කළුතර බෝධිය

විකිපීඩියා වෙතින්
(කළුතර පූජනීය බෝධීන් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)

ඛණ්ඩාංක: 6°35′13″N 79°57′37″E / 6.58694°N 79.96028°E / 6.58694; 79.96028

කළුතර බෝධිය
කළුතර බෝධිය
SpeciesF. religiosa (Ficus religiosa)
Locationකළුතර, ශ්‍රී ලංකාව
Date seededAccording to chronicles the first sapling was planted around in 2nd century BC
Custodianකළුතර බෝධි භාරකාර මණ්ඩලය


වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි කළුතර බෝධිය ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි. එහි සඳහන් වන්නේ එය “මහා ජල්ලික” නම් ගමක රෝපණය කරන ලද බවයි. එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. මේ කාල වකවානුව තුළ උඩ මළුවේ (වර්තමාන වටදාගේ පිහිටි ස්ථානයේ) "ගංගාතිලකය" නම් වූ විහාරයක් පැවති බව සඳහන්වේ. වරින් වර විදේශ ආධිපත්‍යයට පත්වූ මෙම භූමිය බ්‍රිතාන්‍යයන්ට අයත්ව සිටි කාලයේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට වත් ඉඩ නොදී ඇති බව සඳහන්වේ.

වර්තමානයේ අටවිසි බුද්ධ ප්‍රතිමා ස්ථාපිත කර සාදන ලද ප්‍රාකාරයත්, රන් වැටත් බෝධීන් වහන්සේගේ තේජාන්විත භාවය මනාව ඉස්මතු කර පෙන්වයි. මෙයට දකුණු දෙසට වන්නට ඇති ධර්ම ශාලාවට යාබදව බ්‍රිතාන්‍යයින්ට අයත් ඵ්ජන්ත නිල නිවස සේ භාවිත ගොඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද්දකි. වර්තමානයේ මෙය නව ප්‍රතිසංස්කරණය කර ඇති අතර එහි කොටසක් ගබඩාව ලෙස ද, ප්‍රධාන කොටස තාවකාලික භික්‍ෂු ලැගුම් ගෙය ලෙස ද භාවිතා කරයි.

ඉතිහාසය[සංස්කරණය]

මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි.සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය. එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත. මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ.

කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ.ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට හේතු පාදක වූයේ කළුතර තිබූ වාණිජ වටිනාකමයි. කළුතර 1796 දී ඉංග්‍රීසීන්ට අයත් විය.19 සියවස අගදී මෙහි පැරණි බල කොටුවේ කුඩා කඳු ගැටය මුදුනේ ඔවුන් දිසාපති නිල නිවස ඉදි කළේය. කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ" ගෙන් පැන නැගුනු දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ.එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 16 වන සියවසේ විදේශ බල කොටුවක් බවට පත්වූ වර්තමාන උඩ මළුව තුල මෙම බෝධීන් වහන්සේ ශත වර්ෂ 5ක් පමණ කලක් විරාජමානව වැඩ වසයි.ගාලු කෙළඹ මහා මාර්ගයටත් දුම්රිය මාර්ගයටත් අතර රමණීය භූමි භාගයක් තුළ මනාසේ වැඩුනු තවත් බෝධීන් වහන්සේ නමක් සියවස් ගණනක සිට දක්නට ලැබුණු බවට ඓතිහාසික සාධක ඇත.එය ක්‍රි.ව. 1042 දී කළුතර පාලනය කළ ඉන්දීය සම්භවයක් ඇති “වික්‍රම පාණ්ඩ්‍ය රජ පහත මළුවේ රෝපණය කරන ලද්දක් බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ.

මෑත කාලීන සංවර්ධනය[සංස්කරණය]

ක්‍රි.ව. 1921 දි බලපිටියේ වංශවත් පරපුරක් නියෝජනය කල නීතීඥ “ශ්‍රීමත්සිරිල් ද සොයිසා” නම් වූ යුග පුරුෂයා කළුතර අධිකරණයේ සේවයට පැමිණීම මෙම‍ ඓතිහාසික සිද්ධස්ථානයේ වත්මන් අසිරියේ පළමු අදියර වේ. 1921 වර්ෂයේ දී තවත් දානපතියන් හා ඵක්ව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට ඵතුමා විසින් පියවර ගෙන ඇත. 1939 වන විට පහත මළුවේ කුඩා චෛත්‍ය හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීම ආරම්භ කර ඇත. 1953 වන විට කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටවා ඇති අතර පසු කලෙක ඊට පහල හා උඩ මළුවේ හිමිකාරත්වය ලැබී ඇත. උඩ මළුවේ වන දැවැන්ත චෛත්‍යට මුල්ගල තබන ලද්දේ 1964 දී වන අතර, ඊට 1974 දී කොත් පැළදවා ඇත. මෙම සියළුම බෝධීන් වහන්සෙලාගේ නිරන්තර සෞඛ්‍ය තත්වය සොයා බැලීමට ඵ් සඳහාම විශේෂතා ඇති වෛද්‍යවරුන්ද යොදා තිබීම විශේෂත්වයකි.

කළුතර බෝධි පරිශ්‍රයේ නම කියවෙත්ම “නීතීඥ ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නාමය අමතක කළ නොහැකියි. කළුතරට ඉමහත් සේවාවක් කළ මෙතුමාගේ සද්කාර්යන් අතර කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර විද්‍යාලය ඇරඹීම, කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කර අද ඇති තත්වයට පත් කිරීම, එම මාර්ගය සෑදීම, කතරගම වන්දනාවේ පැමිණෙන්නන්ට සුවිසල් විවේකාගාරයක් ඉදිකිරීම, ඇතුළු තවත් පුණ්‍යකර්ම රාශියකි. 1896-12-21 දී බලපිටියේ උපත ලැබූ එතුමා 1978-01-02 දින අභාවප්‍රාප්ත විය. එතුමාගේ පිළිරුවක් කළුතර බෝධි පරිශ්‍රයේ ඇති අතර එය 1986-02-23 දින නිරාවරණය කෙරිනි.

ඉංග්‍රිසි යුගයේ ඉදිකල බව සැලකෙන රිමාන්ඩ් බන්ධනාගාරය මෑතක් වනතුරු බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට තිබී ඇති අතර පසුව බෝධි භාරකාර මණ්ඩලයේ ඉල්ලීම මත එම ස්ථානයෙන් බැහැර කර තිබේ. රැඳවියන් භාවිතා කළ නාන ලිඳ අදටත් ඵම භූමියේ දැකගත හැකියි.2007-11-01දින මේ බෝ සමිඳු වැඩ වසන මළුව තෙක් පියගැට පෙල හා එම මග සරසා වියනක් සෑදීම ආරම්භ කර ඇති අතර එය මෙම භූමියේ යෝජිත නවතම ඉදිකිරීම වේ.

කළුතර බෝධි භාරකාර මණ්ඩලය[සංස්කරණය]

ගොනුව:Siril.JPG
ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා

අධිරාජ්‍යවාදී යුගය නිමාකරමින් නිදහසින් පසු ශ්‍රී ලාංකික නිලධාරියෙක්කළුතර පාලනයට පැමිණියේ 1949 දීය.ඒ උප දසාපති C.P. ද සිල්වා මහතායි. බෞද්ධ නිලධාරියෙක් වූ ඔහු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ ගමනට මහත් රුකුලක් විය. ඒ වන විට උත්තර මංඩල සභාවේ උප සභාපති තනතුර දැරූ සිරිල් ද සොයිසා මහතා අගමැතිD.S.සේනානායක මහතාට උඩමළුවේ ඓතිහාසික ගංගාතිලක විහාරය පිහිටි භූමි භාගය (ඒ වන විට පෘතුගීසින් එය විනාශ කර ඇත) හා දෙතිස් ඵල බෝධියේ හිමිකම කළුතර බෞද්ධ සංගමයට පවරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙත් එම සංගමය නීත්යාඉනුකූල නොවන බැවින් රජය එය ප්‍රතික්ෂේප කළ පසු නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත සංවිධානයක් බිහිකිරීමට සිරිල් ද සොයිසා මහතා පියවර ගත්තේය.

ඒ අනුව 1951-11-07 දින සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් 08 කින් යුතු කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටුවීය. එහි පාලන භාරකාරීත්වය සිරිල් ද සොයිසා මහතා හා නීතීඥ V.T. ද සොයිසා මහතා දැරීය.වසර දෙකකට පසු අගමැති ජෝන් කොතලාවල මහතා උඩමළුව හා පහත මළුව ඇතුළු වර්තමාන පරිශ්‍රය බෝධි භාරකාර මණ්ඩලයට පවරා දෙනු ලැබීය.එදා මෙදා තුර වර්තමාන අප දකින කළුතර බෝධි පරිශ්‍රයේ ප්‍රගතියට 100% කින් සක්‍රීය දායකත්වය ලබා දෙන්නේ බෝධි භාරකාර මණ්ඩලයයි. පූජා භූමිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බැවින් මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය දායක පඬුරු වේ. ඒ හැරුනු කොට දායකයින්ස්වකැමැත්තෙන් කරන පරිත්‍යාග මත මෙම පරිශ්‍රයේ අභිවෘධිය සිදුවේ.(මෙහි නේවාසික භික්‍ෂු වාසයක් හෝ විහාරාධිපති භික්‍ෂූන්ද නැත.)

දිනපතා හේවිසි ශබ්ද පූජා පවත්වා උදෑසන 6.30ට, පෙ.ව11.30ට, ප.ව 6.00ට බෝධිරාජයාණන් වහන්සේලාට හා චෛත්‍ය, විහාර තුල වැඩ හිඳිනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා හමුවේ බුද්ධ පූජා පවත්වන අතර, සෑම දිනකම ධර්ම දේශනා, සෙනසුරාදා හා ඉරිදා විශේෂ ධර්ම දේශනා,සතර පෝයට සිල් සමාදන් වන බැතිමතුන්ට ධර්ම දේශනා, දිනපතා පැමිණෙන බැතිමතුන්ට සියළු පහසුකම් සැපයීම බෝධි භාරකාර මණ්ඩලයේ නිත්‍ය සේවාවන් වේ.

පහළ මළුවේ බෝධිය[සංස්කරණය]

උතුරින් කළු ගගට යාබද බුදු මැදුරෙන් ද, නැගෙනහිරින් ගාලු-කොළඹ මහා මාර්ගයෙන් ද,දකුණු පසින් කුඩා ‍චෛත්‍ය වහන්සේටත් බටහිරින් ගාලු-කොළඹ දුම්රිය මාර්ගයටත් මැදි වූ කුඩා වපසරියක වැඩ සිටින මේ මහා බෝධි වෘක්‍ෂය ක්‍රි.ව.1042ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. ඉන්දීය සම්භවයක් ඇති “වික්‍රම පාණ්ඩ්‍යය” නම් කුමාරයා සොළීන් ගෙන් මිදීමට දකුණට පලා යන ගමනේදී මෙම බෝධි අංකුරය රෝපණය කල බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ.ක්‍රි.ව. 1377දී කළුතර තෙක් දුම්රිය මාර්ගය දිගුවීමත් සමග ඉංග්‍රිසි ජාතිකයින් මෙය කපා දැමීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වී ඇත.වර්තමාන පහළ මළුවේ අභිවෘධියට කටයුතු කර ඇත්තේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා නීතීඥ මහතායි. ගම්මන්පිල උපාසක මහතාද ඔහු හා වන්දනා මාන කළ බව සදහන් වේ. පානදුර දානපතියෙකු වූ ජෙරමියස් ඩයස් මැතිණියගෙන් ලද රු.1000/= මුදල වැය කරමින් මෙම බෝධිය වටා කුඩා ප්‍රාකාරයක් හා වර්තමාන පිංකැටය ඇති ස්ථානයේ මල් අසුනක් ද තනවා තිබේ. එතැන් සිට හුදකලාව සිටි මේ බෝධිය කෙරෙහි කෙමෙන් බැතිමතුන්ගේ අවධානය යොමු විය.1931 වර්ෂයේ ජුනි මස ශ්‍රීමත් සිරිල් ද සොයිසා හා උක්වත්තේ ජයසුන්දර මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් “කළුතර බෞද්ධ සංගමය” පිහිට වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ද මෙම පරිශ්‍රය දියුණු කිරීමයි. පසු කලෙකදී බෝධි භාරකාර මණ්ඩලය විසින් අලංකාර ප්‍රාකාරයක් සිව් කොනට හා නැගෙනහිරට විහිදුනු බුදු කුටි පහක් හා 1991 වසරේ ඉදිකරන ලද රන් වැටකින් බෝධීන් වහන්සේ ගේ ආරක්‍ෂාවත්, අලංකාරයත්, බැතිමතුන්ගේ පහසුවත් සලසා තිබේ.

විශේෂ කරුණු :- ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ගේ අයිතියෙන් යුත් “ස්වර්ණපාලි” නම් බස් සේවයක් මෙකල ආරම්භ විය. මෙම බස් රථ කළුතර පසු කර යන සෑම අවස්ථාවකම පඬුරක් දමා යා යුතු යැයි ඔහු විසින් නීතියක් පැනවීය. ඔහුගේ සේවයෙන් ඉවත්වූ රියදුරෙක් වෙනත් අයෙකුගේ බස් රථයක සේවය කර ඇති අතර දිනක් මෙම පඬුරු දැමීම දැඩි විචේචනය කරමින් ඔහු කළුතර බෝධිය පසු කර ගොස් ඇති අතර නුදුරේදීම අනතුරට පත්ව ඇත. මේ සිද්ධිය ප්‍රසිද්ධවත්ම බෝධිය පිළිබදව දැඩි විශ්වාසයක් හා භක්තියක් ඇතිකරගත් බැතිමතුන් බෝධිය පසුකර යන සෑම අවස්ථාවකදීම පඬුරක් දැමීමට පුරුදු විය. වර්තමානයේද ආගමික හේදයකින් තොරව බෝධිය පසුකර යන අය පඬුරු දමා යනු දැකිය හැකියි. අද පූජනීය ස්ථානයක් සේ ලංකාවේ පඬුරු තුලින් වැඩිම ආදායම් ලබන එකම පූජනීය ස්ථානය වන්නේ ද කළුතර බෝධියයි.

පහළ මළුවේ උතුරු පස බුදු මැදුර[සංස්කරණය]

ක්‍රි.ව. 1939 වන විට “සවුත්ලන්ඩ්” නමින් ප්‍රසිද්ධියට පත්වූ සිරිල් ද සොයිසා මහතාගේ බස් රථ සේවයෙන් ලද ආදායමත්, බැතිමතුන්ගෙන් ලද ආධාරත් එකතුකර මෙම බුදු මැදුර සාදන ලද බව කියවේ. පහළ බෝධියට උතුරු පසින් මෙම බුදු මැදුර පිහිටා ඇත.කළු ඟඟට යාව බැම්මක් බැඳ එහි පස් පුරවා සාමාන්‍ය මේසන් බාස් වරු ලවා මෙහි නිම කිරීම් කලද, මේ තාක් කිසිම උපද්‍රවයකට ලක්ව නොතිබීම විශේෂත්වයකි. ශාන්ත ඉරියව්වකින් වැඩ හිඳිනා සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිමයන් මෙම බුදු මැදුර තුළ නෙලා ඇත.සිදුහත් උපත, කිරිපිඬු පූජාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීම වැනි ඓතිහාසික කතාවන් හා නෙළුම් මල් රටාවන් මනාව තෙලි තුඩින් සිත්තම් කිරීම තුළින් බෞද්ධ විහාරයක අංග ලක්ෂණයන් මෙම බුදුමැදුර තුල විදහා පා ඇත.

පහළ මළුවේ චෛත්‍යය[සංස්කරණය]

පහළ මළුවේ බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට පිහිටා ඇති මෙය ප්‍රමාණයෙන් කුඩාය. වර්ෂ 1939 දී පමණ මෙහි ආරම්භය සිදුවූ බව සඳහන් වේ. මෙම චෛත්‍යයත්,ගංගාව අසල බුදු මැදුරත් ඵකම කාලයක ඇරඹුනු බව දැක්වේ. මෙම චෛත්‍යය වන්දනා කිරීමට සතර අතට විහිදුනු කුඩා බුදු කුටි 4ක් හා මල් ආසන 4ක් නිමවා ඇත. ක්‍රි.ව. 1942 වසරේ වැඩ අවසන් වූ පසු ඵම වසරේම මැයි මස වෙසක් පුර පසලොස්වක පොහෝ දින ඊට කොත් පලඳවා ති‍බේ.

විශේෂ කරුණු  :- මෙම චෛත්‍යයට කොත් පැලඳවීම සියළු ආගමික වතාවත් මැද මහත් උත්සවාකාරයෙන් සිදුවූ බව කියවේ.මේ මඟුල් බෙර ශබ්ද පූජාව පවත්වන විට ඉන් නිකුත්වූ ශබ්දයන් නිසා උඩ මළුවේ සිටි සුදු ජාතික ඒජන්තවරයා උරණ වී බෙරකරුවන් පන්නා දැමූ බවත් ඉන්පසු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා බෙරකරුවන් 100ක් දෙනා ගෙනවිත් දවස පුරා බෙර වයා ඇති බවත් එවිට සුදු ජාතිකයා නිල නිවසද අතහැර ගිය බවත් සඳහන් වේ. පසුව රැස්ව සිටි සැදැහැවතුන් අමතා ප්‍රකාශයක් කළ මෙතුමා නුදුරු දිනකදීම උඩ මළුව ඉංග්‍රිසි ජාතිකයන් ගෙන් මුදවා පූජා භූමියක් කරන බව දන්වා තිබේ.

පහළ මළුවේ දකුණු පස බුදු මැදුර[සංස්කරණය]

පහළ මළුවේ චෛත්‍යට දකුණු පසට වන්නටත් ආනන්ද බෝධීන් වහන්සේට උතුරු පසට වන්නටත් මෙම බුදු මැදුර පිහිටා තිබේ.අතීතයේ මේ ගොඩනැගිල්ල නගර සභා කාර්යාල ගොඩනැගිල්ලට අයත්ව පැවතුනු අතර 1960-70 වර්ෂ තුල කච්චේරියට අයත් ගොඩනැගිල්ල බෝධි භාරකාර මණ්ඩළයට පවරා ගැනීම මත මේ ගොඩනැගිල්ලද පවරා ගන්නා ලදී.පසුව ධර්ම ශාලාවකට ඔබින අයුරින් සකසන ලද එහි විශාල හිඳි පිළිමයක් අඹා පුද පූජා හා ධර්ම ශ්‍රවණයට උචිත වන අයුරින් සකසා තිබේ.

ආනන්ද බෝධීන් වහන්සේ[සංස්කරණය]

1960 වසරේ ඉන්දියාවේ මහා බෝධි සමාගමේ සාමාජිකයෙක්ව සිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ජේතවනාරාමයේ සංචාරයක නිරතව සිටියදී එහි වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩමවාගෙනවිත් මෙම ස්ථානයේ රෝපණය කර ඇත.පහළ මළුවේ දකුණු පස බෝධි පරිශ්‍ර සීමාවේ අන්තිමට වන්නට මෙය රෝපණය කර ඇත.

නැගෙනහිර කුඩා බුදු මැදුරකින්ද, බටහිර දිශාව මල් ආසනයෙන්ද මෙහි මළුව නිර්මාණය වී ඇත.දශක 4ක් ඉක්මවා වැඩ සිටිනා බෝධීන් වහන්සේ සමස්ථයක් ලෙස ඉතාමත් නිරෝගීසුවයෙන් වැඩ සිටි නමුත් වරින් වර රෝගාතුර වූ පසු බටහිර දිශාවට විහිදුනු ශාඛාවන් කපා ඉවත් කර ඇති බව පෙනේ.

පසුකාලීන සංවර්ධන කටයුතු තුළින් බෝධි භාරකාර මණ්ඩළය විසින් 1997-06-20 පොසොන් පොහෝදා ඝණ්ඨාර කුළුණක් සාදා මේ මළුවේ නිරාවරණය කර තිබේ.මෙම මළුවේ අළුතින්ම ඉදිකිරීමට නියමිතව ඇත්තේ බෝධි ඝරයක් හා අලංකාර රන් වැටකි.බාහිර පරිසරයෙන් බෝධීන් වහන්සේට වන උපද්‍රව අවම කිරීම බෝධි ඝරයේ ප්‍රධාන අරමුණයි.

  • බෝධීන් වහන්සේලා දෙනම හා චෛත්‍යය රාජයාණන් දෙනම වන්දනා කරන ගාථාව

සම්බුද්ධ චේතියං සුගංච දුමින්දද්වන්දං

සම්බුද්ධ බිම්බපති මණ්ඩි මන්දිරංඛ

නන්වාන ලද්ධ කුසලේන භවේ සුඛංච

සංසාර මුඤ්චන සුඛංච සීවංලභාමි.

උඩ මළුවේ චෛත්‍යය (වටදාගෙය)[සංස්කරණය]

වර්ෂ 1953 දී උඩ හා පහල මළුවේ අධිකාරීත්වය බෝධි භාරකාර මණ්ඩලයට පවරා ගැනීමෙන් පසුව උඩ,කඳුගැටය පිහිටි ප්‍රදේශය සංවර්ධනය කර ඵහිද පූජනීය බිමක් කිරීමට සිරිල් ද සොයිසා මහතා පියවර ගත්තේය. ඵහි ප්‍රතිපලයක් වශයෙන් 1964 දී විශාල වටදාගෙයක් තැනීමට මුල්ගල තබන ලදී.

වටදාගෙය පිහිටි මෙම භූමියේ වර්ගඵලය වර්ග අඩි 7150කි. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 95.4කි.මෙහි උස අඩි 185 කි. වට ප්‍රමාණය අඩි 335කි. අගල් 5ක ඝනකමින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින් චෛත්‍යය රාජයා නිමවා ඇත. මෙහි තීන්ත ආලේපයට ගතවන්නේ සතියක කාලයකි. අති දැවැන්ත ප්‍රාකාරයක් මේ වටා සාදන ලද අතර, වටදාගෙයි අනුරූ 4 කින් සිව්කොන සරසා තිබේ. වටදාගේ ඇතුලත බිත්තියේ පන්සිය පනස් ජාතක කථාවේ සම්බුද්ධ චරිතයේ විවිධ තැන් නිරූපනය කරන්නා වූ විචිත්‍රවත් චිත්‍ර 75කින් යුක්ත වේ. මෙය චෛත්‍ය කුහරයට ගමන් කල හැකි ලොව ඇති ඵකම චෛත්‍ය ද වෙයි. මේ මහා විශ්වකර්ම නිර්මාණය 1974 ජනවාරි 24 දින උත්සවාකාරයෙන් කොත් පැළද, පූජනීයත්වයට පත්කර තිබේ. ඉංජිනේරු ශිල්පයේ අද්විතීය තැනක් හිමි කරගෙන සිටි ඒ. එන්. එස්. කුලසිංහ මහතා මෙම වටදාගෙයි නිර්මාපකයායි. මෙහි චිත්‍ර 75, මහනුවර චිත්‍ර ශිල්පියෙකු විසින් සිත්තම් කර තිබේ.

වටදාගෙය මධ්‍යයේ ඇති කුඩා චෛත්‍යය[සංස්කරණය]

මෙම විශ්මිත වටදාගෙය මධ්‍යයේ උස අඩි 26ක චෛත්‍යයක්(කුඩා ප්‍රමාණයේ) පිහිටා තිබේ. සාම්ප්‍රදායික චෛත්‍යක සියළු කලා නිර්මාණයන් නිරූපණය කොට මෙම චෛත්‍යය නිමවා ඇති අතර සතර අතට මුහුණ ලා සමාධි සුවයෙන් වැඩ සිටින බුදුරදුන් නිරූපිත හිඳි පිළිම 4 කින් හා මල් ආසන 4 කින් මෙය අංග සම්පූර්ණ චෛත්‍යයක ලක්‍ෂණ විද්‍යාමාන කරයි. මෙහි ධාතු නිධානය හා කොත් පැළඳවීම 1980-02-28 දින සිදුවිය.වටදාගෙයට පිවිසෙන මග දොරටු 3 කින් සමන්විතයි. ඵ් උතුරු පසින් හා දකුණු පසින්ය. මකර රූ දෙකකින් හා සඳකඩ පහනකින් මේ දොරටු දෙපස අලංකාරව සරසා ඇත.ශ්‍රී ලාංකේය ඉදිකිරීම් කලාව ලෝක තලයට ගෙනගිය මේ විශ්මිත වටදාගෙය, ඇතුලත චෛත්‍යය හා ඵහි නිර්මාණ සිරිල් ද සොයිසා මහතාගේ සිතේ සනිටුහන් වූ පරිදිම ජීවමාන කිරීමට දායක වූයේ නිර්මාණ ශිල්පී ජස්ටින් සමරසේකර ඇසෝෂියේට් හා ඉංජිනේරු දේශබන්දු විද්‍යාජෝති ආචාර්ය A.N.S. කුලසිංහයන් ඇතුළු පිරිසේ දායකත්වයෙනි.අදටත් මෙහි භූමි නිර්මාණය, සැලසුම්කරණය හා තාක්‍ෂණය දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා මවිත කරන්නට සමත්ය. මෙම පූජා භූමිය පුරාවටම ඉහලම තාක්‍ෂණයක් උපයෝගී කරගත් ජල රටා පද්ධතියක් ද ඇති බැව් කියවේ.

ධර්ම ශාලාව[සංස්කරණය]

ඉපැරණි කච්චේරිය පැවති ස්ථානය ලෙස සැලකෙන මෙම භූමි භාගයේ මෙම සුවිසල් ධර්ම ශාලාව ඉදිකර ඇත. කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ හා බෞද්ධ ජනතාවගේ ආධාරයෙන් මෙහි නිමැවුම සිදුවී ඇති අතර 1994-05-13 වෙසක් පොහෝ දින එවකට ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා අතින් විවෘත කරන ලද බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ද විශාලතම ධර්ම ශාලාව වන මෙහි ඇති ප්‍රයෝජනය පසක් වන්නේ පුර පසලොස්වක පොහෝ දිනයන්ට පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් දහස් ගණනකට ඉඩ හසර ලබා දෙන සෙවනක් බැවිනි.

සක්මන් මළුව[සංස්කරණය]

කළු ගං ඉවුරට යාබඳව කොන්ක්‍රීට් වැටකින් සීමාකර ගං ඉවුර දිගේ පටු තීරුවකින් සමන්විත මෙම වැලි මළුව පහන් සිතින් භාවනානුයෝගීව සක්මන් කිරීමටත් සිත සංසුන් කරගැනීමටත් හැකි ස්වභාවික පරිසර පද්ධතියකින් හෙබි බිමකි. මෑත කාලයේ වර්ෂ 2000-05-17 වෙසක් දින බෝධි භාරකාර මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙය නිර්මාණය කර විවෘත කරන ලදී.

යටි බිම් හරස් මග (උමං මාර්ගය)[සංස්කරණය]

මෙම පූජා භූමියට පැමිණෙන දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පහසුවසඳහා නව පාලම ඉදිකිරීම යටකතේ එවකට ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ නියමය පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නිමවූ මෙම පාලමට සම්බන්ධ උමං මාර්ගය 1990- 01-27 දින එවකට අගමැති D.B. විජේතුංග මහතා විසින් විවෘත කරන ලදී. පොහෝ දින වලට වන්දනා කටයුතු පිණිස පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව හා ආරක්‍ෂාව පිණිසත්, ගාලු-කොළඹ මහා මාර්ගයේ ඒ හෙතුවෙන් ඇතිවන රථ වාහන තදබදය අවම කිරීම පිණිසත් මෙම උමං මාර්ගය බෙහෙවින් ඉවහල් වේ.

පිංතූර ගැලරීය[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

1.රත්නසේකර, ටියුලා
“කළුතර මහ බෝ සමිඳුගේ හා කළුතර පුරවරයේ ඓතිහාසික පසුබිම”
තේජානි ප්‍රින්ටර්ස්, කළුතර ,2000-05-12

2.රංගල්ල, සංජීව කුමාර
“කළුතර ඓතිහාසික බෝ සමිඳු”
ප්‍රින්ට්ස් අයි ප්‍රමෝෂන්ස්
එගොඩවත්ත පාර,බොරලැස්ගමුව ,2007- නොවැම්බර්

මේවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කළුතර_බෝධිය&oldid=604613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි