිය දී පුද දීම හෝ සැලකීම කෙරුනත්, සංහිඳක් හෝ මල් පැලක් සාදා පුදදෙන්නේ දෙවියන් වීම නිසා. මෙනයින් බලන විට මේ දෙවියා "අයියානායක" වැනි ඕනෑම දෙවියකු හෝ එම නුග ගසට අරක් ගත්තේ යැයි ගැමියන් විශ්වාස කරන නමක් රහිත වෘක්ෂ දේවතාවකු හෝ වෙන්න පුළුවන්.

සැකසුම: චිරාන් වින්ඩ්සර්

පසු සටහන:[සංස්කරණය]

විමලරත්න කුමාරගම (1948) "අය්යනායක" (18)[සංස්කරණය]

සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොණේ

කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍නේ

මළ කා කළුව ගිය ආයුද කැබලි පෙනේ

දෙවියෙක් නැත ද මෙහි බලයක් තිබෙනු දැනේ


බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් වල

මේ සංහිඳේ එළියක් ඇත සවස් කල

ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ

හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල


වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත

ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත

සඳරැස් ගලන විට තෙරපී සෙවන මත

එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත


දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ

පවතින  බලය ඇඟ ලොම් කුඩකටද දැනේ

මොළයෙන් තමා ලෝකයෙ සුවය වැනසුනේ

මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමුවුනේ


සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම

කෙම්මුර දවස්වල පානින් සැරසීම

වන අතු කඩා ගස් දෙබලක දැවටීම

මා නොකෙරුවත් නො කෙළෙමි එය ගැරහීම


සාගත වසංගත හා එන නියඟ වලින්

සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්

යන මේ පිරිස සැරසීමට නුවණ "මලින්"

පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්


ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ මැන

අහුමුලු නෑර සිය අණසක පතුරු වන

බලවත් අය්යනායක දෙන ගොදුරු ගෙන

මේ අය රකිනු මැන යන එන සියලු තැන


පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන

මීමුන් මදින් මත්වී අං මදින තැන

වැව්වල මිනී කන කිඹුලන් ගැන ද දැන

මේ අය රකිනු මැන යන එන සියලු තැන


මාපිල් පිඹුරු නා පො‍ළඟුන් සිටින තැන

අලි කොටි වලස් මුළු කොලහල කරන තැන

නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන

බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

මූලාශ්‍ර:[සංස්කරණය]


යොමු මූලාශ්‍ර[සංස්කරණය]

  1. අඥාත (1960) පෙළ පොතක් - කතෘ හෝ ග්‍රන්ථ නාමය සඳහන් නොකළ - තමලු මලිත්ත පියදිගම, 1960 ගණන් වල පෙළ පොතක් ලෙස පවසා සිංහල වියරණ සහ පදරුත් පිටුවට සපයා තිබූ පිට 235 සහ236,
  2. අබේදීර, තේජන (2015) දුදනොද බිඳ ලද තෙද කඳ, ගීයක අරුත විඳිමු බ්ලොග් පොස්ට්
  3. අබේසිංහ, ඩබ්ලියු. ඒ. (2013) කුකුළු හැවිල්ල - සිළුමිණ පුවත්පත, 2013 නොවැම්බර් 10 වැනිදා ඉරිදා
  4. ගම්ලත්, සුචරිත (2009) ගී මිණි ආර 1, නුගේගොඩ
  5. ජයමාන්න, පර්සි (2012) හෙළ බසින් දස්කම් විස්කම් පෑ රැපියෙල් තෙන්නකෝන්, මල් කැකුළු බ්ලොග් පෝස්ටුව
  6. තෙන්නකෝන්, රැ. (1940) හැවිල්ල, පානදුර (විමසුම - කුමාරණතුංග, මුනිදාස. විවරුව - ජයන්ත වීරසේකර, ප්‍රකාශන වියදම - තුඩාවේ, පීතර. - මුල් හැවිල්ල ග්‍රන්ථය ලෙස සටහන් කරමින්, ශාන්ත කුමාර විසින් සිංහල වියරණ සහ පදරුත් පිටුවට සපයා තිබූ පිටු තුන
  7. දොඩම්ගොඩ, තිස්ස (2012) in පොත් ගුල්ලා (2011) කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ - 2 බ්ලොග් පෝස්ටුව
  8. පීරිස්, රූබන් පී. (1964) ජ්‍යෙෂ්ඨ කුමාර පද්‍ය මාලා, කෝසල මුද්‍රණාලය, දෙහිවල
  9. පොත් ගුල්ලා (2011) කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ - 2 බ්ලොග් පෝස්ටුව
  10. ප්‍රේමතිලක, නිමල් (1995) අපේ දේශීය නැටුම් කලාව, නිමල් ප්‍රේමතිලක, බණ්ඩාරගම
  11. ප්‍රේමතිලක, මීමන (1951) "නවීන පද්‍ය රචනා", ඇම් ඩී ගුණසේන සහ සමාගම, කොළඹ 11
  12. මිහිඳුකුල, සුනිල් (2017) කුමරතුඟු මඟ අනුදුටු හෙළබස් වහරේ ගී, සිළුමිණ පුවත් පත, 2017 ජනවාරි 29 ඉරිදා සංරක්ෂණය කළ පිටපත 2018-10-09 at the Wayback Machine
  13. වත්තගේ, මනරංජන රාජසේකර (2016) ආශ්වාද චින්තා 03 - කුකුළු හැවිල්ල
  14. සිංහල වියරණ හා පදරුත් (Sinhala Vocabulary and Grammar) මුහුණු පොත් සමූහය (2016) “මගෙ කුකුළා නැසූ එකා දදය නුඹගෙ පාළු ය කා යන්නෙහි අර්ථය කුමක් ද?”, තමලු මලිත්ත පියදිගම පෝස්ටුව, 7 September 2016 at 05:10
  15. හරී - පිණිපළස (2011) in පොත් ගුල්ලා (2011) කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ - 2 බ්ලොග් පෝස්ටුව
  16. හිරු (2014) in හැලපයා (2014) 140.එකගෙයි කෑම සහ තෙරේසාගේ ආදර අන්දරය
  17. හෙට්ටිආරච්චි, සඳමාලි (2016) පෙරදිග අපරදිග විචාර මූලධර්ම
  18. සිරිවර්ධන, සුසිල්, විජේසූරිය, එස්. (1987) විමලරත්න කුමාරගමගේ එකතු කළ කවි, කතෘ ප්‍රකාශන, කොළඹ 3
  19. බණ්ඩාර, ස්වර්ණ ශ්‍රී (1980) මගවැලි පිසින්නා, ඉසුර සඟරාව, දෙසැම්බර් කලාපය

වචනාර්ථ සඳහා භාවිතා කළ ශබ්දකෝෂ Dictionary Referencing[සංස්කරණය]


  1. කාටර්,  චාර්ල්ස් (1924) චාර්ල්ස් කාටර් සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය Carter, Charles. A (1924) Sinhalese-English dictionary, The Ceylon Observer Printing Works, London සංරක්ෂණය කළ පිටපත 2019-07-02 at the Wayback Machine
  2. මධුර කුලතුංග (2002) මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය, Madura English-Sinhala Dictionary – Online
  3. ක්ලවුග්, බී. (1982) ක්ලවුග් ශබ්දකෝෂය - Clough, B (1892) Sinhalese English Dictionary, Wesleyan Mission press, Kollupitiya
  4. මලලසේකර, ගුණපාල (2017) මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 11 / Malalasekera, G.P. (1967). English - Sinhalese Dictionary, M. D. Gunasena and Company, Colombo 11
  5. විජයතුංග, හරිස්චන්ද්‍ර (2017) ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය, ඇම් ඩී ගුණසේන සහ සමාගම, කොළඹ 11
  6. වෙබ්ස්ටර් ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂය (2013) Webster's English Sinhala Dictionary in Sinhala Dictionary Resources Online සංරක්ෂණය කළ පිටපත 2020-10-12 at the Wayback Machine
  7. සිංහල පැහැදුම් ශබ්දකෝෂය (2013) - Sinhala Explanatory Dictionary - සිංහල එක්ස්ප්ලනේටරි ශබ්දකෝෂය in Sinhala Dictionary Resources Online සංරක්ෂණය කළ පිටපත 2020-10-12 at the Wayback Machine