කිරිබත්

විකිපීඩියා වෙතින්
කිරිබත්
ලුණුමිරිස් සහ කෙසෙල්ගෙඩි සමග කැට කැපූ කිරිබත්

කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් (බොහෝවිට පොල් කිරෙන්) සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය සිංහල අලුත් අවුරුද්ද හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවට අනුභව කරනා මෙම ආහාරය ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. දුගී පැලේ සිට රජ මැඳුර දක්වා හැම නිවසක ම කැවුම්, කිරිබත්, අළුවා පිරි අලුත් අවුරුදු මේසයක් සැකසීමත් එම ආහාර බෙදා හදා ගෙන භුක්ති විඳීමත් සිංහල සිරිතයි.


පොල් කිරි සමඟ පිස ගන්නා සහල් කෙසෙල් කොළයකට වඩා කැබලි කපා ගෙන මේසයට යවන මෙම ආහාරය සියළු සුබ කටයුතුවල දී පිස ගැනීමට සිංහලයා පුරුදු වී සිටී. ඉඹුල් කිරිබත්, මුං කිරිබත් මෙන්ම ලබු කිරිබත් ද මෙම ආහාරයේ ප්‍රභේද වේ.

ඉතිහාසය[සංස්කරණය]

හෙළ ආහාරයක් වූ කිරිබත්(කිරිපිඬු) දානයක් එදා සිදුහත් බෝසතාණෝ ඇසතු බෝ රුක මුල බවුන් වඩද්දී බුද්ධත්වයට පත් වීමට පෙර සුජාතා සිටු දේවිය විසින් පූජා කරන ලදී. සිදුහත් තාපසතුමා එය පිඬු 49 කට කඩා වැළඳූ බවත් බුද්ධත්වයට පත් වූ පසු බුදුරජාණන් වහන්සේ දින 49 ක් එම ආහාරයෙන් දිවි ගෙවූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

ගැමුණු කුමරා මහළු මාතාවක් දුන් කිරිබතක් අනුභව කරද්දී දුන් අවවාදය අනුව යුද කර ජය ලැබූ බව ද ජන ප්‍රවාදයේ සඳහන් වේ.

ඉඹුල් කිරිබත්[සංස්කරණය]

මැදට පොල් පැණි දමා ගෙඩි ලෙස සකස් කර ගන්නා ආහාරයකි.සාදාගත් පසු ඉඹුල් පුලුන් මලේ හැඩය ගන්නා නිසා මෙය ඉඹුල් කිරිබත් ලෙස හැඳින්වූවායි සිතිය හැක.

මුං කිරිබත්[සංස්කරණය]

මුං ඇට සමඟ හකුරු හෝ පැණි ද කජු හා වියළි මිදි ද දමා උයා ගන්නා මෙම ආහාරය රසයෙන් මෙන්ම ගුණයෙන් ද අග්‍ර වේ.

ලබු කිරිබත්[සංස්කරණය]

ලබු දමා සාදා ගන්නා මෙම ආහාරය "නරියා ලබු කිරිබත් කෑ හැටි" යන ජන කතාවේ ද සඳහන් ආහාරයකි.

නිල ජාතික ආහාරය[සංස්කරණය]

2010 නොවැම්බර් 18 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ 65 වන උපන්දින ශ්‍රී ලංකාවේ නිල ජාතික ආහාරය ප්‍රකාශයට පත්කරනලදී

අඩංගු ද්‍රව්‍ය[සංස්කරණය]

සහල්

කිරි - ප්‍රධාන වශයෙන් පොල් කිරි යොදා ගැනේ. එළකිරි යොදන අවස්ථාවන්ද ඇත.

ලුණු - ආහාරයේ රස වැඩි කිරීමට උපකාරී වේ.


අතිරේක එකතු කිරීම් වශයෙන්

පොල් පැණි - ඉඹුල් කිරිබත් සඳහා යොදාගනී. සමහර පුද්ගලයන් තෙල් දැමූ හාල්මැස්සන්, උම්බලකඩ සම්බෝලය වැනි දෑ පොල් පැණි වෙනුවට යොදා ගනී.

මුං ඇට - මුං කිරිබත් සඳහා යොදා ගනී. හකුරු හෝ පැණි, කජු හා වියළි මිදි රසය වැඩි කිරීම සඳහා උපයෝගී කර ගැනේ.

ලබු - ලබු කිරිබත් සඳහා (සිහින්ව කැපූ දියලබු කිරිබතට එක් කිරීමෙන් ප්‍රණීත රසයක් ලැබේ.)

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සඹැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කිරිබත්&oldid=649950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි