ඕස්ට්‍රේලියාවෙහි අග්‍රාණ්ඩුකාරවරයා
| ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයෙහි අග්‍රාණ්ඩුකාරවරයා | |
|---|---|
ලාංඡනය | |
| ප‍්‍රතිරාජ | |
| ශෛලීය | අතිගරු උත්තමාවිය |
| නිවහන | ගවර්න්මන්ට් හවුස් (කැන්බරා) ඇඩ්මිරල්ටි හවුස් (සිඩ්නි) |
| පත් කරන්නා | ඕස්ට්‍රේලියාවෙහි රජ |
| ධූර කාල ප්‍රමාණය | රජතුමාගේ අභිමතය පරිදී (සාමාන්‍යයෙන් වසර 5)[1] |
| සංස්ථාපන ලිඛිතය | ඕස්ට්‍රේලියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඡේදය 2 |
| සංස්ථාපනය | 29 ඔක්තොම්බර් 1900[2] |
| පළමු දරන්නා | ජෝන් හෝප්, හෝප්ටවුන්හී 7 වන අර්ල්වරයා |
| වැටුප | $709,017[3] |
| වෙබ් අඩවිය | gg.gov.au |
ඕස්ට්‍රේලියාවෙහි අග්‍රාණ්ඩුකාරවරයා[a] යනු, ඕස්ට්‍රේලියාවෙහි රජ, වර්තමානයෙහි තෙවන චාල්ස් රජුගේ, ෆෙඩරල් නියෝජිතයා වෙයි. අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඕස්ට්‍රේලියානු දේශපාලන පද්ධතියෙහි බොහෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ උත්සවාකාර භූමිකාවන් උසුලන අතර, එය තුල ඔවුන් ස්වාධීන කාරකත්වයක් දරති. කෙසේවෙතත්, සම්මුතිය වෙතින් ඔවුහූ සාමාන්‍යයෙන් බැඳී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ ෆෙඩරල් විධායක කවුන්සිලයෙහි උපදේශය මත ක්‍රියාකිරීමටය.[1] ප්‍රශංසනීය පුද්ගලයින් සහ කණ්ඩායම් හඳුනාගැනීම, සහ සමස්තයක් ලෙසින් ජාතිය නියෝජනය කිරීම යන අංශයන් අනුසාරයෙන් වන සැලකිය යුතු තරමෙහි ප්‍රජා වගකීම් භූමිකාවක්ද ඔවුන් වෙත පැවරී ඇත. වර්තමාන අග්‍රාණ්ඩුකාරවරිය සෑම් මොස්ටින් වෙයි.
අග්‍රාණ්ඩුකාරවරයාගේ සුවිශේෂ කාර්යයන් අතර, පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රණ සභාවන් වෙතින් සම්මත කෙරෙන අණ පණත් සඳහා රාජකීය අධිමතිය ලබාදීම, මැතිවරණ සඳහා ආඥාපත්‍ර නිකුත් කිරීම, ෆෙඩරල් විධායක කවුන්සිලයෙහි උපදෙස් මත පිහිටමින් විධායක බලතල භාවිතා කිරීම, රජයෙහි නිලධාරීන් (අග්‍රාමාත්‍යවරයා, අනෙකුත් අමාත්‍යවරුන්, විනිශ්චයකාරවරුන් සහ තානාපතිවරුන් ඇතුළුව) විධිමත් ලෙසින් පත්කිරීම, ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවෙහි සේනාධිනායක ලෙසින් ක්‍රියාකිරීම, සහ ඕස්ට්‍රේලියානු ගෞරව සම්මාන ප්‍රදානය කිරීම වෙති. [4] කෙසේවෙතත්, සියළු අවස්ථාවන් තුලදීම පාහේ, අග්‍රාණ්ඩුකාරවරයා විසින් වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායයෙහි සහ වගකීම්සහගත ආණ්ඩුවෙහි මූලධර්මයන්ට අනුකූලව නීති ප්‍රකාර බලතල පමණක් ක්‍රියාත්මක කරයි. මෙය සාක්ෂාත් කරගැනුම සඳහා ඔවුන් දේශපාලන වශයෙන් ස්වාධීන විය යුතු අතර, පාර්ලිමේන්තුව (අග්‍රාමාත්‍යවරයා තෝරාගන්නා විට සහ රාජකීය අධිමතිය ලබා දෙන විට වැනි අවස්ථාවන්හී) හෝ අමාත්‍යවරුන්ගේ (විධායක කාර්යයන් ඉටුකරන විට) හෝ උපදෙස් මත පමණක් ක්‍රියාත්මක වීම සිදු කල යුතු වෙයි. කෙසේවෙතත්, කිසියම් සීමිත අවස්ථාවන්හිදී, අග්‍රාණ්ඩුකාරවරයා විසින් අභිමතානුසාරී බලතල (විධිමත් උපදෙස් නොමැතිව හෝ එවැන්නකට එරෙහිව හෝ ක්‍රියාත්මක කල හැකි බලතල) ක්‍රියාත්මක කල හැකි අතර, එවැන්නක් වඩාත් සංගණ්‍ය වූයේ 1975 ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය අතරතුරදීය. මෙවැනි අවස්ථා බොහෝවිට විවාදාත්මක වන අතර මෙවැනි බලතල දිගටම පැවතීම හා ඒවා දිගටම භාවිතා කිරීම උචිතද යන්න අතිශයින් විවාදයට ලක්වෙමින් පවතියි.
ඔවුන්ගේ උත්සවාකාර සහ ප්‍රජා සත්කාර භූමිකාවන් තුල, අග්‍රාණ්ඩුකාරවරයා විසින් සමස්තයක් ලෙසින් ජාතිය නියෝජනය කරයි.
සටහන්
[සංස්කරණය]- ^ පූර්වයෙහි ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයෙහි අග්‍රාණ්ඩුකාරවරයා.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b "ගවර්නර්-ජෙනරල්". පාර්ලිමෙන්ටරි එඩියුකේෂන් ඔෆිස් (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි බසින්). 10 නොවැම්බර් 2023. සම්ප්‍රවේශය 6 අගෝස්තු 2025.
- ^ "ලෙටර්ස් පැටන්ට් කන්ස්ටිට්‍යුටිං දි ඔෆිස් ඔෆ් ගවර්නර්-ජෙනරල් 29 ඔක්තොම්බර් 1900 (UK)". ඩොකියුමන්ටිං අ ඩිමොක්‍රසි. සම්ප්‍රවේශය 2024-04-22.
- ^ Governor-General Act 1974 (Cth) s 3.
- ^ "ද රෝල් ඔෆ් ද ගවර්නර්-ජෙනරල්". ද ගවර්නර්-ජෙනරල් ඔෆ් ද කොමන්වෙල්ත් ඔෆ් ඕස්ට්‍රේලියා. 5 ජනවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2024-01-16.